මෙම බ්ලොග් අඩවිය පිළිබඳව

සම්මා සම්බුදු පියාණන්වහන්සේ වදාළ සත්‍ය වූ බුද්ධ ධර්මය කාලයත් සමග සැගවෙන්නට ඇති ඉඩකඩ වැඩිය. එය ‍එසේ වූ නිසාම ශතවර්ෂ ගණනකින් මාර්ගඵල ලාභීන් බිහි වූ බවක් අසන්නට නොලැබිණි... එහෙත් මග ඵල ලැබ ගෞතම බුදු පියාණන් විවර කල නිවන් දොරටුවෙන් මාර්ගයට පිවිස ඵල ලැබී සැනසීමට නියම වූ ඇත්තන් තවමත් සිටින හෙයින් ඔවුන් සදහා උපකාරයක් වීමට නියම කළ්‍යණ මිතුරාගේ පැමිණීම සිදුවී ඇත. ඒ සැඟවුනු මාවත යලි විවර කරමින්, සැඟවුනු දහම් අරුත් මතු කරමින් සසර දුකින් පෙළෙන ඔබටත් මටත් අනන්ත සසර දුක් සයුරෙන් එතෙර වීමේ ප්‍රයෝගික මග හෙලි කරන අභිඥාලාභී පූජ්‍යපාද වහරක අභයරතනාලංකාර ස්වාමීන් වහන්සේගේ ධර්මානුශාසනා ඇසුරෙන් පලවූ "සැගවුණු බොදු මග කල එලි දකී" යන පොත ඇසුරෙන් මෙසේ සටහන් තබමි!

Mar 1, 2011

පිටුව 149 සහ 150

(පිටුව 149)
මෙසේය අවිද්‍යාව තුන් භව උපතට හේතු වන්නේ. ලෝක ආස්වාද භුක්තිය පරමාර්ථය කොට ගෙන කරන පූණ්‍ය සංස්කාර, පාප ස්සංකාර, අනේඤ්ජාභී සංසකාර මේ අවිද්‍යා කාරණා 23 තුළින් සිදුවේ. මේ ආර්ය භාවය සිදු කරන්නට හේතු වන පිං හෝ ආනෙඤ්ජාභි සංඛාර නොවේ. භව ‍ගමනට හේතු කාරකය. ලෝක සම්මත ලෞකික පැවැත්මකට හේතු වන අලෝභ, අදෝෂ, අමෝහ නම් මේ අවිද්‍යා ප්‍රත්‍ය වන සංඛාර වලට අයිතිය. ආර්ය මාර්ගය වඩන අයගේ අලෝභ, අදෝෂ, අමෝහ මීට හාත්පසින් වෙනස්ය. හටගත් සියල්ල විපරිණාමයට පත්ව වැනසී යන ලෝකයේ මොනවා සුබ යැයි අල්ලන්ටද, වැඩක් නැතැයි ධර්මාවබෝධය හේතුවෙන් අත් හැරීමක් වේද. මේ අලෝභය ආර්ය අලෝභයයි.
මේ දහම් නුවණ තීක්ෂණ කරන්නට මනාසේ සත්‍යම සිහි කළ යුතුයි. ‍ඒ සඳහා ආයුෂ, වර්ණ්‍ය, සැපය, බලය, පටිභාණ නුවණ මහත් උපනිශ්‍රයකියි දැන ඒවායේ අවශ්‍යාතාවයටත් ඒ මග වඩන අයට එම උපනිශ්‍රය ලැබීමටත් අවශ්‍ය බව සිතා දන් දෙයි. සිල් රකියි, භාවනා කරයි. දස පිං කිරියවත් කරයි. අලෝභීව, අද්වේශීව, අමෝහීව කරන මේ කටයුතු ආර්යයන්ගේ සහ ආර්ය මාර්ගයට ආධාරක බලාපොරාත්තු වන අයගේ කුසල මූල ප්‍රත්‍ය වූ සංඛාර වේ.
සෑම විටම පරමාර්ථය  ලෝක සම්පත්තියක් නොව නිවනය. ඊට අදාල නොවන දේට නියම බෞද්ධයා බලාපොරොත්තු නොතබනු ඇත. නියම ලෙස භික්ෂු ජාතිය, භික්ෂූනී ජාතිය, උපාසක ජාතිය, උපාසිකා ජාතිය පහළ නොකර කෙතෙක් ධර්මය සිහි කරන්නට නිවන් දකින්නට උත්සාහ කළත් සඵලත්වයක් නොලැබෙනු ඇත. ආර්ය පටිච්ච සමුප්පාදය තේරුම් ගෙන ඒ මග ක්‍රමානුකූළව යන අයට නියම ආර්ය ජාති හතරෙන් තමන් කැමති ජාතියකට පත්විය හැකිය. එවිටයි ආර්ය වූ ධ්‍යාන මාර්ගඵල සපුරාගෙන ඉහාත්ම සූඛ විහරණයත් නිවන් සුවයත් ලබන්නට හැකි වන්නේ. තර්ක වාද මගින් ජය ගත්තාට තම ලබ්ධිය නගා සිටෙව්වාට ආර්ය ජාති වල වේශධාරීන් විද්‍යාමාන වෙනවා මිස නියම ආර්ය ජාති හෝ ආර්ය ප්‍රතිඵල හෝ විද්‍යාමාන නොවේ. නියම බුදු සසුන විද්‍යාමාන නොවේ. එදිනෙදා අප කරන දාන මාන ආදියේදී එය ආර්ය පූණ්‍ය කර්මයක් හෝ ආනර්ය පූණ්‍ය කර්මයක් දැයි තෝරාගන්නේ කෙසේද කියා සොයා ගත යුතුයි.

(පිටුව 150)
බල්ලෙකුට, බළලෙකුට හෝ සතෙකුට ආහාර ටිකක් දීමේදී මේ දෙයොකාරයේ පින කෙසේ ලැබේදැයි සොයා බලමු. බඩගින්නේ හාමත්ව බලා සිටින බල්ලෙක් දැක අනුකම්පා උපදවා උන්ට ආහාරයක් දුන‍්නොත් ඒ කෙබඳු අදහසකින් දුන්නාද කියා මෙසේ බැලිය යුතුයි. අනේ මේ සතා බඩගින්නේ හාමත් වෙලා. මුගේ දුකට මම පිහිට වෙමියි ආහාරයක් දුන්නා යැයි සිතමු. බඩ පිරුන සතා දැන් ප්‍රබෝධයි. ඌ උඩ පනිමින් දඟලමින් ප්‍රබෝධයෙන් සිටින හැටි දැක සතුටුද වෙයි කරගත්තේ පුණ්‍ය කර්මයකි. අප සතුටු වුනේ කුමන හේතුන් මතද? සතාගේ බඩගින්න, මිහන්සිය තාවකාලකිව දුරුවී දැකීමත් ඌ සතුටින් සෙල්ලමින් සිටිනවා දැකීමෙනුත්ය. ඒ සතාට ලැබුන ප්‍රතිඵලය කෙතෙක්ද? පැය ගණනකට බඩගිනි නිවී යාමත් ලෝකාස්වාදායක මුලාවේ සතුටින් ටික වේලාවක් දැඟලීමත් හැර ඌට වූ යහපත කුමක්ද? උගේ තිරිසන් අත් බව දුරු වීමට ඉන් ප්‍රතිඵල මාත්‍රයක් වත් උට ලැබුණද? අප සතුටු වුවේ අනිච්ඡ වූ දුක් වූ මමය, මාගේය, මගේ ආත්මයය යන දෘෂ්ඨියකට ගොදුවුර වූ ලෞකික පැවැත්මක් දැක නේද? එයින් අප ලබා‍ ඇත්තේ අප සතුටු වූ වර්ගයේ පිනකි. එහි ප්‍රතිඵලය අපටද එබඳු අවස්ථාවක් උදා වී එබඳු මුලා සතුටක් ලබන්නට හේතු වීමය. වැපිරූ හැටියටයි අස්වැන්න. මේ අනාර්ය පිනක් ඇතිවූ හැටිය.
එම ක්‍රියාවලියම ආර්ය පිනක් වන සැටි තේරුම් ගනිමින් අප නිතර ගැවසිය යුත්තේ අපගේ දහම් ගුරුවරයා ඇසුරෙහිය. එනම් පටිච්ච සමුප්පාද න්‍යාය තුළින් දුක සහ දුකට හේතුව දැන ගැනීමත් පටිච්ච සමුප්පාද නිරෝධ න්‍යාය තුලින් දුක්ඛ නිරෝධයත් නිරෝධ ප්‍රතිපදාව අනුගමනයත් සිදුවන වැඩ පිළිවෙල තුළය. එසේ කටයුතු කරන විටය ගඟ නොනැවතී මුහුද කරා ගලා යන ලෙස අප නිවනට ගමන් කරන්නේ. ඉහත කී සතාට දානයක් දුන් පින ආර්ය මාර්ගයට අයිති කටයුත්තක් වන්නේ මොන අදහසකින් කටයුතු කළොත්ද? සමහර විට අද සම්ප්‍රදායික ක්‍රමය අනුව මේ පින මට නිවනටම හේතු වේවා කීමෙන් එය සිදුවෙතැයි සිතිය හැකිය. යමෙක් ඔහුගෙන් ඇසුවොත් ඒක වෙන ක්‍රම රටාව කොහොම කියා. අපි දෙන පිළිතුර කුමක්ද? ආර්ය මාර්ගය ඥාන සම්ප්‍රයුක්තය. අර්ථය නොදැන කරන දෙය ඥාන සම්පයුක්ත වන්ට කෙසේ බලපායිද? දානයේ විශේෂත්වය ඇති කරන අවස්ථා 3කි. දැහැමි දාන වස්තුව, දායකයාගේ දැනුවත් බව (ඥාන සම්පයුක්ත බව) ප්‍රතිග්‍රාහ‍කයාගේ ඥාණ සම්ප්‍රයුක්ත බව මේ කරුණු 3යි.

0 comments: