මෙම බ්ලොග් අඩවිය පිළිබඳව

සම්මා සම්බුදු පියාණන්වහන්සේ වදාළ සත්‍ය වූ බුද්ධ ධර්මය කාලයත් සමග සැගවෙන්නට ඇති ඉඩකඩ වැඩිය. එය ‍එසේ වූ නිසාම ශතවර්ෂ ගණනකින් මාර්ගඵල ලාභීන් බිහි වූ බවක් අසන්නට නොලැබිණි... එහෙත් මග ඵල ලැබ ගෞතම බුදු පියාණන් විවර කල නිවන් දොරටුවෙන් මාර්ගයට පිවිස ඵල ලැබී සැනසීමට නියම වූ ඇත්තන් තවමත් සිටින හෙයින් ඔවුන් සදහා උපකාරයක් වීමට නියම කළ්‍යණ මිතුරාගේ පැමිණීම සිදුවී ඇත. ඒ සැඟවුනු මාවත යලි විවර කරමින්, සැඟවුනු දහම් අරුත් මතු කරමින් සසර දුකින් පෙළෙන ඔබටත් මටත් අනන්ත සසර දුක් සයුරෙන් එතෙර වීමේ ප්‍රයෝගික මග හෙලි කරන අභිඥාලාභී පූජ්‍යපාද වහරක අභයරතනාලංකාර ස්වාමීන් වහන්සේගේ ධර්මානුශාසනා ඇසුරෙන් පලවූ "සැගවුණු බොදු මග කල එලි දකී" යන පොත ඇසුරෙන් මෙසේ සටහන් තබමි!

Mar 16, 2010

පිටුව 51 සහ 52

 (පිටුව 51)
එසේම පොට්ඨපාද සූත්‍රයේ පිරිසිදු ආත්ම භාව පරිහරණයක නම් ආර්ය මාර්ගය වඩන භික්ෂූ‍වගේ සුබ විහරණය බව පෙන්වා ඇත.  එබැවින් මේ සික්ඛා පදයද බුද්ධ ශාසනයෙන් බැහැර අන්‍ය පිරිසට තිබිය නොහැකි බව පෙනේ.  
3. අබ්‍රහ්ම චර්යා වේරමණී සික්ඛා පදය
ජීවිතාන්තය තෙක් ඒ රහතන් වහන්සේ අබ්‍රහ්ම චර්යාවෙන් වෙන්ව අබ්‍රහ්ම චරියාව අතහැර බ්‍රහ්මචාරී වූයේ නීච වූ ග්‍රාම්‍ය වූ කාම මෛථුන්‍යයෙන් වෙන්ව වාසය කරන්නෙන්ය.  මමද මේ රැයත් මේ දවාලත්, මේ රැය දවාලත් උන්වහන්සේ අනුගමනය කරමි.  අබ්‍රහ්ම චර්යාවෙන් වෙන්ව, අබ්‍රහ්ම චර්යාව අතහැර බ්‍රහ්මචාරී වූයේ නීච වූ ග්‍රාම්‍ය වූ කාම මෛථුන්‍යයෙන් වෙන්ව උතුම් වූ බ්‍රහ්ම චර්යාවෙන් වාසය කරමි.  මේ තුන්වෙනි සික්ෂාවෙන්ද උන්වහන්සේ අනුගමනය කරමි.  මේ මාගේ තුන් වැනි සික්ෂාවයි.  මෙහිද බ්‍රහ්ම චරියාව නම් ආර්ය අෂ්ටාංගික මාර්ගය බව ධර්මයේ පෙන්වා ඇති බැවින් මේ සිඛ පදයද බුද්ධ ශාසනයෙන් බැහැරව නැති බව පෙනේ.  
4.  මුසාවාදා වේරමණී සික්ඛා පදය
ජීවිතාන්තය තෙක් ඒ රහතන් වහන්සේ මුසාවාදයෙන් වෙන්ව, මුසාවාදය අතහැර සත්‍යවාදී වූයේ සත්‍යයෙන් සත්‍ය ගලපා කරන කථා ඇතිව සත්‍ය වාදීව වාසය කරන්නේය.
මමද මේ රැයත් මේ දහවලත්, මේ රැය දහවලත් උන්වහන්සේ අනුගමනය කරමි.මේ මාගේ සතර වන සික්ෂා පදයයි.  මෙහිදී ශාසනයෙන් බැහැරව මිස දිටු ගෙන කරන වාද මුසාවාද බවත්, ශාසන සත්‍යයෙහි පිහිටා කරන ශාසනික කථාව සත්‍යවාදය බවත් දත යුතුය.  මෙයද ශාසනයෙන් බැහැරව නැති බැවින් මෙය ශාසනය තුලම තිබෙන සිඛාපදයකි.

(පිටුව 52)
5.සුරාමේරය මජ්ජ පමාදට්ඨාන වේරමණී සික්ඛා පදය
ජීවිතාන්තය තෙක් ඒ රහතන් වහන්සේ මදයට, ප්‍රමාදයට, අල්ලා ගැනීමට හේතුවන යම් සුරාවක්, මේරයක් ඇද්ද ඉන් තොරව නොමත්ව වාසය කරන්නේය. 
මමද මේ රැයත් දහවලත්, රැය දහවලත් උන්වහන්සේ අනුගමනය කරමි.  මදයට, ප්‍රමාදයට, අල්ලා ගැනීමට හේතුවන සුරාවෙන්, මේරයෙන් වෙන්ව නොමත්ව වාසය කරමි.  මේ ශික්ෂණයෙන් උන්වහන්සේ අනුගමනය කරමි.  මේ මාගේ පස්වන ශික්ෂා පදයයි.  ලෝකයා පංච කාම සහගත සරාගයෙන්, මිහිරියාවෙන් මත්ව ප්‍රමාදව වාසය කරති.  ඒ සියලුම මත් අත් හැර වසන අරිහතුන් වහන්සේගේ චරියාව මේ ශාසනයෙන් පිට විද්‍යාමාන නොවේ.  මත් පැන් වලින් තොරවීම මෙයට ආධාර කරුණක් පමණි.  මේ විස්තර කලේ පංච ශික්ෂාවයි.
පස්පව් යනු පංච දුෂ්චරිත නොවේ.  ඊට වඩා පුළුල් විස්තරයකි.  ඉහතකී ශික්ෂා පද පසින් පෙන්වූ වෙන්විය යුතු පාප කොට්ඨාශ පහට අසුනොවන පවක් නැත.  ඒ අත්හැරිය යුතු කොටසය පස් පව් කියන්නේ.  සය පව් හෝ සත් පව් ආදී ලෙසටවත් සතර පව් තුන් පව් ආදී ලෙසටවත් නොව පස් පව් යනු සාසන සම්මත වචනයකි.  එසේනම් කොටස් පහකට සියලු පව් අඩංගු විය යුතු බව දැනගත යුතුයි. මෙසේ තේරුම් ගෙන පංච දුෂ්චරිතයෙන් දුරුවී දස අකුසල් අත්හැර සීල ගුණයේ ශාසනික හේතුවෙන් පිහිටීමට කටයුතු කල යුතුය.  සාම්ප්‍රදායිකව පන්සිල් දීම ලෙස මෙකල කරන පංච ශික්ෂා සමාදානයේ විප්ලවයක් කරන්නට අවශ්‍ය නොවේ.  එබදු අවස්ථාවකට සම්බන්ධවන්ට සිදුවුවහොත් විවේචනාදියෙන් බාධක නොකර, ඉදගෙන සිටින තුරු හෝ ඇස් පියාගෙන සිටින තුරු සමාදන් වෙමියි කාල අධිෂ්ඨානයක් කරගන්න.  ඒ වෙලාව අවසන් වූ විටම ඔබ නිදහස්ය.  මොහොතක සිඛ පද නොකඩා සමාදන්ව සිටියත් ඉතා යහපති.  රකින්නට හැකිනම් සමාදන්ව කොතෙක් කල් සිටියත් ඉතාම යහපති.  පෝය දින වෙන්කර ඇත්තේ පහසු සමාදානය සදහා බැවින් එදින උපෝසථ සමාදානයට හැකි තරම් උත්සාහ ගන්න.  මෙසේ ශික්ෂා සමාදානව සංවරය හුරු කර ගැනීම දෙවි ලොවට ඉනිමගකි.  සීලයට මහා උපනිශ්‍රයකි.

පිටුව 49 සහ 50

 (පිටුව 49)
එබදු පාප චේතනාවක් ඉන් මතු කිසි දිනක හට නොගනී.  මේ චේතනා සීලයි.
එබදු පාප අසංවරයක් කිසි දිනක ඉන් පසු නොවේ.  මේ සංවර සීලයි.  මේ සීල ගුණය කිසි ‍කලක නොකැඩේ.  මේ අවිතික්කම සීලයි.  මෙයයි ආර්ය ශ්‍රාවක හෙවත් සෝතාපන්න පුද්ගලයාගේ පන්සිල්.  මේවා සමාදාන වෙන ඒවා නොවේ.  
පංච දුෂ්චරිත සිදු වෙන්ට ඉඩ ඇති බැවින් පාපයට ලැජ්ජා, භය ඇති කවුරු වුවත් දුෂ්චරිත පහෙන් වෙන්වීම සමාදන්ව, ආරක්ෂා කිරීම නම් අති උතුම්ය.  එසේනම් පංච සික්ඛා මොනවාද? මේ සික්ඛා පද දේශනා කලේ බුදු පියාණන්වහන්සේය.  ශාසනික සික්ඛා පද අබුද්ධෝත්පාද කාලයේ නැත.  වචන එසේම භාවිත කරන අෂ්ඨාංග සීල ක්‍රම ‍වේදයේ තිබුණි.  ඒවාට දී තිබුනේ පටු ලෞකික අර්ථයි. 
අපගේ සිංහල පරපුර සතුව පැවති හෙළ අටුවා විනාශයෙන් පසු වැදගත් දහම් අරුත යටපත් වී‍ම හේතු කොට ගෙන මෙකල මේවා මහ පැටලිලි සහිතව ඇත.  එහෙත් කුමන හෝ හේතුවකින් අද ටිකින් ටික එම අරුත මතු වන මගක් ඇති බව දයානුකම්පිව පවසමි.  විමසා බලා නැණවතුන් දරත්වා!  අද අදම නිවන් මග මතු කර ගනිත්වා!
අංගුත්තර නිකායේ අෂ්ඨාංග උ‍පෝසථ සූත්‍රය, නවාංග උපෝසථ සූත්‍රය, අරිය උපෝසථ සූත්‍රය, විශාඛ උපෝසථ සූත්‍රය ආදියෙන් මේ සික්ඛා පිලිබදව පාලි සහ සිංහල අර්ථ බලාගත හැකිය.
අවස්ථානුකූලව විස්තර කරමින් එහි සිංහල අර්ථ විග්‍රහයක් ඉදිරිපත් කරමි.  
1.  පාණාතිපාතා වේරමණී සික්ඛා පදය
ජීවිතාන්තය තෙක් ඒ රහතන් වහන්සේ පර පණ නැසීමෙන් වෙන්ව, පර පණ නැසීම අතහැර, බහා තැබූ දඩු මුගුරු ඇතිව, බහා තැබූ දැල් උගුල් ආයුධ ඇතිව, පාපයට භය ඇතිව, පාපයට ලැජ්ජා ඇතිව, දයාවට පැමිණ සියලු ලෝ සතුන් කෙරෙහි හිතානුකම්පීයව වාසය කරන්නේය.

(පිටුව 50)
උන්වහන්සේ අනුගමනය කරන මමද පර පණ නැසීමෙන් වෙන්ව, පර පණ නැසීම අත හැර, බහා තැබූ දඩු මුගුරු ඇතිව, බහා තැබූ දැල් උගුල් ආයුධ ඇතිව, පාපයට භය ඇතිව, පාපයට ලැජ්ජා ඇතිව, දයාවට පැමිණ සියලු ලෝ සතුන් කෙරෙහි හිතානුකම්පීව වාසය කරමි.  මේ රැයත් දහවලත්, රෑ දහවලත් උන්වහන්සේ අනුගමනය කරමි.  මේ මාගේ පළමු වන සික්ඛා පදයයි.  මෙහි පෙන්වා ඇති දයානුකම්පාව ශාසනික වූ දයානුකම්පාවයි.  මේ පිලිබදව විස්තර මීට පෙර පළ කර ඇති "ආර්ය මෛත්‍රී භාවනාවෙන් ලබන සැනසීම" යන පොතෙහි ඇත.
සංයුක්ත නිකායට අයත් "හලිද්දා වසන සූත්‍රය, අනාර්යයන්ගේ මෙත්තා භාවනාව සහ ආර්යයන්ගේ මෙත්තා භාවනාව විශේෂයෙන් විස්තර කොට ඇත.  විවේක නිශ්‍රිතව, විරාග නිශ්‍රිතව, නිරෝධ නිශ්‍රිතව, වොස්සග්ග පරිණාමිව මෙත්තා සහගත, කරුණා සහගත, මුදිතා සහගත, උපේක්ෂා සහගත බොජ්ජංග වැඩිම නියම මෛත්‍රිය බව පෙන්වා ඇත.  කොටින්ම කියනවා නම් නිවන හැර ලෝ සතුන්ට තවත් සුවයක්, ශාන්තියක් නැති බව තේරුම් ගෙන ඒ ශාන්තියම ලෝ සතුන්ට අත්වේවායි කාය කර්ම, වාග් කර්ම, මනෝ කර්ම යන තුනෙන් දයානුකම්පීව ක්‍රියා කිරීම මේ සික්ඛා පදයෙන් පෙන්වූ හිතානුකම්පාව බව තේරුම් ගත යුතුයි.  මෙසේ වඩන ශික්ෂාව නිවනටම පමුණුවන බැවින් අන්‍ය ශාසනයක මේ ශික්ෂාව නැත.
2. අදින්නාදානා වේරමණී සික්ඛා පදය
ජීවිතාන්තය තෙක් ඒ රහතන් වහන්සේ නොදුන් දේ ගැන්මෙන් වෙන්ව, නුදුන් දේ ගැන්ම අත හැර දෙන දෙයක්ම ගන්නේ, දුන් දෙයම බලාපොරොත්තු ඇතිව පිරිසිදු ආත්ම පරිහරණයෙන් යුතුව වාසය කරන්නේය.  
මමද මේ රැයත්, දහවලත් මේ රැය දහවලත් නොදුන් දේ ගැන්මෙන් වෙන්ව, නුදුන් දේ ගැන්ම අත හැර දෙන දෙයක්ම ගන්නේ, දුන් දෙයම බලාපොරොත්තු ඇතිව පිරිසිදු ආත්ම පරිහරණයෙන් යුතුව වාසය කරමි.  මේ මාගේ දෙවෙනි ශික්ෂාවයි.  
දෙවැනි ශික්ෂා පදය රකින කෙනෙකු දෙන දෙයක්ම ගත යුතුය.  දුන් දෙයම බලාපොරොත්තු විය යුතුය.  ගෙදරදී මෙම ශික්ෂා පදය සමාදන් වී දෙන දෙයම ගෙන, දුන් දෙයම බලාපොරොත්තුවද ගත කරන්නේ?  එසේ නම් කැපකරුවෙක් තබාගෙන ජීවත් වීම අවශ්‍යය.  තේරුම් නොගෙන මේ සිඛ පදය සමාදන් වී එය කඩාගෙන තවදුරටත් ශික්ෂා සමාදානව ගත කරන බව හැගෙව්වොත් ආණාවිතික්කමාවරණයට අසුවී දහම් අවබෝධයට අවස්ථාව මග හැරෙන බවද තේරුම් ගත යුතුය. 

පිටුව 47 සහ 48

 (පිටුව 47)
මෙබදු වත් පිළිවෙත් සහ ශාසන කෘත්‍යය වල වටිනාකම දැන ඒ උතුම් චර්යා පද්ධති නිති පුහුණු කල යුතුයි.
දැන් අප පෙර කී පරිදි සීල ගුණ විග්‍රහ කර ගත යුතුයි.
පංච දුෂ්චරිතය, පන්සිල්, පංච සික්ඛා, පස්පව්, සිල්වත, සීලය යන මේවාද විස්තර සහිතව දැනගත යුතුය.
"යං සමාදානං තං වතං - සංවරට්ඨේන සීලං"
යම් ඒ සමාදානයක්‍ වේද එය වතකි - සංවරත්වයේ පිහිටීමක් වේද එය සීලයකි.  
එසේනම් වත සීලය නොවේ.  අප සමාදාන වන පංච දුෂ්චරිත වත, අෂ්ඨාංග සීල වත ආදියත් භික්ෂූන් වහන්සේලා සමාදන් වන සාමණේර වත, උපසම්පදා වත ආදියත් සිල් නොව වත් ගණයට වැටේ.  වත සීලයට උපකාර වන බව කියා ඇත.
අප අද පන්සිල් ගනිමුයි පවසන සමාදානය පංච සික්ඛා සමාදානයයි.  සික්ඛා පද බොහෝ ගැඹුරු අරුත් ගෙන දෙන්නකි.  ප්‍රවේසම් ලෙස සිහියෙන් රැකිය යුතුයි.  නමුත් මේවාට දී ඇත්තේ පටු අර්ථ විග්‍රහයකි.  
සතුන් නොමැරීම, සොරකම් නොකිරීම, කාමයෙහි වරදවා නොහැසිරීම, බොරු නොකීම, මත්පැන් නොබීම යන මේවා පන්සිල් යැයි කියමින් සමාදන් කරවන්නේද පංච සික්ඛාය.  සික්ඛා පද සමාදන්ව ඒවා කඩාගත්විට ආණාවිතික්කමාවරණයට වැටෙන්නට පුළුවන.  එවිට වන්නේ ධර්මය අර්ථවත්ව හදවතට කිදා නොබැසීමයි.  එය ආවරණයක් බැවිනි.  ඉහත කී සතුන් මැරීමෙන් වැළකීම ආදී පස පෙර රජවරුන් පවා පනවා ඇත.  මෙය හොදය.  බුදු පියාණන්වහන්සේද අනුමත කර ඇත.  මේ පංච දුෂ්චරිතයෙන් වැළකීමේ වතයි.   
එසේ නම් පන්සිල් මොනවාද? "සංවරට්ඨේන සීලං" යන දහම් විග්‍රහය පරිදි සීලය සංවරත්වයේ පිහිටීමෙන් ලැබෙන සිසිල් ගුණයකි.  ආර්ය ශ්‍රාවකයාගේ සීලයට නිති පන්සිල් හෙවත් නිත්‍ය පංච සීලය කියයි.  නිත්‍ය යන්නෙන් ස්ථිර බවක් පවසයි.  යම් සීලයක් ස්ථිර නම් එය කිසි ආකාරයකින් වත් නොකැඩෙන සීලයක් විය යුතුය.  
(පිටුව 48)
එහි පළමු වැනි කොටස ප්‍රාණඝාතයෙන් වැළකීම යනුවෙන් සදහන් අර්ථයකි අද ඇත්තේ.
සෝතාපන්න ආර්ය ශ්‍රාවකයා කෙසේ වත් නොකරන්නේ පව් හයක් පමණක් බව ධර්මයේ සදහන් වේ.  එනම් මව මැරීම, පියා මැරීම, අරිහතුන් මැරීම බුද්ධ ශරීරයේ ලේ ඉපැද්දීම, සංඝ භේදය කියන පව් 5 සහ නියත මිසදිටුවෙකු වීම යන 6වැන්නයි.
අරිහතුන් වහන්සේ දිවි ඇති තෙක් නොකරන කරුණු පස ගැන මෙසේ පෙන්වා ඇත.
  1. දැන දැන ප්‍රාණියකුගේ දිවි තොර කිරීම
  2. දැන දැන අන්සතු වස්තුවක් සොර සිතින් ගැනීම
  3. දැන දැන කාම මෛථුනයක යෙදීම
  4. දැන දැන මුසාවාද කීම
  5. සංනිධිකාරක පරිභෝග වැළදීම, යන පසයි.
 අරිහතුන් වහන්සේගෙන් නොකෙරෙන බව කී කාරණ හතරක්ම සෝතාපන්න පුද්ගලයාගෙන් නොකෙරෙන කරුණු ලෙස පෙන්වා මෙකල නිත්‍ය පංච සීලය තෝරා ඇත.  එසේම වතක් සීලය හැටියටද අර්ථ දී ඇත.  මෙසේ කල විට තත්වය බැරෑරුම් ලෙස වැටහී සෝතාපන්න වීමත් එසේ මෙසේ කටයුත්තක් නොවේ යැයි සිතා අධෛර්යට පත් වනු ඇත.
එසේ නම් පද වශයෙන් නොගන්නා සීල කරුණු පහ මොනවාද?
කිං සීලං?  පහාණ සීලං, වේරමණී සීලං, චේතනා සීලං, සංවර සීලං, අවිතික්කම සීලංති.  
සීලය නම් කුමක්ද?  පහාණ සීල, වේරමණී සීල, චේතනා සීල, සංවර සීල, අවිතික්කම සීල යන පසයි.
පාප ක්‍රියා වලට අයිති අපායගාමී වීමට හේතු වන යම් පාපයක් වේද එය සෝතාපන්න ඵලය ලබන විටම පහ වූවා.  පහ වූවාමය. නැවත නොනැගේ.  මේ පහාන සීලයි.
එබදු පාපයක් ඉන් පසු කිසි කලක රමණය නොකරයි.  මේ වේරමණී සීලයි. 

Mar 11, 2010

පිටුව 45 සහ 46

(පිටුව 45)
එවිට අතීතයේ සිටි සේ දැක්කේද කෙනෙක් නොව ක්ෂණිකව වෙනස් වන හේතු ඵල පරපුරකි යන අදහස ඇතිවේ.  දැන් සිටින්නේද වෙනස් වන හේතු ‍ඵල පරපුරකි කියා දකිනු ඇත.
මතු අනාගතයේද පහල වේ නම් කෙනෙක් නොව ක්ෂණිකව වෙනස් වන හේතුඵල පරපුරකි යන හැගුම ඇතිවේ.  මොහොතකින් වෙනස් වන විපරිණාමික ක්‍රියාවලියට මමය කියා අල්ලන්නට, මගේය කියලා අල්ලන්නට පුද්ගලිකත්වයක් නැති බවත් බැරි දෙයක් කරන්නට යන ලෝ සතුන් මුලා මමත්වයක බැදී නොවෙනස්ව පවත්වන්නට උත්සාහ කරමින්, එසේ බැරි කමක් නැගෙන විට කැඩෙයිද, බිදෙයිද, විනාශ වෙයිද, කඩයිද, බිදයිද, විනාශ කරයිද, කැඩී යයිද, බිදී යයිද, විනාශ වී යයිද යන බියකින් හා සැකයකින් පෙළමින් භව ගමනක යෙදී සිටී.
‍කෙනෙක් එසේ නොකැඩේවා, නොබිදේවා, විනාශ නොවේවායි බලාපොරොත්තු වූවත් ඒ සියල්ල අරුත් සුන් බලාපොරොත්තුමය.  දෘෂ්ඨියේ මුලාවේ තදකම යම් තාක්ද ඒ තරමට ශෝක, සංවේග, දාහ ගිනි, දුක් ගිනි කදන් මුලාව නිසාම උපදවා ගෙන අස්ථාන දුකක් විදී.  ලොව දුක යැයි යමක් ස්ථිරවම ඇත්නම් එය දුරු කරන්ටද ක්‍රමයක් නැතිවිය යුතුය.  එය මුලාවෙන් මවාගත් දුකක් නිසාම සත්‍යවබෝධයේදී සියලු බලාපොරොත්තු මානසික දුක් වේදනා සේ මහත් කොට සිතින් ගැනීම අතහැරී යයි. 
පහන් පූජාව නම් මේ උපමා අනුව ලෝ දහම සසදා බලා ප්‍රඥා ආලෝකය මතු කරගැනීමයි.  එමගින් මේ භවයේම නිවීමට හෙවත් නිවන් ප්‍රත්‍යක්ෂ කරන්ට හේතු උදාවේ.  මෙය පෙර පටන් පැවති බොදුනුවන්ගේ නියම පහන් පූජාවයි.
මෙසේ දහම් දකින විට මෙබදු විද්‍යාත්මක වූ දහමත් කිසි කාලයක අසා නැති බවත්, එබදු සත්‍යය ධර්මයක් දේශනා කල උත්තමයන්වහන්සේ බුද්ධිය මුහුකුරා ගිය අග්‍රඵල ඇති උතුමෙක්මයි.  නොසැකවූ බුද්ධ ඥානය ගැන පැහැදීම ඇතිවේ.  තමන්ට මෙන්ම නැණවතුනට දුකෙන් නිදහස් වන්ට සත්‍යය ධර්මය ලොවට විද්‍යාමාන කල උතුම් බුදු පියාණන්වහන්සේ කෙරෙහිත් එම ශ්‍රී සද්ධර්මය කෙරෙහිත් ඒ උතුම් ධර්මය ලොවේ විද්‍යාමාන කරගෙන එන සංඝ රත්නය කෙරෙහිත් ඒ ධර්ම ඵල ලබා ශාන්ත නිවන් සුවයට පත් සියලු උතුමන් කෙරෙහිත් ඥාණ ශ්‍රේෂ්ඨත්වය දැක අචල ප්‍රසාදය ඇතිවේ. 

(පිටුව 46)
මුහුදට ගලන, මුහුදටම නැමී සිටින ගංගා ජලය මුහුදටම යන්නාසේ නිවන කරාම ගලායන දහම අවබෝධය ඇති මතු සියලු භව දුක සිද දමන්නට නියත වූ බුදු සවි උතුමෙක් වන්නේය.
අහසක් වන් අනන්ත ගුණ ඇති බුදු පියාණන්වහන්සේගේ සය මහා බුද්ධ ඥාණ කෙරෙහි විශ්වාස කරන ඒ බොදුනුවෝ ධජ පතාක උපමා කර සය වරුණ සංකේතවත් කර අහස වැනි අනන්ත ගුණයට එම කොඩි අහස් කුස එල්ලා අග්‍ර බුද්ධ ඥානයට උපහාර කරන්නේය. එසේම බුදු පියාණන් වහන්සේ දේශනා කර වදාළ ධර්ම රත්නයට අනුව නොයෙක් උදාහරණ, උපමා සසදවමින් ධර්ම ඥානය උදාකර දෙන ධර්ම ධජ, සග රුවන සිහි කර අහස වන් මහා ගුණ උපහාර කරති.  එසේම ඒ දහම් මග අනුගමනය කරමින් හදවත් සුදු කොඩි සේ බබලන නිදහස් අහසක් වන් ගුණ ඇති මහ සග රුවන සිහි කරමින් සුදු කොඩි කොඩි වැල් අහස් කුස ඇද ඒ සග රුවනට උපහාර පූජා කරති.
මේ හේතු ඵල වශයෙන් සියලු ජයග්‍රහනයන්ට හේතු සම්පත් ලබන අතර නිදහසේ මහා ජයග්‍රහණය වන නිවන් ප්‍රත්‍යක්ෂ කරන්ටද හේතු වාසනා ලබති. 
ඒ වගේම සතර අපා භයෙන් වලකන්නා වූද, නොයෙක් භය, තැති ගැනුම් ලොමු ඩැහැගැනීම් වලකන්නාවූද, ආශිර්වාද ඇති කරන, දහම් ශාන්තිය ආරක්ෂාව සලසන ශාසන ගුණයට උපහාර ලෙස ගුණ සංකේත වන වියත් පූජා කර උපහාර කරති.  මේ හේතු ඵල පුණ්‍ය ශාන්තිය නිසා නොයෙක් ආකාර රැකවරණ ලබමින් බාධක මාරක වලින් තොරව නිවන් ශාන්තිය ලබති. 
නොයෙක් පිරිකර මනසින් මවා පූජා කර එම හේතු ඵල පුණ්‍ය ශක්ති බලයෙන් හිතූ පැතූ දේ ඉටුවන ශක්තිය ලබා පැවදි වුවත් අඩු නැති සිව්පසය ලබමින් නිවන් ශාන්තිය අත් පත්ද කරති.
මනෝමය වශයෙන් මෙන්ම ද්‍රව්‍ය වස්තුමය සංකේත තබා මේ පූජෝපහාර කළත් ඉහත කී පුණ්‍ය ශක්ති ලැබෙනු ඇත.
සසරේදී මෙවන් පූජෝපහාර විධි ඉටුකර ඇති කරගත් චිත්ත ප්‍රසාදය සහ පුණ්‍ය ශක්තිය හේතු කොට මෙබදු සෞභාග්‍යය උදාකර දුගති ගත නොවී සසර සැරි සරා මේ සම්බුද්ධ ශාසනයේ අරිහත්වයට පත්වූ භික්ෂූණ් වහන්සේලා, භික්ෂූණී වහන්සේලා  ගැන ත්‍රිපිඨකයට අයත්අපදාන පාලි ග්‍රන්ථ වල සදහන් වේ. 

Mar 4, 2010

පිටුව 43 සහ 44

(පිටුව 43)
මේ හේතුවෙන් තෙල සහ වායු මිශ්‍ර ඇහැට නොපෙනෙන කුඩා හේතු බිද ගිනි ගනී.  හේතුව වටා පිහිටන ගින්න නැමැති හේතු ඵලයද ගිනි බිදක් පමණි.  තිරය අග රත්වන විට මෙබදු ගණනක් එක වැලට පිටවේ.  ඒ සියල්ලද ගිනි බිදු නැමැති ඵලය නිපදවමින් ඒ ගිනි බිදු වල පැවැත්මට හේතු බිද ආහාර කර ගනිමින් අනුකූල ධර්මතා පරිදි උඩට ඇදී යයි.
ඇසි පිය ගසන තරම් මොහොතකදී අගලක් දෙකක් උඩට ඇදෙන අතරම ගිනි බිද නැවතී ඵලයේ පැවැත්මට හේතු වූ බිද ඒ මොහොත කෙළවර වන විට ගෙවී කෙළවර වේ.  මේ සියලුම ගිනි බිදු හේතු ඵල සම්පිණ්ඩනයන්ය.  ඒකාකාරව මොහොතක හෝ පැවැත්මක් නැතිවම ක්‍රියාකාරීම ගෙවී වැනසේ.  
කෙතෙක් බිදු වැනසුනත් තෙල තිබෙන තුරු, තිරයට තෙල ඇදී එන තුරු සුලගද ආපදාවක් නැතිව ලංව එක්ව වන තුරු මේ ක්‍රියාවලිය දිගටම පෙනේ.  යම් මොහොතක තෙල සිදී ගියේද මේ ක්‍රියාදාමය නවතී.  තිරය කහට ගැන්වී හෝ පිච්චී යාමෙන් ආපදාවකට ලක්වීද ක්‍රියාදාමය නවතී.  වායුව වෙනස් වීමක් ‍හිග වීමක් වීද ක්‍රියාදාමය වෙනස් වේ.  විපරීත වීද ක්‍රියාදාමය වැනසේ.
මෙබදු ගිනි බිදු වෙන් වශයෙන් බලන්ට ශක්තියක් මස් ලේ ඇසකට නැත.  බොහෝ විට දිවැසකටද නොහැක.  දහම් ප්‍රඥාවෙන් පහල වූ බුද්ධි ගෝචර ශක්තියෙන් ආකාර වෙන් කර බෙදා බලා දැක ගත යුතු සත්‍යයකි.  මෙබදු ගිනි බිදු එකින් එක ලංවූ විට අතර පරතරය වෙන් කල නොහැකි තරමට ගෑවෙන තරමට කිට්ටුව ක්‍රියා කරන විට මේ බිදු සමූහයම ඒකරාශීව එකක් ලෙස පෙනෙන මායා දර්ශනය පහළ වේ.  තෙලින් වායුවෙන් හටගත් සියුම් හේතු බිදු දහරාව වැල නොකැඩී ගලා විත් අනුකූල ඵල බිදු දහරාව සදන නිසා ඵල බිදු ලෙස ඇතිවූ ගිනි බිදු දහරාවද වැල නොකැඩී ක්‍රියාත්මක වේ.
නොනිවී බොහෝ වේලාවක් පවතින පහන් දැල්ල යයි මීට නිගමනය කරනු ඇත.  කුඩා ඒකකයක් දහස් වාර ගණනකින් ලොකු කර බලන අන්වීක්ෂයකින් එම දැල්ල ප්‍රශාරණය කර බැලුවොත් කුඩා ගිනි බිදු කෝටි ගණනින් තිරය ලගින් මතුවී උඩට ගොස් බිදි බිදී යන අයුරු බැලිය හැකිය.  

(පිටුව 44)
අතර නොපෙනෙන ගිනි බිදු ප්‍රසාරණය කර ඇති තතු විමසන විට ‍ක්‍රියාවලිය නිසා එක දැල්ලක් හටගෙන වැනසී යන ගිනිබිදු සමූහ බොහෝ වේලා පෙනෙන අයුරු මිස පහන් දැල්ල යැයි ඒකකයක් නැති බව ප්‍රඥාවට වැටහේ.  ඇසින් බැලූ විට එසේ නොපෙනන අයරු වැටහේ.  
වැලි ගොඩක් දෙස බලන අපට වැලි ගොඩ ලෙස පෙනෙන්නේ කුමක්ද?  විසිරුවා බැලුව විට දකින්නට ලැබෙන වැලි කැට සමූහයමය.  ලග ලග පිහිටි වැලි කැට සමූහයේ දර්ශනයයි වැලි ගොඩ ලෙස පෙනුනේ. මෙසේ බලන විට එක්ව ඒකාකාරව පෙනෙන සියල්ල මායා මුලා දර්ශන මිස තිර ලෙස පවතින ඒවා නොවන බවත් රැවටිලි සහගත මායා දර්ශන මිස ඒවායේ මොහොතක් ඒකාකාරීව පවතින කිසිවක් නොමැති බවත් මනාව වැටහෙනු ඇත.
දැන් පහන් දැල්ල සමානව මේ කයද ජීවිතයද සසදා බැලිය යුතුයි.  ජීවිතය පහන් දැල්ල මෙනි.  කර්ම ශක්තිය නැමැති තෙලද, ශරීරය නැමැති වැටියට සම්බන්ධව ගලා එයි.  කන බොන ආහාර, වායු කදම්භය ලෙස ඇදී සම්බන්ධ වේ.  ශුද්ධාෂ්ඨක යයි කියන ඉතා කුඩා රූප මාත්‍රයන්ට සියුම් වූ ආහාර බිදු කර්ම බල ශක්ති මාත්‍රයන් හා එක් වෙමින් කර්මජ තේජෝ ධාතුවෙන් රත් කරමින් ඉතා සියුම් ජීවිත බිදු නිපදවනු ඇත.
වැල නොකැඩී එක දිගට නිපදවන ජීවිත බිදු දහරාවෙන් බිදුවක් ඇසිපිය හෙලන මො‍හොතක් යන්ට පෙර ජීවිත ක්‍රියාවලිය සිදු කර වැනසී යනු ඇත.  එක දිගට වැල නොකැඩී සිදුවන මේ ක්‍රියාවලිය දෙස හිතා බැලුවොත් ජීවිත බිදු දෙකක් අතර වෙනසක් දැක ගත නොහැකි නිසා ජීවිත යනු බොහෝ කාලයක පටන් වෙනස් නොවන තත්වයකැයි මුලාවට බැසගනී.  දිවැසකින් අනාදිය සිහි කලත් නොකැඩී නොබැදී එන පුද්ගලයෙකුයි ආත්ම දෘෂ්ඨියට බැස ගනී.  සත්ව, පුද්ගල ලෙස පෙනෙන මායාව ඒකාකාර සත්වයෙකුයි රවටන අවිද්‍යා පටලය දුරු කරගන්ට උපමා සසදා මේ දහම් දකින ආකාරය පෙර පටන් පහනින් පිළිබිඹු විය.  මෙසේ දකින් විට කෙනෙක්, දෙයක් ලෙස සලකන තුරු උපදින කෙනෙක් ජීවත්වන කෙනෙක්, මැරෙන කෙනෙක්, පවතින දෙයක්, වැනසෙන දෙයක් ආදියේ සිට එන කෙනෙක්, මතු යන කෙනෙක් මෙවැනි දෘෂ්ටි පහල වනු ඇත.  ක්ෂණිකව වෙනස් වන හේතු ඵල රටාවක් හැර‍ කෙනෙක් හෝ දෙයක් ලොව නැතිබව තත්වාකාර නුවණට වැටහුන විට ඒ සියලුම දෘෂ්ටි බිදී යනු ඇත. 

පිටුව 41 සහ 42

(පිටුව 41)
එබදු ප්‍රිය මනාප ලෝකයක සාර යයි අල්ලන්නට වටින දෙයක් නැති බැවින් සියලු ප්‍රිය මනාපයෝ අනාථ සේ දකිමි.  මෙසේ දන්නා මෙසේ දක්නා මොහොතක් පාසාම මා තුල අවිද්‍යාව, තෘෂ්ණා ගති සහ වැඩ පිලිවෙල මොහොතින් මොහොත අළු වන අයුරු හොදට දනිමි.  දකිමි.

හදුන්කූර අප අමතයි,
පින්වත, ඔබේ දහම් නුවණ ඉතා යහපති.  තවත් මා දෙස හොදට බලන්න.  මා මෙහි ටිකෙන් ටික කෙටි වන අයුරු ඔබට පෙනේද?  ඔබ ලග එසේ කෙටි වන්නේ කුමක්ද?  දහමින් එය මට පවසන්න.
හදුන්කූරට අපෙන් පිලිතුරු, 
පින්වත, ලෝකය අනාථ ලෙස නිසරු ලෙස දකින මොහොතක් පාසා මා යන මේ සසර ගමනේ කුමන හරයක් ඇතිදැයි මට සිහිවේ.  සියලු අතීතයේ දක්නට ලැබු‍නේ අහිමි වී ගිය නිසරු දෙයමයි.  දැන් දක්නට ලැබෙන්නේද කිසි හිමිකමක් නොතිබිය හැකි ගෙවී යන නිසරු දෙයමයි.  මතු ලැබුනත් ලැබෙන්නේ හිමිකම් කිසිත් නොලබන ගෙවී වැනසෙන නිසරු දෙයමයි.  මෙබදු ලොවක් සාර යැයි ගෙන සැරි සරන සසර ගමන මුලාවක් බව වැටහෙන මාගේ සසර වැඩ පිලිවෙලට සිත නොපිහිටන අයුරු මා විසින්ම අත් දකිනු ඇත.  භව ගමන කෙටි වන අයුරු අත්දැකීමෙන්ම මට වැටහේ.  ඒ මාගේ කෙටි වන ගමනයි.

හදුන්කූර අප අමතයි,
ඉතාමත් යහපති පින්වත, මා සමව දහම් දකින ඔබෙන් තව එකම පැනයක් අසමි. ‍ මෙසේ කෙ‍ටි වන මා අන්තිම මොහොතේ මේ ගිනි බිදදා නිවෙන තැනට පත්වෙමි.  එවිට මමයි කිසිවක් මෙහි ඉතිරි නොවන බව දකිමි.  ඒ ගැන ඔබේ දහම් උපමාවද සසදා මට කියන්න.
හදුන්කූරට අපෙන් පිලිතුරු, 
පින්වත මගේ ලෝභ ගිනි, ද්වේශ ගිනි, මෝහ ගිනි, බුර බුරා නැගුන පෙර ස්වභාවය දැන් නැත.  ක්‍රමයෙන් නිවී යන භව ගනින් වැඩී කල් නොපවතින බවත් ඒකානත්යෙන් නිවී යන දහම මා තුල ක්‍රියාත්මක වන බවත් මම සක් සුදක්සේ දකිමි.  යම් මොහොතක මේ ගින්න සහමුලටද නිවේද එදින මමය, මගේය යන සංඥා මාත්‍රයක්වත් ඉතිරි නොවන බව දනිමි.  ඒ භව ගමනේ අවසානයයි.  අරිහත් ඵලයේ විමුක්තියයි.  එවිට පංචස්කන්ධය කෙළවර වන මොහොතින් පසු සියලු දුකින් සදහටම නිදහස් වන බව දැන සිටිමි. 

(පිටුව 42)
හදුන්කූර අප අමතයි,
ප්‍රඥාවෙන් උපමා සසදා දහම් මග දකින ඔබ මා උපමා කලද එසේම දකින්නට දක්ෂ බව පිලිගනිමි.  බුදු පියාණන්වහන්සේ ජීවමානව වැඩ සිටින ලෙස මනසින් මවා මා‍ගෙන ගොස් තබා, ඔබේ ශාසන සමවත් ගමන් මග මා උපමා කල ලෙසම සිදු කරන බව සිහි කර පිලිවෙත පුරා නිවන් සුව අත් කරගන්න.
මේ පෙර බොදුනුවන් හදුන්කූරෙන් නිවන් මග දුටු ආකාරයයි.

මෙසේ මලින් සීල ශාසනයත් හදුන් කූරෙන් සමාධි ශාසනයත් දුටු ආදි බොදුනුවෝ පහනින් ප්‍රඥා ‍ශාසන මග සිහි කලෝය.  ඒ වටිනා දහම් මග යටපත්වී ගිය මෙකල මහා නුවණ වඩන පින්කම් ලෙස පහන් දහස් ගණනින් දල්වති.  බුදු රජාණන් වහන්සේට මේ පහන් පූජා වේවායි නිවන්ද ප්‍රාර්ථනා කරති.  ප්‍රඥාව පැතුවාට ලැබේද?  මග දැන වැඩු‍වොත් ලැබේද?  ඔබට හිතා බලන්න.

වසර දෙදහස් පන්සීයකට පෙර පටන්ම බොදුනුවෝ පහන් පූජා කර ඇත.  නිවන්ද ප්‍රත්‍යක්ෂ කර ඇත.  ඒ උතුම් නිවන් මග පහනින් දුටු බොදුනුවෝ උතුම් ප්‍රතිපත්ති පූජාවක්ම සිදුකර ඇත.

ඒ මග කුමක්ද?
හේතු නිසා ඵලයක් ඇතිවේ.  හේතු සමගම ඵලය විද්‍යාමාන වේ.  හේතු වැනසුන විට ඒ සමග ඵලයද වැනසේ.  ඇති සේ පෙනෙන ඝනීභවන සියල්ල හේතු බිදු සමූහයන්ගේ ඵල බිදු සමූහ ඒකරාශීව සිදුවන ක්‍රියා ප්‍රතිඵලයකි.  ඇතිසේ රවටන මායාවකි.  මේ සත්‍යය දකින විට ක්ෂණයක්වත් මමය... මගේය... මාග් ආත්මයය කිව හැකි කිසිවක් ලොව තුල නැතැයි දකින ප්‍රඥා ආලෝකය පහලවේ.  අවිද්‍යා... තෘෂ්ණා... මුලාව දුරුවී නිවන් ප්‍රත්‍යක්ෂ කරයි... එය මතු භවයක නොව මේ භවයේමයි... 
පහන උපමා කර මේ දහම් දකින්නේ මෙසේයි.
පහනේ ගොටුව තුල ඇති තෙල් අපට පෙනේ.  එම තෙල පෙගමින් එහි තැවරී ඇති තිරයද අපට දැක ගත හැකිය.  සුලගද දැල්ලක් ඇති කිරීමට සුදුසු පරිදි අවටින් ඇදී සිටී.

ආරම්භක දැල්ලක් රත් වීමකින් සිදුවේ.  රත්වන තෙල් බිදු ඇහැට නොපෙනෙන තරම් සියුම්ව තිරයෙන් ගිලිහෙන විට ආධාරක වාත අංශු මාත්‍රද ඒ හා මුසු වේ. 



පිටුව 39 සහ 40


(පිටුව 39)
දුටු දහම් ඇති අප, කැඩූ මල් මනසින් ගෙන ජීවමාන ලෙස මනසින් මැවූ බුදු පියාණන්වහන්සේ හමුවට යමු.
ස්වාමීණී, මලින් පෙන්නූ මාර මුලාවත් එයින් නික්මෙන නෙක්ඛම්මයත් දුටු අප අද පැමිණියේ ඔබ වහන්සේ අපට දුන් දහම් පිළිවෙත ගැන පැහැදී උපහාරයක් කිරීමටයි.
මරු පස දහම් පාගා නැගී සිටි ස්වාමීණී, මේ මල් දැමිය යුතු තැන ඔබ වහන්සේ අපට දහම් මගින් පෙන්වා වදාරා ඇත.  මුලා වූවන් සේ කරට හිසට පළදවා ඔබ වහන්සේ දෙස අප බලන්නේ නැත.
ශ්‍රී පාදයට පෑගෙන මේ මාර මුලාව පිළිඹිඹු කරන මල් බිම දමමි.  අපද මල් උයනක ගස්, වැල් සේ උපමා සසදා බලා ඉදුරන් පස නැමැති මල් කඩා පාමුල තබමි.  මතු මාර මුලාව ඇති කරන කාමයට නොබැදෙන බවටත් පළමුව කාම දුසිරිතෙන් වෙන්ව මේ මාර්ගය පූරණය කරන බවටත් දිවුරා පොරොන්දු වෙමි.මෙසේ බුදු සිරිපා මුල මල් දමා සිහි කරන දහම් ක්‍රමය නිසා ඉදුරන් සංවරයෙන් සීල ශාසනය වැඩීමට එය මහත් පිටිවහලක් වනු ඇත.  මේ ප්‍රතිපත්තිමය මල් පූජාව පෙර බොදුනුවන්ගේ මල් පූජාවයි.
පෙර බොදුනුවන් හදුන්කූරු පූජා කලේ කෙසේද?
මෙයද වසර දෙදෙහස් පන්සීයකට පෙර පටන් බොදු ගුණ වැඩූ වටිනා පුජාවකි.  එහි අරුත වැසී ගිය මේ කාලයේ බුදු කුටිය සුවද කර නිවන් පතයි.  ප්‍රඥාවෙන් තොර නිවන් මගක් ඇත්ද?  සුවද මුලාවක් බවත් එය අත්හල යුත්තක් බවත් දේශනා කල බුදු පියාණන්වහන්සේට කරන එම උපහාරය කෙතෙක් දුරට සාර්ථකද කියා සිතා බලන්න.  පෙර හදුන්කූරෙන් කල පූජා ප්‍රතිපත්තියෙන් සමාධිය වැඩූ බොදුන මග කෙසේද?
සැම දෙන බුදු ගුණ සිහි කර ඇස් අඩවන් කර තම අත් වෙත මනස යොමු කරන්න.  දැල්වුන හදුන්කූරක් තම අතේ ඇති ලෙස මනසින් සිතා ගන්න.  අපි දැන් හදුන්කූර සමග නිහඩ දහම් සාකච්ඡාවක යෙදෙමු.  "ආයුබෝවන් හදුන්කූර" අප හිතෙන් කියමු.

(පිටුව 40)
"ආයුබෝවන් පින්වත" හදුන්කූර අපට නිහඩ හඩක් දෙයි.

හදුන්කූර අප අමතයි,
පින්වත, ඔබ සිටින්නේ මා වාගේද?  මම මෙහි ඇද නැතිව සිටිමි.  ඔබේ ඇද නැති දෙය දහමට අනුව මට පවසන්න.
හදුන්කූරට අපෙන් පිලිතුරු,
පින්වත් හදුන්කූර, මගේ හිත, කය, වචනය යන තුන්දොරින් වංක කටයුතු ‍ඇද කටයුතු නැත.  මම සැමවිටම අවංක වෙමි.  අවංක බව මගේ ඇද නැති දහමයි.

හදුන්කූර අප අමතයි,
හොදමයි පින්වත, මා වටේ නිතරම සුවද ඇත.  ඔබේ සුවද දහමට අනුව මට පවසන්න.
හදුන්කූරට අපෙන් පිලිතුරු,
පින්වත් හදුන්කූර, මගේ වැඩ, කථා නිතරම සුචරිතයයි.  සුචරිත සුවද මා වෙලාගෙන ඇත.  මගේ අහලක වත් දුසිරිත් දුගදක් නැත.  මේ ඇත නැති මා‍ ව‍ටා ඇති සුවද බව පවසමි.

හදුන්කූර අප අමතයි,
ඉතා හොදයි පින්වත, එහෙනම් මගේ මුදුන බලන්න.  දැල්වෙන, පිබිදෙන මගෙන් සෑම අතම සුවද දුම් විහිදෙන අයුරු ඔබට පෙනෙනවද?  මා සමවන්නට ඔබේ දැල්වීම, පිබිදීම සහ විහිදෙන සුවද  මට කියන්න.
හදුන්කූරට අපෙන් පිලිතුරු, 
පින්වත, මම දැල්වුණු මුවගින් නිතර තෙරුවන් ගුණ ගයමි.  පිබිදුන මනසත් දහම් ප්‍රීතිය භුක්ති විදිමි.  මගෙන් හමා යන දහම් සුවද, ගුණ සුවද දස දෙසම පැතිරෙනු ඇත.  මෙසේ මම පිලිවෙලින් ඔබට සම වෙමි.  

හදුන්කූර අප අමතයි,
එහෙනම් පින්වත, මාගේ ලග හොදට බලන්න.  ටිකෙන් ටික අළු වන අයුරු ඔබට පෙනෙනවාද?  ඔබ ලග මගේ වගේ අළු වන දෙයක් පෙනේද?  දහම අනුව මට කියන්න.
හදුන්කූරට අපෙන් පිලිතුරු, 
පින්වත, හටගත් සියල්ල විපරිණාමයට පත්වි විනාශ වන බව නිසාම ප්‍රිය මනාප යැයි කිසිම දෙයක් කැමති‍සේ නොවන බව, එසේම ඒවාට ප්‍රිය මනාප වූවෝත් ඒවා වැනසී යාමේ නියමට පරිදි වෙනස්  වන විට ‍වැනසෙන විට එයම දුක කදක් දෙවන බව මනාසේ දකිමි.