මෙම බ්ලොග් අඩවිය පිළිබඳව

සම්මා සම්බුදු පියාණන්වහන්සේ වදාළ සත්‍ය වූ බුද්ධ ධර්මය කාලයත් සමග සැගවෙන්නට ඇති ඉඩකඩ වැඩිය. එය ‍එසේ වූ නිසාම ශතවර්ෂ ගණනකින් මාර්ගඵල ලාභීන් බිහි වූ බවක් අසන්නට නොලැබිණි... එහෙත් මග ඵල ලැබ ගෞතම බුදු පියාණන් විවර කල නිවන් දොරටුවෙන් මාර්ගයට පිවිස ඵල ලැබී සැනසීමට නියම වූ ඇත්තන් තවමත් සිටින හෙයින් ඔවුන් සදහා උපකාරයක් වීමට නියම කළ්‍යණ මිතුරාගේ පැමිණීම සිදුවී ඇත. ඒ සැඟවුනු මාවත යලි විවර කරමින්, සැඟවුනු දහම් අරුත් මතු කරමින් සසර දුකින් පෙළෙන ඔබටත් මටත් අනන්ත සසර දුක් සයුරෙන් එතෙර වීමේ ප්‍රයෝගික මග හෙලි කරන අභිඥාලාභී පූජ්‍යපාද වහරක අභයරතනාලංකාර ස්වාමීන් වහන්සේගේ ධර්මානුශාසනා ඇසුරෙන් පලවූ "සැගවුණු බොදු මග කල එලි දකී" යන පොත ඇසුරෙන් මෙසේ සටහන් තබමි!

May 31, 2011

පිටුව 173 සහ 174

(පිටුව 173)
දරුවාට ළදරුයැයි නොදැනේ යැයි නොසිතිය යුතුය. ශුද්ධ මිනිස් සිතකින් උපන් ඒ ළදරුවා දූෂ්‍ය වන්නේ ඉපදුණු පසු දෙන මුලා පරිසරය තුළිනි. මුලා සහගත සුන්දර ලෝකයකට ඇද දැමූ විටය අසහනකාරී ගැටුම් ළදරු සිතට ඇතුළු වන්නේ. දරුවාද සීත, උෂ්ණ දුරුවීමට, මැසි මදුරු බාධක දුරුවීමට පිරිසිදු රෙදිකඩක් පෙරවුමයි එකල සිදු කළේ. උන්නු - සුව - උම යන වචනය කැටිවී උණුසුම යන වචනය බිහි විය. උම්මා යන වචනයයි මෙහි උම කිව්වේ. මව් ගැබේ සුවයෙන් උන්නේ යම් සේද කයට ගැලපෙන සම සීත, උෂ්ණ ස්වභාවය “පෙර වූ උම” නම් විය. මව් ළඟ පෙර වූ ස්වභාවය (පෙරවුනේ) ලැබෙන නිසයි එදා සළු පටකින් කය වසා ලබා දුන්නේ, හැඩ වැඩ කර මෝහ පටලයක් දරුවාට පසු කල දුන් නිසා මව්ගෙන් ලැබූ සුවය අන්ධ වෙන්ට වූ බැවින් අන්ධ වූ උම ඇඳුම විය. අද දරුවාට දෙන්නේ පෙරවුම නොව ඇඳුමයි. මෝහ ස්ථර හෙවත් මෝස්තර දැමූ ඇඳුමයි. මෙතැන් පටන් නොදැනුවත්කම නිසා ලෝභ මෝහ දරුවාට පහළ කරන පරිසරය මෙකල ගොඩ නගන්නට පටන් ගනී. ලාමක වූ සෙළු බඩු මීළඟට දෙන්ට පටන් ගනී. ඒවාය සෙල්ලම් බඩු, පිරිසිදු නැවුම් රෙදි කඩට කහටක් වැටුනොත් කා වැදී අල්ලා අල්ලා ගන්නා සේ ළදරුවාට දෙන මේ ලෝභ මෝහ කිළුවට ඇද දමයි. දරුවාට ඇති ආදරය ලෙස මුලාව නැගී ආදරයට දෙන්නේද මුලා කරන දේවල්මයි. මෙයත් දරුවා හදාගන්ට නොදත් අවිද්‍යාවකි. මුලා මනසින් ගොඩ නගා ගත් ලෝභ මෝහ ජීවිත ගත කරන පිරිසට මේ අදහස් පිස්සුවක් ලෙස හිතෙන්නට පුළුවන. නමුත් මේ හේතු සාධක දක්වමින් පෙන්වන්නේ අපේ ආදී බොදුනුවන් ශිෂ්ඨ සමාජයක් ඉතා පහසුවෙන් ගොඩ නගා ගත් දහම් ක්‍රමයයි. එකල මව්වරුන්ගේ ප්‍රධාන කාර්ය භාරය වූයේ බුදු දහම තුළින් ජය ලබාගත් සමාජයක් ලෙස මතු පරපුර බිහි කර ගැනීමයි. එසේ කළ මවටයි ජගත් මාතා යන විරුදාවලී නාමය හිමි වන්නේ. දරුවා ලැබුන විටම මව්පියන් කළේ පින්වත් කුමර, කුමරිය, ඔබ බුදු සසුනට බාරයි කියා ආසිරි පැතීමයි. කුමරෙක් නම් භික්ෂූන්වහන්‍සේලාගේ පාමුල තබා සසුනට පැවරීය. කුමරියක් නම් මෙහෙණින්වහන්සේලාගේ පාමුල තබා සසුනට පැවරීය. දැන් ඒ දෙපලටම මගේ පුතෙක්, මගේ දුවෙක් නැත. තවත් හදා වඩා ‍පෝෂණය කරන්නේ මතු සසුන් කෙත බබලවන්ට සිටින කුමරෙකි. කුමරියකි.

(පිටුව 174)

ශාසන වස්තුවක් කළ දරුවා කිසි විටෙකත් ලෝභ, ද්වේශ, මෝහ සහගත වන්ට නොදී අලෝභී, අද්වේෂී, අමෝහී පිවිතුරු සිතින් හදා වඩා ගැනීම මව්පියන් විසින් කරන ලදී. දරුවාගේ මවගේ මව සහ නැන්දා යන දෙපලට මව් බිසව කියා එකල ඇමතීය. කාමාශ්‍රව භග කල හෙවත් බිඳ දැමූ යන අරුතිනි ඒ අයට බිසව කීවේ. මුදු ගුණ ඇති ආශ්‍රව බිඳ හැරිය තැනැත්තීය යන අරුතින් මව් බිසව කියා ඒ අයට ඇමතීය. ඒ වැඩිහිටි කාන්තාවෝද දරුවාට කිසි විටෙකත් මෝහ ස්ථර හෙවත් මෝස්තර වැඩ කළේ නැත.
මවගේ වටිනාකම කාර්ය භාරය වූයේ පාපයට ලජ්ජා භය ඇති දේව ධර්මයෙන් යුතුව අලෝභ, අද්වේශ, අමෝහ දරු පරපුරක් බිහි කිරීමය. ඒ වටිනාකම නිසා සසුන්කෙත මතු බබලන බව දත් මව්වරු කිසි විටෙකත් දරුවා තනි කර හෝ අනුන්ට භාරදී රැකියාවලට ගියේ නැත. ස්වාමි පුරුෂයා‍ විසින් එසේ යැව්වේද නැත. මුල පටන් දරුවා කුමාරයෙක් ලෙස, කුමාරියක් ලෙස ඇති දැඩි කළේය. කු යනු පහත් නින්දිත යන අරුත දෙයි. මාර ‍යනු පංච කාමයෝය. ‍
පාපයෝය, නීවරණයෝය. මේවා මුල පටන්ම පහත් නින්දිත දේ හැටියට දරුවාට ඒත්තු ගන්වමින් ඒවායේ පහත් බව නින්දිත බව කරුණු සහිතව දරුවාට කියා දෙමින් දෙමව්පියෝ කටයුතු කළෝය. අවිද්‍යාවෙන්, තෘෂ්ණාවෙන් ප්‍රියමනාප රූප පසුපස ගියොත් අල්ලන්ට වෙන්නේ පාප වින්දනයක් හෙවත් පාප වේදනාවකි. හිතේ ලැ‍ග ගන්නේ පාප සංඥාය. නැගෙන්නේ පාප සංඛාරය. පිහිටන්නේ පාප විඤ්ඤාණයෝය. මේ අවිද්‍යාවෙන් පහළ වන ස්කන්ධ පස ගැන නිතර දරුවාට කරුණු කියා දෙන විට මුලාවට නොපත් පිරිසිදු සිත් ඇති දරුවා කුඩා කලම දහම් මුහුකුරා යන දැනීම ලබනු ඇත. මාර පාක්ෂික ස්නක්ධ පහත් කර නින්දිත දේ ලෙස කියාදෙන විට දරුවාද ස්කන්ධ - කු - මාර යන දේව ගති ඇති වන විට සම්මත ස්කන්ධ කුමාර දෙවියෙක් වනු ඇත. මෙසේ මේ නම ලැබී නම් දරුවා බෞද්ධය. දරුවා හදා වඩා ගැනීම මව්ගේ ආකාරයටම බැවින් ඒ මත ස්කන්ධය කුමාරයෙක් පිළිබිඹු කර ඇත. ස්කන්ධ කුමරා ලෙස මයුර පිට කුඩා හුරුබුහුටි දරු රුවක් පිළිබිඹු කර ඇත්තේද මේ නිසාය. පංචස්කන්ධයෝ දුක්ඛස්කන්ධයෝ යැයි දකින දරුවා මවගෙන් බණ පද අසමින් දහම තුළ වැඩෙන විට හොඳ දේ දැනගනී. නරක දේ දැනගනී, ආගන්තුක දහම් නුවණින් වැඩෙන පළමු වසරේම දරුවාට හොඳ අතක සහ නරක අතක වැඩ වැටහී ඇත. පළමු බෞද්ධ මුහුණුවර පහළ වී ඇත. 
 

0 comments: