මෙම බ්ලොග් අඩවිය පිළිබඳව

සම්මා සම්බුදු පියාණන්වහන්සේ වදාළ සත්‍ය වූ බුද්ධ ධර්මය කාලයත් සමග සැගවෙන්නට ඇති ඉඩකඩ වැඩිය. එය ‍එසේ වූ නිසාම ශතවර්ෂ ගණනකින් මාර්ගඵල ලාභීන් බිහි වූ බවක් අසන්නට නොලැබිණි... එහෙත් මග ඵල ලැබ ගෞතම බුදු පියාණන් විවර කල නිවන් දොරටුවෙන් මාර්ගයට පිවිස ඵල ලැබී සැනසීමට නියම වූ ඇත්තන් තවමත් සිටින හෙයින් ඔවුන් සදහා උපකාරයක් වීමට නියම කළ්‍යණ මිතුරාගේ පැමිණීම සිදුවී ඇත. ඒ සැඟවුනු මාවත යලි විවර කරමින්, සැඟවුනු දහම් අරුත් මතු කරමින් සසර දුකින් පෙළෙන ඔබටත් මටත් අනන්ත සසර දුක් සයුරෙන් එතෙර වීමේ ප්‍රයෝගික මග හෙලි කරන අභිඥාලාභී පූජ්‍යපාද වහරක අභයරතනාලංකාර ස්වාමීන් වහන්සේගේ ධර්මානුශාසනා ඇසුරෙන් පලවූ "සැගවුණු බොදු මග කල එලි දකී" යන පොත ඇසුරෙන් මෙසේ සටහන් තබමි!

Feb 6, 2011

පිටුව 145 සහ 146

(පිටුව 145)
ආත්ම සංකල්පීය මුලා ස්පර්ශ වල පිහිටි ලෝ සතුන්ට ඉහත කී වේදනාවෝ පහළ වෙත්. එයයි ඵස්ස පච්චයා වේදනා කීවේ. ආත්ම සංකල්පීය වූ අවිද්‍යා, තෘෂ්ණා සහිත ලෝ සතුන් මේ වින්දන අගේ කොට සලකා ඒවාට තදින් ඇලුම් කරති. ආශා උපද්දවති. ඒවාට විරුද්ධ කාරණා ගොඩ නැගෙන විට ඒ විරොධතා යටපත් කර ආශ්වාද වින්දන භුක්ති විඳින්නට ඕනෑම අකටයුත්තක් අකුසලයක් කරන්ටද කැමති වෙයි. ඇලීම කියන තැන්හි හෝ ඒ ආශාවන්ට වැට බඳින අකුල් හෙලන ඕනෑම කෙනෙකුට විරුද්ධව පහර ගසන්ට කැමතිව එබඳු තැන්හි හෝ හා වෙයි. මෙසේ ඒ ඒ තැන්හි හා වෙමින් හෙවත් තණ්හා වෙමින් පැව්ත්මම ඉදිරියට ගෙන යන්ට උත්සහා දරති. මේ මුලා උත්සාහය සරු ලෙසම ගනිති. තතු දත් ආර්ය උතුමන්, විශෙෂයෙන් අරිහතුන් වහන්සේලා මේ නිෂ්ඵල පැවැත්මේ කිසි තැනකට හා නොවෙති. තණ්හා නොවෙති. මේ නිෂ්ඵල වැඩ පිළිවෙලයි වේදනා පච්චයා තණ්හා කීවේ. මේ නිෂ්ඵල වූ මුලා සහගත පැවැත්මට හේතුවන ඒ ඒ ප්‍රිය මනාප මධුරත්වයෙහි ඇලී ඒ ඒ තැන්හි හා වෙන විට සිදුවන්නේ තව තවත් ලෝකයට බැඳී යාමයි. ලෝකයේ ආසන්නයටම ඇදී සටීමයි. ඒ මුලා සහගත ආත්ම සංකල්පීය අවිද්‍යාව, තෘෂ්ණා සහගත ලෝක ස්වභාවයට ආසන්නව බැඳී යාමයි උපාදානය කීවේ. ප්‍රිය මනාපයේ ඇළුම් කර ඊට ළං වන විට ගැලවිය නොහැකි සේ බැඳෙන්නට සිදුවේ. ඇලෙන මේ වැඩ පිළිවෙල මුලාවක් සේ දත් ආර්ය උතුමෝ ඒවාට බැඳී සිටීම මුලාවෙන් මුලාව සේ දකිති. උන්වහන්සේලාට ඇලීම නැත. බැඳීම නැත. මේ මුලා සහගත ආකර්ශනයටයි තණ්හා පච්චයා උපදානං කීවේ. මෙසේ ආත්ම සංකල්පීය අවිද්‍යා, තෘෂ්ණා බැඳීම නිසා එයින් නොසෑහී ඒ ඒ බව දරන්නට පටන් ගනී. එය මුලා බවක් සේ නොහැඟේ. තත්ව ඨානාන්තර, කුළ මල ජාති භේද, වත් පොහොසත් කම් බල පුළුවන්කාරකම් ආදී අනේක විධ ඒ එඒ භවයන්හි ලැග ගෙන මහ උද්දාමව සිටී. මතුවටද අත් නොහරින අවිද්‍යා සහගත, තෘෂ්ණා සහගත ආත්ම සංල්ප වලින් බැසගත් මේ භව හේතු කොට මෙලාවෙදී කර්ම භව ලබා සිට මිය යන විට උප්පත්ති වශයෙන්ද අනුරූප බවට ශක්තිය විහිදුවා සිටී. මේ ආත්ම සංකල්පීය අවිද්‍යා, තෘෂ්ණා සහගත ලෝ සතුන්ගේ අත් නොහැරී භව ස්වභාවයයි. මුලා සහගත මේ කිසිම භව ස්වභාවයක් ආර්යයෝ හොඳ යැයි අනුමත් නොකරති. අරිහතුන් වෙහන්සේ මේ සියලු භව ස්වභාවයන්ගේ නිස්සාරත්වය මනාසේ දැන සියලු භව මොලොවදීම අත් හරී. මෙයයි මුලාවූ ලෝකයාගේ උපාදාන පච්චයා භවෝ කීවේ.
 

(පිටුව 146)
අවිද්‍යා, තෘෂ්ණා සහගත ආත්ම සංකල්පීය පුද්ගලයා මෙලොවම මෙබඳු භවයන්හි කිඳා බැස ඒ ඒ භව වලට අනුරූප ජාති ඇසුරු කරමින් ඒ ඒ භව වලට අනුරූප ජාති ගතිකයෙක් ලෙස ජීවත් වේ. උපයාගෙන තිබෙන්නේ යමක්ද ඔහුට උරුමය එයයි. පැවැත්මේ මුලා සහගත බලාපොරාත්තුව පැවැත්මට කර්ම ශක්තිය නිපදවන අතර දූෂ්‍ය හෝ ප්‍රසන්න ස්වභාවයට අනුරූපව කය බිඳී මරණින් මතු ඒ ඒ ජතිකයන්ව උපත ලබයි. මේ මුලා සහගත දුක හා දුක් හේතුවය. කිසිම භවක නැති අරිහතුන් වහන්සේට මතු පැවැත්මක කිසි බලාපොරාත්තුවක් නැත. මුල වූ අවිද්‍යා තෘෂ්ණා සහගත ආත්මීය සංකල්පය නැත. මතු පැවැත්මට හේතු වන ශක්තිය බිඳ හළ උන්වහන්සේ මේ අන්තිම ජාති කෙළවර පිරිනිවන් පායි. මතු උපත නැත. සියලු දුකින්, දුක් පැවැත්මෙන් නිදහස් වේ. මුලාවූ සතගේ භව පැවැත්මේ ශක්තියෙන් මතුවට ජාති පහළ වන්නේද මෙසේය. මෙයයි භව පච්චයා ජාති කීවේ. අවිද්‍යාවෙන්, තෘෂ්ණාවෙන් ආත්මීය සංකල්පයන්ගෙන් මොට වී ලොවට කෑදරව මම මගේ නිපදවන ඔහුට කැඩී බිඳී විනාශ වීම කඩා බිඳ විනාශ කර දැමීම කෙතෙක් ආරක්ෂා සංවිධාන යෙදුවත් නිසි කල්හි කැඩී යාම බිඳී යාම විනාශ වී යාම හේතුවෙන් අස්ථාන බිය, සැක, දෙකින් කම්පා වෙමින් සිට මහත් ශෝක, දුක්, සුසුම් ලෑම්, ඇඬීම් වැලපීම් ආදී අනේක විධ දුක් සමූහයද ආත්මීය වූ අවිද්‍යා තෘෂ්ණා සහිත සංකල්පය නිසා ඒ දුක් සිය දහස් ගුණයෙන් සිතින් මවා ගෙනද විඳින්නට සිදුවේ. භව ගමන නිමක් දකින්ට ඒ දෘෂ්ටිය, ඒ ලබ්ධිය අත් නොහැර බැරි නිසා අනාදිමත් ඉදිරියකට, අනාදිමත් කාලයකට දුකින් නිදහස වන්ට බැරිය. මෙසේ පටිච්ච සමුප්පාදයෙන් දුකත්, දුකට හේතු වන වැඩි පිළිවෙලත් දේශනා කර ඇත. බුදු පියාණන්වහන්සේ දේශනා කළේ දුක පිරිසිඳ දැන දුකට හේතුව මොලාවෙදී වනසන්ටය. එසේ නම් පටිච්ච සමුප්පාද ක්‍රියාවලිය භව ගමනකට බැඳ නොතබා මේ ජීවිතයටම උරුම බව දැන මේ ජීවිතයේදීම දුකත් දුකට හේතුවත් බිඳ හරින්නට උත්සාහ කළ යුතුයි. දුකත් දුකට හේතුවත් මේ ජීවිතයේදීම බිඳ හරින්නට නම් ඊට අවශ්‍ය පසුතලය සකස් කළ යුතුයි. ඒ සඳහා උපතින් පසු ලැබිය යුතු ප්‍රවෘත්ති ජාති හතරක් ඇත. භික්ෂු, භික්ෂූණී, උපාසක, උපාසිකා යන ජාති හතරට පත්විය යුතුයි.