මෙම බ්ලොග් අඩවිය පිළිබඳව

සම්මා සම්බුදු පියාණන්වහන්සේ වදාළ සත්‍ය වූ බුද්ධ ධර්මය කාලයත් සමග සැගවෙන්නට ඇති ඉඩකඩ වැඩිය. එය ‍එසේ වූ නිසාම ශතවර්ෂ ගණනකින් මාර්ගඵල ලාභීන් බිහි වූ බවක් අසන්නට නොලැබිණි... එහෙත් මග ඵල ලැබ ගෞතම බුදු පියාණන් විවර කල නිවන් දොරටුවෙන් මාර්ගයට පිවිස ඵල ලැබී සැනසීමට නියම වූ ඇත්තන් තවමත් සිටින හෙයින් ඔවුන් සදහා උපකාරයක් වීමට නියම කළ්‍යණ මිතුරාගේ පැමිණීම සිදුවී ඇත. ඒ සැඟවුනු මාවත යලි විවර කරමින්, සැඟවුනු දහම් අරුත් මතු කරමින් සසර දුකින් පෙළෙන ඔබටත් මටත් අනන්ත සසර දුක් සයුරෙන් එතෙර වීමේ ප්‍රයෝගික මග හෙලි කරන අභිඥාලාභී පූජ්‍යපාද වහරක අභයරතනාලංකාර ස්වාමීන් වහන්සේගේ ධර්මානුශාසනා ඇසුරෙන් පලවූ "සැගවුණු බොදු මග කල එලි දකී" යන පොත ඇසුරෙන් මෙසේ සටහන් තබමි!

Jun 24, 2010

පිටුව 95 සහ 96


(පිටුව 95) 
එවිට බුදු පියාණන්වහන්සේ දේශනා කළේ එසේ නම් ඔබට ජීවිතයේ එක් දිනක් වත් තෙත හිස කෙස්,  තෙත වස්ත්‍ර නැතිව සිටින්ට ලැබේද?  ඇඩූ කදුලක් නැතිව සිටීමට ලැබේද?  එක් දිනක් වත් සතුටින් සිටීමට ලැබේද?  යන්නයි.  කරුණු වටහා ගත් උපාසිකාව ප්‍රිය මනාප වස්තු වැඩි වූ තරමට දුකට ශෝකයට හේතු උපදින බව සිහි කළාය.  ඇය‍ගේ ශෝකය එයින්සංසිදින.  මවක් එකම පුතෙකුට ප්‍රේම කරන සේ ලොව සියලු සතුන් ගැන සිහි කලා නම් ඒ මවට කෙසේ සැනසිල්ලක් ලැබේද?  මේ සූත්‍රයේ පෙන්නුවේ වටිනා උපමාවකි.  මව ‍නම් අමා මෑණියන් වහන්සේමය.  එකම පුතා නම් අරිහතුන් වහන්සේය.  ඒ තත්වයට ලෝ සතුන් පත් වේවායි  ආශිර්වාද කරමින් අනුරක්ෂණය කිරීම බුද්ධ ශ්‍රේෂ්ඨ කාර්යයකි.  ලෝ සතුන් සසර අනන්ත දුක් කදක් බව වටහා ගෙන අරිහත්වයේ ශාන්තියට පත්ව දුක් ගිනි නිවා ගනිත්වායි තමන්ට කළ හැකි යම් කාය කර්මයක්, වචී කර්මයක්, ‍මනෝ කර්මයක් ඇත්ද  එය සිදු කරන්ටයි මෙයින් දේශනා කළේ.  එවිට නම් ලෞකිකව සත්වයා විදින පාප දුක් වලට කම්පාවක් ඇති නොවේ.  එබදු අනන්ත දුක් කර්ම විපාක ඵල දීමෙදී විදින්නටම සිදුවේ.  ඒවා කෙසේ වලක්වා සතට සහන සලසන්නද?  ‍කළ හැකි  කාර්යයක්ද?  ඒ කෙරෙහි දුක්වීම,  කම්පාවීම  මුලාවකි.  සත්වයන්ට ඒ දුකින් බේරීමට නම් ඇති එකම මග ආර්ය මාර්ගයෙන් සසර දුකින් මිදීමය.  ඒ සදහා කර දිය හැකි උදව්වක්,  උපනිශ්‍රයක් ‍ලබා දිය හැකි නම් දිවා රෑ නොබලා ඒ උදව්ව ඉටු කර දීම ම සිව් බඹ විහරන වලට අයිතිය.  සියලු සත්වයෝ නිදුක් වෙත්වා,  නිරෝගී වෙත්වා,  සුවපත් වෙත්වා ආදී මෙන් වැඩීමේදී මෛත්‍රී  මාර්ගයට කිසි බාධාවක් නැත.  සම්ප්‍රදායිකව පවත්වා ගෙන එන වදන් වලට දී ඇති අර්ථය ශාසනික නොවන බැවින්ද ඒ අන්‍ය පරිබ්‍රාජකයින් භාවිතා කල අර්ථය හදවත් තුළ කිදා බැස ඇති බැවින්ද විස්තර ඇති ව භාවනාව යළි නොගත්තොත් දහම් අර්ථය නැගී එන්ට බාධාවිය හැකිය. 
(පිටුව 96)
ශාසනික අර්ථය ඔප් නැංවෙන පරිදි ද වේවේක නිශ්‍රිත, විරාග නිශ්‍රිත, නිරෝධ නිශ්‍රිත, වොස්සග්ග පරිණාමීවද සප්ත බොජ්ඣංග ධර්ම නැගෙන පරිදි ද වැඩීමට සුදුසු මෛත්‍රී භාවනා වාක්‍ය කීපයක් මෙහි පහත දක්වනු ලැබේ.  
(1)     කර්මස්ථානය
පෙරදිග වසන සත්වයෝද - පෙර අනුදිග වසන සත්වයෝද
දකුණුදිග වසන සත්ව‍යෝද - දකුණු අනුදිග වසන සත්ව‍යෝද
පසුදිග වසන සත්ව‍යෝද - පසුඅනුදිග වසන සත්ව‍යෝද
උතුරුදිග වසන සත්ව‍යෝද - උතුරුඅනුදිග වසන සත්ව‍යෝද
යටදිග වසන සත්ව‍යෝද - උඩදිග වසන සත්ව‍යෝද
මේ මමද සියලු සත්වයෝ
සංසාර දුකින් මිදෙත්වා
සංසාර රෝගයෙන් මිදෙත්වා
සංසාර භයෙන් මිදෙත්වා
සංසාර ගින්නෙන් මිදෙත්වා
සංසාර දාහයෙන් මිදෙත්වා
සංසාර ශෝකයෙන් මිදෙත්වා
සංසාර රාගයෙන් මිදෙත්වා
සංසාර බැම්මෙන් මිදෙත්වා
සංසාර සයුරෙන් මිදෙත්වා
සංසාර කතරෙන් මිදෙත්වා
සංසාර අදුරෙන් මිදෙත්වා
නිවන් සුවයෙන් සුවපත් වෙත්වා
නිවන් සුවයෙන් සුවපත් වෙත්වා
නිවන් සුවයෙන් සුවපත් වෙත්වා
(ඉහත රූප සටහන කර්මස්ථානයේ සදහන් දිශාවන් පැහැදිලි කරගැනීමට උපකාර වනු ඇත)
අර්ථය කිදා බැස සිටි තරමට ශාන්තිය නැගී එයි.  බලා සිටියදී ශරීරය සැහැල්ලු වන අයුරු වැටහේ.  තවදුරටත් වැඩෙන විට නිරාමිස ප්‍රීතියෙන්, සුවයෙන් ගත, සිත පිනා යයි.  නිවන හැර මටද ලෝ සතුන්ට ද සැනසුම් මගක් නැත යන සත්‍යය තිර ලෙස මනසේ කිදා බසින්නට පටන් ගනී.  ඒ ඒකාග්‍රතාවයයි.   මෙහි භාවනා වාක්‍ය සවිතක්ක සවිචාරයයි.  නැගෙන මානසික ප්‍රීතිය සමග කායික සුවයද ඔප් නැගෙයි.  නිවන අරමුණු වී ඒකාග්‍රතාවය බලවත් වේ.  මේ අවස්ථාව මනාසේ අත්දැකිය හැකියි.  එය ශාසනික ප්‍රථම ධ්‍යානයයි.  

පිටුව 93 සහ 94



(පිටුව 93) 
ඉදින් හේ කැමති නම් පිළිකුල් නොවූවෙහි පිළිකුල් සංඥාව ඇතිව වාසය කරයි.  ඉදින් හෙතෙම පිළිකුල් වූවෙහි පිළිකුල් නැතිව වාසය කරන්නෙමියි කැමැත්තෙන් නම් එහි පිළිකුල් සංඥාව නැතිව වාසය කරයි.  ඉදින් පිළිකුල් වූවෙහිද, පිළිකුල් නොවූවෙහිද පිළිකුල් හැගීම් ඇතිව වාසය කරන්නෙමියි කැමැත්තේ නම් එහි පිළිකුල් හැගීම් ඇතිව වාසය කරයි.  ඉදින් පිළිකුල් වූවෙහිද,  පිළිකුල් නොවූවෙහිද පිළිකුල් හැගීම් නැතිව වාසය කරන්නෙමියි කැමැත්තේ නම් එහි  පිළිකුල් හැගීම් නැතිව වාසය කරයි.  ඉදින් පිළිකුල් වුවද, පිළිකුල් නොවූවද ඒ දෙකම දුරුකොට සිහි ඇතිව, මනා නුවණැතිව, උපේක්ෂා ඇත්තෙව, උපේක්ෂා ඇත්තේව වාසය කරන්නෙමියි කැමති ලෙස එහි සිහි ඇතිව, මනා නුවණැතිව, උපේක්ෂා ඇතිව වාසය කරයි.  සුභ විමෝක්ෂයට හෝ පැමිණ වාසය කරයි.  
මහණෙනි, ‍මමලෝකෝත්තර ධර්මය ප්‍රත්‍යක්ෂ නෙකළා වූ මහණ හට (රහත් නොවූ අය හට)  සුභය කෙළවර කොට ඇති මෛත්‍රී සමාධිය කියමි.   මෙසේම කරුණා සමාධියද විස්තර කර ඇත.  මෛත්‍රී යන වචන ඇති තැන කරුණා යන වචනය යොදා ගත යුතුයි.  එහි ප්‍රතිඵල පෙන්වන අන්තිම කොටස මෙසේය.  සියලු ආකාර රූප සංඥාවන්ගේ දුරලීමෙන් නානන්ත සංඥාවන්ගේ මෙනෙහි නොකිරීමෙන් ආකාශය අනන්ත යයි ආකාසානඤ්චායතනය පැමිණ වාසය කරයි. 
මහණෙනි මම ලෝකෝත්තර ධර්මය අවබෝධ නොකරන්නාවූ (රහත් නොවූ) මහණ හට ආකාසානඤ්චායතනය කෙළවර කොට ඇති කරුණා චේතෝ විමුක්තිය කියමි.  මුදිතා චේතෝ විමුක්තියද මෙත්තා කියූ තැන මුදිතා කියා විග්‍රහ කර ගත යුතුය.  එහි ප්‍රතිඵල පෙන්වන අවසානයේ සියලු ආකාරයෙන්ම ආකාසානඤ්චායතනය දුරු කොට විඤ්ඤාණය අනන්තයයි විඤ්ඤාණයඤ්චායතනයට පැමිණ වාසය කරයි.  මහණෙනි, මම ලෝකෝත්තර ධර්මය ප්‍රත්‍යක්ෂ නොකළා වූ මහණ හට (රහත් නොවූ අය හට) විඤ්ඤාණඤ්චායතනය කෙළවර කොට ඇති මුදිතා චේතෝ විමුක්තිය කියමි.   
උපේක්ෂා චේතෝ විමුක්තියද ඉහත විස්තර කළ මෛත්‍රී චේතෝ විමුක්තියේ යන තැනට උපේක්ෂා යනුවෙන් යොදා විග්‍රහ කරගත යුතුය.  එහි අවසාන ප්‍රතිඵලය මෙසේ දක්වා ඇත.  සියලු ආකාරයෙන් වනාහි විඤ්ඤාණඤ්චායතනය දුරු කොට ආකිංචඤඤායතනයට පැමිණ වාසය කරයි.  
(පිටුව 94) 
මහණෙනි, ලෝකෝත්තර ධර්මය ප්‍රත්‍යක්ෂ නොකළා වූ මහණ හට (රහත් නොවූ අය හට) උපේක්ෂා සමාධිය ආකිංචඤඤායතනය කෙළවර කොට ඇතැයි මම කියමියි වදාළ සේක.  
මේ දේශනාව අනුව වැදගත් කරුණු රාශියක් මතු වනු ඇත.  දැනට මෛත්‍රී භාවනාව සම්බන්ධ විද්‍යාමාන වන්නේ පැරණි අන්‍ය පරිබ්‍රාජකයින් භාවිත කළ අර්ථයද,  බෞද්ධ දහම් අර්ථයදැයි විමසීම වටී.  අන්‍ය පරිබ්‍රාජික  අර්ථය භාවිත කර නම් බෞද්ධ දහම් ප්‍රතිඵල කෙසේ වත් ලබන්ට හේතු නැත.  මෛත්‍රීය නම් මිත්‍රත්වය හැටියටත්,  කරුණාව නම් දුකට පත් ‍සැමට පිහිටවීම හැටියටත්,  මුදිතාව නම් ආදර ලෙන්ගතු කථාවෙන් ක්‍රියාවෙන් යුක්ත ආදරවන්ත කමක් හැටියටත්,  උපේක්ෂාව නම් සියල්ලන්ට හතුරු මිතුරු භේද නැතිව මේ ලෞකික ස්වභාවයන් පැතිර වීම හැටියටත් මෙකල අර්ථ ගන්වයි.  
බුදු පියාණන්වහන්සේ මාර දූත සූත්‍රය ආදියේ විස්තර කළේ මේ ලෞකික මිත්‍රත්වය ප්‍රාඥයෝ කෙසේ වත් අනුමත නොකරන අතර ‍ඒවා සංගනිකා දෝෂ හැටියටය.  කරණීය මෙත්ත සූත්‍රයේ “මාථා යථා නියං පුත්තං ආයුසා ඒක පුත්ත මනුරක්ඛේ”  යන්නට අද අර්ථ විග්‍රහ කරන්නේ මව් කෙනෙක් තමන්ගේ එකම පුතාට ආදරය රක්ෂණය කරන ලෙස සියලු සතුන්ට සලකන ලෙසය.  බුදු පියාණන් වහන්සේ විසින්,  වරක් විශාඛා උපාසිකාවගේ මිණිබිරියක් නැති වීමේ සංවේගයට එම උපාසිකාව එකල සමාජ සිරිතක් ලෙස ශෝකය ප්‍රකාශ කිරීම සදහා නෑමෙන් පසු තෙත කෙස් පිටින්,  තෙත වස්ත්‍ර පිටින් ඒවා වේලෙන තුරු පිස නොදා සිටිය අවස්ථාවක ඒ ශෝකය තුනී කර ගන්ට දහම් පදයක් අසන්ට අවේලාවේම උන් වහන්සේ හමුවන්ට ආ විටක කළ දේශනාවක් ඇත.  විශාඛාවන්ට සැවැත් නුවර ජනගහනය තරම් මිනිබිරියන් ඇත්නම් ඇයගේ අදහස ඇසූවිට ඇය කීවේ මේ මිය ගිය මිනිබිරිය වගේ අය නම් එපමණ සිටියත් එය සතුටක් වන බවය.  සැවැත් නුවර දිනකට කී දෙනෙක් මිය යනවාදැයි බුදු පියාණන් වහන්සේ ඇසූ පැනයට ‍උන්වහන්සේට ඇය පිළිතුරු දෙමින් එක් කෙනෙක් දෙන්නෙක් නොවෙයි දහය පහළොවද දිනකට මිය යන බව කීය.