මෙම බ්ලොග් අඩවිය පිළිබඳව

සම්මා සම්බුදු පියාණන්වහන්සේ වදාළ සත්‍ය වූ බුද්ධ ධර්මය කාලයත් සමග සැගවෙන්නට ඇති ඉඩකඩ වැඩිය. එය ‍එසේ වූ නිසාම ශතවර්ෂ ගණනකින් මාර්ගඵල ලාභීන් බිහි වූ බවක් අසන්නට නොලැබිණි... එහෙත් මග ඵල ලැබ ගෞතම බුදු පියාණන් විවර කල නිවන් දොරටුවෙන් මාර්ගයට පිවිස ඵල ලැබී සැනසීමට නියම වූ ඇත්තන් තවමත් සිටින හෙයින් ඔවුන් සදහා උපකාරයක් වීමට නියම කළ්‍යණ මිතුරාගේ පැමිණීම සිදුවී ඇත. ඒ සැඟවුනු මාවත යලි විවර කරමින්, සැඟවුනු දහම් අරුත් මතු කරමින් සසර දුකින් පෙළෙන ඔබටත් මටත් අනන්ත සසර දුක් සයුරෙන් එතෙර වීමේ ප්‍රයෝගික මග හෙලි කරන අභිඥාලාභී පූජ්‍යපාද වහරක අභයරතනාලංකාර ස්වාමීන් වහන්සේගේ ධර්මානුශාසනා ඇසුරෙන් පලවූ "සැගවුණු බොදු මග කල එලි දකී" යන පොත ඇසුරෙන් මෙසේ සටහන් තබමි!

Feb 9, 2010

මෙය ඔබ සැම වෙත පිදෙන ඉතාමත් කාරුණික නිවේදනයකි!


 මම වැරදි කටයුත්තක් කරනවා යැයිද මා විසින් බුදු දහම විනාශ කරනවා යැයිද පවසමින් විවිධ තර්ක වාද ඉදිරිපත් කරමින් මා වෙත ලිපි එවන්නත් නොයෙක් අදහස් පල කරන්නටත් මා දැනට කරගෙන යන ධර්මදානමය කටයුත්ත තුලින් මා හට අත්විදින්නට සිදුවී ඇත.  මේ සියල්ලටම හේතුවත් පැහැදිලි කරදීමේ අදහසින් මම මේ සටහන තබන්නට කාලය වැය කරමි.

පෙර අවස්ථාවල මා විසින් ලියන ලද ලිපි තුල කිසිවෙකුගේ නමක් සදහන් නොවිනි.  ඒවා මගේම ලිපි ලෙසින් පලවන විට ඒවා කොතරම් හරිද ඇත්ත තමයි ඔබ ලියන්නේ ලෙසින් නොයෙක් විදියට අගයමින් ඒ ලියන ලද දේවල් අවබෝධකරගත් ලෙසින් සිටි සුළු පිරිසක් මා මෑතකදී වහරක අභයරතනාලංකාර හිමියන්ගේ නම භාවිතා කරන විට ඔය ඔක්කොම බොරු... බුදු දහම විනාශ කරනවා... ඕක නෙවේ ඇත්ත කියලා තමන්ගේ අදහස වෙනස් කිරීමට කටයුතු සිදුකරගෙන ඇත.

මම විසින්ම ධර්මාවබෝධය සම්පූර්ණ කරගන්නා තෙක් ඒ සදහා මේ නිවන් මග පය නොපටලවාගෙන නිවැරදිව ගමන් කරන්නට වහරක අභයරතනාලංකාර හිමියන්ගේ මග පෙන්වීම ඉතාමත් රුකුලක් වූවා සේම තවමත් එය එසේම වේ.  ධර්මාවබෝධය කොතරම් ලැබුවද උන්වහන්සේගේ මග පෙන්වීම තුලින් තව තවත් වටිනා කරුණු මේ මග සාර්ථකව ගමන් කරන්නට උපකාර වන නිසාම උන්වහන්සේට කරන ගෞරවයක් වශයෙන් ධර්මදානමය කටයුතු සිදුකරන කණ්ඩායම් සහ වෙනත් වෙබ් අඩවි තුල උන්වහන්සේගේ නම සදහන් කිරීමට මම කටයුතු කලෙමි. 

ඒ සියලුම ලිපි ඔබ වෙත ගෙන ඒමට කටයුතු කරන්නේ ඉතාමත් සුළු වශයෙන් හෝ නිවන් මගට රුකුලක් බලාපොරොත්තු වන පින්වත් පිරිසට එය සැබැවින්ම උපකාරයක් වේ යැයි සිතමිනි.  එසේම බොහෝ පිරිස් එලෙස ඵල නෙලාගන්නා බව දන්වා එවන අතර ඔවුන් දැන් මාර්ගයට පිවිස ඇති අයුරු බොහෝ විට දන්වා එවන්නේත් සැබෑම සතුටකින් නිසා එය මටද අවංකවම සතුටට පත්විය හැකි කුසල කර්මයකි. 

වහරක අභයරතනාලංකාර හිමියන්ගේ නම දුටු පමණනින් තමාගේ මනසින් එක් වරක් නිවැරදියි කියා ගත් තීරණයක් වෙනස් කොට එයට නිගරු කිරීමට තරම් කිසිවෙකු පෙළඹෙනු දැක සතුටු වන්නද දුක්වන්නද අනුකම්පා කරන්නද කියලා මට සිතා ගත නොහැකිය. කෙසේවෙතත් තමන් කරගන්නා දේ තමන්ටමය... වපුරන විදියටයි අස්වැන්න හම්බවෙන්නේ. 

මම ඔබලා කිසිවෙකුත් ගැන කිසි‍වක් නොදනිමි.  මම වහරක අභයරතනාලංකාර හිමියන් ගැනවත් නොදනිමි.  එහෙත් මම මා ගැන හොදින්ම දනිමි!  මම කිසිදිනෙක පුද්ගලයෙක් මත හෝ වෙනත් බාහිර කරුණක් මත තීරණයන් නොගන්නෙමි.  මම මගේම මනසින් විමසා මටම අවබෝධ වුවහොත් පමණක් තීරණය ගනිමි.  මම විශ්වාස කරනවා මිනිසත්භවයක් ලබන්නට තරම් මම වාසනාවන්ත යැයි කියලා.  හොදින් වැඩුනු සම්පූර්ණ පංච‍ඉන්ද්‍රීය තිබෙන නිසා දකින, ඇහෙන, ගන්ධයන් දැනෙන, රස විදින, ස්පර්ශ කරන දේ ගැන අවබෝධයක් ලබාගෙන හය වන ඉන්ද්‍රීය වන මනස තුලින් තීරණයක් ගැනීමට තරම් හැකියාවක් මට තිබෙන නිසා මටත් මගේ නිවනටත් නිවැරදිම ‍දේ අවබෝධ කරගැනීමට ශක්තියක් මට ඇතැයි මම විශ්වාස කරමි.  මම විශ්වාස කරනවා ඔබ සියලු දෙනාටමත් එලෙසින්ම වන නිසා ඔබ දැනටමත් මේ වටිනා ධර්ම මාර්ගය තෝරාගෙන ඇති බවට. 

බොහෝ අවස්ථාවල නොයෙක් අයුරින් මම දන්වා සිටියේ සැමවිටම කව්ද කිව්වේ කවද්ද කිව්වේ කොහේද කිව්වේ කියලා විමසා බලන්න පෙර මොකක්ද කිව්වේ කියලා විමසා බලන ලෙසයි.  මම නිතරම අනුගමනය කරන්නේ ඒ පිලිවෙලයි මොකද මම අවබෝධ කරගත්තා අනෙක් කිසිවක් වැදගත් නැහැ කියලා.  කිව්වේ මොකක්ද  කියලා අවබෝධ වුනේ නැත්නම් අනෙක් කරුණු වලින් ඇති වැදගත්කමක් නැහැ. 

සමහර පින්වත් පිරිස් සාක්ෂි ඉදිරිපත් කරන්න කියලා දන්වලා එවනවා... සමහර අය කියනවා මුල් පොතේ පිටුව කියන්න කියලා... ඒ අදාල කොටස කියන්න කියලා... ඔවුන් සියලු දෙනාටම මම කියන්න කැමතියි සාක්ෂි තියෙන්නේ ඔබත් සමගමයි කියලා.  ඔබ මදකට ඔබේ මනස වටා බැදගෙන තියෙන රාමුවෙන් පිටතට යොමුවෙලා බලන්න ඔබටම සාක්ෂි අත්විදින්න හැකියාව ලැබේවි.  මන්ද යත් මට සැමවිටම සාක්ෂී ලැබුනේත් තවමත් ලැබෙන්නේත් මම එය ප්‍රායෝගිකවම අත්විදින්නට වග බලාගන්නා නිසාවෙනි.  මම විටෙක යමක් වැරදි ලෙසින් හෝ නිවැරදි ලෙසින් ඔප්පු වුවහොත් අන් අයට දොස් නැගීමට බලාගෙන සිටින අයෙක් නොවෙමි.  මන්ද මම වැදගත් දෙයක් දැනටමත් අවබෝධ කරගෙන සිටින නිසාවෙනි.  ඒ තමයි සියලුම දේ සදහා ඒ ඒ දේවල් එසේ සිදුවීමට සැමවිටම හේතුවක් ඇත යන ඇත්ත මට දැනටමත් අවබෝධ වී ඇති නිසාවෙනි. සරලවම මම සියල්ල දත්තෙකු ලෙසින් මම නොසිතමි.  තවත් අයෙක් විවේචනයට ලක් කීරීමට තරම් දෙයක් මම දන්නවා යැයිද මම නොසිතමි!  මම දැනටමත් මගේ ඇත්ත වටහාගෙන ඇත... ඒනිසාම මම නිවන් මග ගමන් කරන්නේ එය අත්විද සැනසීම උදාකරගැනීමට වේ.   

මම ඔබ සියලු දෙනාගැන කිසිවක් දන්නේ නැති වුවත් මම මාගැන දනිමි.  මගේ සිත, කය, වචනය සංවර කරගෙන මගේ නිදහස උදෙසා කටයුතු කල යුතු ආකාරය වටහාගෙන සිටිමි.  මන්ද යත් මගේ නිවන මට දීමට ඔබ කිසිවෙකුටත් නොහැකි නිසාවෙනි.  මා විසින්ම කාලය කැපකොට ඒ සදහා කටයුතු නොකරන තාක් මට ලැබිය හැකි නිවනක් නැත.

මට ඇතැයි කියලා සිතෙන කම් මම ලිපි ලියන්නෙමි... මුලු ලෝකයම මට විරුද්ධව නැගී සිටින දිනය වෙන තෙක් මම ලිපි ලියා පල කරන්නෙමි... වැදගත්ම දේ මම වැරදියි කියලා මටම අවබෝධ වෙනකම් මම ලිපි ලියන්නෙමි... එහෙත් එසේ යම් දිනක මම වැරදියි කියලා අවබෝධ වුනොත් මම කලේ වැරැද්දක් කියලා මම තේරුම් ගත් වහාම එය මට හැකි සෑම ආකාරයකින්ම ඔබ වෙත දැනුම් දීමට මම වග බලාගනිමි!  මන්ද යත් මම වරදක් කලේ නම් මට මුලු ලෝකයෙන්ම වසන් විය හැකි වුවත් මට මගෙන්ම වසන් වීමට නොහැකි නිසාවෙනි. 

මේ සටහන තැබීමේ අරමුණ ඔබ සියලු දෙනාටම වැදගත් කරුණු කීපයක්ම දැනුම් දීමට වේ.  සැමවිටම ඔබ කියවන අසන දේ ගැන මෙන්ම ඔබේ පංච ඉන්ද්‍රීයන් තුලින්  අවබෝධයක් ලබාගැනීමට ඔබ ඔබේම මනස යොදාගන්නේ නම් මැනවි.  මම කිසිවිටක මම කියන ලෙසින් කරන්න යැයි ඔබ කිසිවෙකුට බල කොට නැත.  කිසිවිටක මා ලියන ලිපි කියවන්නැයි මම බල කොට නැත... මම කිසිවිටක ඒ ලිපි යටින් ඔබේ අදහස පල ‍කරන මෙන් ඉල්ලා නැත... කිසිවිටක ඇගයීමක් හෝ විවේචනයක් බලාපොරොත්තු වන්නේද නැත.  මම සැමවිටම ලිපියක් ලියන්නේ එක් පැතුමක් සමගිනි....

“ධර්මාවබෝධය ලැබ නිවී සැනසීමට බලාපොරොත්තුවෙන් යමෙක් මා සටහන් තබන යමක් කියවයි නම් ඔහුට හෝ ඇයට මේ තුලින් උපරිම ඵල නෙලා ගැනීමට හැකිවෙත්වා!  සියලුම ආශිර්වාදයන් ලැබ සැමවිටම නිවැරදි දේ පමණක් සටහන් තැබීමටත් වචනයකින්වත් කිසිවෙකුගේ නිවන් මග අවුරන නිවන් මගට බාධාවන කිසිවක් මා අතින් සටහන් නොතැබෙත්වා! නිර්වාණය සියලු දෙනාටම වැදගත් වන එකම පරම ඇත්ත නිසාවෙන් එයින්ම සැනසීමට පත්වීමට මේ ධර්මදානය තුලින් ඵල ලබන්නට උත්සාහ දරන සියලු දෙනාටම හැකිවෙත්වා ! යන අවංක ප්‍රාර්ථනය සමග සැමවිටම ලිපි ලියන්නට පෙළඹෙන්නෙමි.

මා සමග නිතර සම්බන්ධතා පවත්වන පින්වත් පිරිස හොදින්ම දන්නවා සෑම ලිපියකටම මම බොහෝ කාලයක් අරගෙන සටහන් තබන්නෙ ඇයි කියලා... සැමවිටම හොදින් නැවත නැවත පරික්ෂා කොට මාගේ අවබෝධ මට්ටමෙන් මට නිවැරදි යැයි සහතික වූ විට මම බොහෝ තැන් වලින් එකතු කරගෙන නිර්මාණය කල ලිපියක් සකස් කොට දමමි.  එයට හේතුව කිසිවෙකුත් මා ලියන පුංචි වචනයකින්වත් අතරමං වනු දැකීමට මම අකමැති නිසාවෙනි.  එනිසාම සමහර අවස්ථාවල මගේ දුර්වල ඉංග්‍රීසි දැනුමට පවා මා සමාව ඉල්ලා ඇත. 

මම සැබැවින්ම ශ්‍රී ලාංකිකයෙකු වීමට වාසනාවන්ත වීමි.  මන්ද යත් තවමත් ප්‍රබල ලෙස බුදු දහම ප්‍රචලිත ඉතා වටිනා රටක් වන හෙයිනි.  එහෙත් අවාසනාවට එම කරුණම අපේ පින්වත් පිරිස නොමග යැවීමට හේතුවී ඇත.  ලද අවස්ථාවෙන් උපරිම ඵල නෙලාගන්නවා වෙනුවට බුදු දහම විනාශ කරනවා අප එය රැකගන්න සටහන් කල යුතුයි ලෙසින් උදම් අනමින් ඔවුන්ගේ වටිනා කාලය අපතේ ඇරගැනීමට කටයුතු කරනවා දැකීම සැබැවින්ම අනුකම්පා සහගතය.  සටන් කොට වාද විවාද කොට විවේචනය කොට බුදු දහම රැකගැනීමට නොහැකිය.  තම තමන් විසින් බුදුපියාණන් වහන්සේ පෙන්වා දුන් අරි අට මගෙහි නොපමාව ගමන් කොට රාග, ද්වේශ, මෝහ සහගත කටයුතු වලින් මිදීමට කටයුතු කොට අදාල ඒ ඒ ඵලයන් ලබාගත් විට බුදු දහම ඉබේම රැකී තිබේවි.  කිසිවෙකුටත් කිසිවිදියකින් පරම ඇත්ත විනාශ කිරීමට නොහැකිය.  මිලියන ගණනින් බුදු දහමට විරුද්ධව නැගී සිටියත් බුදු දහම ලෙසින් වැරදි ධර්මයක් මිලියන ගණනින් පැතිරී ගියත් බුදු දහම විනාශ නොවේවි.  අප මහා ගෞතම සම්මා සම්බුදු ර‍ජාණන්වහන්සේගේ බුද්ධ රාජ්‍යයට දැනටමත් කාලය නියම වී අවසානයි.  එය අදාල කාලයට වඩා දවසක්වත් ඉදිරියට ගෙන යාමටවත් අදාල දිනයට කලින් විනාශ කිරීමටවත් අප කිසිවෙකුටවත් කිසි ලෙසකින් කල නොහැකියි.    

මෙවැනි සටහනක් තබන්නට සුදුසු කාලය නිසාම එසේ කරන්නට පෙළඹිනි.  කුඩා කල සිටම මම අවබෝධ කරගත් දෙයක් වේ.  එනම් කිසිවක් සිදු කරන්නේ නැති තාක් එයට සහායට හෝ විරුද්ධව නැගී සිටින්නට යමක් නැත.  යමක් කරන යමෙකුට සැමවිටම ඇගයීමට සහ විරුද්ධ අදහස් සමග පෑහෙන්නට සිදුවේ.  ඉතින් සැමවිටම යමක් පටන්ගත්විට එයට විරුද්ධව එන සියලු දේ ගැනද බලාපොරොත්තු විය යුතුමයි.  මන්ද සැමවිටම මම යමක් සිදුකලේ නම් එය සම්මත රාමුවෙන් මදකට පිටින් ගිය දෙයකි.  මම විශ්වාස කරනවා මට නිවන් අව‍බෝධය ලැබීමට නොහැකි නැත යන්න.  මන්ද සියල්ලන්ටම වඩා මා හදුන්නන්නේ මමය. 

මෙය තම තමන්ගේ වටිනා කාලය නාස්ති කොටගෙන මමත් මගේ වැඩකටයුතුත් හෝ වහරක හිමියන් ගැන හෝ තර්ක වාද කරමින් සිටින පින්වත් පිරිස වෙත කරන කාරුණික නිවේදනයකි.

ඔබ විශ්වාස කරන දෙයක් ඇත්නම් එය අනුගමනය කිරීමට තරම් කාරුණික වන්න.  ඔබ අන් අයෙකුට මෙය වැරදියි කියලා කියනවා නම් ඔබ නිවැරදි දේ දන්නා අයෙක් වෙන්නට පුළුවන.  එනිසා ඔබ දන්නා දෙය වැදගත් විදියට අන් අය සමග බෙදාගැනීමට කටයුතු කිරීමත් ඔබ දන්නා නිවැරදි දේ තුලින් ලැබිය හැකි උපරිම ඵලය නෙලාගැනීමත් වඩාත් සුදුසු යැයි මට සිතේ.  මන්ද යත් අවසානයේ දිනිය යුත්තේ ඇත්ත පමණි.  මෙය ධර්මදානය සිදුකිරීමේ තරගයක් නොවේ.  කුමන ශ්‍රාවකයා පලමුව නිවන් දකිනවාද යන තරගයකුත් නොවේ.  බුදු දහම වෙනුවෙන් සටන් කරන ඔබ වෙනුවෙන් නිර්මාණය වූ සම්මානයක්ද නැත.  ඔබට ලැබිය හැකි එකම ගරු සම්මානය නිවන පමණි.  ඔබ ඔබේම ආර්ය අෂ්ඨාංගික මාර්ගය අනුගමනය කොට නිවන් අවබෝධ කොටගෙන ඔබවම ගලවාගන්නවා මිස බුදු දහම රැක්කායැයි ඔබව ගලවාගැනීමට මිහිපිටත් ඉන් පිටත් කිසිවෙකුත් නැත. 

භික්ෂූන් වහන්සේලාගේ නම් ගම් හෝ පොත් පත් හෝ උන්වහන්සේලාගේ ප්‍රසිද්ධිය අපේ නිවනට අදාල නැත.  නිවන සදහා වැදගත් වන එකම දෙය නම් අප කොතරම් දුරට ධර්මාවබෝධය ලබනවාද ඒ තුලින් ආර්ය අෂ්ඨාංගික මාර්ගය නොපමාව ගමන් කොට නිවන් ඵලය ලබනවාද යන්න පමණි.  ඔබටත් මටත් ත්‍රිපිඨකය කටපාඩම් කරගෙන සිටින්නට පුළුවන... එහෙත් එහි වචන පිටුපස සැගවුනු ගැඹුරු ධර්ම අර්ථයන් අපට නොවැටහෙන තාක් එයින් අපට ලැබිය හැකි ඵලයක් නැත.  අප ජයගත් පිරිසක්ද නොවේ.... අප කිසිවෙකුත් නොවේ... උතුම් අරිහත් ඵල ලැබූ උත්තමයන් ඉදිරියේත් අරි අට මග ගමන් කොට නොයෙක් ඵල ලැබූ උත්තමයන් ඉදිරියේත් අප කිසිවෙක් නොවේ...

සමින්ද රණසිංහ වැනි උතුම් මිනිසුන් විසින් ත්‍රිපිඨක පොත් පෙල නොමිලේ ලබාගැනීමට අවස්ථාව සලසා දී ඇත.  එය සිංහල සහ පාලි යන ‍කොටස් දෙකෙන්ම යුතු බුද්ධ ජයන්ති ත්‍රිපිඨක මාලාව වන අතර ඔබට එය මේ සම්බන්ධය ඔස්සේ ලබාගැනීමට හැකිය.  http://www.aathaapi.org/Thripitaka.htmlකියවන්න... අවබෝධ කරගන්නට උත්සාහ කරන්න... ඒ උතුම් ධර්මය කියවන විට මට අවබෝධ වූ දේ ඔබට අවබෝධ නොවීම මගේ වරදක් නොවේ.  ඔබටත් මටත් අවබෝධ කරගැනීමට නොහැකි දෙයක් වහරක අභයරතනාලංකාර හිමියන්ට අවබෝධ කරගැනීමට හැකිවීම උන්වහන්සේගේ වරදක් නොවේ. 

මගේ ඉල්ලීම නම් ඔබ ඔබේම මනස පාවචිච් කරන්න යන්නයි.  එය විවෘතව පැහැදිලිව යොදවන්න... පිරුණු කොප්පයකට කොතරම් පිරෙව්වත් එය පිරෙන්නේ නැහැ දමන සියල්ල අහක යනවා පමණයි.  එසේම මනස දැනටමත් කරුණු බොහෝමයකින් පිරිලා නම් යලිත් එකතු කරන්න හදන කිසිවක් එයට එකතු නොවේවි... පිටාර ගලා යනවා පමණයි...ඔබේ නිවනට අදාල දේ පමණක් මනසේ රදවාගෙන ඉතිරියට යන්නට ඉඩ හරින්න... ඔබ මනස පුරවාගන්නා තරමට ඔබ ඔබේම මනසේ සිරකාරයෙකි.. ඔබ අවබෝධ කරගන්නා දේ කොතරම්ද ඒ තුලින් ඔබ නිදහස ලබන අයුරු ඉගෙන ගනීවි... විවේචන... විචාර... තර්ක වාද... සටන් පාඨ සියල්ලම අවසන් විය යුත්තේ ඔබ ඔබේ සැබෑ නිදහස උරුම කරගෙන පමණි. 

කිසිවෙක් හෝ කිසිවක් ඔබේ මනස විනාශ කරන්නේ නම් එයට විරුද්ධව සටන් කරන්න... කිසිවෙක් හෝ කිසිවක් ‍ඔබේ සීලය සොරකම් කරන්නේ නම් සුචරිතවත් බව සොරකම් කරන්නට හදන්නේ නම් එයට විරුද්ධව නැගී සිටින්න... ඔබේ නිවන උදෙසා වීර්ය නැති කීරමට යමෙක් කටයුතු කරයි නම් එයට විරුද්ධව තර්ක කරන්න... කිසිවෙක් හෝ කිසිවක් බලහත්කාරයෙන් ඔබේ මනසට ඇතුලුවෙන්නට වෙර දරයි නම් එය විකෘති කරන්නට හදයි නම් තර්ක වාද විවේචන සටන් පාඨ රැගෙන නැගී සිටින්න... අප විසින් අපේම මනසට කරගන්නා ආබාධ කිසිවෙකුගේ වරදකින් සිදුවන්නක් නොවේ. එයට වරදකරුවන් අපම වේ..  අප අපේ මනසේ පාලනය අපේ අතට ගත් විට කිසිවෙකුට අපව වැරදි මාර්ගයට යොමුකරන්නටවත් වැරද්දට පොළඹවන්නවත් අතරමං කරන්නවත් ඔවුන් කියන දේ පිලිගැනීමට අසරණ කරන්නටවත් නොහැකිය.  නිදහසේ තම තමන්ට වඩාත් වැදගත් කුමක්දැයි සිතා බලන්නට උත්සාහ කරන්නේ නම් මැනවි!

අප සියලු දෙනාටම නිවන උදෙසා වැදගත් වන්නේ රාග ක්ෂය, ද්වේක්ෂය, මෝහක්ෂය වේ.  ඔබත් මමත් තවමත් අවිද්‍යාවෙන් යුක්ත වන්නෝ වෙති.  ඉතින් අප දෙදෙනාමට මම හරි ඔබ වැරදියි කීමට අයිතියක් නැත.  මම ඔබට වඩා උසස් ඔබ මට වඩා උසස් යැයි සිතන්නට නොහැකියි.  අප දෙදෙනාම ඉන්නේ එකම ඔරුවකයි... අප දෙදෙනාම ඒ ඔරුව පැදගෙන ගියේ නැත්නම් දෙදෙනාගේම ජීවිත අනතුරේමය.  අන් පුද්ගලයා‍ ඔරුව පදින විදියේ අඩු පාඩු නොසයා එය පදින්නේ ජීවිතය බේරාගන්නා පැත්තටම නම් තමන්ගේ පාඩුවේ තමන්ට අදාල කොටස නිවැරදිව සම්පූර්ණව කිරීම ප්‍රමාණවත් වේ.   සියල්ලන්ම අන් අයගේ අඩු පාඩු සෙවීමට ඔවුන් නිවැරදි කිරීමට කටයුතු කිරීමට වැය කරන කාලයත් තමන් නිවැරදි කරගැනීමට යොදාගන්නේ නම් කිසිවෙකුත් වැරදි නොකරාවි!

ඔබෙන් අයෙක් මා මැරුවත් ඔබ සමග අමනාප වීමට තරම් හේතුවක් මට නැත.  මන්ද ද්වේශ සහගත සිතකින් ලැබිය හැකි නිවනක් නැත යන්න මම අවබෝධ කරගෙන ඇත්තෙමි.  එමෙන්ම සැමවිටම ලැබෙන යහපත් ප්‍රතිචාර පමණක් බලාපොරොත්තුවෙන් ඒවාට ඇලීම තුලින් රාග සහගත සිතකින් ලැබිය හැකි නිවනක් නැත යන්නද මම අවබෝධ කරගෙන ඇත්තෙමි... මා අ‍වබෝධ කරගන්නා යමක් ඔබ සමග බෙදාගෙන එයට ‍ලැබෙන යහපත් දේ සදහා සතුටු වීමටත් අයහපත් ප්‍රතිචාර සදහා ගැටෙන්නටත් යාම මගේ අවිද්‍යාව මිස වෙන කවරක්වත් නොවන බවත් ඒ අවිද්‍යාව ඇති තාක් මට ඇති නිවනක් නැති බවත් මම අවබෝධ කරගෙන සිටිමි.  මම සටහන් තබන්නේ මා වැනි එක් පුද්ගලයෙක් හෝ මේ ලෝකය තුල ඇතැයි යන සිතුවිල්ල මතයි.  ඒ පුද්ගලයාත් මා මෙන්ම අව‍බෝධය තුලින් තීරණයකට එළැඹ තමාගේ නිදහස උදාකරගැනීමට කටයුතු කරාවි යන සිතුවිල්ල මත පමණි. 

මේ පැවැත්ම සසර ගමන අප සිතනවාට වඩා අති භයංකරවේ.  අන් අය විවේචනය... තර්ක වාද... සටන් ආදිය නිවන් මග සදහටම වැසීමට පවා හේතුවන කරුණුවේ.  මා සටහන් තබන කිසිවක් හේතුවෙන් කිසිවෙකුට එසේ අයහපත් ඵලයක් ලැබෙනවාට මම කිසිවිටකත් කැමති නැත.  කාරුණික පින්වතුනි මේ සියලු සටහන් තුලින් මේ සියලු වෑයම තුලින් පවසන්නට හදන අරුත් වටහාගෙන තම තමන්ගේ නිර්වාණය උදෙසා කටයුතු සිදුකරගන්නා මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි... බුදු දහමත් එවිට ඉබේම රැකේවි!  සම්මා සම්බුදු පියාණන්ගේ අවසන් වදන් අමතක නොකරන්න... සරලවම ප්‍රායෝගිකව තම තමන්ගේ ආර්ය මාර්ගය පූර්ණය කොට ගෙන නිදහස නිවන ලබන්නැයි කල ඉල්ලීම අමතක නොකරන්න. 

නැවත නැවතත් කාරුණිකව ඉල්ලා සිටින්නේ නිවනට කිසිම විදියකින් රුකුලක් නොවන දේ මත කාලය ‍වැය කොට පසුතැවීමට කටයුතු කරනොගන්නා ලෙසටයි.  ඔබට මා ලියන කිසිවක් කියවීමට කිසිදු බලපෑමක් නැත... අකමැති අය නොකියවා සිටීමම යහපත්වේ.  මන්ද අප සැමවිටම අපගේ සිත, කය, වචනය හැසිරවිය යුත්තේ අපගේ නිවන උදෙසා යහපත්වන වැදගත් වන යමක් උදෙසා පමණි.  ඔබට මා ලියන කිසිවකින් එසේ වැදගත් යමක් නැතිනම් ඒ සදහා කාලය අපතේ යැවීම නුසුදුසු වේ. 

දැනටමත්‍ මෙම ලිපි කියවමින් ඉන් ඵලයක් ලබන අයෙක් වේ නම් කාරුණිකව ඉල්ලා සිටින්නේ ඔබේ මනස විවෘතව භාවිතා කොට නැවත නැවත කියවමින් ඇසුරු කොට සිතමින් අර්ථය අවබෝධ කරගන්නට උත්සාහ දරන ලෙසයි.  අප විභාගයකට පෙනී සිටීමට මේ කිසිවක් කියවන්නේ නැත... ඇසුරු කරන්නේ නැත... කිසිවෙකුට වඩා ගත හැකි වැඩිම ලකුණු ප්‍රමාණයක් නැත... හොදම අවබෝධ කරගන්නා පුද්ගලයා තේරීමේ තරගයක්ද නැත... අප සියලු දෙනාම ලබන්නට යන්නේ එකම නිවනකි.  නිවන පුද්ගලයන් අනුව වෙනස් වෙන දෙයක් නොවේ. නිවන නිවනම වේ.  එක් එක් පුද්ගලයාට නිවන කරා ගමන් කරන මාර්ගය තම තමන්ගේ පෞද්ගලික චරිත ලක්ෂණ අනුව තම තමන්ට ආවේණික වරද නිවරද කරගෙන ගමන් කල හැකි ලෙසින් ධර්මාව‍බෝධය උපකාරවන අතර අවසන සියලු දෙනාටම ලැබිය හැක්කේ එකම එක නිවනකි.  මෙහි හොදම ධර්ම ලිපිය තේරීමේ තරගයක්වත්   හොදම ධර්මය තේ‍රීමේ තරගයක්වත්... හොදම කණ්ඩායම තේරීමේ තරගයක්වත්... වැඩිම සාමාජිකයින් සිටින කණ්ඩායම තේරීමේ තරගයක්වත් නැත!  නවීන තාක්ෂණය යහපත් ලෙස භාවිතා කිරීම සියලු දෙනාගේම යහපත පිණිස වේ! ලද අවස්ථාවන්ගෙන් උපරිම ඵල නෙලාගැනීම තම තමන්ට අයත් වගකීමකි!

පරම ඇත්ත ඔබෙන් වැඩි ඈතක නොවේ... ඔබේ මනස මදක් විවර කොට එය වටකොට තනා ඇති වැටකඩුලු මතින් ඔබ්බට ගොස් විමසන්න... මනස මදකට හිස් කොට ඇත්ත අත්විදින්න උත්සාහ ගනිත්වා!

බුද්ධ, ධම්ම, සංඝ යන සැබෑ තිසරණයේ ආශිර්වාදය ලැබ තම තමන් උදෙසා යහපත්ම වැදගත්ම ඵල නෙලාගැනීමට ඔබ සැමට සම්මා සම්බුදු සරණින් හැකිවෙත්වා!

0 comments: