මෙම බ්ලොග් අඩවිය පිළිබඳව

සම්මා සම්බුදු පියාණන්වහන්සේ වදාළ සත්‍ය වූ බුද්ධ ධර්මය කාලයත් සමග සැගවෙන්නට ඇති ඉඩකඩ වැඩිය. එය ‍එසේ වූ නිසාම ශතවර්ෂ ගණනකින් මාර්ගඵල ලාභීන් බිහි වූ බවක් අසන්නට නොලැබිණි... එහෙත් මග ඵල ලැබ ගෞතම බුදු පියාණන් විවර කල නිවන් දොරටුවෙන් මාර්ගයට පිවිස ඵල ලැබී සැනසීමට නියම වූ ඇත්තන් තවමත් සිටින හෙයින් ඔවුන් සදහා උපකාරයක් වීමට නියම කළ්‍යණ මිතුරාගේ පැමිණීම සිදුවී ඇත. ඒ සැඟවුනු මාවත යලි විවර කරමින්, සැඟවුනු දහම් අරුත් මතු කරමින් සසර දුකින් පෙළෙන ඔබටත් මටත් අනන්ත සසර දුක් සයුරෙන් එතෙර වීමේ ප්‍රයෝගික මග හෙලි කරන අභිඥාලාභී පූජ්‍යපාද වහරක අභයරතනාලංකාර ස්වාමීන් වහන්සේගේ ධර්මානුශාසනා ඇසුරෙන් පලවූ "සැගවුණු බොදු මග කල එලි දකී" යන පොත ඇසුරෙන් මෙසේ සටහන් තබමි!

Aug 5, 2010

පිටුව 101 සහ 102


 (පිටුව 101)
අසුභානුස්සතිය
ප්‍රතිඵල ලැබෙන බවට අත්දුටු කර්මස්ථාන බැවින් සැක නොකර භාවිත කරන්න.
මෙබදුම තවත් වැදගත් භාවනාවකි අසුභානුස්සතිය.
මීට අද ‍පිළිකුල් භාවනාව යැයි භාවිත කරති.  බුදු පියාණන්වහන්සේ මේ භාවනාව දේශනා කළේ පිළිකුල් කි‍රීමට නොව මේ කයේ සුභ දෙයක් නැති බව වටහා ගන්නටයි. 
ලෝකයා පිලිකුල් කරන දේ ආර්යයෝ පිලිකුල් නොකරති.  යනු පලමු වන ආර්ය සෘද්ධියයි.  කෙල, සොටු, සෙම, සැරව, අසූචි, මුත්‍රා ආදිය ලෝකයා ස්වභාවයෙන්ම පිළිකුල් කරන දේවල්ය.  චිහ්, ඒයි යන අප්‍රසන්න අදහස අප්‍රිය භාවය බුද්ධ භාෂිතයේ තිබූ අදහස්ද නොවේ.  මේවා නොදැනුවත්වම හිත දූෂ්‍ය කරන බව නොවැටහීම නිසා මෙසේ අදහස් ගෙන අද භාවනාවක් ලෙසද භාවිත කරයි.  මෙසේ භාවනා කල කිහිප දෙනෙක්ම අප්‍රසන්න භාවය දරා ගත නොහැකිව එය වැඩූ හෙයින් අත් හැරගන්ටද නොහැකිව ගන්න ආහාරය පවා අප්‍රසන්නව පනුවන් සිටින සේ දැක අසනීපව බලවත් රෝගීන් වූ අවස්ථාද දැක ඇත.  මේ අතර භික්ෂූණ් වහන්සේලා මෙන්ම තරුණ පිරිස්ද මට හමුවී ඇත. 
එක්තරා තරුණයෙක් ශරීරයේ හැම සිද්‍රාවකින්ම කුණු ඕජස් ගලනවා යැයි රෙදි කැබැල්ලකින් පිස දමමින් මනසද විකෘති වී මානසික ප්‍රතිකර්ම වලින්ද සුවයක් නොලබා මා කරා ගෙන එන ලද්දේ ඔහුගේ ස‍හෝදරයෙක් විසිනි.  අති සියුම් මානසික ප්‍රතිකාරයකින් පසු ඔහු පියවි සිහිය ලබාගති.  අසූචි, මුත්‍රා මේවා ලෝකයා බොහෝ අප්‍රිය ‍කලත් ආර්යයෝ එසේ නොකරන ආර්ය සෘද්ධියකින් යුක්ත වන බව ධර්මයේ හොදින් පෙන්වා තිබේ.  එක්තරා ස්ත්‍රියකගේ නිරුවත් රුවක් දැක කැත සිතී කෙළ ගසා ගිය භික්ෂුවකට එසේ කිරීම වරදක් ලෙස අවවාද කළ කථාවක් විනය පිඨකයේද ඇත.  වචන වලට දෙන අර්ථ කලින් කල වෙනස් වීම භාවිතයේ ස්වභාවය අනුව කලින් කල සිදුවේ.  අතීතයේ සමහර වචන අද භාවිතා වන්නේ අසභ්‍ය ලෙසටය.  “අරහං” යනු උතුම් බුදු ගුණයකි.  ඕක දකින කොට මට අරහං කියලා අද භාවිත කරන්නේ ඇහැට පෙනෙන්ට බැරි මූසලයෙක් යන හැගීම දීමටයි.  දැනට වසර පනහකට පමණ පෙර “උස්සනවා, බඩුවක්” මෙවැනි වචන වලට භාවිත කල අර්ථ අද වෙනස් අර්ථ සදහා භාවිත කරන අයුරු සිතිය යුතුය. 
 (පිටුව 102)
ආර්යයෝ පිළිකුල් යන වචනයෙන් එදා අදහස් කලේ ප්‍රතික්ෂේපිත බව හැගවීමටයි.  ලෝකයා කැත අප්‍රසන්න බවින් අදහස් ගති.  එසේ වන්නේ ඇයි?  උපමා ගෙන බැලිය යුතුයි.  පතුල් හොදට‍ සෝදා ගෙන පිරිසිදු බව මහ ඉහළින් අගයන කෙනෙකුට කුණු, මඩක්, පල් මඩක් පාගන්ට වුවොත් ඇතිවන්නේ ලොකු අප්‍රසන්න බවකි.  පවිත්‍ර බව එතරම් ‍ඉහළින් ගණන් නොගන්න නමුත් පිරිසිදුව ඉන්නා ගොවියාට මඩ පෑගීම එසේ අප්‍රසන්න නොවේ.  එසේ අප්‍රසන්න භාවය රැදී තිබෙන්නේ මඩ වලද?  සිතේ ඇති දෘෂ්ටියේද?  රෝහලක සාත්තු සේවිකාවක් මල, මුත්‍ර, සෙම, සැරව, ලේ ආදිය අතගාන අවස්ථා දකින්ට ඇත.  ඒවා බොහෝ අප්‍රිය කරන කෙනෙකුට ඇති වන්නේ බලා සිටින විටත් කැතකි.  හිරිකිත බවකි.  යමක් කැත ලෙස, හිරිකිත ලෙස හිතුවොත් ඔහුගේ ඒ දෘෂ්ටියම මනසට කැතක් හිරිකිතක් ‍ඇති කරවනු ඇත.  පෙර භික්ෂූන් වහන්සේලා පනුවන් නැලි ගණනක් සිටින මළ මිනිය ඔතා දැමූ රෙදි කඩ ගසා දමා සෝදා සිවුර ලෙස ගත් බව නොරහසකි.  පාංශුකූලිකාංගයද උතුම් ලෙස පෙන්වා ඇත.  ලස්සනට, සුන්දරත්වයට ප්‍රිය මනාප අධික කෙන‍ා ඊට විරුද්ධ පැත්ත එසේම බලවත්ව අප්‍රිය කරයි.   අප්‍රියතාවය ශාසන දියුණුවට බාධාවක් බව පෙනේ.  උපේක්ෂාව උසස්ය. 
එසේ නම් මේ භාවනාව දේශනා කලේ ඇයි?  ඒකාකාරව පෙනෙන මේ ශරීරයට බැදෙන ප්‍රිය  මනාපය නිසරු මායා මුලාවක් බව දැක ගන්ට තිස් දෙයාකාරයකට බෙදා බලන්ටයි බුදු පියාණන්වහන්සේ දේශනා කලේ.  එබැවින් මෙය පිලිකුල් භාවනාව නොව ද්විතිංසාකාර භාවනාවයි. 
මහා සතිපට්ඨාන සූත‍්‍රයේ මෙසේ බෙදා බලන අයුරු උපමා වලින්ද පෙන්වා ඇත.  බුදු පියාණන් වහන්සේ දෙන උපමා දහම් නමුදු සැමතින්ම යහපත්ය.  සර්වාකාරයෙන් පරිපූර්ණය.  තමේනං චක්ඛුමා පුරිසා මුංචිත්වා පච්ච වෙක්ඛෙය්‍ය ඉමේ සාලි, ඉමේ විහී, ‍‍ඉ‍මේ මුග්ගා, ඉමේ මාසා,  ඉමේ තිලා, ‍ඉමේ තණ්ඩුලා තී, ඒව මේව ඛෝ භික්ඛු ඉම මේව කායං උද්ධං පාදතලා අ‍ධෝ කේස මත්ථකා තචපරියන්තං පූරං නානප්පකාරස්ස අසූචිනෝ පච්ච වෙක්ඛතී
දෙපස මූඛ දෙකක් ඇති කට බැද ඇති මල්ලක් ඇස් ඇති පුරුෂයෙක් ලෙහා ඇතුලත දෑ විමසා බලන්නේය.  මේ ඇල්වී, මේ මාවී, මේ මුං, මේ මෑ, මේ තල, මේ සහල් මේ ආදී වශයෙන් පාද තලයෙන් උඩ කේස මතුයෙන් යට සමින් වටව ඇති මේ කය විමසා බලන්නේය.  මේ කෙස්, මේ ලොම්, මේ නිය, මේ සම් ආදී වශයෙනි. 

0 comments: