මෙම බ්ලොග් අඩවිය පිළිබඳව

සම්මා සම්බුදු පියාණන්වහන්සේ වදාළ සත්‍ය වූ බුද්ධ ධර්මය කාලයත් සමග සැගවෙන්නට ඇති ඉඩකඩ වැඩිය. එය ‍එසේ වූ නිසාම ශතවර්ෂ ගණනකින් මාර්ගඵල ලාභීන් බිහි වූ බවක් අසන්නට නොලැබිණි... එහෙත් මග ඵල ලැබ ගෞතම බුදු පියාණන් විවර කල නිවන් දොරටුවෙන් මාර්ගයට පිවිස ඵල ලැබී සැනසීමට නියම වූ ඇත්තන් තවමත් සිටින හෙයින් ඔවුන් සදහා උපකාරයක් වීමට නියම කළ්‍යණ මිතුරාගේ පැමිණීම සිදුවී ඇත. ඒ සැඟවුනු මාවත යලි විවර කරමින්, සැඟවුනු දහම් අරුත් මතු කරමින් සසර දුකින් පෙළෙන ඔබටත් මටත් අනන්ත සසර දුක් සයුරෙන් එතෙර වීමේ ප්‍රයෝගික මග හෙලි කරන අභිඥාලාභී පූජ්‍යපාද වහරක අභයරතනාලංකාර ස්වාමීන් වහන්සේගේ ධර්මානුශාසනා ඇසුරෙන් පලවූ "සැගවුණු බොදු මග කල එලි දකී" යන පොත ඇසුරෙන් මෙසේ සටහන් තබමි!

Sep 20, 2010

පිටුව 119 සහ 120


(පිටුව 119)
සෙල්ලම් පොලට උපමා කලේ පංච කාම වස්තුය. මේ පංච කාම වස්තු ඔසවා ගෙන උදම් වීම බාල ගති ඇති පෘතග්ජනයන්ගේ වැඩය. මේ බාල වැඩ තරඟයට බසිමින් ඔසවමින් ගියොත් නිශ්ඵල වැඩ පිලිවෙලක් සමාජයේ බිහිවී කාලකණ්නි සමාජයක් බිහි වන බව හොඳින් දැනගන්නට කියා කල් තබා කළ අනතුරු හැඟවීමකි මේ කවියෙන් පෙන්නුම් කලේ. මෙසේ ලියන මා කෙරෙහි බාල ලෙස හිතන පිරිස් විරුද්ධ වුවත් මෙසේ ලියන්නේ ඒ පිනවතුන් කෙරහි වෛරයකින් නොවේ. අනුකම්පා පෙරදැරිවය. අද මේ බාල සෙල්ලම් පොළේ ලොකුම සෙල්ලම වී ඇත්තේ ක්‍රිකට් සෙල්ලමයි. දිවීම්, පැනීම්, රූප සුන්දරියන්, කුමරවරුන් ආදී ලෙස බෞද්ධ සමාජය පහත් කොට සැලකූ නොහොබිනා ඇඳුම් වලින් සැරසී කරන මෙබඳු වැඩ අද ලෝකයම ප්‍රශංසා කරන ලෙස පිළිගත් දේ බව පෙනේ. මේවාට පෙර ගුණවත් බොදුනුවන් පැවසුවේ සංකර වැඩ කියාය. විදේශ ආක්‍රමණ වලින් පසු යටත් වැසියන් ලෙස අන්‍ය පාලකයන්ගේ අත‍කොළු වූ පිරිස් තත්ව තානාන්තර ලෝභයෙන් විදේශ ගති සිරිත් හිස් මුදුනින් පිළිගෙන රටේ, ජාතියේ, ප්‍රදේශවල නායකයින් ලෙස පෙනී සිටි කලෙක ගුණවත් බොදුනුවන්ට කළ හැකි කිසිවක් නොවන තත්වයක් ඇති විය. ස්ත්‍රීන් වේදික‍ාවේ රඟපාන තරමට ලජ්ජා බිය නැතිවී යන්ට විය. නොයෙක් අපචාර වැඩ වල නීච බව මෙන්ම බෞද්ධ ගුණ ධර්ම වැනසෙන බව දුටු ගුණවත් බොදුනුවන් නාහෙන් අඬමින් මේ අසභ්‍ය වැඩ නවතන ලෙස පිමිණිලි කලේ එදා රටේ සිටි කළු සුද්දන් යැයි කියන සිංහලේ පාලක පිරිසටය. නාඩා ගනිල්ලා යැයි ලැබුන පිළිතුර නිසා අපට ලැබෙන උත්තරය වූ ඒ සංකර වැඩ පිළිවෙල අඬන්නේ නැතිව ගනිල්ලා කියන එකයි. නාඩ ගන්ට කී ඒවාට බොදුනුවන් අන්න නාඩගං ඇවිත් යැයි කියන්නට විය. නාඩගං නටනවා, නඩගං මඩු යන වචන ඒවාට භාවිත විය. ලයාන්විත ගුණ ගරුකත්වයේ මායිම නොඉක්මවූ දරුවන්ට “ළමයි” කියා පෙර ඇමතීය. පොඩි උන් ඒ ලයාන්විත ගුණ ගරුකත්වයෙන් ඈත් වන විට හෙළ බොදුනුවන් එබඳු ලයාන්විත බවේ මායිම ඉක්මවා යන අයුරු දුටු විට කෝ - ළමා යැයි නිතර සංවේගයෙන් කියන්ට වුනි. එබැවින් ඒ වැරැද්ද හෙළයින්ට ලැබුණු පෙර කී කාම මඩෙන් මඩ වූ බැවින් මඩු යැයි කී තැනින් නිසා ඒවා ළමා ගති නැති කරන තැන් නිසා “කෝළම් බඩු” යැයි ඒවාට භාවිත කලේය. ඒ කෝළම් මඩු අද සංගීත සංදර්ශන නමින්ද, සිනමාහල් නමින්ද, නවීන විලාසිතා ලෙස ජනප්‍රියව ඇත. හිස් මුදුනින්න පිළිගත් ලෝභ, ද්වේශ, මෝහ, ‍වැඩ පිලිවෙල අද ගෙදරක් ගෙදරක් පාසා දියත් කරන මඟක් එක්තරා විදියකට පෙට්ටියකින් සිදු කරනු ලැබේ.

(පිටුව 120)
ඒකට කියන්නේ රූපවාහිනී යන්ත්‍රය කියාය. යහපත් දේ සඳහා පමණක් භාවිතා කරනවා නම් ඒ පෙට්ටිය අපූරුය. පෙට්ටිය දැලි පිහිය නම් අසුවී ඇත්තේ විනාශයකටය. පංච කාමයෙන්ගෙන් මුසපත් කරන කාමුක ගීත හැඬීමක් ලෙසත් ඒවාට දෙන වාදනය මොරගෑමක් ලෙසත් සිතන්ට යැයි බුදු පියාණන්වහන්සේ දේශනා කර ඇත. ලොකු පෙට්ටියෙන් නාඩගං ගෙදරට ගෙනවිත් දී ඇති අතර හැඬීමෙන් මොරගෑමෙන් ලක්දිව දෙදරුම් කවන පොඩි පෙට්ටියක්ද සෑම ගෙදරකම පාහේ බොදා හැර ඇත. ඒකට කියන්නේ කැසට් යන්ත්‍රය කියාය. මේවායින් වැදගත් යහපත්දේ කළ හැකි නමුත් ඒවා තුළට රිංගා ඇති පරපෝෂිතයන් නිසා බොදුනු රටේ බොදුනු ඵලදාව දැඩි විනාශකයට ලක්ව ඇත.
එහෙත් රජයේ ආගම නම් බුද්ධාගමය. මෙසේ කියන්නේ කිසිම රජයකටවත්, සමාගමකටවත්, කිසිම නායකත්වයකටවත් අපවාද කරන අදහසින් නොවේ. ශුද්ධ බුදු මග යටපත් කර අර්ථ වසා දැමූ හෙළ අටුවා විනාශ කර දැමූ ආදියේ බුදු සසුන තුළට වැද්ද ගත් ලාමක පිරිසක් නිසා සිදුවූ ඇබැද්දිය නිසා වටිනා නැණ නුවණ ඇති බොදුනුවන්ගේ දහම් දකින නෙත් අඳුරු පටල ගලවා හැර දෑස පාදා ගත්තොත් පෙර මෙන් සි‍රි ලක්බිම සවි සිරින් පිරී යනු නොඅනුමානය. බුදු සසුන බැබලෙන්නේද එවිටයි. සැලෙන හදවත් ඇති වන්නේ යථාර්ථය වටහාගන්ට බැරිවූ විටය. යථාර්ථය නොවැටහෙන්ට වීම ඇරඹෙන්නේ ලෝභ, මෝහ වැඩ පිළිවල් වලිනි. අටලෝ දහමින් කම්පා නොවී තම ප්‍රශ්ණ ධර්ම මාර්ගයෙන් විසඳා සියලු ජය යහපත උදාකර ගත් ආදී ‍ බොදුනුවන්ට අද කර කියා ගත නොහැකි දැවෙන ප්‍රශ්න වැලකට මුහුණ දෙන්ට සිදුවී ඇත. සැලෙන හිතකට කොතෙක් ධර්මය පෙන්නන්ට හැදුවත් අර්ථය රඳන්නේ නැත. සැලීමට ළං කරන්නේ යමකින්ද ඒවාට සෙල්ලං යැයි කියනු ලැබේ. සෙල්ලං වලට තැන දුනනොත් අපගේ සුචරිත පලදාව මදය කුණු වූ ඔපය ඇති ල්ලකින් වැසුණු ගෙඩි ලෙසින් වනු ඇත. ඇස් රතු වුවොත් ඉන් වන්නේ පෙනීමට බාධා පැමිණිමයි. එවිට වන්නේ අනුන්ගෙන් මග අසාගෙන අත පත ගාමින් ගමන් කරන්ටයි. සෙල්ලමට ගියොත් ලෙල්ලම වෙන සැටිත් ඒකෙන් ඇස් රතු වෙන සැටිත් පෙර ආදී මුතුන් මිත්තන් කී කථාව මෙසේ වටහා ගතයුතුයි.

Sep 17, 2010

පිටුව 117 සහ 118

(පිටුව 117)
ඇයි මේ මායාව මෙතෙක් බලවත්වූ සියලු ආදීනව වසාගෙන මේ තරම් තදින් නැගී සිටින්නේ. මේක තමයි ‍අවිද්‍යාවේ හැටි. මේ අවිද්‍යාව නිකම්ම ලැබනෙවා නොවෙයි. කියලා බුදු පියාණන්වහන්සේ දේශනා කරනවා මීට හේතුව අසත් පුරුෂ සේවනයයි. මිනිසෙකුව උපන් ළදරු කාලෙ සිත මෙහෙම අසත්පුරුෂ අදහස් දීල නැහැ. මේවට මග පෑදුවේ කවුරන්ද? කනගාටුවෙන් නමුත් මේ ටික නොකියා බැහැ. දරුවට දොස් කියලා බැහැ. දරුවා මේවා බදාගෙන උපන්නේ නැහැ. දරුව මුල් කාලේ නොඉල්ලපු ලස්සන සුවඳ මායා ලෝකෙ සෙල්ලම ්ඉල්ලන්ට, ඒවාට නැමෙන්ට, රැවටෙන ලෝකයට මුල පුරන්ට දරුව ඒ මායාවල් ලැබුවේ කාගෙන්ද? අපේ සිංහල දරුවන් බෞද්ධ ගුණය තුළ වැඩෙන ආකාරයට පට පෙන්වා දුන් හෙළ අටුවා අද අතුරදන්ව ඇත. පටිච්ච සමුප්පාද ධර්ම රටාව ගුරුවරයා කරගෙන දහම් මඟ තෝරා බේරාගන්ට කියා දුන් ඒ උතුම් ධර්ම ර්තනය අද යටපත්ව ගොසිනි. නොළ යුතු පහත් වැඩ වලට අපේ ආදී පැරැන්නන් කීවේ සංකර වැඩ කියාය. අවිද්‍යා ප්‍රත්‍යයෙන් වන සංඛාර‍ා තේරුම් ගෙන සිටි ආදී සිංහල බොදුනුවන් ඒවායටි සංකර වැඩ කියාල නොකළ යුතු ලෙස , නීච ලෙස දැක ඉවත් කළ යුතු ලෙස සැලකුවේ. සංකරව වැඩ කියන අවිද්‍යා ප්‍රත්‍යයෙන් වන සංඛාර ඇසුරු කළොත් සංකර විඤ්ඤාණ පහළ වන බවත් ඒ සංකර විඤ්ඤාණ මුල් බැසගත්විට, දරුවාගේ සිත සංකර විඤ්ඤාණ සහගත වූ විට ඒ විඤ්ඤාණ නිතර ඉල්ලන්නේ බලාපොරොත්තු වන්නේ සංකර නාම රූපම බව දත් ආදී බොදුනුවන් මුලම කපා දමන්ට දක්ෂ වූහ. පොරොවෙන් කැපිය යුතු බවට පත්වීමට ප්‍රථම නියෙන් කඩඩා දමන එක කොපමණ පහසුද? නියෙන් කඩන පොඩි සංකර වැඩ පිළිවෙල මහ ඉහළ වටිනා දේ ලෙස කර ගසා ගත් තැන් පටන් අපට සිදු වූවේ බෞද්ධත්වයේ මහා පරිහානියට මුල පිරීමටයි. පොරොවෙන් කපන්නත් බැරි තරම් කොවුල් බැස ඇති සංකර විඤ්ඤාණ කුඩා කල සිටම ආරම්භ කර දෙන සංකර සමාජ වැඩ පිළිවෙල අද භාර ගෙන තිබෙන්නේ විනෝදකාමී නවීන සමාජයට ගැලපෙන සුන්දර වැඩ පිළිවෙලක් ලෙසය. මෙහි භයානකත්වය ධර්ම රත්නය තුළින් දැක ගන්ට බැරි ලෙස ඒ උතුම් ධර්ම රත්නය අද යටපත්ව ගොස් ඇත. තර්ක වාද කරමින් තම මතිමතාන්තර ධර්මය යැයි ලොවට ප්‍රකාශ කරමින් හිස උදුම්මාගෙන සිටින අයගේ කථා වලින් වන්නේ තව තවත් ශාසන පරිහානියක් සිදු වීම පමණකි. ආදී ගැමියන්‍ ඒ උතුම් ධර්ම ර්තනය අනුව දැක ගැමි කවි මගින් පෙන්වූ හරය වටිනාකම නිම කරන්ට බැරිය. එහෙත් ඒවා අද මෝඩ ගැමියන්ගේ හණමිටි කථා බවට පත්ව ඇත.
 
(පිටුව 118)
බල්ලන් බුරා එන කල පැන            නොදුවල්ලා
කොල්ලන් ගසට ඇර ගස මුල        නොසිටිල්ලා
සෙල්ලම පොලේ බඩු තරගෙට      නොගනිල්ලා
සෙල්ලම් කළොත් නිස්පල වෙයි       දැනගල්ලා

මේ පැරණි ගැමි ගීයේ උඩින් මත්තෙන් අර්ථය බැලුවද එහි ඇත්තේ යහපත් අවවාදයකි. මුලාවෙන් කටයුතු කරන විට ඇතිව යිය හැකි බාධක කරදර මග හැර ගන්ට මෙය කොතෙක් අගනේද? බල්ලන් වැඩිපුරම හපන්නේ බයේ දුවන විටය. ගස් ගෙඩි කඩන්ට ගසට හැර මුලා සිහියෙන් ගස් යටට වී කඩන ගෙඩි ඇඟට වැඩී මිය යන, තුවාල ලබන අය අදටද දැකගත හැකිය. සෙල්ලම් බඩු තර‍ඟෙට අරන් දෙන්ට යන හැටි අදද පෙනේ. අල්ලපු ගෙදර ළමයෙකුට මොනවා හරි අරන් දුන්නොත් ළඟ ගෙදර අයටද තම ළමයටද එසේ එබඳු සෙල්ලම් බඩු අරන්දීම අනිකුන්ට දෙවැනි නොවන ආඩම්බර වැඩ පිළිවෙලක් ලෙස සමාජයේ දක්නට ඇත. තමන්ගේ ආදායම මදිව ණය බරින්ද මිරිකෙමින් කරන මේ නිසරු වැඩ වල අඩු පාඩුව පෙන්වා දෙන්නේ කෙතෙක් යහපත් ලෙසද? නවීන සමාජයේ නිශ්ඵල එසේම දරුවන් ලෝභ, ද්වේශ, මෝහ සහගත බවට පත් කරන මේ හිස් වැඩ අද හිතන්නේ සාඩම්බර යහපත් වැඩ පිළිවෙලක් ලෙසය. නමුත් කුඩා කල මේ දමන සෙල්ලම් අත්තිවාරම තරුණ වියට පත් එම දඅරුවන් සල්ලායන් කර වන මුල බව මෝඩ දෙමව්පියෝ නොදනිති. පසුව පසු තැවෙති. උඩින් මත්තෙන් මේ කවියෙහි අර්ථය බැලුවත් කෙතෙක් යහපත් අවවාදයක් දෙන්නේද යන බව නුවණින් බැලූවිට පෙනේ. එසේම මෙහි ගැඹුරු යහපත් අර්ථයක්ද ඇත. මෙහි බල්ලන්ට උපමා කළේ යහපත් බුදු දහමට නිගරු කරමින් අර්ථ ශුන්‍ය කථා මහ ලොකුවට වර්ණනා කරමින් සමාජය හානි වෙන්ට ඇති ඉඩ කඩ අවුරා සත්පුරුෂ සමාජය බේරාගත යුතුය. මෙහි කොල්ලන්ට උපමා කලේ අන්ධ බාල පෘතග්ජනයන්ය. කොලු අදහස් ඇති හිස නිකට පැසුණු මහල්ලන් පවා උසස් අදහස් ඇති අය ලෙස පිළිගන ඔවුන්ට මුල් තැන දී යටහත්ව පහත් තැන් සිටින්ට ගියහොත් ඔවුන්ගේ පාප බේගල් නැමැති ගෙඩි ගුණවතුන්ගේ හිසට, ඇඟට වැටී ඒ අය අනාථයන් ලෙස වැනසෙන්නට වුවහොත් මූළු සත්පුරුෂ සමාජයම අඳුරට වැටෙනු ඇත. එබඳු දෙය අදද සිදුවන හැටි පෙනේ.

Sep 13, 2010

පිටුව 115 සහ 116

(පිටුව 115)
මටත් දෙවියෙක් වෙන්ට ඇත්නම් මටත් බ්‍රහ්මයෙක් වෙන්ට ඇත්නම් මටත් රජෙක්‍ වෙන්නට සිටුවරයෙක් කෝටිපතියෙක් මෙවන් ලස්සන කෙනෙක් වෙන්ට ඇත්නම් මෙසේ ලෝකයා ඒ ඒ අත්බැව් වල ඒ ඒ අවස්ථා වටක‍ර ගොදුරු කර සිටින දහසක් දුක් කරදර නොපෙනී ආස්වාද මොහොත ලොව මතුවූනේ කෙතෙක් බාධක මැදද? කෙතෙක් කලකටද කෙතෙක් කුණු කන්දල් වටක‍රගෙනද? කෙස් ලොම් නිය දත් සම් යන අසාර කොටස් වල මායා දර්ශනය තුලින් දුටු රූමත් තරුණයාගේ සහ තරුණියගේ ඒ වසා සිටින ශරීර මල්ල තුල තිබෙන එක් දෙයක් වෙන් කර පෙන්නුවොත් කුමක් පවසයිද නොලැබුනොත් සියදිවි නසාගනිමියි කියමින් ඉකිබිදින කෙනෙකුට එම හිත බැදි තරුණයාගේ හෝ තරුණියගේ හිස කෙස් මොහොතකින් පැසී ගියේ නම් දැන් කෙසේ නිගමනය කරයිද? ලොම් පැසී ගියේනම් නිය පොතු ටික ‍‍‍වැටී ගියේ නම් දත් දෙපල වැටී නම් හංකඩය රැලි ගැසුනි නම් මේවායින් එක දෙයක් මෙසේ වුනි නම් මේ මාර මායාව ලෝ සතුන් මුලා කර බැද දමන්නේ කොතරම් සියුම් දෙයකින්ද? මේ සියුම් මායාවට මුලා වෙන අය ඒ මුලාව ගොදුරු කර ගන්ට පවසන දේවල් මොන තරම් කපටි සහගතද? වංචනිකද? මේ මායා මාත්‍රයට ගිජුවී කරන මිනී මැරුම් මංකොල්ල කෑම් ස්ත්‍රී දූෂණ කොතෙක්ද? මෙබදු මායා ස්වභාවය සිරුරක් ඇසුරේ කොතෙක් කල් විද්‍යාමාන වේද? හැකි තරම් බාධක මැඩගෙන පිහිටියත් වසර දහයක් ගිය තැන මායා රැවටුම කෙළවරය. එතැන පටන් නීතියට පොරොන්දුවට යටත්ව කාලය දුක් බරින් මිරිකී අත්බැව් ගෙවනු ඇත. රූමත් තරුණයෙක් රූමත් තරුණියෙක් මෙසේ කීවත් ඒ කොතෙක් තාවකාලිකව කාල සීමාවකටද? කයට කිවයුතු ඊට වඩා සත්‍යයක් ඇත. රූමත් ලෙඩ කදක් රූමත් කුණු ගොඩක් කියා ඇති ස්වභාවය වත් නොසිතන්නේ ඇයි?
ආදීනව දහසක් වසාලිය හැකි ලොකුම ඇස් බැන්දුමකින් ලස්සන කියන මායාව. ගද කදක් වසා සිත ඇද බැද තබන මායාවකි සුවද, ඕනෑම වහල් බවක නීච බවක බැද තබන මායාවකි ප්‍රිය මනාපය. ලෝ සතුන් බිලි ගන්නා මායා රකුසන්ගෙන් වැසුණු දුක් ගිනි කදක් වන් ලෝකය අත්හැර ගත නොහැක්කේ මුලාවෙන් වැසී ඇති තතු නොපෙනෙන නිසයි.

(පිටුව 116)
කායික ජීවිතයේ පිරිසිදුකම කෙසේද?
“හරි පිරිසිදු ළමය, ඇඟ සෝදලා වතුර බොන්න පුළුවන” මේ සමහර අය කියන කියමනකි. එයා කො‍හෙද උපන්නේ? මව්ගැබේ. එහෙනම් පිරිසිදු තැනකටද ‍උපදින්නට ඇදිලා තිබෙන්නේ? ගර්භාෂයේ මසින් ලෙයින් ගැවසුනු සිවියක ඇලිලා මොනවද පෝෂණයට උරන්නේ? ගැබේ ඇති මස් ලේවල ඕජසයි. ඇහැට නොපෙනන බුබුලක් වගෙයි. මුල් සතියේ දින දහයක් පමණ යන විට පණු බිත්තර පොකුරක් වාගේ හැදිලා මස් ලෙයහි ඕජස උරනවා. බඩේ කොකු පණුවෝ එල්ලිලා ඉන්නවා වගේ තව ටික කලක් යනකොට. ඊටපස්සේ රූකඩයක් වාගේ, පඹයෙක් වාගේ තවකල් යනකොට වකුටු වෙලා මළ මූ දෙක දියර මැලියම වාගේ පිට කර ඒවායේ තැවරිලා මල්ලක හිර කළා වගේ මාස නවයක් පමණ ඉන්නව. නව මසක් පහරපු කුණු ගොඩක් සමග මෙලොවට බිහි වෙනා. දැන් උගුර කට වේලෙනවා. බඩගින්න දැවිලි ඇති කරන විට මොර දෙනවා. මවගේ ඕජසම කිරි කියලා උරනවා. මොනව මොනවහරි අමතරව කවනව කොටසක් මල මුත්‍ර ලෙස එතනම පිටවෙනවා. අසරණ අනාථයෝ වෙලා කුඩා කල ගතකරනවා. පිරිසිදුවට සුවඳට රසට හද හද කවනව. ගඳ දෙමින් ජරාව ලෙස කොටසක් මළ මුත්‍ර ලෙස පිටකරනවා. දාඩිය තෙල් කුණු ලෙස සොටු, කබ කඳුළු ලෙස මෙසේ සෑම අතින්ම පිට කරන්නේ කුණු අඹරා පිට කරන මැසිමක් වගෙයි. කුණු පිට කරන්ට වෙලාවක් වෙන් කර නැහැ. නිතරම සමෙන් පිට කරනවා. මළමුත්‍ර ලෙස සෙම සොටු කඳුළු ලෙස මෙසේ සෑම තැනින් නිතර පිටවෙනවා. පිරිසිදු කරලා සුවඳ කවලා කයට දෙන ඇඳුම කුණු ගඳ කර ඉවතට දමන්නේ පිළිකුලෙන්. මේකය ගඳ දෙයක් සුවඳ කර දෙන්නේ නැහැ. සුවද ගඳ කරල, පිරිසිදු දෙය අපිරිසිදු කරල දීම නම් එසේම කරනවා ඇසට පිටතින් අඳුන් හඳුන් තවරනවා. ඇස කබ කදුළු දෙනව. කන කලාදුරු කියලා දුගඳ දෙනවා. නාසය සොටු දෙනව. කට කුණු කෙල සෙම දෙනව. කය මල මුත්‍ර දෙනව. මොනවද මේ ඉදුරන් දෙන සුබ දේ. නොහික්මවපු හිත දෙන්නේ මේ සියල්ලටම වඩා භයානකම දේ. හිංගි කරපිය ගහපිය මරපිය ගොරවපිය ජරා කරපිය ශාප කරපිය මේ නොහික්මුණු සිත වමාරන භයානකම දේවල්. අපට අනන්ත සංසාර ගමනේදී අනේක විධ දුක් වද වේදනා දෙන්ට මුල හදලා දෙන්නේ මේ පාපී සිත නැමැති අසත්පුරුෂයාය. ඒ උනාට අපි ඒ අසත්පුරුෂයා බදා ඉන්න කුණු ගොඩ නේද මේ හෝදලා වතුර බොන්ට පුළුවන් කෙනා කීවේ. මේ තමයි, ලොව රවටන මායාව.

Sep 8, 2010

පිටුව 113 සහ 114

(පිටුව 113)
රා යනු මත්වන පානයකට නමකි. එබදු උපමාවක් සසරේ මත්වන පානයන් පෙන්වීමට බුදු සසුනේ භාවිත කර ඇත. මත් වන පානයන් අග්‍රකර ගත් විට ඊට අනුකූල මත්වීමක් හට ගනී. පංච කාමයෝ මත්වන පාන විශේෂයකට උපමා කර ඇත. එබදු කාම පානයන් අග්‍රකර ගත් විට එය කාම රාග නමින් හදුන්වයි. දිව නාසය කය යන මේවායේ ආස්වාදයන් ප්‍රධාන වශයෙන් රා කොටසට අයත්ය. අම නමින් හදුන්වන අමෘත හෙවත් නිවනට කහටක් වැනි හෙයින් මේවාට කාම නම යෙදේ. එම ආස්වාද පානය අග්‍ර කරගත් විට ඒ කෙරෙහි රා අග්‍ර ඇතිවේ. හෙවත් කාමරාග ඇතිවේ. මේ කාමරාග සදහා ඇස කන නාසය දිව කය ඇසුරෙන් ලබන ආස්වාදයට ඇස කන සිත යන ඉන්ද්‍රියන් තුලින්ද යම් ආස්වාදයක් බලාපොරොත්තුවේද? ඒ කොටස කාමරාග කොටසට අයත් වේ.
මේ කොටසට හැරුන විට යම් රූප ශබ්ද ආස්වාදයක් හිතෙන් බලාපොරොත්තු වේද ඒවායෙහි ආස්වාද පානයෙන් මත්වීමක් වේ. රූප කෙරෙහි රා අග්‍ර කල විට ඒවා රූප රාගයෝය.
බුද්ධ කාය දෙස බලාසිටි වක්කලී හාමුදුරුවන්ට ඒ ඇතිවූයේ රූප රාගයයි. ජේතවනාරාමයෙහි ශාන්ත ස්වභාවය බුද්ධ ප්‍රමුඛ සංඝ රත්නයේ විද්‍යාමාන ශාන්ත භාවය ගැන නිතර ආස්වාදය ලබමින් සිටි එක්තරා ආනාගාමී උපාසක මහතෙකුට මතු බවයක් මට එපාමයි හැගුනද මරණින් මතු අවීහ නම් වූ බඹලොව උපතක් ලැබුණි. එහිදී ඇයි මම යළි භයක් ලැබුවේ යයි සිතු ඒ බ්‍රහ්මයාට තමා වෙත රූප රාගය තිබුන බව පෙනී ගියේය. බුදු පියාණන් ලගට පැමිණි එම බ්‍රහ්මයා තමාට උපදින්නට වූ හේතුව දැන් තේරෙන බව කියා සිටියේය. මේ රූප රාගයේ ස්වභාවයයි.
මෙබදු රූප කෙරෙහි ඇල්ම අත හැරුන කෙනෙකුට තවත් ඉතිරිව ඇති ජීවිතාශාව අරූප රාගයයි. මේ තුන් රාගයම අත හැර දැමූ විටයි මතු භවයක උපතක් නැති වන්නේ. ආර්යයන් දකින දුක තේරුම් ගන්නට නම් සසර අනාථ බව තේරුම් ගත යුතුයි. බුදු පසේ බුදු මහ රහතන් වහන්සේලාද මහ සෘෂි වරුද එබදු තවත් පෙර භව දුටු දාර්ශනිකයෝද සංසාර ගමනක භවයෙන් භවය සැරිසරන අනන්ත සත්වයෝ දැක ඇත. නොයෙකුත් බාහිර හේතු විමසීමේදී ද එය සනාථ වන කරුණු කොතෙකුත් හෙළි දරවු වනු ඇත. අංශු මාත්‍රයක් බොරු වදන් නැති බුද්ධ දේශනාව කෙරෙහි මහත් විශ්වාසය බොදුනුවන්ට තිබේ. මේ විශ්වාසය නිසාමයි ‍සසර තේරුම් ගෙන සසරට බිය වී ආර්ය මාර්ගයේ පිළිසරණ සොයා පිය නගන්නේ.

(පිටුව 114)
ආර්ය මාර්ගය වඩන උතුමන්ට සමාපත්ති පූර්ණ වූවිට මේ යථා තත්වය අත්දකින්නට ලැබෙනු ඇත. නිම් හිම් නොපෙනෙන අනාදිමත් භව ගමනේ අතීතයේ දෙවියෙක් නොවුන බ්‍රහ්මයෙක් නොවුන රජෙක් නොවුන සිටුවරයෙක් නොවුන සාමාන්‍ය මනුෂ්‍යයෙක් නොවුන තිරිසනෙක් නොවුන යකෙක් ප්‍රේතයෙක් පිසාචයෙක් නොවුන අපාගත සත්වයෙක් නොවුන කිසිවකු කිසි තැනක නැත. ඒ සියලු තැන්හි සැමටම ඇති වුනේ මම යන හැගීමය රැස්කල දේට හිමිකම් කිව් දේට ‍මගේ යන හැගීම ගෙන ඇත. අනන්ත වාර දෙවි අත්බැව් ලැබුවා කීවත් ඒ එකද අත්බැවක් ලබා සිටියාද කියා මතකයක්වත් අද නැත අනන්ත වාර බඹ අත්බැව් ලැබුවත් ඒ එක බවක් වත් ලැබූ බව අද මතක නැත. තිරිසන් යක්ෂ ප්‍රේත අසුර ‍නේරයික අත් බැව් අනන්ත ලැබුවත් ඒ එකද අත් බවක් පිලිබදව මතකයක්ද අද නැත. එහෙත් ඒ දෙවි බඹ මිනිස් ආදී අත්බැව් වලදී අද අපට මම කියන විට එන හැගීම කිසි අඩුවක් නැතිව ඒ ඒ අත් බැවුහිදී ලැබී ඇත. මගේ කියා කී අයිති වාසිකම්ද එසේය. පෙර මිනිස්ව ලෝකයාට ආලයෙන් බැදී මගේ අඹුදරු මේය දෙමාපිය මේය නෑදෑයෝ මේය මගේ ජාතියේ කුලයේ ගෝත්‍රයේ අය මේ යැයි කී වාර අනන්තය, අප්‍රමානය, පෙර ජාතිවාදයෙන් කුල ගෝත්‍ර වාදයෙන් ධන වාදයෙන් බලවාදයෙන් දැනීම් වලින් මත්ව අන්‍යයන් පාගා ගෙන නැගී සිටි මාන්නක්කාර අවස්ථා අනන්තය. පෙර අනුන්ට පහත් ලෙස ගැරහුවෝ එබන්දන්ගෙන්ම බැල මෙහෙවර කරන වහලුන්ව අඬ අඬා පව් ගෙවන්නෝය.
පෙර ප්‍රාණඝාතය හොර මැර කෙරුවෝ ඒ පව් ගෙවමින්ද වද හිංසා විද වස්තු විනාශ වී අනාථයෝව මරණයටද පත්වූ වාර අනන්තය. පාප ස්වභාවය නොදැන සුරා සූදු දුරාචාර කර කපුටන් උකුස්සන් තිරිසනුන්ව සැරි සැරූ අත්බැව් අනන්තය. බොරු කියා රවටමින් කේලාම් කියා බිදවමින් කුණු වූ මුව ඇතිව විරූපී මුඛ ඇතිව අත්බැව් ගෙවූ වාර අනන්තය. අනුන් කපා කොටා මරාදමා ඒ පව් ගෙවන්ට අට මහ නිරයන්හි, ඔසුපත් නිරයන්හි වසර ලක්ෂ කෝටි ගණන් ගෙව් වාර අනන්තය. අනුන්ගේ වහල් වැඩ ගෙන කෝටිපති වී ඒ පව් ගෙවන්නට දාසයන් වී යාචකයන්, අනාථයන්වී අත්බැව් ගෙවූ වාර අනන්තය. එක් මුලා සුවයකට වහල්ව නොකටයුතුකම් කොට මුළු ජීවිතයම නින්දාද ලබා වසර කෝටි ප්‍රකෝටි ගණන් එම පව් විදින්නට සතර අපා ගතවූ වාරද අනන්තය.

Sep 2, 2010

පිටුව 111 සහ 112

(පිටුව 111)
අම්බලට්ඨික රාහුලෝවාද සූත‍්‍රයේ බුදු පියාණන්වහන්සේ රාහුල හාමුදුරුවන්ට මෙසේ අවවාද අනුශාසනාවක් කළ බව සදහන් වේ.
“රාහුල ඔබ දිවා දානයෙන් පසු හුදෙකලා විවේකී තැනක වාඩිවී මෙසේ සිහි කරන්න. අද දවස තුළ මම හිතපු, කියපු, කරපු දේ තුලින් රාගයට, ද්වේශයට, මෝහයට, හේතුවුනේ මොනවාද කියා සිතා බලන්න. එසේ හිතා, කියා, ක්‍රියා කරන තිබුනා නම් මින් මතු එසේ නොකරමි. නොකියමි, නොසිතමියි, අදිටන් කර ගන්න. රාග ක්ෂයට, ද්වේෂ ක්ෂයට, මෝහක්ෂයට, හේතුවන දේ සිතා, කියා, ක්‍රියා කර තිබුනා නම් එබදු දේ මින් මතුත් හිතමි, කියමි, කරමියි සිහි කර ගෙන ඉදිරි කටයුතු කරන්න. රාහුල පෙර යම් ශ්‍රමණ කෙනෙක් ශ්‍රමණ ධර්මය පිරුවා නම් මේ ක්‍රමයෙන් මිසක් වෙන ක්‍රමයකින් නොවෙයි. මතු යම් ශ්‍රමණ කෙනෙක් ශ්‍රමණ ධර්මය පුරන්නේ නම් මේ ක්‍රමයෙන් මිසක් වෙන ක්‍රමයකින් නොවෙයි. දැන් යම් ශ්‍රමණ කෙනෙක් ශ්‍රමණ ධර්මය පුරයි නම් මේ ක්‍රමයෙන් මිසක් වෙන ක්‍රමයකින් නොවෙයි කියා දේශනා කර වදාළේය. මෙය අපටද ඉතා වටිනා දෙයකි. හුදකලාව විවේකීව සිටින විට ‍මනාසේ මෙසේ කල්පනා කර ඉදිරිය හැඩ ගසන්නේ නම් ධර්ම මාර්ගය පිරීමට එයම හේතු වෙනවා ඇත. එසේම එක තැනක හිද සියලු ලෝ සතුන් කෙරෙහි ආර්ය මෛත්‍රිය පතුරවන්නට පුළුවන. අපගේ සැගවුණු අපට හසු නොවන ක්‍රියාවලට කථාවලට අපතුල තිබෙන බලාපොරොත්තු මොනවාදැයි සිතාගන්නට මේ අවස්ථාව හොද පිටිවහලකි. ‍මට යන්ට
හිතෙනවා ටිකක් කතා කර කර ඉන්ට මෙහෙම සිතක් ආවොත් එක වරම ක්‍රියාකාර නොවිය යුතුයි. ඒ කථා කරන්ට යන්ට සිතුනේ මොනවා ගැනද ඒ බලාපොරොත්තු කථාව රාග සහගත දෙයක්ද ද්වේෂ සහගත දෙයක්ද මෝහ සහගත දෙයක්ද කියා සිතා බැලිය යුතුයි. එසේ නම් එය අවැඩ සහිතයි. වැරදියි නොකල යුත්තකැයි සිතා මින් මතුවට එබදු අදහසක් ඇති කර නොගනිමියි හික්මිය යුතුය.
එතැනම ඉද සිටින විට සිංදුවක් කවියක් හෝ එබදු යම් දෙයක් කියවෙනවා නම් වහාම එය රාගයට ද්වේශයට මෝහයට අයිති දැයි විමසා මෙය නවතිමි අවැඩ සහගතයි. වැරදියි කියා නවතා දමා මතුද එබදු කථා සිදු නොකරන්නට අදිටන් කල යුතුයි.

(පිටුව 112)
සිතිවිලි ගලා ආවද එසේම ඒ සිතිවිල්ල රාග ද්වේශ මෝහ යන තුනෙන් යමකට වැටෙනවා නම් ඒ සිතුවිල්ල නොසිතිය යුතුයි මතු එබදු සිත් පහළ නොකරමියි අදිටන් කළ යුතුයි. එසේම රාග ක්ෂයට, ද්වේෂ ක්ෂයට, මෝහ ක්ෂයට හේතු වන සිතුවිලි ක්‍රියා කතා සදහා මෙහෙය වීමක් නම් එය යහපත් වැඩ සහිතය හොද යැයි තීරණය කර එබදු දේ කල යුතුය කිව යුතුය සිතිය යුතුය. තමා තුල නිරන්තරයෙන් මෙන් සිදුවෙන සිතුවිලි ක්‍රියා වදන් මෙසේ සියුම්ව තෝරා බේරාගෙන කටයුතු කිරීම ඇරඹුවොත් වැඩි කල් යන්ට පෙර පහ කළ යුත්ත පහව යන්නේය. පාපය ගෙවී යන්නේය ඇසුරු කල යුත්ත ඇසුරු කරන්නේය එහි ප්‍රතිඵලය වන ශාසන සංසිදීම හෙවත් ආස්වාදය නැත්නම් සංවර ආස්වාසය පුරණ වන්නේය. කාය, වේදනා, චිත්ත, ධම්ම, යන සතර සති පට්ඨානයම වැඩෙන්නේය ආර්ය අෂ්ටාංගික මාර්ගය සත්ත බොජ්ඣංග ධර්ම වචන වාක්‍ය වශයෙන් පාඩම් නැතත් වැඩෙන්නේය. නිවන් ප්‍රත්‍යක්ෂ වන්නේය.
මෙසේ වඩන භාවනා ක්‍රමය නම් තුවාලයක ඔඩු කපනවා වැනි දෙයකි සිතටත් හොරෙන් රාග ද්වේෂ මෝහ ක්‍රියාවල යෙදෙමින් ඒ ආකාර සිහි නොකර කොතෙක් ඉදගෙන සිටියත් භාවනා කලත් ලෝභ ද්වේශ මෝහ යන පාප මුල්වලට ආහාර හිග නොවේ. නොදැනුවත්වම ආහාර සපයන මග ක්‍රියාත්මකය නොදැනුවත්වම කීවේ නියම සිහියෙන් නොසිටි නිසයි. මේ කියන සිහිය අන්‍ය ශාසන වල තිබෙන සිහිය නොවේ. නියම ශාසන සිහිය ලබන්නට පළමුව ධර්මය අසා එය වටහා ගෙන නගා ගෙන තිබිය යුතුය. කර්මස්ථානයක් වඩන්නට පළමුව ඒ පිලිබදව මනා අවබෝධයක් තමාට ඇති විය යුතුයි. දුක යනු කුමක්දැයි මනාව තේරුම් ගත් එසේම ඒ දුකට හේතුව කුමක්දැයි මනාව තේරුම් ගත් කෙනෙකුට දුක නැති කිරීමට අවශ්‍ය වන්නේ. එවිටයි දුක නැති කරන මාර්ගය වන ආර්ය අෂ්ටාංගික මාර්ගය තේරුම් ගැනීමට අවශ්‍ය වන්නේ. තේරුම් ගත් පසුවයි එය භාවනා කල යුතුයි කියන අධිෂ්ඨානයත් උත්සාහයත් වීර්යයත් නගන්ට අවස්ථාව පහළ වන්නේ. ලෝකයා සංසාර සාගරයේ ගමන් කරන්නේ සැපත සොයමින් පංච කාම ආස්වාදය ගෙන දෙන දේ සැපට හේතු කාරක යැයි ගත් තීරණයක් මතය.