මෙම බ්ලොග් අඩවිය පිළිබඳව

සම්මා සම්බුදු පියාණන්වහන්සේ වදාළ සත්‍ය වූ බුද්ධ ධර්මය කාලයත් සමග සැගවෙන්නට ඇති ඉඩකඩ වැඩිය. එය ‍එසේ වූ නිසාම ශතවර්ෂ ගණනකින් මාර්ගඵල ලාභීන් බිහි වූ බවක් අසන්නට නොලැබිණි... එහෙත් මග ඵල ලැබ ගෞතම බුදු පියාණන් විවර කල නිවන් දොරටුවෙන් මාර්ගයට පිවිස ඵල ලැබී සැනසීමට නියම වූ ඇත්තන් තවමත් සිටින හෙයින් ඔවුන් සදහා උපකාරයක් වීමට නියම කළ්‍යණ මිතුරාගේ පැමිණීම සිදුවී ඇත. ඒ සැඟවුනු මාවත යලි විවර කරමින්, සැඟවුනු දහම් අරුත් මතු කරමින් සසර දුකින් පෙළෙන ඔබටත් මටත් අනන්ත සසර දුක් සයුරෙන් එතෙර වීමේ ප්‍රයෝගික මග හෙලි කරන අභිඥාලාභී පූජ්‍යපාද වහරක අභයරතනාලංකාර ස්වාමීන් වහන්සේගේ ධර්මානුශාසනා ඇසුරෙන් පලවූ "සැගවුණු බොදු මග කල එලි දකී" යන පොත ඇසුරෙන් මෙසේ සටහන් තබමි!

Nov 30, 2010

පිටුව 127 සහ 128

(පිටුව 127)
ඒ ඒ අවස්ථා ක්‍රියාත්මක කරන විට මොහොතක අතීත මතකය පමණයි දැඩි ලෙස මේ ප්‍රිය මධුරතාවය ඇති කරන්නේ, කාලය සමග අතීතයට දුරස් වන විට පිහිටන්නේ ප්‍රිය මධුර ආස්වාද ස්වභාවය දුර්වල වූ මතක සටහන පමණයි. මේ වින්දනයන් කෙරෙහි පහළ වන මහත් අභිරුචිය හේතු කොට යළි යළිත් ඒවා ලබන්නට බලාපොරොත්තු දැඩිව ඇතිවේ. රූපයේ ප්‍රියමනාප ලබන්ට, ශබ්දයේ ප්‍රියමනාපය ලබන්ට, ගන්ධයේ ප්‍රියමනාපය ලබන්ට, රසයේ ප්‍රියමනාපය ලබන්ට, ස්පර්ශයේ ප්‍රියමනාපය ලබන්නට, ධර්මයන්ගේ ප්‍රියමනාපය ලබන්නට ඒ කිසිවක් නිකම් පහළ නොවේ. ඒවා තනි තනිව පහළ නොවේ. ඒ සැම හේතුන්ගේ ඵල දාමයකි. රූපයන්ගේ ප්‍රියමනාප භුක්තියට මනසින් රූප ස්පර්ශය ගෝචර කර ගත යුතුය. ස්පර්ශ නිකම් නොලැබේ. සෑම ස්පර්ශයක්ම දෙකක ගැටීමෙන් සිදුවන්නකි. ගැටීම් මාත්‍රයකින් ස්පර්ශ මාත්‍රයක් පහළ ව ගෙවී යයි. ස්පර්ශ මාත්‍රයක් නිසා දැනීම් හෙවත් වේදනා මාත්‍රයක් පහළ වේ. වේදනා මාත්‍රයකින් ආස්වාද බලාපොරොත්තුව සඵල කර ගත නොහැකිය. එක ළඟ ස්පර්ශ මාත්‍ර වැලක් ක්‍රියාත්මක විය යුතුය. රූප ස්පර්ශ වැලක් එක දිගට පහළ කරන්නට රූප ගැටීම් පහළ කරන ඉන්ද්‍රිය දෙකොටසක් අවශ්‍යය. ඇස යන අභ්‍යන්තර ඉන්ද්‍රියද රූප ධාතු නම් වූ බාහිර ඉන්ද්‍රියද ප්‍රයෝජනයට ගත යුතුයි. මේ දෙකොටසම ‍හදා දෙන්නට කවුරුත් ලැහැස්ති වී නැත. ඒ ඒ සත්වයෝ රූපාස්වාදයේ බැඳුන ආසා හිත් වැලකින්ම මේ නිර්මාණ බාලපොරොත්තු ඇති කරිත්. බලාපොෙරාත්තු ඇති තාක් කල් ඒ චිත්ත පරම්පරාව ශක්තියක් ජනිත කරයි. මේ ශක්තිය ආසා බලාපොරොත්තුව නිසයි පහළ වෙන්නේ, මට ඇසක් අවශ්‍යයයි, රූප අවශ්‍යයයි. යන හැඟීම ප්‍රබල කරන විට ඇසක් හට ගන්වන ශක්තිය, රූප හට ගන්වන ශක්තිය විශ්ව ගතව නිර්මාණය වේ. මෙයයි ශක්ති මූලය. ආශාව ගෙවුණු අතීත අරමුණු කන්දරාව මනස හා බැඳ තබයි. වර්තමාන ක්‍රියා පද්ධතිය හා බැඳී ඇත. අනාගත බලාපොරොත්තු පද්ධතියක් සමග බැඳී ඇත. මේ බැඳීම නිසයි තණ්හාව පහළ වෙන්නේ. අතීත ආස්වාද පිළිබඳව මතකයන්ගේ අත්දැකීම ඇති නිසා මෙබඳු ආස්වාද රටාවකැයි වර්තමාන ක්‍රියාපද්ධතියක බැ‍ඳෙමින් භුක්තිය ඇසුරු කරන්නේ. හටගත් සියලු ආස්වාද අවස්ථා කාලය සමග අතීතයට යන බැවින් සැමවිටම මතු ආස්වාද මාත්‍ර ලබන්නට උත්සාහය, වෙහෙස පැතුම් ඇති කරමින් ආස්වාද හොයා ඒවා සාරවත් ලෙස නිගමනය කර අවිද්‍යා සහගත ‍තෘෂ්ණාවෙක බැඳී සිටීම සංසාර ගමනට හේතුවයි.

(පිටුව 128)
මන වඩන ශබ්ද ආස්වාදය ප්‍රිය මධුර ලෙස භුක්තියට ඇති ආශාව නිසා ඒවා ලබන්ට නකුත්, බාහිර ශබ්දයකුත් බලාපොරොත්තු වේ. මන වඩන ගන්ධයන්ගේ ආස්වාදයට බැඳී ඒවා ලබන්ට නාසයක් සහ සුවඳ පිළිබඳ බලාපොරොත්තු ඇති කර ගනී. මන වඩන රස භුක්ති ආස්වාදයට බැඳී ඒවා ලබන්ට දිව සහ රස ද්‍රව්‍ය පිළබඳ බලාපොරොත්තු ඇති කර ගනී. කායික ස්පර්ශ ආස්වාදයේ බැඳී ඒවා භුක්ති විඳින්නට කය සහිත ස්පර්ශ ඉන්ද්‍රිය හා ප්‍රිය මනාප ස්පර්ශ වස්තු පිළබඳ බලාපොරොත්තු ඇතිවේ. ඒ සියල්ල භුක්ති විඳ ඒවා ගැන හිත හතා ආස්වාද ලබන්ට මන සහ ධර්ම පිළිබඳ බලාපොරෙත්තු ඇති කර ගනී. එබැවින් සසර සැරි සරන සත්වයා අවිද්‍යාවෙන්, තෘස්ණාවෙන් බැඳුන එකම බලාපොරොත්තු පිණ්ඩයකි. මේ බලාපොරොත්තු, සංඛාර ස්කන්ධ පහළ කරන්ට ප්‍රධාන හේතුවයි. අනන්තයේ පටන් එන ආසා භුක්තිය සොයා සැරි සරන මේ ගමනේදී මතු කරමින් ගෙවී යන ස්වභාවය හැර කිසිම ආස්වාදයක් අත් පත් කර ගෙන ඇති පදමට භුක්ති විඳින්නට ආසා පිණ්ඩයක් ලැබුනා යැයි කිව හැකි නෙකෙන් මිහි පිට පහළව නැත. පහළවී සිටින්නේද නැත. මතුවට පහළ වන්න හේතුද නැත. ආස්වාදයක් දෙන්ට ලෙස ඉදිරියට විත් මොහොතින් ගෙවී යන මේ වැඩ පිළිවෙල සුබ යැයි කරන මුලා සහගත තීරණය නිසා මෙයට මෝහ යැයි කියති. මේ මෝහ ස්වභාවය යම් හිතක ක්‍රියාත්මක වේද ඇලෙන, බැ‍ඳෙන ස්වභාවය එතැනය. එයයි ආ‍පෝ කියන්නේ. ආස්වාද හොයා සැරි සරන සැලෙන ස්වභාවයද එතැනය. එයයි වායෝ ස්වභාවය. නොනැසී පවත්නට, තෙද ගන්වන්නට සදන ස්වභාවයද එතැනයි. එයයි‍ තේජෝ ස්වභාවය. තද කරන්නට, හිර කරන්නට බලාපොරොත්තු ස්වභාවයත් ‍එතැනය. මෙයයි පඨවි ‍කියන්නේ. ආස්වාද භුක්තිය ලබන්ට අවශ්‍ය අධ්‍යාත්මික, බාහිර සත්ව, පුද්ගල, ද්‍රව්‍ය, වස්තු පහළ වන්නේ සිතක පහළ වන මේ ගති ස්වභාව හතරේ සංකලනයන්ට අනුවයි. ඒ සිත්වල ගති ස්වභාවයන්ට අනුරූපව සත්ව, පුද්ගල, ද්‍රව්‍ය, වස්තු පහළ කරන්නට ඒ ශක්තිය අනුරූපව ක්‍රියා කරයි.

Nov 29, 2010

පිටුව 125 සහ 126

(පිටුව 125)
ලෝක ආශාවන් අත් නොහැරී අයට මේ සසර මුල හොයා ගැනීම මහත් වටිනා දෙයක් ලෙස හිතුනත් අරිහත්ව ධර්මාවබෝධය ලැබුන විට අනවශ්‍ය දේ සෙවීම නිශ්ඵලයි කී දහම තත්වාකාරයෙන් වැටහී පූර්ණ වන්නේය. බාල දරුවෙක් බාලකම නිසා කැලෑවක වල් ගසක් පෙන්නා මේ ‍ගසේ කොළ කීයක් තියෙනවාද? මුල් කීයක් තියෙනවාද? කියලා අපෙන් ඇසුවොත් අපට හිතනේනේ කෙසේද? වැඩකට නැති පර්යේෂණයකින් කෙබඳු ප්‍රයෝජනයක්ද? ඒවා ගණින්නට, හොයන්නට යාම මුලාවක් මිස ඇති වැඩක් නැත. මෙසේ වැටහෙන වැඩිහිටියාට එය ප්‍රශ්නයක්, අවශ්‍ය දෙයක් නොවුවත් බාල දරුවාගේ බාල මනසට එය අවශ්‍ය දෙයක් යැයි සිතෙනු ඇත. ලොව ගැන අනර්ථ සෙවීමද නුවණ වැඩෙන විට වැටහෙන්නේ මෙසේය. සෙවිය යුතු අර්ථවත් විමුක්තියට අවශ්‍ය කාරණා තේරුම් ගන්ටත් කල් මදිව උත්සාහ කරන කෙනෙක් අනවශ්‍ය මුලාවකට උත්සාහ කරන්නේ නම් එය මෝඩ කමකි. අත්‍යාවශ්‍ය විමුක්ති ලාභය ලබන්ට පළමුව උත්සාහය දැඩි කළ යුතුයි. ඉන් පසු වැටහෙන්නේ පෙර සියල්ල දැනගන්ට තිබූ අදහස මුලාවක් ලෙසයි. එබැවින් විමුක්තිය සඳහා අවශ්‍ය දේ සොයගන්ට උත්සාහ කරමු. අප තේරුම් ගත යුත්තේ හේතුකාරක ශක්තියක් පහළ නොවුනොත් කිසි දෙයක නිර්මාණයක් නිකම් සිදු නොවිය හැකි බවයි. කොතනක කුමක් හට ගත්තත් එය හේතු සංභවයෙන්ම හට ගනු ඇත. හට ගත් යමක් වී නම් එහි පැවැත්මක්ද රඳා සිටන්නේ හේතු ශක්තිය මතමය. නිර්මාණය වූ සැමෙකකම සීමිත ශක්ති කදම්භයක්ම ගැබ් වී ඇති බැවින් එම නිර්මාණාත්මන පැවැත්මට එම ශක්ති කදම්භය ගෙවී යනු ඇත. එහි ගැබ්ව ඇති ශක්තිය ඒ නිර්මාණයේ පැවැත්ම සමග කුමයෙන් ගෙවී දුර්වල වන බැවින නිර්මාණ වස්තුවද ගෙවෙන ශක්තියට අනුරූප පරිවර්තනයට ගොදුරුව ක්‍රියා කරයි. එවිට දක්නට ලැබෙන්නේ ඒකාකාර වස්තු නොව විපරිණාමිකව වැනසී යන් දේමය. හටගත් සියල්ල විපරිණාමිකව වැනසෙන්නේ එබැවිනි. එසේ නම් මේ නිර්මාණ ශක්ති මූලය කුමක්ද? ලොව පවතින සියල්ල හටගත් දේ නම් ඒ කිසිවක් ශක්ති මූලය නොවිය හැකිය. යමක ගැබ්වී ඇති ශක්තිය ගෙවෙමින් තවෙකක් නිර්මාණය කරන්නට හැකිය. එහෙත් එය කෙරෙන්නේ මූලික වස්තුවේ ගැබ්වී ඇති ශක්ති කම්භය ක්‍රියාකර අවසාන වන තුරු පමණි. එබැවින් ඒවා ශක්ති නිර්මාණ මූල ධර්ම නොවේ.

(පිටුව 126)

අනාදියේ පටන් ලොව ඇසුරු කල මතක සටහන් අපගේ විඤ්ඤාණ ස්කන්ධ හා සම්බන්ධය. මේවාට නාම ගෝත්‍ර යැයි කයිනු ලැබේ. “නාම ගොත්තං නජීරතී” යයි කීවේ මේවාය. ‍ කුඩා කල අප කල කිව් දේ එකල අපගේ ආකාර සහ ඇසුරු කල දේවල් ආකාර කාලය සමග කෙතෙක් දුරස් වී ගියද මතක් කළ විට ඒ අවස්ථාව ඒ ආකාරයෙන්ම වැටහෙන හැටි සිතා බැලිය යුතුය. “පොඩි කාලේ මගේ ඉස්සෙල්ලම දතක් වැටුන. මම ඒක අතේ තබාගෙන බල බලා‍ හිටියා” මේ අප සැමගේම පාහේ එක්තරා මතක සටහනකි. අවුරුදු හැටක් පමණ වයස ගියත් කුඩා කල ඒ අවස්ථාව පිළිබිඹු කරන මනෝ රූප සටහනට වයස ගොස් නැත. ඒ සටහන දිරා නැත. එසේම කුඩා කල රූපාකාර සිද්ධිය ඒ ආකාරයෙන්ම මතක් කල හැකිය. මේ මතක සටහන් කාලය සමග දුරස් වනු ඇත. යම් ක්‍රියාවක් ‍සිදු කරන මොහොතක් මොහොතක් පාසාම මතක සටහන් ලෙස ක්ෂණිකයකින් කාලය සමග අතීතයට දුරස් වනු ඇත. තත්පරයක කාලයක් තුල අප යමක් දුටුවේ නම්, ඇසුවේ නම්, වින්දේ නම් ඒ මොහොතේ දකින, අසන, විඳින, දැනගන්න දේ ලෙසයි අපට වැටහෙන්නේ. මේ ගැන සියුම්ව විග්‍රහ කරන බලන විට ඒ තත්පරයක කාලය දාහට බෙදුවොත් තත්පරයේ අවසාන දාහෙන් පංගුව ගෙවෙන විට තත්පරයෙන් පංගු නවසිය අනූ නවයක් ගෙවී අවසානය. සිදුවූයේ මොහොතේ පටන් කාලය සමග අතීථය දුරස් වන මතක සටහනේ දැනෙන ප්‍රබලතාවය කුමයෙන් අඩුවී යයි. එහෙත් ආස්වාද ස්වභාවය හීන වූ මතක සටහන යළි යලිත් අරමුණු කල හැකියි. මේ කායික, මානසික, වාචසික ක්‍රියාදාමය සමහර ඒවා ආස්වාද ජනකය. ප්‍රබල දුක් වේදනාද සහිතය. ඒවා මතකයේ වැඩි කලක් ආස්වාද ලෙස සැප වේදනා හෝ ආදිනව ලෙස දුක් වේදනා ජනිත කරවන බැවින් යළි යළිත් මතක් කරමින් සැප දුක් ලෙස වින්දනය කරයි. මේ සැප වේදනා ලෝ සතුන් ආශා කරන දේවල්ය. යලි යලිත් බලාපොරොත්තු වන්නේ කාලය සමග මොහොතක අතීතයට යන සුබ වේදනා ස්වභාවයම වුවත් කාලය සමග ඒ මතකයෝ අතීතයට යාම නොවැලැක්විය හැකියි. මොහොතක ළඟ අතීතය සේ දුරස්ථවූ මතකය ආස්වාද නොදෙන බැවින්ද මේ මතක කාලය සමග දුරස්වීම නොවැලැක්වයි හැකි බැවින්ද යළි යළිත් එබදු ආස්වාද දෙන මොහොතවල් ඇසුරු කිරීමට අදහස් ඇතිවේ. මේ ආසන්න මතක ආස්වාද ඇති කරන්නේ ‍මන වඩන රූප, මන වඩන ශබ්ද, මන වඩන ගන්ධ, මන වඩන රස, මන වඩන ස්පර්ශ යන මේවාය. මේවා ප්‍රිය ස්වභාවයෙන්, මධුර ස්වභාවයෙන් යුතුය. ලෝ සතුන් ‍ඒවායේ ඇලී ගැලී සොයන්නේ ඒ නිසාය.

පිටුව 123 සහ 124

 
(පිටුව 123)
එබැවින් මේ ලෝක ඇසුර, කාම ඇසුර, ලෝභ ඇසුර නිසා දුක අසහනය පිරී පවතී. මෙසේ ලෝක, ලෝභ, කාම ආදී දෙයට අයිති වන්නේ ‍මොනවාද? ඇස, කණ, නාසය, දිව, කය යන පස සමග මනද ආධ්‍යාත්මික ඉන්ද්‍රීය කොටසට අයිති වෙති. ඒවායින් ගන්නා අරමුණු අවිද්‍යාවෙන් කහට ගැන්වී මනස, රාග, ද්වේශ මෝහ සහගතව සියලු අසහනයන් ගොඩ නැගේ. රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ යන බාහිර දේ සහ ඒවායේ බැඳී සිතන සිතිවිලි සහ බාහිර ගති කොටසට අයත් වෙති. මේවා බොහෝ වටින ප්‍රිය, ආස්වාදජනක දේ ලෙස ‍ලෝ සතුන් තීරණය කරන්නේ, සාරවත් දේ ලෙස සිතන්නේ මේවායේ නියම ස්වභාවය විනිවිද දකින දහම් නුවණක් නැති බැවිනි. විද බලන්නට හැකියාවක් නැති නිසා එයට අවුදු හෙවත් අවිද්‍යා යැයි කියති. මෙහිදී “සං” ‍යන වචනයද තේරුම් ගත යුතුය. මේ කියන අවිද්‍යා හේතු කොට ඉහත කී රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, ධර්ම - ඇස, කන, දිව, නාසය, කය, මන මේ ගොඩවල් හෙවත් සමූහ සමග එක්වීම සං යනුවෙන් නම් කරයි. මේ ගොඩවල් සමග එක්වීම සාර හැටියට ගන්නේ නිසි තතු නොවැටහීම හෙවත් අවිද්‍යාව නිසාය. එබැවින් අවිද්‍යා නිසා මේ ගොඩවල් කෙරෙහි බැඳීම නම් වූ “සං” කෙරෙහි සාරයි යන හැඟීම ඇතිවේ. මේ අවිද්‍යාව තිබෙන තුරු ඇති වන දෘෂ්ඨිය සංසාරයි යන අදහසයි. යමක් සාරයි හැඟීම, අදහස තිබෙන තුරු ඒවා ඇසුරු කරන කටයුතු වල කැමැත්ත අත් හැරිය නොහැකිව ඒ සඳහා හිතින්, කයින්, වචනයෙන් ‍කාර හෙවත් කටයුතු කරයි. මෙයටත් අවිජ්ජා පච්චයා සංඛාර කියන්නේ. අවිද්‍යා ප්‍රත්‍යයෙන් සංඛාර වේ කීමෙහි සිංහල තේරුම මෙසේ විස්තර කර දැනගත යුතුයි. මේ ලෝකයේ, සක්වලේ කොතෙක් නමුත් සියුම් වේවා - ඝන වේවා, පෙනෙන වේවා - නොපෙනෙන වේවා, දුර වේවා - ළඟ වේවා, හීන වේවා - ප්‍රනීත වේවා, යම් තැනක යමක් හටගන්නේ නම් එය වැනසී යාව නොවැළක්විය හැකිය. ඊට හේතුව ඒ සෑම දෙයක්ම හටගැනීමට මුල හේතුවකින් ශක්තියක් ගැබ්වීම අවශ්‍යම කරුණක් වීමයි. නවීන විද්‍යාව ‍මේ හට ගැනීම්වලට ශක්තියක් අවශ්‍ය බව අනිවාර්යෙන්ම පිළිගනිති.

(පිටුව 124)

ඒ අයගේ නිගමනය සූර්ය බල ශක්තියෙන් මේ ශක්තිය අවශෝෂණය වීමෙන් වන බවය. එහෙත් සූර්යයා කියන්නේ සදාතනික වස්තුවක් නොවන බවද පිලිගනිති. එය ශක්ති මූලයක් නොව ශක්ති කෝෂයකි. එනම් කෙබඳු ආකාරයෙන් හෝ එයද හටගත් වස්තුවකි. සූර්යයා හටගත් මූල ධර්මය නවීන විද්‍යාවද නොදනී. තවත් ආගම්වාද අතර මේ හටගැනීම් දෙවි කෙනෙකුගේ හෝ බ්‍රහ්මයෙකුගේ වැඩක් ලෙස කියයි. නමුත් ඒ දෙවයි හෝ බ්‍රහ්මයාද හටගත් කෙනෙකු මිස සදාතනික අය නොවේ. යම් කෙනෙක් හෝ දෙයක් හට නොගෙන පැවැත්මක් ඇති වන්ට හේතුවක් නැත. එසේ නම් මේ සත්වයා හටගත් මූලයක් තිබිය යුතු යැයි මෙවිට ප්‍රශ්නයක් පැන නගිනු ඇත. අනාදිමක් සසරේ පටන් එන ගමනේ මූලයක් තිබිය යුතු නේදැයි ප්‍රශ්නයක් නැගෙනු ඇත. සමහර අය සියලු දැනීමෙන් පරිපූර්ණ බුදු පියාණන් වහන්සේද මෙය නොදනී යන අදහස් ඇති කරයි. “පුබ්බා කෝටි නපඤ්ඤායති” යන පදයට අර්ථ දෙමින් පූර්ව කෙළවර හෙවත් මුල නොපෙනේ යැයි මෙසේ අර්ථ ඉදිරිපත් කරයි. මෙහි කියැවෙන්නේ “පූර්ව කෙළවර නොපනවමි“ යන්නයි. ඊට හේතුව ඒ දැන ගැනීම සැනසීමට, විමුක්තියට කෙසේවත් අවශ්‍ය නොවන්නක් වීමත් එය විග්‍රහ කරන්නට ගියොත් වටහා ගන්නාට මිනිස් මනස පූර්ණ නැතිකමත්ය. එක් අවස්ථාවක බුදු පියාණන් වහන්සේ ඇට්ටේරිය වනයක කොල ටිකක් අතින් අල්ලා මහණෙනි, මගේ මේ අතට අසුවුණු කොළද වැඩි මේ කැලේ තිබෙන කොළද වැඩි යැයි උපමා ප්‍රශ්නයක් ඇසීය. ස්වාමිනී, අතේ අසුවී තිබෙන කොළ මේ කැලේ කොළ වලට උපමා කරන්නට ගියොත් ඉතාමත් අල්පයකියි පිළිතුරු භික්ෂූන් වහන්සේලාගෙන් ලැබූණි.
මහණෙනි, මා වටහා ගත් දහම් අතුරින් දේශනා කර වදාලේ මේ අතේ අසුවූ කොළ තරම් ප්‍රමාණයකි. එහෙත් මා දත් දේශනා නොකළ දහම් මේ කැලේ තිබෙන කොළ තරම් විශාල යැයි දේශනා කළේය. එවන් මහත් අමතර දහම් කඳක් දැන තිබියදී දේශනා නොකරන්නේ, ඒවා විමුක්තියට හිතකර නොවන මුලාවට හේතුවන දේවල් බැවිනියි දේශනා කර වදාළහ. සත්ව විෂය, ලෝක විෂය, කර්ම විෂය, ධර්ම විෂය, චිත්ත විෂය යන පස අප්‍රමාණ විස්තර සහිත බවත් මේවායේ සියල්ල දැන දරාගන්ට ගියොත් දරා ගත නොහැකිව පිස්සෙක් වන බවත් හේතු ඇතිව දේශනා කර වදාළහ. සියල්ල දකින්නේ ලොව්තුරා බුදු බව ලැබූ උතුමන් පමණකි. එවිට උන්වහන්සේලාගේ මහා ප්‍රඥාවට වැටහෙන්නේ කෙතෙක් දැනුමට ගෝචර වුවත් සියලු අසහනයන්ගෙන් මිදී විමුක්තිය සඳහා අවශ්‍ය වන අල්ප මාත්‍රයක් පමණක් බවයි.