මෙම බ්ලොග් අඩවිය පිළිබඳව

සම්මා සම්බුදු පියාණන්වහන්සේ වදාළ සත්‍ය වූ බුද්ධ ධර්මය කාලයත් සමග සැගවෙන්නට ඇති ඉඩකඩ වැඩිය. එය ‍එසේ වූ නිසාම ශතවර්ෂ ගණනකින් මාර්ගඵල ලාභීන් බිහි වූ බවක් අසන්නට නොලැබිණි... එහෙත් මග ඵල ලැබ ගෞතම බුදු පියාණන් විවර කල නිවන් දොරටුවෙන් මාර්ගයට පිවිස ඵල ලැබී සැනසීමට නියම වූ ඇත්තන් තවමත් සිටින හෙයින් ඔවුන් සදහා උපකාරයක් වීමට නියම කළ්‍යණ මිතුරාගේ පැමිණීම සිදුවී ඇත. ඒ සැඟවුනු මාවත යලි විවර කරමින්, සැඟවුනු දහම් අරුත් මතු කරමින් සසර දුකින් පෙළෙන ඔබටත් මටත් අනන්ත සසර දුක් සයුරෙන් එතෙර වීමේ ප්‍රයෝගික මග හෙලි කරන අභිඥාලාභී පූජ්‍යපාද වහරක අභයරතනාලංකාර ස්වාමීන් වහන්සේගේ ධර්මානුශාසනා ඇසුරෙන් පලවූ "සැගවුණු බොදු මග කල එලි දකී" යන පොත ඇසුරෙන් මෙසේ සටහන් තබමි!

Feb 18, 2010

පිටුව 37 සහ 38

(පිටුව 37)
තණ්හාවෙන් ඇලෙයි, උපාදානයෙන් බැදෙයි, කාම තරගයෙන් කාම වස්තු කෙරෙහි පොර පිටියට බැසගනී.  ඒවා මම කරගන්නට මගේ කරගන්නට නොයෙකුත් නොපනත් කම් කරයි.  දස අකුසලයට බැසගනී.  මුල කැපුවොත් අග ලියලන්නේ නැත.  මුල නොකපා අග කපන්නට ගියහොත් පදුරු දමමින් ලියලනවා ඇත.
එබැවින් ලෝක මුලාවට සත්වයා ඇදෙන අයුරු දැක ගැනීමට මල් හොද උපමාවකි.  මේ උපමාව විග්‍රහ කර බැලිය යුතුය.  අපි මල් උයනක් මනසින් මවාගෙන එහි ඇතුළු වෙමු.
පිපුන මල් පොකුරු ‍මද සුලගේ වැනෙන හැටි, රොන් සුනු සුවද මද සුළග සමග මුසුව හමන අයුරු, බඹර, බිගු කැල, සමනලුන් ඒ මල් වටා සරමින් රොන් උරන හැටි මනසින් දකිමු.
මේ ලස්සන, සුවද, මුදු පහස දෙන මල් පෙති, රොන් සුනු, මල් පැණි, විද්‍යාමාන වුවේ කොතෙක් කලකටද?  ගතවන්නේ පැය ගණනකි.  පෙති ඇකලී ගොස්ය.  මල් පරව ඇත.  සුවද නැත.  මල් වැටී නැටි පමණක් ඉතිරිව පෙනේ.  සමහර මල් ටික දිනකින් මැලවී ගෙඩි කරල් එළි බැස ඇත.  දැන් ලස්සන සුවද අහලක නැත.  අතු වලට බර දෙමින් ගසේ වැලේ රස ඕජස උරමින් ගෙඩි කරල් ලොකු වන අයරු පෙනේ.  මේවා තුළ බීජ හැදී ඇත.  ඒවා ගෙඩි කරල් ලොකු වන අයරු පෙනේ.  වැහැරෙමින් ගෙඩි කරල් බදාගෙන දරාගෙන හැසිරුනත් ඒ සියලු හිමිකම් අහවර කරමින් පැසුන, ඉදුන ගෙඩි නටුවෙන් ගිලිහී වැටෙනු ඇත.  ගස, වැල තනිවම මැරීයයි.  එහෙත් මරුවගේ ඇම ලෙස පිපුණ මල් ලෝකය ලස්සනින්, සුවදින්, මුදු පහසින් මුලාකර අතරුදන් වුවේ මීට කලකට පෙර ඇසිල්ලකිනි.  මතු පරපුර පවත්වන්නට ජාති බෝ කරන්නට මුල් අල්ලා දෙමිනි.
බීජ යළි පැලව වැඩේ.  පෙර සේම මාර මුලාව ඒවාද ලස්සන කර සුවද කර, මුදු පහස දී මතු ජාතියට ගෙඩි, කරල්, බීජ නිපදවා වැනසී යයි.  මේ පරපුරේ පැවැත්ම සදන මාර මුලාවයි.  
අපි දැන් මනසින්ම ගස්වැල් වල මල් කඩා දමමු.  එවිට වන්නේ කුමක්ද?  ගස වැල තනිව බර නැතිව සිට යම් දිනෙක මැරී යනු ඇත.  මතු පරපුර එයින් නැවතී ඇත.මේ උපමාව තුළින් අප ගැන සසදා බලමු.  එවිට ලෝක ධර්මතාවය පිළිඹිඹු වේ.  මිනිසත් මල් උයන යැයි මීට නම් තබමු.

(පිටුව 38)
එහි ගස් පුරුෂ පෙලයි.  වැල් ස්ත්‍රී පක්ෂයයි.  ඇස, කණ, නාසය, දිව, කය මේ ගස් වැල් වල පිපුන මල් පොකුරුය.  මල් දරන කාලය තරුණ කාලයයි.  බාහිර ලෝකයෙන් ඇදෙන, බැදෙන රොන් සුණු නම් රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශයයි.  ආසාවෙන් මේවාට ඇදෙන, බැදෙන විට හදවත නැමැති ගර්භය තුල කාම සිත් නැමැති බීජ හටගනී.  මේ බීජ වැටෙන්නේ කාම භවයටයි.  දැන් පසිදුරන් කාම ගිනි වලින් පිපාසිතව දාහ සහගතින් නිපදවා අවසානය.  ඒවා ඇදි මතු භවයකට කාම ලෝ‍කයේ යලි ඇස, කණ, නාසය, දිව, කය වැහැරෙන, මැරෙන කුණු කදක් නිපදවයි.  ඒවායින්ද කරන්නේ ඉහත කී කාම වැඩ පිලිවෙලය.  අනාදියේ පටන් මේ වැඩ පිලිවෙල නිසා කාම භවයෙන් මිදිය නොහැකිව ඇලෙමින්, බැදෙමින්, භවයෙන් භවයට කය සදමින් කලින් කල අප්‍රමාණ කුණු කන්දල් සහිත සිරුර ලබමින් අනාථ සසර ගමනක යෙදී ඇත.  මාර මුලාව සිහි කල යුතුයි.  භවයක් භවයක් පාසා කය රැකීමට, පෝෂණය කිරීමට මමය, මගේය යන තැන් රැක ගැනීමට වද විද ඇති වාර අප්‍රමාණය.  ඒ සෑම උත්සාහයක්ම අසාර්ථකව දුක් විද මැරී ගොස් ඇත.  අතීතයේ පටන් සෑම භවයකම කුණු කයට මගේ කිවූ ලෝකයට සිදුවී ඇත්තේ හට ගැනීම විපරිණාමය, මරණය පමණි.  අයිති වූ කිසි හරයක් නොමැත.
කර්ම ශක්ති වශයෙන්ද නිපදවා ඇත්තේ දාහකට නවසිය අනූ නවයක්ම හතර අපාගත  දුක් දීමට හේතු කාරක වූ පාප කර්මයෝය.  මිනිස්ව උපන්නත් ඒ ප්‍රවෘත්ති කාලය හෙවත් ජීවත් වන කාලය තුල නොයෙක් දුක විපත් ගෙන දෙන පාප කර්ම බලවේගයෝය.  ආශා බැම්ම මිස දිටුවන් තදවූ තරමටම විපත් කරදර එනවිට දැවි දැවී, තැවි තැවී ගිනිම වැඩි කර ගනු ඇත.  මේ ආදීනව සිහි කරන විට නිසරුවෙහි ඇති යථා ස්වභාවය වැටහෙන්ට පටන් ගනී.  ඇම සේ ඒවාට බැදෙන මාර මුලාව ගිලිහී යන්ට වේ.
මල් කැඩූ ගස, වැල උපමා කර ගෙන අපද පසිදුරන් සංවර කර බලමු.  ලොව සුන්දර මුලා සහගත රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ තිබුනත් දැන් අපට බරක් නැත.  අප ඒවාට ඇලී, බැදී නැති බැවින් මල් කැඩූ ගස, වැල මෙන් වනු ඇත.  කාම භවයට බීජ දමන මග අහුරා ඇත.  මේ කය කාම ලොව සිටින අන්තිම කය වනු ඇත.  මතු කාම කයක් සදන බීජ ජනිත නොවන බැවින් කාම ලොවෙන් නිදහස්ව මිය යනු ඇත. 

Feb 9, 2010

මෙය ඔබ සැම වෙත පිදෙන ඉතාමත් කාරුණික නිවේදනයකි!


 මම වැරදි කටයුත්තක් කරනවා යැයිද මා විසින් බුදු දහම විනාශ කරනවා යැයිද පවසමින් විවිධ තර්ක වාද ඉදිරිපත් කරමින් මා වෙත ලිපි එවන්නත් නොයෙක් අදහස් පල කරන්නටත් මා දැනට කරගෙන යන ධර්මදානමය කටයුත්ත තුලින් මා හට අත්විදින්නට සිදුවී ඇත.  මේ සියල්ලටම හේතුවත් පැහැදිලි කරදීමේ අදහසින් මම මේ සටහන තබන්නට කාලය වැය කරමි.

පෙර අවස්ථාවල මා විසින් ලියන ලද ලිපි තුල කිසිවෙකුගේ නමක් සදහන් නොවිනි.  ඒවා මගේම ලිපි ලෙසින් පලවන විට ඒවා කොතරම් හරිද ඇත්ත තමයි ඔබ ලියන්නේ ලෙසින් නොයෙක් විදියට අගයමින් ඒ ලියන ලද දේවල් අවබෝධකරගත් ලෙසින් සිටි සුළු පිරිසක් මා මෑතකදී වහරක අභයරතනාලංකාර හිමියන්ගේ නම භාවිතා කරන විට ඔය ඔක්කොම බොරු... බුදු දහම විනාශ කරනවා... ඕක නෙවේ ඇත්ත කියලා තමන්ගේ අදහස වෙනස් කිරීමට කටයුතු සිදුකරගෙන ඇත.

මම විසින්ම ධර්මාවබෝධය සම්පූර්ණ කරගන්නා තෙක් ඒ සදහා මේ නිවන් මග පය නොපටලවාගෙන නිවැරදිව ගමන් කරන්නට වහරක අභයරතනාලංකාර හිමියන්ගේ මග පෙන්වීම ඉතාමත් රුකුලක් වූවා සේම තවමත් එය එසේම වේ.  ධර්මාවබෝධය කොතරම් ලැබුවද උන්වහන්සේගේ මග පෙන්වීම තුලින් තව තවත් වටිනා කරුණු මේ මග සාර්ථකව ගමන් කරන්නට උපකාර වන නිසාම උන්වහන්සේට කරන ගෞරවයක් වශයෙන් ධර්මදානමය කටයුතු සිදුකරන කණ්ඩායම් සහ වෙනත් වෙබ් අඩවි තුල උන්වහන්සේගේ නම සදහන් කිරීමට මම කටයුතු කලෙමි. 

ඒ සියලුම ලිපි ඔබ වෙත ගෙන ඒමට කටයුතු කරන්නේ ඉතාමත් සුළු වශයෙන් හෝ නිවන් මගට රුකුලක් බලාපොරොත්තු වන පින්වත් පිරිසට එය සැබැවින්ම උපකාරයක් වේ යැයි සිතමිනි.  එසේම බොහෝ පිරිස් එලෙස ඵල නෙලාගන්නා බව දන්වා එවන අතර ඔවුන් දැන් මාර්ගයට පිවිස ඇති අයුරු බොහෝ විට දන්වා එවන්නේත් සැබෑම සතුටකින් නිසා එය මටද අවංකවම සතුටට පත්විය හැකි කුසල කර්මයකි. 

වහරක අභයරතනාලංකාර හිමියන්ගේ නම දුටු පමණනින් තමාගේ මනසින් එක් වරක් නිවැරදියි කියා ගත් තීරණයක් වෙනස් කොට එයට නිගරු කිරීමට තරම් කිසිවෙකු පෙළඹෙනු දැක සතුටු වන්නද දුක්වන්නද අනුකම්පා කරන්නද කියලා මට සිතා ගත නොහැකිය. කෙසේවෙතත් තමන් කරගන්නා දේ තමන්ටමය... වපුරන විදියටයි අස්වැන්න හම්බවෙන්නේ. 

මම ඔබලා කිසිවෙකුත් ගැන කිසි‍වක් නොදනිමි.  මම වහරක අභයරතනාලංකාර හිමියන් ගැනවත් නොදනිමි.  එහෙත් මම මා ගැන හොදින්ම දනිමි!  මම කිසිදිනෙක පුද්ගලයෙක් මත හෝ වෙනත් බාහිර කරුණක් මත තීරණයන් නොගන්නෙමි.  මම මගේම මනසින් විමසා මටම අවබෝධ වුවහොත් පමණක් තීරණය ගනිමි.  මම විශ්වාස කරනවා මිනිසත්භවයක් ලබන්නට තරම් මම වාසනාවන්ත යැයි කියලා.  හොදින් වැඩුනු සම්පූර්ණ පංච‍ඉන්ද්‍රීය තිබෙන නිසා දකින, ඇහෙන, ගන්ධයන් දැනෙන, රස විදින, ස්පර්ශ කරන දේ ගැන අවබෝධයක් ලබාගෙන හය වන ඉන්ද්‍රීය වන මනස තුලින් තීරණයක් ගැනීමට තරම් හැකියාවක් මට තිබෙන නිසා මටත් මගේ නිවනටත් නිවැරදිම ‍දේ අවබෝධ කරගැනීමට ශක්තියක් මට ඇතැයි මම විශ්වාස කරමි.  මම විශ්වාස කරනවා ඔබ සියලු දෙනාටමත් එලෙසින්ම වන නිසා ඔබ දැනටමත් මේ වටිනා ධර්ම මාර්ගය තෝරාගෙන ඇති බවට. 

බොහෝ අවස්ථාවල නොයෙක් අයුරින් මම දන්වා සිටියේ සැමවිටම කව්ද කිව්වේ කවද්ද කිව්වේ කොහේද කිව්වේ කියලා විමසා බලන්න පෙර මොකක්ද කිව්වේ කියලා විමසා බලන ලෙසයි.  මම නිතරම අනුගමනය කරන්නේ ඒ පිලිවෙලයි මොකද මම අවබෝධ කරගත්තා අනෙක් කිසිවක් වැදගත් නැහැ කියලා.  කිව්වේ මොකක්ද  කියලා අවබෝධ වුනේ නැත්නම් අනෙක් කරුණු වලින් ඇති වැදගත්කමක් නැහැ. 

සමහර පින්වත් පිරිස් සාක්ෂි ඉදිරිපත් කරන්න කියලා දන්වලා එවනවා... සමහර අය කියනවා මුල් පොතේ පිටුව කියන්න කියලා... ඒ අදාල කොටස කියන්න කියලා... ඔවුන් සියලු දෙනාටම මම කියන්න කැමතියි සාක්ෂි තියෙන්නේ ඔබත් සමගමයි කියලා.  ඔබ මදකට ඔබේ මනස වටා බැදගෙන තියෙන රාමුවෙන් පිටතට යොමුවෙලා බලන්න ඔබටම සාක්ෂි අත්විදින්න හැකියාව ලැබේවි.  මන්ද යත් මට සැමවිටම සාක්ෂී ලැබුනේත් තවමත් ලැබෙන්නේත් මම එය ප්‍රායෝගිකවම අත්විදින්නට වග බලාගන්නා නිසාවෙනි.  මම විටෙක යමක් වැරදි ලෙසින් හෝ නිවැරදි ලෙසින් ඔප්පු වුවහොත් අන් අයට දොස් නැගීමට බලාගෙන සිටින අයෙක් නොවෙමි.  මන්ද මම වැදගත් දෙයක් දැනටමත් අවබෝධ කරගෙන සිටින නිසාවෙනි.  ඒ තමයි සියලුම දේ සදහා ඒ ඒ දේවල් එසේ සිදුවීමට සැමවිටම හේතුවක් ඇත යන ඇත්ත මට දැනටමත් අවබෝධ වී ඇති නිසාවෙනි. සරලවම මම සියල්ල දත්තෙකු ලෙසින් මම නොසිතමි.  තවත් අයෙක් විවේචනයට ලක් කීරීමට තරම් දෙයක් මම දන්නවා යැයිද මම නොසිතමි!  මම දැනටමත් මගේ ඇත්ත වටහාගෙන ඇත... ඒනිසාම මම නිවන් මග ගමන් කරන්නේ එය අත්විද සැනසීම උදාකරගැනීමට වේ.   

මම ඔබ සියලු දෙනාගැන කිසිවක් දන්නේ නැති වුවත් මම මාගැන දනිමි.  මගේ සිත, කය, වචනය සංවර කරගෙන මගේ නිදහස උදෙසා කටයුතු කල යුතු ආකාරය වටහාගෙන සිටිමි.  මන්ද යත් මගේ නිවන මට දීමට ඔබ කිසිවෙකුටත් නොහැකි නිසාවෙනි.  මා විසින්ම කාලය කැපකොට ඒ සදහා කටයුතු නොකරන තාක් මට ලැබිය හැකි නිවනක් නැත.

මට ඇතැයි කියලා සිතෙන කම් මම ලිපි ලියන්නෙමි... මුලු ලෝකයම මට විරුද්ධව නැගී සිටින දිනය වෙන තෙක් මම ලිපි ලියා පල කරන්නෙමි... වැදගත්ම දේ මම වැරදියි කියලා මටම අවබෝධ වෙනකම් මම ලිපි ලියන්නෙමි... එහෙත් එසේ යම් දිනක මම වැරදියි කියලා අවබෝධ වුනොත් මම කලේ වැරැද්දක් කියලා මම තේරුම් ගත් වහාම එය මට හැකි සෑම ආකාරයකින්ම ඔබ වෙත දැනුම් දීමට මම වග බලාගනිමි!  මන්ද යත් මම වරදක් කලේ නම් මට මුලු ලෝකයෙන්ම වසන් විය හැකි වුවත් මට මගෙන්ම වසන් වීමට නොහැකි නිසාවෙනි. 

මේ සටහන තැබීමේ අරමුණ ඔබ සියලු දෙනාටම වැදගත් කරුණු කීපයක්ම දැනුම් දීමට වේ.  සැමවිටම ඔබ කියවන අසන දේ ගැන මෙන්ම ඔබේ පංච ඉන්ද්‍රීයන් තුලින්  අවබෝධයක් ලබාගැනීමට ඔබ ඔබේම මනස යොදාගන්නේ නම් මැනවි.  මම කිසිවිටක මම කියන ලෙසින් කරන්න යැයි ඔබ කිසිවෙකුට බල කොට නැත.  කිසිවිටක මා ලියන ලිපි කියවන්නැයි මම බල කොට නැත... මම කිසිවිටක ඒ ලිපි යටින් ඔබේ අදහස පල ‍කරන මෙන් ඉල්ලා නැත... කිසිවිටක ඇගයීමක් හෝ විවේචනයක් බලාපොරොත්තු වන්නේද නැත.  මම සැමවිටම ලිපියක් ලියන්නේ එක් පැතුමක් සමගිනි....

“ධර්මාවබෝධය ලැබ නිවී සැනසීමට බලාපොරොත්තුවෙන් යමෙක් මා සටහන් තබන යමක් කියවයි නම් ඔහුට හෝ ඇයට මේ තුලින් උපරිම ඵල නෙලා ගැනීමට හැකිවෙත්වා!  සියලුම ආශිර්වාදයන් ලැබ සැමවිටම නිවැරදි දේ පමණක් සටහන් තැබීමටත් වචනයකින්වත් කිසිවෙකුගේ නිවන් මග අවුරන නිවන් මගට බාධාවන කිසිවක් මා අතින් සටහන් නොතැබෙත්වා! නිර්වාණය සියලු දෙනාටම වැදගත් වන එකම පරම ඇත්ත නිසාවෙන් එයින්ම සැනසීමට පත්වීමට මේ ධර්මදානය තුලින් ඵල ලබන්නට උත්සාහ දරන සියලු දෙනාටම හැකිවෙත්වා ! යන අවංක ප්‍රාර්ථනය සමග සැමවිටම ලිපි ලියන්නට පෙළඹෙන්නෙමි.

මා සමග නිතර සම්බන්ධතා පවත්වන පින්වත් පිරිස හොදින්ම දන්නවා සෑම ලිපියකටම මම බොහෝ කාලයක් අරගෙන සටහන් තබන්නෙ ඇයි කියලා... සැමවිටම හොදින් නැවත නැවත පරික්ෂා කොට මාගේ අවබෝධ මට්ටමෙන් මට නිවැරදි යැයි සහතික වූ විට මම බොහෝ තැන් වලින් එකතු කරගෙන නිර්මාණය කල ලිපියක් සකස් කොට දමමි.  එයට හේතුව කිසිවෙකුත් මා ලියන පුංචි වචනයකින්වත් අතරමං වනු දැකීමට මම අකමැති නිසාවෙනි.  එනිසාම සමහර අවස්ථාවල මගේ දුර්වල ඉංග්‍රීසි දැනුමට පවා මා සමාව ඉල්ලා ඇත. 

මම සැබැවින්ම ශ්‍රී ලාංකිකයෙකු වීමට වාසනාවන්ත වීමි.  මන්ද යත් තවමත් ප්‍රබල ලෙස බුදු දහම ප්‍රචලිත ඉතා වටිනා රටක් වන හෙයිනි.  එහෙත් අවාසනාවට එම කරුණම අපේ පින්වත් පිරිස නොමග යැවීමට හේතුවී ඇත.  ලද අවස්ථාවෙන් උපරිම ඵල නෙලාගන්නවා වෙනුවට බුදු දහම විනාශ කරනවා අප එය රැකගන්න සටහන් කල යුතුයි ලෙසින් උදම් අනමින් ඔවුන්ගේ වටිනා කාලය අපතේ ඇරගැනීමට කටයුතු කරනවා දැකීම සැබැවින්ම අනුකම්පා සහගතය.  සටන් කොට වාද විවාද කොට විවේචනය කොට බුදු දහම රැකගැනීමට නොහැකිය.  තම තමන් විසින් බුදුපියාණන් වහන්සේ පෙන්වා දුන් අරි අට මගෙහි නොපමාව ගමන් කොට රාග, ද්වේශ, මෝහ සහගත කටයුතු වලින් මිදීමට කටයුතු කොට අදාල ඒ ඒ ඵලයන් ලබාගත් විට බුදු දහම ඉබේම රැකී තිබේවි.  කිසිවෙකුටත් කිසිවිදියකින් පරම ඇත්ත විනාශ කිරීමට නොහැකිය.  මිලියන ගණනින් බුදු දහමට විරුද්ධව නැගී සිටියත් බුදු දහම ලෙසින් වැරදි ධර්මයක් මිලියන ගණනින් පැතිරී ගියත් බුදු දහම විනාශ නොවේවි.  අප මහා ගෞතම සම්මා සම්බුදු ර‍ජාණන්වහන්සේගේ බුද්ධ රාජ්‍යයට දැනටමත් කාලය නියම වී අවසානයි.  එය අදාල කාලයට වඩා දවසක්වත් ඉදිරියට ගෙන යාමටවත් අදාල දිනයට කලින් විනාශ කිරීමටවත් අප කිසිවෙකුටවත් කිසි ලෙසකින් කල නොහැකියි.    

මෙවැනි සටහනක් තබන්නට සුදුසු කාලය නිසාම එසේ කරන්නට පෙළඹිනි.  කුඩා කල සිටම මම අවබෝධ කරගත් දෙයක් වේ.  එනම් කිසිවක් සිදු කරන්නේ නැති තාක් එයට සහායට හෝ විරුද්ධව නැගී සිටින්නට යමක් නැත.  යමක් කරන යමෙකුට සැමවිටම ඇගයීමට සහ විරුද්ධ අදහස් සමග පෑහෙන්නට සිදුවේ.  ඉතින් සැමවිටම යමක් පටන්ගත්විට එයට විරුද්ධව එන සියලු දේ ගැනද බලාපොරොත්තු විය යුතුමයි.  මන්ද සැමවිටම මම යමක් සිදුකලේ නම් එය සම්මත රාමුවෙන් මදකට පිටින් ගිය දෙයකි.  මම විශ්වාස කරනවා මට නිවන් අව‍බෝධය ලැබීමට නොහැකි නැත යන්න.  මන්ද සියල්ලන්ටම වඩා මා හදුන්නන්නේ මමය. 

මෙය තම තමන්ගේ වටිනා කාලය නාස්ති කොටගෙන මමත් මගේ වැඩකටයුතුත් හෝ වහරක හිමියන් ගැන හෝ තර්ක වාද කරමින් සිටින පින්වත් පිරිස වෙත කරන කාරුණික නිවේදනයකි.

ඔබ විශ්වාස කරන දෙයක් ඇත්නම් එය අනුගමනය කිරීමට තරම් කාරුණික වන්න.  ඔබ අන් අයෙකුට මෙය වැරදියි කියලා කියනවා නම් ඔබ නිවැරදි දේ දන්නා අයෙක් වෙන්නට පුළුවන.  එනිසා ඔබ දන්නා දෙය වැදගත් විදියට අන් අය සමග බෙදාගැනීමට කටයුතු කිරීමත් ඔබ දන්නා නිවැරදි දේ තුලින් ලැබිය හැකි උපරිම ඵලය නෙලාගැනීමත් වඩාත් සුදුසු යැයි මට සිතේ.  මන්ද යත් අවසානයේ දිනිය යුත්තේ ඇත්ත පමණි.  මෙය ධර්මදානය සිදුකිරීමේ තරගයක් නොවේ.  කුමන ශ්‍රාවකයා පලමුව නිවන් දකිනවාද යන තරගයකුත් නොවේ.  බුදු දහම වෙනුවෙන් සටන් කරන ඔබ වෙනුවෙන් නිර්මාණය වූ සම්මානයක්ද නැත.  ඔබට ලැබිය හැකි එකම ගරු සම්මානය නිවන පමණි.  ඔබ ඔබේම ආර්ය අෂ්ඨාංගික මාර්ගය අනුගමනය කොට නිවන් අවබෝධ කොටගෙන ඔබවම ගලවාගන්නවා මිස බුදු දහම රැක්කායැයි ඔබව ගලවාගැනීමට මිහිපිටත් ඉන් පිටත් කිසිවෙකුත් නැත. 

භික්ෂූන් වහන්සේලාගේ නම් ගම් හෝ පොත් පත් හෝ උන්වහන්සේලාගේ ප්‍රසිද්ධිය අපේ නිවනට අදාල නැත.  නිවන සදහා වැදගත් වන එකම දෙය නම් අප කොතරම් දුරට ධර්මාවබෝධය ලබනවාද ඒ තුලින් ආර්ය අෂ්ඨාංගික මාර්ගය නොපමාව ගමන් කොට නිවන් ඵලය ලබනවාද යන්න පමණි.  ඔබටත් මටත් ත්‍රිපිඨකය කටපාඩම් කරගෙන සිටින්නට පුළුවන... එහෙත් එහි වචන පිටුපස සැගවුනු ගැඹුරු ධර්ම අර්ථයන් අපට නොවැටහෙන තාක් එයින් අපට ලැබිය හැකි ඵලයක් නැත.  අප ජයගත් පිරිසක්ද නොවේ.... අප කිසිවෙකුත් නොවේ... උතුම් අරිහත් ඵල ලැබූ උත්තමයන් ඉදිරියේත් අරි අට මග ගමන් කොට නොයෙක් ඵල ලැබූ උත්තමයන් ඉදිරියේත් අප කිසිවෙක් නොවේ...

සමින්ද රණසිංහ වැනි උතුම් මිනිසුන් විසින් ත්‍රිපිඨක පොත් පෙල නොමිලේ ලබාගැනීමට අවස්ථාව සලසා දී ඇත.  එය සිංහල සහ පාලි යන ‍කොටස් දෙකෙන්ම යුතු බුද්ධ ජයන්ති ත්‍රිපිඨක මාලාව වන අතර ඔබට එය මේ සම්බන්ධය ඔස්සේ ලබාගැනීමට හැකිය.  http://www.aathaapi.org/Thripitaka.htmlකියවන්න... අවබෝධ කරගන්නට උත්සාහ කරන්න... ඒ උතුම් ධර්මය කියවන විට මට අවබෝධ වූ දේ ඔබට අවබෝධ නොවීම මගේ වරදක් නොවේ.  ඔබටත් මටත් අවබෝධ කරගැනීමට නොහැකි දෙයක් වහරක අභයරතනාලංකාර හිමියන්ට අවබෝධ කරගැනීමට හැකිවීම උන්වහන්සේගේ වරදක් නොවේ. 

මගේ ඉල්ලීම නම් ඔබ ඔබේම මනස පාවචිච් කරන්න යන්නයි.  එය විවෘතව පැහැදිලිව යොදවන්න... පිරුණු කොප්පයකට කොතරම් පිරෙව්වත් එය පිරෙන්නේ නැහැ දමන සියල්ල අහක යනවා පමණයි.  එසේම මනස දැනටමත් කරුණු බොහෝමයකින් පිරිලා නම් යලිත් එකතු කරන්න හදන කිසිවක් එයට එකතු නොවේවි... පිටාර ගලා යනවා පමණයි...ඔබේ නිවනට අදාල දේ පමණක් මනසේ රදවාගෙන ඉතිරියට යන්නට ඉඩ හරින්න... ඔබ මනස පුරවාගන්නා තරමට ඔබ ඔබේම මනසේ සිරකාරයෙකි.. ඔබ අවබෝධ කරගන්නා දේ කොතරම්ද ඒ තුලින් ඔබ නිදහස ලබන අයුරු ඉගෙන ගනීවි... විවේචන... විචාර... තර්ක වාද... සටන් පාඨ සියල්ලම අවසන් විය යුත්තේ ඔබ ඔබේ සැබෑ නිදහස උරුම කරගෙන පමණි. 

කිසිවෙක් හෝ කිසිවක් ඔබේ මනස විනාශ කරන්නේ නම් එයට විරුද්ධව සටන් කරන්න... කිසිවෙක් හෝ කිසිවක් ‍ඔබේ සීලය සොරකම් කරන්නේ නම් සුචරිතවත් බව සොරකම් කරන්නට හදන්නේ නම් එයට විරුද්ධව නැගී සිටින්න... ඔබේ නිවන උදෙසා වීර්ය නැති කීරමට යමෙක් කටයුතු කරයි නම් එයට විරුද්ධව තර්ක කරන්න... කිසිවෙක් හෝ කිසිවක් බලහත්කාරයෙන් ඔබේ මනසට ඇතුලුවෙන්නට වෙර දරයි නම් එය විකෘති කරන්නට හදයි නම් තර්ක වාද විවේචන සටන් පාඨ රැගෙන නැගී සිටින්න... අප විසින් අපේම මනසට කරගන්නා ආබාධ කිසිවෙකුගේ වරදකින් සිදුවන්නක් නොවේ. එයට වරදකරුවන් අපම වේ..  අප අපේ මනසේ පාලනය අපේ අතට ගත් විට කිසිවෙකුට අපව වැරදි මාර්ගයට යොමුකරන්නටවත් වැරද්දට පොළඹවන්නවත් අතරමං කරන්නවත් ඔවුන් කියන දේ පිලිගැනීමට අසරණ කරන්නටවත් නොහැකිය.  නිදහසේ තම තමන්ට වඩාත් වැදගත් කුමක්දැයි සිතා බලන්නට උත්සාහ කරන්නේ නම් මැනවි!

අප සියලු දෙනාටම නිවන උදෙසා වැදගත් වන්නේ රාග ක්ෂය, ද්වේක්ෂය, මෝහක්ෂය වේ.  ඔබත් මමත් තවමත් අවිද්‍යාවෙන් යුක්ත වන්නෝ වෙති.  ඉතින් අප දෙදෙනාමට මම හරි ඔබ වැරදියි කීමට අයිතියක් නැත.  මම ඔබට වඩා උසස් ඔබ මට වඩා උසස් යැයි සිතන්නට නොහැකියි.  අප දෙදෙනාම ඉන්නේ එකම ඔරුවකයි... අප දෙදෙනාම ඒ ඔරුව පැදගෙන ගියේ නැත්නම් දෙදෙනාගේම ජීවිත අනතුරේමය.  අන් පුද්ගලයා‍ ඔරුව පදින විදියේ අඩු පාඩු නොසයා එය පදින්නේ ජීවිතය බේරාගන්නා පැත්තටම නම් තමන්ගේ පාඩුවේ තමන්ට අදාල කොටස නිවැරදිව සම්පූර්ණව කිරීම ප්‍රමාණවත් වේ.   සියල්ලන්ම අන් අයගේ අඩු පාඩු සෙවීමට ඔවුන් නිවැරදි කිරීමට කටයුතු කිරීමට වැය කරන කාලයත් තමන් නිවැරදි කරගැනීමට යොදාගන්නේ නම් කිසිවෙකුත් වැරදි නොකරාවි!

ඔබෙන් අයෙක් මා මැරුවත් ඔබ සමග අමනාප වීමට තරම් හේතුවක් මට නැත.  මන්ද ද්වේශ සහගත සිතකින් ලැබිය හැකි නිවනක් නැත යන්න මම අවබෝධ කරගෙන ඇත්තෙමි.  එමෙන්ම සැමවිටම ලැබෙන යහපත් ප්‍රතිචාර පමණක් බලාපොරොත්තුවෙන් ඒවාට ඇලීම තුලින් රාග සහගත සිතකින් ලැබිය හැකි නිවනක් නැත යන්නද මම අවබෝධ කරගෙන ඇත්තෙමි... මා අ‍වබෝධ කරගන්නා යමක් ඔබ සමග බෙදාගෙන එයට ‍ලැබෙන යහපත් දේ සදහා සතුටු වීමටත් අයහපත් ප්‍රතිචාර සදහා ගැටෙන්නටත් යාම මගේ අවිද්‍යාව මිස වෙන කවරක්වත් නොවන බවත් ඒ අවිද්‍යාව ඇති තාක් මට ඇති නිවනක් නැති බවත් මම අවබෝධ කරගෙන සිටිමි.  මම සටහන් තබන්නේ මා වැනි එක් පුද්ගලයෙක් හෝ මේ ලෝකය තුල ඇතැයි යන සිතුවිල්ල මතයි.  ඒ පුද්ගලයාත් මා මෙන්ම අව‍බෝධය තුලින් තීරණයකට එළැඹ තමාගේ නිදහස උදාකරගැනීමට කටයුතු කරාවි යන සිතුවිල්ල මත පමණි. 

මේ පැවැත්ම සසර ගමන අප සිතනවාට වඩා අති භයංකරවේ.  අන් අය විවේචනය... තර්ක වාද... සටන් ආදිය නිවන් මග සදහටම වැසීමට පවා හේතුවන කරුණුවේ.  මා සටහන් තබන කිසිවක් හේතුවෙන් කිසිවෙකුට එසේ අයහපත් ඵලයක් ලැබෙනවාට මම කිසිවිටකත් කැමති නැත.  කාරුණික පින්වතුනි මේ සියලු සටහන් තුලින් මේ සියලු වෑයම තුලින් පවසන්නට හදන අරුත් වටහාගෙන තම තමන්ගේ නිර්වාණය උදෙසා කටයුතු සිදුකරගන්නා මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි... බුදු දහමත් එවිට ඉබේම රැකේවි!  සම්මා සම්බුදු පියාණන්ගේ අවසන් වදන් අමතක නොකරන්න... සරලවම ප්‍රායෝගිකව තම තමන්ගේ ආර්ය මාර්ගය පූර්ණය කොට ගෙන නිදහස නිවන ලබන්නැයි කල ඉල්ලීම අමතක නොකරන්න. 

නැවත නැවතත් කාරුණිකව ඉල්ලා සිටින්නේ නිවනට කිසිම විදියකින් රුකුලක් නොවන දේ මත කාලය ‍වැය කොට පසුතැවීමට කටයුතු කරනොගන්නා ලෙසටයි.  ඔබට මා ලියන කිසිවක් කියවීමට කිසිදු බලපෑමක් නැත... අකමැති අය නොකියවා සිටීමම යහපත්වේ.  මන්ද අප සැමවිටම අපගේ සිත, කය, වචනය හැසිරවිය යුත්තේ අපගේ නිවන උදෙසා යහපත්වන වැදගත් වන යමක් උදෙසා පමණි.  ඔබට මා ලියන කිසිවකින් එසේ වැදගත් යමක් නැතිනම් ඒ සදහා කාලය අපතේ යැවීම නුසුදුසු වේ. 

දැනටමත්‍ මෙම ලිපි කියවමින් ඉන් ඵලයක් ලබන අයෙක් වේ නම් කාරුණිකව ඉල්ලා සිටින්නේ ඔබේ මනස විවෘතව භාවිතා කොට නැවත නැවත කියවමින් ඇසුරු කොට සිතමින් අර්ථය අවබෝධ කරගන්නට උත්සාහ දරන ලෙසයි.  අප විභාගයකට පෙනී සිටීමට මේ කිසිවක් කියවන්නේ නැත... ඇසුරු කරන්නේ නැත... කිසිවෙකුට වඩා ගත හැකි වැඩිම ලකුණු ප්‍රමාණයක් නැත... හොදම අවබෝධ කරගන්නා පුද්ගලයා තේරීමේ තරගයක්ද නැත... අප සියලු දෙනාම ලබන්නට යන්නේ එකම නිවනකි.  නිවන පුද්ගලයන් අනුව වෙනස් වෙන දෙයක් නොවේ. නිවන නිවනම වේ.  එක් එක් පුද්ගලයාට නිවන කරා ගමන් කරන මාර්ගය තම තමන්ගේ පෞද්ගලික චරිත ලක්ෂණ අනුව තම තමන්ට ආවේණික වරද නිවරද කරගෙන ගමන් කල හැකි ලෙසින් ධර්මාව‍බෝධය උපකාරවන අතර අවසන සියලු දෙනාටම ලැබිය හැක්කේ එකම එක නිවනකි.  මෙහි හොදම ධර්ම ලිපිය තේරීමේ තරගයක්වත්   හොදම ධර්මය තේ‍රීමේ තරගයක්වත්... හොදම කණ්ඩායම තේරීමේ තරගයක්වත්... වැඩිම සාමාජිකයින් සිටින කණ්ඩායම තේරීමේ තරගයක්වත් නැත!  නවීන තාක්ෂණය යහපත් ලෙස භාවිතා කිරීම සියලු දෙනාගේම යහපත පිණිස වේ! ලද අවස්ථාවන්ගෙන් උපරිම ඵල නෙලාගැනීම තම තමන්ට අයත් වගකීමකි!

පරම ඇත්ත ඔබෙන් වැඩි ඈතක නොවේ... ඔබේ මනස මදක් විවර කොට එය වටකොට තනා ඇති වැටකඩුලු මතින් ඔබ්බට ගොස් විමසන්න... මනස මදකට හිස් කොට ඇත්ත අත්විදින්න උත්සාහ ගනිත්වා!

බුද්ධ, ධම්ම, සංඝ යන සැබෑ තිසරණයේ ආශිර්වාදය ලැබ තම තමන් උදෙසා යහපත්ම වැදගත්ම ඵල නෙලාගැනීමට ඔබ සැමට සම්මා සම්බුදු සරණින් හැකිවෙත්වා!

පිටුව 35 සහ 36

(පිටුව 35)
ඒ ලෝකස්වාද අත් හැරෙන මග මුලදී මහා තනිකමක් පාලුවක්සේද වැටහෙන්නට පුළුවන.  මෙතෙක් සසර අනුගමනය කල කාමාස්වාද වැඩ පිලිවෙල නිසා එක්ව සිටින පිරිසටද වහ කදුරු වැඩ පිලිවෙලක් සේ වැටහෙන්ටද පුළුවන.  එම අයගෙන්ද දහම් මග අධෛර්ය කරන ක්‍රියා, කථා නිතර ඇසෙන්නට, බලපෑම් කරන්ටද පුළුවන.  තෙරුවන් ගුණ නිතර සිහිකර පිළිසරණ පතන විට මේ අධ්‍යත්මික, බාහිර බාධක ක්‍රමයෙන් දුරුවී සත් පුරුෂ අකම්ප්‍ය ගුණයෙහි සිත පිහිටනු ඇත.
අසත් පුරුෂයා නිතර පස්පව්, දස අකුසල් කරන්නෙකි.  තමන් එයින් වෙන්වීමටත් අන්‍යයන් ගුණයෙහි සමාදාන කරවීමටත් නිතර යුහුසුළු විය යුතු අතර එබදු පාපීන් සේවනයෙන් නොගැටී ඈත්ව සිටීමට සිහියෙන් වග බලාගත යුතුය.
සාම්ප්‍රදායිකව මෙකල කරන්නේ පන්සිල් ගැනීමයි කියමින් පංච සික්ඛා සමාදානයයි.මේ සිල් පද පිලිබදව මෙකල අරුත් යටපත්වී ඇත.  පන්සිල් පංච දුෂ්චරිත, පංච සික්ඛා, පස් පව්, සිල්වත, සීලය යන මේවායේ අරුත් වෙන් වෙන්ව වටහා නොගත හොත් සමාදානය අසීරු වෙනවා පමණක් නොව සමාදන්ව සික්ඛා පද කැඩීමෙන් ධර්මාවබෝධයට බාධා ඇතිවී "ආණා විතික්කමාවරණ" නම් වූ ආවරණයටද වැටෙන්නට පුළුවන.  මේ ගැනද පසුව විග්‍රහ කරමි.
මූලික සිල් වතක් ලෙස පංච දුෂ්චරිතයෙන් වැලකීමට අදිටන් කරගැනීම සෑහේ.  මින් නොනැවතී දස අකුසලය තේරුම් ගෙන සිහියෙන් කටයුතු කරමින් ඒවායින් වැළකීමටද වග බලාගත යුතුය.
පංච දුෂ්චරිතයෙන් වැළකීමට වෙනම පද දේශනා කර නොමැති බැවින් සිංහල අරුතින් කියවන මේ කවිය ‍ඒ වෙනුවට භාවිත කිරීම ඉතා යහපති.
මම සතුන්                                නොමරමි
සොරකම් කිසිත්                        නොකරමි
දුසිරිතෙන්                                 දුරුවෙමි
බොරු බසින් මත් පැනෙන්           වැළකෙමි

(පිටුව 36)
තෙවරක් මේ කවිය කියා දුෂ්චරිතයෙන් වැළකීමටත් සුචරිවත්ව කටයුතු කරන්ටත් දැඩි අදිටනක් ඇති කර ගන්න.
දැන් කල යුත්තේ ක්‍රමයෙන් සුචරිත බුදු ගුණ කරා ළගා වීමය.
වසර දෙදහස් පන්සීයකටද පෙර පටන් බෞද්ධයන් මල් පූජා ක්‍රමයෙක් පවත්වාගෙන එයි.  මෙහි වටිනා අර්ථය අද වැසී‍ ගොස් මල් පූජාව විලාසිතාවක් කරගෙන ඇත.  ලස්සනට මල් වට්ටි සරසා සුවද මල් තෝරාගෙන රටාවකට තබමින් දහස් ගණන්, ලක්ෂ ගණන් මල් නෙලාගෙන විත් මහා මල් පූජා තබමින් අලංකාර සැරසිල්ලක් දෙස රූප කාමයෙන් මත්ව බලා සිට සිත පිනවන ක්‍රම රටාවක් මෙකල පවතී.  බුදු පියාණන් වහන්සේ වදාල මාර්ගය වූයේ සීල, සමාධි, ප්‍රඥා යන ත්‍රිවිධ ශාසනය අප්‍රමාදව පූරණය කරන්න යන්නයි.
මල්, ගද, විලවුන් දැරීම, සැරසීම, අඩු තැන් පිරවීම වැනි පහත් ගති අත හැර හික්මෙන්ට යැයි සික පද වදාරා උගත් බෞද්ධයන්ට අප්‍රමාද ආර්ය මාර්ගය දේශනා කර ඇත.  එසේනම් මහ රහතන් වහන්සේලාද මල් පූජා කර ඇති බවත් ආදී බෞද්ධයෝද ඒ මග අනුගමනය කර ඇති බවත් නොරහසකි.  ඒ උතුමන් පටු අදහසකින් එබන්දක් සිදු කර නැත.  වටිනා අරුත වැසී යාමෙන් අද ඉහත කී අදහස් වලින් මල් පූජා කරන බව පෙනී යයි.

නියම මල් පූජාව පෙර කලේ කෙසේද?
ශාසන මාර්ගයට ‍බසින විට පළමුව ඇතුළු විය යුත්තේ සීල ශාසනයටයි.  ප්‍රඥාවෙන් තොර සීලයක් නැත.  සීලයෙන් තොර ප්‍රඥාවක් නැත.  එක්තරා බමුණකුට සුදුසු කාරණා විමසීමකදී ඉහත කාරණා දෙක එකිනෙකට අත්වැල් බැදගත් දෙකරුණක් බවත් එය නිතර සිහි කල යුතු බවත් දීඝ නි‍කායේ සූත්‍රයක සදහන් වේ.
උදාහරණ, උපමා සසදමින් සීල ගුණ තේරුම් ගෙන අනුගමනය කිරීම ප්‍රඥා සහගත සීල මාර්ගයයි.  අනාදියේ පටන් සත්වයා දුසිල් බවට ඇද දමන සීල ගුණ හාරා මකා දමන පළමු බාධකය කාමයයි.
පළමුව ලස්සනට දැක, සුවදට ලංව, මුදු පහසට බැදි, කාම රොන් පහස ලැබ, ආස්වාද පැණි බී මත්වන බඹරුන්, බිගුන් මෙන් මනුෂ්‍යාද මාර තොණ්ඩු බැදි කාම භවයට බැසගනී.

පිටුව 33 සහ 34

 (පිටුව 33)
මීලගට තිබෙන්නේ සරණ සමාදානයයි
මෙහිදී සරණ - පිළිසරණ තේරුම්ගත යුතුයි.
තිසරණ වාක්‍ය භාවිතයේදී බුදු සරණ යමි, දම් සරණ යමි, සග සරණ යමි යැයි තෙවරක් පාඨ කියන්නේය.
"අත්ථ දීපා විහරථ - අත්ථ සරණා අනඤ්ඤ සරණා"
"තමා ආලෝක කරගෙන වසන්න - තමාම සරණ කරගන්න.  අන්‍ය සරණක් නැත"
මෙය බුද්ධ භාෂිතයකි.
"තුම්හේහි කිච්චං ආතප්පං - අක්ඛා ථාරෝ තථාගතා"
"ඔබලාගේ තර්පනය ඔබලාම කරගත යුතුය - තථාගතයන් වහන්සේ එතෙර නොකරති" (මග පමණක් පෙන්වයි)
මෙයද බුද්ධ භාෂිතයකි.
එසේම ත්‍රිපිඨක දහම් පොත්වල භික්ෂූන් මා පිළිසරණ කරගෙන, මාගේ ධර්මය පිළිසරණ කරගෙන වසන්නාහුය යන බුද්ධ භාෂිතයද ඇත.
මෙහිදී තිසරණ සරණ මෙසේ තේරුම් ගත යුතුයි
"භවය උදුරා" යන භ + උද්ධ = බුද්ධ යන පදයට මා හර වැටහෙන නිරුක්තියයි.
"සර" හෙවත් සංසාර ප්‍රවෘත්තිය "ණ" හෙවත් නසා සර + ණ = සරණ යන පදයේ නිරුක්තියයි. 
භවය උදුරා හරිමින් සසර ගමන කෙළවර කරමි.  (බුද්ධං සරණ)
ධර්ම ධරව සසර ගමන කෙළවර කරමි (ධම්මං සරණ)
අවිද්‍යා, තෘෂ්ණා එකතුව බිද හැර සසර ගමන කෙලවර කරමි (සංඝං සරණ)
මේ තිසරණයේ අර්ථය ලෙස මට වැටහේ.  මේ සරණ ගමනයි.
"අත්ථ දීපා විහරථ - අත්ථ සරණා අනඤ්ඤ සරණා"

(පිටුව 34)
"තමා ආලෝක කරගෙන වසන්න - තමාම සරණ කරගන්න, අන්‍ය සරණක් නැත" යන බුදු වදනට ගැලපේ.

මෙසේ කීවාට පිළිසරණ කර ගැනීමට කිසි බාධාවක් නැත.  ධජග්ග සූත්‍රයේ පෙන්වා ඇති පරිදි භික්ෂුවට භයක්, තැති ගැන්මක්, ලොමු ඩැහැ ගැන්මක් ආ විට බුදුන්, දහම්, සගුන් මෙනෙහි කරන ලෙසත් ඒකාන්තයෙන්ම ඒ භය, තැති ගැනුම්, ලොමු ඩැහැ ගැනීම් දුරු වන බවත් ඊට හේතුව බුදු පියාණන් වහන්සේ රාගක්ෂය, ද්වේෂක්ෂය, මෝහක්ෂය කල බැවින් යැයිද පෙන්වා ඇත.

මෙසේ ලෞකික වූ භය, තැතිගැනුම්, ලොමු ඩැහැගැනීම්, දුරු වීමට පිළිසරණත්, සසර ගමන නැවතීමට සරණත් දැන යායුතුය.
බුද්ධ, ධම්ම, සංඝ යනු පුද්ගලත්වයෙන් පෙන්වුවද අප්‍රමාණ ගුණ සමුදායක් නිසා එසේ පෙන්වන බව සනාථ කරමින් තෙරුවන් සිහි කිරීමට සූවිසි ගුණ පද ලෙස බුද්ධ භාෂිතයෙන්ම දේශනා කර ඇත.

"අනන්තය" යන පදයෙන් අසීමිත, අප්‍රමාණ දුරක් පෙන්නුවා සේ පදයක් කී පමණින් මෙතෙකින් මේ විග්‍රහය වේ යැයි ගුණ සීමා නොකල යුතුය.

රහසින් වත් පව් නොකරන බැවින්, වාසනා සහිත කෙළෙස් දුරු කළ බැවින, පූජාවට සුදුසු බැවින් අරහං නම් වේ, ආදී ලෙස සීමා කර නොගත යුතුය.  මේ සියලු ගුණද අප්‍රමාණ වන බැවින් බුදු ගුණ තත්වය කෙසේදැයි දන්නේ තවත් බුදු පියාණන් වහන්සේ කෙනෙක් පමණකි.
මුලු ජීවිත කාලයම අන් දහමක් නොදෙසා බුදු ගුණයක්ම විස්තර කලොත් උන්වහන්සේගේ ආයු කාලය ගෙවී යනවා මිස එම ගුණය කෙලවර නොවන බව බුද්ධ දේශනාවයි.  මේ සෑම ගුණයක්ම අප්‍රමාණ ගුණ බව අචල ශ්‍රද්ධාවෙන් හෙවත් නොසෙල්වන විශ්වාසයෙන් ඇදහිය යුතුය.
මේ ත්‍රිවිධ රත්නයේ සූවිසි මහා ගුණස්කන්ධය තුලින් අපට නිවනට ගමන් මග ඇති බවද දත යුතුයි.  මේ ගුණ තුලින් අනුගමනය කල යුතු නිවන් මග මරුට නොපෙනේ.  බාධක රහිත නිවන් මගක් මේ ගුණ තුලින් ඇත.  එය පසුව විග්‍රහ කරනු ලැබේ.
මෙසේ සූවිසි ගුණ පද සජ්ඣායනා කරමින් ගුණ පිලිසරණ බලාපොරොත්තු විය යුතුය.  "ධම්මෝ හවේ රක්ඛති ධම්ම චාරී" යන බුද්ධ භාෂිතය සනාථ කරමින් ශාසන මගට විරුද්ධ බාධක ඉවත්ව නිසි මග සැලසෙනු ඇත.  අනාධිමත් කාලයක් සසර පැවැත්මේ ආස්වාදම ප්‍රිය කල පින්වතුන්ටම ප්‍රිය මනාප ඇසුරු වල ඇති ආදීනවය වැටහෙන්නට පටන් ගැනීම නිවනට පෙර නිමිති වේ. 

Feb 5, 2010

පිටුව 31 සහ 32


(පිටුව 31)
මෙහිදී පිරිණිවන් පෑ බුදු පියවරු, මහ රහතන් වහන්සේලා මනසින් වැඩමේවා කීම වරදවා තේරුම් ගත් විට ඒ තර්ක වාදීන්ට ගැටළුවක් මතුවිය හැකිය.  මෙහිදී සිදුවන්නේ උද්දේසික පූජෝපහාරයකි.  අපදාන පාලියේ බුද්ධාපදානයේ තිලෝක විජය චක්‍රවර්තී රජතුමා ලෙස උපන් මග බෝසතාණන් වහන්සේ කල වූ මෙබදු පුජා විධි ගැන බලා සැක හැර මේ මහා ශාන්ති පූජාවේ ප්‍රතිඵල නෙලා ගන්න.  මේ වතාවත් පූජාවෙන් පසු ගුණ උපහාර පූජාව ආරම්භ කෙරේ.
මහ බෝසතාණන් වහන්සේලා ශ්‍රී මුඛ විවරණ ලැබූ තැන් පටන් සාරා සංඛ්‍ය, අටාසංඛ්‍ය, සොළොසා සංඛ්‍ය  කල්ප ලක්ෂ ගණනක් දස පාරමිතා, දස උප පාරමිතා, දස පරමත්ථ පාරමිතා ආදී වශයෙන් සමතිංශත් පාරමී ධර්මයන් සම්පූර්ණ කර නිසි කාලයෙහි ලොව්තුරා බුද්ධත්වයට පත්වීමට ඒ මහා බුදු බව දරන්නට සුදුසු ශ්‍රී දේහයකින් ලොව පහළ වන්නේය.  දෙතිස් මහ පුරුෂ ලක්ෂණ, අසූ අනූ ව්‍යාංජන සහිත දේහ ලක්ෂණ සහිතව දෙසිය සොළසක් ශ්‍රී පාද ලක්ෂණ සහිතව දේහධාරීව පහල වන ඒ ශ්‍රී ශරීරය බුදු බවටම ‍ආවේනිකය.   
ආධ්‍යාත්මික ආයතන පහල වූ පමණින් ලොව්තුරා බුදුවන්ට නොහැකිය.  බාහිර ආයතන වල මෙන්ම ලෝකයේ සුදුසු ප්‍රදේශයක්ද ඒ සදහා බිහි විය යුතුමය.  නිරෝගී බව ලැබීමට බාහිර ඖෂධ ප්‍රත්‍යවන්නා සේම ලොව්තුරා බුදු බවට මධ්‍ය දේශය, බෝ මැඩ බිම් ප්‍ර‍දේශය, ජය ශ්‍රී මහා බෝ රජාණන් වහන්සේ යන ස්ථාන බුදු වන මොහොත වන විට මහා උපනිශ්‍රය ලබාදෙන ස්ථානයෝ වෙති.
මෙම ස්ථාන අනුකූල ලෙස බල ගැන්වී සකස් වීම අහම්බෙන් සිදු වන්නක් නොවේ.  බුදු දහමේ උගන්වන්නේ සෑම ආකාරයකම ඵලයක් ‍හේතු නිසාම හටගන්නා බවයි.
ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ ලොව්තුරා බුදු බව ප්‍රධාන කොට ගෙනම පාරමී බලය අනුව සැකසුන සප්ත සහජාත වස්තූන්ගේ ප්‍රධාන ලෙස දහම් පොත් වලද සදහන්වේ.
නොපෙනෙන පාරමිතා පුණ්‍ය ශක්තිය, ලෝකය තුල විද්‍යාමාන වන මහා ශක්ති කදම්භය ලෙස බෝධි රාජයාණන් වහන්සේ වෙතින් විහිදේ.  ඒ පරිසරය තුළ දස මාර බලයද දුර්වල වේ.  බාධක දෝෂ බිද හැරේ.  අප්‍රමාණ සියලු සමාපත්ති සමවදින්ට ලෝකයේ පිහිටි නියම පරිසරය එතැන්හි විද්‍යාමාන වේ.  ‍

(පිටුව 32)
ඒ බෝධිරාජයාණන් වහන්සේගෙන් විහිදෙන්නේ අප්‍රමාණ ගුණ බල ඇති මහා බෝසත් පාරමී බල ශක්තියයි.  ලොව සතුන්ට කරුණා දයාවෙන් පිරූ පාරමිතා බලය නිසාම ඒ උතුම් ශක්ති කදම්බ ශාසන ගුණ වඩන ශ්‍රාවක පිරිස් වෙතද විහිදෙනු ඇත.
එම ගුණ ශක්ති බල මහිමයට වන්දනාමාන, පූජා සත්කාර කරන මනසට ගති ගුණයට සමාන ආකර්ශනය වීමෙන් එම ශක්තිය ශ්‍රාවක ගුණ පූරණයටද මහෝපකාරීවේ.
පෙර පහල වූ මහා බෝධි බල මහිමයද විශ්වයේ නිදහස්ව පවතී.  ගුණයට නමදින විට එම බල මහිමයන්ද ඇද විත් ආශිර්වාද සැලසෙනු ඇත.
දැන් කරුණු තේරුම් ගෙන ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේලා තමන් මවාගෙන තෙල්, මල්, පහන්, සුවද, කොඩි, සේසත්, වියන්, වටතිර, පැන්කල ආදියද තමන් මනසින් මවාගෙන ඒ සියලු ජය ශ්‍රී මහා බෝධි රාජයාණන්වහන්සේලා අබියස විහිදුවමින් පුජාකරමියි ගෞරව සිතින් කල යුතුය.  මේ අනුකූලතාවය හේතු කොට ගෙන බෝධි ආශිර්වාදය ලැබීමට හේතු පහල වෙමින් නිරන්තරයෙන් නැමී සිටිනු ඇත.  දහම් ගුණ වැඩෙන මනස සිසිල් වෙමින් සමාධියට බරවන අයුරු අත් දැකිය හැකිය.
බුද්ධ යනු චතුරාර්ය සත්‍යය අවබෝධය කිරීමෙන් භවය සහමුලින්ම උදුරා දැමූ අනන්ත ගුණස්කන්ධයට නමකි.  බෝධි යනු ඒ අව‍බෝධය පූර්ණ වීමට පිරිය යුතු පාරමිතා ගුණ කදට නමකි.  ඒ පාරමිතා පුණ්‍ය ශක්තිය අදෘෂ්‍යමානය.  ලොවට දෘෂ්‍යමාන වන්න බෝධිය යැයි ව්‍යාවහාර වේ.  මේ බුද්ධ, බෝධි ආශිර්වාදය බෞද්ධයාට විශාල රක්ෂණයකි.  
ආශිර්වාදයකි.  මේ ගුණ කදට නැමී එම ආසිරි ලැබීමට මේ ගාථාවද සජ්ඣායනා කල යුතුය.
"යේ බ්‍රාහ්මණා වේදගු සබ්බ ධම්මේ 
තේ මේ නමෝ තේච මං පාලයන්තු
නමත්ථු බුද්ධානං නමත්ථු බෝධියා
නමෝ විමුත්තානං නමෝ විමුත්තියා"

පිටුව 29 සහ 30

 (පිටුව 29)
සැමගේ දෝත පිරිසිදු වේවා.  සැමතට හිත පැතූ සියලු ‍භෝසන මැවේවා.  බුදු පියාණන් වහන්සේලා අග්‍ර කර ගෙන මහා සංඝ රත්නය ඉදිරියේ මේ පූජාව සිදුවේවායි අබියස හිදිමින් කරන සේ ගෞරවයෙන් මවා පූජා කල යුතුයි.   ප්‍රධාන භෝජන පූජා, පලතුරු, කැවිලි, කිරි, පැණි ආදී අනේක විධ පූජා සුරතින් මැවී විහිදෙමින් බුදු පියවරුන්ට, මහ සගනට පූජා වෙන ආකාරයට සිතින මෙනෙහි කල යුතුය.  කලක් හුරු වන විට දිවමන් කලක පූජා කරන ලෙස මැවීද පෙනෙන්ට වේ.  ඇති වන චිත්ත ප්‍රසාදය අති බලවත්වේ.  මේ පුණ්‍ය මහිමය අප්‍රමාණය.  
අනත ලෝ සතුන්  සමග එක්ව කරන පූජාවක් සේම වැටහෙනු ඇත.  ගාථාද කියා පූජා කල යුතුයි.
"පූජකෝ ලහතෙ පූජං - වන්දකෝ පටි වන්දනං"
යන බුද්ධ භාෂිතය පරිදි හේතු ඵල ධර්මතා පරිදි ‍තමන්ටද නිවන් දකින තුරු ගෞරව, පූජා, සත්කාර වලින් කිසි අඩුවක්ද නොවනු ඇත.  මේ ‍භෝජන පූජා සම්භාරය සියලු ‍ලෝ සතුන් වෙත ලැබේවායි ආසිරි පතරුවා මේ චිත්ත ප්‍රසාද බලයෙන් අනන්ත ලෝ සතුන්ගේ දුගති මිදේවා.  සුගතියට පත්වේවා.  ආයු, වර්ණ, සැප, බල, නුවණ ලැබී අමා නිවන් ශාන්තිය සැමටම උදා වේවායි අදිටන් කල යුතුය.  
මීලගට පෙර බොදුනුවන් දැහැත් පූජා කල ආකාරය
බුදු පියාණන් වහන්සේලා ලොව දහම් සුවදින්, ගුණ සුවදින් සුවදවත් කරමින් හදවත් සුවද කරන දහම් පද දේශනා කල බුද්ධ මුඛ සුවද ගුණ‍ය සිහි කර විය යුතුයි.
මහා සංඝ රත්නය එම දම් ගුණ සුවද විහිදෙන දහම් පද මුඛ සුවදින් ලොවට දෙසමින් ගෙන එන අනන්ත මුඛ සුවද ගුණය සිහි කර විය යුතුයි.මෙබදු ගුණයට උපහාර පූජාවක් ලෙස මුඛ සුවද කරන ඖෂධීය දැහැත් සියතින් මවා බුදු පියාණන් වහන්සේලාට, සංඝ රත්නයට දිවමන් කල අභියස පූජා කරනසේ මවමින් විහිදුවා පූජා කල යුතුය.  මනස ප්‍රසාදයෙන් නෑවී සිටින විට පෙනි පෙනී මැවී ගොස් අඩු නැතිව විහිදෙමින් දිවමන් බුදු මග සගනට පූජා වෙන ආකාරයද මැවී පෙනෙනු ඇත.  මෙහිදී ඇතිවන චිත්ත ප්‍රසාදය අප්‍රමාණ පින් කදකි.  

(පිටුව 30)
ලෝක සත්වයාටද මේ පින් බල මහිම හේතුකොට ගෙන මුඛ රෝග දුරු වේවා.  පාප දුගද වදන් පිට නොවේවා.  දහම් සුවද, ගුණ සුවද, වදන්ම පිට වේවා.  ඒ හේතුවෙන් සාම හඩ ලොවට නැගේවා.  සාම දම් පද ශ්‍රවණය කොට සාමයෙන්, සුවයෙන් නිවන් ප්‍රත්‍යක්ෂ කරත්වායි ආසිරි පැතිය යුතුය.
මේ සියල්ල සිහි කර නැවත එසේම මවාද පිදෙන ලෙස කියා ගාථාද ගැයිය යුතුය. 
පෙර බොදුනුවන් කල බෙහෙත් පූජාව
බුදු පියාණන් වහන්සේලා දේශනා කල ශ්‍රී සත් ධර්මය සියලු ඖෂධ අභිබවන මහා ඖෂධයෙකි.  හිත, ගත ‍නිරෝගී කරන වටිනා ඖෂධයකි.  
අනන්ත සංසාර රෝගය සදහටම සුව කරන දහම් ඔසුවකි.  මේ සම ඖෂධයක් තවත් ලොව නැත.
එවන් උතුම් දහම් ඖෂධ, ගුණ ඖෂධ දෙවා වදාල බුදු පියාණන් වහන්සේලාගේ ඒ ගුණ අන්නතය.
මහා සංඝරත්නය ඒ මහා ඖෂධ ගුණ ලොවට පතුරුවා ගෙන එන්නේය.  මේ අනන්තය ගුණය සිහි කරවිය යුතුය.  මේ අනන්ත ගුණ කදට ඖෂධ මවාද උපහාර පූජාවක් කරමියි දිරි ගැන්විය යුතුය.  
සියතු පිරිසිදු වේවා.  හිත පැතූ ඖෂධ මැවේවායි අදිටන් කරවිය යුතුයි.  බුදු පියවරු අග්‍ර කරමින් මහා සග පෙලටද විහිද ගොස් පූජා වේවායි කිය විය යුතුය.  චිත්ත ප්‍රසාදය තුලින් නැගෙන සමවත් සිතට මේ පූජාවෝ මැවී පෙනෙන්ට වේ.  ඇති වන චිත්ත ප්‍රසාදය අප්‍රමාණය.  මේ පින සියලු ලෝ සතුන් අනුමෝදන් වෙත්වායි ආසිරි පැතිය යුතුයි.
මේ සියලු සත්වයෝ දුගති වලින් මිදෙත්වා.  අට අනූවක් ‍රෝග, නව අනූවක් ව්‍යධි, දෙසිය තුනක් අන්තරා යැයි කියන සියලු ආබාධ දුරු වේවා.  සදාකාලිකව ලෙඩ දුරු වූවා නිවන් සුවය අත්වේවායි අදිටන් කරවිය යුතුය.මේ සියල්ල සිහි කරවා ගාථා මගින්ද බෙහෙත් පූජාව කල යුතුය.
මනසින් වැඩම වූ බුද්ධ ප්‍රමුඛ මහා සංඝ රත්නය උදෙසා කල යුතු මූලික වතාවන් කොටසයි මෙසේ න්‍යයානුකූලව සිදුකලේ. 

පිටුව 27 සහ 28

(පිටුව 27)
සියලු ලෝක සත්වයෝම අප සමග එක්ව මේ පින් කුසල් සිදු කර ගනිත්වායි ඇරයුම්ද කල යුතුය.  මෙහි හේතුඵල වශයෙන් මේ පින වැඩුන කෙනෙකුට කොතැන ගියත් බාධක දුරුවීම, ආධාර, උපකාර, ගෞරව, කීර්ති, ප්‍රශංසා ලැබීම තම කටයුතු වලට අවහිර බාධක වලින් තොර වාතාවරණය උදාවීම සිදුවනු ඇත.  නිදහසේ සැනසිලේලේ නිවන් දකින්ටද මග පෑදෙනු ඇත.  මෙත්තා සහගත කාය කර්ම, වචී කර්ම, මානෝ කර්ම සම්පූර්ණ වනු ඇත.  මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ෂා යන සිව් බඹ විහරණ පහසුවෙන් ලැබී වහා සමවත් සම වදින්ට හැකි වනු ඇත.  සියලු ශාසන පහසුකම් සැලසෙනු ඇත.
මෙසේ සියල්ලෝම එක්ව ජීවමාන බුදු පියාණන් වහන්සේලා උතුම් ධර්ම රත්නය, මහා සංඝ රත්නය සිහි කර ජීවමාන කලක මෙන් ඉතා ගෞරව පූර්වකව නමස්කාර වාක්‍යය කිව යුතුය.
සාම්ප්‍රදායිකව අද කරන පූජෝපහාර වලදී නමස්කාරයෙන් පසුව තිසරණ සමාදානය, තෙරුවන් ගුණ කීම, ශික්ෂා සමාදානය ආදිය සිදුකර පසුව පැන්, භෝජන, දැහැත්, බෙහෙත් ආදී පූජෝපහාර විධි කරනු ලැබේ.  
නමුත් ආගන්තුක පින්වතෙක්, ස්වාමීන් වහන්සේ නමක් ගෙදරට පැමිණි පසු පළමුව කල යුත්තේ වත් පිලිවෙත්ය.  මේ නියායෙන් ජීවමාන තුනුරුවන් ඉදිරිපිටදීද පළමුව අප කල යුත්තේ ගෞරවාචාර කර වත් පිලිවෙත් කිරීමයි.  
‍පැන් පූජාව ජීවමාන කල ලෙස මනෝමයව පූජා කිරීමෙන් හද පත්ලෙන් නැගෙන ගෞරව ප්‍රසාදය පිහිටනු ඇත.
සෑම පූජාවකදීම අනුකූල ගුණ වලට සසදා කරන පූජා වලින් තම චිත්ත ප්‍රසාදය දියුණු වනු ඇත.
පෙර කල පැන් පූජා ක්‍රම
බුදු පියාණන්වහන්සේලා අප්‍රමාණ වූ කරුණා මෛත්‍රිය සිසිල් ජලාශයක් පතුරන්නා සේ ලොවට විහිදා වදාලහ.  කරුණා මෙත් සිසිල් ජලයෙන් තෙමෙ‍න හදවත් සිසිල් වී දාහ ගිනි දුරු වන්නේය.  නාලාගිරි ඇත් රජ, ආලවක යක්ෂ, අංගුලිමාල වැනි සැඩ ගතියෙන් දැවුන හදවත් බලා සිටියදී සිසිල් වූයේ ඒ මහා ගුණ නිසාය.  කෙලෙස් ගින්නෙන් දැවෙමින් තිබූ හදවත් වලට සදහම් අමා ජලාශ‍ය විහිද විය.  සදහම් අමා පානය ලැබූ අයගේ හදවත් කෙලෙස් ගිනි නිවී ගොස් සාන්ත පද නම් වූ නිවන් සුවයෙන් නිවී සැනසුනි.  

(පිටුව 28)
මහා සංඝ රත්නය එම බුදු මග අනුගමනය කරමින් කරුණා මෛත්‍රී සිසිල් ජලාශය විහිදුවමින් සදහම් අමා පානය පතුරා හරිමින් කරන සේවය අප්‍රමාණය.
මෙවන් අනත ගුණ විහිදුවමින් බුදු පියාණන් වහන්සේලාට මෙන්ම සංඝ රත්නයට මනෝමය මහා ජලාශයක් මවා උපහාර පූජාවක් කරමි.  සැමගේ දෑත පිරිසිදු වේවා.  දෑතින් සිසිල් ‍පැන් බදුන්, රස පැන් බදුන් අඩු නැති ලෙස මැවී බුදු පියාණන්වහන්සේලා අග්‍රකොට මහා සංඝ රත්නය වෙත විහිදේවා, පූජා වේවායි බුද්ධ ‍ප්‍රමුඛ මහා සංෂයා වහන්සේලා අබියස මනෝමයව සිතින් මවමින් මෙසේ පූජා කල යුතුයි.  තැන්පත් ප්‍රසාද ජනක මනසින් මෙවන් පූජා කරන විට මනස ප්‍රබෝධ වී සසුන් කෙතට අවතීර්ණව සිටිනු ඇත.
ලැබෙන චිත්ත ප්‍රසාදයේ පූණ්‍ය බල මහිමය අප්‍රමාණය.  සියලු ලෝ සතුන් කෙරෙහි දයාවෙන් මේ පුණ්‍ය කුසල ප්‍රවාහනය විහිදුවා පින් පෙත් දිය යුතුය.  හදෙහි විස දාහ ගිනි නිවී ගොස් දහම් රසය පෙවී කෙලෙස් ගිනි නිවී  නිවනින්ම සැනසුම ලැබේවායි සෙත් පැතිය යුතුයි.
යළි පෙ‍රසේම සිහි ගන්වා ගෙන ගාථාද කියා පූජා කල යුතුයි.  මේ පැන් පූජා ක්‍රමයෙන් තම සන්තානයේ දාහ ගිනි නිවී ගොස් චිත්ත සමාධියටත් කෙලෙස් ගිනි නිවන විදර්ශනා ප්‍රඥාවටත් මහා උපනිශ්‍රයක් වනු ඇත.
මීලගට කරන්නේ මනෝමය භෝජන පූජාවයි
බුදු පියාණන් වහන්සේලා සහ මහා සංඝ රත්නය ජීවමාන කල්හි ජීවමානත්වයේ අප්‍රමාණ ගුණ සිහි කල යුතුය.  තුන් ලොව බබලවන දස දහසක් සක්වල දිව්‍ය, බ්‍රහ්ම ආදී සවි සතුන්ට මහා මිණි පහන් ටැඹක්වන් සදහම් ආලෝකය පතුරුවන බුදු පියාණන්වහන්සේලාගේ අනන්ත වූ ජීවමාන ගුණ සිහි කරවිය යුතුය.  මහා මිණි පහන් වැටක් සේ සදහම් එලි පතුරුවන ජීවමාන සංඝ රත්නයේ අප්‍රමාණ ගුණ සිහි කර විය යුතුය.  ඒ ජීවමානත්වයට අවශ්‍ය වන ආයුෂ, වර්ණය, සැපය, බලය, පටිභාන ඥානය කැටි කර කරන පූජාවක් සේ සිහි කරන මනෝමයව සියලු භෝජන අඩු නැතිව මවාද පූජා කරමියි සිහි කර දිය යුතුය.