(පිටුව 73)
මෙසේ උතුම් ආර්යත්වයට පත් පළමු සෝතාපන්න උතුමානන් සුපටිපන්න වේ. උජුපටිපන්න වේ. ඥාය පටිපන්න වේ. සාමීචිපටිපන්න වේ. ආහුන්‍යෙය වේ. පාහුන්‍යෙය වේ. දක්ඛින්‍යෙය වේ. අංජලිකරණීය වේ. අනුත්තර පුඤ්ඤක්ඛෙත්ත වේ. නව මහා සඝ ගුණයට අවතීර්ණ වූ උතුමෙක් වේ. ආර්ය ධර්මය මහා ඥාන දර්ශනයෙන් දුටු උන්වහන්සේගේ සතර අපාගතවන්ට තිබූ සියලු කෙලෙස් බර අත් හැරී ඇත. සතර අපායෙන් මිදී ඇත. දස්සනේන පහාතබ්බ යන දහම් දර්ශනයෙන් පහ කල යුතු පාප කොටස පහ කල මෙතුමා සක්කාය දෘෂ්ටි, විචිකිච්චා, සීලබ්බත පරාමාස යන සංයෝජන බැමි 3කින් නිදහස් වූයේ වේ. මින් මතු ඉතිරිව ඇති, අපාගාමී නොවුනත් කාම ලෝකයේ තව දුරටත් හේතු වන කාමරාග සහ පටිග යන සංයෝජන දුරු වීමට භාවනාය පහාතබ්බ යන භාවනා ලෙස සිත වැඩෙන මගට බසී. මෙහිදී සිත වැඩෙනවා කීවේ ඉතිරි උප ක්ලේෂ ගෙවී යාම මිස අමුතු සිතක උපතක් නොවේ. උප ක්ලේෂ ගෙවී ගිය ඉතිරි චිත්ත ස්වභාවය අනුව ඵල සිත්යැයි කියන තත්වයන් 3ක් පසු කරන්නට ඉදිරියට ඉතිරිවේ.
ක්‍රමයෙන් ඇලීම් ගැටීම් දුරු වෙමින් අකම්ප්‍ය භාවයට පත්වෙමින් සිදුවන මනෝ සන්තර්පන ක්‍රියාවලිය සමාධි වැඩීම ලෙස ක්‍රියාත්මක වේ.
15) පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤූ ගුණය
මෙතැන් සිට අන්‍ය කෙනෙකුගේ උපකාර නැතත් පහළ වූ විදර්ශනා නුවණින් හේතු ප්‍රත්‍ය ධර්මයන් දකිමින් ක්‍රමයෙන් කෙලෙස් බහා තබන්ට පටන් ගනී. මේ විදර්ශනා ප්‍රඥාවට ඵලය වශයෙන් දුක් ඇති කරන තෘෂ්ණාව දුකට ඇද දමන මායාවක් ලෙසද දකින්නට පටන් ගනී. එවිට ඉතිරි තණ්හා ශ්‍රෝතය හෙවත් තණ්හා දිය පහර ක්‍රමයෙන් වියළී යයි. හේතු වැනසී යන මට්ටමට ඵලයද වැනසී යන නිසා ලෝක දුක් කදින් මිදී යයි.
තමා තුල පහල වන විදර්ශනා නුවණින් දුකට හේතු වන ප්‍රත්‍යය බහා තබන මේ ගුණය පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤූ යයි හදුන්වයි. මෙයද අප්‍රමාණ ගුණ කදකි. සූවිසි ගුණයේ පටන් ඉහලට ඇති දශ වන ගුණයද මෙසේ ලබනු ඇත.
(පිටුව 74)
14) ඕපනයික ගුණය
ඊළගට ඇතුලු වන්නේ ඕපනයික නම් දහම් ගුණයටයි. විසි හතර වැනි ගුණයෙන් ඉහළට එන විට එකොලොස් වැනි ගුණයටයි. මෙයද නුවණින් දහම් රටාව ක්‍රියාත්මක වන ක්‍රමය දැකීමකි. මෙබදු සුචරිත ස්වභාවයෙන් හේතු කොට ඒවායේ බලාපොරොත්තු හෙවත් තෘෂ්ණාවෙන් බැදී සිටින සත්වයා මෙබදු සුචරිත අනුකූල සුගති අත් බැව් ලබයි කියා දකින දහම් ගුණ ඤාණය පහළ වේ. මෙබදු දුෂ්චරිත නිසා ඒවාට බලාපොරොත්තු හෙවත් තෘෂ්ණා හේතු කොට ගෙන මෙබදු දුගති අත් බැව් ලබයි කියාද දකී. ඒ ඒ උපත් හටගන්නා න්‍යාය ධර්මය වැටහෙන්නට වේ. මේ ඕපනයික ගුණයට ඇතුලු වීමයි.
13) ඒහිපස්සික ගුණය
මින් ඉහළට ඇති දහම් ගුණය ඒහිපස්සික ගුණයයි. එය විසිහතර වැන්නෙන් උඩට බලාගෙන එන විට දොළොස් වැනි ගුණ කදයි. මෙබදු හේතුවෙන් මතු මෙබදු ඵලයක් වේයැයි දකින විට ඒ ඵලද තිර නැත, කැමති සේ නැත, එබැවින් දුක් ගෙනදේ, මමය මාගේය අල්ලන්නට කිසිත් හරයක් නැත. එබදු ඵලයක් විද්‍යාමාන කරන මේ බලාපොරොත්තුව මේ තෘෂ්ණා සහගත වැඩ පිලිවෙලද නිස්සාර වෙහෙසකියි දැන හේතුවෙහි කලකිරෙයි. කලකිරෙන්නේ නොඇලෙයි. නොඇලෙන්නේ මිදෙයි... මෙසේ ඒ හේතුව මතු වන තැනදීම පහවී යයි. මේ ඒහිපස්සික ගුණයයි. විදසුන් නුවණින් බලන ඒ ආර්ය ශ්‍රාවකයාණන් මෙසේ මේ ගුණයටද ඇතුලු වෙති.
12)අකාලික ගුණය
මීලගට 24 වැනි ගුණයේ පටන් ඉහළට දහතුන් වැනි ගුණය අකාලික ගුණයයි. මෙයට අටුවා ග්‍රන්ථ වල, කල් නොයවා විපාක දෙන බැවින් අකාලික යැයි සදහන් කර ඇත. මේ කල් නොයවා දෙන විපාකය කුමක්ද?
ලෝක පැවැත්ම තුළ මතු පැවැත්මට යමක් පහළ කරන හේතු කාරකයි ක්‍රියාත්මකවන්නේ. පුණ්‍ය හෝ පාප කර්මයක් කළ විට ඇති වන කර්ම ශක්තිය මතු කවදා හෝ ඵල විපාක පැවැත්මක් ඇති කරයි. හේතුව ක්‍රියාත්මකව කර්ම ශක්තියෙන් පහළ වූ විට එහි ඵලය පසු වේලාවක පහළ කරන දෙයකිනි අතර කාලයක් නිර්ණය වෙන්නේ. යම් හේතුවක් සදහටම නිරෝධ වුවොත් හේතු නිරෝධයේ ප්‍රතිඵලය හේතු නිරෝධයම මිස අළුත් හට ගැන්වීමක් නොවන බැවින් කාල නිර්ණය කරන අතරක් වෙන් කළ නොහැකිය.
0 comments:
Post a Comment