මෙම බ්ලොග් අඩවිය පිළිබඳව

සම්මා සම්බුදු පියාණන්වහන්සේ වදාළ සත්‍ය වූ බුද්ධ ධර්මය කාලයත් සමග සැගවෙන්නට ඇති ඉඩකඩ වැඩිය. එය ‍එසේ වූ නිසාම ශතවර්ෂ ගණනකින් මාර්ගඵල ලාභීන් බිහි වූ බවක් අසන්නට නොලැබිණි... එහෙත් මග ඵල ලැබ ගෞතම බුදු පියාණන් විවර කල නිවන් දොරටුවෙන් මාර්ගයට පිවිස ඵල ලැබී සැනසීමට නියම වූ ඇත්තන් තවමත් සිටින හෙයින් ඔවුන් සදහා උපකාරයක් වීමට නියම කළ්‍යණ මිතුරාගේ පැමිණීම සිදුවී ඇත. ඒ සැඟවුනු මාවත යලි විවර කරමින්, සැඟවුනු දහම් අරුත් මතු කරමින් සසර දුකින් පෙළෙන ඔබටත් මටත් අනන්ත සසර දුක් සයුරෙන් එතෙර වීමේ ප්‍රයෝගික මග හෙලි කරන අභිඥාලාභී පූජ්‍යපාද වහරක අභයරතනාලංකාර ස්වාමීන් වහන්සේගේ ධර්මානුශාසනා ඇසුරෙන් පලවූ "සැගවුණු බොදු මග කල එලි දකී" යන පොත ඇසුරෙන් මෙසේ සටහන් තබමි!

Feb 9, 2010

පිටුව 33 සහ 34

 (පිටුව 33)
මීලගට තිබෙන්නේ සරණ සමාදානයයි
මෙහිදී සරණ - පිළිසරණ තේරුම්ගත යුතුයි.
තිසරණ වාක්‍ය භාවිතයේදී බුදු සරණ යමි, දම් සරණ යමි, සග සරණ යමි යැයි තෙවරක් පාඨ කියන්නේය.
"අත්ථ දීපා විහරථ - අත්ථ සරණා අනඤ්ඤ සරණා"
"තමා ආලෝක කරගෙන වසන්න - තමාම සරණ කරගන්න.  අන්‍ය සරණක් නැත"
මෙය බුද්ධ භාෂිතයකි.
"තුම්හේහි කිච්චං ආතප්පං - අක්ඛා ථාරෝ තථාගතා"
"ඔබලාගේ තර්පනය ඔබලාම කරගත යුතුය - තථාගතයන් වහන්සේ එතෙර නොකරති" (මග පමණක් පෙන්වයි)
මෙයද බුද්ධ භාෂිතයකි.
එසේම ත්‍රිපිඨක දහම් පොත්වල භික්ෂූන් මා පිළිසරණ කරගෙන, මාගේ ධර්මය පිළිසරණ කරගෙන වසන්නාහුය යන බුද්ධ භාෂිතයද ඇත.
මෙහිදී තිසරණ සරණ මෙසේ තේරුම් ගත යුතුයි
"භවය උදුරා" යන භ + උද්ධ = බුද්ධ යන පදයට මා හර වැටහෙන නිරුක්තියයි.
"සර" හෙවත් සංසාර ප්‍රවෘත්තිය "ණ" හෙවත් නසා සර + ණ = සරණ යන පදයේ නිරුක්තියයි. 
භවය උදුරා හරිමින් සසර ගමන කෙළවර කරමි.  (බුද්ධං සරණ)
ධර්ම ධරව සසර ගමන කෙළවර කරමි (ධම්මං සරණ)
අවිද්‍යා, තෘෂ්ණා එකතුව බිද හැර සසර ගමන කෙලවර කරමි (සංඝං සරණ)
මේ තිසරණයේ අර්ථය ලෙස මට වැටහේ.  මේ සරණ ගමනයි.
"අත්ථ දීපා විහරථ - අත්ථ සරණා අනඤ්ඤ සරණා"

(පිටුව 34)
"තමා ආලෝක කරගෙන වසන්න - තමාම සරණ කරගන්න, අන්‍ය සරණක් නැත" යන බුදු වදනට ගැලපේ.

මෙසේ කීවාට පිළිසරණ කර ගැනීමට කිසි බාධාවක් නැත.  ධජග්ග සූත්‍රයේ පෙන්වා ඇති පරිදි භික්ෂුවට භයක්, තැති ගැන්මක්, ලොමු ඩැහැ ගැන්මක් ආ විට බුදුන්, දහම්, සගුන් මෙනෙහි කරන ලෙසත් ඒකාන්තයෙන්ම ඒ භය, තැති ගැනුම්, ලොමු ඩැහැ ගැනීම් දුරු වන බවත් ඊට හේතුව බුදු පියාණන් වහන්සේ රාගක්ෂය, ද්වේෂක්ෂය, මෝහක්ෂය කල බැවින් යැයිද පෙන්වා ඇත.

මෙසේ ලෞකික වූ භය, තැතිගැනුම්, ලොමු ඩැහැගැනීම්, දුරු වීමට පිළිසරණත්, සසර ගමන නැවතීමට සරණත් දැන යායුතුය.
බුද්ධ, ධම්ම, සංඝ යනු පුද්ගලත්වයෙන් පෙන්වුවද අප්‍රමාණ ගුණ සමුදායක් නිසා එසේ පෙන්වන බව සනාථ කරමින් තෙරුවන් සිහි කිරීමට සූවිසි ගුණ පද ලෙස බුද්ධ භාෂිතයෙන්ම දේශනා කර ඇත.

"අනන්තය" යන පදයෙන් අසීමිත, අප්‍රමාණ දුරක් පෙන්නුවා සේ පදයක් කී පමණින් මෙතෙකින් මේ විග්‍රහය වේ යැයි ගුණ සීමා නොකල යුතුය.

රහසින් වත් පව් නොකරන බැවින්, වාසනා සහිත කෙළෙස් දුරු කළ බැවින, පූජාවට සුදුසු බැවින් අරහං නම් වේ, ආදී ලෙස සීමා කර නොගත යුතුය.  මේ සියලු ගුණද අප්‍රමාණ වන බැවින් බුදු ගුණ තත්වය කෙසේදැයි දන්නේ තවත් බුදු පියාණන් වහන්සේ කෙනෙක් පමණකි.
මුලු ජීවිත කාලයම අන් දහමක් නොදෙසා බුදු ගුණයක්ම විස්තර කලොත් උන්වහන්සේගේ ආයු කාලය ගෙවී යනවා මිස එම ගුණය කෙලවර නොවන බව බුද්ධ දේශනාවයි.  මේ සෑම ගුණයක්ම අප්‍රමාණ ගුණ බව අචල ශ්‍රද්ධාවෙන් හෙවත් නොසෙල්වන විශ්වාසයෙන් ඇදහිය යුතුය.
මේ ත්‍රිවිධ රත්නයේ සූවිසි මහා ගුණස්කන්ධය තුලින් අපට නිවනට ගමන් මග ඇති බවද දත යුතුයි.  මේ ගුණ තුලින් අනුගමනය කල යුතු නිවන් මග මරුට නොපෙනේ.  බාධක රහිත නිවන් මගක් මේ ගුණ තුලින් ඇත.  එය පසුව විග්‍රහ කරනු ලැබේ.
මෙසේ සූවිසි ගුණ පද සජ්ඣායනා කරමින් ගුණ පිලිසරණ බලාපොරොත්තු විය යුතුය.  "ධම්මෝ හවේ රක්ඛති ධම්ම චාරී" යන බුද්ධ භාෂිතය සනාථ කරමින් ශාසන මගට විරුද්ධ බාධක ඉවත්ව නිසි මග සැලසෙනු ඇත.  අනාධිමත් කාලයක් සසර පැවැත්මේ ආස්වාදම ප්‍රිය කල පින්වතුන්ටම ප්‍රිය මනාප ඇසුරු වල ඇති ආදීනවය වැටහෙන්නට පටන් ගැනීම නිවනට පෙර නිමිති වේ. 

0 comments: