- අත්දුටු බොදු මග පිළිවෙත -
ජාති, කුල, මල, ආගම් භේද අතහැර සත්‍ය කරා පියනගමු. ලෝකයේ කිසිවෙකු මුලා වෙන්ට, රැවටෙන්ට කැමති දැයි ඔබෙන් ඇසුවොත් "නැත" යනු ඊට දෙන පිලිතුර වනු ඇත.
පිළිතුර එය වුවත් අපගේ ජීවින ගමන් මග පෙළ ගැසී අත්තේ සත්‍ය මත දැයි විමර්ශනය නොකලහොත් ඇති තතු වැසී යනු ඇත.
ඇස, කණ, දිව, නාසය, කය යන පසිදුරන්ට ගෝචර වන දත්තයන් පිලිබද පර්යේෂණ කර ගොඩනගා ගත් මානසිකත්වයකින් හෝ තතු විමසන සිතුවිලි මාලාවකට සීමාවූ විද්‍යාවකින් ලොව නියම තතු වටහා ගන්න සිතනවා නම් කිමිදී බැලිය යුතු ගැඹුරු මුහුදේ පත්ල, මතුපිට රැල්ල දෙස බලා නිගමනය කරන්නට යාම වැනි හිස් කටයුත්තක් වනු ඇත.
අකම්ප්‍ය වූ අති සියුම් සමාධි චිත්තයක පහල වන තීක්ෂණ ප්‍රඥාවකින් දැකිය හැකි ලෝකයේ අති සියුම් ස්වභාවයන් යථාර්ථයෙන් දැකීමට පංචේන්ද්‍රීය ගෝචර දත්තයන්ට සීමා වූ මනසක් කෙසේවත් සමත් නොවනු ඇත.
බාහිර ඉගැන්වීම් වලින් පුරවාගත් මානසිකත්වය තර්ක, වාද වලින් සත්‍යය සොයන්නට වෙහෙසුනත් සැකයෙන් තොර සත්‍යවබෝධයකට එය පිටුවහලක්නොවේ.
නොයෙක් තර්ක, වාද, මතිමතාන්තර වලින් පිරී තිබූ ලෝකයෙහිය මහා දාර්ශනිකයන් වූ බුදු පියාණන්වහන්සේ පහල වූවේ.
කෙනෙක් කී පළියට, පරපුරෙන් ගෙනාවට, පොත පතක තිබුනාට, තම ලබ්ධියට, දෘෂ්ඨියට එකග වූවාට මෙය සත්‍යයි අනිත්වා බොරු යැයි තීරණ නොගෙන ඒ කරුණු ඉවතද නොදමා තමන් බුද්ධිමත්ව විමර්ශනය කොට හේතු ඵල ධර්මතාවයට අනුව තේරුම් ගෙන අනුබෝධ, අවබෝධ, ප්‍රත්‍යක්ෂ යන අකාරයෙන් වටහා ගෙන සත්‍ය නිගමන වලට බසින්ටයි උන්වහන්සේ අනුශාසනා කලේ.
අන්වීක්ෂයකින් බලා ක්ෂුද්‍ර ජීවීන්, බැක්ටීරියා ආදිය ගැන යම් විශේෂඥයෙක් කිවූ දෙයක් පියවි ඇසින් බලා තේරුම් ගන්ට නොහැකි වේ.
(පිටුව 02)
අපටත් එය එසේ දැයි බලා සැක හැර දැනගන්නට අවශ්‍ය නම් අපද අන්වීක්ෂයකින් ඒ දෙස බැලිය යුතුය.
බුදු පියාණන්වහන්සේ අති උත්තම සර්වඥතා ඥානයෙන් දත් අප්‍රමාණ සියුම් දත්තයන් අතරින් ඥානවන්තයන්ට ගෝචර වන වැදගත් කරුණුගෙන හැර දක්වා විශ්වාසයෙන් ඇදහීමට සීමා නොකර සියුම් මානසිකත්වය ගොඩනගා ගෙන සත්‍යය අත් දකින්නට දහම් මග දේශනා කර වදාරා ඇත.
ඒ සියුම් සත්‍යය අත් දකින්නට නම් බුද්ධිමතුන් ලෙස අපද, ඒ සියුම් මානසිකත්වය ගොඩ නගා ගත යුතුව ඇත. මේ අවස්ථාවන්ට පත්වීමට අනුපූර්ව සමාපත්ති මාර්ගයක් පෙන්වා වදාලහ.
ලොව පහල වූ නොයෙකුත් ශෘස්තෘවරුන් තම තමන් ලත් අත්දැකීම් තම වැටහීමේ ප්‍රමාණයට ලොවට දියත් කළත් ඒ හැම ධර්ම මාර්ගයක්ම කල්යත්ම යටපත් වෙමින් නොයෙක් වාද, භේද වලට යටවී පසු කලක නාමිකව පරපුරෙන් පරපුරට කලක් ගෙන යනු ඇත. මුල් කාල වල ලැබූ ප්‍රති ඵල පසු කලක ලබන්නට නොහැකි වන තත්වයක් මෙසේ උද්ගත වේ.
බුදු සසුනටද මෙම ඉරණමට භාජනයවන්ට සිදුවී ඇති ආකාරයට නොරහසකි. කෙබදු හෝ හේතු වාසනාවකින් මෙකලද ඒ උතුම් නිවන් මග විවෘතව ඇත. තම තමන්ටම අත් දැකිය හැකි ප්‍රතිඵල සහිත නව අනුපූර්ව සමාපත්ති මෙන්ම මගඵල ලබන දහම් ක්‍රම ඉතා සරලව දැන තේරුම් ගෙන අනුගමනය කරන සැක හැර සත්‍යය කරා ලගාවන්නට හේතු වාසනා වේවායි ඉත සිතින් අදිටන් කරමි.
මේ උතුම් අවස්ථාව උදා කරගන්ට මූලිකව පෙල ගැසිය යුතු වැඩ පිළිවෙල මනාසේ තේරුම් ගත යුතුය.
සත්‍යය දහම් මග අර්ථවත්ව වටහාගෙන ඒ මග අනුගමනය ආරම්භ කරන කවුරු වුවත් (ලෝක සම්මත ජාති, කුල, ආගම් හංවඩු හැර) ඒ බෞද්ධයන් හෙවත් බුද්ධිමතුන්ය.
මේ බුද්ධිමතුන් තමන් කරන, කියන ආකාර පිළිබදව මනාසේ දැනුවත් විය යුතුයි. යමෙක් එහෙම කියන්නේ, කරන්නේ ඇයි දැයි ඇසුවොත් හේතු යුක්ති සහිතව ඒවාට පිළිතුරු දියහැකි දැනුමක් යුක්ත විය යුතුයි. එවිටයි තමා කරන, කියන දේ ඥාන සම්පයුක්ත වන්නේ.
0 comments:
Post a Comment