මෙම බ්ලොග් අඩවිය පිළිබඳව

සම්මා සම්බුදු පියාණන්වහන්සේ වදාළ සත්‍ය වූ බුද්ධ ධර්මය කාලයත් සමග සැගවෙන්නට ඇති ඉඩකඩ වැඩිය. එය ‍එසේ වූ නිසාම ශතවර්ෂ ගණනකින් මාර්ගඵල ලාභීන් බිහි වූ බවක් අසන්නට නොලැබිණි... එහෙත් මග ඵල ලැබ ගෞතම බුදු පියාණන් විවර කල නිවන් දොරටුවෙන් මාර්ගයට පිවිස ඵල ලැබී සැනසීමට නියම වූ ඇත්තන් තවමත් සිටින හෙයින් ඔවුන් සදහා උපකාරයක් වීමට නියම කළ්‍යණ මිතුරාගේ පැමිණීම සිදුවී ඇත. ඒ සැඟවුනු මාවත යලි විවර කරමින්, සැඟවුනු දහම් අරුත් මතු කරමින් සසර දුකින් පෙළෙන ඔබටත් මටත් අනන්ත සසර දුක් සයුරෙන් එතෙර වීමේ ප්‍රයෝගික මග හෙලි කරන අභිඥාලාභී පූජ්‍යපාද වහරක අභයරතනාලංකාර ස්වාමීන් වහන්සේගේ ධර්මානුශාසනා ඇසුරෙන් පලවූ "සැගවුණු බොදු මග කල එලි දකී" යන පොත ඇසුරෙන් මෙසේ සටහන් තබමි!

Mar 4, 2010

පිටුව 39 සහ 40


(පිටුව 39)
දුටු දහම් ඇති අප, කැඩූ මල් මනසින් ගෙන ජීවමාන ලෙස මනසින් මැවූ බුදු පියාණන්වහන්සේ හමුවට යමු.
ස්වාමීණී, මලින් පෙන්නූ මාර මුලාවත් එයින් නික්මෙන නෙක්ඛම්මයත් දුටු අප අද පැමිණියේ ඔබ වහන්සේ අපට දුන් දහම් පිළිවෙත ගැන පැහැදී උපහාරයක් කිරීමටයි.
මරු පස දහම් පාගා නැගී සිටි ස්වාමීණී, මේ මල් දැමිය යුතු තැන ඔබ වහන්සේ අපට දහම් මගින් පෙන්වා වදාරා ඇත.  මුලා වූවන් සේ කරට හිසට පළදවා ඔබ වහන්සේ දෙස අප බලන්නේ නැත.
ශ්‍රී පාදයට පෑගෙන මේ මාර මුලාව පිළිඹිඹු කරන මල් බිම දමමි.  අපද මල් උයනක ගස්, වැල් සේ උපමා සසදා බලා ඉදුරන් පස නැමැති මල් කඩා පාමුල තබමි.  මතු මාර මුලාව ඇති කරන කාමයට නොබැදෙන බවටත් පළමුව කාම දුසිරිතෙන් වෙන්ව මේ මාර්ගය පූරණය කරන බවටත් දිවුරා පොරොන්දු වෙමි.මෙසේ බුදු සිරිපා මුල මල් දමා සිහි කරන දහම් ක්‍රමය නිසා ඉදුරන් සංවරයෙන් සීල ශාසනය වැඩීමට එය මහත් පිටිවහලක් වනු ඇත.  මේ ප්‍රතිපත්තිමය මල් පූජාව පෙර බොදුනුවන්ගේ මල් පූජාවයි.
පෙර බොදුනුවන් හදුන්කූරු පූජා කලේ කෙසේද?
මෙයද වසර දෙදෙහස් පන්සීයකට පෙර පටන් බොදු ගුණ වැඩූ වටිනා පුජාවකි.  එහි අරුත වැසී ගිය මේ කාලයේ බුදු කුටිය සුවද කර නිවන් පතයි.  ප්‍රඥාවෙන් තොර නිවන් මගක් ඇත්ද?  සුවද මුලාවක් බවත් එය අත්හල යුත්තක් බවත් දේශනා කල බුදු පියාණන්වහන්සේට කරන එම උපහාරය කෙතෙක් දුරට සාර්ථකද කියා සිතා බලන්න.  පෙර හදුන්කූරෙන් කල පූජා ප්‍රතිපත්තියෙන් සමාධිය වැඩූ බොදුන මග කෙසේද?
සැම දෙන බුදු ගුණ සිහි කර ඇස් අඩවන් කර තම අත් වෙත මනස යොමු කරන්න.  දැල්වුන හදුන්කූරක් තම අතේ ඇති ලෙස මනසින් සිතා ගන්න.  අපි දැන් හදුන්කූර සමග නිහඩ දහම් සාකච්ඡාවක යෙදෙමු.  "ආයුබෝවන් හදුන්කූර" අප හිතෙන් කියමු.

(පිටුව 40)
"ආයුබෝවන් පින්වත" හදුන්කූර අපට නිහඩ හඩක් දෙයි.

හදුන්කූර අප අමතයි,
පින්වත, ඔබ සිටින්නේ මා වාගේද?  මම මෙහි ඇද නැතිව සිටිමි.  ඔබේ ඇද නැති දෙය දහමට අනුව මට පවසන්න.
හදුන්කූරට අපෙන් පිලිතුරු,
පින්වත් හදුන්කූර, මගේ හිත, කය, වචනය යන තුන්දොරින් වංක කටයුතු ‍ඇද කටයුතු නැත.  මම සැමවිටම අවංක වෙමි.  අවංක බව මගේ ඇද නැති දහමයි.

හදුන්කූර අප අමතයි,
හොදමයි පින්වත, මා වටේ නිතරම සුවද ඇත.  ඔබේ සුවද දහමට අනුව මට පවසන්න.
හදුන්කූරට අපෙන් පිලිතුරු,
පින්වත් හදුන්කූර, මගේ වැඩ, කථා නිතරම සුචරිතයයි.  සුචරිත සුවද මා වෙලාගෙන ඇත.  මගේ අහලක වත් දුසිරිත් දුගදක් නැත.  මේ ඇත නැති මා‍ ව‍ටා ඇති සුවද බව පවසමි.

හදුන්කූර අප අමතයි,
ඉතා හොදයි පින්වත, එහෙනම් මගේ මුදුන බලන්න.  දැල්වෙන, පිබිදෙන මගෙන් සෑම අතම සුවද දුම් විහිදෙන අයුරු ඔබට පෙනෙනවද?  මා සමවන්නට ඔබේ දැල්වීම, පිබිදීම සහ විහිදෙන සුවද  මට කියන්න.
හදුන්කූරට අපෙන් පිලිතුරු, 
පින්වත, මම දැල්වුණු මුවගින් නිතර තෙරුවන් ගුණ ගයමි.  පිබිදුන මනසත් දහම් ප්‍රීතිය භුක්ති විදිමි.  මගෙන් හමා යන දහම් සුවද, ගුණ සුවද දස දෙසම පැතිරෙනු ඇත.  මෙසේ මම පිලිවෙලින් ඔබට සම වෙමි.  

හදුන්කූර අප අමතයි,
එහෙනම් පින්වත, මාගේ ලග හොදට බලන්න.  ටිකෙන් ටික අළු වන අයුරු ඔබට පෙනෙනවාද?  ඔබ ලග මගේ වගේ අළු වන දෙයක් පෙනේද?  දහම අනුව මට කියන්න.
හදුන්කූරට අපෙන් පිලිතුරු, 
පින්වත, හටගත් සියල්ල විපරිණාමයට පත්වි විනාශ වන බව නිසාම ප්‍රිය මනාප යැයි කිසිම දෙයක් කැමති‍සේ නොවන බව, එසේම ඒවාට ප්‍රිය මනාප වූවෝත් ඒවා වැනසී යාමේ නියමට පරිදි වෙනස්  වන විට ‍වැනසෙන විට එයම දුක කදක් දෙවන බව මනාසේ දකිමි. 

Feb 18, 2010

පිටුව 37 සහ 38

(පිටුව 37)
තණ්හාවෙන් ඇලෙයි, උපාදානයෙන් බැදෙයි, කාම තරගයෙන් කාම වස්තු කෙරෙහි පොර පිටියට බැසගනී.  ඒවා මම කරගන්නට මගේ කරගන්නට නොයෙකුත් නොපනත් කම් කරයි.  දස අකුසලයට බැසගනී.  මුල කැපුවොත් අග ලියලන්නේ නැත.  මුල නොකපා අග කපන්නට ගියහොත් පදුරු දමමින් ලියලනවා ඇත.
එබැවින් ලෝක මුලාවට සත්වයා ඇදෙන අයුරු දැක ගැනීමට මල් හොද උපමාවකි.  මේ උපමාව විග්‍රහ කර බැලිය යුතුය.  අපි මල් උයනක් මනසින් මවාගෙන එහි ඇතුළු වෙමු.
පිපුන මල් පොකුරු ‍මද සුලගේ වැනෙන හැටි, රොන් සුනු සුවද මද සුළග සමග මුසුව හමන අයුරු, බඹර, බිගු කැල, සමනලුන් ඒ මල් වටා සරමින් රොන් උරන හැටි මනසින් දකිමු.
මේ ලස්සන, සුවද, මුදු පහස දෙන මල් පෙති, රොන් සුනු, මල් පැණි, විද්‍යාමාන වුවේ කොතෙක් කලකටද?  ගතවන්නේ පැය ගණනකි.  පෙති ඇකලී ගොස්ය.  මල් පරව ඇත.  සුවද නැත.  මල් වැටී නැටි පමණක් ඉතිරිව පෙනේ.  සමහර මල් ටික දිනකින් මැලවී ගෙඩි කරල් එළි බැස ඇත.  දැන් ලස්සන සුවද අහලක නැත.  අතු වලට බර දෙමින් ගසේ වැලේ රස ඕජස උරමින් ගෙඩි කරල් ලොකු වන අයරු පෙනේ.  මේවා තුළ බීජ හැදී ඇත.  ඒවා ගෙඩි කරල් ලොකු වන අයරු පෙනේ.  වැහැරෙමින් ගෙඩි කරල් බදාගෙන දරාගෙන හැසිරුනත් ඒ සියලු හිමිකම් අහවර කරමින් පැසුන, ඉදුන ගෙඩි නටුවෙන් ගිලිහී වැටෙනු ඇත.  ගස, වැල තනිවම මැරීයයි.  එහෙත් මරුවගේ ඇම ලෙස පිපුණ මල් ලෝකය ලස්සනින්, සුවදින්, මුදු පහසින් මුලාකර අතරුදන් වුවේ මීට කලකට පෙර ඇසිල්ලකිනි.  මතු පරපුර පවත්වන්නට ජාති බෝ කරන්නට මුල් අල්ලා දෙමිනි.
බීජ යළි පැලව වැඩේ.  පෙර සේම මාර මුලාව ඒවාද ලස්සන කර සුවද කර, මුදු පහස දී මතු ජාතියට ගෙඩි, කරල්, බීජ නිපදවා වැනසී යයි.  මේ පරපුරේ පැවැත්ම සදන මාර මුලාවයි.  
අපි දැන් මනසින්ම ගස්වැල් වල මල් කඩා දමමු.  එවිට වන්නේ කුමක්ද?  ගස වැල තනිව බර නැතිව සිට යම් දිනෙක මැරී යනු ඇත.  මතු පරපුර එයින් නැවතී ඇත.මේ උපමාව තුළින් අප ගැන සසදා බලමු.  එවිට ලෝක ධර්මතාවය පිළිඹිඹු වේ.  මිනිසත් මල් උයන යැයි මීට නම් තබමු.

(පිටුව 38)
එහි ගස් පුරුෂ පෙලයි.  වැල් ස්ත්‍රී පක්ෂයයි.  ඇස, කණ, නාසය, දිව, කය මේ ගස් වැල් වල පිපුන මල් පොකුරුය.  මල් දරන කාලය තරුණ කාලයයි.  බාහිර ලෝකයෙන් ඇදෙන, බැදෙන රොන් සුණු නම් රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශයයි.  ආසාවෙන් මේවාට ඇදෙන, බැදෙන විට හදවත නැමැති ගර්භය තුල කාම සිත් නැමැති බීජ හටගනී.  මේ බීජ වැටෙන්නේ කාම භවයටයි.  දැන් පසිදුරන් කාම ගිනි වලින් පිපාසිතව දාහ සහගතින් නිපදවා අවසානය.  ඒවා ඇදි මතු භවයකට කාම ලෝ‍කයේ යලි ඇස, කණ, නාසය, දිව, කය වැහැරෙන, මැරෙන කුණු කදක් නිපදවයි.  ඒවායින්ද කරන්නේ ඉහත කී කාම වැඩ පිලිවෙලය.  අනාදියේ පටන් මේ වැඩ පිලිවෙල නිසා කාම භවයෙන් මිදිය නොහැකිව ඇලෙමින්, බැදෙමින්, භවයෙන් භවයට කය සදමින් කලින් කල අප්‍රමාණ කුණු කන්දල් සහිත සිරුර ලබමින් අනාථ සසර ගමනක යෙදී ඇත.  මාර මුලාව සිහි කල යුතුයි.  භවයක් භවයක් පාසා කය රැකීමට, පෝෂණය කිරීමට මමය, මගේය යන තැන් රැක ගැනීමට වද විද ඇති වාර අප්‍රමාණය.  ඒ සෑම උත්සාහයක්ම අසාර්ථකව දුක් විද මැරී ගොස් ඇත.  අතීතයේ පටන් සෑම භවයකම කුණු කයට මගේ කිවූ ලෝකයට සිදුවී ඇත්තේ හට ගැනීම විපරිණාමය, මරණය පමණි.  අයිති වූ කිසි හරයක් නොමැත.
කර්ම ශක්ති වශයෙන්ද නිපදවා ඇත්තේ දාහකට නවසිය අනූ නවයක්ම හතර අපාගත  දුක් දීමට හේතු කාරක වූ පාප කර්මයෝය.  මිනිස්ව උපන්නත් ඒ ප්‍රවෘත්ති කාලය හෙවත් ජීවත් වන කාලය තුල නොයෙක් දුක විපත් ගෙන දෙන පාප කර්ම බලවේගයෝය.  ආශා බැම්ම මිස දිටුවන් තදවූ තරමටම විපත් කරදර එනවිට දැවි දැවී, තැවි තැවී ගිනිම වැඩි කර ගනු ඇත.  මේ ආදීනව සිහි කරන විට නිසරුවෙහි ඇති යථා ස්වභාවය වැටහෙන්ට පටන් ගනී.  ඇම සේ ඒවාට බැදෙන මාර මුලාව ගිලිහී යන්ට වේ.
මල් කැඩූ ගස, වැල උපමා කර ගෙන අපද පසිදුරන් සංවර කර බලමු.  ලොව සුන්දර මුලා සහගත රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ තිබුනත් දැන් අපට බරක් නැත.  අප ඒවාට ඇලී, බැදී නැති බැවින් මල් කැඩූ ගස, වැල මෙන් වනු ඇත.  කාම භවයට බීජ දමන මග අහුරා ඇත.  මේ කය කාම ලොව සිටින අන්තිම කය වනු ඇත.  මතු කාම කයක් සදන බීජ ජනිත නොවන බැවින් කාම ලොවෙන් නිදහස්ව මිය යනු ඇත.