මෙම බ්ලොග් අඩවිය පිළිබඳව

සම්මා සම්බුදු පියාණන්වහන්සේ වදාළ සත්‍ය වූ බුද්ධ ධර්මය කාලයත් සමග සැගවෙන්නට ඇති ඉඩකඩ වැඩිය. එය ‍එසේ වූ නිසාම ශතවර්ෂ ගණනකින් මාර්ගඵල ලාභීන් බිහි වූ බවක් අසන්නට නොලැබිණි... එහෙත් මග ඵල ලැබ ගෞතම බුදු පියාණන් විවර කල නිවන් දොරටුවෙන් මාර්ගයට පිවිස ඵල ලැබී සැනසීමට නියම වූ ඇත්තන් තවමත් සිටින හෙයින් ඔවුන් සදහා උපකාරයක් වීමට නියම කළ්‍යණ මිතුරාගේ පැමිණීම සිදුවී ඇත. ඒ සැඟවුනු මාවත යලි විවර කරමින්, සැඟවුනු දහම් අරුත් මතු කරමින් සසර දුකින් පෙළෙන ඔබටත් මටත් අනන්ත සසර දුක් සයුරෙන් එතෙර වීමේ ප්‍රයෝගික මග හෙලි කරන අභිඥාලාභී පූජ්‍යපාද වහරක අභයරතනාලංකාර ස්වාමීන් වහන්සේගේ ධර්මානුශාසනා ඇසුරෙන් පලවූ "සැගවුණු බොදු මග කල එලි දකී" යන පොත ඇසුරෙන් මෙසේ සටහන් තබමි!

Jan 31, 2011

පිටුව 143 සහ 144

(පිටුව 143)
ලෝ සතුන් ආත්ම දෘෂ්ටිය නිසාම ඒවා සමඟ එක්වේ. අවිද්‍යාවෙන්, තෘෂ්ණාවෙන්, ඒවා සමග එක්ව දිවි ගෙවයි. මේ සඳහා ඇස, කණ, නාසය, දිව, කය, මන යන ඉන්ද්‍රීය 6ක් උපයෝගී කරගෙන රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, ධර්ම යන 6ත් සමග සම්බන්ධව බැඳී කරන ක්‍රියාවකට බසී. ඉන්ද්‍රීය 6 ආයතන කීවේ එසේ බැඳීමෙන් ඉන්ද්‍රීයන් තුළ ක්‍රියාත්මක වන නිසායි. මේ තමයි ලෝක භුක්තිය විඳීමට බැස ගත් ක්‍රමය. මෙසේ ආයතන 6ක් සමග ක්‍රියත්මක වන්නේ ආත්ම දෘෂ්ඨිය මුල් කරගෙනයි. ආත්ම දෘෂ්ටිය හැර අවිද්‍යා, තෘෂ්ණා දුරු කළොත් ඇස චක්ඛු ධාතුවක් පමණි. රූප රූප ධාතු පමණි. ඇසෙහි වත් රූපයෙහි වත් ආශා බන්ධන නැති විටයි ආයතන ස්වභාවය දුරු වන්නේ. දෘෂ්ටියෙන් මුලාවෙන් නාම රූප සමග බැඳී කටයුතු කරන විටයි දුකෙහි ගිලවමින් ආයතන බිහි කරගන්නේ. නාම රූප පච්චයා සලායතනං කීවේ මෙයයි. ඇසෙන් රූප ගැනීම, කනෙන් ශබ්ද ඇසීම, දිවෙන් රස ගැනීම, නාසයෙන් ගන්ධය ගැනීම, කයෙන් පහස ගැනීම, මනෙන් ධර්ම ගැනීම යන අවිද්‍යා සහගත තෘෂ්ණා සහගත බලාපොරොත්තු සහිතවම පෙර භවයේ මිය ගිය නිසා බලාපොරොත්තු වලින් ජනිත කළ ශක්තිය හෙවත් කර්ම ශක්තිය මතු භවයක සුදුසු පරිදි මේ ඉන්ද්‍රීය 6 නිපදවන බැවින් යළි මුලාව නොහැර සිටින තුරු ආයතන කරගනී. මුලාව අත්හල දින මේ ආයතන පහළ කිරීම නවතින බැවින් මතු භවයක ඉන්ද්‍රීය 6 පහළ වීමට ශක්තිය බිහි නොකරයි. එවිට ඒ ශරීරය භව ගමනේ අන්තිම දේහය වනු ඇත. අන්තිම දේහධාරී කියන්නේ අරිහතුන් වහන්සේයි.  ආයතන 6 පවත්වන්නේ අවිද්‍යා, තෘෂ්ණා මුලාව නිසා බැවින් ලෝක ආස්වාද භුක්තියට නැමී ඒ සඳහා ආත්ම සංකල්පී වූ ස්පර්ශ ලබන්නට පටන් ගනී. මේ ස්පර්ශයෝ සත්‍යයෝ නොවෙති. දෘෂ්ටිගාමී මුලා ඇසුර නිසා වන්නකි. ඇහැට රූප ස්පර්ශ වීම, කණට ශබ්ද ස්පර්ශ වීම, දිවට රස ස්පර්ශ වීම, නාසයට ගන්ධ ස්පර්ශ වීම, කයට පහස ස්පර්ශ වීම, මනට ධර්ම ස්පර්ශ වීම ආදිය විපාක ස්පර්ශයෝය. සලායතන ප්‍රත්‍යයෙන් ස්පර්ශ වේ කීවේ මේවා නොවේ. ආත්ම සංකල්පීය වූ මුලා ස්පර්ශයෝය. ආත්ම දෘෂ්ටි දුරු කොට අවිද්‍යා, තෘෂ්ණා සිඳලූ විට මේ ආත්ම සංකල්පීය ස්පර්ශයෝ නවතින. සසර දුකින් මිදීමට නවතා ගත යුත්තේ මේ ආත්ම සංකල්පීය දෘෂ්ටි ස්පර්ශයයි. මෙයයි සලායතන ප්‍රත‍්‍යයෙන් වන ස්පර්ශය. සලායතන පච්චයා ඵස්සෝ කීවේ මෙයටයි.
(පිටුව 144)

මේ ආත්ම සංකල්පීය දෘෂ්ටි ස්පර්ශය නිසා ලබන්නේ මුලාවූ ආත්ම සංකල්පීය වූ දෘෂ්ටි වේදනාවය. එවිට නිශ්ඵල වින්දනයන්ගෙන් කොටසක් සැප වේදනා සේ වැටහේ. කොටසක් දුක් වේදනා සේ වැටහේ. කොටසක් උපේක්ෂා වේදනා සේ වැටහේ. යම් දිනක ආත්ම දෘස්ටිය දුරු කර අවිද්‍යා, තෘෂ්ණා නැසූ විට මේ කියන සැප වේදනා දුක් ලෙස දකී. දුක් වේදනා හුල් ලෙස දකී. උපේක්ෂා වේදනා අනිච්ච ලෙස දකී, එවිට ඒ මුලා සහගත වේදනාවන් ගෙන් මිදුනෙක් වේ.   කුඩා දරුවෙකු වැලි සෙල්ලම් බත් ඉවීමෙන් ලබන්නේ සැප වේදනාවකි. පාරේ වැටී තිබෙන රන්වන් පාට ටොෆි කොලය ඔහුට සැප වේදනා ගෙන දෙයි. ‍ඔහු ඒවා ආශා වෙන් බදාගනී. දැනුවත් වැඩිහිටියන්ට මෙබඳු කටයුත්තක පොඩි ලමයි සේ නිරත වෙන්ට වූවොත් එයින් ලබන සැප වේදනාවක් නැත. එය නිස්සාර වෙහෙසක, දුකක් සේ පෙනේ. ඉතා සුළු ගැහැටක් දරන්නට ශක්තියක් නැති කුඩා දරුවාට ඒවා ඉවසිය නොහැකි දුක් වේදනාවන්ය. නැණවත් වැඩිහිටියකුට ඉතා සුළු ගැහැටකටත් මොර දෙමින් අඬවයි කවුරු හෝ අණ කෙරුවත් එය ඇද පලුදු සහිත වුවත් උලක් සේ වැටහේ. ඔහු සුළු දේට එසේ අඬමින් හැසිරෙන්නේ නැත. දරුවාගේ නිහඬතාවය නිකරුනේ බලා සිටීම දරුවාට උපකේෂා වේදනාවකි. නැණවත් වැඩිහිටියා එබඳු ස්වභාවයට කැමත්තක් නොදක්වයි. මේ ලෝකයේ සාමාන්‍ය උපමාවකි. ආත්ම දෘෂ්ටියෙන් දෘෂ්ටිගත අවිද්‍යා, තෘෂ්ණෘ සහිතයා බුදු දහම අනුව නැණවතුන්, පැනවතුන් දකින්නේ බලායෙක් ලෙසයි. “අන්ධෝ බාලෝ පෘථග්ජනා” යයි දේශනා කළෙ‍් එබැවිනි. ආත්ම සංකල්පීය දෘෂ්ටි සහගත ස්පර්ශ ලබන ලෝක බාලයා එවායින් උද්දාමව මහා හඬින් ප්‍රීති වෙයි. සැප වේදනා යැයි මුලා වින්දනයෙන් සතුටු වෙයි. ආත්ම සංකල්පීය ස්වභාවයෙන්ගේ විපරිණාමයේදී විනාශයේදී හඬයි. දුක් වෙයි. දුක් වේදනා පහළ කරමින් සංවේගයට පත්වෙයි. ගෙවී යන තාවකාලික නිදහස් සංකල්පීය ආත්ම දෘෂ්ටි සහගත අවස්ථා වල ලෞකික වූ සාස්වත දෘෂ්ටි සගහතවූ උපේක්ෂාවන් නිදහස යැයි සලකා උපේක්ෂා වේදනාවෙහි තැන්පත් බවකින් කල් ගෙවයි.  මේ සියල්ල නිශ්ඵල වින්දනයන් බව යථාර්ථය වටහා ගත් ආර්යයෝ දනිති. අරිහතුන් වහන්සේ මේ පිළිබඳව සම්පූර්ණ දැනීම් ඇති උතුමෙකි. එබඳු උතුමන් මේ මුලා වල බැස නොගනියි.

Jan 24, 2011

පිටුව 141 සහ 142

(පිටුව 141)
දැන් මෙම විඤ්ඤාණයේ පෙරට වඩා අමුතු දුෂ්චරිත දේවල් බැස ගනී. එනම් මත් පැන් හල් නිතර මතක් වේ. මත් බීම වර්ග මතකයට ඇතුළුව පානය කරපන් යැයි අසහනයක් ඇති කරයි. එබඳු මිතරන් නිතර සිහියට නැගේ. ආශ්‍රය කරපන් යන අදහස සිත තුළ නැගෙන්ට වේ. කාමුක අපචාර සිතට බැස ගෙන නිතර අවශ්‍යතාවය ‍මතකයට නංවයි. නොලැබුනොත් අසහනකාරීත්වයක්ද ඇති කරයි. ඒ ඒ රූප සම්පිණ්ඩන‍යන්ගේ ප්‍රඥප්ති මතකටය ‍ගලා එයි. දුටු විට නිරායාසයෙන් හිතට කාවදී. මේ දුසිරිත් රූප සම්පිණඩනයන්ට තබා ගත් නම් වලින් ඒවා හිතට බැසගෙන ඇත. මේ රූප සම්පිණ්ඩන හිතෙන් ගොඩ නගා ගත් ආකාරයෝය. ඒවාට තබා ගත් නම් තුළින් ඒ ඒ ආකාර හඳුනා ගනී. මෙබඳු විඤ්ඤාණයක් පහළ කර නොගත්තා නම් ළමා කල ලෙසම පාප මිත්‍ර සේවනය නැතිව මේ වන තුරු සිටියා නම් ඉහත කී දුසිරිත් නාම රූප බැස ගැනීමක් නොවේ. දුසිරිත් විඤ්ඤාණ නිකම් පහළ වූවාද නොවේ. සිතින්, ක්‍රියාවෙන්, වචනයෙන් හෙවත් ආශා කරන සංඛාර ක්‍රමයෙන් ඇසුර නිසාම පහළ වූ විඤ්ඤාණ වලටයි ඉහත කී නාම රූප බැස ගන්නේ. මේ ප්‍රවෘත්ති කාල වශයෙන් විඤ්ඤාණ පච්චයා නාම රූපං යන්න සිදුවූ ආකාරයයි. ඒ ඒ දුසිරිත් භාණ්ඩ වල ආකාරය රූපාකාර ලෙස බසී. හිතේ බැස ගත් රූපාකාරයෝ සතර මහා භූත ද්‍රව්‍ය වස්තු නොවේ. ඒවා පිළිබඳ මනසින් ගත් ආකාර රූපයි. ඒවාට තැබූ නම් ඒවාට තබා ගත් නාම හිතින්ම පනවා ගත් ඒවාය. එනම් වේදනා, සංඥා, සංඛාර, විඤ්ඤාණ යන ස්කන්ධ තුළින් ජනිත කරගත් ඒවාය. මෙසේද විඤ්ඤාණයේ බැසගන්නා නාම රූප සකස් වේ. තවත් ක්‍රමයකට විඤ්ඤාණ පච්චයා නාම රූපං යන්න සිද්ධ වේ. “විඤ්ඤාණයක් මව්කුසින් ඉවත් වේද ගැබ තුල නාම රූපයේ වැඩීම වේ. එම විඤ්ඤාණය මව් කුසින් ඉවත් වේද ගැබ තුල නාම රූපයේ වැඩීම නොවේ.” මේ තවත් බුද්ධ දේශනාවකි. මව් කන බොන ආහාර විද්‍යාමාන වන්නේ ආහාර රූප ලෙසිනි. මව් කුස තුළ දරුවාගේ නිර්මාණය මව් විසින් කරන්නක්ද නොවේ. විඤ්ඤාණයක් තනිව ගමන් නොකරයි. මෙහි විඤ්ඤාණ කීවේ විඤ්ඤාණස්කන්ධයට අයිති වන ක්‍රියාකාරී විඤ්ඤාණ අවස්ථාවයි. මෙම ක්‍රියාකාරී විඤ්ඤාණ කිසි විටකත් රූපස්කන්ධයෙන්, වේදනා ස්කන්ධයෙන්, සංඥා ස්කන්ධයෙන්, සංඛාර ස්කන්ධයෙන් තොරව ගමනක්, සිටීමක්, වැඩීමක්, චුතියක් නොවන බවද බුද්ධ දේශනාවයි. විඤ්ඤාණයක් මව් කුසට යනවා කීවේ පංචස්නක්ධ ක්‍රියා කාරීත්වයත් සමඟයි. මේ ක්‍රියාකාරීත්වයේ මායා දර්ශනය පෙනෙන්නේ සියුම් ආකාර හෝ සත්වයෙක් යන ලෙසය. උපමාවක් කියනවා නම් පෙරහැරක ගිනි බෝලයක් කරකවමින් ගමන් කරන විට පෙනෙන්නේ ගිනි වළල්ලක් ගමන් කරන ලෙසටය. නමුත් එහි ගමන් කළ ගිනි වළල්ලක් නැත. එය මායාකාරී දර්ශනයක් පමණි.
(පිටුව 142)
සිදු වූයේ ගිනි බෝලය නොනැවතී කරකැවෙමින් ඉදිරියට යාමේ ක්‍රියාවලිය ජනිත වීමයි. පෙනුනේ ගිනි වළල්ලක් යන ලෙසය. විඤ්ඤාණයක් මව් කුසට බසිනවා. ඉක්ම යනවා යන ලෝක සම්මත ක්‍රියාවලිද මෙසේ පරමාර්ථ වශයෙන් දැන ගත යුතුය. මව් කුසට යන මෙම විඤ්ඤාණයද ක්‍රියාකාරී නාම රූප පිණ්ඩයකි. “ඔක්කන්තික්ඛනේ නාම රූපං අඤ්ඤ මඤ්ඤං සහජාත පච්චයේන පච්චයෝ” උපතට බැස ගන්න මොහොතේ නාම රූපයෝ නාම රූපයන්ට සහජාත ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වේ යනු එහි තේරුමයි. කර්මජ, චිත්තජ, යන දෙයාකාර ශක්තියේ ගති රුවට අනුව හට ගත් රූප එම නම්‍යාතව ගනී. ආකාරය මිනිස් නම් සියුම් රූප කලාප මිනිස් ආකාරයට නම්‍යාතාව ගනී. මව් කුසට ඇදුන ඒ නාම රූපයට අනුකූලව කළල රූපයේ ‍පටන් මවගෙන් ලැබූ ආහාර රූප මිනිස් ආකාර රූපයක් සදමින් ඊට නම්‍යාතාවය ඇති කරයි. මෙහි ඒ නම්‍යාතාවය නාමයි. සතර මහා භූත වල පිහිටි ආකාරය රූපයි. මේ විඤ්ඤාණ පච්චයා නාම රූපං යන තවත් ක්‍රමයකි. විඤ්ඤාණ පුංජයකින් විහිදී ගිය කර්ම හා චිත්ත ශක්තිය විශ්වයට නිදහස්ව බාහිර සතර මහා භූත ඒ ශක්තියේ ආකාර අනුව නම්‍යාතාවයට පිහිටි විට සතර මහා භූත රූප ලෙසත් ඒ නම්‍යාතාවයට නාම ලෙසත් ගෙන බාහිර නාම රූප හදුන්වයි. ලෝභ හිත්, ද්වේෂ හිත් මෝහ හිත්, ශාන්ත හිත් සමාධි හිත් ආදී චිත්ත ස්වභාව ක්‍රියාත්මක වන විට ඊට අනුරූපව සිරුරේ නම්‍යාතාවයක් හට ගනී. මුහුනින් මේ ස්වභාවය වඩාත් පිළිබිඹු වේ. “මොකද ඔබ තරහින් වගේ. අද නම් ඉන්නේ හරි සතුටකින් වගේ. මූණ හරි ශාන්තයි. කරුණාවන්ත මුහුණ“ මේ ආදී ලෙස සමහරු කෙනෙකු ‍ දෙස බලා කියන්නේද විඤ්ඤාණ අනුව සිදුවන නාම රූප වල හැඩගැසීමය. විඤ්ඤාණ තුළින් නැගෙන ගුප්ත ශක්තිය විශ්වයේ ක්‍රියා කරන ආකාරය ඒ ඒ තැනට සුදුසු පරිදි සිදුවන විට ඒ ඒ ආකාර නාම රූප විද්‍යාමාන වේ. මේ ලෝකයේ විඤ්ඤාණ හේතුවෙන් නාම රූප බිහි වන ආකාරයයි. ඒ නාම රූප ඇසුරු කරන විට යළි පහළ වන්නේද එබඳු අනුරූප විඤ්ඤාණයි. විඤ්ඤාණ නිසා නාම රූපද නාම රූප නිසා විඤ්ඤාණද අන්‍යෙන්‍ය ලෙස විද්‍යාමාන වන අයුරු මෙසේ දැක්වේ. මේ සියල්ල ලෝක සත්වයෝ ගන්නේ ආත්ම දෘෂ්ටියෙන් බැවින් බොරුවක්ම මුලාවක්ම පහළ කර දුකට බැ‍ඳෙයි. විඤ්ඤාණ පච්චයා නාම රූපං යන ක්‍රියාවලිය මෙසේ වේ.