මෙම බ්ලොග් අඩවිය පිළිබඳව

සම්මා සම්බුදු පියාණන්වහන්සේ වදාළ සත්‍ය වූ බුද්ධ ධර්මය කාලයත් සමග සැගවෙන්නට ඇති ඉඩකඩ වැඩිය. එය ‍එසේ වූ නිසාම ශතවර්ෂ ගණනකින් මාර්ගඵල ලාභීන් බිහි වූ බවක් අසන්නට නොලැබිණි... එහෙත් මග ඵල ලැබ ගෞතම බුදු පියාණන් විවර කල නිවන් දොරටුවෙන් මාර්ගයට පිවිස ඵල ලැබී සැනසීමට නියම වූ ඇත්තන් තවමත් සිටින හෙයින් ඔවුන් සදහා උපකාරයක් වීමට නියම කළ්‍යණ මිතුරාගේ පැමිණීම සිදුවී ඇත. ඒ සැඟවුනු මාවත යලි විවර කරමින්, සැඟවුනු දහම් අරුත් මතු කරමින් සසර දුකින් පෙළෙන ඔබටත් මටත් අනන්ත සසර දුක් සයුරෙන් එතෙර වීමේ ප්‍රයෝගික මග හෙලි කරන අභිඥාලාභී පූජ්‍යපාද වහරක අභයරතනාලංකාර ස්වාමීන් වහන්සේගේ ධර්මානුශාසනා ඇසුරෙන් පලවූ "සැගවුණු බොදු මග කල එලි දකී" යන පොත ඇසුරෙන් මෙසේ සටහන් තබමි!

May 24, 2010

මෙවර වෙසක් තෙමගුල අර්ථවත් කරගනිමුද? (වෙසක් තෙමගුල වෙනුවෙන් විශේෂිත වූ තිළිණයකි!)

2010 වසරට වෙසක් තෙමගුල සමරන්න තව දින කීපයක් පමණයි තියෙන්නේ... ඉතින් ‍ඒ උතුම් තෙමගුල සමරන්න ලක ලෑස්ති වී සිටින අපට මේ දිනවල මූලික වන අංගයක් තමයි වෙසක් සැරසිලි... ඉන් වෙසක් පහන් කූඩු විශේෂයි... ‍අටපට්ටම්... තාරකා... නෙලුම් මල් ලෙසින් විවිධ වර්ණයෙන් විසිතුරු වෙසක් කූඩු හදන්න බොහෝම පැහැදුනු සිතින් දැනටමත් සූදානම් වන පිරිස් සිටිනවා...
ඉතින් සම්මා සම්බුදු පියාණන්ගේ උතුම් ආදර්ශය පිලිගන්න නියම සැබෑ බෞද්ධයන් හරයන් නැති දේට වඩා හරයක් ඇති දේ කරන්නට, කියන්නට, සිතන්නට පෙළඹෙන පිරිසක්... සම්මා සම්බුදු පියාණන් විසින් පෙන්වා දුන්න උතුම් ධර්මයට අනුව තම කටයුතු, වචනය මෙන්ම සිතුවිලිද මෙහෙයවා ගෙන විමුක්තිය උදාකර ගැනීම සැබෑ බෞද්ධයාගේ පරම අධිෂ්ඨානයයි.  සම්මා සම්බුදු පියාණන්වහන්සේ එකම අග්‍ර උපදේශයත් එයයි. 
ඉතින් ඒ උතුම් සම්මා සම්බුදු පියාණන් වහන්සේ වෙනුවෙන් සැදැහැසිතින් කැප වෙන මේ වෙසක් තෙමගුල සැබෑ බෞද්‍ධයෙක් ලෙසින් අර්ථවත්ව සැමරීමට හැකි අවස්ථාවක එයින් උපරිම ඵල නෙලාගැනීමට මේ අවස්ථාව යොදාගන්නට පෙළඹෙන්නට සිතන්නට යමක් සුපුරුදු පරිදි සටහන් තබන්නට සිත්විය.
ඔබ ඉතාමත් කැමැත්තෙන් බො‍හෝම සැදැහැ සිත් ඇතිව සදන්නට අරඹන වෙසක් කූඩුව ගැන සිතන්නට මදකට සිත යොමු කරන්න...
උණ බට කපාගෙන සුදුසු පරිදි සකසා ගෙන නැත්නම් නවීන විදියට නම් බීම බට හෝ ප්ලාස්ටික් රාමුවක් යොදාගෙන වෙසක් කූඩුව සරසන්න ආරම්භ කරනවා ‍එහෙම නේද?  මුදලට හෝ තරගයට වෙසක් කූඩු සාදන්න පෙළඹෙන පිරිස් කෙසේ වෙතත් අප බොහෝ දෙනා අ‍පගේ සිතැගි පරිද වෙසක් කූඩුව සාදන්නට පෙළඹෙන්නේ විවිධ වර්ණ සව් කඩදාසි යොදාගෙනයි... අපේ ආච්චිලා සීයලා අපට කියාදුන්නේ සව් කඩදාසි යොදාගෙන බට සැකිල්ල යොදාගෙන සාදන ස්වාභාවික කූඩුවක් ගැනයි.  සූදානම් කරගත් බට කෝටු එකින් එක අමුණා අපි රාමුවක් සකසාගන්නවා... ඉන් පසුව කැමති විදියට වර්ණවත් සව් කඩදාසි අලවනවා... රැලි දාලා ලස්සන කරගන්නවා... දැන් කාලයේ විදුලි බුබුලු දැමුවත් ඉස්සර නම් අපේ ආච්චිලා සීයලා කියලා දුන්නේ කූඩුව තුල පහනක් තියන්න හදපු විශේෂිත කොටස තුල පහනක් දැල්වීම හෝ ඉටිපන්දමක් රැදවීමයි එහෙම නේද?  ඒ ආච්චිලා සීයලා නොදැන හෝ අපට කියලා දුන්නේ බොහෝම අපූරු  නියමාකාර බෞද්ධ සිරිතක්... කාලය ඉතිරි කරගන්න... ලේසියට පහසුවට කූඩුවක් හදනවාට වඩා ඉස්සර ආච්චිලා සීයලා කියලා දුන්න විදියට කූඩුව හදන්න පෙළඹෙනවා නම් ඔබට පෙර නොවිසූ විරූ දහම ඉන් මතු කරගන්නට පුළුවන්...  මම එහෙම කියන්නේ ඇයි?
සම්මා සම්බුදු පියාණන්වහන්සේ විසින් පෙන්වා දුන්නේ මේ වටිනා මිනිස් ජීවිතයෙන් උපරිම ඵල නෙලාගෙන සසර දුකින් මිදී විමුක්තිය උදා කරගන්න මාර්ගයයි... ඔබටත් පුළුවන් ඔබ මෙවර වෙසක් තෙමගුල  සැමරීමට සාදන වෙසක් කූඩුව තුලින් යථාවබෝධය ලබන්නට ‍මනස මෙහෙයවන්නට... නූපන් කුසල් උපදවා ගන්නට... තිබෙන කුසල් වර්ධනය කරගන්නට... ඒ කොහොමද?

ඔබ වෙහෙස වෙලා සාදන වෙසක් කූ‍ඩුවේ සැකිල්ල ගැන හිතන්න... එයත් හරියට ඔබ ඇස, කණ, නාසය, දිව, කය ලෙසින් ඉන්ද්‍රීයන් 32කින් සාදාගත් ශරීර කූඩුව වගේ නේද?  ඔබ ‍ඔබේ ශරීර කූඩුව සාදගන්න මේ අනන්ත සසර තුල කොච්චර නම් වෙහෙස වෙන්න ඇතිද?  කොච්චර නම් කාලයක් ඒ වෙනුවෙන් යොදවලද?  එහෙම වෙහෙස වෙලා ඔබ ඔබේ කොටස් 32කින් යුතු ශරීර කූඩුව සාදාගෙනයි තියෙන්නේ...මේ ආකාරයට බට කෝටු එකතු වූ කූඩුවේ උපත ‍ඔබේ උපතට නුවණින් සසදා බලන්න පෙළඹෙන්න...

ඒ සාදාගත්ත කූඩුවට දැන් ඒ සැකිල්ල වැහෙන්න ආවරණයක් දෙන්න ඕන... නැතිනම් එය වෙසක් සැරසිල්ලක් කරන්නට වුවමනා දේ ‍සපයන්න ඕන... ඔබ සව් කඩදාසි නියමිත හැඩයන්ගෙන් කූඩුව වැ‍හෙන්න අලවනවා... හරියටම ඔබගේ වර්ධන කාලය වගේ කූඩුවත් දැන් ටිකෙන් ටික හැඩ ස්වභාව ඇතිව වැඩෙනවා...

දැන් ඒ වැඩුනු කූඩුව සරසන්න කාලයත් ඇවිත් නේද?  ඉතින් අප එය සරසනවා... ඇස, කණ, නාසය, දිව, කය යොදගෙන ඔබ යොවුන් අවදියට පත් ඔබව සරසා ගන්නේ හරියටම වැඩුනු වෙසක් කූඩුව වර්ණ හැඩතල යොදමින් රැලි යොදමින් සරසනවා වගේ‍ නේද කියලා මදකට ‍ඔබේ නුවණ මෙහෙයවා බලන්න... ඒ වගේම රිසි සේ කාලය ගෙන වෙසක් කූඩුව සරසනවා වගේ ඔබත් ඔබේ නව යොවුන් අවදිය යොදා ගන්නේ ඔබව සරසගන්න නේද?  ඔබේ ආශ්වාද කාලය ඔබෙ යොවුන් කාලයයි... ඔබ වගේම වැඩුනු කූඩුවේත් ආශ්වාද කාලය මෙසේ ආරම්භ වෙනවා... ඒ ආශ්වාද කාලයේම තවත් අවස්ථාවන් තියෙනවා... එසේ සරසාගෙන පමණක් සෑහිමට පත් නොවී වර්ණවත්ව සැරසූ වෙසක් කූඩුව රාත්‍රීයේ පහන් ආලෝකයෙන් එලිය කරගත්තාම තමයි ඒකේ සැබෑම ‍ලස්සන දිස්වන්නේ... හරියටම ආශ්වාද කාලය තුල ඔබේ මනස නොයෙක් සිතුවිලි මතු කරමින් ඔබේ ඇස, කණ, නාසය, දිව, කය තුලින් ගන්නා නොයෙක් රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ වලට පෙර නොවී විරූ වටිනාකමක් ලබාදෙමින් වර්ණවත් කරමින් දල්වනවා වගේ ‍නොයෙක් වර්ණ සව් කාඩදාසි සැකිල්ල තුල වූ පහන් ආලෝකයෙන් හෝ ඉටිපන්දම් දැල්ලෙන් ආලෝකමත් වෙනවා... අපූරු බවක් දෙනවා... පෙර නොවී විරූ වටිනාකමක් දැන් කූඩුවට ලැබිලා වගේම ඔබේ යොවුන් කාලයටත් ලැබිලා නේද? 

ලෝක ධර්මතාවයට අනුව ආශ්වාද කාලයෙන් පසු ආදීනව කාලයක් ලැබෙනවා... සැරසී ආශ්වාද ලබා ඒවා වැහැරීම තුලින් දුක අත්විදින්න... පසුතැවෙන්න... දරු මුණුබුරන් වෙනුවෙන් කාලය කැප කොට ආදීනව තත්වයන්ට මුහුණ දෙන්න ඔබට සිදුවෙනවා... ඔබේ සිතුවිලි තුලින් ආලෝකයක් දුන්නා යැයි ඔබ සිතාගෙන සිටියත් අවසානයේ ඔබ ඇත්තටම එයින් දැවු‍නා නොවේදැයි ඔබට සිතෙන්නට කාලයක් එළඹෙනවා... හරියටම පහන් දැල්ලෙන් ඉටිපන්දම් දැල්ලෙන් ආලෝකමත් වූ වෙසක් කූඩුව කාලයත් සමග ඒ පහන් දැල්ලෙන්ම ගිනිගෙන දැවෙන්නට පටන්ගන්නවා ‍වගේ... ඔබේ වෙසක් කූඩුව මෙසේ දැවෙන හැටි ඔබට තවමත් අත්දකින්නට ලැබුනාදැයි මම නොදනිමි... එහෙත් එය එසේ දැවෙන බව මම අත්දැකීමෙන් දන්නා හෙයින් මෙසේ සටහන් තබමි... 

දැවී අවසන වෙසක් කූඩුවේ මරණය සිදුවේ... සැකිල්ල බොහෝ විට ඉතිරිවන අතර එයින් කම්පාවට පත්වන අප උත්සාහය අත් නොහරී... නැවත ඒ සැකිල්ල ගෙන සව් කඩදාසි අලවා සරසා නැවත  සාදා සතුටට පත්වේ... වෙසක් තෙමගුල සමරන කාල පරාසය මෙය නැවත නැවත කරමින් එල්ලා සතුටු වන්නට ඔබට හැකියි... හරියටම උදයංගම, අත්තංගම, ආශ්වාද, ආදීනව, නිස්සරණ කියන ධර්මතාවය උරුම කරගත් ඔබත් මමත් නැවත නැවත එකම දෙය කරමින් මේ කය ගොඩනගමින් නොනවතින සසර ගමනක යෙදෙනවා වාගේමයි නුවණැති ඔබට අවබෝධ වෙනවා ඇති... වෙසක් තෙමගුල සමරන කාලය තුල නැවත නැවත මෙසේ කරන්නට පෙළඹෙන ඇත්තන් අත්දැකීමෙන් මම දකිමි.... මමද එක් කලෙක ඔවුන් අතරින්ම අයෙක් වීමි.

වෙසක් කූඩුව තුලින්ම තවත් ආකාරයකට ඔබට ඔබවම දැකිය හැක... එනම් බොහෝ වෙහෙස මහන්සි වී සාදන ‍වර්ණවත් වෙසක් කූඩුව ගැනම නැවත සිත යොමු කරන්න... දැන් එය ඔබ රාත්‍රී කාලයේ සුදුසු තැනක් බලා රදවා එහි අලංකාරය බලමින් සැනසේ... අධික වර්ෂාවට මුහුණ දෙන වෙසක් කූඩුව විනාශ වෙන්නට ගත වන මොහොත ඔබ එය සදන්නට ගත කල කාලයෙන් මොහොතක් නොවේද?  ඔබට දුකක් දැනෙනවා නේද?  යම් කිසි කාල සීමාවක් තුල ඔබේ වෙසක් කූඩුව ඔබට කැමති පරිදි පවත්වා ගත හැකියි යන අරමුණෙන් බලාපොරොත්තු සහගත වන ඔබ වෙසක් කූඩූව නිමකරනවා... ඔබේ බලාපොරොත්තුව පරිදි කරුණු සිදු නොවන විට දුකක් ඇති වෙන්නට හේතු ‍වනවා...  කොතරම් උත්සාහ කලත් ඔබට ඔබ කැමති අයුරින්ම එය පවත්වා ගැනීමට නොහැකි වීමේ දුක අසහනය ඔබ කරා එනවා නේද? 
 
මේ වෙසක් කූඩුවේ විනාශය නිසා ඇතිවන දුක එහි අස්ථිර බව නිසා යැයි කියා යොදන්නට පුළුවන්... සැබෑය... හටගත් කිසිදෙයක් ඒ ආකාරයෙන් පැවැත්වීමට සමතෙක් ලොව නැත.  පෙර කී පරිදි ආශ්වාද කාලයක් පවතින වෙසක් කූඩුව ඊලග අවස්ථාව වන ආදීනව අවස්ථාවට පත්විය යුතුමය.  නමුත් එයින් ඔබට‍ ශෝකයක් දැනුනාද?  නැත්නම් ඔබ  විනාශවන කුඩුව නැවත පෙර තිබූ තත්වයෙන්ම හෝ නැතිනම් ඊටත් වඩා හොදින් උනන්දුවෙන් ඇලවීමට සූදානමින් සිටියාද? 

හරියට ඔබත් මමත් දන්නවා ඉපදුනානම් ලෙඩ රෝග වලට මුහුණ දී වයස්ගත වි මරණයට පත්වීම සිදුවන දෙයක් ලෙසින් වගේම එය එසේ වීම අපට දුක් සහගත දෙයක් නේද?  ඒත් එහෙම වුණා කියලා අප අපේ බලාපොරොත්තු අත්හැරලාද ඉන්නේ?  කවදා හරි මැරෙනවා කියලා ‍ඉගෙන ගන්නේ නැතිව රැකියාවක් කරන්නේ නැතිව විවාහයක් කරගෙන දරුවන් හදන්නේ නැතිව ඉන්නවාද?  විනෝදයෙන් ආශ්වාද කාලය ගත කරන්නේ නැතිව ඉන්නවාද?  පැමිණෙන දුකක් ගැන අප දන්නවා... බලාපොරොත්තු සහගත දුකක් එහෙම නේද? 
ඒත් මදකට හිතන්න ඔය බලාපොරොත්තු සහගත දුක එසේම පවතිත්දී අනපේක්ෂිතව පැමිණෙන ලෙඩ රෝග අනතුරු ගැන... ඔබ කොතරම් දැනගෙන සිටියත් ලෙඩවීම මරණය වයස්ගතවීම් ආදියට ඔබට මුහුණ පාන්නට කවදා හෝ සිදුවෙනවා කියලා ඒ ලෙඩවීම ඔබේ යොවුන් අවදියේම සිදුවුවහොත්... නැතිනම් අනතුරකින් අතක් හෝ පාදයක් අහිමි වුනොත්... ජීවිතයම ඉවරයි කියලා ඔබට දුක හිතෙනවා නේද?  තරුණ අයෙකුට පිලිකාවක් හැදුනොත් “අපරාදේ ජීවිතේම ඉවරයිනේ ඉතින්” කියලා දුක් වෙන අය කොච්චර නම් අප අතර ඉන්නවාද?  එතකොට ඒ පිලිකාවම වයසට ගිහින් ජීවතයේ අවසන් කාලයේ ගත කරන අයෙකුට හැදුනොත්?  වයසට ගිහින් අවුරුදු 80ක් 90ක් ආයු වලදපු අයෙක්ගේ මරණයක් ඔබට කොතරම් සමීප අයෙක් වුණත් ඔබට දැනෙන දුක ගැන හිතන්න... “වයසට ගිහින්නේ මැරුණේ.. උපරිම කාලය ගත කලා ඉතින්...”  ආදී වැකි ඕන තරම් මගේ අත්දැකීම් ගොන්නේ නම් තියෙනවා... මම හිතනවා ඔබටත් එසේමයි කියලා...

තවත් උදාහරණයකින් කියනවා නම් වටිනාකමින් වැඩි පෑනක් ඔබ විසින් මිලදී ගන්නවා... එය හොදින් ලියැවෙනවාදැයි පරික්ෂා කොට මිලදී ගන්නේ එහි කාබන් ඇති තාක් ලියන්නට හැකියි යන බලාපොරොත්තුව මත... එය අවසන් වන විට භාවිතා කරන්නට තවත් එවැනිම පෑන් කීපයක් අපට අරගෙන තියාගන්නත් පුළුවන් එහෙම නේද?  අපේ බලාපොරොත්තුව පෑනේ තීන්ත තියෙනකම් ලියන්න පුළුවන් වෙයි කියන බලාපොරොත්තුව... එය ස්ථිර නැති ස්වභාවයෙන් යුක්ත විනාශයට පත්වෙන පෑනක් කියලා අප කව්රුත් දන්නවා... ඒත් ඒ පෑන මිලදී ගන්නා විට ලියැවුණත් නැවත ‍ලියන්න හදනකොට ලියැවෙන්නේ නැතිනම් ඔබ එය ගැනීමට වැය කල මුදල් ගැන එය නොලියවීම ගැන දුකක් ඇතිවෙන්නේ නැතිද? දැන් ඔබට ඒ දුක පැමි‍ණියේ පෙර කිවූ ස්ථිර නැති ස්වභාවය නිසාද ඔබ බලාපොරොත්තු වූ පරිදි පවත්වා ගැනීමට නොහැකි වීම නිසාද?  මේ අයුරින් වටිනාකමින් වැඩි වන්නට වන්නට ඇතිවන දුකත් වැඩි වෙනවා නේද? 

එතකොට මොකක්ද මේ උපමා සහ මේ අප හදන වෙසක් කූඩුවේ තියෙන සම්බන්ධය?  ඒ තමයි වෙසක් කූඩුවත් දිනයකට හෝ දෙකකට හෝ වෙසක් තෙමගුල සමරන කාල සීමාවට යොදාගන්නවා කියන එක අප හැමෝම දන්නා දෙයක්... ඒ ආමිස පූජාව කරන කාල සීමාවට එය අපට කැමති පරිදි පවත්වා ගැනීම තමයි අපේ බලාපොරොත්තුව.  හරියටම අප විසින් අප ගැන බලාපොරොත්තු හදාගෙන තියාගත්ත කාල සීමාව වගේ... අපට කවදා හරි මැරෙන්න වෙනවා කියලා අප දන්නවා වගේම වෙසක් කූඩුවත් ඒ අදාල කාල සීමාවට අනුව විනාශයට පත්වෙනවා කියලා අප හැමෝම දන්නවා...  ගත්ත පෑන තීන්ත ඉවරවෙනකම් ලියන්න පුළුවන් කියන බලාපොරොත්තුව වගේ වෙසක් කූඩුවත් අදාල කාල සීමාවට තබාගැනීමේ බලාපොරොත්තුව අපට තියෙනවා... දැන් අපට තියෙනවා කවදා හෝ පැමිණෙන දුකක් ගැන බලාපොරොත්තුවක් එහෙම නේද?

දැන් හිතන්න අර අකාලයේ තරුණ අවධියේ මිය යන තරුණ පුද්ගලයා හෝ නැතිනම් දරුවෙක් වගේ... අතපය කඩාගන්න තරුණ පුද්ගලයෙක් වගේ බලාපොරොත්තු රහිතව පැමිණෙන අනතුරක් ගැන... වෙසක් කූඩුව හොදින් සරසලා එල්ලපු ගමන්ම වැස්සක් ඇද හැලිලා එය දියවෙලා යනවා හැඩ බලන්නත් කලින්ම... අර මිලදී ගෙන දෙවැනි වරට ලියන්න හදන පෑන ලියවෙන්නෙ නැතිව යනවා වගේ... දැන් ඔබට දැනෙන දුකත් අර අකාලයේ අපේ ජීවත තුල අත්දකින්න වන දුක වගේ නේද?  එය ඔබ බලාපොරොත්තු වෙච්ච අයුරින් ඔබට කැමති සේ ‍නොපැවතීම හේතු කරගෙන පැමිණි දුක නොවේද?

ස්ථිර නැති ස්වභාවය මදකට හෝ කල් පවත්වා ගැනීමට ඔබ විසින් වෙසක් කූඩු ප්ලාස්ටික් ඉටි කොල වැනි දේ යොදා ගනිමින් සාදනවා නේද?  හරියට අපිත් අපේ වයස්ගත ස්වභාවයන් තියෙනකොට‍ ලෙඩ වෙනකොට නොයෙක් නොයෙක් උපක්‍රම යොදමින් නිරෝගීව කල් පවතින ස්වභාවයක් ඇති කරගන්නට හදනවා වගේ... නැතිනම් මරණය එනතෙක් හෝ නිරොගීව සතුටෙන් ඉන්නට උපක්‍රම යොදාගන්නවා වගේ... ඔබට වෙසක් තෙමගුල සමරන දින කීපය තුල ඔබේ වෙසක් කූඩුව රැකගන්නට හැකිවෙනවා සමහර විට ලබන වසරේ වෙසක් උත්සවය සදහාත් කූඩුව තියාගන්න පුළුවන් වෙයි... එහෙම නේද?  ඒකත් හරියට අර පෑන් කීපයක් අරගෙන තියාගන්නවා හා සමානයි...

ඒත් එය ඔබට කැමති සේම පවත්වා ගන්නට හැකි වන වාර ගණන ගැන හිතා බලන්නට පෙළඹෙන්න ඔබට අත්දැකීමෙන්ම පුළුවන්... ඒ වෙසක් කූඩුව ඔබට කැමති සේ නොපැවතීම හේතුවෙන් ඔබට දුකක් අසහනයක් දැනෙන වාර ගණන ගැන සිතා බලන්න ඔබට අත්දැකීමෙන්ම පුළුවන්... ඒ විතරක්ද එසේ කල්පවතින කූඩුවක් ගැනීමට සමහර විට ඔබ වැය කරන කාලය වෙහෙස මෙන්ම මුදල්ද අධික වෙන්නට පුළුවන්... ඉතින් එය එසේ කරලාත් ඔබට කැමති සේ නොපවතින විට ඔබට ඇතිවන අසහනය, දුක හදුනාගන්නට ඔබේ නුවණ මෙහෙයවන්න ඔබට අත්දැකීමෙන්ම පුළුවන්... කොතරම් උත්සාහ කලත් නැවත නැවත තැනුවත් ඔබට කැමති සේ පවත්වා ගන්නට නම් නොහැකියි ඒ නිසා ඔබ දුකට පත්වේවි යැයි මා කීවොත් ඔබ එය ඔබේ නුවණින් විමසා බලන්නට පෙළඹෙනවාද?  

වෙසක් කූඩුව සරසා පූජාවන් පවත්වන වෙසක් තෙමගුල සහිත කාල සීමාව අපගේ සසර ගමන යැයි නුවණින් උපමා කොට සිතා බැලුවහොත් විනාශයට පත්වන්න වෙසක් කූඩුව නැවත නැවත සෑදීම හරියටම ඒ සසර ගමන තුල අපගේ අත් බැව් ගණන වගේ යැයි අපට උපමා කරන්නට පුළුවන්.  නිවැරදිව මනස යොමු කොට යථාවබෝධය ලබන්නට වෙහෙස වූවෝත් වෙසක් කූඩුව තුලින් ඇතිවන දුක අවබෝධ කරගන්නට ඔබට පුළුවන්... 
ඔබට කැමති සේ වෙසක් කූඩුව නියමිත කාල පරාසයක් තුල දකින්නට ඇති බලාපොරොත්තුවක් ඔබට තිබෙනවා... ඒ පූජාව නියමිත පරිදි සිදුකොට සිත සනසා ගැනීමට බලාපොරොත්තුවක් ඔබට තියෙනවා... එහෙත් ධර්මතාවය නම් කිසිවෙකුටත් කිසිවක් තමන් කැමතිසේ පවත්වා ගැනීමට නොහැකි වීමයි... අන්න ඒ ධර්මතාවයට අනුව ඔබ කැමති සේ පවත්වා ගැනීමේ බලාපොරොත්තුව කඩවීම තුලින් ඔබට දුකක් ඇතිවෙනවා...
ඉතින් ඒ දුකට හේතුව දැනටමත් ඔබ දන්නවා... ඒ තමයි වෙසක් සමය තුල ලස්සන අලංකාර වෙසක් කූඩුවක් පවත්වා ගනිමින් බොහෝම භක්තියෙන් සම්මා සම්බුදු පියාණන් වහන්සේට ආමිස පූජාව පවැත්විය යුතු යැයි ගත් තීරණය... එහෙම නේද? 
ඉතින් ඔබට එවැනි බලාපොරොත්තු සහගත මානසිකත්වයක් නොතිබුණා නම්...  ලෝකයේ ස්වභාවය වන තමන්ට කැමති සේ බලාපොරොත්තු වන පරිදි කිසිවක් පවත්වා ගත නොහැකියි යන්න අවබෝධ වී තිබුනා නම් එසේ තමන්ට රිසිපරිදි පවත්වා ගන්නට උත්සාහ කරන මානසිකත්වයෙන් මිදීම තුලින් ඒ දුකින් මිදීමට ඔබට හැකිවෙනවා නේද? 
එසේ ඒ දුකින් මිදීමට නම් තමන් ජීවත්වන ලෝකය මෙන්න මේ කියන ධර්මතාවයෙන් යුක්ත මෙන්න මේ කියන ලක්ෂණයන්ගෙන් යුක්ත සැරිසරන්නට සුදුසු ස්වභාවයක් නොමැති ලෝකයක් යන්න අවබෝධ කරගැනීමට කටයුතු යොදාගත යුතු නොවේද?  එයින් මිදීම තුලින් එහි නොඇලී අත්හැරීම තුලින් ලබන්නට හැකි සැනසීම අවබෝධ කොට ගෙන එයට සිත යොමු කල යුතු නොවේද? 

මෙසේ වෙසක් කූඩුවේ යථාස්වභාවය තුලින්ම ඔබේත් මගේත් යථා ස්වබාවය නුවණින් අවබෝධ කරගෙන චතුරාර්ය සත්‍යය... නැතිනම් සිවුසස් අවබෝධ කරගන්නට ඔබේ මනස යොමුකල හැකි බව ඔබට දැන් අවබෝධ වූවාද?  ඒ නිසා සිතන්න... නිවැරදි සිතීම තුලින් ඔබේ විමුක්තිය ඔබට හිමි කරගන්නට හැකිවේවි!

මෙවර වෙසක් තෙමගුල සමරන්නට ඔබ කරන කියන සිතන දේ අර්ථවත් කරගන්නට යොමුවීම සුදුසුයි නේද?  ඔබ මුදල් වලට තෑගි වලට වෙහෙස මහන්සි වී කාලය කැප කොට සදන කූඩුව වුවත් මෙන්න මේ කියන ස්වභාවයෙන් යුක්තයි නේද කියලා හිතලා බලන්න ඔබේ මනස යොමු කරන්න ඔබට පුළුවන්... ලෞකික වශයෙන් ඔබට ආර්ථික වාසියක් ගන්නට... තෑග්ගක් ලබා සතුටු වන්නට ඔබට පුළුවන් වුණත් ඒවාත් ඔබට කැමති සේ පවත්වා ගන්නට බැහැ නේද කියලා හිතලා බලන්නට පෙළඹෙන්න ඔබට පුළුවන් නේද?  ඔබේ මහන්සියට නිසි තැන නොලැබෙන විට ඔබට දැනෙන දාහය දුක කොතරම්ද කියලා සිතලා බලන්න ඔබටම පුළුවන් නේද?  එය ‍එසේම වන විට එයින් ලබාගත් මුදල හෝ තෑග්ග තුලින් ඔබට ලැබෙන වටිනාකම මොකැක්දැයි සිතීමට පෙළඹීමට ඔබට පුළුවන් නේද?  ඒ වටිනාකම් තෑගි මුදල් ලබාගන්නා ඔබත් වෙසක් කූඩුව මෙන්ම දිරාවට පත්වී විනාශ වෙන ස්වභාවයෙන්ම යුක්තයි නේදැයි කියලා මනස මෙහෙයවා සිතන්නට පෙළඹෙන්නට ඔබට පුළුවන් නේද?  ඔබේ නිර්මාණ හැකියාවන් යොදාගෙන ලෞකික දියුණුවක් ලබන්නට ඔබට කිසිවෙකුගෙන් බාධාවක් නැහැනේ... එය එසේ කරන අතර ඔබේ වටිනා මිනිස් ජීවිතයෙන් නියම ඵල ලබන්නත් යොමුවීම තමයි සැබෑ බුද්ධිමතාගේ ස්වභාවය... මේ ඇත්ත අවබෝධ කරගන්නට ඔබට ඔබේ වෙසක් කූඩුව සාදන සෑම මොහොතකම යොමුවෙන්න පුළුවන්‍ නේද?  
ඉතින් ඔබට මෙවර වෙසක් තෙමගුල සමරන්න සදන වෙසක් කූඩුව තුලින් කරුණු දෙකක් පූර්ණ කරගන්න පුළුවන්... මේ ගැටලු වලට තමන්ටම පිලිතුරු ලබාදී ඒ ලබාදෙන පිලිතුර අනුව තමන්ව මෙහෙයවා ගන්න ඔබට තීරණය කරන්න පුළුවන්... 

  1. බොහෝම භක්තියෙන් ගෞරවයෙන් සාදන වෙසක් කූඩුව සම්මා සම්බුදු හිමියන් වෙත පූජා කලා යැයි සතුටු සිත් ඇති කරගෙන ආමිස පූජාවෙන් පමණක් සැනසෙනවාද? 
  2. නැතිනම් එතැනින් එහාට තවත් පියවරක් ඉදිරියට තබමින් ඒ භක්තිය ගෞරවය ඇතිව සාදාගත් කූඩුව තුලින් ලෝකයේ අනිච්ච දුක්ඛ අනත්ථ ස්වභාවය මෙන්ම මේ ලෝකය තුල සෑම දෙයකටම උරුම උපත, වැඩීම, ආශ්වාද, ආදීනව සහ මරණය (උදයංගම, අත්තංගම, ආශ්වාද, ආදීනව, නිස්සරණ) නැමැති ධර්මතාවයද එයින් අවබෝධ කොටගෙන මේ අනන්ත සසර දුක කෙලවර කරගන්නට සම්මා සම්බුදු පියාණන් වහන්සේ පෙන්වා දුන් මග නොපමාව ගමන් කොට විමුක්තිය උදාකරගන්නවා යැයි උන්වහන්සේට ප්‍රායෝගිකවම ප්‍රතිපත්තිමය පූජාවක් කොට සැබෑම සතුටෙන් සැනසෙන්නට කරුණු යොදාගන්නවාද?
තීරණය සැමවිටම ඔබ අතේයි...  මට කල හැකි උපරිමය නම් මා ලබන අත්දැකීම් තුලින් මට අවබෝධ වෙන යම් දෙයක් ඇතිනම් ඔබත් සමග බෙදා හදාගැනීම තුලින් ඔබටත් එය නිවැරදිද වැරදිද යැයි තීරණය කොට ඒ අනුව කටයුතු කර සැනසෙන්නට අවස්ථාව උදාකර දීම පමණි!  

අර්ථවත් දෙයක් කොට තමන්ට සැබෑම විමුක්තිය උදාකර ගැනීමට  ජාති ආගම් කුල මල භේද නොතකා පෙළඹීම සැබෑ බුද්ධිමත් මිනිසාගේ ස්වභාවය විය යුතුයි යන්න මගේ අදහසයි!

0 comments: