මෙම බ්ලොග් අඩවිය පිළිබඳව

සම්මා සම්බුදු පියාණන්වහන්සේ වදාළ සත්‍ය වූ බුද්ධ ධර්මය කාලයත් සමග සැගවෙන්නට ඇති ඉඩකඩ වැඩිය. එය ‍එසේ වූ නිසාම ශතවර්ෂ ගණනකින් මාර්ගඵල ලාභීන් බිහි වූ බවක් අසන්නට නොලැබිණි... එහෙත් මග ඵල ලැබ ගෞතම බුදු පියාණන් විවර කල නිවන් දොරටුවෙන් මාර්ගයට පිවිස ඵල ලැබී සැනසීමට නියම වූ ඇත්තන් තවමත් සිටින හෙයින් ඔවුන් සදහා උපකාරයක් වීමට නියම කළ්‍යණ මිතුරාගේ පැමිණීම සිදුවී ඇත. ඒ සැඟවුනු මාවත යලි විවර කරමින්, සැඟවුනු දහම් අරුත් මතු කරමින් සසර දුකින් පෙළෙන ඔබටත් මටත් අනන්ත සසර දුක් සයුරෙන් එතෙර වීමේ ප්‍රයෝගික මග හෙලි කරන අභිඥාලාභී පූජ්‍යපාද වහරක අභයරතනාලංකාර ස්වාමීන් වහන්සේගේ ධර්මානුශාසනා ඇසුරෙන් පලවූ "සැගවුණු බොදු මග කල එලි දකී" යන පොත ඇසුරෙන් මෙසේ සටහන් තබමි!

Feb 9, 2010

පිටුව 35 සහ 36

(පිටුව 35)
ඒ ලෝකස්වාද අත් හැරෙන මග මුලදී මහා තනිකමක් පාලුවක්සේද වැටහෙන්නට පුළුවන.  මෙතෙක් සසර අනුගමනය කල කාමාස්වාද වැඩ පිලිවෙල නිසා එක්ව සිටින පිරිසටද වහ කදුරු වැඩ පිලිවෙලක් සේ වැටහෙන්ටද පුළුවන.  එම අයගෙන්ද දහම් මග අධෛර්ය කරන ක්‍රියා, කථා නිතර ඇසෙන්නට, බලපෑම් කරන්ටද පුළුවන.  තෙරුවන් ගුණ නිතර සිහිකර පිළිසරණ පතන විට මේ අධ්‍යත්මික, බාහිර බාධක ක්‍රමයෙන් දුරුවී සත් පුරුෂ අකම්ප්‍ය ගුණයෙහි සිත පිහිටනු ඇත.
අසත් පුරුෂයා නිතර පස්පව්, දස අකුසල් කරන්නෙකි.  තමන් එයින් වෙන්වීමටත් අන්‍යයන් ගුණයෙහි සමාදාන කරවීමටත් නිතර යුහුසුළු විය යුතු අතර එබදු පාපීන් සේවනයෙන් නොගැටී ඈත්ව සිටීමට සිහියෙන් වග බලාගත යුතුය.
සාම්ප්‍රදායිකව මෙකල කරන්නේ පන්සිල් ගැනීමයි කියමින් පංච සික්ඛා සමාදානයයි.මේ සිල් පද පිලිබදව මෙකල අරුත් යටපත්වී ඇත.  පන්සිල් පංච දුෂ්චරිත, පංච සික්ඛා, පස් පව්, සිල්වත, සීලය යන මේවායේ අරුත් වෙන් වෙන්ව වටහා නොගත හොත් සමාදානය අසීරු වෙනවා පමණක් නොව සමාදන්ව සික්ඛා පද කැඩීමෙන් ධර්මාවබෝධයට බාධා ඇතිවී "ආණා විතික්කමාවරණ" නම් වූ ආවරණයටද වැටෙන්නට පුළුවන.  මේ ගැනද පසුව විග්‍රහ කරමි.
මූලික සිල් වතක් ලෙස පංච දුෂ්චරිතයෙන් වැලකීමට අදිටන් කරගැනීම සෑහේ.  මින් නොනැවතී දස අකුසලය තේරුම් ගෙන සිහියෙන් කටයුතු කරමින් ඒවායින් වැළකීමටද වග බලාගත යුතුය.
පංච දුෂ්චරිතයෙන් වැළකීමට වෙනම පද දේශනා කර නොමැති බැවින් සිංහල අරුතින් කියවන මේ කවිය ‍ඒ වෙනුවට භාවිත කිරීම ඉතා යහපති.
මම සතුන්                                නොමරමි
සොරකම් කිසිත්                        නොකරමි
දුසිරිතෙන්                                 දුරුවෙමි
බොරු බසින් මත් පැනෙන්           වැළකෙමි

(පිටුව 36)
තෙවරක් මේ කවිය කියා දුෂ්චරිතයෙන් වැළකීමටත් සුචරිවත්ව කටයුතු කරන්ටත් දැඩි අදිටනක් ඇති කර ගන්න.
දැන් කල යුත්තේ ක්‍රමයෙන් සුචරිත බුදු ගුණ කරා ළගා වීමය.
වසර දෙදහස් පන්සීයකටද පෙර පටන් බෞද්ධයන් මල් පූජා ක්‍රමයෙක් පවත්වාගෙන එයි.  මෙහි වටිනා අර්ථය අද වැසී‍ ගොස් මල් පූජාව විලාසිතාවක් කරගෙන ඇත.  ලස්සනට මල් වට්ටි සරසා සුවද මල් තෝරාගෙන රටාවකට තබමින් දහස් ගණන්, ලක්ෂ ගණන් මල් නෙලාගෙන විත් මහා මල් පූජා තබමින් අලංකාර සැරසිල්ලක් දෙස රූප කාමයෙන් මත්ව බලා සිට සිත පිනවන ක්‍රම රටාවක් මෙකල පවතී.  බුදු පියාණන් වහන්සේ වදාල මාර්ගය වූයේ සීල, සමාධි, ප්‍රඥා යන ත්‍රිවිධ ශාසනය අප්‍රමාදව පූරණය කරන්න යන්නයි.
මල්, ගද, විලවුන් දැරීම, සැරසීම, අඩු තැන් පිරවීම වැනි පහත් ගති අත හැර හික්මෙන්ට යැයි සික පද වදාරා උගත් බෞද්ධයන්ට අප්‍රමාද ආර්ය මාර්ගය දේශනා කර ඇත.  එසේනම් මහ රහතන් වහන්සේලාද මල් පූජා කර ඇති බවත් ආදී බෞද්ධයෝද ඒ මග අනුගමනය කර ඇති බවත් නොරහසකි.  ඒ උතුමන් පටු අදහසකින් එබන්දක් සිදු කර නැත.  වටිනා අරුත වැසී යාමෙන් අද ඉහත කී අදහස් වලින් මල් පූජා කරන බව පෙනී යයි.

නියම මල් පූජාව පෙර කලේ කෙසේද?
ශාසන මාර්ගයට ‍බසින විට පළමුව ඇතුළු විය යුත්තේ සීල ශාසනයටයි.  ප්‍රඥාවෙන් තොර සීලයක් නැත.  සීලයෙන් තොර ප්‍රඥාවක් නැත.  එක්තරා බමුණකුට සුදුසු කාරණා විමසීමකදී ඉහත කාරණා දෙක එකිනෙකට අත්වැල් බැදගත් දෙකරුණක් බවත් එය නිතර සිහි කල යුතු බවත් දීඝ නි‍කායේ සූත්‍රයක සදහන් වේ.
උදාහරණ, උපමා සසදමින් සීල ගුණ තේරුම් ගෙන අනුගමනය කිරීම ප්‍රඥා සහගත සීල මාර්ගයයි.  අනාදියේ පටන් සත්වයා දුසිල් බවට ඇද දමන සීල ගුණ හාරා මකා දමන පළමු බාධකය කාමයයි.
පළමුව ලස්සනට දැක, සුවදට ලංව, මුදු පහසට බැදි, කාම රොන් පහස ලැබ, ආස්වාද පැණි බී මත්වන බඹරුන්, බිගුන් මෙන් මනුෂ්‍යාද මාර තොණ්ඩු බැදි කාම භවයට බැසගනී.

0 comments: