මෙම බ්ලොග් අඩවිය පිළිබඳව

සම්මා සම්බුදු පියාණන්වහන්සේ වදාළ සත්‍ය වූ බුද්ධ ධර්මය කාලයත් සමග සැගවෙන්නට ඇති ඉඩකඩ වැඩිය. එය ‍එසේ වූ නිසාම ශතවර්ෂ ගණනකින් මාර්ගඵල ලාභීන් බිහි වූ බවක් අසන්නට නොලැබිණි... එහෙත් මග ඵල ලැබ ගෞතම බුදු පියාණන් විවර කල නිවන් දොරටුවෙන් මාර්ගයට පිවිස ඵල ලැබී සැනසීමට නියම වූ ඇත්තන් තවමත් සිටින හෙයින් ඔවුන් සදහා උපකාරයක් වීමට නියම කළ්‍යණ මිතුරාගේ පැමිණීම සිදුවී ඇත. ඒ සැඟවුනු මාවත යලි විවර කරමින්, සැඟවුනු දහම් අරුත් මතු කරමින් සසර දුකින් පෙළෙන ඔබටත් මටත් අනන්ත සසර දුක් සයුරෙන් එතෙර වීමේ ප්‍රයෝගික මග හෙලි කරන අභිඥාලාභී පූජ්‍යපාද වහරක අභයරතනාලංකාර ස්වාමීන් වහන්සේගේ ධර්මානුශාසනා ඇසුරෙන් පලවූ "සැගවුණු බොදු මග කල එලි දකී" යන පොත ඇසුරෙන් මෙසේ සටහන් තබමි!

Jan 11, 2010

පිටුව 15 සහ 16

(පිටුව 15)
එසේම සියලු දානයන් අතර උසස්ම දානය වන ධර්ම දානය දෙන විටදී දේශකායාණන් වහන්සේලා අප්‍රමාණ සක්වල සත්වයන් පොදුවේ මෙන්ම වෙන් වෙන්වද ගුණවතුන් මූලිකව ආරාධනා කිරීම ඒ උතුම් ගුණයෙන්ම කොටසක් කරගනී.
ශාරීරික, පාරිභෝගික, උද්දෙසික යන තුන් ආකාර පූජා විධි ක්‍රියාත්මක කරමින් හදවත් ‍උතුම් පින් කෙත් කරන පූර්ව කෘත්‍ය විධි අනුගමනය කරයි.
මිනිස් හදවත් සරුසාර කරන පින්කෙත් කරන මේ ගුණයෝ ආර්ය ගුණ පිහිටන තෝතැන්නක් කරන පළමු වැඩ පිළිවෙලයි.  මේ කටයුතු අර්ථවත්ව සිදුකළොත් ඥාණ සම්ප්‍රයුත්ත චිත්ත ගුණ සම්පන්න භාවයට මහත් රුකුලක් වනු ඇත.
තෙරුවන් ‍ගුණ පූජෝපාහාර නිතර කරන විට අර්ථවත්ව ඉහත කී ගුණ ක්‍රියාත්මක කිරීමෙන් උතුම් ධර්මාවබෝධයට මහත් උපනිශ්‍රයක් ලබා‍දෙනු ඇත.  දේශකයාණන් වහන්සේලා තෙරුවන් ගුණ පූජෝපහාරයට පළමුව අර්ථවත් ලෙස ගුණ ඔප්නංවා මේ ආරාධනාව කරන විට ශ්‍රාවක චිත්ත සන්තාන එම ගුණ වලින් ඔප්නැගී කෘත ගුණ සලකන පින්වත් පිරිසක් බවට ක්‍රමයෙන් අවතීර්ණ වේ. 
අනන්ත සක්වල දිව්‍ය, බ්‍රහ්ම මෙන්ම අමනුෂ්‍ය ආදී සියල්ලෝ තෙරුවන් ගුණ ගරුකර ශානතියෙන් මේ ආරාධනා පරිදි පැමිණෙත්වායි ‍අරුත් බර ලෙස ගුණ සිතින් ආරාධනා කරන විට ශ්‍රාවක පිරිසගේ සිත්ද අනන්ත සත්වයන් කෙරෙහි දයාවෙන් පිරී යන්නේය.  එබදු ප්‍රසන්න සිතක් පහළ වූ විටය ‍කෘත ගුණ සැලකීමේ ශ්‍රේෂඨත්වය සිතක මුල් බැස ගන්නේ. 
අනන්ත සංසාරයේ පටන් ‍අපට උදව් කල, උපකාර කල ඥාති හිතෛෂීන් සිහි කර කෙබදු බවයක, කෙබදු  උපතක සිටියත් අප කරන මේ පුණ්‍ය කුසල ශක්තිය එම අයට පැතිරි සුගතිය නිවන ‍ලැබේවායි.  ‍දේශකයාණන් වහන්සේ අර්ථවත්ව විස්තර කර ශ්‍රාවක පිරිස එහි සමාදන කරවිය යුතුයි.  ක්‍රමයෙන් කෘත ගුණ පූර්වකව පහළ වන පින් සිත් දහරාව ශ්‍රාවකයා යහ මග පිහිට වීමට අත්වැලක් වනු ඇත.

(පිටුව 16)
සත් ගුණයෙහි නොපිහිටි චිත්තාවලියක් ඇති කෙනෙකු තම අතින් සිදුවූ වැරදි වලට සමාව ගැනීම තමා පහත් වීමක්, නීච වීමක්, සේ සලකා උඩගුව මානයෙන් මත්ව සිටියොත් එබන්දා ගුණ නොපිහිටයි.
ඒ නිසා මේ මොහොතේ පටන් අනන්ත ආදී සසරේ සැරිසරාගෙන එනවිට සත්වයන් අප අතින් නොයෙක් දස අකුසල් කර්ම, කර්ම පථ ආදියෙන් වැරදි සිදුවී ඇති බව අනිවාර්ය ලෙස නිහතමානීව පිළිගෙන සමාව ඇයැද සිටයි යුතුයි.  වන්දි ලෙස තෙරුවන් ගුණ උපහාර ආදියේ යෙදෙමින් නිපදවන පූණ්‍ය සම්භාරය ඒ අයට ‍කොහි සිටියත් ලැබේවායි ආශිර්වාද කළ යුතුයි.  මෙහිදී ගුණයට නැමී පිහිටන චිත්තාවලිය මින්පසු අතපසු වීමකින් හෝ කෙනකු කෙරෙහි අවැඩක්, වරදක් වුවොත් කමා කර ගැනීමටත් වන්දි ලෙස මෘදු වදනින් ආසිරි පැතීමටත් නැමී සිටිනු ඇත.  තම අතින් වැරදි වීම ලොකු අවැඩක් සේ වැටහී යනු ඇත.  මේ ගුණවත් වීම ආර්ය ධර්ම මුල් බැසගන්ට මහත් රුකුලක් වේ.  අපට යම් යහපතක් ලැබුනොත් ඊට මුලික පසුතලය සකස් කර දුන් උදව් කල අය සිහි කර යම් සෙතක් කිරීම උතුම් ගුණයකි.  මතු අභිවෘද්ධියට කරුණකි. 
මිනිසත් බවක් ලබාගෙන කෙලෙස් ගින්න සදහට නිවා ගන්නට උතුම් අවස්ථාවක් ලෙස ශාසන ගුණයට බැස ගන්ට ලැබෙන්නේ අති දුලබවයි.  එබදු මිනිසත් බවක් ලබන්නට සසරෙදි පින් සුචරිත පුරුදු කර පුණ්‍ය වන්තයෙක් විය යුතුය.  එකල්හි උදව් උපකාර කල අයද සිහි කරවා සෙත් පැතීම තවත් උතුම් ගුණයක් ශ්‍රාවක සිත් තුල පහල කරවීමකි.
අනුක්‍රමයෙන් චිත්ත ශාන්තියට, ගුණයට නැමෙන තරමට උතුම් ගුණ ඔප්නැංවෙන්නට හේතු වාසනා ලැබේ.  ගුණවතුන්ගේ ගුණය තේරුම් ගත නොහැකි මුලාව නිසා එම ගුණවතුන්ට නොසැලකීම, සාප කිරීම චිත්ත දාහ ගින්නෙන් ලොවම වනසන මහා සාපයකි.  මේ ගිනි පිට නොකලහොත් එයින් ලෝක පරිසරය පවා නිවී සැනසෙනු ඇත.  කිසිම මුදලකින්, බලයකින් ජය ගන්න බැරි මේ ලෝක ශාන්තිය ලබාගත හැක්කේ සිසිල් දිය කදක් වන් ශාන්ත වූ සිත්වලිනි.
‍බුදු, පසේ බුදු, ශ්‍රාවක ආර්ය උතුමන් ලගට සිටන පූර්ව උපකාරී වූ මහා ගුණවතුන් නම් දෙමව්පියෝය.  ඊලගට කුඩා කල සිට හැදූ වැඩූ පිරිසය.  ඊලගට ශිල්ප ශාස්ත්‍ර ගුණ ධර්ම කියාදී සුචරිතයෙහි, ගුණ ධර්මයෙහි,  ඉගෙනීමෙහි පිහිටවූ ගුරුවරුය. 

0 comments: