මෙම බ්ලොග් අඩවිය පිළිබඳව

සම්මා සම්බුදු පියාණන්වහන්සේ වදාළ සත්‍ය වූ බුද්ධ ධර්මය කාලයත් සමග සැගවෙන්නට ඇති ඉඩකඩ වැඩිය. එය ‍එසේ වූ නිසාම ශතවර්ෂ ගණනකින් මාර්ගඵල ලාභීන් බිහි වූ බවක් අසන්නට නොලැබිණි... එහෙත් මග ඵල ලැබ ගෞතම බුදු පියාණන් විවර කල නිවන් දොරටුවෙන් මාර්ගයට පිවිස ඵල ලැබී සැනසීමට නියම වූ ඇත්තන් තවමත් සිටින හෙයින් ඔවුන් සදහා උපකාරයක් වීමට නියම කළ්‍යණ මිතුරාගේ පැමිණීම සිදුවී ඇත. ඒ සැඟවුනු මාවත යලි විවර කරමින්, සැඟවුනු දහම් අරුත් මතු කරමින් සසර දුකින් පෙළෙන ඔබටත් මටත් අනන්ත සසර දුක් සයුරෙන් එතෙර වීමේ ප්‍රයෝගික මග හෙලි කරන අභිඥාලාභී පූජ්‍යපාද වහරක අභයරතනාලංකාර ස්වාමීන් වහන්සේගේ ධර්මානුශාසනා ඇසුරෙන් පලවූ "සැගවුණු බොදු මග කල එලි දකී" යන පොත ඇසුරෙන් මෙසේ සටහන් තබමි!

Mar 4, 2010

පිටුව 43 සහ 44

(පිටුව 43)
මේ හේතුවෙන් තෙල සහ වායු මිශ්‍ර ඇහැට නොපෙනෙන කුඩා හේතු බිද ගිනි ගනී.  හේතුව වටා පිහිටන ගින්න නැමැති හේතු ඵලයද ගිනි බිදක් පමණි.  තිරය අග රත්වන විට මෙබදු ගණනක් එක වැලට පිටවේ.  ඒ සියල්ලද ගිනි බිදු නැමැති ඵලය නිපදවමින් ඒ ගිනි බිදු වල පැවැත්මට හේතු බිද ආහාර කර ගනිමින් අනුකූල ධර්මතා පරිදි උඩට ඇදී යයි.
ඇසි පිය ගසන තරම් මොහොතකදී අගලක් දෙකක් උඩට ඇදෙන අතරම ගිනි බිද නැවතී ඵලයේ පැවැත්මට හේතු වූ බිද ඒ මොහොත කෙළවර වන විට ගෙවී කෙළවර වේ.  මේ සියලුම ගිනි බිදු හේතු ඵල සම්පිණ්ඩනයන්ය.  ඒකාකාරව මොහොතක හෝ පැවැත්මක් නැතිවම ක්‍රියාකාරීම ගෙවී වැනසේ.  
කෙතෙක් බිදු වැනසුනත් තෙල තිබෙන තුරු, තිරයට තෙල ඇදී එන තුරු සුලගද ආපදාවක් නැතිව ලංව එක්ව වන තුරු මේ ක්‍රියාවලිය දිගටම පෙනේ.  යම් මොහොතක තෙල සිදී ගියේද මේ ක්‍රියාදාමය නවතී.  තිරය කහට ගැන්වී හෝ පිච්චී යාමෙන් ආපදාවකට ලක්වීද ක්‍රියාදාමය නවතී.  වායුව වෙනස් වීමක් ‍හිග වීමක් වීද ක්‍රියාදාමය වෙනස් වේ.  විපරීත වීද ක්‍රියාදාමය වැනසේ.
මෙබදු ගිනි බිදු වෙන් වශයෙන් බලන්ට ශක්තියක් මස් ලේ ඇසකට නැත.  බොහෝ විට දිවැසකටද නොහැක.  දහම් ප්‍රඥාවෙන් පහල වූ බුද්ධි ගෝචර ශක්තියෙන් ආකාර වෙන් කර බෙදා බලා දැක ගත යුතු සත්‍යයකි.  මෙබදු ගිනි බිදු එකින් එක ලංවූ විට අතර පරතරය වෙන් කල නොහැකි තරමට ගෑවෙන තරමට කිට්ටුව ක්‍රියා කරන විට මේ බිදු සමූහයම ඒකරාශීව එකක් ලෙස පෙනෙන මායා දර්ශනය පහළ වේ.  තෙලින් වායුවෙන් හටගත් සියුම් හේතු බිදු දහරාව වැල නොකැඩී ගලා විත් අනුකූල ඵල බිදු දහරාව සදන නිසා ඵල බිදු ලෙස ඇතිවූ ගිනි බිදු දහරාවද වැල නොකැඩී ක්‍රියාත්මක වේ.
නොනිවී බොහෝ වේලාවක් පවතින පහන් දැල්ල යයි මීට නිගමනය කරනු ඇත.  කුඩා ඒකකයක් දහස් වාර ගණනකින් ලොකු කර බලන අන්වීක්ෂයකින් එම දැල්ල ප්‍රශාරණය කර බැලුවොත් කුඩා ගිනි බිදු කෝටි ගණනින් තිරය ලගින් මතුවී උඩට ගොස් බිදි බිදී යන අයුරු බැලිය හැකිය.  

(පිටුව 44)
අතර නොපෙනෙන ගිනි බිදු ප්‍රසාරණය කර ඇති තතු විමසන විට ‍ක්‍රියාවලිය නිසා එක දැල්ලක් හටගෙන වැනසී යන ගිනිබිදු සමූහ බොහෝ වේලා පෙනෙන අයුරු මිස පහන් දැල්ල යැයි ඒකකයක් නැති බව ප්‍රඥාවට වැටහේ.  ඇසින් බැලූ විට එසේ නොපෙනන අයරු වැටහේ.  
වැලි ගොඩක් දෙස බලන අපට වැලි ගොඩ ලෙස පෙනෙන්නේ කුමක්ද?  විසිරුවා බැලුව විට දකින්නට ලැබෙන වැලි කැට සමූහයමය.  ලග ලග පිහිටි වැලි කැට සමූහයේ දර්ශනයයි වැලි ගොඩ ලෙස පෙනුනේ. මෙසේ බලන විට එක්ව ඒකාකාරව පෙනෙන සියල්ල මායා මුලා දර්ශන මිස තිර ලෙස පවතින ඒවා නොවන බවත් රැවටිලි සහගත මායා දර්ශන මිස ඒවායේ මොහොතක් ඒකාකාරීව පවතින කිසිවක් නොමැති බවත් මනාව වැටහෙනු ඇත.
දැන් පහන් දැල්ල සමානව මේ කයද ජීවිතයද සසදා බැලිය යුතුයි.  ජීවිතය පහන් දැල්ල මෙනි.  කර්ම ශක්තිය නැමැති තෙලද, ශරීරය නැමැති වැටියට සම්බන්ධව ගලා එයි.  කන බොන ආහාර, වායු කදම්භය ලෙස ඇදී සම්බන්ධ වේ.  ශුද්ධාෂ්ඨක යයි කියන ඉතා කුඩා රූප මාත්‍රයන්ට සියුම් වූ ආහාර බිදු කර්ම බල ශක්ති මාත්‍රයන් හා එක් වෙමින් කර්මජ තේජෝ ධාතුවෙන් රත් කරමින් ඉතා සියුම් ජීවිත බිදු නිපදවනු ඇත.
වැල නොකැඩී එක දිගට නිපදවන ජීවිත බිදු දහරාවෙන් බිදුවක් ඇසිපිය හෙලන මො‍හොතක් යන්ට පෙර ජීවිත ක්‍රියාවලිය සිදු කර වැනසී යනු ඇත.  එක දිගට වැල නොකැඩී සිදුවන මේ ක්‍රියාවලිය දෙස හිතා බැලුවොත් ජීවිත බිදු දෙකක් අතර වෙනසක් දැක ගත නොහැකි නිසා ජීවිත යනු බොහෝ කාලයක පටන් වෙනස් නොවන තත්වයකැයි මුලාවට බැසගනී.  දිවැසකින් අනාදිය සිහි කලත් නොකැඩී නොබැදී එන පුද්ගලයෙකුයි ආත්ම දෘෂ්ඨියට බැස ගනී.  සත්ව, පුද්ගල ලෙස පෙනෙන මායාව ඒකාකාර සත්වයෙකුයි රවටන අවිද්‍යා පටලය දුරු කරගන්ට උපමා සසදා මේ දහම් දකින ආකාරය පෙර පටන් පහනින් පිළිබිඹු විය.  මෙසේ දකින් විට කෙනෙක්, දෙයක් ලෙස සලකන තුරු උපදින කෙනෙක් ජීවත්වන කෙනෙක්, මැරෙන කෙනෙක්, පවතින දෙයක්, වැනසෙන දෙයක් ආදියේ සිට එන කෙනෙක්, මතු යන කෙනෙක් මෙවැනි දෘෂ්ටි පහල වනු ඇත.  ක්ෂණිකව වෙනස් වන හේතු ඵල රටාවක් හැර‍ කෙනෙක් හෝ දෙයක් ලොව නැතිබව තත්වාකාර නුවණට වැටහුන විට ඒ සියලුම දෘෂ්ටි බිදී යනු ඇත. 

පිටුව 41 සහ 42

(පිටුව 41)
එබදු ප්‍රිය මනාප ලෝකයක සාර යයි අල්ලන්නට වටින දෙයක් නැති බැවින් සියලු ප්‍රිය මනාපයෝ අනාථ සේ දකිමි.  මෙසේ දන්නා මෙසේ දක්නා මොහොතක් පාසාම මා තුල අවිද්‍යාව, තෘෂ්ණා ගති සහ වැඩ පිලිවෙල මොහොතින් මොහොත අළු වන අයුරු හොදට දනිමි.  දකිමි.

හදුන්කූර අප අමතයි,
පින්වත, ඔබේ දහම් නුවණ ඉතා යහපති.  තවත් මා දෙස හොදට බලන්න.  මා මෙහි ටිකෙන් ටික කෙටි වන අයුරු ඔබට පෙනේද?  ඔබ ලග එසේ කෙටි වන්නේ කුමක්ද?  දහමින් එය මට පවසන්න.
හදුන්කූරට අපෙන් පිලිතුරු, 
පින්වත, ලෝකය අනාථ ලෙස නිසරු ලෙස දකින මොහොතක් පාසා මා යන මේ සසර ගමනේ කුමන හරයක් ඇතිදැයි මට සිහිවේ.  සියලු අතීතයේ දක්නට ලැබු‍නේ අහිමි වී ගිය නිසරු දෙයමයි.  දැන් දක්නට ලැබෙන්නේද කිසි හිමිකමක් නොතිබිය හැකි ගෙවී යන නිසරු දෙයමයි.  මතු ලැබුනත් ලැබෙන්නේ හිමිකම් කිසිත් නොලබන ගෙවී වැනසෙන නිසරු දෙයමයි.  මෙබදු ලොවක් සාර යැයි ගෙන සැරි සරන සසර ගමන මුලාවක් බව වැටහෙන මාගේ සසර වැඩ පිලිවෙලට සිත නොපිහිටන අයුරු මා විසින්ම අත් දකිනු ඇත.  භව ගමන කෙටි වන අයුරු අත්දැකීමෙන්ම මට වැටහේ.  ඒ මාගේ කෙටි වන ගමනයි.

හදුන්කූර අප අමතයි,
ඉතාමත් යහපති පින්වත, මා සමව දහම් දකින ඔබෙන් තව එකම පැනයක් අසමි. ‍ මෙසේ කෙ‍ටි වන මා අන්තිම මොහොතේ මේ ගිනි බිදදා නිවෙන තැනට පත්වෙමි.  එවිට මමයි කිසිවක් මෙහි ඉතිරි නොවන බව දකිමි.  ඒ ගැන ඔබේ දහම් උපමාවද සසදා මට කියන්න.
හදුන්කූරට අපෙන් පිලිතුරු, 
පින්වත මගේ ලෝභ ගිනි, ද්වේශ ගිනි, මෝහ ගිනි, බුර බුරා නැගුන පෙර ස්වභාවය දැන් නැත.  ක්‍රමයෙන් නිවී යන භව ගනින් වැඩී කල් නොපවතින බවත් ඒකානත්යෙන් නිවී යන දහම මා තුල ක්‍රියාත්මක වන බවත් මම සක් සුදක්සේ දකිමි.  යම් මොහොතක මේ ගින්න සහමුලටද නිවේද එදින මමය, මගේය යන සංඥා මාත්‍රයක්වත් ඉතිරි නොවන බව දනිමි.  ඒ භව ගමනේ අවසානයයි.  අරිහත් ඵලයේ විමුක්තියයි.  එවිට පංචස්කන්ධය කෙළවර වන මොහොතින් පසු සියලු දුකින් සදහටම නිදහස් වන බව දැන සිටිමි. 

(පිටුව 42)
හදුන්කූර අප අමතයි,
ප්‍රඥාවෙන් උපමා සසදා දහම් මග දකින ඔබ මා උපමා කලද එසේම දකින්නට දක්ෂ බව පිලිගනිමි.  බුදු පියාණන්වහන්සේ ජීවමානව වැඩ සිටින ලෙස මනසින් මවා මා‍ගෙන ගොස් තබා, ඔබේ ශාසන සමවත් ගමන් මග මා උපමා කල ලෙසම සිදු කරන බව සිහි කර පිලිවෙත පුරා නිවන් සුව අත් කරගන්න.
මේ පෙර බොදුනුවන් හදුන්කූරෙන් නිවන් මග දුටු ආකාරයයි.

මෙසේ මලින් සීල ශාසනයත් හදුන් කූරෙන් සමාධි ශාසනයත් දුටු ආදි බොදුනුවෝ පහනින් ප්‍රඥා ‍ශාසන මග සිහි කලෝය.  ඒ වටිනා දහම් මග යටපත්වී ගිය මෙකල මහා නුවණ වඩන පින්කම් ලෙස පහන් දහස් ගණනින් දල්වති.  බුදු රජාණන් වහන්සේට මේ පහන් පූජා වේවායි නිවන්ද ප්‍රාර්ථනා කරති.  ප්‍රඥාව පැතුවාට ලැබේද?  මග දැන වැඩු‍වොත් ලැබේද?  ඔබට හිතා බලන්න.

වසර දෙදහස් පන්සීයකට පෙර පටන්ම බොදුනුවෝ පහන් පූජා කර ඇත.  නිවන්ද ප්‍රත්‍යක්ෂ කර ඇත.  ඒ උතුම් නිවන් මග පහනින් දුටු බොදුනුවෝ උතුම් ප්‍රතිපත්ති පූජාවක්ම සිදුකර ඇත.

ඒ මග කුමක්ද?
හේතු නිසා ඵලයක් ඇතිවේ.  හේතු සමගම ඵලය විද්‍යාමාන වේ.  හේතු වැනසුන විට ඒ සමග ඵලයද වැනසේ.  ඇති සේ පෙනෙන ඝනීභවන සියල්ල හේතු බිදු සමූහයන්ගේ ඵල බිදු සමූහ ඒකරාශීව සිදුවන ක්‍රියා ප්‍රතිඵලයකි.  ඇතිසේ රවටන මායාවකි.  මේ සත්‍යය දකින විට ක්ෂණයක්වත් මමය... මගේය... මාග් ආත්මයය කිව හැකි කිසිවක් ලොව තුල නැතැයි දකින ප්‍රඥා ආලෝකය පහලවේ.  අවිද්‍යා... තෘෂ්ණා... මුලාව දුරුවී නිවන් ප්‍රත්‍යක්ෂ කරයි... එය මතු භවයක නොව මේ භවයේමයි... 
පහන උපමා කර මේ දහම් දකින්නේ මෙසේයි.
පහනේ ගොටුව තුල ඇති තෙල් අපට පෙනේ.  එම තෙල පෙගමින් එහි තැවරී ඇති තිරයද අපට දැක ගත හැකිය.  සුලගද දැල්ලක් ඇති කිරීමට සුදුසු පරිදි අවටින් ඇදී සිටී.

ආරම්භක දැල්ලක් රත් වීමකින් සිදුවේ.  රත්වන තෙල් බිදු ඇහැට නොපෙනෙන තරම් සියුම්ව තිරයෙන් ගිලිහෙන විට ආධාරක වාත අංශු මාත්‍රද ඒ හා මුසු වේ.