මෙම බ්ලොග් අඩවිය පිළිබඳව

සම්මා සම්බුදු පියාණන්වහන්සේ වදාළ සත්‍ය වූ බුද්ධ ධර්මය කාලයත් සමග සැගවෙන්නට ඇති ඉඩකඩ වැඩිය. එය ‍එසේ වූ නිසාම ශතවර්ෂ ගණනකින් මාර්ගඵල ලාභීන් බිහි වූ බවක් අසන්නට නොලැබිණි... එහෙත් මග ඵල ලැබ ගෞතම බුදු පියාණන් විවර කල නිවන් දොරටුවෙන් මාර්ගයට පිවිස ඵල ලැබී සැනසීමට නියම වූ ඇත්තන් තවමත් සිටින හෙයින් ඔවුන් සදහා උපකාරයක් වීමට නියම කළ්‍යණ මිතුරාගේ පැමිණීම සිදුවී ඇත. ඒ සැඟවුනු මාවත යලි විවර කරමින්, සැඟවුනු දහම් අරුත් මතු කරමින් සසර දුකින් පෙළෙන ඔබටත් මටත් අනන්ත සසර දුක් සයුරෙන් එතෙර වීමේ ප්‍රයෝගික මග හෙලි කරන අභිඥාලාභී පූජ්‍යපාද වහරක අභයරතනාලංකාර ස්වාමීන් වහන්සේගේ ධර්මානුශාසනා ඇසුරෙන් පලවූ "සැගවුණු බොදු මග කල එලි දකී" යන පොත ඇසුරෙන් මෙසේ සටහන් තබමි!

Jun 24, 2010

පිටුව 95 සහ 96


(පිටුව 95) 
එවිට බුදු පියාණන්වහන්සේ දේශනා කළේ එසේ නම් ඔබට ජීවිතයේ එක් දිනක් වත් තෙත හිස කෙස්,  තෙත වස්ත්‍ර නැතිව සිටින්ට ලැබේද?  ඇඩූ කදුලක් නැතිව සිටීමට ලැබේද?  එක් දිනක් වත් සතුටින් සිටීමට ලැබේද?  යන්නයි.  කරුණු වටහා ගත් උපාසිකාව ප්‍රිය මනාප වස්තු වැඩි වූ තරමට දුකට ශෝකයට හේතු උපදින බව සිහි කළාය.  ඇය‍ගේ ශෝකය එයින්සංසිදින.  මවක් එකම පුතෙකුට ප්‍රේම කරන සේ ලොව සියලු සතුන් ගැන සිහි කලා නම් ඒ මවට කෙසේ සැනසිල්ලක් ලැබේද?  මේ සූත්‍රයේ පෙන්නුවේ වටිනා උපමාවකි.  මව ‍නම් අමා මෑණියන් වහන්සේමය.  එකම පුතා නම් අරිහතුන් වහන්සේය.  ඒ තත්වයට ලෝ සතුන් පත් වේවායි  ආශිර්වාද කරමින් අනුරක්ෂණය කිරීම බුද්ධ ශ්‍රේෂ්ඨ කාර්යයකි.  ලෝ සතුන් සසර අනන්ත දුක් කදක් බව වටහා ගෙන අරිහත්වයේ ශාන්තියට පත්ව දුක් ගිනි නිවා ගනිත්වායි තමන්ට කළ හැකි යම් කාය කර්මයක්, වචී කර්මයක්, ‍මනෝ කර්මයක් ඇත්ද  එය සිදු කරන්ටයි මෙයින් දේශනා කළේ.  එවිට නම් ලෞකිකව සත්වයා විදින පාප දුක් වලට කම්පාවක් ඇති නොවේ.  එබදු අනන්ත දුක් කර්ම විපාක ඵල දීමෙදී විදින්නටම සිදුවේ.  ඒවා කෙසේ වලක්වා සතට සහන සලසන්නද?  ‍කළ හැකි  කාර්යයක්ද?  ඒ කෙරෙහි දුක්වීම,  කම්පාවීම  මුලාවකි.  සත්වයන්ට ඒ දුකින් බේරීමට නම් ඇති එකම මග ආර්ය මාර්ගයෙන් සසර දුකින් මිදීමය.  ඒ සදහා කර දිය හැකි උදව්වක්,  උපනිශ්‍රයක් ‍ලබා දිය හැකි නම් දිවා රෑ නොබලා ඒ උදව්ව ඉටු කර දීම ම සිව් බඹ විහරන වලට අයිතිය.  සියලු සත්වයෝ නිදුක් වෙත්වා,  නිරෝගී වෙත්වා,  සුවපත් වෙත්වා ආදී මෙන් වැඩීමේදී මෛත්‍රී  මාර්ගයට කිසි බාධාවක් නැත.  සම්ප්‍රදායිකව පවත්වා ගෙන එන වදන් වලට දී ඇති අර්ථය ශාසනික නොවන බැවින්ද ඒ අන්‍ය පරිබ්‍රාජකයින් භාවිතා කල අර්ථය හදවත් තුළ කිදා බැස ඇති බැවින්ද විස්තර ඇති ව භාවනාව යළි නොගත්තොත් දහම් අර්ථය නැගී එන්ට බාධාවිය හැකිය. 
(පිටුව 96)
ශාසනික අර්ථය ඔප් නැංවෙන පරිදි ද වේවේක නිශ්‍රිත, විරාග නිශ්‍රිත, නිරෝධ නිශ්‍රිත, වොස්සග්ග පරිණාමීවද සප්ත බොජ්ඣංග ධර්ම නැගෙන පරිදි ද වැඩීමට සුදුසු මෛත්‍රී භාවනා වාක්‍ය කීපයක් මෙහි පහත දක්වනු ලැබේ.  
(1)     කර්මස්ථානය
පෙරදිග වසන සත්වයෝද - පෙර අනුදිග වසන සත්වයෝද
දකුණුදිග වසන සත්ව‍යෝද - දකුණු අනුදිග වසන සත්ව‍යෝද
පසුදිග වසන සත්ව‍යෝද - පසුඅනුදිග වසන සත්ව‍යෝද
උතුරුදිග වසන සත්ව‍යෝද - උතුරුඅනුදිග වසන සත්ව‍යෝද
යටදිග වසන සත්ව‍යෝද - උඩදිග වසන සත්ව‍යෝද
මේ මමද සියලු සත්වයෝ
සංසාර දුකින් මිදෙත්වා
සංසාර රෝගයෙන් මිදෙත්වා
සංසාර භයෙන් මිදෙත්වා
සංසාර ගින්නෙන් මිදෙත්වා
සංසාර දාහයෙන් මිදෙත්වා
සංසාර ශෝකයෙන් මිදෙත්වා
සංසාර රාගයෙන් මිදෙත්වා
සංසාර බැම්මෙන් මිදෙත්වා
සංසාර සයුරෙන් මිදෙත්වා
සංසාර කතරෙන් මිදෙත්වා
සංසාර අදුරෙන් මිදෙත්වා
නිවන් සුවයෙන් සුවපත් වෙත්වා
නිවන් සුවයෙන් සුවපත් වෙත්වා
නිවන් සුවයෙන් සුවපත් වෙත්වා
(ඉහත රූප සටහන කර්මස්ථානයේ සදහන් දිශාවන් පැහැදිලි කරගැනීමට උපකාර වනු ඇත)
අර්ථය කිදා බැස සිටි තරමට ශාන්තිය නැගී එයි.  බලා සිටියදී ශරීරය සැහැල්ලු වන අයුරු වැටහේ.  තවදුරටත් වැඩෙන විට නිරාමිස ප්‍රීතියෙන්, සුවයෙන් ගත, සිත පිනා යයි.  නිවන හැර මටද ලෝ සතුන්ට ද සැනසුම් මගක් නැත යන සත්‍යය තිර ලෙස මනසේ කිදා බසින්නට පටන් ගනී.  ඒ ඒකාග්‍රතාවයයි.   මෙහි භාවනා වාක්‍ය සවිතක්ක සවිචාරයයි.  නැගෙන මානසික ප්‍රීතිය සමග කායික සුවයද ඔප් නැගෙයි.  නිවන අරමුණු වී ඒකාග්‍රතාවය බලවත් වේ.  මේ අවස්ථාව මනාසේ අත්දැකිය හැකියි.  එය ශාසනික ප්‍රථම ධ්‍යානයයි.  

පිටුව 93 සහ 94



(පිටුව 93) 
ඉදින් හේ කැමති නම් පිළිකුල් නොවූවෙහි පිළිකුල් සංඥාව ඇතිව වාසය කරයි.  ඉදින් හෙතෙම පිළිකුල් වූවෙහි පිළිකුල් නැතිව වාසය කරන්නෙමියි කැමැත්තෙන් නම් එහි පිළිකුල් සංඥාව නැතිව වාසය කරයි.  ඉදින් පිළිකුල් වූවෙහිද, පිළිකුල් නොවූවෙහිද පිළිකුල් හැගීම් ඇතිව වාසය කරන්නෙමියි කැමැත්තේ නම් එහි පිළිකුල් හැගීම් ඇතිව වාසය කරයි.  ඉදින් පිළිකුල් වූවෙහිද,  පිළිකුල් නොවූවෙහිද පිළිකුල් හැගීම් නැතිව වාසය කරන්නෙමියි කැමැත්තේ නම් එහි  පිළිකුල් හැගීම් නැතිව වාසය කරයි.  ඉදින් පිළිකුල් වුවද, පිළිකුල් නොවූවද ඒ දෙකම දුරුකොට සිහි ඇතිව, මනා නුවණැතිව, උපේක්ෂා ඇත්තෙව, උපේක්ෂා ඇත්තේව වාසය කරන්නෙමියි කැමති ලෙස එහි සිහි ඇතිව, මනා නුවණැතිව, උපේක්ෂා ඇතිව වාසය කරයි.  සුභ විමෝක්ෂයට හෝ පැමිණ වාසය කරයි.  
මහණෙනි, ‍මමලෝකෝත්තර ධර්මය ප්‍රත්‍යක්ෂ නෙකළා වූ මහණ හට (රහත් නොවූ අය හට)  සුභය කෙළවර කොට ඇති මෛත්‍රී සමාධිය කියමි.   මෙසේම කරුණා සමාධියද විස්තර කර ඇත.  මෛත්‍රී යන වචන ඇති තැන කරුණා යන වචනය යොදා ගත යුතුයි.  එහි ප්‍රතිඵල පෙන්වන අන්තිම කොටස මෙසේය.  සියලු ආකාර රූප සංඥාවන්ගේ දුරලීමෙන් නානන්ත සංඥාවන්ගේ මෙනෙහි නොකිරීමෙන් ආකාශය අනන්ත යයි ආකාසානඤ්චායතනය පැමිණ වාසය කරයි. 
මහණෙනි මම ලෝකෝත්තර ධර්මය අවබෝධ නොකරන්නාවූ (රහත් නොවූ) මහණ හට ආකාසානඤ්චායතනය කෙළවර කොට ඇති කරුණා චේතෝ විමුක්තිය කියමි.  මුදිතා චේතෝ විමුක්තියද මෙත්තා කියූ තැන මුදිතා කියා විග්‍රහ කර ගත යුතුය.  එහි ප්‍රතිඵල පෙන්වන අවසානයේ සියලු ආකාරයෙන්ම ආකාසානඤ්චායතනය දුරු කොට විඤ්ඤාණය අනන්තයයි විඤ්ඤාණයඤ්චායතනයට පැමිණ වාසය කරයි.  මහණෙනි, මම ලෝකෝත්තර ධර්මය ප්‍රත්‍යක්ෂ නොකළා වූ මහණ හට (රහත් නොවූ අය හට) විඤ්ඤාණඤ්චායතනය කෙළවර කොට ඇති මුදිතා චේතෝ විමුක්තිය කියමි.   
උපේක්ෂා චේතෝ විමුක්තියද ඉහත විස්තර කළ මෛත්‍රී චේතෝ විමුක්තියේ යන තැනට උපේක්ෂා යනුවෙන් යොදා විග්‍රහ කරගත යුතුය.  එහි අවසාන ප්‍රතිඵලය මෙසේ දක්වා ඇත.  සියලු ආකාරයෙන් වනාහි විඤ්ඤාණඤ්චායතනය දුරු කොට ආකිංචඤඤායතනයට පැමිණ වාසය කරයි.  
(පිටුව 94) 
මහණෙනි, ලෝකෝත්තර ධර්මය ප්‍රත්‍යක්ෂ නොකළා වූ මහණ හට (රහත් නොවූ අය හට) උපේක්ෂා සමාධිය ආකිංචඤඤායතනය කෙළවර කොට ඇතැයි මම කියමියි වදාළ සේක.  
මේ දේශනාව අනුව වැදගත් කරුණු රාශියක් මතු වනු ඇත.  දැනට මෛත්‍රී භාවනාව සම්බන්ධ විද්‍යාමාන වන්නේ පැරණි අන්‍ය පරිබ්‍රාජකයින් භාවිත කළ අර්ථයද,  බෞද්ධ දහම් අර්ථයදැයි විමසීම වටී.  අන්‍ය පරිබ්‍රාජික  අර්ථය භාවිත කර නම් බෞද්ධ දහම් ප්‍රතිඵල කෙසේ වත් ලබන්ට හේතු නැත.  මෛත්‍රීය නම් මිත්‍රත්වය හැටියටත්,  කරුණාව නම් දුකට පත් ‍සැමට පිහිටවීම හැටියටත්,  මුදිතාව නම් ආදර ලෙන්ගතු කථාවෙන් ක්‍රියාවෙන් යුක්ත ආදරවන්ත කමක් හැටියටත්,  උපේක්ෂාව නම් සියල්ලන්ට හතුරු මිතුරු භේද නැතිව මේ ලෞකික ස්වභාවයන් පැතිර වීම හැටියටත් මෙකල අර්ථ ගන්වයි.  
බුදු පියාණන්වහන්සේ මාර දූත සූත්‍රය ආදියේ විස්තර කළේ මේ ලෞකික මිත්‍රත්වය ප්‍රාඥයෝ කෙසේ වත් අනුමත නොකරන අතර ‍ඒවා සංගනිකා දෝෂ හැටියටය.  කරණීය මෙත්ත සූත්‍රයේ “මාථා යථා නියං පුත්තං ආයුසා ඒක පුත්ත මනුරක්ඛේ”  යන්නට අද අර්ථ විග්‍රහ කරන්නේ මව් කෙනෙක් තමන්ගේ එකම පුතාට ආදරය රක්ෂණය කරන ලෙස සියලු සතුන්ට සලකන ලෙසය.  බුදු පියාණන් වහන්සේ විසින්,  වරක් විශාඛා උපාසිකාවගේ මිණිබිරියක් නැති වීමේ සංවේගයට එම උපාසිකාව එකල සමාජ සිරිතක් ලෙස ශෝකය ප්‍රකාශ කිරීම සදහා නෑමෙන් පසු තෙත කෙස් පිටින්,  තෙත වස්ත්‍ර පිටින් ඒවා වේලෙන තුරු පිස නොදා සිටිය අවස්ථාවක ඒ ශෝකය තුනී කර ගන්ට දහම් පදයක් අසන්ට අවේලාවේම උන් වහන්සේ හමුවන්ට ආ විටක කළ දේශනාවක් ඇත.  විශාඛාවන්ට සැවැත් නුවර ජනගහනය තරම් මිනිබිරියන් ඇත්නම් ඇයගේ අදහස ඇසූවිට ඇය කීවේ මේ මිය ගිය මිනිබිරිය වගේ අය නම් එපමණ සිටියත් එය සතුටක් වන බවය.  සැවැත් නුවර දිනකට කී දෙනෙක් මිය යනවාදැයි බුදු පියාණන් වහන්සේ ඇසූ පැනයට ‍උන්වහන්සේට ඇය පිළිතුරු දෙමින් එක් කෙනෙක් දෙන්නෙක් නොවෙයි දහය පහළොවද දිනකට මිය යන බව කීය. 

පිටුව 91 සහ 92


  (පිටුව 91)

18) සිත කෙලසන, නුවණ දුර්වල කරන පංච නීවරණයන් දුරු කොට මෛත්‍රී සහගත සිතින් එක් දිශාවක් පතුරුවා වාසය කරව්.  එපරිද්දෙන් දෙවැනි දිසාවද, එපරිද්දෙන් තුන්වැනි දිසාවද, එපරිද්දෙන් හතරවැනි දිසාවද පතුරුවා වසව්.  මෙසේ උඩ, යට, අනු දිසා යන සියලු තැන්හි සියලු සත්වයන් තමා මෙන් කොට සිතීමෙන් සියලු ලෝකයා කෙරෙහි මහත් වූ, මහද්ගත වූ, අප්‍රමාණ වූ, අවෛර වූ, ව්‍යාපාද රහිත වූ මෛත්‍රී සහගත සිත පතුරුවා වසව්.  
19) කරුණා සහගත සිතින් එක් දිසාවක් පතුරුවා වාසය කරව්.  එසේම දෙවැනි දිසාවද, එසේම තුන්වැනි දිසාවද, එසේම හතර වැනි දිසාවද පතුරුවා වසව්.  මෙසේ උඩ, යට, අනුදිග, සියලු තැන්හි සියලු සත්ව ලෝකයා කෙරෙහි මහත් වූ, මහද්ගත වූ, අප්‍රමාණ වූ, අවෛර වූ, ව්‍යාපාද රහිත වූ කරුණා සහගත සිත පතුරුවා වසව්. 

20) මුදිතා සහගත සිතින් සිතින් එක් දිසාවක් පතුරුවා වාසය කරව්.  එසේම දෙවැනි දිසාවද, එසේම තුන්වැනි දිසාවද, එසේම හතර වැනි දිසාවද පතුරුවා වසව්.  මෙසේ උඩ, යට, අනුදිග, සියලු තැන්හි සියලු සත්වයන් තමා මෙන් සිතීමෙන් සියලු සත්ව ලෝකයා කෙරෙහි මහත් වූ, මහද්ගත වූ, අප්‍රමාණ වූ, අවෛර වූ, ව්‍යාපාද රහිත වූ මුදිතා සහගත සිත පතුරුවා වසව්. 
21) උපේක්ෂා සහගත සිතින් එක් දිසාවක් පතුරුවා වාසය කරව්.  එසේම දෙවැනි දිසාවද, එසේම තුන්වැනි දිසාවද, එසේම හතර වැනි දිසාවද පතුරුවා වසව්.  මෙසේ උඩ, යට, අනුදිග, සියලු තැන්හි සියලු සත්වයන් තමා මෙන් සිතීමෙන් සියලු සත්ව ලෝකයා කෙරෙහි මහත් වූ, මහද්ගත වූ, අප්‍රමාණ වූ, අවෛර වූ, ව්‍යාපාද රහිත වූ උපේක්ෂා සහගත සිත පතුරුවා වසව්.
22)  ඇවැත්නි, ශ්‍රමණ ගෞතමයන්ගේ හා අපගේ යම් දේශනාවක් වේද යම් අනුශාසනාවක් වේද මෙහි කවර වෙනසක් වේද?  කවර වෙනස් අදහසක් වේද?  කවර නානාත්වයක් වේද?
23) ඉක්බිති ස්වාමීණී අපි අන්‍ය තීර්ථක පරිබ්‍රාජකයන්ගේ කීමට සතුටුද නොවීමු.  ප්‍රතික්ෂේප නොකලෙමු.  සතුටුද නොවී, ප්‍රතික්ෂේප නොකොට අස්නෙන් නැගිට භාග්‍යවතුන් වහන්සේ වෙතින් මේ කීමේ අර්ථයද දැන ගන්නෙමුයි ගියෙමු යනුයි.  
(පිටුව 92)  

24)  මහණෙනි, මෙසේ කියන්නාවූ අන්‍ය තීර්ථක පරිබ්‍රාජකයනට මෙසේ කිය යුතුයි.  අවැත්නි, කෙසේ වඩන ලද මෛත්‍රී සමාධිය කිනම් නිපදවීමක් ඇත්ද? කෙසේ වඩන ලද මෛත්‍රී සමාධිය කුමක් පරම කොට ඇත්තේද?  කුමක් අනුසස් කොට ඇත්තේද?  කුමක් අවසානය කොට ඇත්තේද?  කෙසේ වඩන ලද කරුණා සමාධිය කුමක් නිපදවීම් කොට ඇත්තේද?  කුමක් පරම කොට ඇත්තේද?  කුමක් අනුසස් කොට ඇත්තේද?  කුමක් අවසානය කොට ඇත්තේද?  කෙසේ වඩන ලද මුදිතා සමාධිය කුමක් නිපදවීම් කොට ඇත්තේද?  කුමක් පරම කොට ඇත්තේද?  කුමක් අවසානය කොට ඇත්තේද?  කෙසේ වඩන ලද උපේක්ෂා සමාධිය කුමක් නිපදවීම් කොට ඇත්තේද?  කුමක් පරම කොට ඇත්තේද?  කුමක් අනුසස් කොට ඇත්තේද?  කුමක් අවසානය කොට ඇත්තේද?  කියාය.

25)  මෙසේ අසන ලද විට අන්‍ය තීර්ථක පරිබ්‍රාජකයනට පිළිතුරු සැපයීමට නොහැකි වන්නාහ.   වඩාත් වෙහෙසට පැමිණෙන්නාහ.  ඊට හේතුව කවරේද?  මහණෙනි එය ඔවුනට අවිෂය බැවිනි.  දෙවියන් සහිත වූ, මරුන් සහිත වූ.  බ්‍රහ්මයන් සහිත වූ, ලෝකයෙහි මහණ බමුණන් සහිත වූ ප්‍රජාව අතරෙහි, දෙවි මිනිසුන් අතරෙහි තථාගතයන් හෝ තථාගත ශ්‍රාවකයෙකු හෝ මේ ශාසනයෙන් ඇසුවෙක් හෝ හැර යමෙක් මේ ප්‍රශ්ණය විසදන්නේ නම් එබන්දෙන් මම නුවණැසින් නොදකිමි.  

26)   මහණෙනි, කෙසේ වඩනා ලද මෛත්‍රී සමාධිය කිමක් නිපදවීම් කොට ඇත්තේද?  කුමක් පරම කොට ඇත්තේද?  කුමක් අනුසස් කොට ඇත්තේද?  කුමක් අවසන් කොට ඇත්තේද? මහණෙනි මේ ශාසනයෙහි මහණ තෙමේ විවේකය ඇසුරු කළ, විරාගය ඇසුරු කළ, නිරෝධය ඇසුරු කල, නිවට නැමුණු මෛත්‍රී සහගත සති සම්බොජ්ඣංගය වඩයිද, විවේකය ඇසුරු කළ, විරාගය ඇසුරු කළ, නිරෝධය ඇසුරු කළ, නිවනට නැමුණු මෛත්‍රී සහගත ධම්මවිචය සම්බොජ්ඣංගය වඩයිද?  විවේකය ඇසුරු කළ, විරාගය ඇසුරු කළ, නිරෝධය ඇසුරු කළ, නිවනට නැමුණු මෛත්‍රී සහගත ධම්මවිචය සම්බොජ්ඣංගය වඩයිද,  විවේකය ඇසුරු කළ, විරාගය ඇසුරු කළ, නිරෝධය ඇසුරු කල, නිවනට නැමුණු මෛත්‍රී සහගත ප්‍රීති සම්බොජ්ඣංගය වඩයිද? විවේකය ඇසුරු කළ, විරාගය ඇසුරු කළ, නිරෝධය ඇසුරු කළ, නිවනට නැමුණු මෛත්‍රී සහගත ධම්මවිචය සම්බොජ්ඣංගය වඩයිද,  විවේකය ඇසුරු කළ, විරාගය ඇසුරු කළ, නිරෝධය ඇසුරු කල, නිවනට නැමුණු මෛත්‍රී සහගත පස්සද්ධි සම්බොජ්ඣංගය වඩයිද? විවේකය ඇසුරු කළ, විරාගය ඇසුරු කළ, නිරෝධය ඇසුරු කළ, නිවනට නැමුණු මෛත්‍රී සහගත ධම්මවිචය සම්බොජ්ඣංගය වඩයිද,  විවේකය ඇසුරු කළ, විරාගය ඇසුරු කළ, නිරෝධය ඇසුරු කල, නිවනට නැමුණු මෛත්‍රී සහගත සමාධි සම්බොජ්ඣංගය වඩයිද? විවේකය ඇසුරු කළ, විරාගය ඇසුරු කළ, නිරෝධය ඇසුරු කළ, නිවනට නැමුණු මෛත්‍රී සහගත ධම්මවිචය සම්බොජ්ඣංගය වඩයිද,  විවේකය ඇසුරු කළ, විරාගය ඇසුරු කළ, නිරෝධය ඇසුරු කල, නිවනට නැමුණු මෛත්‍රී සහගත උපේක්ෂා සම්බොජ්ඣංගය වඩයිද?

පිටුව 89 සහ 90


 (පිටුව 89) 


8) කරුණා සහගත සිතින් එක් දිසාවක් පතුරුවා වාසය කරව්.  එසේම දෙවැනි දිසාවද, එසේම තුන්වැනි දිසාවද, එසේම හතර වැනි දිසාවද පතුරුවා වසව්.  මෙසේ උඩ, යට, අනුදිග, සියලු තැන්හි සියලු සත්ව ලෝකයා කෙරෙහි මහත් වූ, මහද්ගත වූ, අප්‍රමාණ වූ, අවෛර වූ, ව්‍යාපාද රහිත වූ කරුණා සහගත සිත පතුරුවා වසව්.

9) මුදිතා සහගත සිතින් සිතින් එක් දිසාවක් පතුරුවා වාසය කරව්.  එසේම දෙවැනි දිසාවද, එසේම තුන්වැනි දිසාවද, එසේම හතර වැනි දිසාවද පතුරුවා වසව්.  මෙසේ උඩ, යට, අනුදිග, සියලු තැන්හි සියලු සත්වයන් තමා මෙන් සිතීමෙන් සියලු සත්ව ලෝකයා කෙරෙහි මහත් වූ, මහද්ගත වූ, අප්‍රමාණ වූ, අවෛර වූ, ව්‍යාපාද රහිත වූ මුදිතා සහගත සිත පතුරුවා වසව්.

10) උපේක්ෂා සහගත සිතින් එක් දිසාවක් පතුරුවා වාසය කරව්.  එසේම දෙවැනි දිසාවද, එසේම තුන්වැනි දිසාවද, එසේම හතර වැනි දිසාවද පතුරුවා වසව්.  මෙසේ උඩ, යට, අනුදිග, සියලු තැන්හි සියලු සත්වයන් තමා මෙන් සිතීමෙන් සියලු සත්ව ලෝකයා කෙරෙහි මහත් වූ, මහද්ගත වූ, අප්‍රමාණ වූ, අවෛර වූ, ව්‍යාපාද රහිත වූ උපේක්ෂා සහගත සිත පතුරුවා වසව්.   

11) ඇවැත්නි, ශ්‍රමණ ගෞතමයන්ගේ හා අපගේ යම් දේශනාවක් වේද යම් අනුශාසනාවක් වේද මෙහි කවර වෙනසක් වේද?  කවර වෙනස් අදහසක් වේද?  කවර නානාත්වයක් වේද? 

12) ඉක්බිති ඒ භික්ෂූහු ඒ අන්‍ය තීර්ථක පරිබ්‍රාජකයන්ගේ වචන පිළිගත්තාහුද නොවූහ.  ප්‍රතික්ෂේප කළාහුද නොවූහ.  සතුටුද නොවී, ප්‍රතික්ෂේප නොකොට භාග්‍යවතුන් වහන්සේ වෙතින් මේ කීමේ අර්ථයද දැන ගන්නෙමුයි අස්සෙන් නැගිට ගියාහුය.  

13) ඉක්බිති ඒ භික්ෂූහු හලිද්ද වසනයෙහි පිඩු පිණිස හැසිර සවස් කාලයේ පැමිණියාහුය.  පැමිණ භාග්‍යවතුන් වහන්සේට වැද එක් පසක හුන්හ.  එක් පසෙක හුන්නාහු ඒ භික්ෂූණ් භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීහ.  ස්වාමීනි, අපි මෙහි පෙරවරු කාලයෙහි හැද පෙරවා පා සිවුරු ගෙන හලිද්ද වසනයට පිඩු පිණිස ගියෙමු.  ස්වාමීනි අපට මෙබදු සිතක් විය.  හලිද්ද වසනයෙහි පිඩු පිණිස හැසිරීමට තවම උදෑසන වැඩිය.  අපි අන්‍ය තීර්ථක පිරිවැජියන්ගේ ආරාමය යම් තැනකද එතැන්ට යන්නෙමු නම් හොදය කියාය.  ස්වාමීනී, එකල්හි වනාහි අපි අන්‍ය තීර්ථකයෙන්ගේ ආරාමය යම් තැනකද එතැනට ගියෙමු.

(පිටුව 90)
ගොස් ඒ අන්‍ය තීර්ථක පරිබ්‍රාජකයන් සමග සතුටු වුයෙමු.  සතුටු විය යුතු වූ, සිහි කටයුතු වූ කථාව කොට නිමවා එක් පසෙක හුන්නෙමු.  ස්වාමීනි එක් පසෙක හුන් කල්හි අන්‍ය තීර්ථක පරිබ්‍රාජිකයෝ අපට මෙය කීහ.  අවැත්නි, ශ්‍රමණ ‍භවත් ගෞතම තෙමේ ශ්‍රාවකයන්ට මෙසේ දහම් දෙසයි.  මහණෙනි තෙපි එව්.  

14) සිත කෙලසන, නුවණ දුර්වල කරන පංච නීවරණයන් දුරු කොට මෛත්‍රී සහගත සිතින් එක් දිශාවක් පතුරුවා වාසය කරව්.  එපරිද්දෙන් දෙවැනි දිසාවද, එපරිද්දෙන් තුන්වැනි දිසාවද, එපරිද්දෙන් හතරවැනි දිසාවද පතුරුවා වසව්.  මෙසේ උඩ, යට, අනු දිසා යන සියලු තැන්හි සියලු සත්වයන් තමා මෙන් කොට සිතීමෙන් සියලු ලෝකයා කෙරෙහි මහත් වූ, මහද්ගත වූ, අප්‍රමාණ වූ, අවෛර වූ, ව්‍යාපාද රහිත වූ මෛත්‍රී සහගත සිත පතුරුවා වසව්.  

15) කරුණා සහගත සිතින් එක් දිසාවක් පතුරුවා වාසය කරව්.  එසේම දෙවැනි දිසාවද, එසේම තුන්වැනි දිසාවද, එසේම හතර වැනි දිසාවද පතුරුවා වසව්.  මෙසේ උඩ, යට, අනුදිග, සියලු තැන්හි සියලු සත්ව ලෝකයා කෙරෙහි මහත් වූ, මහද්ගත වූ, අප්‍රමාණ වූ, අවෛර වූ, ව්‍යාපාද රහිත වූ කරුණා සහගත සිත පතුරුවා වසව්.  

16)  මුදිතා සහගත සිතින් සිතින් එක් දිසාවක් පතුරුවා වාසය කරව්.  එසේම දෙවැනි දිසාවද, එසේම තුන්වැනි දිසාවද, එසේම හතර වැනි දිසාවද පතුරුවා වසව්.  මෙසේ උඩ, යට, අනුදිග, සියලු තැන්හි සියලු සත්වයන් තමා මෙන් සිතීමෙන් සියලු සත්ව ලෝකයා කෙරෙහි මහත් වූ, මහද්ගත වූ, අප්‍රමාණ වූ, අවෛර වූ, ව්‍යාපාද රහිත වූ මුදිතා සහගත සිත පතුරුවා වසව්.  

17)  උපේක්ෂා සහගත සිතින් එක් දිසාවක් පතුරුවා වාසය කරව්.  එසේම දෙවැනි දිසාවද, එසේම තුන්වැනි දිසාවද, එසේම හතර වැනි දිසාවද පතුරුවා වසව්.  මෙසේ උඩ, යට, අනුදිග, සියලු තැන්හි සියලු සත්වයන් තමා මෙන් සිතීමෙන් සියලු සත්ව ලෝකයා කෙරෙහි මහත් වූ, මහද්ගත වූ, අප්‍රමාණ වූ, අවෛර වූ, ව්‍යාපාද රහිත වූ උපේක්ෂා සහගත සිත පතුරුවා වසව්.



“ඇවැත්නි, අපිදු ශ්‍රාවකයාණන්ට මෙසේ දහම් දේශනා කරන්නෙමු.  ඇවැත්නි, තෙපි එව්”

පිටුව 87සහ 88


(පිටුව 87)
එබදු අය ගැන උපේක්ෂා වීම හැර බෞද්ධයන්ට කළ හැකි අන් කිසිවක් නැත.  ඒ පිරිස බලයෙන් හිකමවන්ට නීති උපක්‍රම යොදන්නට ගියොත් දාමරික වූ, මන්ද බුද්ධික වූ ඔවුන් පවට ලැජ්ජා නැති හෙයින් ශාසනයට, බොදුනුවන්ට ගරහනු ඇත.  උතුමන්ට ගැරහූ පව් ගෙවන්ට කල්ප ගණනක් අපා දුක් වින්දත් බැරිය.  ඌරන් මරමින් ජීවත් වූ චුන්දසූකර වේළුවනාරාමයට යාබද ඉඩමේ සිටියත් බුදු පියාණන්වහන්සේ අවවාද අනුශාසනා කරන්ට නොවැඩියේත් ඒ නිසාම බව ත්‍රිපිඨකයේ සදහන්ව ඇත.  ‍අපද මේ ආදර්ශය ගෙන බුදු රජාණන් වහන්සේට කරන්ට බැරි වූදේ කරන්ට, තටමන්ට ගොස් අමාරුවේ නොවැටී අපටත්, උන්ටත් වැඩිම යහපතක් වන ලෙස ක්‍රියා කර බෞද්ධයන් ලෙස නිවන් දකින්නට උත්සාහ කල යුතුයි.  ආර්ය මෛත්‍රී භාවනාව පිලිබදව වටිනා විස්තරයක් සංයුක්ත නිකායට අයත් හලිද්ද වසන සූත්‍රය තුල මීට පෙරද කියා ඇත.  පොත දීර්ඝ වූවත් බෞද්ධ මෛත්‍රී භාවනාවේ විශේෂත්වය තේරුම් ගැනීමට එහි සිංහල අර්ථය මෙහි පෙන්වමි. 

  1. මවිසින් මෙසේ අසන ලදී.  එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ කෝලීය ජනපදයේ කෝලීය වංශිකයන්ගේ හලිද්ද වසන නම් නියම් ගමක් වීද එහි වැඩ වාසය කරන සේක.
  2. එකල්හි වනාහි බොහෝ භික්ෂූහූ පෙරවරු කාලයෙහි හැද පොරොවා පා සිවුරු ගෙන හලිද්ද වසන නම් නියම් ගමට පිඩු පිණිස ගියාහුය.  එකල්හි වනාහි ඒ භික්ෂූන්ට මෙබදු සිතක් විය.  හලිද්ද වසනයෙහි පිඩු පිණිස හැසිරීමට තවම උදෑසන වැඩිය අපි අන්‍ය තීර්ථක පිරිවැජියන්ගේ ආරාමය යම් තැනකද එතැන්හි ‍යන්නෙමු නම් යහපති කියාය.  ඉක්බිති අන්‍ය තීර්ථක පරිබ්‍රාජකයන්ගේ ආරාමය යම් තැනකද එතැන්හි ගියාහුය.  ගොස් ඒ අන්‍ය තීර්ථක පරිබ්‍රාජකයන්ගේ සමග සතුටු වූවාහුය.  සතුටු විය යුතුවූ සිහි කටයුතු වූ කථාව කොට නිමාව එකත් පසෙක හුන්නාහුය.  එකත් පසෙක උන් කල්හි ඒ භික්ෂූන්ට ඒ අන්‍ය තීර්ථක පරිබ්‍රාජකයෝ මෙසේ කීහ.  ඇවැත්නි, ශ්‍රමණ ගෞතම තෙමේ ශ්‍රාවකයන්ට මෙසේ දහම් දෙසයි.  මහණෙනි, තෙපි එව්.
  3. සිත කෙලසන, නුවණ දුර්වල කරන පංච නීවරණයන් දුරු කොට මෛත්‍රී සහගත සිතින් එක් දිශාවක් පතුරුවා වාසය කරව්.  


(පිටුව 88)
     එපරිද්දෙන් දෙවැනි දිසාවද, එපරිද්දෙන් තුන්වැනි දිසාවද, එපරිද්දෙන් හතරවැනි දිසාවද පතුරුවා වසව්.  මෙසේ උඩ, යට, අනු දිසා යන සියලු තැන්හි සියලු සත්වයන් තමා මෙන් කොට සිතීමෙන් සියලු ලෝකයා කෙරෙහි මහත් වූ, මහද්ගත වූ, අප්‍රමාණ වූ, අවෛර වූ, ව්‍යාපාද රහිත වූ මෛත්‍රී සහගත සිත පතුරුවා වසව්. 

  1. කරුණා සහගත සිතින් එක් දිසාවක් පතුරුවා වාසය කරව්.  එසේම දෙවැනි දිසාවද, එසේම තුන්වැනි දිසාවද, එසේම හතර වැනි දිසාවද පතුරුවා වසව්.  මෙසේ උඩ, යට, අනුදිග, සියලු තැන්හි සියලු සත්ව ලෝකයා කෙරෙහි මහත් වූ, මහද්ගත වූ, අප්‍රමාණ වූ, අවෛර වූ, ව්‍යාපාද රහිත වූ කරුණා සහගත සිත පතුරුවා වසව්. 
  2. මුදිතා සහගත සිතින් සිතින් එක් දිසාවක් පතුරුවා වාසය කරව්.  එසේම දෙවැනි දිසාවද, එසේම තුන්වැනි දිසාවද, එසේම හතර වැනි දිසාවද පතුරුවා වසව්.  මෙසේ උඩ, යට, අනුදිග, සියලු තැන්හි සියලු සත්වයන් තමා මෙන් සිතීමෙන් සියලු සත්ව ලෝකයා කෙරෙහි මහත් වූ, මහද්ගත වූ, අප්‍රමාණ වූ, අවෛර වූ, ව්‍යාපාද රහිත වූ මුදිතා සහගත සිත පතුරුවා වසව්.
  3. උපේක්ෂා සහගත සිතින් එක් දිසාවක් පතුරුවා වාසය කරව්.  එසේම දෙවැනි දිසාවද, එසේම තුන්වැනි දිසාවද, එසේම හතර වැනි දිසාවද පතුරුවා වසව්.  මෙසේ උඩ, යට, අනුදිග, සියලු තැන්හි සියලු සත්වයන් තමා මෙන් සිතීමෙන් සියලු සත්ව ලෝකයා කෙරෙහි මහත් වූ, මහද්ගත වූ, අප්‍රමාණ වූ, අවෛර වූ, ව්‍යාපාද රහිත වූ උපේක්ෂා සහගත සිත පතුරුවා වසව්.

ඇවැත්නි, අපිදු ශ්‍රාවකයාණන්ට මෙසේ දහම් දේශනා කරන්නෙමු.  ඇවැත්නි, තෙපි එව්

  1. සිත කෙලසන, නුවණ දුර්වල කරන පංච නීවරණයන් දුරු කොට මෛත්‍රී සහගත සිතින් එක් දිශාවක් පතුරුවා වාසය කරව්.  එපරිද්දෙන් දෙවැනි දිසාවද, එපරිද්දෙන් තුන්වැනි දිසාවද, එපරිද්දෙන් හතරවැනි දිසාවද පතුරුවා වසව්.  මෙසේ උඩ, යට, අනු දිසා යන සියලු තැන්හි සියලු සත්වයන් තමා මෙන් කොට සිතීමෙන් සියලු ලෝකයා කෙරෙහි මහත් වූ, මහද්ගත වූ, අප්‍රමාණ වූ, අවෛර වූ, ව්‍යාපාද රහිත වූ මෛත්‍රී සහගත සිත පතුරුවා වසව්. 

පිටුව 85 සහ 86


(පිටුව 85)
පෙර බෞද්ධ කථා වල සාහිත්‍ය කෘති වල නම් එබදු අය ගැන සදහන් වේ.  සාමාවතී දේවියට උණු තෙල් හිස වත් කලත් දැවීමක් නොවීය.  සිසිල් දිය දහරක් සේ ඇග තෙමා ගලා ගියේය.  නාගයන් ලවා දෂ්ඨ කර වන්නට හැදුවද බැරිවිය.  එක්තරා භික්ෂූන් වහන්සේ නමකගේ ගෙලට කඩු පහර දෙන විට කඩු තලය තල් පතක් සේ නැමී ගියේය.  මේවා මෛත්‍රී, ධ්‍යාන, අභිඥා වල ප්‍රතිඵල සේ කියා ඇත.  “මනුස්සානං පියෝ හෝති, අමනුස්සානං පියෝ හෝති ආදී වශයෙන් ආනිසංස එකොළොසක් මෙත් භාවනා බලයෙන් ලැබෙන බව බුද්ධ දේශනාවයි.  පිරුවානා පොත් වහන්සේ බලන විට, දුතිය මෙත්ත සූත්‍රයේ මේ කරුණු එකොළොස පෙන්වා ඇත.  එනම් මනුස්සයන්ට ප්‍රිය වීම, අමනුස්සයන්ට ප්‍රිය වීම, සුවසේ නිදීම, සුවසේ පිබිදීම, නපුරු සිහින නොපෙනීම, දේවතාවන්ගේ ආරක්ෂාව, ගිනි විස ආයුධ වලින් කරදර නොවීම, වහාම චිත්ත සමාධිය පිහිටීම, මුඛ වර්ණ ප්‍රසාද වීම, නොමුලාව කලුරිය කිරීම, අරිහත්වයට පත් නොවූවත් බ්‍රහ්ම ලෝක ගතවීම යන කරුණු එ‍කොළසයි.  මේ ආකාරයෙන් ආනිසංස එකොළොසක් ලබන බව පෙන්වයි.  ලැබූ අය ඇත්නම් උත්තරීතර මනුස්ස ධර්ම කියන්නට හොද නැතැයි නොකියා සිටියත් ඉහත කී ප්‍රතිඵල ලෝකයාට අත් දකින්නට ලැබෙනු ඇත.  එසේ නම් කෝ ප්‍රතිඵල?  පෙළ දහම් පොත් මනා නුවණින් බැලුවා නම් ඒ ඇති වෙනස සක් සුදක් සේ පෙනේ.  ආර්ය මෛත්‍රීය එකකි.  ලෝක සම්මත අන්‍ය ආගමිකයන්ගේ මෛත්‍රීය අනෙකකි.  මෛත්‍රිය නම් මිත්‍රත්තවයයි.  මේ අද මෛත්‍රිය සදහා අර්ථ දී ඇති අයුරුයි.  බුද්ධ දේශනාව අනුව ලෝක සම්මත මෛත්‍රිය සංගනිකා දෝෂ සහිතයි.  ප්‍රඥා වන්තයෝ එය අනුගමනය කරන්නට නොනිසි (අ.නි. සක්ක සක්ක සූත්‍රය, මාරධීතු සූත්‍රය.  බලන්න සංයුක්ත නිකායේ භලිද්ද වසන (මෙත්තා) සූත්‍රයේද ඉතා පැහැදිලිව ආර්ය මෛත්‍රිය විග්‍රහ කර ඇත.  මා විසින් මීට පෙර ලියන ලද ආර්ය මෛත්‍රී භාවනාව  නම් කුඩා පොතෙහි සුදුසු කර්මස්ථානද ගලපා මේ භාවනාව වඩන අයුරු පැහැදිලි කර ඇත. 
විවේක නිශ්‍රිත, විරාග නිශ්‍රිත, නිරෝධ නිශ්‍රිත, වොස්සග්ග පරිනාමී යන සතර කරුණෙන් යුතු මෛත්‍රී සහගත, කරුණා සහගත, මුදිතා සහගත, උපේක්ෂා සහගත, යන ගුණාංගයන‍්ගෙන් යුතු සති, ධම්ම විචය, වීර්ය, ප්‍රීති, පස්සද්ධි, සමාධි, උපේක්ෂා යන බොජ්ඣංග ධර්ම වැඩීමයි ආර්ය මෛත්‍රිය.  


(පිටුව 86)
පාප විපාක ගෙවන ලෝසතුන්ගේ එම කර්ම විපාක දැක කම්පා වෙමින් ඒ සතුන්ට ඇලුම් කරමින් ඒ කර්ම විපාකයන් ගෙවමින් ඒ භව වල සතුටින් හිදීමට සලස්වන්නට කරන උත්සහය සංගනිකා දෝෂ සහිත ලෝක සම්මත මෛත්‍රියයි.  සතුන් කෙරෙහි බැදෙන ඇල්ම රාග නිශ්‍රිතය.  විරාග නිශ්‍රිත නොවේ.  අවිවේකීය.  විවේක නිශ්‍රිත නොවේ.  අසහනකාරීය.  බොහෝ කටයුතු සහිතය.  ලොවට ඇලී බැදී කෙරෙන පැවැත්මක පටලවා තබන බැවින් නිරෝධ නිශ්‍රිතද නොවේ.  සැම විටම ලෝ සතුන් කෙරෙහි මිත්‍ර බැදීමකින් බැදෙන බැවින් සංසර්ග පරිණාමීය.  වොස්සග්ග පරිණාමී නොවේ.  මේ මෛත්‍රී ක්‍රමය හින්දු ආගමික බලපෑමෙන් අපට උරුම වූවකි.  බුදු සසුනෙන් බැහැර වූවෙකි. නිවන ප්‍රත්‍යක්ෂ කර භව දුක කෙළවර කරන්ට පරමාර්ථය කරගත් බෞද්ධයා තමාද නිවන් සුවයට කටයුතු කර ගනිමින් අන්‍ය සියලු ලෝකයාටද ඒ සත්‍ය නිවන් මගත් නිවන් ඵලයත් අන්‍යයෝත් ලබත් නම් ඔවුන්ද අනන්ත සසර දුකින් මිදෙනු ඇතැයි මෙසේ වැටහුන නුවණින් ඊට තමාට කළ හැකි සියලු කාය කර්ම, වචී කර්ම, ම‍නෝ කර්ම කරන්නේද මෙයමයි ආර්ය මෛත්‍රිය.   මෛත්‍රිය නම් මෙසේ යැයි කීවාට කිසි විටෙකත් සත්ව හිංසාවට ඉඩ සැපයීමක් මෙයින් නොකියවේ.  හිංසා නොකිරීම එකකි.  මිනිසෙකුව ඉපිද නින්දිත තිරිසන් වැඩ කර ඒ පව් ගෙවන්ට තිරිසන්ව දුක් විදින සතුන්ගේ දුක් විපාක වලට කම්පා වෙමින් ඒවායෙන් බේරෙන්ට යන්ත දරමින් ඒ මත හැපීම අනෙකකි.  අප කල යුත්තේ ඒ විද්‍යාමාන පාපකර්ම විපාක වල හැටි දැන හැදින අන් අයටත්, එබදු දුකට වැටෙන්නේ අනුකූලවූ මෙබදු පව් කම් කල අයයි කියා හේතු ඵල පෙන්වාදී දහම් වටහා ගන්ට ඉන්න පිරිසට කියා දීමයි.  එවිට දැනට තිරිසන් වැඩ කරමින්. අසාධාරණ කරමින් අන්ධව, බාලව සිටින පිරිස අතර මොළේ කළදක් ඇති කෙනෙක් සිටියත් පාප මග අත හැර හරි මගට පිවිසෙනු ඇත.  හේතු වාසනා ඇති සුදුස්සෝ සියලු තිරිසන් කටයුතු, පාප කටයුතු අතහැර නිවන් දකිනු ඇත.  සුචරිතව ඉතිරි කොටසක් සුගති ගත වන පින්, දම් කරනු ඇත.  තවත් කොටසක් පාප විපාකය බය වී පව් නොකර සිටිනු ඇත.  මොලේ කලදක් නැති පිරිස වුවද සූකර නම් ඌරු වැද්දා මෙන් පව් කර සිට අපාගත වනු ඇත. 

Jun 16, 2010

පිටුව 83 සහ 84


(පිටුව 83)
බුදු පියාණන් වහන්සේ ලොව පහළ වූ කාලයේ මාන්නක්කාර බමුණන් බොහෝ වූහ.  උච්ච මානි බමුණෝ තමා උසස් කොට තකති.  අන්‍යයෝ පහත් කොට තකති.  බමුණු කුලය අතර වයසින් වැඩිහිටියන, වයසින් අඩු අයට වඩා උසස් කො‍ට තකති.  අන්‍යයන් පහත් කොට තකති.  උච්ච මානි වෙති.  සම වයසේ අන්‍ය බමුණන් සම කොට තකති.  දේශකයන් දේශකයන් සමගද, දානපතියන් දානපතියන් සමගද, බ්‍රාහ්මණයන් බ්‍රාහ්මණයන් සමගද පිටතින් පෙනෙන ඉරියව් බලා සම කොට තකති.  මෙසේ සදිස මානී වෙති. 
එදා සමහර බමු‍ණෝ අපිත් දේශකයෝය.  භවත් ගෞතමයන් අප මෙන් දේශකයෙකියි මෙසේ ‍සම කොට සිතූහ.  බුදු පියාණන්වහන්සේ හා සම කල හැකි කිසිවෙක් තුන් ලොවම නැති බවටත් සම කළ හැකි නම් එබදුම තවත් බුදු පිය වරයෙක් සමග පමණක් බවත් බමුණෝ නොදනිති.  මෙබන්දන්ගේ මුලාව දුරු කළවිටයි අනතිමානීව දහම් අවබෝධය ලබන්නේ.  ලොව්තුරා බුදුවරු මෙබදු ගුණ නවයකින් යුක්ත යැයිද ඒ ගුණ සිතා කෙළවර කළ නොහැකි යැයිද ඒ ගුණස්කන්ධය සම්පූර්ණ වශයෙන් මහා ඤාණයට ගෝචර වන්නේද උන්වහන්සේලාට පමණක් යැයිද බුදු පියාණන් වහන්සේ දේශනා කර වදාලහ. 
උන්වහන්සේලා කී දෙයක් බොරු නොවන බවත් බොරු කරන්ට සමතෙක් ලොව දකින්ට නැති නිසාත් උන්වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාව හෙවත් විශ්වාසය ඇතිවෙන්ට ප්‍රධාන හේතුව වේ.  උන්වහන්සේ කෙරෙහිම විශ්වාසය තබා උන්වහන්සේ තම ශ්‍රී බුද්ධ භාෂිතයෙන් දෙසූ ඒ ගුණ නවය හේතු සාධක සහිත විශ්වාසයෙන් හෙවත් ශ්‍රද්ධාවෙන් භාවිත කළ යුතුය.  සියල්ල දැන භාවිත කරන්නන් සේ මුලා අදහස් නොගෙන උත්තමාර්ථයෙහි පිහිටා භාවිත කිරීම උසස් අර්ථ ඇති කරවන බව දැන ගත යුතුය.  නවගුණ පාඨය කර්මස්ථානයක් ලෙස මෙන්ම බුදුගුණ වන්දනාවටද මෙකල භාවිත කරනු ඇත.  ගාථාවේ මුලම වරදවා නැත්දැයි විමසා බැලිය යුතුය.  ඉතිපි - සෝ භගවා යනුවෙන් නිවැරදි ලෙස භාවිත කල යුතු වුවත් මෙකල භාවිත කරන්නේ ඉතිපිසෝ - භගවා යනුවෙනි.  කියන්නේද ඉතිපිසෝ ගාථාව කියාය.  

(පිටුව 84)
බෙනේ - කනයෙක් යන්න‍ බෙන්ක - නයෙක් කියා භාවිත කළොත් අර්ථය කෙතෙක් වෙනස් වී ඇත්දැයි සිතිය යුතුය. 
ඉතිපි - සෝ භගවා යනු භාෂා නිරුක්තිය පරිදි අර්ථ දෙන්නේ මේ මේ අයුරින් ඒ භාග්‍යවතුන් වහන්සේ යනුවෙනි.
නිරුක්ති නුවණට ගෝචර අදහසක් මෙහිදී පෙන්වමි.  ඉතිපි යන පදය ඉෂ්ඨ වූ, ප්‍රිය වූ යන අරුත මෙහිදී පෙන්වයි.  ඉතිපි සෝ භගවා යනු ඉෂ්ට වූ, ප්‍රිය වූ ඒ භාග්‍යවතුන්වහන්සේ යන අරුත මතු කරනු ඇත.  ඉති‍පිසෝ - භගවා යනුවෙන් ශබ්ද කරන විට ඉෂ්ටත්වය පිසදැමූ ඒ භාග්‍යවතුන් වහන්සේ කියා අදහසක් ‍මතුවේ.  මෙසේ වුවොත් වන්නේ ගුණය වෙනුවට ශාපයකි.  වෙනස දැනගැනීමට කැමති පින්වතුන් මෙසේ කර්මස්ථානයක් ලෙස පහත සදහන් පරිදි පද වෙන් කරමින් ගයා ප්‍රගුණ කරගෙන වඩා බලා වෙනස අත් දැක ගන්න. 
ඉතිපි - සෝ භගවා - අරහං - සම්මා සම්බුද්ධෝ - විජ්ජා චරණ සම්පන්නෝ - සුගතෝ - ලෝකවිදු - අනුත්තරෝ පුරිස ධම්ම සාරතී - සත්ථා දේව මනුස්සානං - බුද්ධෝ- භගවාතී.
මෙසේ පද වෙන්කර සිහි කරන විට බුදු ගුණ ශාන්තිය තම සිරුර සැහැල්ලු කරමින් සමවතට පත්කරන අයුරු අත්දකිනු ඇත.  මෙසේ බුද්ධානුස්සති භාවනාව දෙයාකාරයෙන්ම කළ යුතුයි.  විශ්වාසයෙන් ඇදහීමත් චරිත ශෝධනයට ඉවහල් කර ගැනීමත් යන දෙයාකාරයෙනි. 
මෙබදුම තවත් වැදගත් භාවනාවකි මෙත්තානුස්සතිය.
මීළගට මෙත්තානුස්සතියද තේරුම් ගත යුතුය.  පෙ‍ර කල සිව් පිළිසිඹියාපත් මහරහතන් වහන්සේලා හෙළ බසින් දුන් අටුවා අද දක්නට නැත.  හින්දු ආගමික බලපෑම් බුද්ධ ශාසනයට එකතු වූ පෙර කලෙක,  එම ප්‍රතිපත්ති අර්ථයන් බෞද්ධ අර්ථ කථා වලට සම්බන්ධ කිරීම, මේ භාවනා වලින් ආර්ය ප්‍රතිඵල අහෝසි වීමට ප්‍රධාන හේතුව විය.  එම හින්දු ආගමික අර්ථ ගෙන පෙළ දහම් පද කෙතෙක් භාවිත කළත් මෙකළ වසර පනහක් ඒ භාවනාව අනුගමනය කරන පින්වතුන් තවමත් සිටින්නේ එම වාක්‍ය සජ්ඣායනා තුළ පමණය.  මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ෂා සමාපත්ති ලැබූ අය පිළිබදව මෙකල අසන්නටවත් නැත. 

පිටුව 81 සහ 82

(පිටුව 81)
එබැවින් මේ එක ගුණස්කන්ධයක් මහා සමුද්‍රයට උපමා කල නොහැකිය.  ඊට හේතුව සමුද්‍රයේ ජල කද ද සීමා සහිත බැවිනි.  කිව හැකි එකම උපමාව අනන්ත අවකාශය මෙනි යන්නයි.  අවකාශය කොතෙක් අනන්ත වුවත් අප මේ සිටින්නේද ඒ අනන්ත අවකාශයට අයත් ප්‍රදේශකමය.  අපගේ පැවැත්මේ කටයුතු කර ගන්ට ඒ ප්‍රදේශය හොදටම සෑහේ.  ඒ ඉඩ ප්‍රමාණය නිදහස්ව ඇත්නම් අපගේ කටයුතු වලට කිසි බාධාවක්ද නැත.  එහෙත් ඒ ඉඩ ප්‍රමාණය අනන්ත අවකාශයෙන් මෙතෙකින් මෙපමණකැයි උපමා කර කීමටද බැරිය. 
සූවිසි අනන්ත ගුණද මෙසේ තේරුම් ගත යුතුය.  නිවන් ප්‍රත්‍යක්ෂ කිරීම අපේ පරමාර්ථය බැවින් ඒ සදහා සෑහෙන කොටස වැටහ‍ුනොත් අපට සෑහේ.  යම් අනුබෝධයකින්, අවබෝධයකින්, ප්‍රත්‍යක්ෂකින් රාග ක්ෂය වේද, ද්වේශ ක්ෂය වේද, මෝහ ක්ෂය වේද, ඒ ප්‍රමාණය අපට සෑහෙන බව දැන වටහා ගත් ප්‍රමාණය අනුව අ‍පගේ පිළිවෙත හැඩ ගස්වා නිවන් මග පූර්ණය කර ගන්ට උත්සාහ කල යුතුයි.
රහසින්වත් පව් නොකරන හෙයින්ද, වාසනා සහිත කෙලෙස් දුරු කල හෙයින්ද, පූජාවට සුදුසු වූ හෙයින්ද අරහං නම් වේ ආදී වශයෙන් මෙතෙකින් අරහං නම් වේ යැයි කියා සියලු ගුණස්කන්ධය සියලු ආකාරයෙන් දන්නාසේ තීරණ ගන්ට අපට හැකිද?
උපමාවක් සාමාන්‍ය වශයෙන් හෝ කරුණු තේරුම් ගන්ට කියනවා නම් මෙසේයි.
ඉන්ජිනේරු මහතෙකුට අවුරුදු 3 පමණ කුඩා දරුවෙකු සිටී.  ඉන්ජිනේරු විද්‍යාව පිලිබදව ලොව පිලිගත් රාජ්‍ය ආයතනයක ගෞරව උපාධියක් දරා සිටින ඔහුගේ පියාගේ නිර්මාණ හැකියාවෙන් තට්ටු විසි හතරක මන්දිරයක් ගොඩනගා රාජ්‍ය ප්‍රශංසා සහිතව මහා ඉන්ජිනේරු නමින් ඨානාන්තරයක් ලැබීය.  ඒ ඨානාන්තරය ලැබුනේ කෙසේදැයි දැන්වීමට හේතු එම නිවසේ කථා විය.  ඉන්ජිනේරු විභාගයෙන් ගෞරව උපාධි ලබා සූවිසි මහල් ප්‍රාසාදය නිරුපද්‍රිතව ඉතා යහපත් සේ ගෙඩනාගා දුන් නිසා මහා ඉංජිනේරු යන ඨානාන්තරය හිමි වූ බව ගෙදර පිරිස කියනු අර කුඩා දරුවාට අසන්නට ලැබුණි.  

(පිටුව 82)
දරුවාද නිවසට එන අයට මෙසේ කියති.  මගේ පියා දැන් මහ ඉන්ජිනේරු කෙනෙකි.  ඉංජිනේරු විභාගයෙන් ගෞරව උපාධි ලබා සූවිසි මහල් ප්‍රසාදය හදල දුන් නිසයි එහෙම කියන්නේ  දරුවා මෙය කීවේ කුමක් දැන ගෙනද?  කිව් කථාව ඇත්ත වුවත් දරුවා කීවේ දැනුවත්වද?  නැත්නම් දරුකම, බාලකම නිසාද?  මේ වචනය කෙනෙක් භාවිත කළත් දරුවා අර්ථයෙන් දැනුවත් වෙයිද?
මේ අයුරින් මෙතෙකින් අරහං වේ.  මෙතෙකින් සම්ම සම්බුද්ධ වේ කියමින් ගුණ කීවාට අර්ථවත් බව කරා කොතෙක් දුරට පිය නගයිද සිතා බැලිය යුතුයි.  බුදු පියාණන් වහන්සේ මෙසේ දේශනා කර ඇත.  මහණෙනි, ආර්ය ශ්‍රාවක නොවූ ( මගඵල නොලත්) අන්‍යයෙක් බුදු ගුණ කියනවා නම් උන්වහන්සේ දස අකුසල ක්‍රියා නොකරන කෙනෙක් බව පෙනේ.  අසංවර ලෙස කරන ක්‍රියා පිලිවෙතක් නොපෙනේ. මීට වඩා ගැඹුරු යමක් කියන්ට නොදනී.  දීඝ නිකායේ මේ විස්තරය දීර්ඝව කර ඇත.  මෙහි පෙන්නුවේ ඒ පිලිබදව කෙටි දැනුම් දීමක් පමණි.
බුද්ධානුස්සති භාවනාව
ආර්ය ශ්‍රාවකත්වයට අවතීර්ණ වන්ට බලාපොරොත්තු වන පින්වතෙක් බුද්ධානුස්සතිය වඩනවා නම් මේ බුද්ධ චරිත ලක්ෂණ ආධාර කරගෙන තමා දැනුවත් දේ තුළින් අර්ථය වටහා ගෙන බුදුන් වහන්සේ කිසි විටකත් ප්‍රාණඝාත, සත්ව හිංසා නොකරන සේක.  ‍ මමද උන්වහන්සේගේ දරු බවට, පුතු බවට පත්වෙන්නට කටයුතු කරන කෙනෙක්මි.  උන්වහන්සේ මාගේ පිය ලෙස, රජ ලෙස ‍නිසැක සිතින් අදහමි.  මමද ඒ උතුම් ගුණය අනුගමනය කරමි.  ප්‍රාණඝාත නොකරමි.  සත්ව හිංසා නොකරමි. 
මේ ආකාරයෙන් බුදු පියාණන්වහන්සේ ශාස්තෘ කොට තබා ගෙන චරිත ශෝධනය කර ගත යුතුය.  දස අකුසලය ගැනම මෙසේ සාක්ෂි කර ගෙන පිහිටමින් වෙන් විය යුතුය.  උන්වහන්සේ ගුරු කර, පිය කර, ශාස්තෘ කර සිහි කරමින් චරිත ‍‍ශෝධනය කරන විට එයම මහා ආධාරකයක් වේ.  බිය, තැති ගැනුම්, අධෛර්ය කිසිවිටකත් ඇති නොවේ.  බුදු පියාණන්වහන්සේගේ අප්‍රමාණ ආශිර්වාදය ආරක්ෂක වළල්ලක් සේ තමා වටා පිහිටනවා ඇත.  එ‍සේ නම් අප නව මහා බුදු ගුණ ගාථාව භාවිත නොකළ යුතුද?  නැත.  භාවිත කල යුතුමය.  එය කරුණු දැන කළ යුතුමය. 

Jun 2, 2010

පිටුව 79 සහ 80

(පිටුව 79)
උත්තම දමනය නම් තමාගේ සංසාර ගමනට හේතුවන අවිද්‍යා සහගත, තෘෂ්ණා සහගත, අසංවර පාපී සියලු වැඩ පිලිවෙල දමනය කිරීමයි.  අත් දැකීම්ද සහිත ඒ දමනය ඒසේම සිදු කල අරිහතුන් වහන්සේ අන්‍යයෝද ඒ උතුම් දමනයෙහි යෙදවීමට සුදුසු නියමුවෝ වෙති.  උන්වහන්සේලා ඒ ගුණයටද ඇතුළු වූ පිරිසට අයත් වෙයි.  අනුත්තර වූ උතුම් දමනයෙහි හසුරුවන බැවින් අනුත්තර පුරිස ධම්ම සාරථි නම් ගුණය තුළ සිටී.
05) ලෝකවිදූ ගුණය
එසේම උන්වහන්සේලා ලෝකය විනිවිද දකින, ලෝකයේ ඇති තතු දකින ගුණයට ඇතුළු වී ඇත.  ලෝකය පිළිබද දැකිය යුතු වූ අවශ්‍යම වූ විද්‍යාව චතුරාර්ය සත්‍යයෙන් පූර්ණ කර ගෙන ඇති බැවින් ලෝක විදු ගුණයටද ඇතුළත් වේ.
04) සුගත ගුණය
නිවන නම් වූ යහපතට ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් ගමන් කොට පිහිටිය යුතු නිර්වාණ ශාන්තියේ පිහිටා ඇති බැවින් සුගත නම් මහා ගුණයටද ඇතුළත්ය.
03) විජ්ජා චරණ සම්පන්න ගුණය
චතුරාර්ය සත්‍යය මනාසේ දකින විද්‍යාවත්. අසංවර පාප චේතනා සියල්ල දුරු වීමෙන් ලැබිය යුතු සංවරයත් උන්වහන්සේලාට ඇත.  මෙසේ විජ්ජා චරණ සම්පන්න ගුණයටද උන්වහන්සේලා ඇතුළත්ය.
02) සම්මා සම්බුද්ධ ගුණය
මෙහි පද බෙදා නිරුක්තිය මතු කල යුතුයි.  සං යනු අවිද්‍යා, තෘෂ්ණා හේතුවෙන් වූ එකතුවයි.  මා යනු මිදීමයි.  යනු භවයයි.  උද්ධ යනු උදුරා හැරීමයි.  අවිද්‍යා, තෘෂ්ණා එකතුවෙන් මිදී අවිද්‍යා, තෘෂ්ණා නිසා වන භවය උදුරා හළ උතුමෝ සම්ම සම්බුද්ධ ගුණයට අතුළු වූවෝ වෙති.
01) අරහං ගුණය
මීලගට ඇත්තේ අරහං ගුණයයි.  සසර ගමනේ අර සිද දැමූ හෙයින් අරිහතුන් වහන්සේ අරහං ගුණයට ඇතුළු වී ඇත.  
(පිටුව 80)
මෙසේ නව මහා ගුණ තුලට ඇතුලු වී සිටින උන්වහන්සේ සූවිසි මහා ගුණ ස්කන්ධයට ඇතුලත්ව ලෝක ශාන්තියද සිදු කර එම අන්තිම දේහ ධාරීව කෙළවර පිරිනිවන් පා සියලු දුකින් මිදෙන සේක.
මේ අනන්ත වූ සූවිසි මහා ගුණස්කන්ධයෙන් පරිපූර්ණ වූවෝ නම් ලොව්තුරා බුදු පියාණන් වහන්සේලාය.  ශ්‍රාවකයාණන් වහන්සේලා එම ගුණස්කන්ධයට ඇතුලත් වූහ.  මෙසේ සූවිසි ගුණස්කන්ධයන් තුලින් පසුතලය නිර්මාණය කර ගනිමින් යන ආර්ය මාර්ගය තුල ගුණයෙන් ගුණයට ඇතුලු වන ආකාරය පෙන්වූ තැන වැරදි වැටහීමක් ඇති නොවීමට මෙසේද තේරුම් ගත යුතුයි.  සූවිසි ගුණයට ක්‍රමයෙන් ඇතුලු වන මොහොතක් පාසාම අනුක්‍රමයෙන් ඉතිරි සියලු ගුණ පිලිබදවද සුලු දැනීම් මාත්‍ර පහළ වේ.  එකින් එක ගුණය පිලිබදව දැනීම, වැටහීම එක් කරුණකි.  අත් දැකීම ලැබීම, ගුණයට පිවිසීම සමග සිදුවන්නකි.  විදර්ශනා ඤාණයට ගෝචර වන මේ සියලු ගුණ වල යථාර්ථවත් වැටහීම ලැබෙන්නේ අනුබෝධ ඤාණ, අවබෝධ ඤාණ, ප්‍රත්‍යක්ෂ ඤාණ යන 3 අකාරයකට ක්‍රමානුකූලවයි.  අනුබෝධ ඤාන කීවේ අනුමාන වශයෙන් වන වැටහීමයි.  අවබෝධ ඤාණය ඊට වඩා පුළුල් ලෙස වැටහීමකි.   ප්‍රත්‍යක්ෂ ඤාණය අත්දැකීම් සහිත වැටහීමකි.  24 වැනි ගුණය පිලිබද ප්‍රත්‍යක්ෂ හෙවත් අත් දැකීම් සහිතව ප්‍රතිඵල සහිතව වැටහීමේදී ඉන් ඉතිරි ගුණ පිලිබදව අනුක්‍රමයෙන් අවබෝධ ඤාණයට ගෝචරව වැටහී ඇත.  ඊට සියුම් කොටස අනුබෝධ ඤාණයට ගෝචර කොටස් අවබෝධ ඤාණයට ගෝචර වේ.  අනුබෝධ ඤාණයට ගෝචර කොටස් අවබෝධ ඤාණයට ගෝචර වේ.  මෙසේ විදර්ශනා ප්‍රඥාව වැඩී අරිහත්වයට පත් වන විට සූවිසි ගුණස්කන්ධ පිලිබදව ශ්‍රාවක ගෝචර ඤාණයට යම් තරමක් ගෝචර වේද ඒ සියල්ල ප්‍රත්‍යක්ෂ  ඤාණයට ගෝචරව ඇත.  ඒ අරිහත් ඵලය සදහා අවශ්‍ය වන ගුණස්කන්ධයෝය.  ත්‍රිවිද්‍ය ලාභි, අභිඥා ලාභී, සිව් පිළිසිඹියා පත්, මහා ශ්‍රාවක, අග්‍ර ශ්‍රාවක ආදී විශේෂ ඤාණ ඇති අයට අනුක්‍රමයෙන් අවබෝධ, අනුබෝධ ඤාණ ගුණ වලට ගෝචර වේ.
සර්වාකාරයෙන් සම්පූර්ණව මේ මහා ගුණස්කන්ධය පිලිබදව දැනීම් පූර්ණ වන්නේ ලොව්තු‍රා බුද්ධ ගුණයටයි.  මේ සෑම ගුණස්කන්ධයක්ම අනන්ත බැවින්, අප්‍රමාණ බැවින් බුදු පියාණන් වහන්සේ නමක් අන් සියලු දේශනා අත් හැර මේ ගුණයක්ම විස්තර කළා නම් උන්වහන්සේගේ ආයු කාලය ගෙවී ගියත් ඒ ගුණය කෙලවරට දේශනා කර අවසන් කල නොහැකි බව දේශනා කර ඇත.