මෙම බ්ලොග් අඩවිය පිළිබඳව

සම්මා සම්බුදු පියාණන්වහන්සේ වදාළ සත්‍ය වූ බුද්ධ ධර්මය කාලයත් සමග සැගවෙන්නට ඇති ඉඩකඩ වැඩිය. එය ‍එසේ වූ නිසාම ශතවර්ෂ ගණනකින් මාර්ගඵල ලාභීන් බිහි වූ බවක් අසන්නට නොලැබිණි... එහෙත් මග ඵල ලැබ ගෞතම බුදු පියාණන් විවර කල නිවන් දොරටුවෙන් මාර්ගයට පිවිස ඵල ලැබී සැනසීමට නියම වූ ඇත්තන් තවමත් සිටින හෙයින් ඔවුන් සදහා උපකාරයක් වීමට නියම කළ්‍යණ මිතුරාගේ පැමිණීම සිදුවී ඇත. ඒ සැඟවුනු මාවත යලි විවර කරමින්, සැඟවුනු දහම් අරුත් මතු කරමින් සසර දුකින් පෙළෙන ඔබටත් මටත් අනන්ත සසර දුක් සයුරෙන් එතෙර වීමේ ප්‍රයෝගික මග හෙලි කරන අභිඥාලාභී පූජ්‍යපාද වහරක අභයරතනාලංකාර ස්වාමීන් වහන්සේගේ ධර්මානුශාසනා ඇසුරෙන් පලවූ "සැගවුණු බොදු මග කල එලි දකී" යන පොත ඇසුරෙන් මෙසේ සටහන් තබමි!

May 20, 2010

පිටුව 65 සහ 66


(පිටුව 65)

ලෝකයේ ගොවියා මීලගට කරන්නේ කුමක්ද?  අමු කැලෑව ඇති කාලයේ ගිනි තබා දවන්නට බැරිව තිබූ ගස්, වැල් දැන් ගිනි තබන විට දැවී අළුව යනු ඇත.  පෙර තිබූ ගස්, වැල් වල අතු, රිකිලි, කදන් දැන් දැවී අළු වී ගොස්ය.  බිම හොදට පෑදී ඇත.

හිත නැමැති කෙත සදන පින්වතාද පෙර පාපී සමාජ කටයුතු වලට ආධාරවූ සියලු පාප මිත්‍ර කම් වලින් වෙන්ව කළ්‍යාණ මිත්‍ර ඇසුරට සැරසෙයි.  සීල ගුණ පිහිටන පසු තලය හිතේ දැන් මතුව ඇත. 

ලෝක කෙත සදන ගොවියා නිදහස් බිම දෙස බලා වැසි ජලයටත් සෝදා පාළුවට පත් විය හැකි ගස්, වැල් නැති ඉඩම් දෙස බලා‍ සෝදා පාළුව ඇති නොවන සේ දඩු වැටක් බැද ගනී. 

ඒ උපමා පරිදි හිත නැමැති තැන, කෙත සදන පින්වතාද පංච දුෂ්චරිතයෙන් වෙන් වන අධිශ්ඨානය තර කොට සමාදන් වෙයි.  පිනට දහමට නැමෙමින් අවවාද අනුශාසනා දෙවන ගුණවත් පිරිස සමග සමගි බැම්මෙන් බැදෙයි.  දැන් හිතෙහි කෙතට රැකවරණ බැමිද, වැට කඩොලුද දමා ඇත.  ලෝකයේ ගොවියා ගොවිතැනට තෙත පොළවක්ද වතුර රැදවීමට නියරවල්ද අවශ්‍ය වන බව දැන පොළ‍ව කණිමින් ගල් මුල් බැමි ඉවත් කර බැමි ක්‍රමාණුකූලව සකසා ජල පාරක් කෙතට හරවා ගනී. 


හිතේ කෙත සදන පින්වතා පෙර හිතේ යටපත්ව තිබූ අසමගිකම්, අමනාපකම්, වෛර සියල්ල උදුරා දමා කරුණා, මෛත්‍රී දයා අනුකම්පා ආදී සිසිල් දිය පහර වල් සිත නැමැති කෙතට ගලා එන පරිදි ගුණ සිහි කරමින් දැහැමි කථා හිතට ගනිමින් කරුණා දයාවෙන් තෙත් වුණ හදවත් කෙතක් සාදා ගනී.  දැන් හදවත් පින් කෙතක් සෑදී ඇත.


ලෝකයේ ගොවියාටද ඕනෑම දෙයක් වපුරා ඵල නෙලාගන්ට සුදුසු කෙතක් දැන් සෑදී හමාරය.  එහෙත් ඔහුගේ බලාපොරොත්තුව සාමාන්‍ය භෝග වගාවක් නොවේ.  උසස් වූ ප්‍රයෝජනවත් වූ ඇල්වී, මාවී වැනි වටිනා භෝග වගාවකි.  ගොවියා සුදුසු බිත්තර වී සොයාගෙන වපුරාගනී.  වැපුරූ භෝග හොදින් රැක බලා‍ ගනිමින් සාත්තුවද කරයි.  ගොවියාට හොද ඵලදාවක් අනාගතයේ ලැබීමට හේතු වාසනාව දැන් පෑදී ඇත.



(පිටුව 66)

හිතේ කෙත සාදන පින්වතාටද ඕනෑම පුණ්‍ය බීජයක් දැන් වගා කරගත හැකිය.  ඒවාද ඵල දරන්නට හේතු සැකසී ඇත.  එහෙත් මේ පින්වතාගේ බල‍ාපොරොත්තුව නිකන්ම සාමාන්‍ය පින් කෙතක් සෑදීම නොවේ.  අනුත්තර පින් කෙතක් කරන්නටයි ඔහුගේ බලාපොරොත්තුව, රාග ක්ෂය වූ, ද්වේෂ ක්ෂය වූ, මෝහය ක්ෂය වූ  බුද්ධ ශාසනය වෙත නැමී ගෞරව, පුද, සත්කාර, ඇප, උපස්ථාන ආදිය කරමින් සසුන් බිම කල්‍යාණ මිත්‍ර බුදු සව්වන් අතරට ලංව ඇසුරු කරන හෙයින් ‍උපාසක හෝ උපාසිකා යන විරුදාවලිය නාමයට හේතු වාසනා ඇත්තේ වන්නේය.  දැන් අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලෝකස්සාති ‍යන පළමු අනන්ත වූ සඝ ගුණයට ඇතුලුව ශාසන පිලිසරණ හේතු කාරක ලැබූවෙක් වන්නේය. 

වසර සියක් සූවිසි ගුණ කද කියමින් වැද වැද සිටි ‍කෙනෙක් නොලබන ශාසන පිළිසරණ, සඝ පිළිසරණ මේ පින්වත් අය ඉතා සුළු කලකින් හිමි කරගෙන ඇත.  දැන් ඇත්තේ දෙවැනි වරට විසිතුන් වැනි ගුණයට අවතීර්ණ වීම වේ. 



23) අංජලීකරණීය ගුණය

අද මීට දෙන සිංහල අර්ථය ඇගිලි බැද නමස්කාර කරන්නට සුදුසුයි යන්නයි.  බුදු පියාණන්වහන්සේ දේශනා කරන වදාලේ නියම ශාසන නමස්කාරය නම් අප්‍රමාදව කටයුතු සම්පාදනය කර නිවන් ප්‍රත්‍යක්ෂ කර ගැනීම බවයි.  පෙර හෙළ අටුවා අර්ථ සැගවී ගිය නිසා මෙහි ගැබ්වී ඇති වටිනා දහම් හරයද සැගවී ඇත.  අංගුලි යැයි ඇගිලි වලට කියන බවත් ඊට හේතුවත් මේ ‍පොතේ මුලදී විස්තර කර දී ඇත.

අංග ගුලි කරන වැඩි පිලිවෙල අංගුලි කරණීය වේ.  ජලිකරණී කියන්නේ දිය කරන යන අරුතයි.  අංජලී කරණීය කියන්නේ හිංසා පීඩා සිදු කරන තැන්හි ගැවසෙන හැසිරෙන එම අංග දිය කර හැරීමයි.  කෙටියෙන් කියෙනවා නම් දස අකුසල් කියන අංග දහයම දිය කර හැරීමයි.  සේදූ අත් ඇතිව කියන්නේද මේ අදහසයි.  පාපී අකුසල අංග 10 දිය කර හරිමි.  නැත්නම් බැහැර කර සෝදා පිරිසිදු වෙමි යනු මෙහි සැගවුණ දහම් අරුතයි.  සෝදන්නේ දහම් අමා ජලාශයෙනි.  ඒ අදහස අනුමත කර හොදින් දරාගෙන හිස් මුදුනින් භාරගතිමි යන අදහස සංකේතවත් කිරීමට ඇගිලි දිග හැර එක් කොට දෑත හිස් මුදුනේ තබාගනිමින් සංකේතවත් කරනු ඇත.  මේ අදහස නොගෙන සියක් වරක් දොහොත් දිගහැර ළං කර හිස් මුදුනේ තබා සාධුකාර දුන්නත් අර්ථය සඵල වන්නේ නැත.

0 comments: