මෙම බ්ලොග් අඩවිය පිළිබඳව

සම්මා සම්බුදු පියාණන්වහන්සේ වදාළ සත්‍ය වූ බුද්ධ ධර්මය කාලයත් සමග සැගවෙන්නට ඇති ඉඩකඩ වැඩිය. එය ‍එසේ වූ නිසාම ශතවර්ෂ ගණනකින් මාර්ගඵල ලාභීන් බිහි වූ බවක් අසන්නට නොලැබිණි... එහෙත් මග ඵල ලැබ ගෞතම බුදු පියාණන් විවර කල නිවන් දොරටුවෙන් මාර්ගයට පිවිස ඵල ලැබී සැනසීමට නියම වූ ඇත්තන් තවමත් සිටින හෙයින් ඔවුන් සදහා උපකාරයක් වීමට නියම කළ්‍යණ මිතුරාගේ පැමිණීම සිදුවී ඇත. ඒ සැඟවුනු මාවත යලි විවර කරමින්, සැඟවුනු දහම් අරුත් මතු කරමින් සසර දුකින් පෙළෙන ඔබටත් මටත් අනන්ත සසර දුක් සයුරෙන් එතෙර වීමේ ප්‍රයෝගික මග හෙලි කරන අභිඥාලාභී පූජ්‍යපාද වහරක අභයරතනාලංකාර ස්වාමීන් වහන්සේගේ ධර්මානුශාසනා ඇසුරෙන් පලවූ "සැගවුණු බොදු මග කල එලි දකී" යන පොත ඇසුරෙන් මෙසේ සටහන් තබමි!

May 31, 2010

පිටුව 75 සහ 76


(පිටුව 75)
නිරෝධය යමක උපතක් නොවන බැවිනි.  උපදවන යමක් ඇත්නම් උපතක් පෙනේ.  විපරිණාමයක් පෙනේ.  වැනසීමක් පෙනේ.  මාර්ග චිතතක්ණයත්, ඵල චිත්තක්ෂනයත් අතර අතරක් නැති නිසා, කාලයක් නැති නිසා, අකාලිකයි කීම ධර්ම න්‍යායට ගැළපේදැයි සිතා බැලිය යුතුයි.  යම් චිත්ත විථියක චිත්තක්ෂණයක් භංග වන තුරු ඊළග චිත්තක්ෂණයේ උපත පහළ නොවේ.  දෙවැනි චිත්තක්ෂණය පහළ වෙන්නට පළමු වැනි චිත්තක්ෂණය නත්ථී ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය්‍ විය යුතු බවයි ධර්ම න්‍යය, අතරක් නැත්නම් දෙකක් වෙන් වූයේ කුමකින්ද?  අතර” සිතකට ගෝචර කරන්නට බැරි තරම් සියුම් වූ පලියට අතරක් නැතැයි කීම බුද්ධී ගෝචර දැයි සිතා බැලිය යුතුය.  පැවැත්මක් විද්‍යාමාන වන සෑම දෙයක්ම කාලය හා සම්බන්ධය.  උපතක්, විපරිණාමයක්, වැනසීමක්, කාලය සම්බන්ධව මැනිය හැකිය.  එබැවින් ඒ සියල්ල කාලිකය.  උපතක් නැති, විපරිනාමයක් නැති,  වැනසුමක් නැති තැනක කාල මිම්මෙන් මනින්ට දෙයක්ද පහළ නොවන බැවින් නිවන අකාලික යැයි කියති.  විපරිණාමය වන, වැනසෙන ලොව සියල්ලම ප්‍රියමනාප ආත්ම වශයෙන් ශුන්‍ය බැවින් අසාර ලෙස දැන, අසාරයෙහි පිහිටීම දුකේම පිහිටීමක් බව දැන එහි අත්හැරීම, නොඇල්ම නිසා ඉන් මිදෙයි.  මිදී යාම යනු පැවැත්ම හා සම්බන්ධ ධර්මතාවයක් නොවන නිසා ඒ ධර්ම ස්වභාවය අකාලිකත්වයෙන් දකී.
තවද කාලය යන වදන භාවිත කරන්නේ කුමක් සදහාද යන්න තේරුම් ගැනීමට එහි නිරුක්තිය දැකිය යුතුයි.  ක + ආල යනුවෙන් පද බෙදා එය දැකයි යුතුයි.  ආල යනු ඇලීමයි.  යම් යම් දේ ඇලී සිටින විට ඒ සම්පිණ්ඩනයෙන් යමක් විද්‍යාමාන වේ.  ඒ ඇලී සිටීම ක්ෂය වූ විට එය වැනසේ.  එබදු අතරක් දනවන්ට වෙන් කර ගන්නේ ආලය ක්ෂය වූ මිම්මයි.  එයයි කාල යන වචනයේ නිරුක්තිය.  එකතුවක සම්බන්ධයක් හෝ එකතුන් දෙකක් අතරක් ලෙස හෝ පැවැත්මක් නොවෙයි නිවන.  නිවන අකාලිකයි කියා දැක ගත් විට නියම නිවීම, දුකින් මිදීම ඒ ස්වභාවයම බව දැන ගනී.  ඒ නාථත්වයේ වැටහීම පරම සුබය බව ප්‍රත්‍යක්ෂ වේ.  
11) සන්දිට්ඨික ගුණය
මීලගට 24 වැනි ගුණයේ පටන් ඉහලට ඇති 14 වැනි ගුණයට ඇතුලු විය යුතුය.  එනම් සන්දිට්ඨික ගුණයයි.  තමන්ම දැකිය යුතු යන අරුත මේ ගුණය සදහා අටුවා වලදී ඇත. 

(පිටුව 76)
මෙය විස්තර කර වටහා ගන්නා තුරු නියම අර්ථ වැසී ඇත.  සන් යනු සිතට නමකි.  සන්තාන ආදී ලෙස එය පෙනේ.  සිතේ ස්වභාවය දකින ධර්ම ඥාණය පහළ වූ විටයි එය අත් දකින්නේ. 
උපමාවක් ගෙන මෙය වටහා ගත යුතුය. 
පිරිසිදු වතු නොදුටු කෙනෙකුට අප තේ කහට වතුර, සායම් මිශ්‍ර වතුර ආදිය පෙන්වා වතුර කෙබදු දැයි ඇසුවොත් කෙසේ පිළිතුරු දෙන්ටද?  තේ කහට වතුරින් කහට ඉවත් කරන්ට, මඩ වතුරින් මට කොටස ඉවත් කරන්ට, සායම් මිශ්‍ර වතුරින් සායම් ඉවත් කරන්ට ක්‍රමයක් කියා උපකරණ සමග ඔහුට දුනනොත් ඔහු ඒ ක්‍රමයට ක්‍රියා කර පිරිසිදු වතුර දකිනු ඇත.  දැන් ඔහු පිරිසිදු වතුරත් හදුනයි.  මඩ රොන් එක් වීමෙන් මෙය මඩ වතුර සේ පෙනෙන හැටිත්, සායම් වර්ග එක් වීමෙන් පාට වතුර කියන හැටිත් හදුනයි. 
මෙසේ ආ‍ගන්තුක උප ක්ලේෂ නිසා ලෝභ හිත, ද්වේශ හිත, මෝහ හිත, ඇකිළුනු හිත, විසිරුණු හිත, සමාධි හිත, ආදී ලෙස වෙන්ව හැගෙන හැටිත් මේ උප ක්ලේෂ පහවූ පසු ප්‍රභාශ්වර හිත හෙවත් පිරිසිදු හිත කියාත් දහම් නැණින් වෙන් කර අත් දැකීම් සහිතව හදුනන්ට වූ විට හිතේ ස්වභාවය වටහාගනී.  මෙයයි සන්දිට්ඨික දහම් නුවණ.  මෙසේ දැන සිත්හි ආගන්තුක කහට, දාහ දුරු කර ප්‍රභාෂ්වර සමාධිය ලබයි.  14 වැනි ගුණයටද ඇතුලු වේ. 
10) ස්වක්ඛාත ගුණය
මීලගට ඇත්තේ 24 වැනි ගුණයේ පටන් ක්‍රමයෙන් ඉහලට ආ 15 වැනි ගුණයට ඇතුලු වීමයි.  එය ස්වක්ඛාත ගුණය වේ.  අටුවා වල මෙයට අර්ථ දෙන්නේ මුතු පටක් මෙන් ක්‍රමානුකූලව ගෙතුණු බුදු දහම දකින ලෙසින්ය. 
බුදු රජාණන් වහන්සේ දේශනා කලේ අන්‍ය දාර්ශනිකයන් මෙන් තම තමන්ගේ මත නොවේ.  යම් ධර්මයක් ලොවේ විද්‍යාමාන වේද ඒ හේතුව සකස්වී ඇත්තේ මෙසේය.  ඒ ඵලය සකස් වී ඇත්තේ මෙසේය.  හේතු ධර්මතා පරිදි ඵලයද වෙනස් වන, වැනසෙන ක්‍රමය මෙසේ යැයි ලොව සැම කල්හි නොවෙනස් වන ධර්ම නියාමතාවයයි.  තමන්ට ඕන ඕන හැටියට වෙනස් කල නොහැකි මේ ධර්මතාවය නියමයකි.  ඒ ධර්ම නියාමයට අනුව බෙදා බලන වැඩ පිලිවෙල ධර්මතාවයටම ආවේණික පිළිවෙලක් මිස තම තමන්ට ඕන හැටියට මෙය මෙසේ විය හැකි යැය ලබ්ධි වලට ඕන හැටියට වන්නක් නොවේ.  

May 30, 2010

පිටුව 73 සහ 74


(පිටුව 73)

මෙසේ උතුම් ආර්යත්වයට පත් පළමු සෝතාපන්න උතුමානන් සුපටිපන්න වේ.  උජුපටිපන්න වේ.  ඥාය පටිපන්න වේ.  සාමීචිපටිපන්න වේ.  ආහුන්‍යෙය වේ. පාහුන්‍යෙය වේ. දක්ඛින්‍යෙය වේ. අංජලිකරණීය වේ. අනුත්තර පුඤ්ඤක්ඛෙත්ත වේ.  නව මහා සඝ ගුණයට අවතීර්ණ වූ උතුමෙක් වේ.  ආර්ය ධර්මය මහා ඥාන දර්ශනයෙන් දුටු උන්වහන්සේගේ සතර අපාගතවන්ට තිබූ සියලු කෙලෙස් බර අත් හැරී ඇත.  සතර අපායෙන් මිදී ඇත.  දස්සනේන පහාතබ්බ යන දහම් දර්ශනයෙන් පහ කල යුතු පාප කොටස පහ කල මෙතුම‍ා සක්කාය දෘෂ්ටි, විචිකිච්චා, සීලබ්බත පරාමාස යන සංයෝජන බැමි 3කින් නිදහස් වූයේ වේ.  මින් මතු ඉතිරිව ඇති, අපාගාමී නොවුනත් කාම ලෝකයේ තව දුරටත් හේතු වන කාමරාග සහ පටිග යන සංයෝජන දුරු වීමට භාවනාය පහාතබ්බ යන භාවනා ලෙස සිත වැඩෙන මගට බසී.  මෙහිදී සිත වැඩෙනවා කීවේ ඉතිරි උප ක්ලේෂ ගෙවී යාම මිස අමුතු සිතක උපතක් නොවේ.  උප ක්ලේෂ ගෙවී ගිය ඉතිරි චිත්ත ස්වභාවය අනුව ඵල සිත්යැයි කියන තත්වයන් 3ක් පසු කරන්නට ඉදිරියට ඉතිරිවේ. 

ක්‍රමයෙන් ඇලීම් ගැටීම් දුරු වෙමින් අකම්ප්‍ය භාවයට පත්වෙමින් සිදුවන මනෝ සන්තර්පන ක්‍රියාවලිය සමාධි වැඩීම ලෙස ක්‍රියාත්මක වේ. 



15) පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤූ ගුණය

මෙතැන් සිට අන්‍ය කෙනෙකුගේ උපකාර නැතත් පහළ වූ විදර්ශනා නුවණින් හේතු ප්‍රත්‍ය ධර්මයන් දකිමින් ක්‍රමයෙන් කෙලෙස් බහා තබන්ට පටන් ගනී.  මේ විදර්ශනා ප්‍රඥාවට ඵලය වශයෙන් දුක් ඇති කරන තෘෂ්ණාව දුකට ඇද දමන මායාවක් ලෙසද දකින්නට පටන් ගනී.  එවිට ඉතිරි තණ්හා ශ්‍රෝතය හෙවත් තණ්හා දිය පහර ක්‍රමයෙන් වියළී යයි.  හේතු වැනසී යන මට්ටමට ඵලයද වැනසී යන නිසා ලෝක දුක් කදින් මිදී යයි. 


තමා තුල පහල වන විදර්ශනා නුවණින් දුකට හේතු වන ප්‍රත්‍යය බහා තබන මේ ගුණය පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤූ යයි හදුන්වයි. මෙයද අප්‍රමාණ ගුණ කදකි.  සූවිසි ගුණයේ පටන් ඉහලට ඇති දශ වන ගුණයද මෙසේ ලබනු ඇත. 




(පිටුව 74)

14) ඕපනයික ගුණය

ඊළගට ඇතුලු වන්නේ ඕපනයික නම් දහම් ගුණයටයි.  විසි හතර වැනි ගුණයෙන් ඉහළට එන විට එ‍කොලොස් වැනි ගුණයටයි.  මෙයද නුවණින් ‍දහම් රටාව ක්‍රියාත්මක වන ක්‍රමය දැකීමකි.  මෙබදු සුචරිත ස්වභාවයෙන් හේතු කොට ‍ඒවායේ බලාපොරොත්තු හෙවත් තෘෂ්ණාවෙන් බැදී සිටින සත්වයා මෙබදු සුචරිත අනුකූල සුගති අත් බැව් ලබයි කියා දකින දහම් ගුණ ඤාණය පහළ වේ.  මෙබදු දුෂ්චරිත නිසා ඒවාට බලාපොරොත්තු හෙවත් තෘෂ්ණා හේතු කොට ගෙන මෙබදු දුගති අත් බැව් ලබයි කියාද දකී.  ඒ ඒ උපත් හටගන්නා න්‍යාය ධර්මය වැටහෙන්නට වේ.  මේ ඕපනයික ගුණයට ඇතුලු වීමයි. 



13) ඒහිපස්සික ගුණය

මින් ඉහළට ඇති දහම් ගුණය ඒහිපස්සික ගුණයයි.  එය විසිහතර වැන්නෙන් උඩට බලාගෙන එන විට දොළොස් වැනි ගුණ කදයි.  මෙබදු හේතුවෙන් මතු මෙබදු ඵලයක් වේයැයි දකින විට ඒ ඵලද තිර නැත, කැමති සේ නැත, එබැවින් දුක් ගෙනදේ, මමය මාගේය අල්ලන්නට කිසිත් හරයක් නැත.  එබදු ඵලයක් විද්‍යාමාන කරන මේ බලාපොරොත්තුව මේ තෘෂ්ණා සහගත වැඩ පිලිවෙලද නිස්සාර වෙහෙසකියි දැන හේතුවෙහි කලකිරෙයි.  කලකිරෙන්නේ නොඇලෙයි.  නොඇලෙන්නේ මිදෙයි... මෙසේ ඒ හේතුව මතු වන තැනදීම පහවී යයි.  මේ ඒහිපස්සික ගුණයයි.  විදසුන් නුවණින් බලන ඒ ආර්ය ශ්‍රාවකයාණන් මෙසේ මේ ගුණයටද ඇතුලු වෙති.



12)අකාලික ගුණය

මීලගට 24 වැනි ගුණයේ පටන් ඉහළට දහතුන් වැනි ගුණය අකාලික ගුණයයි.  මෙයට අටුවා ග්‍රන්ථ වල, කල් නොයවා විපාක දෙන බැවින් අකාලික යැයි සදහන් කර ඇත. මේ කල් නොයවා දෙන විපාකය කුමක්ද?


ලෝක පැවැත්ම තුළ මතු පැවැත්මට යමක් පහළ කරන හේතු කාරකයි ක්‍රියාත්මකවන්නේ.   පුණ්‍ය හෝ පාප කර්මයක් කළ විට ඇති වන කර්ම ශක්තිය මතු කවදා හෝ ඵල විපාක පැවැත්මක් ඇති කරයි.  හේතුව ක්‍රියාත්මකව කර්ම ශක්තියෙන් පහළ වූ විට එහි ඵලය පසු වේලාවක පහළ කරන දෙයකිනි අතර කාලයක් නිර්ණය වෙන්නේ.  යම් හේතුවක් සදහටම නිරෝධ වුවොත් හේතු නිරෝධයේ ප්‍රතිඵලය හේතු නිරෝධයම මිස අළුත් ‍හට ගැන්වීමක් නොවන බැවින් කාල නිර්ණය කරන අතරක් වෙන් කළ නොහැකිය.  

May 26, 2010

පිටුව 71 සහ 72

(පිටුව 71)

මෙතුවක් සසරෙහි සතුටු වෙමින් ආසා දරාගෙන ඇත්තේ සතුටු වෙන්ට හරයක් ඇතිදේ නොවේ.  සතුටු වෙන්ට හරයක් ලබන්නේ අසා දැනගත් දේ තුළින් නිවන් මග ලබාදේ නම් පමණකි. 

සංඝ රත්නය සමග කථා කරන විට උන්වහන්සේලා ලග බොරු, කේළාම්, පරුෂ, ප්‍රලාඵ නැත.  නිතර කථා කරන්නේ නිවනට හේතු කාරක වන ශ්‍රී සද්ධර්ම කථාය.  උන්වහන්සේලාගේ සතුටු සාමිචී කථාව එයයි.  එම ගුණයේ සිටින උන්වහන්සේලා සමග කථා කරන සෑම විටම මුලා සතුටු කථා ඇති නොවේ.  අසන්නට ලැබෙන සෑම කථාවක්ම සත්‍යය ගැබ්වූ දේශනාවකි.  මෙසේ අසන දේශනා අනුව තම කථා බහ හැඩ ගස්වා ගන්නා පින්වතුන්ද බොරු නැති, කේළාම් නැති, පරුෂ නොවන, ප්‍රලාප නොවන අර්ථවත් දහම් සාමිචියෙන් කටයුතු කරන්නට හැඩ ගැසේ.  මෙසේ ඇතුලු වන්නේ සාමීචි පටිපන්න ගුණයටයි.  යම් කාලයක බාහරි කථාවකට ඇති කැමැත්ත දුරුවී යාද දහම් කථාවක්, යහපත් ශාසනික කථෘවක් නැත්නම් තුෂ්ණිම්භූතභාවය රකීද මේ ගුණ කදටද දැන් ඇතුලු වී ඇත.  මෙය සාමීචි පටිපන්න ගුණයයි. 


දැන් මේ පින්වතා අප්‍රමාණ සඝ ගුණ 6කින් ශාසනයට පිවිස ඇත.  මීලගට අවතීර්ණ විය යුත්තේ 24 වැනි ගුණයේ පටන් උඩට බලන විට 7වැනි ගුණයටයි.  එනම් ඥාය පටිපන්න ගුණයටයි.


18) ඥාය පටිපන්න ගුණය

බුදු පියාණන්වහන්සේගේ ශ්‍රාවක සංඝ රත්නය දෙසූ පමණින් වචන දරන පිරිසක් නොවේ.  නුවණින් සිතා බලා හේතු ඵල දහමට ගැලපෙන සේ දැනුවත්ව ඒ දහම් සැක නැතිව දරන උතුම් පිරිසකි.  බුද  දහම තුල බොරු නැති බැවින්ද, නුවණට මනාසේ ගෝචර වන බැවින්ද දහම් ශ්‍රවණය කර සිතා බලන විට වැටහුන මොහොතේ පටන් දුටු දහම් ඇති, දත් දහම් ඇති දහම් ඇස පහළවේ.  එබදු ගුණ ඇති ආර්ය සංඝරත්නය මේ අනන්ත ගුණය තුල සිටී.  සාමීචි දහම් කථා ශ්‍රවණය කරන පින්වත්නට ඒ දහම් විමසා හේතු ඵල සහිතව අර්ථ මතු කර ගන්නා ආකාරයටත් එමගින් චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධ කරන හැටිත් විග්‍රහ කර දෙන විට එම දහම් න්‍යාය වැටහී යයි.  සත්‍යය ධඍ්මය කෙරෙහි යම් මාත්‍ර හෝ කුකුසක් ඇති නොවේ.  චුල්ල සෝතාපන්න යන නමට සුදුසු වන ඒ පින්වතුන් මෙසේ තමන්ද ඥාය පටිපන්න ගුණ සමුදායට ‍වූ කෙනෙක් වේ. 


(පිටුව 72)

දැන් මාර්ග ගමන පෙරට වඩා වේගවත්ව සිදුවේ.  බණ අසන එම ස්ථානයේදීම හෝ මෙම ගුණ නැගී එන්ට පුළුවන.  මෙසේ සත්වන ගුණයට පැමිණි එම ශ්‍රාවකයාට දැන් ඇත්තේ අටවැනිව නැගිය යුතු උජුපටිපන්න ගුණයට ඇතුලු වීමයි.


17) උජු පටිපන්න ගුණය

දහමේ අර්ථය වැටහුණු විට මේ මග අත්තකිලමතානු යෝගයටයි, ඇත යන දෘෂ්ඨියටයි, ඒ අන්තයකයි, ආදී වශයෙන් ඒ ඒ දහම් වෙන් වෙන්ම දැකගත හැකිය.  මේ‍ මේ දහම් කාම සුඛල්ලිනාකුනු යෝගයටයි, මේ දහම් නැත යන දෘෂ්ඨීයේ (නාස්තික දෘෂ්ටි) පිහිටා කරන ඒවාය, මෙසේ දෙවැනි අන්තයද දකී.  මේ අන්ත දෙකටම අයිති හැම දහමක්ම ලෝකයේ සැරි සැරීමට මිස නිවනට එල්ල වූ දහම් නොවේ යැයි තේරුම් සහිතව, හේතු ඵල සහිතව වැටහෙන්නට වේ.  ආර්ය අෂ්ඨාංගික මාර්ගය ශුද්ධ ඇතිව දකින නුවණ පහල වේ.  දැන් සෘජු මාර්ගයට දැන ගෙනම ඇතුලු විය හැකිය.  මේ අප්‍රමාණ ගුණ සහිත උජුපටිපන්න ගුණයයි.  ආර්යයෝ ඇත්තේ මේ අසීමිත ගුණය තුලයි.  නුවණින් වැඩෙන ශ්‍රාවකයාද එම නුවණින් මෙසේ අන්ත දෙක දැකගනී.  ඊට අමතර වූ සෘජු මාර්ගය වන ආර්ය අෂ්ඨාංගික මාර්ගයද දැක ගනී.  දැන් එම ශ්‍රාවකයාද උජු පටිපන්න ගුණය තුලය.  24 වැනි ගුණයේ පටන් ඉහලට 8 වැනි ගුණය තුලට දැන් පිවිස ඇත.


16) සුපටිපන්න ගුණය

මෙසේ ආර්ය අෂ්ටාංගික මාර්ගය සැක හැර තේරුම් ගත් පසු නිවනේ ස්වභාවයත්, ඒ කරා යන නියම මාර්ගයත් වටහා ගත් විටම මාර්ගඵල ලැබීමට හේතු වාසනා මොහොත උදාවේ.  කල්‍යාණ මිත්‍ර සම්පත්තිය, සද්ධර්ම ශ්‍රවණය, යෝනිසෝමනසිකාරය, ධර්මානුධර්ම ප්‍රතිපත්තිය යන සෝතාපන්න වීමට අවශ්‍ය වාතාවරණය සැකසුන මොහොතක දුක්ඛාර්ය සත්‍යය පිරිසිද දකිමින්, දුක්ඛ සමුදාර්ය සත්‍යය දුරු කරමින්, දුක්ඛ නිරෝධාර්ය සත්‍යය ප්‍රත්‍යක්ෂ කරමින්, දුක්ඛ නිරෝධ ගාමිණී පටිපදා ආර්ය සත්‍යය වැඩෙමින් චතුරාර්ය සත්‍යය පිලිබදව පළමු දර්ශන ඥානය උපදින්නේය.  එතැන් පටන් ගංගා ප්‍රවාහයක් මුහුද කරා ගලා යන්නාසේ අරිහත්වය කරාම කෙතෙක් ප්‍රමාද වූවත් වෙනස් නොවී පූර්ණ වී නිවන් ශාන්තිය පූර්ණ භාවයට පත්ව සසර දුකින් මිදී නිදහස් වන්නේය.  නිවනට නැමුනෙක්ව නිවනට බරව පෘථග්ජන ‍භාවය ඉක්මවූ ආර්යත්වයට, ශ්‍රාවක සංඝත්වයට නියතවූ උතුමෙක් වන්නේය. 

May 25, 2010

පිටුව 69 සහ 70

(පිටුව 69)

දැන් අපි අනන්ත ගුණ 3කින් ශාසනයට ඇතුළු වී ඇත.  හතර වෙනුව ඇතුල් විය යුත්තේ විසි එක්වෙනි පාහුන්‍යෙය ගුණයටයි. 
21) පාහුන්‍යෙය ගුණය
මේ ගුණය නිසා සංඝ රත්නය පෝෂණය ඉතා පහසුය.  උන්වහන්සේ‍ෙ‍ග් පෝෂණයට අවශ්‍ය පසුතලය වැඩි දුර විහිදී නැත.  ඇත්තේ තමා අවට සුලු සීමාවකි.  දස දිගට විහිදුන අයිතිවාසිකම්  වැඩකටයුතු උන්වහන්සේට නැත.  උදව් උපකාර බලාපොරොත්තුවෙන් තැන තැන සොයා ඇවිදින්නේ නැත.  අටපිරිකර දොලොස් පිරිකර වැනි කායික පරිහරණ ටිකකුත් සතර ඉරියව් පවත්වන්නට සුලු ඉඩ ප්‍රමාණයකුත් අතර ගැවසෙන උන්වහන්සේලාට ඇත්තේ උත්තරීතර ගුණ කදකි.  සුළු ඇප උපස්ථානයක් කර ගත්තත් දායකයන්ට ලැබෙන පුණ්‍ය මහිමය අප්‍රමාණය.  ඒ නිසා දුරපටන් ගෙනවුත් උන්වහන්සේලාට සිව්පස උපස්ථාන අතුරු උපස්ථාන කරන්ට පෙලඹෙන්නේ. 
එබදු ගුණ කදක් තුලට පිවිසි පින්වත් බුදු සව් පිරිසකගේ දිවිපැවැත්ම ඉතා සැහැල්ලුය.  තමා නිසා අන්‍ය පිරිසටද කිසි බාධකද නොවේ.  මේ පහසුවෙන් දිවිගෙවන්නට හැකි න්‍යායයි.  ශාසනයට පෑහෙන්නට හැකි සුදුසු ගුණයයි. 
මේ චාම් වූ පහසුවූ ජීවිතයට  පුරුදු වූ විට එයම සුව පහසු සැනසුම් දිවිමග බව අත්දකිනු ඇත.  මෙසේ හතර වැනි අනන්ත සඝ ගුණයටද ඇතුළු වනු ඇත.  එනම් සූවිසි ගුණ අතර විසි එක් වැනි ගුණයට දැන් පිවිස ඇත.  දැන් ඇතුළු විය යුත්තේ විසි වැනියට කියවෙන ආහුනෙයිය ගුණයටයි.  24 වැනි ගුණයේ පටන් ඉහලට ඇති පස්වෙනි ගුණයටයි. 

20) ආහුනෙයිය ගුණය
සිව්පසයෙන් සංග්‍රහ කිරීමේදී ඊට සුදුසු ගුණය ලෙස මෙය පෙන්වා ඇත.  දහම් කොතෙක් ශ්‍රවණය කලත් බොහෝ අයට අර්ථය අසුනොවේ.  ඊ‍ට හේතුවක් ඇත.  විශ්වාස නොකිරීම හෙවත් ශ්‍රද්ධාව අඩුවීම හෝ නැතිබව ප්‍රධාන හේතු වලින් එකකි.  අනිත් කරුණ නම් ආයුෂ, වර්ණය, සැපය, බලය, පටිභාන නුවණ යන 5 තිබිය යුතුය.  මේ පස ලැබෙන්නේ දානය මුල්කරගෙනය. 

(පිටුව 70)
ඉන් ලැබෙන පුණ්‍ය මහිමයෙනි.  දෙන දෙය හේතුවෙන් දුන් අයට අනුකූල ලැබීම පහලවේ.  පූජකෝ ලභතේ පූජං, යන බුද්ධ දේශනාවෙන් එය පැහැදිලි වේ.  එසේම ‍භෝජනං භික්ඛවේ උදමාන දායකෝ පටිග්ගාහකානන් පංචාණානි දේති, කතමානී පංච අයුං දේති, වර්ණං දේති, සුඛං දේති, බලං දේති, පටිභානං දේති මේ බුද්ධ දේශනාවෙන් පෙන්වන්නේ, මහණෙනි, භෝජනයක් දෙනවා කියන්නේ දායකයා විසින් ප්‍රතිග්‍රාහකයාට කාරණා 5ක් දීමයි.  ආයුෂ, වර්ණය, සැපය, බලය, පටිභෘණ නුවණ යන 5යි.  දුන්දේට අනුව ලැබීම පහලවීම නම් මේ පස දන්නේ විට හෙවත් භෝජන පූජා කිරීම හේතු කොටගෙන එම දායකයාද එබදු කාරණා 5ක් ලබන්නට පුණ්‍ය ශක්තිය ලබන බවයි. 
සසරේදී කෙතෙක් භෝජන පූජාකර තිබුනත් විපාක ගෙනදෙන අවස්ථාවට ඊට අනුකූල ක්‍රියා පද්ධතියක් සිදුවිය යුතුය.  එවිටයි ඒ පින් ප්‍රත්‍ය වී විපාකය මතු කරන්නේ. 
ශ්‍රද්ධාවෙන් දන්දුන් විට, පෙර හේතු දැන් හේතුවට ඈදී පින් ඵලය ක්‍රියාත්මකව (අනන්තර + සමනන්තර ප්‍රත්‍යය අනුව) ශ්‍රද්ධා ආයුෂ, වර්ණය, සැපය, බලය, පටිභාණ නුවණ පහල වේ.  මෙහිදී ශාසනික ගුණ ලෙස පෙරද කළ පුණ්‍ය ක්‍රියාවේ පුණ්‍ය ඵලය බැවින් අනුකූලව දැන්ද ශාසනික ගුණයෙන් වැඩෙමින් පිහිටා ප්‍රතිඵල උදාකරයි.  දැන් දහම් අරුත ධර්මය අසනවිටම වැටහෙයි.  එසේ නොවුනහොත් අරුත ‍ අසුනොවේ. 
මෙසේ හේතු ඇති කල්හි අරුත හසුවේ.  මේ ධර්ම අරුත අසුවෙන නියායයි.  පෙර පුණ්‍ය ශක්තිය දැන්ද සම්බන්ධව ගුණ ක්‍රියාත්මක වී ඇති බැවින් සංඝරත්නය මේ ගුණයේ පිහිටා ඇත.  ශ්‍රාවකයාද මෙසේ පිහිටා එම ආහුනෙයිය ගුණයට ඇතුළු වෙයි.  24 ගුණයේ පටන් ඉහලට පස්වැනි ගුණයද දැන් ඇතුලු වී ඇත.  මීලගට ඉහලින් ඇති 6වන ගුණයට දැන් ඇතුලු විය යුතුය.

19) සාමීචීපටිපන්න ගුණය
මෙතෙක් කල් ශාසනය තුලට පිවිසෙන්නට කටයුතු කළත්, හිත තුළ ගැඹුරට කිදා බසින දහම් අරුත් වැටහෙන ශාන්ත නිදහස් බවට හිමිකම් සම්පූර්ණව සැකසී ඇත්තේ දැනුයි.  මෙසේ චිත්ත ශාන්තියෙන් නොවිසිරෙන සිතින් අසන බණ හදවතට කිදා බැස පිහිටයි. 

May 24, 2010

මෙවර වෙසක් තෙමගුල අර්ථවත් කරගනිමුද? (වෙසක් තෙමගුල වෙනුවෙන් විශේෂිත වූ තිළිණයකි!)

2010 වසරට වෙසක් තෙමගුල සමරන්න තව දින කීපයක් පමණයි තියෙන්නේ... ඉතින් ‍ඒ උතුම් තෙමගුල සමරන්න ලක ලෑස්ති වී සිටින අපට මේ දිනවල මූලික වන අංගයක් තමයි වෙසක් සැරසිලි... ඉන් වෙසක් පහන් කූඩු විශේෂයි... ‍අටපට්ටම්... තාරකා... නෙලුම් මල් ලෙසින් විවිධ වර්ණයෙන් විසිතුරු වෙසක් කූඩු හදන්න බොහෝම පැහැදුනු සිතින් දැනටමත් සූදානම් වන පිරිස් සිටිනවා...
ඉතින් සම්මා සම්බුදු පියාණන්ගේ උතුම් ආදර්ශය පිලිගන්න නියම සැබෑ බෞද්ධයන් හරයන් නැති දේට වඩා හරයක් ඇති දේ කරන්නට, කියන්නට, සිතන්නට පෙළඹෙන පිරිසක්... සම්මා සම්බුදු පියාණන් විසින් පෙන්වා දුන්න උතුම් ධර්මයට අනුව තම කටයුතු, වචනය මෙන්ම සිතුවිලිද මෙහෙයවා ගෙන විමුක්තිය උදාකර ගැනීම සැබෑ බෞද්ධයාගේ පරම අධිෂ්ඨානයයි.  සම්මා සම්බුදු පියාණන්වහන්සේ එකම අග්‍ර උපදේශයත් එයයි. 
ඉතින් ඒ උතුම් සම්මා සම්බුදු පියාණන් වහන්සේ වෙනුවෙන් සැදැහැසිතින් කැප වෙන මේ වෙසක් තෙමගුල සැබෑ බෞද්‍ධයෙක් ලෙසින් අර්ථවත්ව සැමරීමට හැකි අවස්ථාවක එයින් උපරිම ඵල නෙලාගැනීමට මේ අවස්ථාව යොදාගන්නට පෙළඹෙන්නට සිතන්නට යමක් සුපුරුදු පරිදි සටහන් තබන්නට සිත්විය.
ඔබ ඉතාමත් කැමැත්තෙන් බො‍හෝම සැදැහැ සිත් ඇතිව සදන්නට අරඹන වෙසක් කූඩුව ගැන සිතන්නට මදකට සිත යොමු කරන්න...
උණ බට කපාගෙන සුදුසු පරිදි සකසා ගෙන නැත්නම් නවීන විදියට නම් බීම බට හෝ ප්ලාස්ටික් රාමුවක් යොදාගෙන වෙසක් කූඩුව සරසන්න ආරම්භ කරනවා ‍එහෙම නේද?  මුදලට හෝ තරගයට වෙසක් කූඩු සාදන්න පෙළඹෙන පිරිස් කෙසේ වෙතත් අප බොහෝ දෙනා අ‍පගේ සිතැගි පරිද වෙසක් කූඩුව සාදන්නට පෙළඹෙන්නේ විවිධ වර්ණ සව් කඩදාසි යොදාගෙනයි... අපේ ආච්චිලා සීයලා අපට කියාදුන්නේ සව් කඩදාසි යොදාගෙන බට සැකිල්ල යොදාගෙන සාදන ස්වාභාවික කූඩුවක් ගැනයි.  සූදානම් කරගත් බට කෝටු එකින් එක අමුණා අපි රාමුවක් සකසාගන්නවා... ඉන් පසුව කැමති විදියට වර්ණවත් සව් කඩදාසි අලවනවා... රැලි දාලා ලස්සන කරගන්නවා... දැන් කාලයේ විදුලි බුබුලු දැමුවත් ඉස්සර නම් අපේ ආච්චිලා සීයලා කියලා දුන්නේ කූඩුව තුල පහනක් තියන්න හදපු විශේෂිත කොටස තුල පහනක් දැල්වීම හෝ ඉටිපන්දමක් රැදවීමයි එහෙම නේද?  ඒ ආච්චිලා සීයලා නොදැන හෝ අපට කියලා දුන්නේ බොහෝම අපූරු  නියමාකාර බෞද්ධ සිරිතක්... කාලය ඉතිරි කරගන්න... ලේසියට පහසුවට කූඩුවක් හදනවාට වඩා ඉස්සර ආච්චිලා සීයලා කියලා දුන්න විදියට කූඩුව හදන්න පෙළඹෙනවා නම් ඔබට පෙර නොවිසූ විරූ දහම ඉන් මතු කරගන්නට පුළුවන්...  මම එහෙම කියන්නේ ඇයි?
සම්මා සම්බුදු පියාණන්වහන්සේ විසින් පෙන්වා දුන්නේ මේ වටිනා මිනිස් ජීවිතයෙන් උපරිම ඵල නෙලාගෙන සසර දුකින් මිදී විමුක්තිය උදා කරගන්න මාර්ගයයි... ඔබටත් පුළුවන් ඔබ මෙවර වෙසක් තෙමගුල  සැමරීමට සාදන වෙසක් කූඩුව තුලින් යථාවබෝධය ලබන්නට ‍මනස මෙහෙයවන්නට... නූපන් කුසල් උපදවා ගන්නට... තිබෙන කුසල් වර්ධනය කරගන්නට... ඒ කොහොමද?

ඔබ වෙහෙස වෙලා සාදන වෙසක් කූ‍ඩුවේ සැකිල්ල ගැන හිතන්න... එයත් හරියට ඔබ ඇස, කණ, නාසය, දිව, කය ලෙසින් ඉන්ද්‍රීයන් 32කින් සාදාගත් ශරීර කූඩුව වගේ නේද?  ඔබ ‍ඔබේ ශරීර කූඩුව සාදගන්න මේ අනන්ත සසර තුල කොච්චර නම් වෙහෙස වෙන්න ඇතිද?  කොච්චර නම් කාලයක් ඒ වෙනුවෙන් යොදවලද?  එහෙම වෙහෙස වෙලා ඔබ ඔබේ කොටස් 32කින් යුතු ශරීර කූඩුව සාදාගෙනයි තියෙන්නේ...මේ ආකාරයට බට කෝටු එකතු වූ කූඩුවේ උපත ‍ඔබේ උපතට නුවණින් සසදා බලන්න පෙළඹෙන්න...

ඒ සාදාගත්ත කූඩුවට දැන් ඒ සැකිල්ල වැහෙන්න ආවරණයක් දෙන්න ඕන... නැතිනම් එය වෙසක් සැරසිල්ලක් කරන්නට වුවමනා දේ ‍සපයන්න ඕන... ඔබ සව් කඩදාසි නියමිත හැඩයන්ගෙන් කූඩුව වැ‍හෙන්න අලවනවා... හරියටම ඔබගේ වර්ධන කාලය වගේ කූඩුවත් දැන් ටිකෙන් ටික හැඩ ස්වභාව ඇතිව වැඩෙනවා...

දැන් ඒ වැඩුනු කූඩුව සරසන්න කාලයත් ඇවිත් නේද?  ඉතින් අප එය සරසනවා... ඇස, කණ, නාසය, දිව, කය යොදගෙන ඔබ යොවුන් අවදියට පත් ඔබව සරසා ගන්නේ හරියටම වැඩුනු වෙසක් කූඩුව වර්ණ හැඩතල යොදමින් රැලි යොදමින් සරසනවා වගේ‍ නේද කියලා මදකට ‍ඔබේ නුවණ මෙහෙයවා බලන්න... ඒ වගේම රිසි සේ කාලය ගෙන වෙසක් කූඩුව සරසනවා වගේ ඔබත් ඔබේ නව යොවුන් අවදිය යොදා ගන්නේ ඔබව සරසගන්න නේද?  ඔබේ ආශ්වාද කාලය ඔබෙ යොවුන් කාලයයි... ඔබ වගේම වැඩුනු කූඩුවේත් ආශ්වාද කාලය මෙසේ ආරම්භ වෙනවා... ඒ ආශ්වාද කාලයේම තවත් අවස්ථාවන් තියෙනවා... එසේ සරසාගෙන පමණක් සෑහිමට පත් නොවී වර්ණවත්ව සැරසූ වෙසක් කූඩුව රාත්‍රීයේ පහන් ආලෝකයෙන් එලිය කරගත්තාම තමයි ඒකේ සැබෑම ‍ලස්සන දිස්වන්නේ... හරියටම ආශ්වාද කාලය තුල ඔබේ මනස නොයෙක් සිතුවිලි මතු කරමින් ඔබේ ඇස, කණ, නාසය, දිව, කය තුලින් ගන්නා නොයෙක් රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ වලට පෙර නොවී විරූ වටිනාකමක් ලබාදෙමින් වර්ණවත් කරමින් දල්වනවා වගේ ‍නොයෙක් වර්ණ සව් කාඩදාසි සැකිල්ල තුල වූ පහන් ආලෝකයෙන් හෝ ඉටිපන්දම් දැල්ලෙන් ආලෝකමත් වෙනවා... අපූරු බවක් දෙනවා... පෙර නොවී විරූ වටිනාකමක් දැන් කූඩුවට ලැබිලා වගේම ඔබේ යොවුන් කාලයටත් ලැබිලා නේද? 

ලෝක ධර්මතාවයට අනුව ආශ්වාද කාලයෙන් පසු ආදීනව කාලයක් ලැබෙනවා... සැරසී ආශ්වාද ලබා ඒවා වැහැරීම තුලින් දුක අත්විදින්න... පසුතැවෙන්න... දරු මුණුබුරන් වෙනුවෙන් කාලය කැප කොට ආදීනව තත්වයන්ට මුහුණ දෙන්න ඔබට සිදුවෙනවා... ඔබේ සිතුවිලි තුලින් ආලෝකයක් දුන්නා යැයි ඔබ සිතාගෙන සිටියත් අවසානයේ ඔබ ඇත්තටම එයින් දැවු‍නා නොවේදැයි ඔබට සිතෙන්නට කාලයක් එළඹෙනවා... හරියටම පහන් දැල්ලෙන් ඉටිපන්දම් දැල්ලෙන් ආලෝකමත් වූ වෙසක් කූඩුව කාලයත් සමග ඒ පහන් දැල්ලෙන්ම ගිනිගෙන දැවෙන්නට පටන්ගන්නවා ‍වගේ... ඔබේ වෙසක් කූඩුව මෙසේ දැවෙන හැටි ඔබට තවමත් අත්දකින්නට ලැබුනාදැයි මම නොදනිමි... එහෙත් එය එසේ දැවෙන බව මම අත්දැකීමෙන් දන්නා හෙයින් මෙසේ සටහන් තබමි... 

දැවී අවසන වෙසක් කූඩුවේ මරණය සිදුවේ... සැකිල්ල බොහෝ විට ඉතිරිවන අතර එයින් කම්පාවට පත්වන අප උත්සාහය අත් නොහරී... නැවත ඒ සැකිල්ල ගෙන සව් කඩදාසි අලවා සරසා නැවත  සාදා සතුටට පත්වේ... වෙසක් තෙමගුල සමරන කාල පරාසය මෙය නැවත නැවත කරමින් එල්ලා සතුටු වන්නට ඔබට හැකියි... හරියටම උදයංගම, අත්තංගම, ආශ්වාද, ආදීනව, නිස්සරණ කියන ධර්මතාවය උරුම කරගත් ඔබත් මමත් නැවත නැවත එකම දෙය කරමින් මේ කය ගොඩනගමින් නොනවතින සසර ගමනක යෙදෙනවා වාගේමයි නුවණැති ඔබට අවබෝධ වෙනවා ඇති... වෙසක් තෙමගුල සමරන කාලය තුල නැවත නැවත මෙසේ කරන්නට පෙළඹෙන ඇත්තන් අත්දැකීමෙන් මම දකිමි.... මමද එක් කලෙක ඔවුන් අතරින්ම අයෙක් වීමි.

වෙසක් කූඩුව තුලින්ම තවත් ආකාරයකට ඔබට ඔබවම දැකිය හැක... එනම් බොහෝ වෙහෙස මහන්සි වී සාදන ‍වර්ණවත් වෙසක් කූඩුව ගැනම නැවත සිත යොමු කරන්න... දැන් එය ඔබ රාත්‍රී කාලයේ සුදුසු තැනක් බලා රදවා එහි අලංකාරය බලමින් සැනසේ... අධික වර්ෂාවට මුහුණ දෙන වෙසක් කූඩුව විනාශ වෙන්නට ගත වන මොහොත ඔබ එය සදන්නට ගත කල කාලයෙන් මොහොතක් නොවේද?  ඔබට දුකක් දැනෙනවා නේද?  යම් කිසි කාල සීමාවක් තුල ඔබේ වෙසක් කූඩුව ඔබට කැමති පරිදි පවත්වා ගත හැකියි යන අරමුණෙන් බලාපොරොත්තු සහගත වන ඔබ වෙසක් කූඩූව නිමකරනවා... ඔබේ බලාපොරොත්තුව පරිදි කරුණු සිදු නොවන විට දුකක් ඇති වෙන්නට හේතු ‍වනවා...  කොතරම් උත්සාහ කලත් ඔබට ඔබ කැමති අයුරින්ම එය පවත්වා ගැනීමට නොහැකි වීමේ දුක අසහනය ඔබ කරා එනවා නේද? 
 
මේ වෙසක් කූඩුවේ විනාශය නිසා ඇතිවන දුක එහි අස්ථිර බව නිසා යැයි කියා යොදන්නට පුළුවන්... සැබෑය... හටගත් කිසිදෙයක් ඒ ආකාරයෙන් පැවැත්වීමට සමතෙක් ලොව නැත.  පෙර කී පරිදි ආශ්වාද කාලයක් පවතින වෙසක් කූඩුව ඊලග අවස්ථාව වන ආදීනව අවස්ථාවට පත්විය යුතුමය.  නමුත් එයින් ඔබට‍ ශෝකයක් දැනුනාද?  නැත්නම් ඔබ  විනාශවන කුඩුව නැවත පෙර තිබූ තත්වයෙන්ම හෝ නැතිනම් ඊටත් වඩා හොදින් උනන්දුවෙන් ඇලවීමට සූදානමින් සිටියාද? 

හරියට ඔබත් මමත් දන්නවා ඉපදුනානම් ලෙඩ රෝග වලට මුහුණ දී වයස්ගත වි මරණයට පත්වීම සිදුවන දෙයක් ලෙසින් වගේම එය එසේ වීම අපට දුක් සහගත දෙයක් නේද?  ඒත් එහෙම වුණා කියලා අප අපේ බලාපොරොත්තු අත්හැරලාද ඉන්නේ?  කවදා හරි මැරෙනවා කියලා ‍ඉගෙන ගන්නේ නැතිව රැකියාවක් කරන්නේ නැතිව විවාහයක් කරගෙන දරුවන් හදන්නේ නැතිව ඉන්නවාද?  විනෝදයෙන් ආශ්වාද කාලය ගත කරන්නේ නැතිව ඉන්නවාද?  පැමිණෙන දුකක් ගැන අප දන්නවා... බලාපොරොත්තු සහගත දුකක් එහෙම නේද? 
ඒත් මදකට හිතන්න ඔය බලාපොරොත්තු සහගත දුක එසේම පවතිත්දී අනපේක්ෂිතව පැමිණෙන ලෙඩ රෝග අනතුරු ගැන... ඔබ කොතරම් දැනගෙන සිටියත් ලෙඩවීම මරණය වයස්ගතවීම් ආදියට ඔබට මුහුණ පාන්නට කවදා හෝ සිදුවෙනවා කියලා ඒ ලෙඩවීම ඔබේ යොවුන් අවදියේම සිදුවුවහොත්... නැතිනම් අනතුරකින් අතක් හෝ පාදයක් අහිමි වුනොත්... ජීවිතයම ඉවරයි කියලා ඔබට දුක හිතෙනවා නේද?  තරුණ අයෙකුට පිලිකාවක් හැදුනොත් “අපරාදේ ජීවිතේම ඉවරයිනේ ඉතින්” කියලා දුක් වෙන අය කොච්චර නම් අප අතර ඉන්නවාද?  එතකොට ඒ පිලිකාවම වයසට ගිහින් ජීවතයේ අවසන් කාලයේ ගත කරන අයෙකුට හැදුනොත්?  වයසට ගිහින් අවුරුදු 80ක් 90ක් ආයු වලදපු අයෙක්ගේ මරණයක් ඔබට කොතරම් සමීප අයෙක් වුණත් ඔබට දැනෙන දුක ගැන හිතන්න... “වයසට ගිහින්නේ මැරුණේ.. උපරිම කාලය ගත කලා ඉතින්...”  ආදී වැකි ඕන තරම් මගේ අත්දැකීම් ගොන්නේ නම් තියෙනවා... මම හිතනවා ඔබටත් එසේමයි කියලා...

තවත් උදාහරණයකින් කියනවා නම් වටිනාකමින් වැඩි පෑනක් ඔබ විසින් මිලදී ගන්නවා... එය හොදින් ලියැවෙනවාදැයි පරික්ෂා කොට මිලදී ගන්නේ එහි කාබන් ඇති තාක් ලියන්නට හැකියි යන බලාපොරොත්තුව මත... එය අවසන් වන විට භාවිතා කරන්නට තවත් එවැනිම පෑන් කීපයක් අපට අරගෙන තියාගන්නත් පුළුවන් එහෙම නේද?  අපේ බලාපොරොත්තුව පෑනේ තීන්ත තියෙනකම් ලියන්න පුළුවන් වෙයි කියන බලාපොරොත්තුව... එය ස්ථිර නැති ස්වභාවයෙන් යුක්ත විනාශයට පත්වෙන පෑනක් කියලා අප කව්රුත් දන්නවා... ඒත් ඒ පෑන මිලදී ගන්නා විට ලියැවුණත් නැවත ‍ලියන්න හදනකොට ලියැවෙන්නේ නැතිනම් ඔබ එය ගැනීමට වැය කල මුදල් ගැන එය නොලියවීම ගැන දුකක් ඇතිවෙන්නේ නැතිද? දැන් ඔබට ඒ දුක පැමි‍ණියේ පෙර කිවූ ස්ථිර නැති ස්වභාවය නිසාද ඔබ බලාපොරොත්තු වූ පරිදි පවත්වා ගැනීමට නොහැකි වීම නිසාද?  මේ අයුරින් වටිනාකමින් වැඩි වන්නට වන්නට ඇතිවන දුකත් වැඩි වෙනවා නේද? 

එතකොට මොකක්ද මේ උපමා සහ මේ අප හදන වෙසක් කූඩුවේ තියෙන සම්බන්ධය?  ඒ තමයි වෙසක් කූඩුවත් දිනයකට හෝ දෙකකට හෝ වෙසක් තෙමගුල සමරන කාල සීමාවට යොදාගන්නවා කියන එක අප හැමෝම දන්නා දෙයක්... ඒ ආමිස පූජාව කරන කාල සීමාවට එය අපට කැමති පරිදි පවත්වා ගැනීම තමයි අපේ බලාපොරොත්තුව.  හරියටම අප විසින් අප ගැන බලාපොරොත්තු හදාගෙන තියාගත්ත කාල සීමාව වගේ... අපට කවදා හරි මැරෙන්න වෙනවා කියලා අප දන්නවා වගේම වෙසක් කූඩුවත් ඒ අදාල කාල සීමාවට අනුව විනාශයට පත්වෙනවා කියලා අප හැමෝම දන්නවා...  ගත්ත පෑන තීන්ත ඉවරවෙනකම් ලියන්න පුළුවන් කියන බලාපොරොත්තුව වගේ වෙසක් කූඩුවත් අදාල කාල සීමාවට තබාගැනීමේ බලාපොරොත්තුව අපට තියෙනවා... දැන් අපට තියෙනවා කවදා හෝ පැමිණෙන දුකක් ගැන බලාපොරොත්තුවක් එහෙම නේද?

දැන් හිතන්න අර අකාලයේ තරුණ අවධියේ මිය යන තරුණ පුද්ගලයා හෝ නැතිනම් දරුවෙක් වගේ... අතපය කඩාගන්න තරුණ පුද්ගලයෙක් වගේ බලාපොරොත්තු රහිතව පැමිණෙන අනතුරක් ගැන... වෙසක් කූඩුව හොදින් සරසලා එල්ලපු ගමන්ම වැස්සක් ඇද හැලිලා එය දියවෙලා යනවා හැඩ බලන්නත් කලින්ම... අර මිලදී ගෙන දෙවැනි වරට ලියන්න හදන පෑන ලියවෙන්නෙ නැතිව යනවා වගේ... දැන් ඔබට දැනෙන දුකත් අර අකාලයේ අපේ ජීවත තුල අත්දකින්න වන දුක වගේ නේද?  එය ඔබ බලාපොරොත්තු වෙච්ච අයුරින් ඔබට කැමති සේ ‍නොපැවතීම හේතු කරගෙන පැමිණි දුක නොවේද?

ස්ථිර නැති ස්වභාවය මදකට හෝ කල් පවත්වා ගැනීමට ඔබ විසින් වෙසක් කූඩු ප්ලාස්ටික් ඉටි කොල වැනි දේ යොදා ගනිමින් සාදනවා නේද?  හරියට අපිත් අපේ වයස්ගත ස්වභාවයන් තියෙනකොට‍ ලෙඩ වෙනකොට නොයෙක් නොයෙක් උපක්‍රම යොදමින් නිරෝගීව කල් පවතින ස්වභාවයක් ඇති කරගන්නට හදනවා වගේ... නැතිනම් මරණය එනතෙක් හෝ නිරොගීව සතුටෙන් ඉන්නට උපක්‍රම යොදාගන්නවා වගේ... ඔබට වෙසක් තෙමගුල සමරන දින කීපය තුල ඔබේ වෙසක් කූඩුව රැකගන්නට හැකිවෙනවා සමහර විට ලබන වසරේ වෙසක් උත්සවය සදහාත් කූඩුව තියාගන්න පුළුවන් වෙයි... එහෙම නේද?  ඒකත් හරියට අර පෑන් කීපයක් අරගෙන තියාගන්නවා හා සමානයි...

ඒත් එය ඔබට කැමති සේම පවත්වා ගන්නට හැකි වන වාර ගණන ගැන හිතා බලන්නට පෙළඹෙන්න ඔබට අත්දැකීමෙන්ම පුළුවන්... ඒ වෙසක් කූඩුව ඔබට කැමති සේ නොපැවතීම හේතුවෙන් ඔබට දුකක් අසහනයක් දැනෙන වාර ගණන ගැන සිතා බලන්න ඔබට අත්දැකීමෙන්ම පුළුවන්... ඒ විතරක්ද එසේ කල්පවතින කූඩුවක් ගැනීමට සමහර විට ඔබ වැය කරන කාලය වෙහෙස මෙන්ම මුදල්ද අධික වෙන්නට පුළුවන්... ඉතින් එය එසේ කරලාත් ඔබට කැමති සේ නොපවතින විට ඔබට ඇතිවන අසහනය, දුක හදුනාගන්නට ඔබේ නුවණ මෙහෙයවන්න ඔබට අත්දැකීමෙන්ම පුළුවන්... කොතරම් උත්සාහ කලත් නැවත නැවත තැනුවත් ඔබට කැමති සේ පවත්වා ගන්නට නම් නොහැකියි ඒ නිසා ඔබ දුකට පත්වේවි යැයි මා කීවොත් ඔබ එය ඔබේ නුවණින් විමසා බලන්නට පෙළඹෙනවාද?  

වෙසක් කූඩුව සරසා පූජාවන් පවත්වන වෙසක් තෙමගුල සහිත කාල සීමාව අපගේ සසර ගමන යැයි නුවණින් උපමා කොට සිතා බැලුවහොත් විනාශයට පත්වන්න වෙසක් කූඩුව නැවත නැවත සෑදීම හරියටම ඒ සසර ගමන තුල අපගේ අත් බැව් ගණන වගේ යැයි අපට උපමා කරන්නට පුළුවන්.  නිවැරදිව මනස යොමු කොට යථාවබෝධය ලබන්නට වෙහෙස වූවෝත් වෙසක් කූඩුව තුලින් ඇතිවන දුක අවබෝධ කරගන්නට ඔබට පුළුවන්... 
ඔබට කැමති සේ වෙසක් කූඩුව නියමිත කාල පරාසයක් තුල දකින්නට ඇති බලාපොරොත්තුවක් ඔබට තිබෙනවා... ඒ පූජාව නියමිත පරිදි සිදුකොට සිත සනසා ගැනීමට බලාපොරොත්තුවක් ඔබට තියෙනවා... එහෙත් ධර්මතාවය නම් කිසිවෙකුටත් කිසිවක් තමන් කැමතිසේ පවත්වා ගැනීමට නොහැකි වීමයි... අන්න ඒ ධර්මතාවයට අනුව ඔබ කැමති සේ පවත්වා ගැනීමේ බලාපොරොත්තුව කඩවීම තුලින් ඔබට දුකක් ඇතිවෙනවා...
ඉතින් ඒ දුකට හේතුව දැනටමත් ඔබ දන්නවා... ඒ තමයි වෙසක් සමය තුල ලස්සන අලංකාර වෙසක් කූඩුවක් පවත්වා ගනිමින් බොහෝම භක්තියෙන් සම්මා සම්බුදු පියාණන් වහන්සේට ආමිස පූජාව පවැත්විය යුතු යැයි ගත් තීරණය... එහෙම නේද? 
ඉතින් ඔබට එවැනි බලාපොරොත්තු සහගත මානසිකත්වයක් නොතිබුණා නම්...  ලෝකයේ ස්වභාවය වන තමන්ට කැමති සේ බලාපොරොත්තු වන පරිදි කිසිවක් පවත්වා ගත නොහැකියි යන්න අවබෝධ වී තිබුනා නම් එසේ තමන්ට රිසිපරිදි පවත්වා ගන්නට උත්සාහ කරන මානසිකත්වයෙන් මිදීම තුලින් ඒ දුකින් මිදීමට ඔබට හැකිවෙනවා නේද? 
එසේ ඒ දුකින් මිදීමට නම් තමන් ජීවත්වන ලෝකය මෙන්න මේ කියන ධර්මතාවයෙන් යුක්ත මෙන්න මේ කියන ලක්ෂණයන්ගෙන් යුක්ත සැරිසරන්නට සුදුසු ස්වභාවයක් නොමැති ලෝකයක් යන්න අවබෝධ කරගැනීමට කටයුතු යොදාගත යුතු නොවේද?  එයින් මිදීම තුලින් එහි නොඇලී අත්හැරීම තුලින් ලබන්නට හැකි සැනසීම අවබෝධ කොට ගෙන එයට සිත යොමු කල යුතු නොවේද? 

මෙසේ වෙසක් කූඩුවේ යථාස්වභාවය තුලින්ම ඔබේත් මගේත් යථා ස්වබාවය නුවණින් අවබෝධ කරගෙන චතුරාර්ය සත්‍යය... නැතිනම් සිවුසස් අවබෝධ කරගන්නට ඔබේ මනස යොමුකල හැකි බව ඔබට දැන් අවබෝධ වූවාද?  ඒ නිසා සිතන්න... නිවැරදි සිතීම තුලින් ඔබේ විමුක්තිය ඔබට හිමි කරගන්නට හැකිවේවි!

මෙවර වෙසක් තෙමගුල සමරන්නට ඔබ කරන කියන සිතන දේ අර්ථවත් කරගන්නට යොමුවීම සුදුසුයි නේද?  ඔබ මුදල් වලට තෑගි වලට වෙහෙස මහන්සි වී කාලය කැප කොට සදන කූඩුව වුවත් මෙන්න මේ කියන ස්වභාවයෙන් යුක්තයි නේද කියලා හිතලා බලන්න ඔබේ මනස යොමු කරන්න ඔබට පුළුවන්... ලෞකික වශයෙන් ඔබට ආර්ථික වාසියක් ගන්නට... තෑග්ගක් ලබා සතුටු වන්නට ඔබට පුළුවන් වුණත් ඒවාත් ඔබට කැමති සේ පවත්වා ගන්නට බැහැ නේද කියලා හිතලා බලන්නට පෙළඹෙන්න ඔබට පුළුවන් නේද?  ඔබේ මහන්සියට නිසි තැන නොලැබෙන විට ඔබට දැනෙන දාහය දුක කොතරම්ද කියලා සිතලා බලන්න ඔබටම පුළුවන් නේද?  එය ‍එසේම වන විට එයින් ලබාගත් මුදල හෝ තෑග්ග තුලින් ඔබට ලැබෙන වටිනාකම මොකැක්දැයි සිතීමට පෙළඹීමට ඔබට පුළුවන් නේද?  ඒ වටිනාකම් තෑගි මුදල් ලබාගන්නා ඔබත් වෙසක් කූඩුව මෙන්ම දිරාවට පත්වී විනාශ වෙන ස්වභාවයෙන්ම යුක්තයි නේදැයි කියලා මනස මෙහෙයවා සිතන්නට පෙළඹෙන්නට ඔබට පුළුවන් නේද?  ඔබේ නිර්මාණ හැකියාවන් යොදාගෙන ලෞකික දියුණුවක් ලබන්නට ඔබට කිසිවෙකුගෙන් බාධාවක් නැහැනේ... එය එසේ කරන අතර ඔබේ වටිනා මිනිස් ජීවිතයෙන් නියම ඵල ලබන්නත් යොමුවීම තමයි සැබෑ බුද්ධිමතාගේ ස්වභාවය... මේ ඇත්ත අවබෝධ කරගන්නට ඔබට ඔබේ වෙසක් කූඩුව සාදන සෑම මොහොතකම යොමුවෙන්න පුළුවන්‍ නේද?  
ඉතින් ඔබට මෙවර වෙසක් තෙමගුල සමරන්න සදන වෙසක් කූඩුව තුලින් කරුණු දෙකක් පූර්ණ කරගන්න පුළුවන්... මේ ගැටලු වලට තමන්ටම පිලිතුරු ලබාදී ඒ ලබාදෙන පිලිතුර අනුව තමන්ව මෙහෙයවා ගන්න ඔබට තීරණය කරන්න පුළුවන්... 

  1. බොහෝම භක්තියෙන් ගෞරවයෙන් සාදන වෙසක් කූඩුව සම්මා සම්බුදු හිමියන් වෙත පූජා කලා යැයි සතුටු සිත් ඇති කරගෙන ආමිස පූජාවෙන් පමණක් සැනසෙනවාද? 
  2. නැතිනම් එතැනින් එහාට තවත් පියවරක් ඉදිරියට තබමින් ඒ භක්තිය ගෞරවය ඇතිව සාදාගත් කූඩුව තුලින් ලෝකයේ අනිච්ච දුක්ඛ අනත්ථ ස්වභාවය මෙන්ම මේ ලෝකය තුල සෑම දෙයකටම උරුම උපත, වැඩීම, ආශ්වාද, ආදීනව සහ මරණය (උදයංගම, අත්තංගම, ආශ්වාද, ආදීනව, නිස්සරණ) නැමැති ධර්මතාවයද එයින් අවබෝධ කොටගෙන මේ අනන්ත සසර දුක කෙලවර කරගන්නට සම්මා සම්බුදු පියාණන් වහන්සේ පෙන්වා දුන් මග නොපමාව ගමන් කොට විමුක්තිය උදාකරගන්නවා යැයි උන්වහන්සේට ප්‍රායෝගිකවම ප්‍රතිපත්තිමය පූජාවක් කොට සැබෑම සතුටෙන් සැනසෙන්නට කරුණු යොදාගන්නවාද?
තීරණය සැමවිටම ඔබ අතේයි...  මට කල හැකි උපරිමය නම් මා ලබන අත්දැකීම් තුලින් මට අවබෝධ වෙන යම් දෙයක් ඇතිනම් ඔබත් සමග බෙදා හදාගැනීම තුලින් ඔබටත් එය නිවැරදිද වැරදිද යැයි තීරණය කොට ඒ අනුව කටයුතු කර සැනසෙන්නට අවස්ථාව උදාකර දීම පමණි!  

අර්ථවත් දෙයක් කොට තමන්ට සැබෑම විමුක්තිය උදාකර ගැනීමට  ජාති ආගම් කුල මල භේද නොතකා පෙළඹීම සැබෑ බුද්ධිමත් මිනිසාගේ ස්වභාවය විය යුතුයි යන්න මගේ අදහසයි!

May 21, 2010

පිටුව 67 සහ 68

(පිටුව 67)

අදහස තේරුම් ගෙන සං‍කේතවත්ව ක්‍රියා කර ශාසන ගුණ දරන සංඝයා ඉදිරියේ මේ වන්දනාව මොහොතක් කල අයෙකුට පිහිටන ගුණ කද පෙර කී සියක් වසරක වැදිමට වඩා ඵල දරනු ඇත.  මෙහිදී කෙරෙන්නේ වැදුම් දීමක් හෝ වැදුම් භාර ගැනීමක්‍ නොවේ.  එසේ සිදු වූවොත් දෙන කෙනා හීන මානයටත්, ගන්න කෙනා උච්ච මානයටත් පත් වන්නට බොහෝ ඉඩ ඇත.  එහෙත් මේ වැදුම් ක්‍රියාවලිය සිදුකල යුතුමය.  ඉන් කෙරෙන්නේ ආර්ය ගුණ ඇති උතුමන් ඉදිරියේ තම ගුණය ආරක්ෂාවට සාක්ෂි සටහන් වීමකි.  එය තම ශාසන ගුණය ස්ථීරව පිහිටුවීමට මහත් රුකුලක් වනු ඇත.  දහම් ජලාශයෙන් දස අකුසල් සෝදා හරින වැඩ පිලිවෙල හිස් මුදුනින් දරා ගත් බව මේ පින්වතා නැත්නම් පින්වන්තිය ‍මා ඉදිරියේ දන්වා සිටී යන අදහස ස්වාමීන් වහන්සේ ඉදිරියේ මම දස අකුසලය පාප දහම්, දහම් දියෙන් සෝදා හරින බවටත් ඒ අදහස ඉස් මුදුනින් දරා සිටින බවටත් සංකේතයක් ලෙස දොහොත් මුදුන් දී කරන මේ වැදුමෙන් සංකේතවත් කරමියි සාක්ෂි කරමියි වදින පින්වතා හෝ පින්වන්තිය සිහි කරගත යුතුයි.  මෙයයි නියම අංජලීකරණීය ගුණය. 

මේ සංකේතය සාක්ෂි කොට දස අකුසලයෙන් වැළකීම තහවුරු වූ විට ඒ පින්වතා 23 වැනි අනන්ත සඝ ගුණයට අවතීර්ණ වූවා වේ.  ඊලගට තිබෙන්නේ 22 ගුණයට ඇතුලු වීමයි. 



(22) දක්ඛිනෙයිය ගුණය

අග්‍ර දක්ෂිණාව හෙවත් අග්‍ර සස්‍ය සහිත සිව්පසට පිලිගන්නට සුදුසුයැයි ‍දැනට දෙන අර්ථයයි.

මේ ගුණය සිහි කර වැද පුදා සිටීමෙන් සෑහීමකට පත්නොවී අප්‍රමාදව මාර්ගය වඩා ඒ අනන්ත සඝ ගුණයට ඇතුළු වන්ට උත්සාහ ගත යුතුවේ.

චීවර, පිණ්ඩපාත, සේනාසන, ගිලාන ප්‍රත්‍ය කියන තව ලෙසකින් කියනවා නම් ඇදුම්, ආහාර, වාසස්ථාන, ලෙඩට බෙහෙත් යන මේවා අග්‍ර පූජා වන්නේ කෙසේද?

වටිනාමය ප්‍රයෝජනය ගන්නා උතුමන් නිසා, මා දෙන මේ දානයේ හිස් බවක් නොපෙනේ.  ඒ හේතුවෙන් උන්වහන්සේලා අප්‍රමාදීව දහම් මග වඩමින් මහත් ඵල කියන මග ඵලත්, මහානිසංස කියන නිවනත් ලබන සේක,  එහෙයින් මාගේ ශ්‍රමය, ධනය, දාන වස්තුව උසස් ඵල බිහි කරන හරවත් දෙයකි. 



(පිටුව 68)

දානයන් අතර අග්‍රතම වටිනා දානයක් දෙන්ට මට වාසනාව පහල වී යැයි සෑම තැන්හි දීම හේතුඵල යහපත්ව දැන සතුටු විය හැකිය.  පිළිගන්නා ස්වාමීන් වහන්සේලා‍ හෝ ආර්ය උතුමන්ද ප්‍රත්‍යවේක්ෂ කර පරිභෝග කරන විට ඒ සිව්පස ශක්තිය ප්‍රමාදව අපතෝ යන්ට ඉඩ නොදී කොයි මොහොතේ වැනසී යා දැයි නොකිය හැකි ‍මේ කය පරිහරණයේදී අප්‍රමාදීව ශාසන මග වඩනු ඇත.  උත්තරීතර ධ්‍යාන, මාර්ගඵල, අමා නිවන් සුව ලබති.  මෙසේ හිස් අතින් අපතේ නොයන, සිව්පස දානයක් දෙන්ට ලැබෙන්නේද, පිලිගන්නට ලැබෙන්නේද මේ ආර්ය ශාසනය තුලයි. 

සිව්පස ප්‍රත්‍යවේක්ෂා සෑම පිරිත් පොත් වලම ඇත.  අර්ථයද දැකිය හැකිය.  අදහස වැටහෙන ලෙස තම භාෂාවෙන්ද සිහි කල හැකිය.  සම්ප්‍රදායික යහපත් පෙළ වදන් දිගින් දිගටම පැවතීම යහපත් හෙයින් අර්ථ දැන එසේම පෙළ වදන් වලින් සිහි කිරීම ස්වාමීන් වහන්සේලාගේ උතුම් කාර්යයකි. 

අප කවුරුත් මෙලොව දිවි ගෙවන විට අත්‍යාවශ්‍ය වන්නේ මේ සිව්පසයමය.  මින් වැඩි සියල්ල ලෝභ, ද්වේශ, මෝහ අදහස් නිසා ගොඩ ගසා ගත් ඒවාය.  අත්‍යවශ්‍ය පරිහරණයෙන් ප්‍රයෝජනය දැන සීමා කරගන්නට අපට හැකි නම් ලොව තරගකාරීත්වය, පාපයට හේතු කාරක නිසරු වැඩ, අමතර වියදම්, බොරු සෝභන සියල්ල අත්හැරී ගොස් නියම ශාන්තියට මගද බබලන්නේය.  අවශ්‍ය දහම් පිලිවෙතට කාලයද ලැබෙන්නේය.  ජීවන චර්යාවද ඉතා සැහැල්ලු සැනසිලි දායක වන්නේය.  අප ළග ඇත්තේ මැර කල්ලි වලට කොල්ලකරුවනට උදුරා ගන්ට දේ නොවන බැවින් මිනී මැරුම්, මංකොල්ලකෑම්, දූෂණ බලා ඉදිද්දී දුරු වන්නේය.  මුලා සිත් ඇති අය හිගන ජීවිතයක් ලෙස අපහාස කලත් මෙතකින් ඇතිය යන සම්පත් සීමාවකින් සෑහෙන ඔහු ලබන්නේ පෙරකල මහමන්දාතු නම් සක්විති රජුට වත් නොලැබුණ ශාන්තියකි.  මහා අධිරාජ්‍යවාදී රජෙකු නොලබන ශාන්තියකි. 



‍කොතෙක් වස්තු සම්භාර ලැබුනත් ඒ චාම් උතුමන් අත් විදින ශාන්තියේ අහලකටවත් වස්තුවෙන් ලබන සුවය ලං කල නොහැක.  පා පෑගෙන දූවිල්ලකට වත් සම කල නොහැක.  ලොව ඇතිවෙන්නට සිව්පස දානයක් දිය හැකි නිසා ඉතා සුළු දානයකිනුත් ලැබෙන ප්‍රතිඵල මහිමය අප්‍රමාණද වේ.  අපට මේ ඇති ස්වභාවයෙන් සැනසෙන්ට ශක්තිය ලැබුනහොත් ඒ ශක්තියෙන් ආධාරයෙන් උපරිම ප්‍රයෝජන ගෙන නිවන් ප්‍රත්‍යක්ෂ කරන මාර්ගය වඩන්නට අදහස පහල වුනොත් අපද එම ගුණයට අතුළු වූවා වනු ඇත. 

May 20, 2010

පිටුව 65 සහ 66


(පිටුව 65)

ලෝකයේ ගොවියා මීලගට කරන්නේ කුමක්ද?  අමු කැලෑව ඇති කාලයේ ගිනි තබා දවන්නට බැරිව තිබූ ගස්, වැල් දැන් ගිනි තබන විට දැවී අළුව යනු ඇත.  පෙර තිබූ ගස්, වැල් වල අතු, රිකිලි, කදන් දැන් දැවී අළු වී ගොස්ය.  බිම හොදට පෑදී ඇත.

හිත නැමැති කෙත සදන පින්වතාද පෙර පාපී සමාජ කටයුතු වලට ආධාරවූ සියලු පාප මිත්‍ර කම් වලින් වෙන්ව කළ්‍යාණ මිත්‍ර ඇසුරට සැරසෙයි.  සීල ගුණ පිහිටන පසු තලය හිතේ දැන් මතුව ඇත. 

ලෝක කෙත සදන ගොවියා නිදහස් බිම දෙස බලා වැසි ජලයටත් සෝදා පාළුවට පත් විය හැකි ගස්, වැල් නැති ඉඩම් දෙස බලා‍ සෝදා පාළුව ඇති නොවන සේ දඩු වැටක් බැද ගනී. 

ඒ උපමා පරිදි හිත නැමැති තැන, කෙත සදන පින්වතාද පංච දුෂ්චරිතයෙන් වෙන් වන අධිශ්ඨානය තර කොට සමාදන් වෙයි.  පිනට දහමට නැමෙමින් අවවාද අනුශාසනා දෙවන ගුණවත් පිරිස සමග සමගි බැම්මෙන් බැදෙයි.  දැන් හිතෙහි කෙතට රැකවරණ බැමිද, වැට කඩොලුද දමා ඇත.  ලෝකයේ ගොවියා ගොවිතැනට තෙත පොළවක්ද වතුර රැදවීමට නියරවල්ද අවශ්‍ය වන බව දැන පොළ‍ව කණිමින් ගල් මුල් බැමි ඉවත් කර බැමි ක්‍රමාණුකූලව සකසා ජල පාරක් කෙතට හරවා ගනී. 


හිතේ කෙත සදන පින්වතා පෙර හිතේ යටපත්ව තිබූ අසමගිකම්, අමනාපකම්, වෛර සියල්ල උදුරා දමා කරුණා, මෛත්‍රී දයා අනුකම්පා ආදී සිසිල් දිය පහර වල් සිත නැමැති කෙතට ගලා එන පරිදි ගුණ සිහි කරමින් දැහැමි කථා හිතට ගනිමින් කරුණා දයාවෙන් තෙත් වුණ හදවත් කෙතක් සාදා ගනී.  දැන් හදවත් පින් කෙතක් සෑදී ඇත.


ලෝකයේ ගොවියාටද ඕනෑම දෙයක් වපුරා ඵල නෙලාගන්ට සුදුසු කෙතක් දැන් සෑදී හමාරය.  එහෙත් ඔහුගේ බලාපොරොත්තුව සාමාන්‍ය භෝග වගාවක් නොවේ.  උසස් වූ ප්‍රයෝජනවත් වූ ඇල්වී, මාවී වැනි වටිනා භෝග වගාවකි.  ගොවියා සුදුසු බිත්තර වී සොයාගෙන වපුරාගනී.  වැපුරූ භෝග හොදින් රැක බලා‍ ගනිමින් සාත්තුවද කරයි.  ගොවියාට හොද ඵලදාවක් අනාගතයේ ලැබීමට හේතු වාසනාව දැන් පෑදී ඇත.



(පිටුව 66)

හිතේ කෙත සාදන පින්වතාටද ඕනෑම පුණ්‍ය බීජයක් දැන් වගා කරගත හැකිය.  ඒවාද ඵල දරන්නට හේතු සැකසී ඇත.  එහෙත් මේ පින්වතාගේ බල‍ාපොරොත්තුව නිකන්ම සාමාන්‍ය පින් කෙතක් සෑදීම නොවේ.  අනුත්තර පින් කෙතක් කරන්නටයි ඔහුගේ බලාපොරොත්තුව, රාග ක්ෂය වූ, ද්වේෂ ක්ෂය වූ, මෝහය ක්ෂය වූ  බුද්ධ ශාසනය වෙත නැමී ගෞරව, පුද, සත්කාර, ඇප, උපස්ථාන ආදිය කරමින් සසුන් බිම කල්‍යාණ මිත්‍ර බුදු සව්වන් අතරට ලංව ඇසුරු කරන හෙයින් ‍උපාසක හෝ උපාසිකා යන විරුදාවලිය නාමයට හේතු වාසනා ඇත්තේ වන්නේය.  දැන් අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලෝකස්සාති ‍යන පළමු අනන්ත වූ සඝ ගුණයට ඇතුලුව ශාසන පිලිසරණ හේතු කාරක ලැබූවෙක් වන්නේය. 

වසර සියක් සූවිසි ගුණ කද කියමින් වැද වැද සිටි ‍කෙනෙක් නොලබන ශාසන පිළිසරණ, සඝ පිළිසරණ මේ පින්වත් අය ඉතා සුළු කලකින් හිමි කරගෙන ඇත.  දැන් ඇත්තේ දෙවැනි වරට විසිතුන් වැනි ගුණයට අවතීර්ණ වීම වේ. 



23) අංජලීකරණීය ගුණය

අද මීට දෙන සිංහල අර්ථය ඇගිලි බැද නමස්කාර කරන්නට සුදුසුයි යන්නයි.  බුදු පියාණන්වහන්සේ දේශනා කරන වදාලේ නියම ශාසන නමස්කාරය නම් අප්‍රමාදව කටයුතු සම්පාදනය කර නිවන් ප්‍රත්‍යක්ෂ කර ගැනීම බවයි.  පෙර හෙළ අටුවා අර්ථ සැගවී ගිය නිසා මෙහි ගැබ්වී ඇති වටිනා දහම් හරයද සැගවී ඇත.  අංගුලි යැයි ඇගිලි වලට කියන බවත් ඊට හේතුවත් මේ ‍පොතේ මුලදී විස්තර කර දී ඇත.

අංග ගුලි කරන වැඩි පිලිවෙල අංගුලි කරණීය වේ.  ජලිකරණී කියන්නේ දිය කරන යන අරුතයි.  අංජලී කරණීය කියන්නේ හිංසා පීඩා සිදු කරන තැන්හි ගැවසෙන හැසිරෙන එම අංග දිය කර හැරීමයි.  කෙටියෙන් කියෙනවා නම් දස අකුසල් කියන අංග දහයම දිය කර හැරීමයි.  සේදූ අත් ඇතිව කියන්නේද මේ අදහසයි.  පාපී අකුසල අංග 10 දිය කර හරිමි.  නැත්නම් බැහැර කර සෝදා පිරිසිදු වෙමි යනු මෙහි සැගවුණ දහම් අරුතයි.  සෝදන්නේ දහම් අමා ජලාශයෙනි.  ඒ අදහස අනුමත කර හොදින් දරාගෙන හිස් මුදුනින් භාරගතිමි යන අදහස සංකේතවත් කිරීමට ඇගිලි දිග හැර එක් කොට දෑත හිස් මුදුනේ තබාගනිමින් සංකේතවත් කරනු ඇත.  මේ අදහස නොගෙන සියක් වරක් දොහොත් දිගහැර ළං කර හිස් මුදුනේ තබා සාධුකාර දුන්නත් අර්ථය සඵල වන්නේ නැත.

May 19, 2010

පිටුව 63 සහ 64

(පිටුව 63)
කසී භාරද්වාජ බමුණා, අප මෙන් ගොවිතැන් කර අස්වැන්න නෙලා ගෙන භුක්ති විදුවයි බුදු පියාණන්වහන්සේට කියා සිටි අවස්ථාවේ බමුණ මමද සීසා වපුරා අස්වැන්න ගෙන ඵලය භුක්ති විදින කෙනෙක්මියි උපමා සසදා නිවන් මග පෙන්වූ පසු බමුණාටද සදහම් අවබෝධය ලැබුන අයුරු කසී භරද්වාජ සුත්‍රයේ පෙන්වා ඇත.
අපත් මෙසේ සසදා බලා මේ මහා ගුණස්කන්ධයට ඇතුළු වෙමු.
ගොවියෙක් බාහිර ලෝකයේ කෙතක් සාදන අයුරු උපමා කර ගනිමින් අපද අභ්‍යන්තරයේ අනුත්තර පින් කෙත සෑදිය යුතුය.
පෙර කෙතක් සාදා නොතිබූ සරු පස් ඇති බිමක් ගොවියා දකින්නේ කෙසේද? එය මහ ගස්, මහ වැල් වලින් වටවූ කැලෑවකි. මේවා වල් ගස්ය, වල් වැල්ය, මෙබදු කැලෑවක් යම් තැනක වේ නම් ඒ කැලය තුල ජීවත් වන්නේ කවුද? අලි , කොටි, වලස්සු, උරුලෑවෝ, කබරගොයි, කටුස්සෝ ආදී බොහෝ වල් සතුන්ගේ වාස භූමියකි එම කැලෑව.
ආර්ය මාර්ගයට නොපිලිපන් කාම භෝගීව පංච කාමයෙහි ඇලී ගැලී වාසය කරන කෙනා‍ගේ සිතද මේ මහ කැලය වැනිය. පුහු අහංකාර කමින් මුසපත්ව මහන්තත්ව විද්‍යාමාන වන්නේ මහා ගස්ය. බල පුළුවන් කරුවන් සහ බැදී, රැදී සිටින පුහු ආධාරක මේ හිත නැමැති කැලයේ අහංකාර ගස්වල එතුන වැල් වැනිය.
සතුන්ට සුදුසු මහ කැලෑ පරිසරය වැනි මෙවන් සිත් තුල සිටින අලි කවුද? ගාම්භීර මහන්තත්ත ලෙස ඒ හිතේ අලි විද්‍යාමානය. දත් නියවමින් ලෝකයා වෙත කඩා පනිමින් ඔවුන් සතුදේ හූරාකන ලෙස විද්යාමාන වන්නේ හිත නැමැති කැලයේ සිටින කොටිය. රවමින් ගොරවමින් මුහුණ කළු කරගෙන පුප්පන්නේ වලස්සුය. ගැරහීමෙන් ඇඩියාවෙන් වැනි වැනි දුක් වෙවී සිටින්නේ හිතේ සිටින ගැරඩිය. අනුන්ට ණයට යමක් දී නොදෙන විට එම ණය අයාගෙන පහර දෙන්නට මාන බලමින් පුප්පා ගෙන සිටින්නේ සිත නැමැති කැලයේ සිටින නයි සමූහයායි. නොනිසි තැන ගැවසෙමින් අනුන්ට හිංගි හිංසා කරන්ට කටයුතු කරන්නේ සිත නැමැති කැලයේ සිටන ගෝනුස්සෝය. වල් කම් කරමින් හූරා හෙවත් නායකයා වෙන්නට බලන්නේ හිත නැමැති කැලයේ සිටන වල් ඌරාය. මාන්නක්කාර ගස් වැනි අය ඇසුරේ සිට අනුන්ට ගෙම්බර් දමන්නේ හිත නැමැති කැලයේ සිටින ගෙම්බාය.

(පිටුව 64)
උඩගුව සිට අන්සතු දෙය උස්සා ගන්ට බලන්නේ හිත නැමැති කැලයේ සිටින උකුස්සාය. කාපු තැන පුට කරන්නේ හෙවත් පහරන්නේ හිත නැමැති කැලයේ සිටින කපුටාය. වාසි පැත්තට හැඩ ගැසෙමින් කටුක වූ වැඩ කරන්නේ හිත නැමැති කැලයේ සිටින කටුස්සාය. ගුණ දම් ඇති පිරිස් ඇසුරු කරමින් සිට කාමය ලියලවන පාප වැඩ කරන්නේ හිත නැමැති කැලයේ සිටින බෝදිලියාය. ආර්ය ගුණ නොතකා උතුමන්ට හූ කියන්නේ හිත නැමැති කැලයේ සිටින නරියාය. යමක් දෙන්නට පොරොන්දු වී හා කියා එන්ට යැයි ඇරයුම් කොට (වා වා කියා) රවටා පැන යන්නේ සිත නැමැති කැලයේ සිටින හාවාය. මිහි හෙවත් පොළව මැන ගෙන එබි කම් කරමින් වැට කඩොලු තම වාසියට කඩා මැන ගන්නේ මීමින්නාය. මායිම් ඉන්න මහ ලොකු දෙයක් කරගෙන අනුන්ට නිතර කෑ ‍කෝ ගසන්නේ මයිනාය. ගිරියෙන් රාවය දෙමින් තොල් නිය රතු කර අත් සලමින් ගසන්නේ මේ හිත නැමැති කැලයේ ගිරවාය. මහ පොළොවේ සාරය විනාශ කරමින් ජලය සිදී වියළී යන ලෙස ඒ සාරය කා දව්නේ මී හරකාය. කාම මුලාවෙන් අලංකාරව අහිංසක සිනාව පෙන්වා මෝහයෙන් සිටින්නේ මුවාය. ඒ ඒ ගවේශනයන්ට අණ දෙමින් අහංකාරව සිටින්නේ ගෝනාය. අවංකව කෙලින් හිස ඔසාවා සිටින්නට නොහැකිව ලෝභ, ද්වේශ, මෝහ කටයුතු කර සමාජයට මුහුණ දෙන්නට බැරිව නැමී, වකුටු වී, ගුලිවී සිටින නා නා ප්‍රකාර ගති මේ හිත නැමැති කැලයේ සිටින නොයෙක් ආකාරයේ තිරිසනුන්ය.
සියලු කැලෑ සතුන්ගේ මුල් උපත කොතැනදැයි දකින්නට නම් මෙසේ හිත නැමැති කැලයට එබිකම් කර බැලිය යුතුය.
ලොව ගොවියා මෙබදු කැලෑව තිබියදී කෙසේවත් කෙතක් සෑදිය නොහැකි බව දැන සුදුසු ආයුධ ගෙන කැලයට වැදී එම ගස්, වැල් කපා දමයි. ආයුධ පහර වදින ගස් වැල් වලට කල හැකි කිසිවක් නොමැති බැවින් ආයුධ මොට කරන්නටද බැරි බැවින් සිදුවන්නේ නැගී සිටිය නොහැකිව ඇද වැටීමයි. දැන් අදුර රජ කල පෙදෙසම ආලෝකමත්ය. සතුන් පැන ගොස් ඇත.
මේ උපමා පරිදි හිත නැමැති මහ කැලය නුවණ නැමැති ආයුධයෙන් දැන පුහුමානය, අහංකාරකම, පුහු ලොක්කන්ගේ සම්බන්ධයෙන් තිබූ ආසාධාරණ කම් නැමැති ගස්, වැල් කපා බිම හෙලනු ඇත. නුවණින් විමසමින් ඒවායෙන් වෙන්වේ. තිරිසන් ගති සහිත සියලු අදහස් වලට දැන් පසු තලයක් නොමැති බැවින් සිතේ මුල් බැස තිබූ තිරිසන් සත්ව ගති දැන් පලාගොස්ය. පළමු නුවණේ ආලෝකය මනස පහන් කර ඇත.