මෙම බ්ලොග් අඩවිය පිළිබඳව

සම්මා සම්බුදු පියාණන්වහන්සේ වදාළ සත්‍ය වූ බුද්ධ ධර්මය කාලයත් සමග සැගවෙන්නට ඇති ඉඩකඩ වැඩිය. එය ‍එසේ වූ නිසාම ශතවර්ෂ ගණනකින් මාර්ගඵල ලාභීන් බිහි වූ බවක් අසන්නට නොලැබිණි... එහෙත් මග ඵල ලැබ ගෞතම බුදු පියාණන් විවර කල නිවන් දොරටුවෙන් මාර්ගයට පිවිස ඵල ලැබී සැනසීමට නියම වූ ඇත්තන් තවමත් සිටින හෙයින් ඔවුන් සදහා උපකාරයක් වීමට නියම කළ්‍යණ මිතුරාගේ පැමිණීම සිදුවී ඇත. ඒ සැඟවුනු මාවත යලි විවර කරමින්, සැඟවුනු දහම් අරුත් මතු කරමින් සසර දුකින් පෙළෙන ඔබටත් මටත් අනන්ත සසර දුක් සයුරෙන් එතෙර වීමේ ප්‍රයෝගික මග හෙලි කරන අභිඥාලාභී පූජ්‍යපාද වහරක අභයරතනාලංකාර ස්වාමීන් වහන්සේගේ ධර්මානුශාසනා ඇසුරෙන් පලවූ "සැගවුණු බොදු මග කල එලි දකී" යන පොත ඇසුරෙන් මෙසේ සටහන් තබමි!

Jan 4, 2010

පෙරවදන


බුදු දහම ත්‍රිපිටක ග්‍රන්ථාරූඩව ගෙනවිත් මෑත කාලයක සිහල බසින් අර්ථ දී තිබුනත් මනා විමර්ශනයකින් නොබැලූ පින්වතුන්ට යථාර්ථවත්ව කරුණු අවබෝධ කරගැනීම දුෂ්කර කරුණක් බව පෙනීයනු ඇත.  
මතුපිටින් පෙනෙන අර්ථයට වඩා හරවත් දහම් අර්ථ ඒ තුල ගැබ්වී ඇති තැන් බොහෝය.

ආර්ය මාර්ගය පූර්ණය කරගැනීමට බුදු දහම පළමුව අර්ථවත්ව වටහාගත යුතුය.  ඒ සත් කාර්ය මේ ධර්ම ග්‍රන්ථයෙන් බොහෝ දුරට ඉටුවේ යැයි සිතමි.  මෙම පොත ලිවීමේදී භාෂා ව්‍යාකරණ සහ අකුරු වලට නොව අදහසට මුල්තැන දී ඇතිබව තේරුම් ගත යුතුය.
"වචන නොවැටහේවා අදහස වැටහේවා" යැයි කල අධිෂ්ඨානය පරිදි කාල නම් සිටු පුත්‍රයාට දහම් දෙසූ බුදු පියාණන්වහන්සේගේ දේශනා අවසානයේ එම සිටු පුතුට වචනය මතකයේ
රදානොසිටියත් සෝතාපන්න ඵලය ලැබුන බව ධර්ම ග්‍රන්ථවල සදහන්වේ.
මෙම පොත කියවීමේදී අදහස වැටහුනහොත් ඒ පින්වතුන්ට ධර්මාවබෝධයට
බාධාවක් නොවන බව වටහා ගත යුතුය.

මේ ධර්ම ග්‍රන්ථය මුද්‍රණය කිරීමේදී මුදලින් ශ්‍රම පරිත්‍යාගයෙන් අතහිත දුන් සෑම දෙනාටම නිර්වාණබෝධය ලැබේවායි ප්‍රාර්ථනා කරමි.  සදහම් මග වඩමින් සුගතිය නිවන බලාපොරොත්තු වන සැමදෙනාටම මේ පොත පිළිගන්වමි.  "වය ධම්මා සංඛාරා අප්පමාදේන සම්පාදේථ" යන බුදු වදන සිහිකර
අප්‍රමාදව නිවන් සාක්ෂාත් කරගන්ට අධිශ්ඨාන කරගන්න.

සැමට තෙරුවන් සරණයි!
මීට
වහරක අභයරතනාලංකාර හිමි.

0 comments: