මෙම බ්ලොග් අඩවිය පිළිබඳව

සම්මා සම්බුදු පියාණන්වහන්සේ වදාළ සත්‍ය වූ බුද්ධ ධර්මය කාලයත් සමග සැගවෙන්නට ඇති ඉඩකඩ වැඩිය. එය ‍එසේ වූ නිසාම ශතවර්ෂ ගණනකින් මාර්ගඵල ලාභීන් බිහි වූ බවක් අසන්නට නොලැබිණි... එහෙත් මග ඵල ලැබ ගෞතම බුදු පියාණන් විවර කල නිවන් දොරටුවෙන් මාර්ගයට පිවිස ඵල ලැබී සැනසීමට නියම වූ ඇත්තන් තවමත් සිටින හෙයින් ඔවුන් සදහා උපකාරයක් වීමට නියම කළ්‍යණ මිතුරාගේ පැමිණීම සිදුවී ඇත. ඒ සැඟවුනු මාවත යලි විවර කරමින්, සැඟවුනු දහම් අරුත් මතු කරමින් සසර දුකින් පෙළෙන ඔබටත් මටත් අනන්ත සසර දුක් සයුරෙන් එතෙර වීමේ ප්‍රයෝගික මග හෙලි කරන අභිඥාලාභී පූජ්‍යපාද වහරක අභයරතනාලංකාර ස්වාමීන් වහන්සේගේ ධර්මානුශාසනා ඇසුරෙන් පලවූ "සැගවුණු බොදු මග කල එලි දකී" යන පොත ඇසුරෙන් මෙසේ සටහන් තබමි!

Jan 7, 2010

පිටුව 07 සහ 08

(පිටුව 07)
දස අකුසලයෙන් මිදී නිතර සිහියෙන් හිදිමින් සීල ගුණය හිස් මුදුනින් දරාගෙන විමුක්තිය කරා පිවිසීමට තමාම මග අනුගමනය කරන්ට අධිෂ්ඨාන කරගත් විට සමාධියට ඇති බාධා පහව ගොස් ශාසන දොර ඇරෙනු ඇත.
මෙබදු ගුණවතෙක්ව සිටි ශාසන ගුණ වැඩූ කළණ මිතුරෙකුගෙන් (භික්ෂූ, භික්ෂූණී, උපාසක, උපාසිකා) චතුරාර්ය සත්‍යය ඔප්නංවන දහම් ඇසිය යුතුය. 
එම කළ්‍යණ මිත්‍ර සිව් පිරිස කෙරෙහි ගෞරවාදරයෙන් සතුටු සිතින් දහම් ශ්‍රවණය කල යුතුය.  කළණ මිතුරෝ කිසි විටෙකත් ඒ ගෞරව, සත්කාර පුද්ගලික බුදලයක් ලෙස මානයෙන් නොසිතති.  ඒ සියල්ල සම්බුදු ශාසනයටම ලෙස අදිටන් කරති.  දස අකුසලයෙන් වෙන්ව සිටියත් තවම ශාසනික සීලය ලැබී නැත.  ඇත්තේ දස අකුසලයෙන් වෙන්වූ වතකි. 
"යං සමාදානං තං වතං - සංවරට්ඨේන සීලං"
"යම් සමාදානයක් ඇත්ද එය වතකි - සංවරත්වයේ පිහිටීමක් වේද එය සීලයකි" යනුවෙන් ඇති දේශනාවෙන් එය පැහැදිලිවේ.   
සංවරත්වයේ පිහිටීම කෙසේ ‍සිදුවේද?
වත සීලයට උපනිශ්‍රය වේ.  ශාසනයේ සිව් පිරිස් කෙරෙහි චිත්ත ප්‍රසාදයෙන් බණ අසන විට තදංග ප්‍රහාණ යනුවෙන් සංවරත්වයේ පිහිටීම ඒ අවස්ථාවේ සිදුවනු ඇත.
දේශකයාණන් වහන්සේ අනුපූර්ව කථාවෙන් අනුකම්පාවෙන් දහම් දෙසන විට ශ්‍රාවකයා විසින් චිත්ත ප්‍රසාදයෙන් ධර්ම ‍ශ්‍රවණය කල යුතුයි.
දාන කථාවෙන් දේශනාව ආරම්භ කරන විට සාම්ප්‍රදායික ක්‍රමය අනුව අද තිසරණ සමාදන් කර පන්සිල් යැයි කියා පංච ශික්ෂාවන් සමාදන් කරවා ධර්ම දේශනා කරනු ඇත.
බුදු රජාණන් වහන්සේ අනුගමනය කල ක්‍රමය ත්‍රිපිටකය පොත්වල ‍සදහන් වන්නේ මීට වෙනස්වය.


(පිටුව 08)
"තං සුනාථ - සාධුකං මනසි කරෝථ"
"මෙය ශ්‍රවණය කරන්න - මනාසේ මෙනෙහි කරන්න"
"සුනාථ ධාරේථ චරාථ ධම්මේ"
"ශ්‍රවණය කරන්න, දරාගන්න, ධර්මයෙහි හැසිරෙන්න"
මේ ආකාර අවවාද කර ධර්ම දේශනා කල බවයි සදහන් වන්නේ.
දේශනාවේ පළමු කොටස දාන කථාවයි.
බොහෝ කොට අද භාවිත කරන්නේ දානය ගැන වර්ණනා කිරීමයි.  දන් දීම යහපතක් බව ඇත්තකි.  දානානිසංසද දැන ගැනීම ඉතා ‍හොදයි, සුමනා, සුජාතා වැනි අය මහා දානපතිනියන් ලෙස සිටි අයුරු එසේම දානයෙන් සම්පත්, යස ඉසුරු ලැබෙන හැටි මේ ආදිය දෙසන විට සසර හුරු පුරුදු අනුව බොහෝ විට කාම සම්පත් කෙරෙහි හිත ඇදී යාමට ඉඩ කඩ වැඩිවන බව පෙනේ.
වඩා වැදගත් වන්නේ ලෝභ සිතින් අල්ලා ගත්දේ අතහැරෙන, අතහැර දාන ලෙස අලෝභයේ ගුණ කීම ලෙස පිළිබද කථාද මීට එක් කිරීමයි.  එවිට ශාසනයට හෙවත් ලෝභ ක්ෂයට හිත නැමී සිටින ඉතා යහපත් පූර්ණ අර්ථ ඇති දාන කථාවක් වනු ඇත.
දෙවනුව දේශනා කරන්නේ සීල කථාවයි.
සීලයෙහි පිහිටීමේ ආනිශංස ගැනද සාම්ප්‍රදායික සිරිත ඉන් ලැබෙන ලෞකික, දිව්‍ය, මනුශ්‍ය සම්පත් විස්තර කිරීමයි.  ක්‍රෝධයෙන්, වෛරයෙන් දැවෙන, තැවෙන අයට සැමවිටම හදවත ගිනි ගන්නා සේය.  හදවත් සිසිල් වන කථාව මීට වඩා උචිත සේ පෙනේ.  එනම් ද්වේශ ක්ෂය කිරීමට හේතුවන ආර්යයන් ලොවට පතුරුවන මෛත්‍රී කාය කර්ම, වචී කර්ම, මනෝ කර්ම පිළිබද නිවෙන, සැ‍නසෙන, සිසිල් වන කථාවයි.  ද්වේශ ක්ෂයට හිත නැමී සිටීම ශාසන දහම පිහිටන්ට ඉතා උචිත වනු ඇත.

0 comments: