මෙම බ්ලොග් අඩවිය පිළිබඳව

සම්මා සම්බුදු පියාණන්වහන්සේ වදාළ සත්‍ය වූ බුද්ධ ධර්මය කාලයත් සමග සැගවෙන්නට ඇති ඉඩකඩ වැඩිය. එය ‍එසේ වූ නිසාම ශතවර්ෂ ගණනකින් මාර්ගඵල ලාභීන් බිහි වූ බවක් අසන්නට නොලැබිණි... එහෙත් මග ඵල ලැබ ගෞතම බුදු පියාණන් විවර කල නිවන් දොරටුවෙන් මාර්ගයට පිවිස ඵල ලැබී සැනසීමට නියම වූ ඇත්තන් තවමත් සිටින හෙයින් ඔවුන් සදහා උපකාරයක් වීමට නියම කළ්‍යණ මිතුරාගේ පැමිණීම සිදුවී ඇත. ඒ සැඟවුනු මාවත යලි විවර කරමින්, සැඟවුනු දහම් අරුත් මතු කරමින් සසර දුකින් පෙළෙන ඔබටත් මටත් අනන්ත සසර දුක් සයුරෙන් එතෙර වීමේ ප්‍රයෝගික මග හෙලි කරන අභිඥාලාභී පූජ්‍යපාද වහරක අභයරතනාලංකාර ස්වාමීන් වහන්සේගේ ධර්මානුශාසනා ඇසුරෙන් පලවූ "සැගවුණු බොදු මග කල එලි දකී" යන පොත ඇසුරෙන් මෙසේ සටහන් තබමි!

Apr 27, 2011

පිටුව 169 සහ 170

(පිටුව 169)
බොදුනු පවුලක් ගොඩනැගූ දිව්‍යමය සංකල්පය
ඉහත කී පිරිස් රජ මණ්ඩලයයි. එකළ ප්‍රාණඝාතය, සත්ව හිංසාව රජයෙන් තරයේ හෙලා දැක ඇත. හොර මැර වංචා දඬුවම් ලැබෙන නීච වැ‍ඩ ලෙස සැලකීය. ඒවාට කිසිම අනුබලයක් නැත. මත්පැන් හල් තහනම්ය. සූදුව, මුදල් ගසාකන ව්‍යාපාර කිසිවක් රජයෙන් නැත. දුරාචාර, අපචාර වලට කිසිම අනුබලයක්ද නැත. බොරුවෙන් රැවටීම නින්දා අපවාද දෙවන නීච වැඩකි. කේළමෙන් බිඳවීම නීච ලෙස හෙළා දැක ඇත. පරුෂ බවින් කරන වැඩ කටයුතු වලට ඉඩ නැත. ‍ප්‍රලාප වැඩ කිසිම තැනක නැගෙන්ට නොදේ.  කුල කුමරියන් ලෙස එකල හැඳින්වූ‍ තරුණියන්ට කෙල්ලන්ගේ වැඩ හෙවත් කෙලි වැඩ නැත. කෙල්ල යනු දාසියට කියන නමකි. පහත් තැනැත්තියක් බවට පත් කරන බාල වැඩ කෙලි වැඩ නමින් හැඳින්වින. සෙල්ලම් කරන්නේ බාලයෝය. වයසින් මුහුකුරා ගියත් සෙල්ලම් බාල වැඩ ලෙස නීච ලෙස පිළිගැනුණි. මෝහ ස්ථර හෙවත් මෝහ පටල වලට ‍මෝස්තර කියා නිගරු කලේය. සැළුන ‍ ලය යනු පහත් සිත්ය. ඒවාට ආලය කලේ සල්ලාලයාය. සල්ලාල කමට එදා ඉතා පහත් තැනක් සමාජයේ හිමි විය. එබඳු වැඩට ඉඩ තැබුවේ නැත. එදා සිටි බොදුනු සමාජය තුල භික්ෂූන් වහන්සේ ප්‍රතිපත්ති ගරුක විය. සමගියෙන් සමාදානයෙන් එකතුව ධාර්මික ජීවිතයක්, හරවත් ජිවිතයක් ගත කරන්නට දහම් අධ්‍යාපනය දුන්නේ ස්වාමීන් වහන්සේය. උන්වහන්ට සමාජය සැලකූවේ දෙවත්වයෙනි. ඝනයක් හෙවත් සමගි පිරිසක් ලෙස සමාජය චරිතවත් ‍හැඩ ගස්වන උන්වහන්සේලාට ඝන දේවයෝ යැයි නම් කෙරුණි. දේව ගුණ ධර්ම තුළ ජීවත් වූ එකල මනුෂ්‍යයෝ සම්මත දෙවිවරු, දේවිවරු ලෙස විරුදාවලි ලැබූ පිරිසකි. ස්වාමී පුරුෂයාට කතා කලේ දෙවියෝ කියාය. ස්වාමිපුරුෂයා භාර්යාවට කථා කලේ දේවිය කියාය. දැරියට කුමරිය කියාත්, දරුවා කුමාර කියාත් ඇමතීය. පව් වැඩ නැති නිවසට ශ්‍රියාව, කාන්තිමත් ආලෝකය දෙන සුචරිතවත් තැනැත්තියට ශ්‍රියා කාන්තා දේවිය යැයි ඇමතීය. විසම නොවූ සංකල්ප ඇති ස්වාමි පුරුෂයා විෂ්ණු දෙව් නමින් හැදින්විය. විවාහයෙන් පසු වෙන්ව ගෙයක පදිංචි වූයේ දෙමව්පියන්ගේ මුහුණ බලන්ට විවාහක නව අඹු සැමි යුවලට ලජ්ජා කරුණක් වූ බැවිනි. වෙන් වුවත් සමගිදාමයෙන් මව්පිය සොයුරු සොයුරියයන්ගේ හා හුයකින් බැඳුන ලෙස කටයුතු කළ ඔහු වෙන් හූ දෙවි නමින්ද සම්මත විය. මේ අඹු සැමි දෙදෙනා සුචරිතවත් බොදුනුවන් වූහ. පිරිමියා ඉගෙනීම ලැබුවේ පරගැති පර අදහස් වලින් වෙන්වූ බොදුනු පිලිවෙත කියා දෙන පරවේනි හෙවත් පි‍රිවෙන තුලය.

(පිටුව 170)

ගුරු පියාණෝ නායක තෙරුන් වහන්සේය. ඉගැන්නුවේ බුදු දහම අනුව ජීවිතය හැඩ ගස්වා ගැනීමය. ඝනයා යනු අද අපහාස නමක් වුවත් එකළ ගෞරව නාමය හා සම්බන්ධ විය. ඝන දේව හෙවත් ස්වාමීන් වහන්සේ ආශ්‍රයේ ඉගෙන ගත් කාලය ගණේෂ නමින් හැඳින්වීය. වසර අටක් ඉගෙනුම ලැබූ නිසා වසරින් වසර ලැබූ දැනුම අෂ්ඨ ගනේෂ නමින් පුද්ගල නාමිකව හැඳින්විය. පිරිමි පුළුටක පහසට හසු නොවන සේ ලජ්ජා බිය ඇතිව සුචරිතව මව් ලඟ හැදුන වැඩුන දියණියට අත්කම් භාණ්ඩ නිපදවීම, ඉවුම් පිහුම්, රසකැවිලි සෑදීම ආදි අවශ්‍ය සියලු කරුණු මෙන්ම කීකරු ගුණ යහපත් කාන්තාවක් ලෙස කුල පවුලකට ඇතුළත් කරන්ට හැඩ ගැසුනි. කුල සිරිත් පරිදි අවාහ විවාහ කටයුතු සිදු කළ පසු ඒ දෙපොල උතුම් බොදුනු පවුලක් ලෙස ‍ජීවිතය ආරම්භ කළේය. පාප දුෂ්චරිත පිටු දැක ධාර්මිකව ජීවත් වන ස්වාමි පුරුෂයාගේ ලයෙහි තිබෙන්නේ පන්සලේ ස්වාමීන් වහන්සේගෙන් ඉගෙන ගත් බෞද්ධ චර්යා පද්ධතියයි. පර දහම් වලට ගැති නොවී බුදු දහම ගුරු කරගත් ලයක් ඇතිව දහමට අනුව විශ්වය දකින නුවණ ඇති හෙයින්ද, විස නොවන ගති ඇති හෙයින්ද, නිතර නුවණින් යුතුව වෙසෙන හෙයින්ද විෂ්ණු නම් සම්මතයට හිමි දේව ගති ඇතිව ඒ ස්වාමි පුරුෂයා ලය නිවුන හෙයින් නීල වර්ණයෙන් සංකේතවත් කර ගුරුලා පිට සිටින නීල වර්ණ රුවකින් පිළිබිඹු කරන ලදී.  
උම නම් වූ මාතෘ ගුණ නෙලා ගෙන සිටින ශ්‍රියාවෙන් කානතිමත් වූ භාර්යාව නෙලුමක් පිට සිටින ශ්‍රියා කාන්තා නම් ස්ත්‍රී රුවකින් පිළිබිඹු කරන ලදී.
 
මේ බෞද්ධ කලාකරුවන් ස්වාමි පුරුෂයා හා භාර්යාව යන දෙදෙනොගේ දේව ගති ලක්ෂණ මනසින් දුටු ආකාරයයි. හතර අතක වැඩ කටයුතු ක්‍රියාවට නගන විෂ්ණු ශුද්ධ හඬ නගන බැවින් එක අතක හක් ගෙඩියක්ද ලෝභ, දේවේශ, මෝහ යන මේවා උල් කටයුතු කරන බැවින් එක අතක ත්‍රිශූලයකින්ද, මාතෘ ගුණයම නෙලා ගන්නා ගති ඇති බැවින් අතක නෙළුමකින්ද, පාපය දුටු තැන වහා වනසා යුක්තිය ධර්මය නගා සිටුවන්ට කටයුතු කරන බැවින් අතක පාරු වළල්ලකින්ද නීල වර්ණ රුව සංකේතවත් කරන ලදී.  භාර්යාවද උම දහම් හෙවත් මාතෘ ධර්මය නෙලා ගන්නා බැවින් එක අතක නෙළුමකින්ද, අභ්‍යන්තර ස්වර්ණමය බවින් හද පත්ලෙන් කරන ස්වර්ණයම කටයුතු ඇති බැවින් රන් පිරවූ කලයකින්ද, කරන කටයුතු ස්වර්ණමය බැවින් අත්ලෙන් ගලන රන් දහරාවකින්, නිතර මාතෘ ගුණ ලොවට පතුරවන බැවින් මෙන්ම ස්වර්ණමය අදහස් දරන බැවින් අතක නෙළුමකින්ද සංකෙත්වත් කරන ලදී.

පිටුව 167 සහ 168

(පිටුව 167)
ඒකාධිපති පාල‍නයේ නියම අර්ථය
ඒකාධිපති යන්නෙහි නියම තේරුම එකම ධර්මය අදිපතීත්වයේ තබාගෙන කරන පාලනයයි. එනම් දස රාජ ධර්මයයි. පංච දුෂ්චරිතයට අයිති කිසිම කටයුත්තකට රජය අනුබල දී නැත. පෙර කල සාමයෙන් බැබලු දැහැමි පාලන ක්‍රමයක් එකතරා සමවත් දර්ශනයකට නැගුණ අයුරු මෙහි පෙන්වන්නේ කවදා හෝ ධාර්මික පාලන පිරිසකට මෙය වැදගත් වේ යැයි සිතුන බැවිනි. මෙය රාෂ්ඨ පාලන ක්‍රමය නමින් එකල හැදින්වුණි. එකල මෙම ලක්දිව ජනගහනය කෝටි පහක් විය. දළ වශයෙන් ගෙවල්‍ කෝටියකි. ගෙවල් දහයක කටයුතු බලාගෙන්ට පතිරාජ (පත්තුවල රජ) කෙනෙක් පත් කෙරිණි. උදේ, දවල් හවස වශයෙන් තෙවතාවක් පතිරාජ විසින් ගෙවල් දහයේ සිටින අය සටහන් කර ගත යුතුයි. උදේ රැකියා ආදියට ගිය පිරිස, ගිය තැන්, නිවසේ සිටින අය, නිවසේ ඇති බඩු මුට්ටු, වත්කම මේවා පරීක්ෂා කොට සටහන් කළ යුතුය. එක ගෙයක උපයන ආදායම ගණන් බලා එයින් 10%ක් පතිරාජට ගෙවිය යුතුයි. කුඩා වුවත් රජකුගේ බලතල ඔහු සතුය. ඒ ඔහුගේ පත්තුවටය. නැතිනම් ගෙවල් දහයටය. මෙබඳු පත්තු රජවරු දහ දෙනෙක් පිළිබඳව එසේම සොයා බලා සටහන් කිරීමට ගමට රජ කෙනෙකි. එදා ඔහුට ගමරාළ කියා හඳුන්වයි. මේ දහ දෙනා ගෙවල් සියයක් මෙසේ බලාගනී. ගමරාළ එම දහ දෙනා බලාගනී. මේ සියලු පිරිස සිටින ගම වැට බැඳ කොටු කර ඇත. ගමට පිවිසෙන්ට ගම් දොරටුවක් ඇත. වැට අස්සෙන් යාම් ඊම් කළොත් දඬුවම් ලැබෙන වරදකි. ගමරාළ සිටින්නේ ගම් දොර අසල නිවසකය. ගමට ඇතුළු වන, ගමෙන් පිටවන අය සටහන් තබා යා යුතුයි. මෙසේ ගමරාළලා ලක්ෂයක් ලක්බිමට ඇත. ගමරාළලාට ලැබෙන ආදායමෙන් 20%ක් රටේ රාළට දිය යුතුය. ගමරාළලා දහ දෙනෙක් පිළිබඳ වත්කම් සහිත සියල්ල දිනපතා තෙවතාවක් රටේ රාළ කෙනෙක් සොයා බලනු ඇත. ගමරාළලා දහදෙනෙකු පිළිබඳ වත්කම් සහිත සියල්ල දිනපතා තෙවතාවක් රටේ රාළ කෙනෙක් සොයා බලනු ඇත. ගමරාළලා දහ දෙනෙකුගේ නිවෙස් පිළිබඳ වත්කම්, බඩු මුට්ටු ආදිය පරික්ෂා කර සටහන් කරන්නට ලක්දිවටම රටේ රාළලා දහ දාහක් සිටිති. ගමරාළට රේස් කරත්ත හෙවත් ගොන් බැඳි කරත්ත ගමනට නිල රථ ලෙස තිබුන අතර රටේ රාළට සිටියේ කොටළුවෙකි. මේ රටේ රාළලා දහ දෙනෙකුගේ වත්කම්, නිවසේ බඩු මුට්ටු ආදිය පරික්ෂා කළේ දිසා රාළයි. ලක්දිවට දිසා රාළලා දහසකි.

(පිටුව 168)

පෙර ලක්දිව තිබූ නියම රාජ්‍ය ක්‍රමය
මේ දිසා රළලාට රටේ රාළලාගේ අදායමෙන් 20%ක් ලැබෙනු ඇත. මේ අයට වාහනය අශ්වයෙකි. දස දිනකට වරක් එක නිවස බැගින් රටේ රාළලාගේ නිවෙස් බලා සටහන් කිරීම දිසා රාළට අයිතිය. මෙබඳු දිසා රාළලා 10 දෙනෙකුගේ එබඳුම පාලනයට මහ දිසා රාළ හෙවත් අධිකාරම්වරයෙකු පත් කෙරින, දිසා රාළලාගේ ආදායමෙන් 20%ක් මහා දිසා රාළට ගෙවිය යුතුය. ලක්දිවටම මහ දිසා රළලා 100කි. මෙබඳු මහ අධිකාරම් මහා දිසා රාළලා 10කු පරික්ෂා කිරීමට මහ ඇමතිවරු එක් කෙනෙක් බැගින් මහ ඇමතිවරු දහ දෙනෙකි. 6 මසකට වරක් පමණ මේ මහ අධිකාරම්ගේ වත්කම් තොරතුරු බලනු ඇත. මේ සෑම කෙනෙක්ම දිනපතා ආගිය තොරතුරු කළ වැඩ සටහන් කර තබනු ඇත. මහ ඇමතිවරුන්ට මහා අධිකාරම්වරුන්ගේ ආදායමෙන් 20%ක් ලැබෙනු ඇත. මහ ඇමතිවරු 10 දෙනාගේ සියලු පාලනය මහ රජතුමා බලා ගනී. මහ ඇමතිවරුන්ගේ අදායමෙන් 20%ක් මහ රජතුමාට දිය යුතුය. සිටුවරු වැනි මහ වලව් තිබුන පිරිස අධිකාරම්වරු යටතේ වත්කම් බැලීම පාලනය විශේෂ වූ අතර රාජ භණ්ඩාගාරයට ඒ අය තම ආදායමෙන් 20%ක් යවනු ඇත. මෙසේ 10ක් පාලනය කර ලැබූ ආදායමින් අට කොටසකින් යැපෙන මේ පාලනය රාෂ්ට්‍ර පාලනය යැයි පෙර හැදින්වීය. කිසිම නිවසක අන්සතු දෙයක් රහසිගතව ‍තබා ගත නොහැකිය. දිනපතා නිවෙස් පරික්ෂා කරන බැවින් වැඩි වත්කමක් තිබුනොත් නිවසේ ප්‍රධානියා ඇතුළු පිරිස ඊට වගකිව යුතුය. කුමන්ත්‍රණකාරී කිසිම මෙහෙයවීමක් එකල සංවිධානයට මගක් නොවීය. ‍හොරුන් ඇතිවීමට ඉඩක් නොතිබුණි. රජයේ අයිතිය යටතේ තිබුන ඉඩම් අයිතිය කිසිවෙකුට විකුණන්ට උකස් කරන්නට බැරිය. මායිම් කටයුතු සැකසීම රජය සතු කාර්යයකි. වැව්, පොකුණු. ඇල වේලි ‍ආදි කටයුතු වලට පත් කළ තවත් නිලධාරීන් විය.

Apr 20, 2011

පිටුව 165 සහ 166

(පිටුව 165)
එසේම යුද්ධය පිළිබඳ වර්ණනා කරමින් ගැටීමට මෙහෙයවන පිරිසත් එය යහපත් යැයි කීම බුදු දහමට එකඟද? බුදු පියාණන් වහන්සේ දේශනා කර ඇත්තේ යුද්ධය කරන අය සරංජිත නම් අපායෙහි උපදින බවයි. සංගීත කරන අය පහාස නම් නිරයේ උපදින බව සංයුත්ත නිකායට අයත් තාලපුට නම් සූත්‍රයකද, යුද්ධ කරන අය සරංජිත නම් අපායෙහි උපදින බව යෝධාජීව නම් සූත්‍රයකද මනාසේ පෙන්වා ඇත. මිසදිටු බිඳ දමා මුලා සංගීත සහ මෝහ සහගත ගායනා අතහැර පුහු සටන් අතහැර සමගියෙන්ද, කාම සංසිඳීමෙන්ද නියම බොදුනුවන්ට අදිටන් කර ගනිමු. ලෝභ, ද්වේෂ, මෝහ වැඩ පිළිවෙලට ගොදුරු වී මුලාවට වැටෙන්ට හේතුවන මුල කපා දැමීම සමාජයේ සාරධර්ම යළි ගොඩනැගෙන්නට හේතු වන බව සිතිය යුතුය. අද සිදුවී ඇත්තේ නැණ නුවණ අඩුවක් නොව මුලා වැඩට මුල් තැන දීම නිසා යහපත් නැණ නුවණ නැසී යාමය. මුලා සහිත තැන කිඳා බැස සිටිමින් කොතෙක් දහම් සිහි කළත් කර්මස්ථාන නොවැඩෙනු ඇත. දහම් අවබෝධ යම් මොහොතක ලැබුනොත් මුලාවූ ලෝකයො හිස් මුඳුනින් දරා සිටින සංකර වැඩ පිළිවෙල හොඳින් වැටහී යනු ඇත. නැවත එබඳු මිලේච්ඡ කටයුතු කිසිසේත් අනුමත නොකරනු ඇත. කුළු මී හරක් පැටවා ලේසියෙන්ම කීකරු කර ගත හැකි වුවත් මෝරපු මහත්වූ කුළු මී හරකා කීකරු කර ගැනීම ඉතා අමාරුය. අමාරු වුවත් බලහත්කාරයෙන් මදු ගසා අල්ලාගෙන තද කඹයකින් කණුවක ගැට ගසා නිදැල්ලේ හැසිරෙන්නට ඉඩ නොදී පෙර ආහාරයට ගත් වල් කැලෑ කෑම ඉතා අඩු කළ විට මහත් වේගයෙන් දැඟලුවත් ටික දිනකින් ඌ මෙල්ල වනු ඇත. අතපත ගෑමටද හැකිවනු ඇත. ක්‍රමයෙන් කීකරු වූ පසු නැවත කැලයට නොගොස් මිනිසුන් ඇසුරේ ජීවත් වීමටත් වැඩට හුරු පුරුදු කර ගැනීමටත් ‍හැකිවෙනවා ඇත. බොදුනු සමාජය යැයි නමට කීවත් මෙකලද බොහෝ පිරිසක් ජීවිතය ගෙවන්නේ රෑ දහවල් අනාර්ය ආහාර භුක්ති විඳීමිනි. බලවත් වී ආනර්ය ගති ලක්ෂණ කුළු මී හරක් ලෙස වැඩී මනස දූෂ්‍ය වී ඇත. ආනාර්ය අභාෂයට නැමී ඇත. යම් විටෙක රටේ පාලක පක්ෂයත්, ප්‍රධාන පිරිසත්, රටවැසියාත් කණු වල ගැටගැසුවා මෙන් අකමැත්තෙන් හෝ ආර්ය ගුණ මගක සිටින්ට පසුතලයක් මේ ලක්බිම උදාවුවොත් අනාර්ය වන මුලා සංගීත, ගායනා, විලාසිතා, ලොව මහා ඉහළින් වර්ණනා කරන කෙළි සෙල්ලම් ආදී ලෝභ මෝහ වැඩ අත්හිටුවා දැමුවොත් මුල් කාලයේ මහ පාලුවක් සුන්දර ලෝකය අඳුරු කලාක් මෙන් වැටහුනත් ඉහත කී අනාර්ය ආහාර නොලැබීමෙන් අනාර්ය ගති ක්‍රමයෙන් හීන වී යටපත්ව යනු ඇත.

(පිටුව 166)
එවිටයි සුචරිතය සහිත ආර්ය ආහාරය භුක්ති විඳින ආර්ය චින්තනය පහළ වන්නේ. ඒ ආර්ය චින්තනයකයි ධර්ම හරය බැසගෙන පිහිටන්නේ. ඉහළ තැබු දෙයක් බිමට ඇද හැලීම ලෙහෙසිය. යළි ඔසවා තැබීම උත්සාහයෙන් ප්‍රවේශමෙන් කළ යුත්තකි. උඩට ඔසවා රඳවා තිබෙන කණු, ප්‍රාකාර ආදිය දිරායන්ට නොදී නිතර ශක්තිමත් කරන තුරු ප්‍රතිසංස්කරණය කරන තුරුයි ඉහළ තැබූ දෙය දරා සිටින්නේ. අපට නිදහස ලැබුනා. මානව අයිතිවාසිකම් නිසා නිදහසේ සුන්දර ලෝකයක ඉන්ට හැසිරෙන්ට තිබීමයි සාධාරණය, ප්‍රජාතන්ත්‍රවාදයයි මේසේ අදහස් කරන අය අද බොහෝ වෙති. බුදු රජාණන්වහන්සේද ප්‍රජාතන්ත්‍රවාදයේ වටිනාකම ආදර්ශ‍යෙන්ද පෙන්නුවා යැයි සමහරු උන්වහන්සේද මේ තැනට ඇද දමන්නට මාන බලති. හිතුමතේ මෙලොවත් දූෂ්‍යව කටයුතු කර පරලොව අපමණ කාලයක් සතර අපා ගතව අනාථ වෙන්ට කටයුතු කරන නිදහස ප්‍රජාතන්ත්‍රවාදය යැයි දරාගෙන නිදහසේ මත්පැන් පානය, දුම්වැටි ඉරීම, රේස් බුකි, සූදු, අනාචාර සිරිත් විරිත්, සමාජ දූෂණ වැඩවලට නිදහස සෙවීම හරිද කියා සිතා බැලිය යුතුයි. එබඳු පිරිස් හිතු‍මතේ දුසිරිත්වල රස බලන්නට ඉඩ කඩ ඇහිරුවත් රට ඒකාධිපති පාලනයයි කියන්ට යුහුසුළු වනු ඇත. බුදු, පසේබුදු, මහ ‍රහත් යන මහා උත්තමයන් වහන්සේලාද, මහ සෘෂිවරුද මෙලොව පරලොව, පින්, පව්, යහපත අයහපත මේ මේ යැයි වටහාගෙන ඇත්තේ දිවැස් නුවණ සහිත අභිඥා ලාබී උපේක්ෂා සහගත සිත් වලිනි. මේ අතර බුදු පියාණන්වහන්සේලා අග්‍රය. මහා ප්‍රඥාවෙන් තුන් කල් දත් නුවණින්ය උන්වහන්සේලා ලොවට සිත වැඩ සලසා ඇත්තේ. කාමපේක්ෂාව නැති අපක්ෂපාතී උතුමන් දෙන යහපත් මාර්ගය බොහෝ විට කාමභෝගී ආත්මාර්ථකාමී පිරිසට යහපත් මගක් දැයි සිතා ගන්ටත් බැරිය. රජ කාලයේ පාලනය දරදඬු ඒකාධිපති, ආසාධාරණ එකකැයිද නිදහස අවුරා වහල් ජිවිත මිනිසුන් ගතකර ඇතැයිද තර්ක විතර්ක ගෙන හැර පාන්නේ ඒ නිසාය. ඒකාධිපති පාලනය යනු යම් පුද්ගලයෙකුගේ හිතුමතේ කරන පාලනයක්‍ නොවේ. එබඳු පිරිසක් රජකම් නොකළා නොවේ. ඒවා නම් මිලේච්ඡ පාලන ක්‍රම විය හැකිය. එබඳු මිලේච්ඡ පාලනයන් බිහි වුනේ සුචරිත මග පිරිහුන කාලවලය.

Apr 19, 2011

පිටුව 163 සහ 164


(පිටුව 163)
මුල කෑවොත් අග වැනසේ. මුල කන වැඩ පිළිවෙල සුන්දර ළමා ලෝකයක් කර උසස් සමාජයේ සාඩම්බර වැඩ පිලිවෙලක් ලෙස හුවා දක්වමින් ඒවාට ආවඩන දැන උගතුන්ය කියන පිරිසක් සහිත පාලක මණ්ඩල නිල දරුවන්ගේ ප්‍රශංසාත්මක ඇගයීම මේ විනාශයට පළමු හේතුවයි. ලෞකිකත්වය හිස් මුදුනින් කර තබාගෙන නවීන විලාසිතා ලෝකය දියුණු සමාජයේ උසස් අංගයක් කරගත් දින පටන් නුවණ මොට විය. සිංහල ජනතාව නැතිදාට බුදු දහම් විනාසයි කියමින් ජාතික හා බෞද්ධ අභිමානය ඉතා ඉහළින් සලකන ලක්වැසි ජනතාව බුදු පියාණන්වහන්සේ ශාස්තෘන්වහන්සේ ලෙස කෙතෙක් දුරට උන්වහන්සේ දේශනා කළ උතුම් ධර්ම රත්නය පිළිබඳව විශ්වාස කරනවාද කියා ටිකක් සිතා බැලිය යුතුයි. අපේ සිංහල පවුලක තරුණ ‍පුතෙක් එංගලන්තය වැනි රටක විශේෂ රැකියාවකට ගියා යැයි සිතමු. එම ‍රටේ ඉහල ඨානාන්තරයත් ඔහුට පුරවැසිභාවයද ලැබී එම රජය විශේස පිළිගැනීමක්ද සහතිව සම්මාන ප්‍රදානයෙන් ඔහු පිළිගෙන සිටී. ලංකාවේ සිය පවුලේ අයට ඔහුගෙන් පණිවිඩයක් ලැබේ. ලංකාවට වඩා ඉතා සුඛොපභෝගී ජීවිතයක් මෙහි ගත කරන බවත් තමාට විශාල වත්කමක්ද තිබෙන බැවින් එංගලන්තයේ පදිංචියට මව්පියන් ඇතුළු පවුලේ පිරිස එක්කර ගෙනයන්ට විශාල වටිනා ගෙයක් ඉඩමක් ගෙන ඇති බවත් වසරකින් එම රටට යන්ට කටයුතු සකස් කරගන් යැයි ඔහු මව්පියන් ඇතුළු සිය වුලේ පිරිසට දැනුම් දී ඇත. සුඛෝපභෝගී ජීවිතයක් ගත කරන්ට බලාපොරොත්තු ඇති කරගත් පිරිස දැන් ලහි ලහියේ සුදානම් වන්නේ වසරකින් එංගලන්යට යාමටයි. මේ රටේ තිබෙන ගේ දොර ඉඩකඩම් ආදියද විකුණා මුදල් කර ගන්ට හෝ සුදුසු පැවරීමකට කටයුතුද සූදානම් කරන අයුරු දැන් දැකිය හැකිය. මේ පිරිසට මුදල්ද යහමින් ඇති බැවින් මුදල් පොලියට දෙන කටයුත්තක්ද තිබුනා යැයි සිතමු. විශ්වාසවන්ත ගනුදෙනුකරුවෙක් වැඩි පොලියකට අවුරුදු එක හමාරකින් ආපසු දෙන්ට පොරොන්දුව පිට ඉඩමක් හෝ උගසට තබා ගැලපෙන මුදලක් ඉල්ලුවොත් අකමැති වෙයි. හය මාසයකින් ආපසු දෙනවා නම් ඊට එකඟ වෙයි. මේ අතර එංගලන්තයේ පුතාගෙන පණිවිඩයක් ලැබේ. වැඩ කටයුතු හිතුවාට වඩා ඉක්මනින් සාර්ථක වූ බැවින් කොයි මොහෝතේ හෝ පවුලේ අය රැගෙන යන්ට ලංකාවට එන බව ඒ පණිවිඩයේ සඳහන්ය.
 
(පිටුව 164)
දැන් නම් 6 මාසයකින් ආපසු ගන්ට මුදල් ණයට දෙන බලාපොරාත්තුවද අතහැර දමා ඇත. ඕනෑම වේලාවක ගමන යාමට සැමදෙනාම සුදානමින් සිටී. පුතාගේ වචනය කොතෙක් විශ්වාසද? නමුත් මේ පුතා හදිසි අනතුරකින් මිය යන්ටද බැරිකමක් නැත. වෙන්ත බාධකයක් පැන නැගී ගමන අවලංගු වන්ටද බැරිකමක් නැත. නමුත් එංගලන්තයට පදිංචියට යන්ට ඇති බලාරොත්තුවට ඒවා බාධක ලෙසද නොසිතයි. අප සැමටද කොයි මොහොතේ හෝ මිය පරලොව යන්ට වීම මේ සැමටම වඩා විශ්වාසයි. නිශ්ඵල කාම මුලාවෙන් ප්‍රලාපයෙන් ගත කළොත් දස අකුසල්වල නියැලෙමින් ගත කළොත් මේ ගමන හතර අපායට යන්ට සැලසෙන බවත් අප්‍රමාදව සුචරිතව පින් කුසල් කර ගෙන සිටියොත් සුගතියට යන බවත් බුදු පියාණන්වහන්සේ මනාව දේශනා කර ඇත. කොහේ උපත ලැබුවත් හටගත් සියල්ල වැනසී යන බවත් මමය, මාගේය, මගේ ආත්මයය කියා අල්ලන්ට ලොව කිසිවක් නැති බවත් එබැවින් සියලු මුලාවන් අතහැර මිදී නිවනින් ලබන සැනසීම ඉතාම උතුම් බවත් බුදු පියාණන්වහන්සේ දේශනා කර ඇත. බෞද්ධත්වය ආරක්ෂා කරගෙන තමන්ද බෞද්ධ බව කියන බොහෝ බොදුනුවන් වන සිංහල පිරිස මේ බුද්ධ දේශනා කොතෙක් දුරට විශ්වාස කර ගෙනද අද කටයුතු කරන්නේ? එංගලන්තයේ පුතාගේ කීම පිළිබඳ තබා ඇති විශ්වාසයෙන් ‍දාහෙන් පංගුවක විශ්වාසයක් ඒ නිර්මල බුදු දහම කෙරෙහි තබා ඇත්ද? සුන්දර ලෝකයේ ආශා පොදි කර ගසාගෙන කාමාස්වාද මුලාවෙන් මත්වී රූප කාම, ශබ්ද කාම, ගන්ධ කාම, රස කාම, ස්පර්ශ කාම යන පංච කාමයන්හි මුළු දවස පුරා ගැලෙමින් “පමාදෝ මච්චුනෝ පදං” යන බුද්ධ භාෂිතය අනුව මළ කඳන් සේ කාලය කා දමමින් සසුන් කෙතටද අපහාස වන ලෙස දිවි ගෙවන අය බෞද්ධයෝද? කාමුක වූ මුලා සහගත වූ හිස් ප්‍රලාප පද වැල් ගොතා ගී සින්දු ලෙස නොයෙක් ගායනයන් කරමින් ඒවාට තාල වාදනය කරමින් උදේ පටන් රෑ වනතුරු තොරතෝංචියක් නැතිව ලක්දිව අස්සක් මුල්ලක් නෑර හඬ දෙවන්නේ එම හිස් ශ්‍රවණ ආස්වාදයෙන් මත්වී කල් ගෙවන්නේ බෞද්ධයන්ද? ගීතය හැඬීමකි. සංගීතය මොරගෑමකි යනුවෙන් දේශනා කල බුද්ධ භාෂිතය පිළිගෙන සිටින්නේ කවුද? මරණින් පසු “පහාස“ නම් නිරයේ ඉපිදී සංගීතයෙන් ලොව මායා මුලාවට දමන පිරිස ගිනි‍ගෙන දැවෙන සංගීත භාණ්ඩ වාදනය කරමින් අපා දුක් විඳින බව දේශනා කර ඇත. ඒවා දුහුවිල්ලක් තරම් වත් සත්‍ය යැයි සිතුවා නම් අද මේ මහා මුලාව තුළ බොදුණුවන් යැයි කියන පිරිස හැසිරේද?

පිටුව 161 සහ 162

(පිටුව 161)
ඉහතකී නව ආකාරයේ දූෂ්‍යතාවය ඉතා භයානකයි. ආර්ය මාර්ගය වඩන අයට එය මහා විනාශයකි. විශාලපාඩුවකි. “අනේ මුලාවට පත් මෝඩ අසත්පුරුෂයන්ගේ හැටි. මොනවා කරන්නද? මා වැන්නෙකුට කරන හිංගි හිංසා හේතුවෙන් සිදුවන පාපය කවදා ගෙවා නිම කරන්ටද? කවදා හෝ ඔවුන්ට ගුණවතුන්ගේ ගුණ වැටහේවායි“ ප්‍රාර්ථනා කල යුතුයි. මේ වචන පවා කෙනෙකු ළඟ ඇසෙන්නට නොකීමයි ඉතා හොඳ ඒ වචනයෙන්ම පෙරළා ගසන පහරක් විය හැකි බැවිනි එසේ අනුන්ට ඇසෙන්ටද නොකිය යුතුවේ. මොනවා කිව්වත් මම නම් හතුරෙකුගේ වත් සිත රිදෙන දෙයක් නොහිතමි, නොකියමි, නොකරමියි තරයේ ඉවසීමෙන් කටයුතු කළ හැකි නම් අසත්පුරුෂ ලෝකය කෙරෙහි හිත වහා මිදී යනු ඇත. ‍ලෝකය දුක් ගිනි වලින් පිරී ඇති හැටි මනාසේ පෙනෙනු ඇත. ඉවසීම දිනෙන් දින පුරුදු වූ විට කවුරු තමාට මොන අවැඩ කලත් අකම්ප්‍යව සමවතින් සිටින්නට හැකි වනු ඇත. එවිටයි තම ඉවසීමේ ප්‍රතිඵලය ලෙස අත්විඳින්නට ලැබුන මානසික වූ ශාන්තිය අත් දකින්නේ. පෙර අවැඩ කරනු දුටු විට හටගත් දාහ ගින්න සිසිල් ජලාශයක් ගලාවිත් නිවී ගියා සේ පසුව වැටහෙනු ඇත. ලෝක‍යේ බොහෝ අය මට හතුරුකම් කළත් මම ලොව කිසිවෙක් සමඟ හතුරු නැතැයි තමන්ට විශාල සැනසුමක් ඇති වනු ඇත. ආර්ය මෛත්‍රීය නිරායාසයෙන් වැඩෙන අතර මේ වැඩ පිළිවෙල වහ වහා අනාගාමී ඵලය කරා ඒ දහම ආධාරයෙන් ගෙන යනු ඇත. එබැවින් මෙසේ දූෂ්‍ය නොවී සිටිය හැකි නම් එය ආර්ය ශ්‍රාවක මහා ගුණයකි. මෙබඳු උතුම් ගුණයට සම කළ හැකි ලෞකික වූ තවත් කිසිම ගුණයක් නැත. එතරම් උත්තරීතර ගුණයකි. අසත්පුරුෂයා තමන්ට සියයක් කළ යහපත් දේ අතර එක අඩුපාඩුවක් දුටු තැන පහර ගසන, විවේචනය, අපහාස කරන බවත් සත්පුරුෂයා තමන්ට කළ සියයක් අයහපත් දේ අතර එක් යහපතක් දුටුවොත් ඒ ඉතිරි සියල්ලෙහි මධ්‍යස්ථව ඒ ගුණ මාත්‍රය හුවා දක්වා ප්‍රශංසා කරන බවත් බුදු පියාණන්වහන්‍සේ දේශනා කර ඇත. ඒ බුද්ධ භාෂිතය අනුව කටයුතු කරන සත්පුරුෂ‍යෙක් විය හැකි නම් අප නොසිතූ අයුරින් සතුරා යටහත් වනු ඇත. සතුරුකම් මගහැරී යනු ඇත. මෙබඳු කෙනෙකුට හදවත් උණු නොවී තවත් හතුරුකම් කරනවා නම් කවදා හෝ එබඳු සත්පුරුෂයා සසර කළ බලවත් පාප කර්ම නිසාම සිදුවන්නකි. එබඳු උතුමන් ඒ ගැන සිතා සන්සුන් වේ. ගැටීමට නොයනු ඇත.
 
(පිටුව 162)
මෙවැනි උතුමන්ගෙන් හතුරෙකුට වත් අවැඩක්, අයහපතක් සිදු නොවේ. තමන්ට චිත්ත ශාන්තිය වැඩී එන්නේ නිරායාසයෙනි. මුලදී මේ හික්මීම ඉතා බැරෑරුම් කටයුත්තක් ලෙස පෙනුනත් ප්‍රගුණ වූ විට ඉතා ශාන්තය. පහසුය. සමාජය සත්පුරුෂ වූ තරමට යහපත් ගති ගුණ ඇති අයට වාසය ඉතා සැනසුම්දායකය. දහම් මග බොහෝ පින්වතුන්ට වැඩී එයි. එසේම යම් කලක සමාජය අසත්පුරුෂ වූ තරමට සිල්වතුන්ට, ගුණවතුන්ට ඒ සමාජ පරිසරයද බාධක කරදර සහිත වේ. ගුණය නිසා ශාන්තව සියලු කරදර ඉවසුවත් ආරම්භක ගුණ වඩන උතුමන්ට එය මහත් බාධකයක්‍ වේ. මහා වෘක්ෂය සැඩ හිරු එළියට ඔරොත්තු දෙමින් අනිත් ගස්වලට සිසිල, සෙවන සැපයුවත් ළදරු පැළෑටියට ඔරොත්තු නොදෙන්නාක් මෙනි. මෙතරම් බණ කියන, බණ අසන රටක්, මෙතරම් අපරාධ කෙරන ‍රටක් ලොවම නැතියි සමහර පිරිස් මේ ලක්බිම සමච්චලයට ලක් කරනු මෙකල අසන්නට ලැබීම නොරහසකි. ඇයි අප රටට මෙහෙම අපවාද ලබන්නට හේතු වුනේ, හේතු ඇති නිසයි ඒ අය එහෙම කියන්නේ. නිය තුඩින් කඩා දැමිය යුත්ත ගණන් නොගෙන හැරීමෙන්ද අද පොරොවෙන් කපන්නටත් අමාරු වන වල් ගස් මෙන් දුෂ්චරිත බලවත් වී ඇත. කුළු මී හරකාට “හෝව්” කිව්වාට අසයිද? හතර පස් දෙනෙකුට වත් කීකරු කරන්නට හැකිද? කුඩා කල පටන් මිනිස් පරිසරයේ මිනිස් ඇසුරේ සැදුන හරක් සිය ගණනක් එක් ගොපලු දරුවෙකුට අවනත වන හැටි පෙනේද? පොඩි දරුවෙක් අත ඇති කෙවිට දුටු පමණින් ඕනෑම අතකට, හරක් රෑනක් පාලනය කරන ක්‍රමය වෙනස් වී නැත. ඊට බාධක වන වැඩ කටයුතු ගව රැලට හිමි වී නැත. ස්වභාවයෙන්ම සටන් කරන්නට අං ඇති හැඩි දැඩි මී හරක් පවා ක්‍රමානුකූල පාලනයක කුඩා කල පටන් හික්මවා ගත් විට කෙතෙක් දුරට කීකරු පිරිසක් කරගත හැකිද? එසේ නම් ඇයි හොඳ, නරක, යහපත්, අයහපත් දේ ගැන දැනුම් තේරුම් ඇති මිනිසාට මග පෙන්වා යහපත් කරන්නට මෙතරම් අමාරු?

Apr 6, 2011

පිටුව 159 සහ 160

(පිටුව 159)
නොයෙක් පිළිසරණ පතා ආගම් දෘෂ්ඨි යාඥා ආදියට බැඳෙන්නේ නම් අසීමිත බලාපොරොත්තු කෙසේ හෝ සඵල කර ගන්ටය නොලැබුණු නම් අසීමිත බලාපොරොත්තු කෙසේ හෝ සඵල කර ගන්ටය නොලැබුණු මේ තත්වයන් ලබන්නට ඇති බලාපොරොත්තු අනාගතය අල්ලාගෙන මහා අසහනයක් ගෙන දෙයි.. ලැබුනා යැයි සමහර විට මහත්සේ උද්දාම වෙයි. අප්‍රමාණ සසරේ පටන් මේ මායාවන්ට පැටලී මේ අසහනය උද්දාමය සංවේගය ලැබුවා මිස කිසි කෙනෙක් සැනසීම ලබා නැත. සැනසීමට කිසිවක් පැවැත්ම තුළ නැති බැවිනි. මේ සියලු බලාපොරොත්තු අත හැරියොත් පමණි සැනසුම ලැබනේනේ. එය පැවැත්මක් අල්ලාගෙන ලබන සැනසුමක් නොවේ. අත්හළ විට ලැබෙන සංසිඳීමේ සුවයකි. එයයි නිවන් සුවය.
ආර්ය මාර්ග ඵල අවබෝධයෙන් පටන් සත්‍යය දැක ප්‍රත්‍යක්ෂ කරන තුරු ලෝ සතුන් වෙහසෙන්නේ ලෝකාස්වාදය තුළින් ම සැනසුම සෙවීමටයි. අනන්ත සසරේ පටන් මේ මිස දිටුවට බැසගත් ලෝ ‍සතුන්ට එකවරම ආර්ය වූ සංසිඳීම නම් වූ සියලු ආශා අතහැර නිදහස් වීම කරගන්ට යැයි මෙහෙය වන්ට ගියහොත් ඔවුන්ට එය පාළුවක් ලෙස සිතෙනු ඇත. සැනසුමක් ලෙස කෙසේවත් නොවැටහෙනු ඇත. ලෝකාස්වාදය දෘස්ඨිකෝණයක බැඳී නිවනේ සැනසුම කෙසේවත් දක්නට නොහැකියි. ලොවට ඇලෙන ඒ ලෝක සුවයෙහිම යෙදෙමින් ඒ සඳහාම වෙහෙසෙන අයට සිදුවන්නේ සත්‍ය දැකයි නොහැකි ලෙස නිවනේ සැනසුම දැකිය නොහැකි මහත් ආගාධයකට වැටීමටයි. එබැවින් මේ ආගාධයට නොවැටී බේරුනොත්ය. ක්‍රමයෙන් නව ලොව්තුරා සදහම් අවබෝධයට නැගීවිත් ප්‍රත්‍යක්ෂ ලැබෙන්නේ, අනාදිමත් සසරේ අත්නොදුටු නිවන් සැනසුම අත්දකින්නේ එවිටයි. මේ පරම ශාන්තිය අත්දකින්නට නම් නව ආකාර ආගාධ වස්තු තේරුම් ගෙන එයින් තමන්ට වන විශාල අවැඩ තේරුම් ගෙන ඉන් මිදී විමුක්තිය ලැබීමට උත්සාහ කළ යුතුයි. සැනසුම් සහගත අදහසක් නිතර ඇසුරු කර ධ්‍යාන නම් වූ චිත්ත ශාන්තියක් ඇති කර ගත හැකියි. එහෙත් ඒ නිවන නොවේ. විදර්ශනා ප්‍රඥාවෙන් පහළ වූ මාර්ගඵල නොවේ. දෙව්දත් තෙරුන් ද මහ සෘද්ධි බල සහිතව ධ්‍යාන ලබා සිටි කෙනෙකි සඟ පිරිස් පාලනයට කෑදර සිතක් පහලවී උපක්‍රම යොදා අජාසත්ත කුරු වසඟ කර ගන්ට නොයෙක් සෘද්ධි ප්‍රාතිහාර්යයන්ද පෙන්වා ඇත. ලබා සිටි ධ්‍යාන අභිඥා ඒ දක්වාත් නොපිරිහිනි. සංඝ භේදයත් සමඟයි ඒ සියල්ල පිරිහී ගියේ. කෙතේ දූෂ්‍ය වන්ට හේතු සැඟවී හිතේ මුළු ගැසී තිබුණාද යන්න ඉන්පසු බුදු පියාණන්වහන්සේ මැරීමට සිතා ගල් පෙරලීම දුනුවායන් යෙදවීම නාලාගිරි ඇත්රජ කෝප කර ඉදිරියට එවීම යනාදී සිදුකල දේ වලින් පැහැදිලි වේ. එබැවින් ධ්‍යානයක් ලැබුණත් එයින් උදද්දාම වන්නට නොවටී.

(පිටුව 160)

නවවිධ ආගාධ වස්තු
අඩු තරමින් සෝතාපන්න මාර්ග ඵලයට පත් වූවානම් කිසි ‍දිනෙක සතර අපායට යන පාපයක් ඒ ආර්යයන් වෙතින් සිදු නොවනු ඇත. එහෙත් එකතරා මට්ටමක ඇලීම්, ගැටීම් නිසා වන මානසික අසහනකාරීත්වයේ වඳ වේදනාවන් ඒ අයටත් විඳින්නට හේතු තිබේ. සකෘදාගාමී වන විට ඒවා තුනී වී ගොස් අනාගාමී වන විටයි සියලු කාම වස්තු පිළිබදව අසහනයෙන්ගෙන් සදහටම මිදී යන්නේ. මෙසේ ලබන සංසිදීම් සුවය නම් කිසි කලෙකත් යළි දුක් අසහන වලට නොහෙළනු ඇත. මේ උතුම් ආර්ය මාර්ගයෙන් පල ලබන්නට නව විධ ආගාධ වස්තු තේරුම් ගෙන ආර්ය මාර්ගය වැඩීමට ඒවායින් වන මහත් බාධාව පාඩුව වටහාගෙන කෙතෙක් තමන්ට අසහනකාරීත්වයක් අසත්පුරුෂ ලෝකයෙන් ඇති කළත් ඉතා ඉවසීමෙන් ඒ සියලු දුක් ගැහැට විඳ දරාගෙන, මාගේ සිත කෙතෙක් රිදෙව්වත්, මා හට වචනයෙන් කෙතෙක් අපහාස බැනීම් සිදු ක‍ළත්, මා හට කෙතෙක් ගැසුවත්, කැපුවත්, කෙටුවත්, මා මරා දැමුවත් දහම් මගට ආර්ය මගට බාධාවන දූෂිත බව නම් මේ සියලු දුක් කරදර වලට වඩා මට සිදු කරන්නේ විශාල පාඩුවකියි සිතා දූෂිත නොවී ආර්ය මාර්ගය වඩන මා මිය ගියත් මට නිවන හිමි බව දනිමියි ධෛර්යය උපදවා මේ නව විධ ආගාධ වස්තු විලින් ඉවත්ව සිටීමට වග බලා ගත යුතුය. ඒ ආගාධ වස්තු නවය මෙසේයි.
  1. මොහු හෝ ‍මොවුන් මට අවැඩක් කළා යැයි හිත දූෂ්‍ය කර ගැනීම
  2. මොහු හෝ මොවුන් දැන් මට අවැඩ කරයි කියා හිත දූෂ්‍ය කර ගැනීම
  3. මොහු හෝ මොවුන් මට මතු අවැඩ කල හැකියි කියා හිත දූෂ්‍ය කරගැනීම
  4. මොහු හෝ මොවුන් මගේ හිතවතාට ඇවැඩක් කළා යැයි හිත දූෂ්‍ය කරගැනීම
  5. මොහු හෝ මොවුන් මගේ හිතවතාට දැන් අවැඩ කරයි කියා හිත දූෂ්‍ය කර ගැනීම
  6. මොහු හෝ මොවුන් මගේ හිතවතාට මතු අවැඩ කල හැකියි කියා හිත දූෂ්‍ය කරගැනීම
  7. මොහු හෝ මොවුන් මගේ හතුරාට හොඳ වැඩක් කළා යැයි හිත දූෂ්‍ය කර ගැනීම
  8. මොහු හෝ මොවුන් මගේ හතුරාට හොඳ වැඩ කරයි කියා හිත දූෂ්‍ය කර ගැනීම
  9. මොහු හෝ මොවුන් මගේ හතුරාට මතු හොඳ වැඩක් කළ හැකියි හිත දූෂ්‍ය කරගැනීම

පිටුව 157 සහ 158

(පිටුව 157)
ලෝකයේ මොනවා සමඟ හෝ මිත්‍රත්වයෙන් බැඳුනහොත් ඇති වන්නේ මිතුරු වන්තයෙකි. මිත්‍රත්වය සංඝනිකා දෝෂ සහිතයි. මුලු ලොවම තිබෙන්නේ කැඩෙන, බි‍ඳෙන, විනාශ වෙන, කඩන, බිඳන, විනාශ කරන, කැඩී යන, බිඳී යන, විනාශ වී යන දේවල්ය. මේ කුමක් සමඟ හෝ මිත්‍රත්වයක් ඇතිකර ගතහොත් ඒවාට උරුම වන ස්වභාවයන් ක්‍රියාත්මක වන විට ඇතිවන්නේ ගැටීමකි. කොටින් කියනවා නම් ඇල්ම යම් තැනකද එතැන ගැටීම ඇත. මුලාවද එතැනය. ඇල්ම අතහැරියොත් ගැටීම සහ මුලාවද ඒ සමගම අතහැරී යනු ඇත. ලොව යම් පාපී දහම් සමඟ ඇති වන මිතුරු බව හෙවත් ඇලීම දුෂ්චරිත පිළිබඳව ඇලීම වඩාත් භයානක ගැටීම් සහ මුලාව ඇති කරයි. මේවා උච්ඡේද දෘෂ්ටි වලට වැටෙයි. මේ එක් අනතයක් හීනය ග්‍රාම්‍යය පෝථුජ්ජනියකය අනාර්ය අනර්ථ සහිතය ලෝක පැවැත්මේ දෙව් ලොව, බඹ ලොව ආදියෙහි ‍හෝ ඒවාට හේතු වන දහම්හි පැවැත්මේ ආස්වාදය හිතා එහි බැඳුනහොත් ඒවාද දුක්ඛය අනාර්යය අනර්ථ සහිතය ශාස්වත දෘෂ්ඨියට හසුවේ. එබැවින් මිතුරු සිතකින් බැ‍ඳෙන මේ සියල්ලම පොදුවේ මිතුරුහිත් හෙවත් මිච්චාය. මිච්චා යන වචනයට වැරදි අයහපත් ආදී අර්ථ දුන්නත් ඒ අර්ථ වලින් නියම තතු පැහැදිලි කර ගැනීම අමාරුය. වචනයේ ගැබ් වී ඇති අර්ථය සොයාගත් විට අර්ථය පැහැදිලි වේ. යමක් ගැන මිත්‍ර සිතක් හැඟීමක් හටගන්නේ එය නිත්‍ය ලෙස සැප ලෙස ආත්ම ලෙස ගැනීම නිසයි. යමක් මොහොතක්වත් නිත්‍ය ලෙස නොපවතී නම් හටගත් සියල්ල විපරිණාමයට පත්ව වැනසේ නම් ඒවා කැමති සේ පවත්වනට ත්ත කළත් කිසි විටකත් එය සාර්ථක නොවේ. බලාපොරොත්තු කඩ වේ. එවිට ඒ හේතුවෙන් හටගන්නේ දුකක්මය. සැනසුමක් කොයින් ලැබේද? එබඳු දෙයක් තව දුරටත් මමය මගේය මගේ ආත්මය යන දුෂ්ටියෙන් සිතයිද ඇලුම් කරයිද තමන්ගේ යයි ඒ කිසිවක් මොහොතක්වත් කැමති සේ නොපවතිනු ඇත. එබැවින් ඒවායින් සැනසුමක් හොයන්නට ගියොත් වන්නේ අනාථ බවකි. ලොව පවතින සියල්ල අර්ථවත් නම් ඒ තුළ අපට සැනසිල්ලේ සිටින්නට හැකිවිය යුතුයි.

(පිටුව 158)

අප අනන්ත සසරේ ආ භව ගමන තුළ දෙවියෙක් බ‍ඹෙක් මිනිසෙක් ලෙස සිටි භව වාර අනන්තය. ඒ කාලවල මහේශාක්‍ය ලෙස සිටි අත් බැව්ද අප්‍රමාණය. මමය මගේය කී ලෞකික සම්පත් අප්‍රමාණය ඒ අතර අප කැමති පරිදි සිටින්න අපට පිළිසරණ පිණිස කිසිවක් තිබුණා නම් අප අද සිටිය යුත්තේ එතැනය. අතීත වූ සියල්ල අද තිබුණ තැනවත් නැත. මතකයට නගා ගන්ටද නොහැකි ලෙස අමතක වී ගොස් ඇත. එහෙත් ඒ ඒ අත් බැව්හි අප හිඳ ඇත්තේ මම මෙබඳු මහේශාක්‍ය කෙනෙකි මගේ සම්පත් මගේ බලය මගේ ආධිපත්‍ය මෙසේය යන මමත්ව හැඟීමකිනි. සියල්ල අර්ථයෙන් හිස්වී වැනසී ගොස්ය. මෙතෙක් සසර ලැබූ කිසිම අත්බවක් තුළින් අපට පිළිසරණක් ලැබී නැත. මෙතක් ආ අප්‍රමාණ අතීත සියල්ල අනාථ ලෙස වැනසී‍ ගොස් ඇත.
දැන් මේ ගත කරන්නේද එබඳු අනාථ වූ මමෙක් තුළය. මගේය කියන දේ ඇසුරේය. අනන්ත භවයේ සිදුවූ අනාථ වැනසී යාමය දැනුත් සිදුවෙමින් තිබෙන්නේ. දැන් පටන් මතු අනාගතයේ කොතෙක් ඉදිරියට නිපදවීමෙනි සැරි සැරුවත් ලබන්ට වෙන්නේ එබඳුම අනාථ ස්වභාවයක්මය. කාම භව, රූප භව, අරූප භව, යන භවත්‍රයක ආ ගමන තුළ පිළිසරණක් ලැබී නැත. එසේ නම් පිළිසරණ පතා පවතින්ට නම් ලොව කිසිවෙක් සමග කිසිවෙක් කිසිවක් සමග මිතුරු වී පලක් නැති බව වටහා ගත යුතුයි. මෙසේ තේරුම් ගෙන සිතීමෙන් ලොවට බැඳී මිත්‍රත්වයක දුරු වී මිච්ඡාව දුරුවනු ඇත. සං නැමැති සියලු එකතුන් ගෙන මිදී ගොස් සම්මා වනු ඇත. තමන් සහිත ලොව කෙනෙකුට හෝ දෙයකට හෝ තත්ව ඨානාන්තරයකට හෝ මම ගුණවතෙක්ය, සිල්වතෙක්ය, ඇමතියෙක්ය, මන්ත්‍රීවරයෙක්ය, ගුරුවරයෙක්ය, නිළදරුවෙක්ය ආදී කී නොකී මෙවන් කෙබඳු තැනක හෝ ඇලුම් කළොත් ඒ ඇලමම ආර්ය මාර්ගයට බාධා පිණිස වනු ඇත. මේ සියලු තත්ව ඨානාන්තර ස්වභාවයෝ පැවැත්මේ ආස්වාද හොයන පිරිසකගේ ‍පොර මඩලක පොර බඩුය. බල්ලන්ට අසුවූ මස්කටු මෙනි. උගුස්සන්නට අසුවූ මස්කැටි මෙනි. මේවායේ ‍ඇලීම නිසයි සියලු අසහන ඇති වන්නේ. හදවත දැවෙමින් තැවෙමින් ගැටීම් හට ගන්නේ මුලාවූවන්ට මේ තරගය අතහැර යන්ට අමාරුය. කෙසේ හෝ තරග කර තම බලාපොරොත්තුම සඵල කරගන්නට දරන උත්සාහය නිසා හිතට සැනසුමක් නැත. කාම විතර්ක, ව්‍යාපාද විතර්ක, විහිංසා විතර්ක මොහෙතක් පාසා වද දෙමින් නැගී එනු ඇත. සිත කලඹන්නේ අවිවේකී බවට පත් කරන්නේ මේ අසීමිත බලා‍පොරොත්තුවයි.