මෙම බ්ලොග් අඩවිය පිළිබඳව

සම්මා සම්බුදු පියාණන්වහන්සේ වදාළ සත්‍ය වූ බුද්ධ ධර්මය කාලයත් සමග සැගවෙන්නට ඇති ඉඩකඩ වැඩිය. එය ‍එසේ වූ නිසාම ශතවර්ෂ ගණනකින් මාර්ගඵල ලාභීන් බිහි වූ බවක් අසන්නට නොලැබිණි... එහෙත් මග ඵල ලැබ ගෞතම බුදු පියාණන් විවර කල නිවන් දොරටුවෙන් මාර්ගයට පිවිස ඵල ලැබී සැනසීමට නියම වූ ඇත්තන් තවමත් සිටින හෙයින් ඔවුන් සදහා උපකාරයක් වීමට නියම කළ්‍යණ මිතුරාගේ පැමිණීම සිදුවී ඇත. ඒ සැඟවුනු මාවත යලි විවර කරමින්, සැඟවුනු දහම් අරුත් මතු කරමින් සසර දුකින් පෙළෙන ඔබටත් මටත් අනන්ත සසර දුක් සයුරෙන් එතෙර වීමේ ප්‍රයෝගික මග හෙලි කරන අභිඥාලාභී පූජ්‍යපාද වහරක අභයරතනාලංකාර ස්වාමීන් වහන්සේගේ ධර්මානුශාසනා ඇසුරෙන් පලවූ "සැගවුණු බොදු මග කල එලි දකී" යන පොත ඇසුරෙන් මෙසේ සටහන් තබමි!

Jan 6, 2010

පිටුව 05 සහ 06


(පිටුව 05)
මේ වටිනා අදහස කල් යන විට බොදුනු සිත් වලින් ඉවත් වී ගොස් ක්‍රියාව පමණක් ගෙන එන මේ කාලයේ මගුල් ගෙදරට ගොස් කට ගොන්නක් බීගෙන දුසිරිතෙන් පිරුණු අයද ආපු චාරය හෙවත් අචාරයක් කිරීම මොන තරම් හාස්‍ය ජනකද?  මෙහි අරුතය අදවත් යළි දැන ප්‍රසිද්ධ වුවහොත් එබදු අවස්ථාවක තම තමාගැන ලජ්ජා වී නියම චාරිත්‍රය ඉටු කරන්නට සිතුවොත් සමාජයට කෙතරම් යහපතක් අනාගතයේ උදාවේද යන්න සිතා ගත හැකිය.
නළලතින් පෙන්වන සංකේතය නිතර කල්පනාවෙන් කටයුතු කරන බවයි.  පපුවේ දරාගත් දස අකුසලයෙන් වෙන් වන අදහස පිළිබදව නිතර සිහි කල්පනාවෙන් සිටීනම් එසේ නළලට අත් දෙක තබන සංකේතය සිහිකිරීම පපුවට අත් තැබීමට වඩා උතුම් ගුණයක් බව වටහා ගත යුතුය.  
යමෙකුට දිවි දෙවැනි කොට මේ ගුණ දහය (දස අකුසලයෙන් වෙන්වීම) හිස් මුදුනින් පිළිගන්ට හැකි නම් එය සියල්ලන්ට වඩා උසස් ගුණයක් බව පෙන්වයි.  මේ නියම සාධුකාරයේ අදහසයි.  මෙය දැන බොදුනුවන් විසින් තම චරිතය හැඩ ගස්සවා ගන්නේ නම් සමාධි ගුණ වඩන්නට බලාපොරොත්තු වන පින්වතුන්ට අවශ්‍යම උපනිශ්‍රයක් වනු ඇත.  
උතුම් ගුණයට පිවිසෙන්ට බලාපොරොත්තු වන පින්වතුන්ගේ ඊළග අදියර නමස්කාරයයි.
"‍නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස"
දැනට භාවිත වන අර්ථය වන්නේ ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදු රජාණන්වහන්සේට නමස්කාර වේවා යන්නය.  ගුණවතුන් අතර අග්‍රතම ගුණ ඇති බුදු පියාණන්වහන්සේට ගරු බුහුමන් කිරීම නම් ඉතා හොද අදහසකි.  
අපට පිහිටන්ට බුදු පියාණන් වහන්සේ දේශනා කර වදාලේ කෙබදු තැනකද?
"තුම්හේහි කිච්චං ආතප්පං - අක්කාථාරෝ තථාගතා"
"තමාගේ තර්පනය (කෙලෙස් තැවීම) තමාම කරගත යුතුය.  තථාගතයන් වහන්සේ එතෙර නොකරති".


(පිටුව 06)
"අත්ථ දීපා විහරථ - අත්ථ සරණා අනඤ්ඤ සරණා"
"තමා අලෝකයක් කරගෙන වාසය කරන්න.  තමාම සරණ කරගන්න.  අන්‍ය සරණ නොසොයන්න."
මෙය වරදවා නොගත යුතුය.
මෙහි සරණ යනුවෙන් අදහස් කළේ සසර ගමන නසාලන අරුතයි.
භයක්, තැති ගැන්මක්, ලොමු ඩැහැ ගැන්මක් ආවිට බුදුන්, දහම්, සගුන් සිහි කල විට ලැබෙන්නේ පිළි සරණයි. එය තුනුරුවන් ආශිර්වාදයෙන් ලබන ආරක්ෂාවකි.  එය ලෞකිකය.  සසර දුක් නසා නිවන් අවබෝධ කරන අයට එම කටයුතු වලට විශාල උදව්වකි.  
නමස්කාරයෙන් අප බැස ගත යුතු තැන ප්‍රකාශ කරයි.  අද වැසී ඇති වටිනා අරුතක් මෙහි ගැබ්වී ඇත.  
නම - හිස් - කර + නමස්කාර
මින් අරුත් තුනක් කියැවේ.  හිස නමා කටයුතු කරමි.  මෙහි කෙටි අරුතයි.  
‍නමෝ යනු නම්‍යතාවයයි.  තස්ස යනු ශාසනයයි.  භගවතෝ යනු බෙදා බලන වතයි.  අරහතෝ යනු රහසක්ව තිබෙන අවිදු අදුරෙන් ඉවත්ව ලබන විද්‍යා ආලෝකයයි.  සම්මා යනු "සං" නැමැති අවිද්‍යා, තෘෂ්ණා එකතුවෙන් "මා" යනුවෙන් පෙන්වන මිදීමයි.  සම්බුද්ධස්ස යනු සං නමැති අවිද්‍යා, තෘෂ්ණා එකතුවෙන් සිදුවන භව + උද්ධ + බුද්ධ හෙවත් භවය උදුරා හැරීමයි.  


ගලපා ගත් විට,
මම ශාසනයට නැමී, විහජ්ජවාදී ධර්ම මාර්ගයෙන් බෙදා, සත්ව, පුද්ගල සේ පෙනෙන ආත්ම සඤ්ඤාව හැර, අවිද්‍යා, රහසින් මිදී, ආත්ම දෘෂ්ටියෙන් ඉවත්ව, අවිද්‍යා තෘෂ්ණා එකතුවෙන් මිදී අවිද්‍යා, තෘෂ්ණා එකතුව නිසා වන භවය උදුරා දමමී යන අදහසයි.  තමාට තමා ආලෝක වන බවයි.  තමාගේ තර්පනය (කෙලෙස් තැවීම) තමාම කරගන්න බවයි.  

0 comments: