මෙම බ්ලොග් අඩවිය පිළිබඳව

සම්මා සම්බුදු පියාණන්වහන්සේ වදාළ සත්‍ය වූ බුද්ධ ධර්මය කාලයත් සමග සැගවෙන්නට ඇති ඉඩකඩ වැඩිය. එය ‍එසේ වූ නිසාම ශතවර්ෂ ගණනකින් මාර්ගඵල ලාභීන් බිහි වූ බවක් අසන්නට නොලැබිණි... එහෙත් මග ඵල ලැබ ගෞතම බුදු පියාණන් විවර කල නිවන් දොරටුවෙන් මාර්ගයට පිවිස ඵල ලැබී සැනසීමට නියම වූ ඇත්තන් තවමත් සිටින හෙයින් ඔවුන් සදහා උපකාරයක් වීමට නියම කළ්‍යණ මිතුරාගේ පැමිණීම සිදුවී ඇත. ඒ සැඟවුනු මාවත යලි විවර කරමින්, සැඟවුනු දහම් අරුත් මතු කරමින් සසර දුකින් පෙළෙන ඔබටත් මටත් අනන්ත සසර දුක් සයුරෙන් එතෙර වීමේ ප්‍රයෝගික මග හෙලි කරන අභිඥාලාභී පූජ්‍යපාද වහරක අභයරතනාලංකාර ස්වාමීන් වහන්සේගේ ධර්මානුශාසනා ඇසුරෙන් පලවූ "සැගවුණු බොදු මග කල එලි දකී" යන පොත ඇසුරෙන් මෙසේ සටහන් තබමි!

Apr 20, 2011

පිටුව 165 සහ 166

(පිටුව 165)
එසේම යුද්ධය පිළිබඳ වර්ණනා කරමින් ගැටීමට මෙහෙයවන පිරිසත් එය යහපත් යැයි කීම බුදු දහමට එකඟද? බුදු පියාණන් වහන්සේ දේශනා කර ඇත්තේ යුද්ධය කරන අය සරංජිත නම් අපායෙහි උපදින බවයි. සංගීත කරන අය පහාස නම් නිරයේ උපදින බව සංයුත්ත නිකායට අයත් තාලපුට නම් සූත්‍රයකද, යුද්ධ කරන අය සරංජිත නම් අපායෙහි උපදින බව යෝධාජීව නම් සූත්‍රයකද මනාසේ පෙන්වා ඇත. මිසදිටු බිඳ දමා මුලා සංගීත සහ මෝහ සහගත ගායනා අතහැර පුහු සටන් අතහැර සමගියෙන්ද, කාම සංසිඳීමෙන්ද නියම බොදුනුවන්ට අදිටන් කර ගනිමු. ලෝභ, ද්වේෂ, මෝහ වැඩ පිළිවෙලට ගොදුරු වී මුලාවට වැටෙන්ට හේතුවන මුල කපා දැමීම සමාජයේ සාරධර්ම යළි ගොඩනැගෙන්නට හේතු වන බව සිතිය යුතුය. අද සිදුවී ඇත්තේ නැණ නුවණ අඩුවක් නොව මුලා වැඩට මුල් තැන දීම නිසා යහපත් නැණ නුවණ නැසී යාමය. මුලා සහිත තැන කිඳා බැස සිටිමින් කොතෙක් දහම් සිහි කළත් කර්මස්ථාන නොවැඩෙනු ඇත. දහම් අවබෝධ යම් මොහොතක ලැබුනොත් මුලාවූ ලෝකයො හිස් මුඳුනින් දරා සිටින සංකර වැඩ පිළිවෙල හොඳින් වැටහී යනු ඇත. නැවත එබඳු මිලේච්ඡ කටයුතු කිසිසේත් අනුමත නොකරනු ඇත. කුළු මී හරක් පැටවා ලේසියෙන්ම කීකරු කර ගත හැකි වුවත් මෝරපු මහත්වූ කුළු මී හරකා කීකරු කර ගැනීම ඉතා අමාරුය. අමාරු වුවත් බලහත්කාරයෙන් මදු ගසා අල්ලාගෙන තද කඹයකින් කණුවක ගැට ගසා නිදැල්ලේ හැසිරෙන්නට ඉඩ නොදී පෙර ආහාරයට ගත් වල් කැලෑ කෑම ඉතා අඩු කළ විට මහත් වේගයෙන් දැඟලුවත් ටික දිනකින් ඌ මෙල්ල වනු ඇත. අතපත ගෑමටද හැකිවනු ඇත. ක්‍රමයෙන් කීකරු වූ පසු නැවත කැලයට නොගොස් මිනිසුන් ඇසුරේ ජීවත් වීමටත් වැඩට හුරු පුරුදු කර ගැනීමටත් ‍හැකිවෙනවා ඇත. බොදුනු සමාජය යැයි නමට කීවත් මෙකලද බොහෝ පිරිසක් ජීවිතය ගෙවන්නේ රෑ දහවල් අනාර්ය ආහාර භුක්ති විඳීමිනි. බලවත් වී ආනර්ය ගති ලක්ෂණ කුළු මී හරක් ලෙස වැඩී මනස දූෂ්‍ය වී ඇත. ආනාර්ය අභාෂයට නැමී ඇත. යම් විටෙක රටේ පාලක පක්ෂයත්, ප්‍රධාන පිරිසත්, රටවැසියාත් කණු වල ගැටගැසුවා මෙන් අකමැත්තෙන් හෝ ආර්ය ගුණ මගක සිටින්ට පසුතලයක් මේ ලක්බිම උදාවුවොත් අනාර්ය වන මුලා සංගීත, ගායනා, විලාසිතා, ලොව මහා ඉහළින් වර්ණනා කරන කෙළි සෙල්ලම් ආදී ලෝභ මෝහ වැඩ අත්හිටුවා දැමුවොත් මුල් කාලයේ මහ පාලුවක් සුන්දර ලෝකය අඳුරු කලාක් මෙන් වැටහුනත් ඉහත කී අනාර්ය ආහාර නොලැබීමෙන් අනාර්ය ගති ක්‍රමයෙන් හීන වී යටපත්ව යනු ඇත.

(පිටුව 166)
එවිටයි සුචරිතය සහිත ආර්ය ආහාරය භුක්ති විඳින ආර්ය චින්තනය පහළ වන්නේ. ඒ ආර්ය චින්තනයකයි ධර්ම හරය බැසගෙන පිහිටන්නේ. ඉහළ තැබු දෙයක් බිමට ඇද හැලීම ලෙහෙසිය. යළි ඔසවා තැබීම උත්සාහයෙන් ප්‍රවේශමෙන් කළ යුත්තකි. උඩට ඔසවා රඳවා තිබෙන කණු, ප්‍රාකාර ආදිය දිරායන්ට නොදී නිතර ශක්තිමත් කරන තුරු ප්‍රතිසංස්කරණය කරන තුරුයි ඉහළ තැබූ දෙය දරා සිටින්නේ. අපට නිදහස ලැබුනා. මානව අයිතිවාසිකම් නිසා නිදහසේ සුන්දර ලෝකයක ඉන්ට හැසිරෙන්ට තිබීමයි සාධාරණය, ප්‍රජාතන්ත්‍රවාදයයි මේසේ අදහස් කරන අය අද බොහෝ වෙති. බුදු රජාණන්වහන්සේද ප්‍රජාතන්ත්‍රවාදයේ වටිනාකම ආදර්ශ‍යෙන්ද පෙන්නුවා යැයි සමහරු උන්වහන්සේද මේ තැනට ඇද දමන්නට මාන බලති. හිතුමතේ මෙලොවත් දූෂ්‍යව කටයුතු කර පරලොව අපමණ කාලයක් සතර අපා ගතව අනාථ වෙන්ට කටයුතු කරන නිදහස ප්‍රජාතන්ත්‍රවාදය යැයි දරාගෙන නිදහසේ මත්පැන් පානය, දුම්වැටි ඉරීම, රේස් බුකි, සූදු, අනාචාර සිරිත් විරිත්, සමාජ දූෂණ වැඩවලට නිදහස සෙවීම හරිද කියා සිතා බැලිය යුතුයි. එබඳු පිරිස් හිතු‍මතේ දුසිරිත්වල රස බලන්නට ඉඩ කඩ ඇහිරුවත් රට ඒකාධිපති පාලනයයි කියන්ට යුහුසුළු වනු ඇත. බුදු, පසේබුදු, මහ ‍රහත් යන මහා උත්තමයන් වහන්සේලාද, මහ සෘෂිවරුද මෙලොව පරලොව, පින්, පව්, යහපත අයහපත මේ මේ යැයි වටහාගෙන ඇත්තේ දිවැස් නුවණ සහිත අභිඥා ලාබී උපේක්ෂා සහගත සිත් වලිනි. මේ අතර බුදු පියාණන්වහන්සේලා අග්‍රය. මහා ප්‍රඥාවෙන් තුන් කල් දත් නුවණින්ය උන්වහන්සේලා ලොවට සිත වැඩ සලසා ඇත්තේ. කාමපේක්ෂාව නැති අපක්ෂපාතී උතුමන් දෙන යහපත් මාර්ගය බොහෝ විට කාමභෝගී ආත්මාර්ථකාමී පිරිසට යහපත් මගක් දැයි සිතා ගන්ටත් බැරිය. රජ කාලයේ පාලනය දරදඬු ඒකාධිපති, ආසාධාරණ එකකැයිද නිදහස අවුරා වහල් ජිවිත මිනිසුන් ගතකර ඇතැයිද තර්ක විතර්ක ගෙන හැර පාන්නේ ඒ නිසාය. ඒකාධිපති පාලනය යනු යම් පුද්ගලයෙකුගේ හිතුමතේ කරන පාලනයක්‍ නොවේ. එබඳු පිරිසක් රජකම් නොකළා නොවේ. ඒවා නම් මිලේච්ඡ පාලන ක්‍රම විය හැකිය. එබඳු මිලේච්ඡ පාලනයන් බිහි වුනේ සුචරිත මග පිරිහුන කාලවලය.

0 comments: