මෙම බ්ලොග් අඩවිය පිළිබඳව

සම්මා සම්බුදු පියාණන්වහන්සේ වදාළ සත්‍ය වූ බුද්ධ ධර්මය කාලයත් සමග සැගවෙන්නට ඇති ඉඩකඩ වැඩිය. එය ‍එසේ වූ නිසාම ශතවර්ෂ ගණනකින් මාර්ගඵල ලාභීන් බිහි වූ බවක් අසන්නට නොලැබිණි... එහෙත් මග ඵල ලැබ ගෞතම බුදු පියාණන් විවර කල නිවන් දොරටුවෙන් මාර්ගයට පිවිස ඵල ලැබී සැනසීමට නියම වූ ඇත්තන් තවමත් සිටින හෙයින් ඔවුන් සදහා උපකාරයක් වීමට නියම කළ්‍යණ මිතුරාගේ පැමිණීම සිදුවී ඇත. ඒ සැඟවුනු මාවත යලි විවර කරමින්, සැඟවුනු දහම් අරුත් මතු කරමින් සසර දුකින් පෙළෙන ඔබටත් මටත් අනන්ත සසර දුක් සයුරෙන් එතෙර වීමේ ප්‍රයෝගික මග හෙලි කරන අභිඥාලාභී පූජ්‍යපාද වහරක අභයරතනාලංකාර ස්වාමීන් වහන්සේගේ ධර්මානුශාසනා ඇසුරෙන් පලවූ "සැගවුණු බොදු මග කල එලි දකී" යන පොත ඇසුරෙන් මෙසේ සටහන් තබමි!

Jan 22, 2010

පිටුව 25 සහ 26

(පිටුව 25)
ග්‍රහයා එකකි.  ග්‍රහ මණ්ඩලය තවෙකකි.  යම් ග්‍රහයෙකුගෙන් විහිදෙන කිරණ මිනිස් ලොව වායු ගෝලයට සමීප වනවිට ඒ අනුරූප ‍ආලෝක මණ්ඩලයක් වායු ගෝලයේ මතුවේ.  හතලිස් නව යොදුන් සද මඩල, පණස් යොදුන් ඉර මඩල, ආදී ලෙස පෙන්වූවේද ග්‍රහ තාරකා නොව මේ ආලෝක මණ්ඩලයි.  අතැඹුලක් සේ ලෝකය දකින සෘෂිවරුන් ඉරහද නොදත් පිරිසක් නොවේ.  ඉර මඩල, සද මඩල, මනෝමය අතකින් එම සෘෂිවරුන්ට ස්පර්ෂ කල හැකි බව බුදු දහමේ සදහන් වේ.  නක්ෂත්‍ර දේවතාවන්ගේ වාස භවනය ඉහත කී වායු මණ්ඩලයේදී සකස් වන ආලෝක මණ්ඩලයි.  මහාසමය සූත්‍රයේදී බුදු රජාණන්වහන්සේ සහ මහා සංඝ රත්නය දකින්නට නක්ෂත්‍ර දේව‍තාවෝද පැමිණි බව සදහන්‍ වේ.
ලොව ඒ ඒ ගති ලක්ෂණ ග්‍රහණය කර පාලනය කල පින්වත් පිරිස් ‍ඒවායේ උපත ලබා අදද එබදු ලෝක පාලන කටයුතු කරනු ඇත.  ලෝක පාලක දේවතා කොටසකි ග්‍රහ දේවතාවන්.
කරුණු හරි හැටි තේරුම් ගෙන ඒ ග්‍රහ දේවතාවෝද සිහි කල යුතුය.  ලොවට සෙත සලසන දිව්‍ය බ්‍රහ්ම ආදී තැන් පටන් සෑම අයම සිහි කල යුතුයි.  
බ්‍රහ්ම, විෂ්ණු, මහේෂ්වර යන ත්‍රිමූර්තියයි.  හට ගැනීම, පැවැත්ම, විනාශය මින් සදහන් කරයි.
මෙයින් ආරම්භක බ්‍රහ්ම ගති ලක්ෂණ ඇති පිරිස බ්‍රහ්ම නමින් උපත ලැබූ දේව පිරිසයි.  පැවැත්මේදී මධ්‍ය කාලයේ කාම ආශ්‍රිත ජීවිත ‍ගත කරන පිරිස පහල වේ.  මෙහිදී වැරදි කාම හැසිරීම් වල ආදීනව පෙන්වමින් දැහැමි කාම හැසිරීමේ කාම ස්වර්ග ගති ලක්ෂණ අනුව ජීවත් වෙමින් ඊ‍ට උපදෙස් දෙන පිරිස විෂ්ණු දේව පිරිස ලෙස උපත ලැබූ දේව පිරිසයි.  ලෝකයේ විනාශයට හේතුවන පවිටු ගති නාසා වන විපත ඊශ්වර කාලයයි.  මහ ඉසුරු ලබන්ට අසාධාරණ කිරීමෙන් වන විනාශය පෙන්වා දෙමින් දැහැමින් සාමයෙන් තේජස් වී ගති සහිතව අභිවෘද්ධි සහගතව ජීවත්වන්නට මග පෙන්වමින් පින් දහම් වල යෙදෙමින් සිට දෙවි බවට පත් පිරිස ඊශ්වර දෙවි පිරිසයි.  හේතුවට අනුව ඵලය ලැබෙන බව බුදු දහමේ මනාව පෙන්වා දී තිබේ.  මේ අනුව වටහා ගෙන බ්‍රහ්ම, විෂ්ණු, මහේෂ්වර දේවතාවෝ ලොවට කල‍ සේවය සිතා ඒ පිරිස් එම පුණ්‍ය බලයෙන් අද ද දෙවි අත් බැව් ලබා ඇත.  ඒ ගම් බිම් බාර දේවතාවෝද සිහි කල යුතුය.  

(පිටුව 26)
නොයක් ඖෂධ වනෝධ්‍යාන සදා මිනිසාගේ යහපතට ඒවා පාලනය කර සෙත සැලසූ අය ඒ දේව ගතියෙන් අදද දේවත්වයේ උපදී.  ඒ වෘක්ෂ දේවතාවෝද සිහි කල යුතුයි.  
මෙසේ ලොව සෙත සලසා දුන් ගුණ සලකා අහස්ගත, භූමිගත දේවතාවෝද සිහි කර පින් පෙත් දිය යුතුය.  මෙසේ අනුක්‍රමයෙන් කලගුණ සිහි කර සෙත සලසන බොදුනුවන්ට ඒ දෙව් පිරිස්හි ආශිර්වාදයද ලැබෙනු ඇත.  බොදුනුවෝ ගුණ සලකා කලගුණ සිහි කර යහපත සලකන පිරිසක් බැවින් තමන්ට ආශිර්වාද කරයි කියන අදහසින් පින් පෙත් දෙන ජාතියේ පිරිසක් නොවේ.  ඒ නියම ගුණ දකින දේවතාවෝ ගුණවත් බොදුනුවන්ට නමස්කාර පූර්වකව ගරු කරන්නේ ඒ නිසාය.
දයානුකම්පිත වූ බොදුනුවන් කිසිම ලාභ, කීර්ති, ප්‍රශංසාවකින් තොරව අසරණ අයට පිහිට වේ.
යම ලොව, අසුර ලොව, නා ලොව සිටින සැමටත්, බාහිරව පිරිස් වලටත්, සතර අපාගත සැමටත් දයාවෙන්, කරුණාවෙන් දුගති මිදී සුගති ලැබ නිවන් දකිත්වායි පින් පෙත් දෙවමින් ආශිර්වාද කරත්.
එසේම යටින් අවීචියද උඩින් නේවසඤ්ඤානාසඤ්ඤායතනයයි කියන භවාග්‍රයද අතර මේ සක්වල සියලු සත්වයන්ටද මේ පින් පෙත් ලැබී සුඛිත මුදිත වේවා.  නිවන් සුව අත්වේවායි පින් පෙත් දෙවමින් ආසිරි පැතිය යුතුය.  කෙතෙක් අදමිටු කම් කළත් ඒ පිරිසටද කවදා හෝ සත්‍යය වැ‍ටහේවයි දයා, කරුණා ගුණයෙන් ලෝකාන්තරික ගත නියත මිසදිටු සත්වයන්ද සිහි කර පින් පෙත් ආශිර්වාද කල යුතුය.
මෙසේම අනන්තා පරිමාණ සක්වල සියලුම සත්වයන්ට දුගති දුරුවී සුගතිය, නිවන ලැබී සසර දුකින් මිදේවායි පින් පෙත් දෙවමින් ආශිර්වාද කල යුතුය.
ඒ ඒ පිරිස් වලට කෙතෙක් මේ ආශිර්වාද ලැබුනද, නොලැබුනද මෙබදු යහපත් සිත් ඇති බොදුනු පිරිසට ඒ චිත්ත ප්‍රසාදය අභිවෘද්ධියටම හේතු වේ. 

පිටුව 23 සහ 24

(පිටුව 23)
දෙමව්පියන්ගේ ආධාරයෙන් අනිකුත් පිරිසගේ නොයෙක් අනුග්‍රහයෙන් මව් ගැබ තුල අප වැඩුනු හැටි සිහි කල යුතුයි. 
මව් ගැබ තුල අපිට තනිව කරගත හැකි කිසිවක් නොවූ බව අප දනිමු අද මොන තත්වයක්, තානාන්තරයක් ඉසිළුවත් එදා ‍අනාථය අසරණය.
හද පත්ලෙන්ම මේ ගැන සිතන අපට උදව් කල, උපකාර කල දෙමව්පියන් වැඩිහිටියන් පෙනෙන, නොපෙනෙන ලොව සිට ආශිර්වාද කල සැම දෙනම කල ගුණ සිතින් ගෞරවයෙන් සිහි කර පින් කුසල් දෙවිය යුතුය.  අනුමෝදන් කරවිය යුතුය.
මීටත් වඩා අසරණ, අනාථ අවස්ථාවක්ය මීලගට එළඹෙන්නේ මවු ගැබෙන් බිහිවූ පසුයි ඒ.  උඩුකුරුව හොවන කයක් ඇතිව සිටිනු හැර වෙන කිසිවක් කර කියාගත හැකි කමක් කල නොවීය.
මැසි, මදුරු, සීත, උෂ්ණ ආදියේ නොයෙක් බාධකවලට ප්‍රතිචාර දෙන්ටද? පිපාසය දිය බිදක්, බඩගින්නට අහර බිදක් තනිව සපයා ගන්නේ කෙසේද?  මළ, මුත්‍ර හිටි තැනම පහ වන විට එදා අප කුමක් කරම්ද? කෙල, සොටු, තෙල්, කුණු ආදිය ගලන විට කුමක් කරම්ද?
මේ සියල්ල දුරු කර රැකවරණය සලසවා නාවා, කවා, පොවා, මළ මූ පිරිසිදු කර මොහොතක් අඩන, කෑ ගසන විට වඩාගෙන නලවමින් ඇති දැඩි කල දෙමව්පියන් හා වැඩිහිටි පිරිස කෙසේ අමතක කරමුද?  පෙනෙන නොපෙ‍නුන ලොව සිට අපට ආශිර්වාද කල අය අමතක කල හැකිද?  හද පත්ලෙන් හැගුම් බරව සිහිකර ඒ අය ජීවත්ව සිටියත් මියගොස් කෙබදු උපතක, භවයක සිටියත් ගුණ සිතින් පින් කුසල් දිය යුතුය.  අනුමෝදන් කරවිය යුතුය.  අප ගුණවතුන් වන්නේ මෙහෙමයි.
ඉන්පසු ළමා කල ගත කරන, ගත කල සැම දෙනම එකල තතු සිහි කල යුතුය.  කුඩා කල රැක ගෙන දෑස මෙන් බලාගෙන පෝෂණය කරමින් ලෙඩට දුකට මහත් උනන්දුවෙන් ප්‍රතිකාර කරමින් දැනුම, ඉගෙනුම ලබා‍ දෙමින් රැකවරණය සලසමින් ගුණ දම් කියා දෙමින් මේ දිවිය පෝෂණය කලේ කවුද?  දෙමව්පියෝ දෙගුරුන් ලෙස මුල් කල මේ සියලු කටයුතු වලට මූලික වූ හැටි සිහි කල යුතුය.  උතුම් ගුරු පිරිස පසු කල දැනුම, ඉගෙනුම, ගුණ දුන් අයුරුද තව නොයෙක් වැඩිහිටි පිරිස් රක්ෂණය, පෝෂණය දුන් අයුරුදු සිහිකර හද පත්ලෙන් නැගුන ගුණ සිතින් තම න කරන පින් පෙත් දිය යුතුය.  අනුමෝදන් කරවිය යුතුය.


(පිටුව 24)
ඉන්පසු අද වනතුරු අපට උදව්, උපකාර, රැකියා ලබා දුන් ස්වාමි පක්ෂයේ එම ගුණ සිහිකර ඒ සැමටද පින්පෙත් දිය යුතුය.  අනුමෝදන් කරවිය යුතුයි.  අප සමග සේවය කරන අය මෙන්ම උදව් කරන දැසි දස්, කම්කරු ආදින්ද සිහි කල යුතුය.  සිය නිවසේ අඹු සැමි, දූ පුතුන්, නෑ හිතවත් අය මෙන්ම ‍ගේ දොර, ඉඩ කඩම්, දේ පොල, යාන වාහන  සකසා, වවා, හදා දුන් සැම ආදී පිරිස මෙන්ම අසල් වැසි සැමද සිහි කර කල ගුණ සිතින් පින් පෙත් දිය යුතුය.  අනුමෝදන් කරවිය යුතුය.  සත් පුරුෂයෝ තමන්ට අනිකෙක් කල හිංගි සියයක්හි මධ්‍යස්ථව තමන්ට කල එක උපකාරයක් සලකා ප්‍රති උපාකර කරන බව දේශනා කර ඇත.  අප ඊට දක්ෂ වුනි නම් හතුරාට පවා එම ගුණය ඉදිරියේ යටහත් නොවී සිටින්නට බැරි වනු ඇත.  අසමගිකම් දුරුවී සමගිය සාමය උදා වනු ඇත.
අප ජීවත් වන ලෝකය බොහෝ පුළුල්ය.  පේන ප්‍රමාණයට වඩා මිනිසා දිවි ගෙවන්නේ නොපෙනෙන බලවේග සමගයි.  විශ්වයේ නොයෙක් අදෘශ්‍යමාන බලවේග, අමනුෂ්‍ය, දේව බලවේග අප කල කර්ම ශක්ති ප්‍රවාහයන්ට අනුකූලව අප හා සම්බන්ධව පවතී.  මෙකල වරදවා වටහා ගත් බුද්ධ දේශනාවක්ද ඇත.  තමා කල පින් පවු තමන්ට පල දෙන බවත්, තාරකා ඊට කුමක් කරන්ටද කියා දේශනා කල බුද්ධ වචනය ගෙන තාරකා වල කිසි බලපෑමක් නැතැයි මුලා අදහස් ගෙන ඇත.
ඉහත බුද්ධ භාෂිතය තේරුම් ගන්නට උපමාවක් ගෙන බැලිය යුතුය.  මුලා සිහි ඇත්තෙක් නොසැලකිලිමත්ව කටයුතු කර ගින්දරට පුච්චා ගත්විට තමාගේ නොසැලකිලිමත් කමින් තමා පුච්චා ගත්තාට ගින්දර කුමක් කරන්ටද කීවෝත වැරදි වැටහීම් ගත් කෙනෙක් මෙසේ කියන්නට පුළුවන.  "එහෙනම් මොහු පුච්චා ඇත්තේ ගින්දර නොව නොසැලිකිලිමත්කමයි".  මෙසේ අරුත් ගත් මෝඩයන්‍ සේ තාරකා කුමක් කරන්නටද කී අදහස තේරුම් ගන්නට බැරුව තාරකා වල කිසිම බලපෑමක් නැතැයි කීවොත් මුලාවේ.
ඉර හද මිනිසාට බලපාන ආකරය සක් සුදක් සේ පැහැදිලිය.  ඇක්ස්රේ වැනි කිරණ, පාරජම්බුල කිරණ වැනි සියුම් රූප ධාතු වලින් සිදුවන විනාශය පෙනී පෙනීම ඇත.  කුජ වැනි ග්‍රහයන්ගේ පටන් ගුවන් විදුලි පණිවුඩ එවන විට විනාඩි ගණනකින් මේ ලෝකයට එන අයරුද අද විද්‍යාව ඔප්පු කර ඇත.  සියලු ග්‍රහයෝ මිනිස් චින්තනයේ ගති ශක්තියට අනුව ලොව පහල වී ඇත.  ඉර සද පහල වීම පිලිබදව මිනිස් චින්ත‍නයේ බලපෑම හේතුවූ අයුරු බුදු දහමේ මනාව පෙන්වා ඇත.

පිටුව 21 සහ 22

(පිටුව 21)
නොපෙනෙන මිසදිටුව තරම් වින කරන තවත් කොඩි විනයක් ලොවට නැත.  ගිනි පෙනෙල්ල ඇගේ තබා ගත්විට පිච්චෙන බව නොදත් පොඩි එකා මහ හයියෙන් කෑ ගසමින් එම ගිනි පෙනෙල්ල තබාගෙන සිටින්නා සේ විනාශයට මුල නොපෙනී අදද සුචරිත වෙයල්ලා, දුසිරිතෙන් නොකරල්ලායි අඩ හැර දෙන හැටි දැකිය හැකිය.
මෙකලවත් පාප මූල වන ලෝභ, ද්වේශ, මෝහ සහගත අවිද්‍යා වැඩ පිලිවෙල සමාජයෙන් තුරන් නොකලොත් කෙතෙක් වෙහෙ‍ර විහාර ගොඩ නැගුවත්, බුදු දහම රකින්නට සටන් ක‍ලත් ඒ සියල්ල ගගට කැපූ ඉනි මෙන් වනු ඇත.
අරුතින් හිස්වූ සුරංගනා ලෝක මවා බොදුනුවන් විනාශ කිරීම වහාම නැවත්වීමට බල දරන පින්වතුන් පළමුව කටයුතු කල යුතුය.  චොකලට් ඉල්ලා හඩ තලන පොඩිවුන් මෙන් නුවණ මොට කල බැවින් වයසින් මුහුකුරා ගිය බාලයින් මේ අදහස් වලටද විරුද්ධ වීම වලක්වන්නට බැරිය.  එහෙත් මේ පවසන්නේ අනුකම්පාවෙනි.  දහසක් දෙනා කර වටක් එරී යන දුසිරිත් මඩට අදින විට ආදීනව කියා ගොඩට ගන්ට අනකම්පාවෙන් උත්සාහ කරන්නේ කී‍දෙනෙක්ද, මේ බැරූරුම් කටයුත්ත කරන්නට ගිය බුදු පියාණන්වහන්සේට ලැබුනේ ගරු ප්‍රශංසා නොවේ.
"අහං නාගෝව සංගාමේ - චාපාතෝ පතිතං සරං
අති වාක්‍යං තිතික්ඛිස්ස - දුස්සිලෝහි බහුජ්ජනෝ"
සංග්‍රාමයකට ගිය ඇතෙකු සැම දෙසින් එන ඊ පහර වල් ඉවසා ගෙන ඉදිරියටම යන්‍නා සේ මම දුසිල් වූ බොහෝ ජනයාගේ අසත්පුරුෂ කම් ඉවසාගෙන ඉදිරියටම යමියි 
දේශනා කලේ එබැවිනි.
සමාජය සදන්නට ඉදිරිපත් වූ බොහෝ ආගමික, දාර්ශනික නායකින්ටද එබදු සමාජයෙන් ලැබුනේ මරු පහරකි.
සත්‍යය මේ ‍සියල්ල අභිබවා ඉදිරියට පැමිණි කාලවල ‍මේ සිරිලකද සුර පුරයක් ලෙස බැබුලුනි.
මෙකලද සමාජය එතරම් විනාශ මුඛයට ගොස් නැත යනු මගේ හැගුමයි.  තවමත් ගොඩ ගත හැකි මට්ටමක පවතින බව පෙනේ.  අපේ දූ දරු පරපුරෙන් කරුණාවෙන් ඉල්ලා සිටින්නේ අනාගත බොදුනු මෙන්ම සියලු සමාජයේ යහපත පතා කවුරු ප්‍රකාශ කලත් විකාර සෙල්ලම්, බෝල ගැහිලි, බොරු ජයෙන් උද්දාම වන සෙල්ලම් වැඩ, මුලාකර රවටන ‍සුරංගනා ලෝකය, මත්පැන්, දුම්පානය, මායා චිත්‍රපට, ගී සින්දු මෙබදු අවිද්‍යා මුලා වන්ට ගොදුරු නොවී සන්සුන්ව දම් පිලිවෙත් පුරා තමන්ද මුලා ලෝකයෙන් ගොඩවී අනාගම සමාජයටද නියම දහම් ශාන්තිය සලසා දෙන ලෙසයි.
(පිටුව 22) 
මායා තුවාලයෙන් තුවාල වී සිටින දරුවනි! බෙහෙත් ගල්වන විට වේදනාව ඇති වුවත් සුව වූ විට විශාල සහනයක් උදාවන සේ යහපත ගොඩනගන්නට වීර්ය කරන්න.  කල ගුණ සැලකීම උතුම් කොට ඒ පිලිබදව හැගුම් බරව මෙසේ සිතන්න.
දෙමව්පියන් ඇතුළු උදව් කල අය පොල් කුඩු ගණනට සිතා කටයුතු කරන පාප සමාජය බිද හැර කලගුණ දත් සමාජයක් ගොඩනගා බෞද්ධ ගුණයට පැමිණෙන්න.
තෙරුවන් ගුණයෙහි හැගුම් බරව පැහැදි නගන ප්‍රසා‍දයේ පුණ්‍ය ශාන්තිය අප්‍රමාණයි.  සසරදි ඔබ අතින් මේ දක්වා සිදුවූ පව් ප්‍රමණයි.  අප්‍රමාණ පුණ්‍ය ශාන්තිය බිහි කර ප්‍රමාණවත් පාපයන්ට වන්දි ගෙවා පාප විපාකයෙන් නිදහස් වන්න.  ඔබගේ මනසට මහා සහනය උදා වී විරුද්ධ බලවේග සංසිදී යනු ඇත.  ගුණයක නොපිහිටා ඉල්ලන යාචකයාට ගරු සරු නැතුව ලැබෙන රුපියලට වහල් නොවී ගුණවතාට ලොව දක්වන පුද සැලකිලි සේ ගුණවතෙක්ව සියලු ශාන්තියට ලබාගන්න.  ග්‍රහ අපල, හිංගි හිංසා දුරු කර ජය සෙත ලැබෙන නියම මග එයයි.
දැන් අප කළගුණ දෙසට නැමෙමු
අප තෙරුවන් ගුණයට නැමෙන විට ඇතිවන චිත්ත ප්‍රසාදය අප්‍රමාණය.  අනන්ත සසරේ යහපත මෙන්ම නිවන් මග පාදා දෙන්ට සමත්ය.  උතුම් දෙයක් ලැබෙන විට සැමට බෙදා දීම, උදව් කල අයට බෙදා දීම කෙතරම් අගනේද?
අපට මේ මිනිසත් කය ලැබුනේ සසරදි කල පින් කුසල් හේතුවෙනි.  එකල අපට උදව් උපකාර කල පිරිස කලගුණ සිතින් සිහි කල යුතුය.  ඒ පිරිස අතර ප්‍රමාද දෝෂයකින් දුගතියක උපත ලබා සිටී නම් කාගේ පිලිසරණක්ද අප උදව් කල යුතු නේද?  එබැවින් අප කරන මේ පින් කුසල් ඒ අය කොතන සිටියත් ලැබේවායි අදිටන් කල යුතුය.
අපට ලැබුන උදව් උපකාර අනුපිලිවෙලින් මෙසේ සිහි කල යුතුය.  මීලගට මේ මිනිසත් බව ලබන්නට මව් කුසයක් කරා ඇදුනු විට නව දස මසක් මව් ගැබෙහි වාසය කල තැන් කල ගුණ සිතින් සිහි කල යුතුය.

පිටුව 19 සහ 20


(පිටුව 19)
එසේම කෘතෝපකාර සිහි ගන්වමින් අනන්ත සසරේ පටන් මේ දක්වා අපට උදව් කල, උපකාරය කල පිරිස් වෙත මේ පුණ්‍ය ශාන්තිය පැතිරේවායි අධිෂ්ඨාන කර විය යුතුයි.
වරදට සමා කිරීම උද්දාම සමාජයට පහත් කාර්යක් සේ පෙනෙන මෙබදු කාලෙක ඒ ගති නිසාම ඇතිවන ගැටුම් බොහෝ වෙති.  නිය පොත්තෙන් කැඩිය හැකි පැලෑටිය මහ ගසක් වෙන්ට ඉඩ හරිනවා සේ සුළු වූ වරදක් කමා කර සමගිය ඇති කර ගන්ට හැකි ‍බොදුනු ගුණය අපෙන් දුරස් වීම නිසා මහා ගැටුම් වලට අද මුහුන දෙන්ට සිදුවී ඇත.  උඩින් මත්තෙන් දේශනා කර, ගුණ කරුක බොදුනු සමාජයක් යළි ඇති කිරීම ඉතා දුෂ්කර කටයුත්තකි.  හද පත්ලට කිදා බසින ලෙස එය කල යුතුය.  පැහැදුණු සිතකට මෙම ගුණ කිදා බසින බැවින් ඉහත කී ලෙස තෙරුවන් ගුණයට හිත නංවා තම අතින් අනන්ත සසරේ දස අකුසල් කර්ම, කර්ම පථ ආදියෙන් අන් අයට සිදු වී ඇති වැරදි, නොපනත්කම් අනිවාර්යෙන්ම සිදුව ඇති බව පෙන්වාදී මේ මොහොතේදී ඒ සියල්ල කමා කරවිය යුතුය.  වරද කල විට ඉදිරියේම කමා කර ගන්ට ලැජ්ජා වන තරමට දූසිත සිත් ඇති අය පවා එබදු පිරිස් නොපෙනෙන තැන කමා කරන්නට මැලි නොවනු ඇත.  මෙසේ වන පුහුණුවෙන් ක්‍රමයෙන් ගුණය කරා වැඩෙන සිත පසු කලෙක නව වැරදි නොකරන්නටත් ප්‍රමාදයකින් හෝ සිදුවූ වරද නොපැකිලව කමා කරන්නටත් පුරුදු වනු ඇත.
අපට නොපෙනෙන අප නොදත් ගුප්ත වූ කර්ම බලවේග අප කරා ගොනු පසුපස එන රිය සක ලෙස ලුහු බදින බව බුදු පියාණන් වහන්සේ අනන්ත නුවණින් දැක ඇත.  කර්මය මුල් කොට, දායාද කොට, උප්පත්ති ස්ථානය කොට, නෑයා කොට, පිළිසරණ කොට ලෝක සත්වයා භවයේ සැරිසරන බවත් යහපත් හෝ අයහපත් ලෙස කරන කර්ම මෙසේ විපාක වශයෙන් පසුපස ලුහු බදින බවත් බුදු පියාණන් වහන්සේ මනා ලෙස දේශනා කොට ඇත.


(පිටුව 20)
අප විසින් ප්‍රාණඝාත, අදත්තාදාන, කාම මිත්‍යාචාර, මුසාවාද, පිසුනාවාච, පරුෂාවාච, සම්පප්‍රලාප, දැඩි ලෝභ, වෛර, මිත්‍යා දෘෂ්ටි යන දස අකුසල් සම්පූර්ණ කර්ම පථ ලෙස හෝ අසම්පූර්ණ කර්ම ලෙස හෝ සිදුකර ඇත්නම් ඒකාන්තයෙන් මීට යම් සත්වයෙක් නැත්නම් පිරිසක් සම්බන්ධ ‍වීමෙන්ම කර ඇත.  කිසිවෙක් සම්බන්ධ නැතිව තනිවම පාපයක් සිදුවන මගක් නැත.  පුද්ගලත්වයක් නොසිතා දුසිරිත් හා කෝප සහගත සිත් ප්‍රවාහයක් නිපදෙව්වොත් ඉන් නැගෙන විෂ ශක්තිය විශ්වයට මුදැ හැරෙනු ඇත.  විශ්ව ‍ශක්තියේ විෂ වීම පරිසරයට මහත් හානියක් වන බැවින් එය පොදු සත්ව සංහතියටම කරන අපරාධයක් බව තේරුම් ගත යුතුය.  ඒවාට කවදා හරි තමන්ට වන්දි ගෙවන්ට සිදුවිය හැකි බවද තේරුම් ගත යුතුය.  විපාක වශයෙන් අප පසු පස ලුහු බදින සසරේදී සිදුවූ මෙබදු කර්ම අප්‍රමාණය.
කාටවත් වරදක් නොකර සිටින අපටම ඇයි මෙතරම් කරදර, මෙය නිතරම අසන්නට ලැබෙන මැසිවිල්ලකි.  අනන්ත සසරේ කල කර්ම බලවේග ක්ෂය කර ගන්නට අප්‍රමාණ මෛත්‍රිය වඩන ලෙස බුදු පියාණන් වහන්සේ දේශනා කර ඇත.  වරද වරද ලෙස තේරුම් ගෙන එබදු වැරදි මතු නොකරන්නට අදිටන් කර ගෙන කෙරුන වැරදි වලට සංවේග උපදාව කමා කර මෙත් පැතිර වීමෙන්ම මේ අකුසල් වලට වන්දි ගෙවනු ඇත.
කෙසේ කලත් ගෙවිය නොහැකි පාප කර්මද නැත්තේ නොවේ.  ආනන්තරික කර්ම මෙන්ම ඒවායේ ‍‍ශේෂයන්ද, ආර්ය ගුණ ඇති උතුමන්ට කරන ගැරහිලි, හිංසා ආදියද බොහෝ තද බල පාප කර්ම වෙති.
ලෝභ, ද්වේෂ, මෝහ සහගත සිතුවිලි, ක්‍රියා, වදන් සුළුවෙන් සැලකුවද නිතර නිතර භාවිතය හේතුවෙන් නොදැනුවත්ම දූසිත සිත් නැගී පුද්ගලයා අසත් පුරුෂයෙකු බවට පත්වේ. 
මෙකල පතින නොයෙක් මාදිලියේ ක්‍රීඩා, කය හැඩ කරන මෝස්තර, ප්‍රිය සාද, සුරා සැල් දියුණු සමාජයක අංගයන් සේ සැලකුවද ඒ සිය්ලල අවිද්‍යා ප්‍රත‍්‍යයෙන් හටගන්නා සංඛාරයෝය.  ගුණවත් ආදි බොදුනුවන් මේවාට කීවේ සංකර වැඩ කියාය.  එයින් වන සමාජ හානිය තේරුම් ගෙන සිටි ආදි බෞද්ධයා මහත් සංවේගයෙන් සංකර වැඩ කරන කාලකණ්නීන් වෙන්ට එපා යැයි නිතර චෝදනා නැගීය.  එසේ කලේ ඒ පින්තුන්ට කරදර නිසා නොව අවිද්‍යාවේ දූසිත වැඩ පිලිවෙල නිසා මතු සමාජය වැනසී යන බව දත් හුදු අනුකම්පාවෙනි.  පෙර සසිරි බර මෙසිරිලක අද දැවෙන ගිනි කන්දක් සේ වී ඇත්තේ මේ වටිනා අවවාද නොපිලිපැද සංකර වීම හේතුවෙනි. 

Jan 12, 2010

පිටුව 17 සහ 18


(පිටුව 17)
තවත් නොයෙක් අයුරින් ආධාර උපකාර කල පින්වතුන්ය.  මේ අයගේ ගුණ ඔප්නංවා නොයෙක් අයුරින් ගුණ කියා තමන්ට කල ආධාර උපකාර සිහි ගන්වා දෙමින් ඒ සැම දෙනාට සෙත් පැතිය යුතුය.
එසේම අසහ පොළොව ඇසුරු කරන, ගස් වැල් ඇසුරු කරන ඒ වගේම ඉහල විශ්වයේ සිටින දිව්‍ය, බ්‍රහ්ම සමුහයාද ඒ දේවත්වයන්ට පත් සිටින්නේ ලොවට සෙතක්ම කල බැවිනි.  එම ගුණ සිහිකර දී පින් පෙත් සෙත් ශාන්තිය ඒ අයටද පතුරුවන්ට සිහි කර දිය යුතුය.  එසේම කරුණාව, අනුකම්පාව උපදවා දුගති ගති සිව් අපා දුකින් පෙළෙන සත්වයින්ද සිහි කරවා පින්පෙත් සෙත් ආශිර්වාද කරවීමට ඒ කෙරෙහිද නැමීම විය යුතුය. අපට උදව් ලැබුනත් නොලැබුනත් හුදු දහාවෙන් අනුකම්පාවෙන් සියලු ලෝක සත්වයෝද සිහි කරවා එසැමටම සෙත් ආශිර්වාද පින් පෙත් පැතිර විය යුතුය.
වන්දනාමාන ‍පූජා සත්කාර සිදි කරන්නට පෙර දේශකයාණන් වහන්සේලාගේ චතුර කථිකත්වයෙන් දේශකත්වයෙන් ශ්‍රාවක සිත් සතන් මෙසේ හැඩ ගස්වන විට එම සිත් වලින් ගංගා ගලන්නා සේ ශාන්ති ජලය ගලන්නට පටන් ගනී.  මෙය අප ජීවත් වන පරිසරය සුවයෙන් නිවී සැනසීමට මහගු බලවේගයක් වනු ඇත.  මෙබදු සිතකයි, මෙබදු පරිසරයකයි තෙරුවන් ගුණ පිහිටන්ට හේතු වාසනා පහල වෙන්නේ.
දැන් අප තෙරුවන් ගුණයට ‍නැමෙමු
පෙර බොදුනුවෝ තෙරුවන් ගුණ ඔප්නැංවීමට භාවිත කල පැන් පූජා, භෝජන පූජා, දැහැත්, බෙහෙත් පූජා, මල්, සුවද කූරු, පහන් පූජා, කොඩි, වියන්, වටතිර පූජා, ආදිය ඒවායේ ගැඹුරු අර්ථ වැසී ගොස් නිකන්ම පූජා බවට පත්ව ඇත.  කල් යත් යත්ම අර්ධ නැණවතුන්ගේ විවේචන වලට ලක්වන බැවින් මේවාට සුන්දර බුදු දහම යන සමච්චල් සහගත කථාද අද අසන්නට ලැබේ.
සිව්පස පූජා එකකි.  උපහාර පූජා අනෙකකි.  බුද්ධ පූජා ආදියෙන් කෙරෙන උපහාර පූජා නුවණ මද බොදුනුවන්ගේ මෝඩ වැඩ ලෙසද තව පිරිසක් කියති.  අප බුදු පියාණන් වහනසේ බෝධිසත්ව කාලයේදී ත්‍රිලෝක විජය දේව චක්‍රවර්තී නම් රජෙක්ව සිටි කාලයේ බුදු, පසේ බුදු, මහ රහතන් වහන්සේලා මනෝමයව වැඩමවා දාන, ආවාස ආදිය මවා කල මහා පූජාවක් ගැන ආනන්ද හාමුදුරුවන්ට කල දේශනාවක් අපදාන පාලියෝ බුද්ධාපදානයේ සදහන්වේ.  


(පිටුව 18)
එම පූජා ආනිසංස හේතු කරගෙන භවයක් භවයක් පාසා අත දිගු කරන සැනින් මහා ලැබීමක් ඇති වු බවද සදහන් වේ.
බුද්ධ භාෂිතයේ අරුත් මැනවින් වටහා ‍ගන්ට "ඒවං උපසංහරතී" යනුවෙන් මෙසේ සංසන්ධනය කර බලන්ට යැයි උපමා සසදා දහම් තේරුම් ගන්නට ක්‍රම ත්‍රිපිටක ග්‍රන්ථ වල බොහෝ සෙයින් පෙන්වා ඇත.
ඉහත කී පූජාවෙන් අර්ථවත් දහමට සසදමින් සිදු කිරීමෙන් මහත් යහපතක්ම වන්නේය.  කෘතෝපාකාර සලකන උතුම් බොදු පිරිසක් බිහිවෙනවා සේම එම ගුණය උතුම් ගැඹුරු දහම් අවබෝධයට පසු තලයක්ද වනු ඇත.  පූර්ව ගුණවතුන් දුර්ලභ බව බුදු පියාණන්වහන්සේ දේශනා කර ඇත.  කෘතගුණ සලකන අය ඊටත් වඩා ඉතා දුර්ලභ බව බුදුවී දෙවැනි සතියේදී පෙන්වා ආදර්ශය දීමෙන්ම එය වඩාත් ස්ඵුට වේ.  ඉහත කී උපහාර පූජා වලින් සිදුවන යහපත එම උතුමන් වහන්සේලාට නොව තමාගේම චිත්ත ප්‍රසාදය දියුණු වීමයි.  ‍ශාසන ගුණ සිහි කිරීමේදී චිත්ත ප්‍රීතිය හට ගැනීමයි.
"ප්‍රීති මනස්ස කායෝ පස්සද්ධති, පස්සද්ධ කායෝ සුඛං දේති, සුඛිනෝ සමාධියති." යන බුද්ධ භාෂිතය අනුව මෙය සමාධියටද බලවත් රුකුලකි.
දහම් ගුණ සිහි කරන විට ඇතිවන ප්‍රීතිය සිතකය සැහැල්ලුවටද, එම සැහැල්ලුව සුඛයටද, සුඛය සමාධියටද හේතුවන බව දහමේ සදහන් වේ.  
"සුඛං ගබ්භං ගන්හන්තං ත්‍රිවිධං සමාධිං පරිපුරෙන්ති, ක්ෂණික සමාධිං, උපචාර සමාධිං, අෂ්පනා සමාධිං" යනුවෙන් ධර්ම සංගනියට අයත් අභිධර්ම ග්‍රන්ථ වලද සදහන් වේ.  සුඛය ගැබ් ගැනීම යනු හදවත ඇසුරේ පිහිටන දහම් ගුණ සුවයයි.  දහම් ගුණය හදවතේ පිහිටන විට ක්ෂණික සමාධියටත්, උපචාර සමාධියටත්, අර්පනා හෙවත් ධ්‍යාන සමාපත්තියත් පිරෙන බව ඉහත පාඨයේ සදහන් වේ.
දේශකයාණන් වහන්සේගේ චතුර කථිකත්වයෙන්, දක්ෂතාවයෙන් සෑම ශ්‍රාවක හදවත් බුදු මැදුර සේ සිහි ගන්වා දෙතිස් මහා පුරුෂ ලක්ෂණ, අසූ අනු ව්‍යංජන දෙසිය සොළොසක් (216ක්) ශ්‍රී පාද ලකුණු සහිත ශ්‍රී බුද්ධ ‍දේහය දිවමන් මුනිදු සේ මනසින් මවා, එසේ සියළු බුදු පියවරු මනසින් මවා, හදවත් බුද්ධ මන්දිර වෙත වැඩමවා, හද පුදසුනට වඩමවා, සුදු නෙළුම් ආසන මවා වඩා හිදුවා, මහා සංඝ රත්නයද සංවර ගුණ රුවින් මවා, හද පුදසුනට වැඩමවා, සුදු නෙළුම් ආසන මවා වඩා හිදුවන ආකාරයට ගුණ රුව ඔප්නැංවිය යුතුයි.  ශ්‍රාවක පිරිස බුදු ගුණයෙන් ඔප්නැංවී ජය ශ්‍රී මහා බෝධි මලුවක සිටින ලෙස සිතින් මවා ගන්නට මානසික පරිසරය ඇතිකල යුතුයි.  මේ පෙර අතීතයේ තිබුන තෙරුවන් ගුණ පූජා ක්‍රමයක් නමුත් අද යටපත්ව ගිය දහම් පූජා ක්‍රමයකි.  

Jan 11, 2010

පිටුව 15 සහ 16

(පිටුව 15)
එසේම සියලු දානයන් අතර උසස්ම දානය වන ධර්ම දානය දෙන විටදී දේශකායාණන් වහන්සේලා අප්‍රමාණ සක්වල සත්වයන් පොදුවේ මෙන්ම වෙන් වෙන්වද ගුණවතුන් මූලිකව ආරාධනා කිරීම ඒ උතුම් ගුණයෙන්ම කොටසක් කරගනී.
ශාරීරික, පාරිභෝගික, උද්දෙසික යන තුන් ආකාර පූජා විධි ක්‍රියාත්මක කරමින් හදවත් ‍උතුම් පින් කෙත් කරන පූර්ව කෘත්‍ය විධි අනුගමනය කරයි.
මිනිස් හදවත් සරුසාර කරන පින්කෙත් කරන මේ ගුණයෝ ආර්ය ගුණ පිහිටන තෝතැන්නක් කරන පළමු වැඩ පිළිවෙලයි.  මේ කටයුතු අර්ථවත්ව සිදුකළොත් ඥාණ සම්ප්‍රයුත්ත චිත්ත ගුණ සම්පන්න භාවයට මහත් රුකුලක් වනු ඇත.
තෙරුවන් ‍ගුණ පූජෝපාහාර නිතර කරන විට අර්ථවත්ව ඉහත කී ගුණ ක්‍රියාත්මක කිරීමෙන් උතුම් ධර්මාවබෝධයට මහත් උපනිශ්‍රයක් ලබා‍දෙනු ඇත.  දේශකයාණන් වහන්සේලා තෙරුවන් ගුණ පූජෝපහාරයට පළමුව අර්ථවත් ලෙස ගුණ ඔප්නංවා මේ ආරාධනාව කරන විට ශ්‍රාවක චිත්ත සන්තාන එම ගුණ වලින් ඔප්නැගී කෘත ගුණ සලකන පින්වත් පිරිසක් බවට ක්‍රමයෙන් අවතීර්ණ වේ. 
අනන්ත සක්වල දිව්‍ය, බ්‍රහ්ම මෙන්ම අමනුෂ්‍ය ආදී සියල්ලෝ තෙරුවන් ගුණ ගරුකර ශානතියෙන් මේ ආරාධනා පරිදි පැමිණෙත්වායි ‍අරුත් බර ලෙස ගුණ සිතින් ආරාධනා කරන විට ශ්‍රාවක පිරිසගේ සිත්ද අනන්ත සත්වයන් කෙරෙහි දයාවෙන් පිරී යන්නේය.  එබදු ප්‍රසන්න සිතක් පහළ වූ විටය ‍කෘත ගුණ සැලකීමේ ශ්‍රේෂඨත්වය සිතක මුල් බැස ගන්නේ. 
අනන්ත සංසාරයේ පටන් ‍අපට උදව් කල, උපකාර කල ඥාති හිතෛෂීන් සිහි කර කෙබදු බවයක, කෙබදු  උපතක සිටියත් අප කරන මේ පුණ්‍ය කුසල ශක්තිය එම අයට පැතිරි සුගතිය නිවන ‍ලැබේවායි.  ‍දේශකයාණන් වහන්සේ අර්ථවත්ව විස්තර කර ශ්‍රාවක පිරිස එහි සමාදන කරවිය යුතුයි.  ක්‍රමයෙන් කෘත ගුණ පූර්වකව පහළ වන පින් සිත් දහරාව ශ්‍රාවකයා යහ මග පිහිට වීමට අත්වැලක් වනු ඇත.

(පිටුව 16)
සත් ගුණයෙහි නොපිහිටි චිත්තාවලියක් ඇති කෙනෙකු තම අතින් සිදුවූ වැරදි වලට සමාව ගැනීම තමා පහත් වීමක්, නීච වීමක්, සේ සලකා උඩගුව මානයෙන් මත්ව සිටියොත් එබන්දා ගුණ නොපිහිටයි.
ඒ නිසා මේ මොහොතේ පටන් අනන්ත ආදී සසරේ සැරිසරාගෙන එනවිට සත්වයන් අප අතින් නොයෙක් දස අකුසල් කර්ම, කර්ම පථ ආදියෙන් වැරදි සිදුවී ඇති බව අනිවාර්ය ලෙස නිහතමානීව පිළිගෙන සමාව ඇයැද සිටයි යුතුයි.  වන්දි ලෙස තෙරුවන් ගුණ උපහාර ආදියේ යෙදෙමින් නිපදවන පූණ්‍ය සම්භාරය ඒ අයට ‍කොහි සිටියත් ලැබේවායි ආශිර්වාද කළ යුතුයි.  මෙහිදී ගුණයට නැමී පිහිටන චිත්තාවලිය මින්පසු අතපසු වීමකින් හෝ කෙනකු කෙරෙහි අවැඩක්, වරදක් වුවොත් කමා කර ගැනීමටත් වන්දි ලෙස මෘදු වදනින් ආසිරි පැතීමටත් නැමී සිටිනු ඇත.  තම අතින් වැරදි වීම ලොකු අවැඩක් සේ වැටහී යනු ඇත.  මේ ගුණවත් වීම ආර්ය ධර්ම මුල් බැසගන්ට මහත් රුකුලක් වේ.  අපට යම් යහපතක් ලැබුනොත් ඊට මුලික පසුතලය සකස් කර දුන් උදව් කල අය සිහි කර යම් සෙතක් කිරීම උතුම් ගුණයකි.  මතු අභිවෘද්ධියට කරුණකි. 
මිනිසත් බවක් ලබාගෙන කෙලෙස් ගින්න සදහට නිවා ගන්නට උතුම් අවස්ථාවක් ලෙස ශාසන ගුණයට බැස ගන්ට ලැබෙන්නේ අති දුලබවයි.  එබදු මිනිසත් බවක් ලබන්නට සසරෙදි පින් සුචරිත පුරුදු කර පුණ්‍ය වන්තයෙක් විය යුතුය.  එකල්හි උදව් උපකාර කල අයද සිහි කරවා සෙත් පැතීම තවත් උතුම් ගුණයක් ශ්‍රාවක සිත් තුල පහල කරවීමකි.
අනුක්‍රමයෙන් චිත්ත ශාන්තියට, ගුණයට නැමෙන තරමට උතුම් ගුණ ඔප්නැංවෙන්නට හේතු වාසනා ලැබේ.  ගුණවතුන්ගේ ගුණය තේරුම් ගත නොහැකි මුලාව නිසා එම ගුණවතුන්ට නොසැලකීම, සාප කිරීම චිත්ත දාහ ගින්නෙන් ලොවම වනසන මහා සාපයකි.  මේ ගිනි පිට නොකලහොත් එයින් ලෝක පරිසරය පවා නිවී සැනසෙනු ඇත.  කිසිම මුදලකින්, බලයකින් ජය ගන්න බැරි මේ ලෝක ශාන්තිය ලබාගත හැක්කේ සිසිල් දිය කදක් වන් ශාන්ත වූ සිත්වලිනි.
‍බුදු, පසේ බුදු, ශ්‍රාවක ආර්ය උතුමන් ලගට සිටන පූර්ව උපකාරී වූ මහා ගුණවතුන් නම් දෙමව්පියෝය.  ඊලගට කුඩා කල සිට හැදූ වැඩූ පිරිසය.  ඊලගට ශිල්ප ශාස්ත්‍ර ගුණ ධර්ම කියාදී සුචරිතයෙහි, ගුණ ධර්මයෙහි,  ඉගෙනීමෙහි පිහිටවූ ගුරුවරුය. 

පිටුව 13 සහ 14

 
(පිටුව 13)
දැනට වසර දහසකට පමණ පෙර එබදු උතුමන්ගේ විශේෂත්වයක් අභිඥා බල ආදියෙන් විද්‍යාමාන වූ අයුරු නොයෙක් පොත්වල සහ භාවිතයේ පවතියි.  මෙකල සමහර දේශකයාණන් වහන්සේලා ඊට පිළිතුරු ලෙස මැජික් පෙන්වීම බුද්ධාගම නොවේ කියා ලිස්සා යන්නට මාන බලති. 
අනුන් රවටන මැජික් කා‍රයෝ නම් කෙසේ වත් බෞද්ධයෝ යැයි පිළිගත නොහැක.  එහෙත් පංච අභිඥා අෂ්ට සම්පත්ති මැජික් ගණයට දමා කථා කිරීම නම් යහපත් කථාවක් නොවේ.  ඒ උත්තරීතර ගුණාංග හැකියාවන් සෘද්ධි බල මැජික් ගණයට දැමුවොත් ත්‍රිපිටක පෙළ දහම් සූත්‍ර වලින් හරි අඩක් පමණ ඉවත් කරන්න සිදුවේ.  බොරුවක් සත්‍ය යැයි, ධර්මයැයි පවත්වාගෙන ආවා නම් ඒ පෙළපතම බෞද්ධ ගණයට තබන්නටද බැරිය.  වසර දෙදහස් පන්සීයක පමණ දඅර අතීතයට පටන් ගෙන ආ ථෙරවාදී බුදු දහම තම තමන්ගේ දෘෂ්ඨි මත වාද මත වෙන්කරන්නට ගියොත් අද ලක්දිව සග පරපුරම අනාථය.  බෞද්ධ පිරිසම අනාථය.  පෙළ දහම් වැකි නොකපා ඒවාට කලින් කල දුන් අරුත් විමසනවාත් ඇත්දැයි විමසීම නම් ඉතා යහපති.  අරුත් විපරිතයක් වූවා නම් හෙළ අටුවා විනාශයෙන් පසු සිදු වූවක් විය යුතුය.
හෙළ අටුවා පැවති දැනට වසර දහසකට ආසන්න පෙර කල ධ්‍යාන ලාභී, අභිඥාලාභී, මාර්ගඵල ලාභී උතුමන් වැඩ සිටිය බව, පොත පතෙහි මෙන්ම සමාජ ආශ්‍රිත ජනකථා ආදියෙහිද සදහන් වේ.  මෙවන් විස්තරයක් කරන්නට සිදු වූවේ ආර්ය මාර්ගය විමසා තේරුම් ගන්නට පෙර පූර්ව ශාසන පසුතලය තේරුම් ගෙන සිටිය යුතු බැවිනි. 
ශාසන මූල පරිසරය වික්ෂිප්ත වී ගියහොත් උතුරු මිනිස් දම් පහළ ‍කිරීමට හේතු කාරක වූ උපනිශ්‍රය දුර්වල වී යනු ඇත.
කරුණු, කාරණා හරියට තේරුම් ගන්නට නොහැකි වුවහොත් අපගේ උත්තම ථෙර පරපුර වැඩ සිටි වසර දෙදහස් පන්සීයක පමණ දුරාතීතයේ පටන් පැවතුන වන්දනාමාන පුද සත්කාර ක්‍රම විපරීත අදහස් වලින් යටපත්වී ආමිස පූජා භාණ්ඩ ගණයට, මෝඩ බෞද්ධ ඇදහිලි ගණයට ඇද වැටී විනාශ වීමට පුළුවන.  සුන්දර බුද්ධාගම යැයි අපවාද කරන්නටද පුළුවන.  අරුත යටපත් වුවොත් ප්‍රතිඵලද යටපත් වනු ඇත.  එම අරුත නුවණින් විමසා බලා යළි ඔප්නංවනවා වෙනුවට මෙතුවක් කල් පවත්වා ගෙන ආ ක්‍රම රාටාව විනාශ කළොත් වන්නේ කබලෙන් ලිපට වැටීමටය. 

(පිටුව 14)
අරුත් බර බෞද්ධ ජීවිතයකට අඩිතාලම දැමුන උපහාර පූජා භාණ්ඩ විදි අරුත යටපත් වීමෙන් සෝදා පාළුවට ලක්වීම මෙකල බෞද්ධ පින්වත් පිරිසට ධාර්මික හැගුම් දුබල වීමට හේතු වී ඇත.  අරුත් බර දහම් හැගුම් වෙනුවට කාමුක වූ, දූෂ්‍ය වූ, සංකර සිරිත් විරිත් මහත් ඕනෑකමින් බදාගන්නට පිරිස පෙළඹෙනු ඇත.  සංකර වැඩ කොතෙක් ලොව විද්‍යාමාන වුවත් දහමින් සත් චර්යාවෙන් පෝෂණය වූ බෞද්ධ චිනතනය වී සියල්ල පා පෑගෙන දූවිලි සේ ප්‍රති‍ක්ෂේප කරන්ට දක්ෂ වනු ඇත.
පැරණි බොදු අරුත් මතුකර නව බොදු ජීවයෙන් පනගන්වා ගත් බොදු පිරිසකට ඒ උත්තරීතර ධ්‍යාන, අභිඥා, මාර්ග ඵල සදහා ඇති බාධක පළමුව මග හරවා ගත හැකිය.
බෝ මළුව, සෑ මළුව, චෛත්‍ය, විහාර ගෙය ආදී පුරාතනය බොදු අසිරිත බැබලුන සිද්ධස්ථාන ඇසුරු කර දහම් රසයෙන් පන පෙවුන බෞද්ධ වන්දනාමාන පූජා උපහාර සම්ප්‍රදායික හර පද්ධතියෙන් ඉවත පැන කාමුක රංග මණ්ඩල බවට නිරායාසයෙන් ඇදී යන බව මෙකල නොරහසකි.  මේවාට පුද්ගලිකව දොස් නැගීම සුදුසු නැත.  දුසිරිත් ඇසුරු දුසිරිත් ප්‍රතිඵල ලබාදෙන බව ධර්මතාවයකි.  පෙර කල හරවත්ව සිදුකල සුචරිත ධාර්මික හර පද්ධතිය උද්දීපනය කර දුසිරිත් ඵලය මුලිනුපුටා දමන්නට මෙදලද කල් පසුවී නැත. 
යොනිසෝ මනසිකාරයෙන් යුතුව පෙර පටන් අරුත් බරව කර ගෙන ආ ශාසන සිරිත් විරිත් පූජා විධි විමසා බලා යලිදු භාවිතා කරමු.  
බුදු පියාණන් වහන්සේ බුද්ධත්වයෙන් පසු පළමුව ලොවට පෙන්වා වදාළේ කෘතෝපකාර සැලකීමේ උතුම් ගුණයි.  "අනිමිස ලෝචන"  පූජාව යැයි මෙය පෙන්වා දෙයි.  
කෘතගුණ සැලකීම ප්‍රධාන කරගත් බෞද්ධයා අන්‍යේන්‍ය සහයෝගය.  ලාභය සියල්ලන් අතර බෙදා හදා පරිභෝගය.  පලි නොගැනීම.  සමගියෙන් සාමයෙන් ජීවත් වීම උසස් ගුණාංගයන් කොට සැලකූහ.  
බෞද්ධ චාරිත්‍ර වලදී මේ ගුණ ඉහළින්ම කැපී පෙනුණි.  මෙකලද මේ සිරිත් එතරම් අර්ථවත් බව නොවැටහුනත් චාරිත්‍ර වශයෙන් මගුල් ගෙයක්.  දානයක් උත්සවයක් යෙදුන විට තම ගම් වාසීන්ට හිතවතුන්ට දැනුම් දී සහභාගී කරවාගෙන බතින් බුලතින් සංග්‍රහ කොට තුටු සිතින් එම කටයුතු කරන්නට වග බලාගනී.    

Jan 8, 2010

පිටුව 11 සහ 12


(පිටුව 11)
බුද්ධ කාලයේ විසූ පෝඨිල නම් හිමි නමක් කකුසද, කෝනාගමන, කාශ්‍යප යන බුදු පියාණන්වහන්සේලාගේ ශාසන වල පැවිදිව ධර්ම දේශනාද කර මේ ගෞතම බුද්ධ ශාසනයේද පැවදිව ධර්ම දේශනා ක‍ලත් මේ උතුම් බුදු වදන ප්‍රත්‍යක්ෂ නොකිරීම හේතුකොටගෙන තුච්ච පෝඨිල (හිස් පෝඨිල) යැයි බුදු හිමියන් ගෙන්ම අපවාද ලබා ඇති බව ධර්මයේ සදහන් වේ.  
ශ්‍රවණය කරමින්, මනා නුවණින් නිතර සිහි කරමින් ඒ ධර්මයට අනුව හැසිරෙමින් කටයුතු කරන සත්පුරුෂයන්ටයි.  අදහස ප්‍රත්‍යක්ෂ වශයෙන් දැන සෝතාපන්න මාර්ග ඵලයට පත්වන්ට ලැබෙන්නේ.  එබැවින් මමත් මේ පදය දනිමියි උඩගු නොවිය යුතුයි.
යථා භූත ඥානය හෙවත් බොරුවේ ඇති සැටි වැ‍ටහෙන්නට සමාධිය ප්‍රධාන උපනිශ්‍රයයි. ආර්ය වූ අට මගක් අනුගමනය කිරීමෙන් ලැබෙන ආර්ය සමාධි චිත්තයටයි මේ ප්‍රත්‍යක්ෂය ලැබෙන්නේ.
ආර්ය මාර්ගයට අයිති කොටස් අටෙන් පළමු කොටස සම්මා දිට්ඨි නමින් හදුන්වයි.  පස් ආකාරයකින් සම්මා දිට්ඨි යන හංගය දේශනා කර ඇත.
සම්මා දිට්ඨි කොටස් පහකට බෙදා දක්වන්නේ මෙසේයි.
1. කම්මස්සකථ සම්මා දිට්ඨි
2. ධ්‍යන සම්මා දිට්ඨි
3. ඥාන සම්මා දිට්ඨි
4. මාර්ග සම්මා දිට්ඨි
5. ඵල සම්මා දිට්ඨි
ආර්ය අෂ්ටාංගික මාර්ගයේ එක හංගයක්වත් ශාසනයෙන් පිටත සහ අබුද්ධෝත්පාද කාල වල විද්‍යාමාන නොව බව ත්‍රිපිටක ග්‍රන්ථ වල සටහන් වේ.
කම්මස්සකථ සම්මා දිට්ඨිය සහ ධ්‍යාන සම්මා දිට්ඨිය අබුද්ධෝත්පාද කාල වලද ප්‍රකටය.  එසේ නම් ආර්ය අෂ්ටාංගික මාර්ගයට අයත් සම්මා දිට්ඨිය කුමක්දැයි විශේෂයෙන් දැනගත යුතුයි.  එනම්,
"දුක්ඛේ ඥානං, දුක්ඛ සමුදයේ ඥානං, දුක්ඛ නිරෝධේ ඥානං, දුක්ඛ නිරෝධ ගාමිණී පටිපදාය ඥානං අයං වුච්චති භික්ඛවේ සම්මා දිට්ඨි"


(පිටුව 12)
"දුක පිලිබද ඤාණය, දුකට හේතුව පිලිබද ඤාණය, දුක නැතිකිරීම පිලිබද ඤාණය, දුක නැතිකිරීමේ මාර්ගය පිලිබද ඤාණය  සම්ම දිට්ඨිය" ලෙස ඉහත පාඨයෙන් පෙන්වා වදාරා ඇත. එය නම් තෙවනුව කී ඥාන සම්මා දිට්ඨියයි.
වචන වශයෙන් භාවතා කල අට මගක් අන්‍ය පරිබ්‍රාජික පිරිස් අතරද පෙර තිබූ බව පෙළ දහම් පොත්වල පෙන්නා ඇත.  ශාසන අරුත එකකි.  ලෝක අරුත අනෙකකි.  දහම් අරුත ඔප් නංවා සිව් පිළිසිඹියා පත් මහ රහතන් වහන්සේලා ගෙනා අරුත් තිබූ හෙළ අටුවා මේ වන විට විනාශ වී හෝ විනාශ කර ඇති බැවින් ඒ අරුත සදහන් පත් ඉරුවක් පමණකුදු මෙකල දක්නට ලැබෙන්නේ නැත.
බුදු දහම දරාගෙන ආ පිරිස් අතර බ්‍රාහ්මණ, ශිව, මහායාන, අදහස් දැරූ පිරිස් සිටියා නම් දහම් පද අරුත් විපරිත වීමට බොහෝ සෙයින් ඉඩ කඩ ඇති විය හැකියි.
මෙහිදී අංගය හා හංගය යන වචන වල අරුතද තේරුම් ගත යුතුය.  මෙකළ අංග අටකින් යුත් මාර්ගයයි අර්ථ දැක්වුවද නියම වචනය විය යුත්තේ හංග අටකින් යුත් මාර්ගය යන්නයි.  
අෂ්ට + හංගික මාර්ගය යන්න පද එකතුවේදී අෂ්ටාංගික කියා සම්බන්ධ වන අයුරු තේරුම් ගත යුතුයි.
අංග යනු ගැටීමට හේතුවන යන අරුත් ගෙන දෙන්නක් බව මුලදී පෙන්වා ඇත.  අද වචන භාවිතයේදී හංගනවා යන පදය බලන විට පෙනෙන්නට තිබූ දෙයක් අදෘෂ්‍යමාන කල විට භාවිත කරයි.  හංගනවා, හැංගුවා ආදී වචන වලින් එය ස්ඵුට වේ.  අංග නසන අර්ථයෙන් හංග යැයි භාවිතා වේ.  දහ හංගේහි සමන්නාගතෝ අරහාති ආදී බුද්ධ වචන විමසා බලන්න.
ධර්ම ‍කොට්ඨාශ වල අරුත යටපත් වුවොත් පෙල දහම් පද විද්‍යාමාන වුවත් ආර්ය ධ්‍යාන මාර්ගඵල අවබෝධයට එය මහත් බාධාවකි.  ඒ උත්තරීතර ඵලයන් බලාපොරොත්තුවෙන් භාවන කරන පිළිවෙත් පුරන ස්වාමීන් වහන්සේලා මෙන්ම ගිහි පින්වතුන් මෙකල දුලභ නැත.  එහෙත් උතුරු මිනිස්දම් කියන ධ්‍යාන මාර්ග ඵල ලැබූ පින්වත් පිරිස් ගැන අසන්ට පවා දුර්ලභය.

පිටුව 09 සහ 10

(පිටුව 09)
තෙවනුව ඇත්තේ සග්ග කථාවයි.
සාම්ප්‍රධායිකව ස්වර්ගය හෙවත් දිව්‍ය ලෝක සම්පත් ගැන දේශනා කරන විට දිව්‍ය කාමයට හිත බැදෙන ලක්ෂණ ඇතිවිය හැකිය.  කාම පිපාසයෙන් සසර දුවන සත්වයන්ට දිව්‍ය සම්පත් ගැන දේශනා කරන විට ඉතා ප්‍රවේශමෙන් සිහි එළවා ගෙන ඒ දේශනා කල යුතුයි.
මිනිස් ලොව, දෙව් ලොව, බඹ ලොව ආදී සුගති ස්ථානවල උපත ලැබීමෙන් ශාසන පිළිවෙතට ලැබෙන මහත් උපනිශ්‍රය පිලිබදව විග්‍රහ කිරීම ඉතා යහපති.  ආයුෂ, වර්ණය, සැපය, බලය, නුවණ ලැබුවත් කාම සම්පත්තියට, භව සම්පත්තියට, වහල් වුනොත් නිසි ඵල නොලැබෙන බැවින් ඒ ගුණාංගයන් සසුන් මග වඩන්න අත්‍යාවශ්‍යබව පෙන්වා සුගති උපදෙස් නිසි ඵල ලැබෙන්නේ එසේ අදිටන් කරගැනීමෙන් බව දේශනා කිරීමෙන් මෝහක්ෂයට මහත් අනුබලයක් ලැබෙන අයුරු විග්‍රහ කිරීමෙන් සග්ග කථාව මල් ඵල දරනු ඇත.
සිව් වෙනුව ඇත්තේ ආදීනව කථාවයි.
රාග ක්ෂය, ද්වේශ ක්ෂය, මෝහ ක්ෂය නිවන බැවින් ඊට උපනිශ්‍රය ලැබුන කෙනෙකුට ආදීනව කථාව ඉතා තදින් කාවැදී නිවනට බර වනු ඇත. 
ආදීනව කථාවේ ලෝ සතුන් දුගතිවල විදින දුක් කරදර ‍කීම මෙන්ම ‍මොන සුගතියක උපන්නත් දුකසේම ප්‍රත්‍ය සංස්කාර සකසන හැටි, ලැබෙන කුමන ආකාර සුගති භවයක් නමුත් විපරිණාමයට පත්ව සියළුදේ ගෙවී‍ගොස් විනාශ වන හැටි නොයෙක් ලෙසින් විස්තර කර වැටහෙන්නට වේ.  හිස්‍ ලෙස මෙන්ම ගැවසෙන්ට වටිනා ස්ථාන නොවන ලෙස වැටහෙන්ට පටන් ගනී.
කුමන භවයක මොන සම්පත්තියක් දැරුවත් ඒවා ලබාදුන් පුණ්‍ය කර්ම ශක්තීන් ගෙවී යන බැවින් එම සම්පත් සුබ සේ පෙන්වන මායාවක් ලෙස සත්වයා මුලාකර දුක් ගිනි කවමින් සසර ඇවිද්දවන මායාවක් බවත් ඒවා නැති නම් දුක නැති බවත් ආදීනව ලෙස පෙන්විය යුතුයි.
මෙසේ සසර ගිනි ලෙස, හිස් ලෙස ආදීනව දකින විට ඒ ගිනි නිවා දැමීමම සැනසීම ලෙස ශ්‍රාවකයාගේ සිත, නිවන දෙසට නැමෙන්නට පටන් ගනී. 


(පිටුව 10)
දේශනාවේ අවසාන කොටස නෙක්කම්ම කථාවයි.
නෙක්කම්ම කථාවේදී පරම රමණීය වූ අති උතුම් අජරාමර ‍නිවන් සම්පත්තිය ලැබේවායි දේශනා කරන විට නිවනේ ඇත්දැකීම් නැති සාමාන්‍ය මිනිසාට පැවැත්මක ස්වභාවයක්ම නිවන ලෙස සිතී මුලා වීමටද ඉඩ ඇත.
ඒ දුක් සහිත, ගිනි සහිත භව ගමනකට හේතුවන මුලා සහගත තෘෂ්ණාවෙන් නික්මීම නිවන බවත් ඒ සදහා ආර්ය වූ අෂ්ටාංගික මාර්ගය තේරුම් ගෙන පිලිපැදීමෙන් දුක් ගින්නෙන් සදහටම නිදහස් වන බවත් ක්ලේෂ පරිනිර්වානය සහ පංචස්කන්ඛ පරිනිර්වානයම මහා දුක් ගිනිකද නිවන නියම සැනසීම ලෙසින් දේශනා කරන විට දුක පිරිසිද දැන දුක් ගින්නට හේතුවන තෘෂ්ණා දෘෂ්ටි දුරු කර නිවන ප්‍රත්‍යක්ෂ කර සැනසෙන්නට අප්‍රමාදව දුක් දුරු කරන ප්‍රතිපදාව භාවනා කල යුතුයි.  යන ආර්ය දර්ශනය ඇතිවනු ඇත.
"යං කිඤ්චී සමුදය ධම්මං - සබ්බං තං නිරෝධ ධම්මං"
"යම් කිසි හටගන්නා ධර්ම ස්වභාවයක් වේද ඒ සියල්ල නැසෙන ස්වභාවයෝය"  නිරෝධ යන්නට සැරිසැරීමට නුසුදුසු යන අරුත ඉතා සුදුසු බව පෙනේ.
ඒ අදහස සරල ලෙස වැටහුනද සුළු පටු අදහසක් නොවේ.  ලොව්තුරා බුදු පියාණන් වහන්සේ නමක් විසින්ම මේ අදහස විද්‍යාමාන කරන තුරු ලොව කිසිවෙකුටත් පළමුව ගෝචර නොවන අදහසකි.  බුදු සසුනක් අතුරුදන් වූ පසු යලි බුදු වරයන් වහන්සේ නමක් ලොව පහල වන තුරු බුද්ධාන්තරයක් කියන අති දීර්ඝ කාලයක් තුල අවිද්‍යාමානය.
මේ අදහස ප්‍රත්‍යක්ෂ වන්නේ සක්වලක සත්වයෝ මහ පොළවට සම කළොත් නිය පිටට ගත් පස් තරම් ඉතා සුළු ප්‍රමාණයකටය.  එනම් ගෞරවයෙන් මේ බුද්ධ වචනය ශ්‍රවණය කළ සත්පුරුෂ බුද්ධිමතුන්ටය.  බෞද්ධ නාමයෙන් බොහෝ දහම් පද කට පාඩම් කරගෙන තර්ක වාදයට බැසගත් පින්වත් පිරිසටද නුවණින් මෙනෙහි නොකිරීම හේතුවෙන් ගල පිට කැද වත්කලා සේ උඩින් මත්තෙන් අරුත නොවැටහී පදය ලිස්සා යන්නේය. 

Jan 7, 2010

පිටුව 07 සහ 08

(පිටුව 07)
දස අකුසලයෙන් මිදී නිතර සිහියෙන් හිදිමින් සීල ගුණය හිස් මුදුනින් දරාගෙන විමුක්තිය කරා පිවිසීමට තමාම මග අනුගමනය කරන්ට අධිෂ්ඨාන කරගත් විට සමාධියට ඇති බාධා පහව ගොස් ශාසන දොර ඇරෙනු ඇත.
මෙබදු ගුණවතෙක්ව සිටි ශාසන ගුණ වැඩූ කළණ මිතුරෙකුගෙන් (භික්ෂූ, භික්ෂූණී, උපාසක, උපාසිකා) චතුරාර්ය සත්‍යය ඔප්නංවන දහම් ඇසිය යුතුය. 
එම කළ්‍යණ මිත්‍ර සිව් පිරිස කෙරෙහි ගෞරවාදරයෙන් සතුටු සිතින් දහම් ශ්‍රවණය කල යුතුය.  කළණ මිතුරෝ කිසි විටෙකත් ඒ ගෞරව, සත්කාර පුද්ගලික බුදලයක් ලෙස මානයෙන් නොසිතති.  ඒ සියල්ල සම්බුදු ශාසනයටම ලෙස අදිටන් කරති.  දස අකුසලයෙන් වෙන්ව සිටියත් තවම ශාසනික සීලය ලැබී නැත.  ඇත්තේ දස අකුසලයෙන් වෙන්වූ වතකි. 
"යං සමාදානං තං වතං - සංවරට්ඨේන සීලං"
"යම් සමාදානයක් ඇත්ද එය වතකි - සංවරත්වයේ පිහිටීමක් වේද එය සීලයකි" යනුවෙන් ඇති දේශනාවෙන් එය පැහැදිලිවේ.   
සංවරත්වයේ පිහිටීම කෙසේ ‍සිදුවේද?
වත සීලයට උපනිශ්‍රය වේ.  ශාසනයේ සිව් පිරිස් කෙරෙහි චිත්ත ප්‍රසාදයෙන් බණ අසන විට තදංග ප්‍රහාණ යනුවෙන් සංවරත්වයේ පිහිටීම ඒ අවස්ථාවේ සිදුවනු ඇත.
දේශකයාණන් වහන්සේ අනුපූර්ව කථාවෙන් අනුකම්පාවෙන් දහම් දෙසන විට ශ්‍රාවකයා විසින් චිත්ත ප්‍රසාදයෙන් ධර්ම ‍ශ්‍රවණය කල යුතුයි.
දාන කථාවෙන් දේශනාව ආරම්භ කරන විට සාම්ප්‍රදායික ක්‍රමය අනුව අද තිසරණ සමාදන් කර පන්සිල් යැයි කියා පංච ශික්ෂාවන් සමාදන් කරවා ධර්ම දේශනා කරනු ඇත.
බුදු රජාණන් වහන්සේ අනුගමනය කල ක්‍රමය ත්‍රිපිටකය පොත්වල ‍සදහන් වන්නේ මීට වෙනස්වය.


(පිටුව 08)
"තං සුනාථ - සාධුකං මනසි කරෝථ"
"මෙය ශ්‍රවණය කරන්න - මනාසේ මෙනෙහි කරන්න"
"සුනාථ ධාරේථ චරාථ ධම්මේ"
"ශ්‍රවණය කරන්න, දරාගන්න, ධර්මයෙහි හැසිරෙන්න"
මේ ආකාර අවවාද කර ධර්ම දේශනා කල බවයි සදහන් වන්නේ.
දේශනාවේ පළමු කොටස දාන කථාවයි.
බොහෝ කොට අද භාවිත කරන්නේ දානය ගැන වර්ණනා කිරීමයි.  දන් දීම යහපතක් බව ඇත්තකි.  දානානිසංසද දැන ගැනීම ඉතා ‍හොදයි, සුමනා, සුජාතා වැනි අය මහා දානපතිනියන් ලෙස සිටි අයුරු එසේම දානයෙන් සම්පත්, යස ඉසුරු ලැබෙන හැටි මේ ආදිය දෙසන විට සසර හුරු පුරුදු අනුව බොහෝ විට කාම සම්පත් කෙරෙහි හිත ඇදී යාමට ඉඩ කඩ වැඩිවන බව පෙනේ.
වඩා වැදගත් වන්නේ ලෝභ සිතින් අල්ලා ගත්දේ අතහැරෙන, අතහැර දාන ලෙස අලෝභයේ ගුණ කීම ලෙස පිළිබද කථාද මීට එක් කිරීමයි.  එවිට ශාසනයට හෙවත් ලෝභ ක්ෂයට හිත නැමී සිටින ඉතා යහපත් පූර්ණ අර්ථ ඇති දාන කථාවක් වනු ඇත.
දෙවනුව දේශනා කරන්නේ සීල කථාවයි.
සීලයෙහි පිහිටීමේ ආනිශංස ගැනද සාම්ප්‍රදායික සිරිත ඉන් ලැබෙන ලෞකික, දිව්‍ය, මනුශ්‍ය සම්පත් විස්තර කිරීමයි.  ක්‍රෝධයෙන්, වෛරයෙන් දැවෙන, තැවෙන අයට සැමවිටම හදවත ගිනි ගන්නා සේය.  හදවත් සිසිල් වන කථාව මීට වඩා උචිත සේ පෙනේ.  එනම් ද්වේශ ක්ෂය කිරීමට හේතුවන ආර්යයන් ලොවට පතුරුවන මෛත්‍රී කාය කර්ම, වචී කර්ම, මනෝ කර්ම පිළිබද නිවෙන, සැ‍නසෙන, සිසිල් වන කථාවයි.  ද්වේශ ක්ෂයට හිත නැමී සිටීම ශාසන දහම පිහිටන්ට ඉතා උචිත වනු ඇත.

Jan 6, 2010

පිටුව 05 සහ 06


(පිටුව 05)
මේ වටිනා අදහස කල් යන විට බොදුනු සිත් වලින් ඉවත් වී ගොස් ක්‍රියාව පමණක් ගෙන එන මේ කාලයේ මගුල් ගෙදරට ගොස් කට ගොන්නක් බීගෙන දුසිරිතෙන් පිරුණු අයද ආපු චාරය හෙවත් අචාරයක් කිරීම මොන තරම් හාස්‍ය ජනකද?  මෙහි අරුතය අදවත් යළි දැන ප්‍රසිද්ධ වුවහොත් එබදු අවස්ථාවක තම තමාගැන ලජ්ජා වී නියම චාරිත්‍රය ඉටු කරන්නට සිතුවොත් සමාජයට කෙතරම් යහපතක් අනාගතයේ උදාවේද යන්න සිතා ගත හැකිය.
නළලතින් පෙන්වන සංකේතය නිතර කල්පනාවෙන් කටයුතු කරන බවයි.  පපුවේ දරාගත් දස අකුසලයෙන් වෙන් වන අදහස පිළිබදව නිතර සිහි කල්පනාවෙන් සිටීනම් එසේ නළලට අත් දෙක තබන සංකේතය සිහිකිරීම පපුවට අත් තැබීමට වඩා උතුම් ගුණයක් බව වටහා ගත යුතුය.  
යමෙකුට දිවි දෙවැනි කොට මේ ගුණ දහය (දස අකුසලයෙන් වෙන්වීම) හිස් මුදුනින් පිළිගන්ට හැකි නම් එය සියල්ලන්ට වඩා උසස් ගුණයක් බව පෙන්වයි.  මේ නියම සාධුකාරයේ අදහසයි.  මෙය දැන බොදුනුවන් විසින් තම චරිතය හැඩ ගස්සවා ගන්නේ නම් සමාධි ගුණ වඩන්නට බලාපොරොත්තු වන පින්වතුන්ට අවශ්‍යම උපනිශ්‍රයක් වනු ඇත.  
උතුම් ගුණයට පිවිසෙන්ට බලාපොරොත්තු වන පින්වතුන්ගේ ඊළග අදියර නමස්කාරයයි.
"‍නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස"
දැනට භාවිත වන අර්ථය වන්නේ ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදු රජාණන්වහන්සේට නමස්කාර වේවා යන්නය.  ගුණවතුන් අතර අග්‍රතම ගුණ ඇති බුදු පියාණන්වහන්සේට ගරු බුහුමන් කිරීම නම් ඉතා හොද අදහසකි.  
අපට පිහිටන්ට බුදු පියාණන් වහන්සේ දේශනා කර වදාලේ කෙබදු තැනකද?
"තුම්හේහි කිච්චං ආතප්පං - අක්කාථාරෝ තථාගතා"
"තමාගේ තර්පනය (කෙලෙස් තැවීම) තමාම කරගත යුතුය.  තථාගතයන් වහන්සේ එතෙර නොකරති".


(පිටුව 06)
"අත්ථ දීපා විහරථ - අත්ථ සරණා අනඤ්ඤ සරණා"
"තමා අලෝකයක් කරගෙන වාසය කරන්න.  තමාම සරණ කරගන්න.  අන්‍ය සරණ නොසොයන්න."
මෙය වරදවා නොගත යුතුය.
මෙහි සරණ යනුවෙන් අදහස් කළේ සසර ගමන නසාලන අරුතයි.
භයක්, තැති ගැන්මක්, ලොමු ඩැහැ ගැන්මක් ආවිට බුදුන්, දහම්, සගුන් සිහි කල විට ලැබෙන්නේ පිළි සරණයි. එය තුනුරුවන් ආශිර්වාදයෙන් ලබන ආරක්ෂාවකි.  එය ලෞකිකය.  සසර දුක් නසා නිවන් අවබෝධ කරන අයට එම කටයුතු වලට විශාල උදව්වකි.  
නමස්කාරයෙන් අප බැස ගත යුතු තැන ප්‍රකාශ කරයි.  අද වැසී ඇති වටිනා අරුතක් මෙහි ගැබ්වී ඇත.  
නම - හිස් - කර + නමස්කාර
මින් අරුත් තුනක් කියැවේ.  හිස නමා කටයුතු කරමි.  මෙහි කෙටි අරුතයි.  
‍නමෝ යනු නම්‍යතාවයයි.  තස්ස යනු ශාසනයයි.  භගවතෝ යනු බෙදා බලන වතයි.  අරහතෝ යනු රහසක්ව තිබෙන අවිදු අදුරෙන් ඉවත්ව ලබන විද්‍යා ආලෝකයයි.  සම්මා යනු "සං" නැමැති අවිද්‍යා, තෘෂ්ණා එකතුවෙන් "මා" යනුවෙන් පෙන්වන මිදීමයි.  සම්බුද්ධස්ස යනු සං නමැති අවිද්‍යා, තෘෂ්ණා එකතුවෙන් සිදුවන භව + උද්ධ + බුද්ධ හෙවත් භවය උදුරා හැරීමයි.  


ගලපා ගත් විට,
මම ශාසනයට නැමී, විහජ්ජවාදී ධර්ම මාර්ගයෙන් බෙදා, සත්ව, පුද්ගල සේ පෙනෙන ආත්ම සඤ්ඤාව හැර, අවිද්‍යා, රහසින් මිදී, ආත්ම දෘෂ්ටියෙන් ඉවත්ව, අවිද්‍යා තෘෂ්ණා එකතුවෙන් මිදී අවිද්‍යා, තෘෂ්ණා එකතුව නිසා වන භවය උදුරා දමමී යන අදහසයි.  තමාට තමා ආලෝක වන බවයි.  තමාගේ තර්පනය (කෙලෙස් තැවීම) තමාම කරගන්න බවයි.  

Jan 5, 2010

පිටුව 03 සහ 04

(පිටුව 03) 
බුදු මග ප්‍රතිඵල ලබන්නට නම් තම වැඩ කටයුතු මුල සිටම ඥාන සම්ප්‍රයුක්තව ආරම්භ කල යුතුව ඇත.  අද සාම්ප්‍රදායිකව කරගෙන එන බෞද්ධ වන්දනා ක්‍රම සහ චාරිත්‍ර වල ඥාන ගෝචර පැත්ත කාලයේ වැලි තලාවෙන් වැසීයාම නිසා මෝඩ බෝද්ධයන්ගේ වැඩ ලෙස විවේචනාත්මක දේශනාද තැනින් තැන අසන්නට ලැබෙනු ඇත.  නිසි අරුත වැසී ගිය බැවින් එසේ විවේචන කළත් ඒවා එල්ල විය යුත්තේ එම වචන මාර්ග හෝ ක්‍රියාමාර්ගවලට නොව අරුත නොදැනීමටය.


- සැගවුන අරුත එලි දක්වා භාවිත කර නව ජීවනයක් ලබමු -
බොදුනු අප සැමගේ ආරම්භක කථාව සහ ක්‍රියාව ඇරඹෙන්නේ සාධුකාරයෙන් ‍හා නමස්කාරයෙනි.


යමෙක් අපෙන් ඇසුවොත් සාධු කියලා කිව්වේ ඇයි කියලා.. ඇගිලි දිගු කොට අත් දෙක එක්කොට පපුවට, නළලට, හිස් මුදුනට තියාගත්තේ ඇයි කියලා...
අපි දෙන පිළිතුර කුමක්ද?  අපේ කටයුතු, කථා බුද්ධිමත් නම් ඊට නිසි පිළිතුරු දිය යුතුය.


අප සාධු යැයි කියන්නේ දෑත් එක්කොට පපුවට තබන්නේ කෙබදු අවස්ථාවල දැයි සිතා බැලිය යුතුය.


බුද්ධ, ධම්ම, සංඝ යනු අසීමිත ගුණ ඇති තුනුරුවන් යයි සිහි කර ප්‍රධාන වශයෙන් එසේ කරමු.
අප තුල ශ්‍රද්ධාවක්, ගුණ භක්තියක් ඇතිවූ විටද එසේ කරමු.  අපගේ සාම්ප්‍රදායික සිරිත් විරිත් වලදී ආචාර කිරීම් ආදියෙහිදී ද මේ ක්‍රියාව දක්නට ලැබේ.  මොහොතක් සිතන්න.  ගුණ හැගීමක් විද්‍යාමන වූ තැන මෙන්ම සාම්ප්‍රදායකි බෞද්ධ සිරිත් විරිත් වලදී පෙර අපට අර්ථවත්ව මතු වුනේ සංවරය පිළිබදව අදහසකි.  දස අකුසලයෙන් නිතර වැළකී සිටී බෞද්ධයා නිතර සිහි කලේ මේ ගුණාංගයන්ය.
අපි ආපු චාරය බෞද්ධ ශිෂ්ටාචාරයයි.  එයයි ආපු චාරය හෙවත් ආචාරය.




කායේන සංවරෝ සාධු
සාධු වාචාය සංවරෝ
මනසා සංවරෝ සාධු
සාධු සබ්බත්ත සංවරෝ

(පිටුව 04)
අපේ පැරැන්නන් අදද සාධුකාර තුනක් දී හතර වැනි වරට දීර්ඝ සාධුකාරයක් දෙනු
අසන්නට ලැබෙනු ඇත.


ප්‍රාණඝාත, අදත්තාදාන, කාම මිත්‍යාචාර නැති උතුම් ගුණය ඇති ත්‍රිවිධ රත්නය ඉදිරියේ හෝ අප තුළ ඇති එම ගුණය ගැන සිහිකර හෝ දෙන්නේ පළමු සාධුකාරයයි.  මේ කාය සංවරය සිහි කර භාවිතා කරන පළමු වචනයයි.  සා + උද්ධ හෙවත් සුචරිතයේ උසස් යන අදහස කෙටියෙන් සිහිකිරීමයි.


වචී සුචරිතයේ උසස් බව බොරුවෙන් වැළකීම, කේළමෙන් වැළකීම, පරුෂ බසින් වැළකීම, ප්‍රලාඵයෙන් වැළකීම තුළින් පෙන්වන හෙයින් ඒ සියලු ගුණාංග කැටි කර සිහි කිරීම
දෙවැනි සාධුකාරයයි.


ලෝභ නැතිබව, ද්වේශ නැති බව, මෝහ නැති බව, සිහිකර චිත්ත සංවරය කැටි කර සිහිගන්වන වචනය තෙවැනි සාධුකාරයයි.


ඇගිලි දිගුකර පපුවට, නළලට, හිස් මුදුනට තබන සංකේත ක්‍රියාවලිය කුමක්ද?


අංග යන වචනයක් අප අතර භාවිතා වේ.  අං වලින් කරන්නේ ඇනීමයි.  ග යනු ගැටීමයි.  අං ඇති සතුන් ඒවා ගටන්නේ යහපතට නොවේ.  හිංගි, හිංසා පිණිසයි.  එසේම මනුෂ්‍යාද ඇගිලි මිට මොලවා ගෙන සකස් වන්නේ ගැටීමටයි.  පාප කටයුතු වලදී, ක්‍රෝධ සිත් පහළ වන විටදී, පාප දුසිරිතක් කර අසරණ වූ විටදී අංග ගුලිකර ගත් ලක්ෂණය ගත තුල ක්‍රියාත්මක වන කාය ලක්ෂණය පෙන්වන්නේ ‍ඇගිලි වකුටු කර ගුලිකර ගැනීමෙනි.


මේ ලක්ෂණය ඇගිලි වලින් ක්‍රියාත්මක වන අයුරු දුටු ලක්ෂණ ශාස්ත්‍රය දත් පෙර පඩුවන් අංග ගුලිකර ගන්නා අරුතින් ඇගිලි වලට අංගුලි කියා ව්‍යවහාර කර ඇත.


පාපාංග දහය (දස අකුසල්) ගුලිකර නොගන්නා සංකේතය දෑතේ ඇගිලි දිගහැර එක් කිරීමෙන් සංකේතවත් කරයි.  පපුවට ලංකිරීමෙන් පෙන්වන්නේ ‍එම ගුණ දහය නිතරම තම පපුවේ තිබෙන බවයි.  අප ආපු චාරය හෙවත් ආචාරය මගින් බොදුනුවන් දෙදෙනෙක් මුණ ගැසුණු විගසම පළමුව ප්‍රකාශ කර සිටින්නේ තම තමන්ගේ සුචරිත ගුණය මෙසේ පවතින් බවයි.

Jan 4, 2010

පිටුව 01 සහ 02


- අත්දුටු බොදු මග පිළිවෙත -
ජාති, කුල, මල, ආගම් භේද අතහැර සත්‍ය කරා පියනගමු.  ලෝකයේ කිසිවෙකු මුලා‍ වෙන්ට, රැවටෙන්ට කැමති දැයි ඔබෙන් ඇසුවොත් "නැත" යනු ඊට දෙන පිලිතුර වනු ඇත.
පිළිතුර එය වුවත් අපගේ ජීවින ගමන් මග පෙළ ගැසී අත්තේ සත්‍ය මත දැයි විමර්ශනය නොකලහොත් ඇති තතු වැසී යනු ඇත. 

ඇස, කණ, දිව, නාසය, කය යන පසිදුරන්ට ගෝචර වන දත්තයන් පිලිබද පර්යේෂණ කර ගොඩනගා ගත් මානසිකත්වයකින් හෝ තතු විමසන සිතුවිලි මාලාවකට සීමාවූ විද්‍යාවකින් ලොව නියම තතු වටහා ගන්න සිතනවා නම් කිමිදී බැලිය යුතු ගැඹුරු මුහුදේ පත්ල, මතුපිට රැල්ල දෙස බලා නිගමනය කරන්නට යාම වැනි හිස් කටයුත්තක් වනු ඇත. 

අකම්ප්‍ය වූ අති සියුම් සමාධි චිත්තයක පහල වන තීක්ෂණ ප්‍රඥාවකින් දැකිය හැකි ලෝකයේ අති සියුම් ස්වභාවයන් යථාර්ථයෙන් දැකීමට පංචේන්ද්‍රීය ගෝචර දත්තයන්ට සීමා වූ මනසක් ‍කෙසේවත් සමත් නොවනු ඇත.  
බාහිර ඉගැන්වීම් වලින් පුරවාගත් මානසිකත්වය තර්ක, වාද වලින් සත්‍යය සොයන්නට වෙහෙසුනත් සැකයෙන් තොර සත්‍යවබෝධයකට එය පිටුවහලක්නොවේ.
නොයෙක් තර්ක, වාද, මතිමතාන්තර වලින් පිරී තිබූ ලෝකයෙහිය මහා දාර්ශනිකයන් වූ බුදු පියාණන්වහන්සේ ‍පහල වූවේ.
කෙනෙක් කී පළියට, පරපුරෙන් ගෙනාවට, පොත පතක තිබුනාට, තම ලබ්ධියට, දෘෂ්ඨියට එකග වූවාට මෙය සත්‍යයි අනිත්වා බොරු යැයි තීරණ නොගෙන ඒ කරුණු ඉවතද නොදමා තමන් බුද්ධිමත්ව විමර්ශනය කොට හේතු ඵල ධර්මතාවයට අනුව තේරුම් ගෙන අනුබෝධ, අව‍බෝධ, ප්‍රත්‍යක්ෂ යන අකාරයෙන් වටහා ගෙන සත්‍ය නිගමන වලට බසින්ටයි උන්වහන්සේ අනුශාසනා කලේ. 

අන්වීක්ෂයකින් බලා ක්ෂුද්‍ර ජීවීන්, බැක්ටීරියා ආදිය ගැන යම් විශේෂඥයෙක් කිවූ දෙයක් පියවි ඇසින් බලා තේරුම් ගන්ට නොහැකි වේ.  

(පිටුව 02)

අපටත් එය එසේ දැයි බලා සැක හැර දැනගන්නට අවශ්‍ය නම් අපද අන්වීක්ෂයකින් ඒ දෙස බැලිය යුතුය. 

බුදු පියාණන්වහන්සේ අති උත්තම සර්වඥතා ඥානයෙන් දත් අප්‍රමාණ සියුම් දත්තයන් අතරින් ඥානවන්තයන්ට ගෝචර වන වැදගත් කරුණුගෙන හැර දක්වා විශ්වාසයෙන් ඇදහීමට සීමා නොකර සියුම් මානසිකත්වය ගොඩනගා ගෙන සත්‍යය අත් දකින්නට දහම් මග දේශනා කර වදාරා ඇත. 

ඒ සියුම් සත්‍යය අත් දකින්නට නම් බුද්ධිමතුන් ලෙස අපද, ඒ සියුම් මානසිකත්වය ගොඩ නගා ගත යුතුව ඇත.  මේ අවස්ථාවන්ට පත්වීමට අනුපූර්ව සමාපත්ති මාර්ගයක් පෙන්වා වදාලහ.
ලොව පහල වූ නොයෙකුත් ශෘස්තෘවරුන් තම තමන් ලත් අත්දැකීම් තම වැටහීමේ ප්‍රමාණයට ලොවට දියත් කළත් ඒ හැම ධර්ම මාර්ගයක්ම කල්යත්ම යටපත් වෙමින් නොයෙක් වාද, භේද වලට යටවී පසු කලක නාමිකව පරපුරෙන් පරපුරට කලක් ගෙන යනු ඇත.  මුල් කාල වල ලැබූ ප්‍රති ඵල පසු කලක ලබන්නට නොහැකි වන තත්වයක් මෙසේ උද්ගත වේ.
බුදු සසුනටද මෙම ඉරණමට භාජනයවන්ට සිදුවී ඇති ආකාරයට නොරහසකි.  කෙබදු හෝ හේතු වාසනාවකින් මෙකලද ඒ උතුම් නිවන් මග විවෘතව ඇත.  තම තමන්ටම අත් දැකිය හැකි ප්‍රතිඵල සහිත නව අනුපූර්ව සමාපත්ති මෙන්ම මගඵල ලබන දහම් ක්‍රම ඉතා සරලව දැන තේරුම් ගෙන අනුගමනය කරන සැක හැර සත්‍යය කරා ලගාවන්නට හේතු වාසනා වේවායි ඉත සිතින් අදිටන් කරමි.
මේ උතුම් අවස්ථාව උදා කරගන්ට මූලිකව පෙල ගැසිය යුතු වැඩ පිළිවෙල මනාසේ තේරුම් ගත යුතුය.
සත්‍යය දහම් මග අර්ථවත්ව වටහාගෙන ඒ මග අනුගමනය ආරම්භ කරන කවුරු වුවත් (ලෝක සම්මත ජාති, කුල, ආගම් හංවඩු හැර) ඒ බෞද්ධයන් හෙවත් බුද්ධිමතුන්ය.
මේ බුද්ධිමතුන් තමන් කරන, කියන ආකාර පිළිබදව මනාසේ දැනුවත් විය යුතුයි.  යමෙක් එහෙම කියන්නේ, කරන්නේ ඇයි දැයි ඇසුවොත් හේතු යුක්ති සහිතව ඒවාට පිළිතුරු දියහැකි දැනුමක් යුක්ත විය යුතුයි.  එවිටයි තමා කරන, කියන දේ ඥාන සම්පයුක්ත වන්නේ.

පෙරවදන


බුදු දහම ත්‍රිපිටක ග්‍රන්ථාරූඩව ගෙනවිත් මෑත කාලයක සිහල බසින් අර්ථ දී තිබුනත් මනා විමර්ශනයකින් නොබැලූ පින්වතුන්ට යථාර්ථවත්ව කරුණු අවබෝධ කරගැනීම දුෂ්කර කරුණක් බව පෙනීයනු ඇත.  
මතුපිටින් පෙනෙන අර්ථයට වඩා හරවත් දහම් අර්ථ ඒ තුල ගැබ්වී ඇති තැන් බොහෝය.

ආර්ය මාර්ගය පූර්ණය කරගැනීමට බුදු දහම පළමුව අර්ථවත්ව වටහාගත යුතුය.  ඒ සත් කාර්ය මේ ධර්ම ග්‍රන්ථයෙන් බොහෝ දුරට ඉටුවේ යැයි සිතමි.  මෙම පොත ලිවීමේදී භාෂා ව්‍යාකරණ සහ අකුරු වලට නොව අදහසට මුල්තැන දී ඇතිබව තේරුම් ගත යුතුය.
"වචන නොවැටහේවා අදහස වැටහේවා" යැයි කල අධිෂ්ඨානය පරිදි කාල නම් සිටු පුත්‍රයාට දහම් දෙසූ බුදු පියාණන්වහන්සේගේ දේශනා අවසානයේ එම සිටු පුතුට වචනය මතකයේ
රදානොසිටියත් සෝතාපන්න ඵලය ලැබුන බව ධර්ම ග්‍රන්ථවල සදහන්වේ.
මෙම පොත කියවීමේදී අදහස වැටහුනහොත් ඒ පින්වතුන්ට ධර්මාවබෝධයට
බාධාවක් නොවන බව වටහා ගත යුතුය.

මේ ධර්ම ග්‍රන්ථය මුද්‍රණය කිරීමේදී මුදලින් ශ්‍රම පරිත්‍යාගයෙන් අතහිත දුන් සෑම දෙනාටම නිර්වාණබෝධය ලැබේවායි ප්‍රාර්ථනා කරමි.  සදහම් මග වඩමින් සුගතිය නිවන බලාපොරොත්තු වන සැමදෙනාටම මේ පොත පිළිගන්වමි.  "වය ධම්මා සංඛාරා අප්පමාදේන සම්පාදේථ" යන බුදු වදන සිහිකර
අප්‍රමාදව නිවන් සාක්ෂාත් කරගන්ට අධිශ්ඨාන කරගන්න.

සැමට තෙරුවන් සරණයි!
මීට
වහරක අභයරතනාලංකාර හිමි.