මෙම බ්ලොග් අඩවිය පිළිබඳව

සම්මා සම්බුදු පියාණන්වහන්සේ වදාළ සත්‍ය වූ බුද්ධ ධර්මය කාලයත් සමග සැගවෙන්නට ඇති ඉඩකඩ වැඩිය. එය ‍එසේ වූ නිසාම ශතවර්ෂ ගණනකින් මාර්ගඵල ලාභීන් බිහි වූ බවක් අසන්නට නොලැබිණි... එහෙත් මග ඵල ලැබ ගෞතම බුදු පියාණන් විවර කල නිවන් දොරටුවෙන් මාර්ගයට පිවිස ඵල ලැබී සැනසීමට නියම වූ ඇත්තන් තවමත් සිටින හෙයින් ඔවුන් සදහා උපකාරයක් වීමට නියම කළ්‍යණ මිතුරාගේ පැමිණීම සිදුවී ඇත. ඒ සැඟවුනු මාවත යලි විවර කරමින්, සැඟවුනු දහම් අරුත් මතු කරමින් සසර දුකින් පෙළෙන ඔබටත් මටත් අනන්ත සසර දුක් සයුරෙන් එතෙර වීමේ ප්‍රයෝගික මග හෙලි කරන අභිඥාලාභී පූජ්‍යපාද වහරක අභයරතනාලංකාර ස්වාමීන් වහන්සේගේ ධර්මානුශාසනා ඇසුරෙන් පලවූ "සැගවුණු බොදු මග කල එලි දකී" යන පොත ඇසුරෙන් මෙසේ සටහන් තබමි!

Aug 24, 2010

පිටුව 109 සහ 110

(පිටුව 109)
ආර්‍ය ආනාපානසති භාවනාවක්
තවත් බුද්ධ භාෂිතයක්
“හන්දා මයං ආනන්ද සබ්බේ සංඛාරා අනස්සාසිකා” ආනන්ද මේ සියලු සංඛාර ආස්වාසයෙන් හෙවත් සැනසීමෙන් තොරයි. තවත් අස්සාස සූත්‍රය හා පරම අස්සාස සූත්‍රය යන සූත්‍ර දෙකකම මෙසේ පෙන්වා ඇත. ස්පර්ශ ආයතන හය පිලිබදව උදයංගමය, අත්ථංගමය, ආස්වාදය, ආදීනවය, නිස්සරණය තතු සේ දකීද එකල්හි ආශ්වාසයට පත්වූයේ වෙයි. මෙහිදී පෙන්වන්නේ ආස්වාසය සැනසුමක් බවයි. එය පූර්ණ වන දෙයක් බවයි. සැනසුම සුලග නොවේ. පාපය කරන තුරු දූෂ්‍ය සිතින් කය මෙහෙය වන්නේ පාප ක්‍රියා සදහාය. එය අසීමිත දාහයකි. කායික පාප වෙහෙසකි. එහෙත් අවිද්‍යා, තෘෂ්ණා මායාවෙන් ඒ දාහය වසාගෙන කාමය නැගී සිටී. මෙහෙස නො‍පෙනේ. කාමයෙහි බැදී සිටින තුරු දාහ ගිනි විදිමින් විරුද්ධ කරුණෙහි පාප සිතින් වෙහෙසවෙමින් ක්‍රියා කරයි. තවත් දුකෙන් දුකටම ඇද වැටෙයි. ලෝකයා ආස්වාස හෙවත් සැනසුම සොයන්නේ කාම මායාවට වහල්වය. නියම ආස්වාසය නම් සත්‍යය ප්‍රත්‍යක්ෂ කරමින් පාප සංසිදීමෙන් ආස්වාස පූර්ණ කර ගැනීමයි. සිහියෙන් කළ යුතු ආස්වාසය නම් සත්‍ය තුලින්, පාප වැඩ වල සංසිදීමම නියම ආස්වාස බව දැන ලෝභ, ද්වේෂ, මෝහ, වැඩ පිලිවෙල හොද සිහියෙන් තේරුම් ගෙන අත හැර දැමීමයි. මේ ආස්වාසයයි සතෝව අස්සසති කීවේ. සතියෙන් පහ කරන්නේ මෙතෙක් කල් අවිද්‍යා, තෘෂ්ණා නිසා ආස්වාද ජනක ලෙස ගත් ලෝභ, ද්වේශ, මෝහ පාප වැඩ පිළිවෙලයි.
අවිද්‍යාව, තෘෂ්ණාව හේතු කොට සත්වයා කාමාස්වාද ඇසුරු කර ක්‍රියා කරමින් ඒ කටයුතු වල ඇලෙයි. ඒවාට විරුද්ධ කටයුතු නැගී ආවිට ද්වේසයෙන් ගැටෙමින් විරුද්ධව සිටිමින් පාප කටයුතු වල ඇලෙයි. මේ කරුණු දෙක සහනය සොයමින් සසර ගමන් කරන අවිදු, තණ්හා සහගත ලොව සතුන්ගේ වැඩ පිළිවෙලයි. ඔවුන් ඇසුරු කරන්නේ ලෝභ සහගත දහම්ය. ඒවාට විරුද්ධ ධර්මයෝ ඔවුන් පහ කරත්. ඒවාය ලෝකයාගේ කාය සංඛාර. මේ කාය සංඛාර දෙවර්ගයම (ඇලෙන, ගැටෙන) සංසිදී යන්නේ සත්‍ය දැක, දැන ඒවා අත් හැර නොඇලී මිදුන විටයි. එවිට ලැබෙන සංසිදීම් සුවයයි ශාසන ආස්සාසය. වැඩිය යුත්ත. සසරේ පටන් හුරු පුරුදු කල දීර්ඝ ඇලීම්, ගැටීම් වැඩ පිලිවෙලයි ලෝ සතුන් මුලාවෙන් හොයන දීර්ඝ ආස්වාසය. එය නුවණින් දැන ගැනීමයි. ලෝකයේ දීර්ඝ ආස්වාස ප්‍රස්වාස දැන ගැනීම.
 
(පිටුව 110)
සත්‍ය තුලින් මේ ඇලීම්, ගැටීම් වලට හේතු සොයා තේරුම් ගෙන අත් හැර සංසිදුනු පසු සියුම්ව තිබූ ඇලීම්, ගැටීම්, ක්‍රියාත්මක වන අයුරු පෙනෙනු ඇත. ඒවාය ලෝකයෙන් අල්ලා ගත් කෙටි ආස්වාස ප්‍රස්වාස වැඩ පිලිවෙල. මේවාද දැන තේරුම් ගෙන උත්සාහයෙන්, වීර්යයෙන් සංවර වෙමින් දහම් අනුව සත්‍යය දකිමින් පහ කර දැමූ විට, කාය සංවරත්වය නැගෙමින් ශාසනික ආස්සාසය පූර්ණ වේ. මෙසේ ශාසන ධර්මය ඇසුරු කරමින් මෙතෙක් සංසාරයේ කරගෙන ආ ඇලීම්, ගැටීම් වැඩ පිළිවෙල පහ කරමින් අරිහත් ඵලයට යන තුරු හික්මීම පූර්ණ කරන වැඩ පිලිවෙල ශාසනික ආනාපාන වැඩ පිලිවෙලයි. බුදු පියාණන්වහන්සේ එක වස් කාලයක තමන්ට දානය ගෙන එන භික්ෂුව හැර කිසිවක් තමන් වහන්සේ හමුවීමට නොඑන ලෙස දන්වා හුදෙකලාව විවේකීව මාස තුනක් ගත කොට භික්ෂූන් ඇමතීය. ඉදින් අන්‍ය පරිබ්‍රාජකයන් භවත් ගෞතමයන් වහන්සේ කෙබදු විහරණයකින් ගත කලේදැයි ඇසුවහොත් භවත් ගෞතමයන් වහන්සේ ආනාපාන විහරණයෙන් වාසය කල බව කියන්න. ඒ ආනාපාන විහරණය කුමක්දැයි ඇසුවහොත් එයට අරිය විහාරය කියාත්, බ්‍රහ්ම විහාරය කියාත්, තථාගත විහාරය කියාත් කියන්න යනුවෙන් දේශනා කොට වදාළ සේක. මෙසේ බුදු පියාණන්වහන්සේ ගත කල ආනාපානසති සමාධියට බ්‍රහ්ම විහාරය කියයි. ඒ බ්‍රහ්ම විහාරය කරණීය මෙත්ත සූත්‍රයේ “බ්‍රහ්ම මේතං විහාරං ඉදමාහු” ‍යනුවෙන් පෙන්වයි. කරණීය මෙත්ත සූත්‍රයේ පෙන්වූ සමාධිය ආනාපාන සමාධිය බව මෙයින් පෙනේ. බුදු පියාණන්වහන්සේ දේශනා කළ, ගත කළ ආනාපාන සමාධිය මේ ශාසනයෙන් පිට අන්‍ය ශාසනයක නැති බවද ධර්මයේ පෙන්වා ඇත.
දැනට ආනාපාන සතිය නමින් හදුන්වන හුස්ම ගැනීමේ භාවනාව ඉන්දියාවේ හිමාලයේ යෝගීන්ගේ ප්‍රධානම භාවනාවයි. ඒ භාවනාවේ ප්‍රතිඵලය නම් ඒ යෝගීන් ලබා ඇති බවට නොයෙක් සාධක අසන්නට ලැබෙනු ඇත. බුදු සසුන කෙරෙහි විශේෂත්වයක් නොදකින බ්‍රහ්මන් සංකල්පය මුල් කර සිටින ශාස්වත වාදී වූ ඒ යෝගීන් අදද ප්‍රයෝජන ලබන හුස්ම සම්බන්ධ ආනාපාන සතිය ඒ පින්වතුන් බුදු දහමින් ලබාගත් දෙයක් නොවන බව ඉතා පැහැදිලිය.

Aug 23, 2010

පිටුව 107 සහ 108

(පිටුව 107)
චන්ද්‍ර සූර්යෝ වලා පටලයකින් වැසුනොත් අදුරු වනබවත් ඇරුනොත් බබලන බවත් එසේම ශ්‍රී සද්ධර්මය වැසුනොත් අදුර වන බවත් ඇරුනොත් බබලවන බවත් ‍මනාසේ සද්ධර්මයේ පෙන්වා තිබියදී ඒ ගැන විමර්ශනයක යෙදී හෝ සොයා බලන පින්වතුන් අද බොහෝ අඩු බව පෙනේ. තමන් යම් භාවනා ක්‍රමයක් ඉගෙන ගෙන එයම කියා දෙන්නට බලනවා නම් ප්‍රතිඵලය විමර්ශනය කර හේතු ඵල සහිතව අධ්‍යාත්මික දියුණුතාවය ගැන සොයා බැලිය යුතුය එය නොබලනවා නම් සංවේගයට කරුණකි. හොදින් විමර්ශනයක යෙදෙන විට ආර්ය මාර්ගය ඉතා පැහැදිලිව ත්‍රිපිඨකයේ ඇති බව පෙනේ. එහෙත් ඒවාට දී තිබෙන සිංහල භාෂා අර්ථය ත්‍රිපිඨකයම විය නොහැකිය. අපගේ පෙර සිව් පිළිසිඹියා පත් මහ රහතන් වහන්සේලා සපයා දුන් හෙළ අටුවා සිංහල සංඝ පරපුරක් සිටියදීම අහෝසි වීම සංවේග ජනකය. බුද්ධගෝෂආචාර්ය වරයන් හෙළ අටුවා බලා පාලි භාෂාවෙන් ලියා සකස් කර දුන් අර්ථ කථා නම් අදද නිරුපද්‍රිතව පවතින බව පෙනේ. එසේ තිබියදී සිංහල පරපුරට ඊට වඩා අති උතුම් මහරහතන් වහන්සේලා සපයා දුන් සිංහල අටුවා විනාශ වීම ගැන නොහිතීම එක්තරා අඩු පාඩුවකි. ඉතා මෑතක් වන තුරුම භාවනා ආචාර්ය වරයන් මුදුන් මල් කඩක් ලෙස භාවිත කළේ බුද්ධ ගෝෂ ආචාර්ය වරයන්ගේ විශුද්ධි මාර්ගය නම් කෘතියකි. ආනාපානසතිය මෝහ චරිතයාට සප්‍රාය වේ යැයි එහි සදහන් වෙයි ත්‍රිපිටකයේ සදහන් වන්නේ මුලා සිත් ඇත්තාට ආනාපාන සතියක් නොකියමි කියාය.
ආනාපාන සතිය පිලිබදව ගණන අනුපුබ්බංචන, ඨුපන ඨපනයන වචන හතරක් විශුද්ධි මාර්ගයේ පෙන්වා ඇත. නාසය අග හෝ උඩුතොල ලගට සිත තබාගෙන හුස්ම ගණන් කරන ක්‍රමයක් ගණන ලෙස පෙන්වා ඇත. එය එක දෙක තුන හතර පහ කියාද නැවත නැවත එක දෙක තුන හතර පහ හය කියාද එකින් එක වැඩි කරමින් හුස්ම දහ වාරයක් වන තුරු ගණිත ක්‍රමයක් අනුපුබ්බඤ්චන ලෙසද විසිරෙන්නට නොදී එහිම හිතතබා ගෙන සිටින ක්‍රමයක් ඨපන ලෙසද පෙන්වා ඇත. අභිධර්ම පිටකයට අයත් විභංග ප්‍රකරණයේ ධ්‍යාන විභංගයෙහි මේ ප්‍රථම ධ්‍යානයයි. මේ ද්විතීය ධ්‍යානයයි. මේ තෘතිය ධ්‍යානයයි... මේ චතුර්ථ ධ්‍යානයයි කියා ගණන දැන ගන්නා ලෙසත් එක එක ධ්‍යානයට අනුපූර්වව යා යුතු බැවින් එය අනුපුබ්බංචන කියාද ධ්‍යානයට පත්වූ බව ඨුපන කියාද එහි ස්ථිරව පිහිටිය හැකි බව ඨපන කියාද විස්තර කර ඇත.

(පිටුව 108)
සිව්පිළිසිඹියාපත් මහ රහතන් වහන්සේලා දුන් අර්ථ විවරණ ගණන් නොගෙන ඒ අත්දැකීම්වත් නොලත් ආචාර්ය වාදයක් මුදුන් මල් කඩක් සේ දරමින් ප්‍රතිඵලයක් ද හේතු සහිතව විද්‍යාමාන කළ නොහැකිව සිටියදී තවමත් ඒ පසු පසම යාම සිතා බැලිය යුත්තකි. මග හරි නැති නම් ඵලය ලබන්ටද බැරිය. උපරිම හත් වසරකින් අනාගාමී වීම හෝ අරිහත් ඵලය ලැබෙන බව පෙන්වා තිබිදයදී හැත්තෑ වර්ෂයක් තරම් කාලයක් වැඩුවත් ධ්‍යානයකට සම වදින්නට බැරි නම් මේ පිළිබදව විමර්ශනය කල යුතුමය. මේ භාවනාව විග්‍රහ වන පෙළ දහම් පොත්වල “සතෝව අස්ස සති, සතෝ පස්ස සති” යනුවෙන් මුල අරඹයි. එය පෙළ දහම් වාක්‍යයයි. එයට දුන් සිංහල තේරුම “සිහියෙන් හුස්ම ගන්න, සිහියෙන් හුස්ම හෙලන්න” යනුයි. එය පෙළ දහම් වාක්‍ය නොවේ. ඒ ඊට පසු කලෙක දුන් සිංහල අර්ථ කථාවයි. වාක්‍යය නිවැරදි වුවත් ඊට දුන් අර්ථ කථාව වැරදි නම් මුලදිම වැරදී හමාරය. කෙසේ නම් ප්‍රතිඵල ලැබේද? තර්ක වාද කෙතෙක් ගෙන හැර පෑවත් ප්‍රතිඵල නැත්නම් ඇයි කියා විමසිය යුතුය.
“අස්සසාස” යන වචනය ත්‍රිපිඨක ධර්මයේ තව කිහිප ‍තැනකම සදහන්ව ඇත. ඒ කිසි තැනක නාසින් අදින හෝ හෙළන හුස්මක් ගැන අර්ථ විවරණයක් නොමැත. කාලාම සූත්‍රයේ වෛර පහක්, භය පහක් දුරු කල ආර්ය ශ්‍රාවකයා ඉහාත්මයේදීම ආස්වාස හතරක් ලබන බව “චත්තාරෝ අස්සාසා අධිගතා හොන්ති” යනුවෙන් පෙන්වා ඇත. ඉදින් පාපයක් ඇත්නම්, කරන පව් වලට විපාකත් ඇත්නම් එය මට ප්‍රශ්ණයක් නොවේ යන පළමු වැනි ආස්සාසය ලබයි. ඉදින් පරලොවක් නැත කීවත්, කරන පව් වලට විපාක නැත කීවත් එය මට ප්‍රශ්ණයක් නොවේ. කරන්නාට පව් සිදු නොවේ කීවත් එය මට ප්‍රශ්නයක් නොවේ, කරන්නාට පව් සිදු වේ කීවත් එය මට ප්‍රශ්නයක් නොවේ, යන මේ ආස්සාස හතර ලබන බව පෙන්වා ඇත. වරද දැක, වරද දැන පාප වැඩ අත්හල කෙනෙක් එය අත්හැරියේ කරුණු දැන සත්‍ය ‍දැනම බැවින් ලෝකයාගේ තර්ක ඒ ශාන්තිය වනසන්නට සමත් නැත. සත්‍යය දැන ලැබූ සංසිදීමේ සුව දෙන නිසයි ඒවාට ආස්සාස කීවේ.

Aug 20, 2010

පිටුව 105 සහ 106

(පිටුව 105)
බුදු පියාණන්වහන්සේ : මහ‍ණෙනි, තවත් අය ඇත්ද?
භික්ෂුව : ස්වාමීණී, මමත් වඩමි.
බුදු පියාණන්වහන්සේ : මහණ, ඔබ කෙසේ මරණ සතිය වඩන්නේද?
භික්ෂුව : ස්වාමීණී, එක අඩ දිනක්වත් මාගේ ජීවිතය මෙසේ පවතීදැයි කිව නොහැකියි. අඩ දිනක්වත් ප්‍රමාද විහාරීව ගත කළොත් එය මට බලවත් පාඩුවකි. මෙසේ සිතා අප්‍රමාදව සසුන් මග වඩමි.
බුදු පියාණන්වහන්සේ : මහ‍ණෙනි, තවත් මරණ සතිය වඩන අය ඇත්ද?
භික්ෂුව : ස්වාමීණී, මමත් වඩමි.
බුදු පියාණන්වහන්සේ : මහණ, ඔබ කෙසේ මරණ සතිය වඩන්නේද?
භික්ෂුව : ස්වාමීණී, එක බත් පතක් වළදා අවසන් වනතුරු මාගේ ජීවිතය මෙසේ පවතීදැයි කිව නොහැකියි. එතෙක්වත් ප්‍රමාද විහාරීව ගත කළොත් එය මට බලවත් පාඩුවකි. මෙසේ සිතා අප්‍රමාදව සසුන් මග වඩමි.
බුදු පියාණන්වහන්සේ : මහ‍ණෙනි, තවත් මරණ සතිය වඩන අය ඇත්ද?
භික්ෂුව : ස්වාමීණී, මමත් වඩමි.
බුදු පියාණන්වහන්සේ : මහණ, ඔබ කෙසේ මරණ සතිය වඩන්නේද?
භික්ෂුව : ස්වාමීණී, හුස්මක් ගෙන අරින තරම් වේලාවක්වත් මාගේ ජීවිතය මෙසේ පවතීදැයි කිව නොහැකියි. එතෙක්වත් ප්‍රමාද විහාරීව ගත කළොත් එය මට බලවත් පාඩුවකි. මෙසේ සිතා අප්‍රමාදව සසුන් මග වඩමි.
බුදු පියාණන්වහන්සේ : මහ‍ණෙනි, මේ සැවොම මරණ සතිය වඩන බව පිළිගනිමි. මේ අතර බත්පිඩක් අනා ගිලින තුරු ජීවිතය පවතීදැයි කිව නොහැකි සේ සලකා මරණ සතිය වඩන භික්ෂුවත්, හුස්මක් ගෙන හරින තරම් වේලාවක් ජීවිතය විශ්වාසය නොසලකා අප්‍රමාදව මරණ සතිය වඩන භික්ෂුවත් මේ අතර ශ්‍රේෂ්ඨ බව කියමි.

(පිටුව 106)
මේ උතුම් දේශනාවෙන් වටිනා දෙයක් හෙළිවේ. මැරෙන්නට හැකි නිසා ඊ‍ට පෙර ශාසන මග වැඩිය යුතු බව සිහි කිරීමයි මරණ සතිය, මැරෙනවා කිය කියා ඉදීම මරණ සතියද? අප විසින් වටහා ගත යුත්තේ මරණය කොයි මොහොතේ හෝ පැමිණිය හැකි බැවින් අප්‍රමාදව ආර්ය මාර්ගය පූර්ණය කර ගත යුතුයි යන අදහස නිතර සිහි කිරීමයි. මේ අනුව චතුරාරක්ෂාව කියන බුද්ධානුස්සතිය, මෙත්තානුස්සතිය, අසුභානුස්සතිය, මරණානුස්සතිය කියන මේ හතර අර්ථ වැහුනොත් මාර පරාජය කර ශාසන ජයග්‍රහණය කරන චතුරංගනී සේනාව ඉතා දුර්වල වෙනවා නොවේද? තනිව යුද්ධ කර මාර පරාජය විහිළුවකි. මේ චතුරක්ෂා භාවනා පිළිබදව මෙකල ඇත්තේද අල්ප වූ භාවිතයයි. සෑම භාවනා මධ්‍යස්ථානයකම පාහේ දක්නට ලැබෙන්නේද, භාවනා අනුශාසක වරුන් වැඩිපුර විස්තර කරන්නේද අනාපාන සති භාවනාවයි. බුදු පියාණන්වහන්සේ වැඩ සිටි කාලයේ මෙන්ම ඉන්පසු වර්ෂ දහසක් පමණ යන තුරුද මේ භාවනා මගින් ප්‍රතිඵල ලැබූ ධ්‍යාන ලාභී, ත්‍රිවිද්‍යා ලාභී අභිඥා ලාභී සිව් පිළිසිඹියා පත් අනාගාමී සහ අරිහතුන් වහන්සේලා ගැන නොයෙක් කථා ප්‍රවෘත්ති ත්‍රිපිඨකයේ මෙන්ම වංශ කථා, බෞද්ධ සාහිත්‍ය ආදියේ නොයෙක් කථා ප්‍රවෘත්ති නොයෙක් තැන්හි පෙනෙන්නට ඇත. අවුරුදු දහසකට මෙහා කාලයේ එබදු උතුමන් ගැන අසන්නටද නැත. උත්තරීතර මනුස්ස ධර්ම පෙන්වීම නුසුදුසු බව මෙකලට වඩා දැන විශ්වාස කළේ ධ්‍යාන ගැන මගඵල ගැන නොකිව්වත් උන්වහන්සේලා‍‍ගේ චර්යා වලදී ඒවා කිසිවෙකුට නොපෙනෙන සේම සිටිය යුතු යැයි දේශනාවක් බුදු දහමේ නැත. ආමිස ලාභයට ප්‍රාතිහාර්ය පෙන්වීම නොගැලපෙන බව නම් දේශනා කර ඇත. බුදු පියාණන්වහන්සේ පිරිනිවන් පාන කාලය වනතුරුත් භික්ෂුන් වහන්සේලා තුලින් අභිඥා බල ක්‍රියාත්මක වූ තැන් කොතෙකුත් අසන්නට ඇත. මේ කරුණු නොපෙන්විය යුතුයි කී නිසාම නොහගවනවා නම් නොකළ යුතු ලෙස දෙසූ ආපත්ති තව කොතෙක් ඇද්ද? ඒවා ගිලිහී නොයෙකුත් අඩුපාඩු කෙරෙන්ටත් එපා කී නිසා යැයි උතුම් මිනිස් දම් අංශු මාත්‍රයක් වත් දැනෙන්නට නොනිසි යැයි කීම කෙතෙක් දුරට සාර්ථකදැයි කල්පනා කර බැලිය යුතුය.

පිටුව 103 සහ 104

(පිටුව 103)
මරණානුස්සතිය
කොටස් වෙන් කර බලන උපමාවට ගෙන තිබෙන්නේ ප්‍රිය අප්‍රිය දෙකටම මධ්‍යස්ථ දේ බව හොදට පෙනේ. මේ කුණු මස්, මේ කුණු මාලු වැනි උපමා දුන්නා නම් කැත, හිරිකිත ලෙස බලන්ට දුන් බවක් සිතන්ටද ඉඩ ඇත. එබැවින් එකාකාරව පෙනෙන මායා රූපස්කන්ධයේ මුලා දර්ශනය වටහා ගෙන උපේක්ෂා සිතින් සුබ දෙයක් නැති බව සලකා මායා රුවට රැවටී‍මෙන් මිදෙන්ට මේ භාවනාව දී ඇති බව වටහා ගත යුතුය. ඇලෙන, ගැටෙන සිතට දහම් අරුත කිදා නොබසින බැවින් උපේක්ෂාවෙන් බලා ඒ අරුත වටහා ගත යුතු බවම තේරුම් ‍ගත යුතුයි. තමා ඉදිරියේ යමක් මත මේ කයේ කොටසින් කොටස ගෙන මනෝමය වශයෙන් බහා තබා ඒ කොටස් අත හැරුණු විට ශරීරයේ හැටිත් කොටස් තුළ ශරීරය යැයි රුවක් නැති හැටිත් විදසුන් නුවණින් බලන්ටයි බුදු පියාණන් වහන්සේ දේශනා කළේ. දැන් අපි පැටලුම් සහගතව තිබූ බුද්ධානුස්සතිය, මෙත්තානුස්සතිය, අසුබානුස්සතිය යන භාවනා තුනක් විස්තර කලෙමු.
 
මෙබදුම තවත් වැදගත් භාවනාවකි මරණානුස්සතිය.
“ජීවිතං අනියතං - මරණං නියතං” ජීවිතය අනිතයතයි - මරණය නියතයි. මේ දැනට අප භාවිත කරන මරණ සතියකි. “මහා සම්පත්ති සම්පත්තා - යථා සත්තා මථා ඉධ” මේ ආදී ගාථා පෙළක්ද මේ සදහා ගොතා ඇත. මේ සියලු වාක්‍ය මෑතදී භාවිතයට ගත් බව පෙනේ. ‍මැරෙන බව සිහි කිරීමෙන් එහාට තවත් අදහසක් මේවායේ නැත. පෙළ දහම් පොත් වලින් නියම මරණ සතියට නිදසුනක් ඇත. ඒවා විමර්ශනය කර බැලිය යුතුයි. එක් අවස්ථාවක බුදු පියාණන්වහන්සේ භික්ෂූණ් වහන්සේලාගෙන් මෙහි මරණ සතිය වඩන පිරිස ඇත්දැයි ඇසූ සේක. එක භික්ෂුවක් මෙසේ පැවසීය.

(පිටුව 104)
භික්ෂුව : ස්වාමීණී, මම වඩමි.
බුදු පියාණන්වහන්සේ : මහණ, ඔබ කෙසේ මරණ සතිය වඩන්නේද?
භික්ෂුව : ස්වාමීණී, එක මාසයක් මාගේ ජීවිතය මෙසේ පවතීදැයි කිව නොහැකියි. මාසයක් ප්‍රමාද විහාරීව ගත කළොත් එය මට බලවත් පාඩුවකි. මෙසේ සිතා අප්‍රමාදව සසුන් මග වඩමි.
බුදු පියාණන්වහන්සේ : මහ‍ණෙනි, තවත් අය ඇත්ද?
භික්ෂුව : ස්වාමීණී, මමත් වඩමි.
බුදු පියාණන්වහන්සේ : මහණ, ඔබ කෙසේ මරණ සතිය වඩන්නේද?
භික්ෂුව : ස්වාමීණී, එක අඩ මසක් මාගේ ජීවිතය මෙසේ පවතීදැයි කිව නොහැකියි. අඩ මසක් ප්‍රමාද විහාරීව ගත කළොත් එය මට බලවත් පාඩුවකි. මෙසේ සිතා අප්‍රමාදව සසුන් මග වඩමි.
බුදු පියාණන්වහන්සේ : මහ‍ණෙනි, තවත් මරණ සතිය වඩන අය ඇත්ද?
භික්ෂුව : ස්වාමීණී, මමත් වඩමි.
බුදු පියාණන්වහන්සේ : මහණ, ඔබ කෙසේ මරණ සතිය වඩන්නේද?
භික්ෂුව : ස්වාමීණී, එක සතියක්වත් මාගේ ජීවිතය මෙසේ පවතීදැයි කිව නොහැකියි. සතියක්වත් ප්‍රමාද විහාරීව ගත කළොත් එය මට බලවත් පාඩුවකි. මෙසේ සිතා අප්‍රමාදව සසුන් මග වඩමි.
බුදු පියාණන්වහන්සේ : මහ‍ණෙනි, තවත් මරණ සතිය වඩන අය ඇත්ද?
භික්ෂුව : ස්වාමීණී, මමත් වඩමි.
බුදු පියාණන්වහන්සේ : මහණ, ඔබ කෙසේ මරණ සතිය වඩන්නේද?
භික්ෂුව : ස්වාමීණී, එක දවසක්වත් මාගේ ජීවිතය මෙසේ පවතීදැයි කිව නොහැකියි. දවසක්වත් ප්‍රමාද විහාරීව ගත කළොත් එය මට බලවත් පාඩුවකි. මෙසේ සිතා අප්‍රමාදව සසුන් මග වඩමි.

Aug 5, 2010

පිටුව 101 සහ 102


 (පිටුව 101)
අසුභානුස්සතිය
ප්‍රතිඵල ලැබෙන බවට අත්දුටු කර්මස්ථාන බැවින් සැක නොකර භාවිත කරන්න.
මෙබදුම තවත් වැදගත් භාවනාවකි අසුභානුස්සතිය.
මීට අද ‍පිළිකුල් භාවනාව යැයි භාවිත කරති.  බුදු පියාණන්වහන්සේ මේ භාවනාව දේශනා කළේ පිළිකුල් කි‍රීමට නොව මේ කයේ සුභ දෙයක් නැති බව වටහා ගන්නටයි. 
ලෝකයා පිලිකුල් කරන දේ ආර්යයෝ පිලිකුල් නොකරති.  යනු පලමු වන ආර්ය සෘද්ධියයි.  කෙල, සොටු, සෙම, සැරව, අසූචි, මුත්‍රා ආදිය ලෝකයා ස්වභාවයෙන්ම පිළිකුල් කරන දේවල්ය.  චිහ්, ඒයි යන අප්‍රසන්න අදහස අප්‍රිය භාවය බුද්ධ භාෂිතයේ තිබූ අදහස්ද නොවේ.  මේවා නොදැනුවත්වම හිත දූෂ්‍ය කරන බව නොවැටහීම නිසා මෙසේ අදහස් ගෙන අද භාවනාවක් ලෙසද භාවිත කරයි.  මෙසේ භාවනා කල කිහිප දෙනෙක්ම අප්‍රසන්න භාවය දරා ගත නොහැකිව එය වැඩූ හෙයින් අත් හැරගන්ටද නොහැකිව ගන්න ආහාරය පවා අප්‍රසන්නව පනුවන් සිටින සේ දැක අසනීපව බලවත් රෝගීන් වූ අවස්ථාද දැක ඇත.  මේ අතර භික්ෂූණ් වහන්සේලා මෙන්ම තරුණ පිරිස්ද මට හමුවී ඇත. 
එක්තරා තරුණයෙක් ශරීරයේ හැම සිද්‍රාවකින්ම කුණු ඕජස් ගලනවා යැයි රෙදි කැබැල්ලකින් පිස දමමින් මනසද විකෘති වී මානසික ප්‍රතිකර්ම වලින්ද සුවයක් නොලබා මා කරා ගෙන එන ලද්දේ ඔහුගේ ස‍හෝදරයෙක් විසිනි.  අති සියුම් මානසික ප්‍රතිකාරයකින් පසු ඔහු පියවි සිහිය ලබාගති.  අසූචි, මුත්‍රා මේවා ලෝකයා බොහෝ අප්‍රිය ‍කලත් ආර්යයෝ එසේ නොකරන ආර්ය සෘද්ධියකින් යුක්ත වන බව ධර්මයේ හොදින් පෙන්වා තිබේ.  එක්තරා ස්ත්‍රියකගේ නිරුවත් රුවක් දැක කැත සිතී කෙළ ගසා ගිය භික්ෂුවකට එසේ කිරීම වරදක් ලෙස අවවාද කළ කථාවක් විනය පිඨකයේද ඇත.  වචන වලට දෙන අර්ථ කලින් කල වෙනස් වීම භාවිතයේ ස්වභාවය අනුව කලින් කල සිදුවේ.  අතීතයේ සමහර වචන අද භාවිතා වන්නේ අසභ්‍ය ලෙසටය.  “අරහං” යනු උතුම් බුදු ගුණයකි.  ඕක දකින කොට මට අරහං කියලා අද භාවිත කරන්නේ ඇහැට පෙනෙන්ට බැරි මූසලයෙක් යන හැගීම දීමටයි.  දැනට වසර පනහකට පමණ පෙර “උස්සනවා, බඩුවක්” මෙවැනි වචන වලට භාවිත කල අර්ථ අද වෙනස් අර්ථ සදහා භාවිත කරන අයුරු සිතිය යුතුය. 
 (පිටුව 102)
ආර්යයෝ පිළිකුල් යන වචනයෙන් එදා අදහස් කලේ ප්‍රතික්ෂේපිත බව හැගවීමටයි.  ලෝකයා කැත අප්‍රසන්න බවින් අදහස් ගති.  එසේ වන්නේ ඇයි?  උපමා ගෙන බැලිය යුතුයි.  පතුල් හොදට‍ සෝදා ගෙන පිරිසිදු බව මහ ඉහළින් අගයන කෙනෙකුට කුණු, මඩක්, පල් මඩක් පාගන්ට වුවොත් ඇතිවන්නේ ලොකු අප්‍රසන්න බවකි.  පවිත්‍ර බව එතරම් ‍ඉහළින් ගණන් නොගන්න නමුත් පිරිසිදුව ඉන්නා ගොවියාට මඩ පෑගීම එසේ අප්‍රසන්න නොවේ.  එසේ අප්‍රසන්න භාවය රැදී තිබෙන්නේ මඩ වලද?  සිතේ ඇති දෘෂ්ටියේද?  රෝහලක සාත්තු සේවිකාවක් මල, මුත්‍ර, සෙම, සැරව, ලේ ආදිය අතගාන අවස්ථා දකින්ට ඇත.  ඒවා බොහෝ අප්‍රිය කරන කෙනෙකුට ඇති වන්නේ බලා සිටින විටත් කැතකි.  හිරිකිත බවකි.  යමක් කැත ලෙස, හිරිකිත ලෙස හිතුවොත් ඔහුගේ ඒ දෘෂ්ටියම මනසට කැතක් හිරිකිතක් ‍ඇති කරවනු ඇත.  පෙර භික්ෂූන් වහන්සේලා පනුවන් නැලි ගණනක් සිටින මළ මිනිය ඔතා දැමූ රෙදි කඩ ගසා දමා සෝදා සිවුර ලෙස ගත් බව නොරහසකි.  පාංශුකූලිකාංගයද උතුම් ලෙස පෙන්වා ඇත.  ලස්සනට, සුන්දරත්වයට ප්‍රිය මනාප අධික කෙන‍ා ඊට විරුද්ධ පැත්ත එසේම බලවත්ව අප්‍රිය කරයි.   අප්‍රියතාවය ශාසන දියුණුවට බාධාවක් බව පෙනේ.  උපේක්ෂාව උසස්ය. 
එසේ නම් මේ භාවනාව දේශනා කලේ ඇයි?  ඒකාකාරව පෙනෙන මේ ශරීරයට බැදෙන ප්‍රිය  මනාපය නිසරු මායා මුලාවක් බව දැක ගන්ට තිස් දෙයාකාරයකට බෙදා බලන්ටයි බුදු පියාණන්වහන්සේ දේශනා කලේ.  එබැවින් මෙය පිලිකුල් භාවනාව නොව ද්විතිංසාකාර භාවනාවයි. 
මහා සතිපට්ඨාන සූත‍්‍රයේ මෙසේ බෙදා බලන අයුරු උපමා වලින්ද පෙන්වා ඇත.  බුදු පියාණන් වහන්සේ දෙන උපමා දහම් නමුදු සැමතින්ම යහපත්ය.  සර්වාකාරයෙන් පරිපූර්ණය.  තමේනං චක්ඛුමා පුරිසා මුංචිත්වා පච්ච වෙක්ඛෙය්‍ය ඉමේ සාලි, ඉමේ විහී, ‍‍ඉ‍මේ මුග්ගා, ඉමේ මාසා,  ඉමේ තිලා, ‍ඉමේ තණ්ඩුලා තී, ඒව මේව ඛෝ භික්ඛු ඉම මේව කායං උද්ධං පාදතලා අ‍ධෝ කේස මත්ථකා තචපරියන්තං පූරං නානප්පකාරස්ස අසූචිනෝ පච්ච වෙක්ඛතී
දෙපස මූඛ දෙකක් ඇති කට බැද ඇති මල්ලක් ඇස් ඇති පුරුෂයෙක් ලෙහා ඇතුලත දෑ විමසා බලන්නේය.  මේ ඇල්වී, මේ මාවී, මේ මුං, මේ මෑ, මේ තල, මේ සහල් මේ ආදී වශයෙන් පාද තලයෙන් උඩ කේස මතුයෙන් යට සමින් වටව ඇති මේ කය විමසා බලන්නේය.  මේ කෙස්, මේ ලොම්, මේ නිය, මේ සම් ආදී වශයෙනි. 

පිටුව 99 සහ 100

(පිටුව 99)
‍2) මෙබදුම ප්‍රතිඵල දෙන තවත් මෙත්තා කර්මස්ථානයක්
01)මේ සසර පැවැත්මක් වන්නේද මහා දුක් කද වන්නේය.
මේ සසර පැවැත්මක් නොවන්නේද මහා දුක් කද නොවන්නේය.
මමද සියලු සත්වයෝ මහා දුක් කද දෙවන සසරින් මිදෙත්වා. 
02)මේ සසර පැවැත්මක් වන්නේද මහා රෝග කද වන්නේය.
මේ සසර පැවැත්මක් නොවන්නේද මහා රෝග කද නොවන්නේය.
මමද සියලු සත්වයෝ මහා රෝග කද දෙවන සසරින් මිදෙත්වා.
 03)මේ සසර පැවැත්මක් වන්නේද මහා ජරා කද වන්නේය.
මේ සසර පැවැත්මක් නොවන්නේද මහා ජරා කද නොවන්නේය.
මමද සියලු සත්වයෝ මහා ජරා කද දෙවන සසරින් මිදෙත්වා. 
 04)මේ සසරින් පැවැත්මක් වන්නේද මහා ව්‍යාධි කද වන්නේය.
මේ සසර පැවැත්මක් නොවන්නේද මහා ව්‍යාධිකද නොවන්නේය.
මමද සියලු සත්වයෝ මහා ව්‍යාධිකද දෙවන සසරින් මිදෙත්වා.
 05)මේ සසර පැවැත්මක් වන්නේද මහා මරණ කද වන‍්නේය.
මේ සසර පැවැත්මක් නොවන්නේද මහා මරණ කද නොවන්නේය.
මමද සියලු සත්වයෝ මහා මරණ කද දෙවන සසරින් මිදෙත්වා.
 06)මේ සසර පැවැත්මක් වන්නේද මහා භය කද වන්නේය.
මේ සසර පැවැත්මක් නොවන්නේද මහා භය කද නොවන්නේය.
මමද සියලු සත්වයෝ මහා භය කද දෙවන සසරින් මිදෙත්වා.
 07)මේ සසර පැවැත්මක් වන්නේද මහා හද ගිනි කද වන්නේය.
මේ සසර පැවැත්මක් නොවන්නේද මහා හද ගිනි කද නොවන්නේය. 
මමද සියලු සත්වයෝ මහා හද ගිනි දෙවන සසරින් මිදෙත්වා.
 08)මේ සසර පැවැත්මක් වන්නේද මහා දාහ ගිනි කද වන්නේය.
මේ සසර පැවැත්මක් නොවන්නේද මහා දාහ ගිනි කද නොවන්නේය.
මමද සියලු සත්වයෝ මහා දාහ ගිනි දෙවන සසරින් මිදෙත්වා.
09)මේ සසර පැවැත්මක් වන්නේද මහා ශෝක ගිනි කද වන්නේය.
මේ සසර පැවැත්මක් නොවන්නේද මහා ශෝක ගිනි කද නොවන්නේය. 
මමද සියලු සත්වයෝ මහා ශෝක ගිනි කද  දෙවන සසරින් මිදෙත්වා. 

 (පිටුව 100)
10)මේ සසර පැවැත්මක් වන්නේද මහා රාග ගිනි කද වන්නේය.
‍මේ සසර පැවැත්මක් නොවන්නේද මහා රාග ගිනි කද නොවන්නේය.
මමද සියලු සත්වයෝ මහා ශෝක ගිනි කද දෙවන සසරින් මිදෙත්වා.
11)මේ සසර පැවැත්මක් වන්නේද මහා බැදුනු බැමි වන්නේය. 
මේ සසර පැවැත්මක් නොවන්නේද මහා බැදුනු බැමි නොවන්නේය.
‍මමද සියලු සත්වයෝ මහා බැදුනු බැමි දෙවන සසරින් මිදෙත්වා.
12)මේ සසර පැවැත්මක් වන්නේද අනන්ත දුක්ගිනි කද වන්නේය.
මේ සසර පැවැත්මක් නොවන්නේද අනන්ත දුක් ගිනි කද නොවන්නේය.
මමද සියලු සත්වයෝ අනන්ත දුක් ගිනි කද දෙවන සසරින් මිදෙත්වා.
මමද සියලු සත්වයෝ අනන්ත දුක් ගිනි කද දෙවන සසරින් මිදෙත්වා.
මමද සියලු සත්වයෝ අනන්ත දුක් ගිනි කද දෙවන සසරින් මිදෙත්වා.
මේ භාවනා කර්මස්ථාන දෙකෙන් තමන්ට වැඩිපුර සමාධිය වැඩෙන කර්මස්ථානයක් භාවිත කල හැකිය.  හොදට පුරුදු වූ පසු කර්මස්ථාන දෙකේම අන්තිම පදය පමණක් ගෙනද භාවනා කල හැකියි. 
 03) තවත් එබදුම ප්‍රතිඵල දෙන කෙටි මෛත්‍රී කර්මස්ථානයක්
 මමද සියලු සත්වයෝ සියලු වින දොසින් නිදහස් වෙත්වා
නිදහස් වෙත්වා, නිදහස් වෙත්වා, නිදහස් වෙත්වා, නිදහස් වෙත්වා, නිදහස් වෙත්වා
මමද සියලු සත්වයෝ නිවන් සුවයෙන් සුවපත් වෙත්වා
සුවපත් වෙත්වා, සුවපත් වෙත්වා, සුවපත් වෙත්වා, සුවපත් වෙත්වා, සුවපත් වෙත්වා
 මේ කර්මස්ථාන දෙකමද භාවිත කළ හැක.  එකක් ගෙනද භාවිත කළ හැක.  තමාට සමාධිය හොදට වැඩෙන ක්‍රමය අත් දැකීමෙන් තෝරා ගත යුතුය. 
තපෝ ගුණය හැර, නිවන් හැර සත්වයාට සුවයක් තවත් නොදකිමි යනු බුද්ධ දේශනාවකි.
ලෙඩට ගොදුරක් වන කය නිරෝගී කරන්ට පැතීම මුලාවක් බවත් සිත නීරෝගී කර ගැනීමම උතුම් බවත් තවත් බුද්ධ දේශනාවකි. 

පිටුව 97 සහ 98


(පිටුව 97)

තවදුරටත් භාවිතයේදී මුලදී පැයකින් පමණ මේ ධ්‍යානාංග පහළ වන්ට වී ක්‍ර‍මයෙන් කාලය අඩුව පහළ වන්ට පටන් ගනී.  පසු වන විට විනාඩි කීපයකදී ධ්‍යානය නැගී එන්ට වේ.  මෙසේ භාවිත කරගෙන යන විට ශබ්ද නගා කියන්ට බැරි තරමට ප්‍රීතියෙන්, සුඛයෙන් ගත, සිත පිනා යන්ට පටන් ගනී.  නිවනට නැඹුරුව කිසි දෙයක නොබැදුන චිත්ත ශාන්තිය නිශ්චලතාවයෙන් නැගී පිහිටයි.  ක්‍රමයෙන් වචන භාවිතය සිතිවිලි බවට පත්ව ඒ ස්වභාවයද අඩු වී හැගීමෙන් භාවිත වෙන්ට වේ.  ධ්‍යානය නැගී එන විට හිතට වචන ගලා එන ස්වභාවය ඉක්ම යයි.  මෙබදු ස්වභාව යන්තම් වැඩෙන අවස්ථාවලද විය හැකි බැවින් මුලා නොවී සුළු වේලාවකින් නැවත භාවිත කළ හැකි බව වැටහෙන්ට පටන් ගත් විට නැවත භාවිතයට ගත යුතුය.  මේ භාවනාවෙන් චතුර්ථ ධ්‍යානයට එන තුරුම හැගී මෙන් කියවීම කළහැක.  මෙසේ භාවිත කරගෙන යෑමේදී හැගීමට ගෝචරව කර්මස්ථාන වාක්‍ය නැගී එද්දිම අධික ලෙස සිත, ගත ප්‍රීතියෙන්, සුඛයෙන් පිනා යමින් හුළං පිරවූ බැළුනයක් පාවී පිරී සිටන්නා සේ ඒ තත්වය පහත නොවැටීම තිබෙන අයුරු වැටහේ.  එය එසේ පවතින්නේ කර්මස්ථාන භාවිත‍යේ සිටින විටය.  කර්මස්ථාන සිහි නොකර ඇස් දල්වා පියවී ලොව අරමුණු කළවිට ක්‍රමයෙන් ඒ ස්වභාවය බැස ගොස් පියවි ලොව ස්වභාවයෙහි සිටිනු ඇත.  මෙසේ පිරුන බැළුනයක්, ටියුබයක් සේ ප්‍රීතිය, සුඛය පිරී ධ්‍යාන සුවයෙන් බොහෝ වේලාවක් වුවද සිටිය හැකි මේ අවස්ථාව වන විට දෙවැනි ආර්ය ධ්‍යානයද ලැබී ඇති බව තේරුම් ගන්න.  විටින් විට රැලි නැගෙන්නා සේ ප්‍රීතිය, සුඛය පිරී ධ්‍යාන සුවයෙන් බොහෝ වේලාවක් වුවද සිටිය හැකි මේ අවස්ථාව වන විට දෙවැනි ආර්ය ධ්‍යානයද ලැබී ඇති බව තේරුම් ගන්න.  තවදුරටත් හැගීමට ගෝචරව කර්මස්ථාන වාක්‍ය සිහියට නැගේ.  මුළු සිරුර සුවයෙන් පිරී ඉතිරී ගොස් ආකාශයක එම ආස්වාද සුඛ ස්වභාවයකින් බඹ ගණනක් කය වට කර එබදු සුව ආකර්ශනයකින් ඔසවා ගෙන සිටින ලෙස අවස්ථාවක් නැගෙනු ඇත.  ඒ අවස්ථාවද විටින් විට මතු සුවයක් මැද කයද කිසිවක ස්පර්ශ නොවී අහසක ආස්වාද ආකර්ශන ශක්තියකින් ඔසවා සිටින සේ සුඛයෙන් පිරී පවතින අයුරු අත් දැකිය හැකිය.  දැන් සංඥා වශයෙන් කර්මස්ථාන වාක්‍ය සිහි කිරීමද ටික ටික සියුම් වන්ට පටන් ගනී.  ආර්ය වූ තෘතීය ධ්‍යානයට දැන් එළඹ ඇති බව තේරුම් ගන්න.  
(පිටුව 98)
බොහෝ අයට ප්‍රථම ධ්‍යාන අවස්ථාවේ පටන් ශරීරාලෝකයක් පෙනි පෙනී ටිකෙන් ටික මතුවේ.  මේ අවස්ථාව වන විට ඉතා හොදින් පරීක්ෂාකාරී විය යුත්තේ තමාගේ මාර්ගය නොමගට හරවන සිතිවිලි,  රූප මෙන්ම අමනුෂ්‍ය බලපෑම් නිසා පෙන්වන රූපාකාර කථා බහ ආදිය දැනෙන්ට වීමයි.  යමක් ලැබෙන විට උද්දාමයට පත්වන සසර ගතිය නිසා මේ අවස්ථා තම සිතේම බලපෑමෙන් තමා හරි උසස් තත්වයක සිටින කෙනෙකියි අදහස්ද මතු විය හැකිය.   මේ සියල්ල තම කර්මස්ථානයට හෝ ආර්ය ධ්‍යාන මාර්ගයට බාධක බවත් අනවශ්‍ය බවත් මනා නුවණින් සිහි කර ගෙන තමා තුළටම හිත තබා ගත යුතුය.  කායිකව දැනෙන සුවයටම හිත යොමු ‍කර සිටිය යුතුය.  ඒ සුවය පුද්ගලයෙක් ඇති කරන දෙයක් නොවේ.  එය සුවාකාරවම මිස ද්‍රව්‍යකාර හෝ පුද්ගලාකාර නොවන බව තරයේ සිතට ගත යුතුය. 
මෙසේ නොවරදවා චිත්ත සමාධියට සිත තබා කර්මස්ථාන වාක්‍යය හැගීමෙන් සිහි කර ගෙන යන විට සුවයම වැඩිපුර වැටහේ.  දැන් කර්මස්ථාන වාක්‍යය සමහර විට සිහි නොගැන්නුවද පිරී ගිය සුව ස්වභාවයේ අරමුණෙහි සිත පැවැත්විය හැකිය.  මේ අවස්ථාව වන විට ඉර මඩලක්, සද මඩලක් තමා ඉදිරියේ දුරින් ආකාශයේ තිබෙන සේද සමහර විට දක්නට ලැබේ.  ඒ පෙනුනත් බලන්ට උත්සාහ ගැනීම අවශ්‍ය නැත.  යම් විටෙක ඒ ආලෝකය තමා තුලට ඇතුලුව සෑම තැනම විසිර ගියාසේද පෙනෙනු ඇත.  ආලෝක සුවය ඉතා නිදහස්ය.  කායික සුවය ප්‍රබල වී කයද නොදැනෙන ලෙස හිරිවැටී ගියා සමාන ස්වභාවයක්ද විටින් විට ඇතිවේ.  සමහර වෙලාවට හැගීමෙන් කර්මස්ථාන වාක්‍ය සිහි කිරීමටද හැකි‍වේ.  මෙසේ යම් අවස්ථාවකදී මුළු සිරුර ‍ආලෝකමත්ව අතපය, අග පසග වෙන වෙනම නොතේරී එකම එලි කදක් අහසේ පාවී ඉතා නිශ්චලව සිටින ලෙස තමා වැටහෙන්නට වේ.  කල්පනාව හොදට ඇත.  විශාල නිදහසක් ලැබුවා සේ වැටහේ.  සමහර අයට බබලන ස්වභාවය සූර්යා මෙනි.  චන්ද්‍රයාගේ පෙනෙන කහ පාට ස්වභාවයේ වර්ණද සුදු කුළුණක්‍ සේ ද මෙසේ වැටහේ.  බුදු පියාණන්වහන්සේ මේ චතුර්ථ ධ්‍යාන අවස්ථාව බවත් සියලු අග පසග නොපෙනෙන සේ සුදු රෙද්දකින් කය වැසූ විට පෙනෙන ස්වභාවය මෙන් වැටහෙන බවද දේශනා කර ඇත.  මෙහි පෙන්වා ඇත්තේ අත්දැකීමය.