මෙම බ්ලොග් අඩවිය පිළිබඳව

සම්මා සම්බුදු පියාණන්වහන්සේ වදාළ සත්‍ය වූ බුද්ධ ධර්මය කාලයත් සමග සැගවෙන්නට ඇති ඉඩකඩ වැඩිය. එය ‍එසේ වූ නිසාම ශතවර්ෂ ගණනකින් මාර්ගඵල ලාභීන් බිහි වූ බවක් අසන්නට නොලැබිණි... එහෙත් මග ඵල ලැබ ගෞතම බුදු පියාණන් විවර කල නිවන් දොරටුවෙන් මාර්ගයට පිවිස ඵල ලැබී සැනසීමට නියම වූ ඇත්තන් තවමත් සිටින හෙයින් ඔවුන් සදහා උපකාරයක් වීමට නියම කළ්‍යණ මිතුරාගේ පැමිණීම සිදුවී ඇත. ඒ සැඟවුනු මාවත යලි විවර කරමින්, සැඟවුනු දහම් අරුත් මතු කරමින් සසර දුකින් පෙළෙන ඔබටත් මටත් අනන්ත සසර දුක් සයුරෙන් එතෙර වීමේ ප්‍රයෝගික මග හෙලි කරන අභිඥාලාභී පූජ්‍යපාද වහරක අභයරතනාලංකාර ස්වාමීන් වහන්සේගේ ධර්මානුශාසනා ඇසුරෙන් පලවූ "සැගවුණු බොදු මග කල එලි දකී" යන පොත ඇසුරෙන් මෙසේ සටහන් තබමි!

Jun 16, 2010

පිටුව 83 සහ 84


(පිටුව 83)
බුදු පියාණන් වහන්සේ ලොව පහළ වූ කාලයේ මාන්නක්කාර බමුණන් බොහෝ වූහ.  උච්ච මානි බමුණෝ තමා උසස් කොට තකති.  අන්‍යයෝ පහත් කොට තකති.  බමුණු කුලය අතර වයසින් වැඩිහිටියන, වයසින් අඩු අයට වඩා උසස් කො‍ට තකති.  අන්‍යයන් පහත් කොට තකති.  උච්ච මානි වෙති.  සම වයසේ අන්‍ය බමුණන් සම කොට තකති.  දේශකයන් දේශකයන් සමගද, දානපතියන් දානපතියන් සමගද, බ්‍රාහ්මණයන් බ්‍රාහ්මණයන් සමගද පිටතින් පෙනෙන ඉරියව් බලා සම කොට තකති.  මෙසේ සදිස මානී වෙති. 
එදා සමහර බමු‍ණෝ අපිත් දේශකයෝය.  භවත් ගෞතමයන් අප මෙන් දේශකයෙකියි මෙසේ ‍සම කොට සිතූහ.  බුදු පියාණන්වහන්සේ හා සම කල හැකි කිසිවෙක් තුන් ලොවම නැති බවටත් සම කළ හැකි නම් එබදුම තවත් බුදු පිය වරයෙක් සමග පමණක් බවත් බමුණෝ නොදනිති.  මෙබන්දන්ගේ මුලාව දුරු කළවිටයි අනතිමානීව දහම් අවබෝධය ලබන්නේ.  ලොව්තුරා බුදුවරු මෙබදු ගුණ නවයකින් යුක්ත යැයිද ඒ ගුණ සිතා කෙළවර කළ නොහැකි යැයිද ඒ ගුණස්කන්ධය සම්පූර්ණ වශයෙන් මහා ඤාණයට ගෝචර වන්නේද උන්වහන්සේලාට පමණක් යැයිද බුදු පියාණන් වහන්සේ දේශනා කර වදාලහ. 
උන්වහන්සේලා කී දෙයක් බොරු නොවන බවත් බොරු කරන්ට සමතෙක් ලොව දකින්ට නැති නිසාත් උන්වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාව හෙවත් විශ්වාසය ඇතිවෙන්ට ප්‍රධාන හේතුව වේ.  උන්වහන්සේ කෙරෙහිම විශ්වාසය තබා උන්වහන්සේ තම ශ්‍රී බුද්ධ භාෂිතයෙන් දෙසූ ඒ ගුණ නවය හේතු සාධක සහිත විශ්වාසයෙන් හෙවත් ශ්‍රද්ධාවෙන් භාවිත කළ යුතුය.  සියල්ල දැන භාවිත කරන්නන් සේ මුලා අදහස් නොගෙන උත්තමාර්ථයෙහි පිහිටා භාවිත කිරීම උසස් අර්ථ ඇති කරවන බව දැන ගත යුතුය.  නවගුණ පාඨය කර්මස්ථානයක් ලෙස මෙන්ම බුදුගුණ වන්දනාවටද මෙකල භාවිත කරනු ඇත.  ගාථාවේ මුලම වරදවා නැත්දැයි විමසා බැලිය යුතුය.  ඉතිපි - සෝ භගවා යනුවෙන් නිවැරදි ලෙස භාවිත කල යුතු වුවත් මෙකල භාවිත කරන්නේ ඉතිපිසෝ - භගවා යනුවෙනි.  කියන්නේද ඉතිපිසෝ ගාථාව කියාය.  

(පිටුව 84)
බෙනේ - කනයෙක් යන්න‍ බෙන්ක - නයෙක් කියා භාවිත කළොත් අර්ථය කෙතෙක් වෙනස් වී ඇත්දැයි සිතිය යුතුය. 
ඉතිපි - සෝ භගවා යනු භාෂා නිරුක්තිය පරිදි අර්ථ දෙන්නේ මේ මේ අයුරින් ඒ භාග්‍යවතුන් වහන්සේ යනුවෙනි.
නිරුක්ති නුවණට ගෝචර අදහසක් මෙහිදී පෙන්වමි.  ඉතිපි යන පදය ඉෂ්ඨ වූ, ප්‍රිය වූ යන අරුත මෙහිදී පෙන්වයි.  ඉතිපි සෝ භගවා යනු ඉෂ්ට වූ, ප්‍රිය වූ ඒ භාග්‍යවතුන්වහන්සේ යන අරුත මතු කරනු ඇත.  ඉති‍පිසෝ - භගවා යනුවෙන් ශබ්ද කරන විට ඉෂ්ටත්වය පිසදැමූ ඒ භාග්‍යවතුන් වහන්සේ කියා අදහසක් ‍මතුවේ.  මෙසේ වුවොත් වන්නේ ගුණය වෙනුවට ශාපයකි.  වෙනස දැනගැනීමට කැමති පින්වතුන් මෙසේ කර්මස්ථානයක් ලෙස පහත සදහන් පරිදි පද වෙන් කරමින් ගයා ප්‍රගුණ කරගෙන වඩා බලා වෙනස අත් දැක ගන්න. 
ඉතිපි - සෝ භගවා - අරහං - සම්මා සම්බුද්ධෝ - විජ්ජා චරණ සම්පන්නෝ - සුගතෝ - ලෝකවිදු - අනුත්තරෝ පුරිස ධම්ම සාරතී - සත්ථා දේව මනුස්සානං - බුද්ධෝ- භගවාතී.
මෙසේ පද වෙන්කර සිහි කරන විට බුදු ගුණ ශාන්තිය තම සිරුර සැහැල්ලු කරමින් සමවතට පත්කරන අයුරු අත්දකිනු ඇත.  මෙසේ බුද්ධානුස්සති භාවනාව දෙයාකාරයෙන්ම කළ යුතුයි.  විශ්වාසයෙන් ඇදහීමත් චරිත ශෝධනයට ඉවහල් කර ගැනීමත් යන දෙයාකාරයෙනි. 
මෙබදුම තවත් වැදගත් භාවනාවකි මෙත්තානුස්සතිය.
මීළගට මෙත්තානුස්සතියද තේරුම් ගත යුතුය.  පෙ‍ර කල සිව් පිළිසිඹියාපත් මහරහතන් වහන්සේලා හෙළ බසින් දුන් අටුවා අද දක්නට නැත.  හින්දු ආගමික බලපෑම් බුද්ධ ශාසනයට එකතු වූ පෙර කලෙක,  එම ප්‍රතිපත්ති අර්ථයන් බෞද්ධ අර්ථ කථා වලට සම්බන්ධ කිරීම, මේ භාවනා වලින් ආර්ය ප්‍රතිඵල අහෝසි වීමට ප්‍රධාන හේතුව විය.  එම හින්දු ආගමික අර්ථ ගෙන පෙළ දහම් පද කෙතෙක් භාවිත කළත් මෙකළ වසර පනහක් ඒ භාවනාව අනුගමනය කරන පින්වතුන් තවමත් සිටින්නේ එම වාක්‍ය සජ්ඣායනා තුළ පමණය.  මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ෂා සමාපත්ති ලැබූ අය පිළිබදව මෙකල අසන්නටවත් නැත. 

0 comments: