මෙම බ්ලොග් අඩවිය පිළිබඳව

සම්මා සම්බුදු පියාණන්වහන්සේ වදාළ සත්‍ය වූ බුද්ධ ධර්මය කාලයත් සමග සැගවෙන්නට ඇති ඉඩකඩ වැඩිය. එය ‍එසේ වූ නිසාම ශතවර්ෂ ගණනකින් මාර්ගඵල ලාභීන් බිහි වූ බවක් අසන්නට නොලැබිණි... එහෙත් මග ඵල ලැබ ගෞතම බුදු පියාණන් විවර කල නිවන් දොරටුවෙන් මාර්ගයට පිවිස ඵල ලැබී සැනසීමට නියම වූ ඇත්තන් තවමත් සිටින හෙයින් ඔවුන් සදහා උපකාරයක් වීමට නියම කළ්‍යණ මිතුරාගේ පැමිණීම සිදුවී ඇත. ඒ සැඟවුනු මාවත යලි විවර කරමින්, සැඟවුනු දහම් අරුත් මතු කරමින් සසර දුකින් පෙළෙන ඔබටත් මටත් අනන්ත සසර දුක් සයුරෙන් එතෙර වීමේ ප්‍රයෝගික මග හෙලි කරන අභිඥාලාභී පූජ්‍යපාද වහරක අභයරතනාලංකාර ස්වාමීන් වහන්සේගේ ධර්මානුශාසනා ඇසුරෙන් පලවූ "සැගවුණු බොදු මග කල එලි දකී" යන පොත ඇසුරෙන් මෙසේ සටහන් තබමි!

Jun 16, 2010

පිටුව 81 සහ 82

(පිටුව 81)
එබැවින් මේ එක ගුණස්කන්ධයක් මහා සමුද්‍රයට උපමා කල නොහැකිය.  ඊට හේතුව සමුද්‍රයේ ජල කද ද සීමා සහිත බැවිනි.  කිව හැකි එකම උපමාව අනන්ත අවකාශය මෙනි යන්නයි.  අවකාශය කොතෙක් අනන්ත වුවත් අප මේ සිටින්නේද ඒ අනන්ත අවකාශයට අයත් ප්‍රදේශකමය.  අපගේ පැවැත්මේ කටයුතු කර ගන්ට ඒ ප්‍රදේශය හොදටම සෑහේ.  ඒ ඉඩ ප්‍රමාණය නිදහස්ව ඇත්නම් අපගේ කටයුතු වලට කිසි බාධාවක්ද නැත.  එහෙත් ඒ ඉඩ ප්‍රමාණය අනන්ත අවකාශයෙන් මෙතෙකින් මෙපමණකැයි උපමා කර කීමටද බැරිය. 
සූවිසි අනන්ත ගුණද මෙසේ තේරුම් ගත යුතුය.  නිවන් ප්‍රත්‍යක්ෂ කිරීම අපේ පරමාර්ථය බැවින් ඒ සදහා සෑහෙන කොටස වැටහ‍ුනොත් අපට සෑහේ.  යම් අනුබෝධයකින්, අවබෝධයකින්, ප්‍රත්‍යක්ෂකින් රාග ක්ෂය වේද, ද්වේශ ක්ෂය වේද, මෝහ ක්ෂය වේද, ඒ ප්‍රමාණය අපට සෑහෙන බව දැන වටහා ගත් ප්‍රමාණය අනුව අ‍පගේ පිළිවෙත හැඩ ගස්වා නිවන් මග පූර්ණය කර ගන්ට උත්සාහ කල යුතුයි.
රහසින්වත් පව් නොකරන හෙයින්ද, වාසනා සහිත කෙලෙස් දුරු කල හෙයින්ද, පූජාවට සුදුසු වූ හෙයින්ද අරහං නම් වේ ආදී වශයෙන් මෙතෙකින් අරහං නම් වේ යැයි කියා සියලු ගුණස්කන්ධය සියලු ආකාරයෙන් දන්නාසේ තීරණ ගන්ට අපට හැකිද?
උපමාවක් සාමාන්‍ය වශයෙන් හෝ කරුණු තේරුම් ගන්ට කියනවා නම් මෙසේයි.
ඉන්ජිනේරු මහතෙකුට අවුරුදු 3 පමණ කුඩා දරුවෙකු සිටී.  ඉන්ජිනේරු විද්‍යාව පිලිබදව ලොව පිලිගත් රාජ්‍ය ආයතනයක ගෞරව උපාධියක් දරා සිටින ඔහුගේ පියාගේ නිර්මාණ හැකියාවෙන් තට්ටු විසි හතරක මන්දිරයක් ගොඩනගා රාජ්‍ය ප්‍රශංසා සහිතව මහා ඉන්ජිනේරු නමින් ඨානාන්තරයක් ලැබීය.  ඒ ඨානාන්තරය ලැබුනේ කෙසේදැයි දැන්වීමට හේතු එම නිවසේ කථා විය.  ඉන්ජිනේරු විභාගයෙන් ගෞරව උපාධි ලබා සූවිසි මහල් ප්‍රාසාදය නිරුපද්‍රිතව ඉතා යහපත් සේ ගෙඩනාගා දුන් නිසා මහා ඉංජිනේරු යන ඨානාන්තරය හිමි වූ බව ගෙදර පිරිස කියනු අර කුඩා දරුවාට අසන්නට ලැබුණි.  

(පිටුව 82)
දරුවාද නිවසට එන අයට මෙසේ කියති.  මගේ පියා දැන් මහ ඉන්ජිනේරු කෙනෙකි.  ඉංජිනේරු විභාගයෙන් ගෞරව උපාධි ලබා සූවිසි මහල් ප්‍රසාදය හදල දුන් නිසයි එහෙම කියන්නේ  දරුවා මෙය කීවේ කුමක් දැන ගෙනද?  කිව් කථාව ඇත්ත වුවත් දරුවා කීවේ දැනුවත්වද?  නැත්නම් දරුකම, බාලකම නිසාද?  මේ වචනය කෙනෙක් භාවිත කළත් දරුවා අර්ථයෙන් දැනුවත් වෙයිද?
මේ අයුරින් මෙතෙකින් අරහං වේ.  මෙතෙකින් සම්ම සම්බුද්ධ වේ කියමින් ගුණ කීවාට අර්ථවත් බව කරා කොතෙක් දුරට පිය නගයිද සිතා බැලිය යුතුයි.  බුදු පියාණන් වහන්සේ මෙසේ දේශනා කර ඇත.  මහණෙනි, ආර්ය ශ්‍රාවක නොවූ ( මගඵල නොලත්) අන්‍යයෙක් බුදු ගුණ කියනවා නම් උන්වහන්සේ දස අකුසල ක්‍රියා නොකරන කෙනෙක් බව පෙනේ.  අසංවර ලෙස කරන ක්‍රියා පිලිවෙතක් නොපෙනේ. මීට වඩා ගැඹුරු යමක් කියන්ට නොදනී.  දීඝ නිකායේ මේ විස්තරය දීර්ඝව කර ඇත.  මෙහි පෙන්නුවේ ඒ පිලිබදව කෙටි දැනුම් දීමක් පමණි.
බුද්ධානුස්සති භාවනාව
ආර්ය ශ්‍රාවකත්වයට අවතීර්ණ වන්ට බලාපොරොත්තු වන පින්වතෙක් බුද්ධානුස්සතිය වඩනවා නම් මේ බුද්ධ චරිත ලක්ෂණ ආධාර කරගෙන තමා දැනුවත් දේ තුළින් අර්ථය වටහා ගෙන බුදුන් වහන්සේ කිසි විටකත් ප්‍රාණඝාත, සත්ව හිංසා නොකරන සේක.  ‍ මමද උන්වහන්සේගේ දරු බවට, පුතු බවට පත්වෙන්නට කටයුතු කරන කෙනෙක්මි.  උන්වහන්සේ මාගේ පිය ලෙස, රජ ලෙස ‍නිසැක සිතින් අදහමි.  මමද ඒ උතුම් ගුණය අනුගමනය කරමි.  ප්‍රාණඝාත නොකරමි.  සත්ව හිංසා නොකරමි. 
මේ ආකාරයෙන් බුදු පියාණන්වහන්සේ ශාස්තෘ කොට තබා ගෙන චරිත ශෝධනය කර ගත යුතුය.  දස අකුසලය ගැනම මෙසේ සාක්ෂි කර ගෙන පිහිටමින් වෙන් විය යුතුය.  උන්වහන්සේ ගුරු කර, පිය කර, ශාස්තෘ කර සිහි කරමින් චරිත ‍‍ශෝධනය කරන විට එයම මහා ආධාරකයක් වේ.  බිය, තැති ගැනුම්, අධෛර්ය කිසිවිටකත් ඇති නොවේ.  බුදු පියාණන්වහන්සේගේ අප්‍රමාණ ආශිර්වාදය ආරක්ෂක වළල්ලක් සේ තමා වටා පිහිටනවා ඇත.  එ‍සේ නම් අප නව මහා බුදු ගුණ ගාථාව භාවිත නොකළ යුතුද?  නැත.  භාවිත කල යුතුමය.  එය කරුණු දැන කළ යුතුමය. 

0 comments: