මෙම බ්ලොග් අඩවිය පිළිබඳව

සම්මා සම්බුදු පියාණන්වහන්සේ වදාළ සත්‍ය වූ බුද්ධ ධර්මය කාලයත් සමග සැගවෙන්නට ඇති ඉඩකඩ වැඩිය. එය ‍එසේ වූ නිසාම ශතවර්ෂ ගණනකින් මාර්ගඵල ලාභීන් බිහි වූ බවක් අසන්නට නොලැබිණි... එහෙත් මග ඵල ලැබ ගෞතම බුදු පියාණන් විවර කල නිවන් දොරටුවෙන් මාර්ගයට පිවිස ඵල ලැබී සැනසීමට නියම වූ ඇත්තන් තවමත් සිටින හෙයින් ඔවුන් සදහා උපකාරයක් වීමට නියම කළ්‍යණ මිතුරාගේ පැමිණීම සිදුවී ඇත. ඒ සැඟවුනු මාවත යලි විවර කරමින්, සැඟවුනු දහම් අරුත් මතු කරමින් සසර දුකින් පෙළෙන ඔබටත් මටත් අනන්ත සසර දුක් සයුරෙන් එතෙර වීමේ ප්‍රයෝගික මග හෙලි කරන අභිඥාලාභී පූජ්‍යපාද වහරක අභයරතනාලංකාර ස්වාමීන් වහන්සේගේ ධර්මානුශාසනා ඇසුරෙන් පලවූ "සැගවුණු බොදු මග කල එලි දකී" යන පොත ඇසුරෙන් මෙසේ සටහන් තබමි!

Apr 23, 2010

පිටුව 55 සහ 56

(පිටුව 55)
මව මැරීම, පියා මැරීම, අරිහතුන් වහන්සේලා මැරීම, බුද්ධ ශරීරයේ ලේ ඉපැද්දීම, සංඝ භේදය ආදී ආනන්තරික පාප කර්ම කලෝ සුව කිරීම අපහසුව ද්වේශ රෝගීහුය.  මොවුන් ඒ අත් බැව්හි යලි නිරෝගී කල නොහැකි බලවත් අසාධ්‍ය රෝගීන්ය.  ලෝක රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ඉහළම රෝගීන දමන වාට්ටුව "අවීචි මහා නරකයයි"  නිරය නැමැති රෝහල වාට්ටු  එකසීය තිස් හයකි (136) කි.  ලෝක ධර්මතා නම්වූ පාලක මණ්ඩලයේ දෙවැනි විනිශ්චයට ලක් වූවෝ ඇතුලත් කරන්නේ "ප්‍රේත විෂය" නම් වූ අපා ගත රෝහලටයි.  ලෝභ විෂබීජ ප්‍රබල වන අපත්‍ය ආහාර ගෙන අසාධ්‍ය ලෙස ‍රෝගී වූවෝ මෙම රෝහලට යැවෙති.  මේ රෝගය අසාධ්‍ය වූ විට කැසිලි, කුෂ්ඨ, දද, වන, පිළිකා, අජීර්ණ, ආහාර පාන ගත නොහැකි ලෙස උගුර හිරවීම, බඩේ ගෑස් ඇතිවී මහ කල ගෙඩි මෙන් බඩ පුරවා දැමීම, නැගිටගන්නට බැරි ලෙස කායික අප්‍රාණිකත්වය, නින්ද නොයෑම, අසහනය ආදී නානා රෝග ලක්ෂණ ඇතිවේ.  අපත්‍ය ආහාර නිසා රෝගය දැඩි වී වසර කෝටි ගණනක් යනතුරු බෙහෙත් ප්‍රත්‍ය නොවී ප්‍රේත විෂය නම්වූ රෝහලේ දුක් විදිති.  
තවත් භව රෝග කාරක පිරිසක් විෂම ලෝභ විෂ බලවත් වන තිරිසන් ක්‍රියා, කථා, සිතිවිලි නැමැති අපත්‍ය ආහාර ගෙන රෝගීන්ව කල් ගෙවති.  ලෝක ධර්මතා පාලක මණ්ඩලය මේ පිරිස තිරිසන් අපාය නම් රෝහලට දමනු ලැබේ.  මේ රෝගය උත්සන්න වූවෝ විෂම කාමයෙන් මුසපත්ව මන්ද බුද්ධික රෝග ලක්ෂණ පහල කරති.  මන්ද බුද්ධික මුලා ආශාවන්ට වහල් වී නටති, උඩ පනිති, දගලති, කෑ කෝ ගසති, පොර අල්ලති, ඇන කොටාගනිති, හපා කති, එකතුව විහිලු කරති, කොක් හඩ ලා කවට සිනා පහල කරති.  මේ රෝග ලකුණු පහල කරන්නේ ලෝභ විෂබීජ සහ ඊටත් වඩා බලවත් වූ මෝහ විෂබීජ හේතුවෙනි.  භව රෝග කාරකයා ඉහත කී රෝග ලක්ෂණ සහිත තිරිසන් ක්‍රියා, වදන්, සිතිවිලි ආහාර ලෙස ගෙන ඇත.  තිරිසන් රෝගය උත්සන්න කරන මේ අපත්‍ය ආහාර භව රෝගියා ඉතා ප්‍රිය කරන බැවින් සිහි බුද්ධියෙන් තේරුම් ගෙන ඉවසා ඉන් වැළකුනේ නැත්නම් අත් බැව් සිය දහස් ලක්ෂ ගණන් සුව නොවන තිරිසන් රෝගියෙක්ව තිරිසන් අපාය නම් රෝහලේ දුක් විදින්නට සිදුවේ.  පත්‍ය අපත්‍ය ආහාර නොහදුනන මෙකල බොහෝ දරු දැරියන් අපත්‍ය ආහාරයක් වන තිරිසන් ආහාර භුක්ති විදින හැටි දකින විට අනේ මේ පින්වත් දරුවෝ මතු තිරිසන් රෝහලේ ප්‍රතිකාර ලබන තිරිසන් රෝගීන් වනවා නේදැයි සංවේග උපදී.

(පිටුව 56)
තවද ද්වේශ සහගත, මෝහ සහගත විෂබීජ ‍ප්‍රභේදයක් ඇත.  ආධ්‍යාත්මිකවත් අක්‍රියත්වයේ ක්‍රියාකාරීත්වයෙනුත් පාප ගතිගුණ සහිත වේ.  භව රෝග කාරකයා ප්‍රිය කරන ‍තවත් අපත්‍ය ආහාරයකි, මව්පියන්, වැඩිහිටියන්, වෙහෙස මහන්සිවී හරි හම්බ කරන පෝෂණ කරන තුරු උදව්වක්, උපකාරයක් නොදී ඇග වෙහෙස වන්ට කම්මැලිව හැදුවා නම් කන්ට බොන්ට දීපල්ලා, අපට සලකපල්ලායි අසාධාරණ වහසි බස් දොඩමින් දූෂිත සිතින් කල් ගෙවයි.  වෙහෙසයි, මහන්සියි කියා තම යුතුකම් ඉටු නොකර මග හරියි.  නිදයි, බොරු රෝගාබාධ (හොර ලෙඩ පෙන්වා) කම්මැලිව වසයි, අනුන් මරවා වැඩ ගනිමින් අසාධාරණ ලෙස සුඛෝපභෝගීව සිටියි.  නිෂ්ඵල කටයුතු විනෝද ආදියෙන් කාලය ගත කරයි.  ගුණවතුන්ට ගරු සත්කාර නොකරයි.  හොර මැර වංචා කර තමා සුදනෙක් සේ පෙන්වා වරද වසන් කර ගරු පැසසුම්ද ලබයි.   මෙබදු අපත්‍ය ආහාර භව රෝග කාරකයට ප්‍රියජනකය සිහි බුද්ධියෙන් කරුණු තේරුම් නොගෙන මේ අපත්‍ය ආහාර භාවිත කරන භව රෝගියා අසුර රෝගියෙක් වේ.  ස්වභාව ධර්මතා නම් පාලක මණ්ඩලය රවටන්නට නම් නොහැක.  ඒ පාලනයෙන් මොහුට හිමි "අසුර අපාය" නම් රෝහලට ඇද දමයි.  අසුර රෝගය වසර ලක්ෂ කෝටි ගණන් ගෙව්වද සුව නොවේ.  මහා ශරීර අප්‍රාණිකව ආහාර නොලැබ දාහයෙන් ගිනි ගිනිමින් ගිනි කදු මෙන්, මහ පර්වත මෙන් වියලි රළු වූ කර්කෂ කදු මෙන් අසුර අපාගත මහ රෝහලේ දුක්වීදී.  
සියලු සත්වයෝ මෙබදු අසාධ්‍ය රෝග වලට හේතු වන අපත්‍ය ආහාර ගෙන මහා රෝගීන්ව මෙබදු ‍ලෝක රෝගීන්ට පහල වූ සතර අපාය නම් මහ රෝහල් ගතව වින්ද දුක් විදින දුක්, මතු ‍විදින්නට හේතු කාරකද සහිතව භව රෝග කාරක අනාථ ගමනක යෙදී සිටී.
තව සමහරෙක් ලෝභ, ද්වේශ, මෝහ විෂබීජ ඇතුළු වීමට හේතු තිබියදී සැලකිලිමත්ව අපත්‍ය භව ආහාර පරිභෝග ‍නොකරති.  තාවකාලික ප්‍රතිශක්ති කරන ආහාර උපේක්ෂාවෙන් උවද පරිහණය කරති.  එනම් දන්දීම, සිල් රැකීම, වත් පිලිවෙත් කිරීම, උදව් උපකාර කිරීම, මංමාවත් තනාදීම, ලිං තොටු තනාදීම, ගේ දොර ඉදිකර දීම, අනාථ මඩම් ඉදිකර දීම, ඒවා පෝෂණය කිරීම, මරණයට කැපවූ සතුන් නිදහස් කිරීම ආදී දේවල්ය.  මේවා තාවකාලිකව ‍ලෝභ, ද්වේශ, මෝහ විෂබීජ මර්ධනයට ප්‍රත්‍ය ඖෂධයෝය.  ලෝභ විෂබීජයේ රෝග අසාධ්‍ය කරන බලය තාවකාලිකව මැඩපවත්වා ගෙන කාමරෝග අත හැර භුක්තියෙහි ඇලී සිටී.  

පිටුව 53 සහ 54

(පිටුව 53)
සූවිසි ගුණ තුලින් නිවන් මග
සූවිසි ගුණ තුලින් නිවන් මග යෙදී තිබෙන අයුරු තේරුම් ගත් විට කිසිම මාර බලයකට ගොදුරු නොවී සැනසුම් සහගතව නිවන ප්‍රත්‍යක්ෂ කල හැකිය.  පෙර ලක්දිව තිබූ හෙල අටුවා විනාශ වීමෙන් පසු මේ වටිනා දහම් මග ක්‍රමයෙන් අතුරුදහන් විය.  පසු කලෙක එම අසීමිත ගුණ පද වලට පටු අර්ථයක් ආරෝපණය කරමින් පද ගායනාව පමණක් භාවිතයට ඉතිරි විය.  මෙකල වන විට බොහෝ කොට සූවිසි ගුණ පද ගායනා කිරීමට ඒ අසීමිත ගුණ කද සීමා වී ඇති බව පෙනේ.  
යමක් ගුණ කිරීම යනු වැඩි වර්ධනය කිරීම යන අරුත ගෙන දෙයි.  ගණිත විද්‍යාවේදි එකතු කිරීම, අඩු කිරීම, වැඩි කිරීම, බෙදීම යන ප්‍රධාන කරුණු 4ක් ගැන කියැවේ.  මෙහි වැඩි කිරීම යන පදයට කියන තව පදයකි ගුණ කිරීම.  වෛද්‍ය විද්‍යාවේ ගුණ යනු ගුණ, අගුණ කියන අදහස පරිදි සුව වීම අදහස් කරයි.  අසනීපව දුක් සහගතව සිටින විට ක්‍රමයෙන් ගුණ වෙන්ට පටන් ගනී.  එනම් රෝගාබාධය සුව වන අතට හැරීමයි.  දැන් හොදටම ගුණයි කියන්නේ රෝගය සහමුලින්ම සුව වූවා යන අදහසයි.  
සසර සැරි සරන අවිද්‍යා, තෘෂ්ණා සහගත සත්වයාටද මහා රෝගයක් ඇත.  එනම් භව රෝගයයි.  කායික රෝග පහල වෙන්නේ ‍නොයෙක් විෂ බීජ කයට ඇතුළු වීමෙනි.  ඒ රෝග බලවත් වෙන්නේ රෝග වැඩීමට හේතුවන අපත්‍ය දේ ශරීර ගත වීමෙනි.  ඒ අපත්‍ය ආහාර විෂ බීජ ගුණ වලට ගුණ නිසා විෂබීජ ගුණ වේ.  හෙවත් වැඩි වර්ධනය වේ.  එහි ප්‍රතිඵලය කායික රෝගාබාධය අසාධ්‍ය බවට පත්වීමයි.  එම කායික රෝගය සංසිදවන්නට නම් රෝග මැඩ පවත්වන ප්‍රතිශක්තිය ගුණ කල යුතුය.  නැතනම් වැඩි වර්ධනය කල යුතුය.  ඒ සදහා ප්‍රතිශක්තිය ගුණ කරන එසේ නැත්නම් වැඩි වර්ධනය කරන ඖෂධ ශරීර ගත කල යුතුයි.  මෙසේ විෂබීජ වලට ගුණ දේ දීමෙන් රෝගය ප්‍රගුණ වීම හෙවත් වැඩි වර්ධනය වේ.  රෝග නිවාරණයට ගුණ දේ දීමෙන් රෝග නිවාරණ ප්‍රතිශක්ති ගුණ වී‍ම හෙවත් වැඩි වර්ධනය වී රෝගය සංසිදේ.  විෂ බීජ ප්‍රගුණ කරන අපත්‍ය ආහාරය බොහෝ විට ප්‍රිය ජනකයි.  පරිහරණයට හිත ඇතිවේ.  විෂබීජ වනසන ප්‍රතිශක්තිය ප්‍රගුණ කරන ආහාරය හෙවත් ඖෂධ බොහෝ විට අප්‍රිය ජනකය.  ප්‍රිය නොකරයි.  පරිහරණයට අකමැතිය.

(පිටුව 54)
සිහි බුද්ධියෙන් තොරව හැගුමට වහල් වී ප්‍රියජනක වූදේ පසුපස භුක්තියට ගියොත් රෝග කාරක විෂබීජ ප්‍රගුණ වීමෙන් බොහෝ රෝගාබාධ වලට ලක් වී දුක් විදින්නට සිදුවේ.  සිහි බුද්ධියෙන් යුතුව හැගුම් වලට වහල් නොවී ප්‍රිය ජනක නොවූවත් කර්කෂ සේ පෙනුනත් ප්‍රත්‍ය ඖෂධ ආහාර පරිභෝග කලොත් රෝග නිවාරණ විෂබීජ නිවාරණ ප්‍රතිශක්තිය ප්‍රගුණ වී නිරෝගී සුවය අත් පත් වනු ඇත.  මෙහිදී ගුණ, ප්‍රගුණ යන පද හොද පැත්තටත් නරක පැත්තටත් අරුත දෙන හැටි දැන් පැහැදිලිය.  මෙකල භාෂා ව්‍යවහාරයේදී ගුණ කියන වචනය හොද යහපත් ආදී අදහස ගන්ට පමණක් භාවිත කලද හොදින් විමසා බලන විට හොද හෝ නරක පැත්තක් දියුණු කරන, වඩවන, නගා සිටුවන, මේ සැමට ගුණ වීම, ප්‍රගුණ වීම යන වචන අර්ථ දෙන අයුරු පෙනේ.  එබැවින් ගුණ යන වචනයේ තැනට සුදුසු අදහස ලබන්ට නම් හොද දේ වැඩීම සුගුණ, සත්ගුණ ආදී වශයෙන්ද පාපී කරනදේ වැඩීම දුර්ගුණ, අසත් ගුණ වචනයෙන්ද අර්ථ ගෙන තේරුම් ගත යුතුය.  
දැන් බුදු ගුණ, දහම් ගුණ, සග ගුණ, ආදී මේ සූවිසි මහා ගුණ අයිති වන්නේ සුගුණ, සත්ගුණ කියන ගුණ කොටසටය.  එම ගුණ තුලින් ලැබෙන ප්‍රගුණතාවය හේතු වන්නේ භව රෝගය සංසිදවීමයි.  
සසර සැරි සරන සත්වයා පෙළෙන ලොකුම රෝගය භව රෝගයයි.  මේ භව රෝගය හිතට වැලදී ගතටද ආක්‍රමණය කල විට භව රෝගියා විද්‍යාමාන වේ.  භව රෝගියාට එම රෝගය වැළදී ඇති විෂ බීජ 3 වර්ගයකි.  එනම් ලෝභ විෂබීජ, ද්වේශ විෂබීජ, මෝහ විෂබීජ යන මේවාය.  භව රෝගය බලවත් වීමට මෙන්ම භව රෝග විෂබීජ වලට ගුණ අපත්‍ය ආහාර නම් ලෝභ සහගත, ද්වේශ සහගත, මෝහ සහගත සිතිවිලි ක්‍රියා වදන්ය.  භව රෝගය බලවත් කරන අසාධ්‍ය කරන මේ අපත්‍ය ආහාර භව රෝගියාට රුචිය, රසවත්ය,  අවිද්‍යාවෙන් අන්ධ වූ තෘෂ්ණාවෙන් බාලවූ භව රෝගියා කිසිම සිහි බුද්ධියක් නැතිව ඉහත කී අපත්‍ය ආහාර තෘෂ්ණාවෙන් අසීමිතව ගිල දමයි.  එවිට භව රෝග කාරක විෂබීජ තුන් වර්ගය ප්‍රබල වී භව රෝගය අසාධ්‍ය බවට පත් කරයි.  අසාධ්‍ය බවේ ස්වභාවය අනුව සතර ආකාර රෝග ලක්ෂණ මොහු තුල පහල වේ.  "ලෝක ධර්මතා" නම් පාලක මණ්ඩලයේ විනිශ්චයට යටත්ව රෝගියා සතර ආකාර රෝහල් වෙත යවනු ලබයි.  තදබල අසාධ්‍ය රෝගීන් යවන මහ රෝහල නම් "නිරය" වේ.  වැඩිපුරම මෙහි යැවෙන්නේ ද්වේෂ විෂබීජ බලවත්ව අසාධ්‍ය වූ භව රෝගීන්ය.  රෝගය අති ප්‍රබල නම් දැඩි සත්කාර ඒකකයට ඇතුලු කරයි.  එය "අටමහ නිරය"යි.