මෙම බ්ලොග් අඩවිය පිළිබඳව

සම්මා සම්බුදු පියාණන්වහන්සේ වදාළ සත්‍ය වූ බුද්ධ ධර්මය කාලයත් සමග සැගවෙන්නට ඇති ඉඩකඩ වැඩිය. එය ‍එසේ වූ නිසාම ශතවර්ෂ ගණනකින් මාර්ගඵල ලාභීන් බිහි වූ බවක් අසන්නට නොලැබිණි... එහෙත් මග ඵල ලැබ ගෞතම බුදු පියාණන් විවර කල නිවන් දොරටුවෙන් මාර්ගයට පිවිස ඵල ලැබී සැනසීමට නියම වූ ඇත්තන් තවමත් සිටින හෙයින් ඔවුන් සදහා උපකාරයක් වීමට නියම කළ්‍යණ මිතුරාගේ පැමිණීම සිදුවී ඇත. ඒ සැඟවුනු මාවත යලි විවර කරමින්, සැඟවුනු දහම් අරුත් මතු කරමින් සසර දුකින් පෙළෙන ඔබටත් මටත් අනන්ත සසර දුක් සයුරෙන් එතෙර වීමේ ප්‍රයෝගික මග හෙලි කරන අභිඥාලාභී පූජ්‍යපාද වහරක අභයරතනාලංකාර ස්වාමීන් වහන්සේගේ ධර්මානුශාසනා ඇසුරෙන් පලවූ "සැගවුණු බොදු මග කල එලි දකී" යන පොත ඇසුරෙන් මෙසේ සටහන් තබමි!

Feb 18, 2010

පිටුව 37 සහ 38

(පිටුව 37)
තණ්හාවෙන් ඇලෙයි, උපාදානයෙන් බැදෙයි, කාම තරගයෙන් කාම වස්තු කෙරෙහි පොර පිටියට බැසගනී.  ඒවා මම කරගන්නට මගේ කරගන්නට නොයෙකුත් නොපනත් කම් කරයි.  දස අකුසලයට බැසගනී.  මුල කැපුවොත් අග ලියලන්නේ නැත.  මුල නොකපා අග කපන්නට ගියහොත් පදුරු දමමින් ලියලනවා ඇත.
එබැවින් ලෝක මුලාවට සත්වයා ඇදෙන අයුරු දැක ගැනීමට මල් හොද උපමාවකි.  මේ උපමාව විග්‍රහ කර බැලිය යුතුය.  අපි මල් උයනක් මනසින් මවාගෙන එහි ඇතුළු වෙමු.
පිපුන මල් පොකුරු ‍මද සුලගේ වැනෙන හැටි, රොන් සුනු සුවද මද සුළග සමග මුසුව හමන අයුරු, බඹර, බිගු කැල, සමනලුන් ඒ මල් වටා සරමින් රොන් උරන හැටි මනසින් දකිමු.
මේ ලස්සන, සුවද, මුදු පහස දෙන මල් පෙති, රොන් සුනු, මල් පැණි, විද්‍යාමාන වුවේ කොතෙක් කලකටද?  ගතවන්නේ පැය ගණනකි.  පෙති ඇකලී ගොස්ය.  මල් පරව ඇත.  සුවද නැත.  මල් වැටී නැටි පමණක් ඉතිරිව පෙනේ.  සමහර මල් ටික දිනකින් මැලවී ගෙඩි කරල් එළි බැස ඇත.  දැන් ලස්සන සුවද අහලක නැත.  අතු වලට බර දෙමින් ගසේ වැලේ රස ඕජස උරමින් ගෙඩි කරල් ලොකු වන අයරු පෙනේ.  මේවා තුළ බීජ හැදී ඇත.  ඒවා ගෙඩි කරල් ලොකු වන අයරු පෙනේ.  වැහැරෙමින් ගෙඩි කරල් බදාගෙන දරාගෙන හැසිරුනත් ඒ සියලු හිමිකම් අහවර කරමින් පැසුන, ඉදුන ගෙඩි නටුවෙන් ගිලිහී වැටෙනු ඇත.  ගස, වැල තනිවම මැරීයයි.  එහෙත් මරුවගේ ඇම ලෙස පිපුණ මල් ලෝකය ලස්සනින්, සුවදින්, මුදු පහසින් මුලාකර අතරුදන් වුවේ මීට කලකට පෙර ඇසිල්ලකිනි.  මතු පරපුර පවත්වන්නට ජාති බෝ කරන්නට මුල් අල්ලා දෙමිනි.
බීජ යළි පැලව වැඩේ.  පෙර සේම මාර මුලාව ඒවාද ලස්සන කර සුවද කර, මුදු පහස දී මතු ජාතියට ගෙඩි, කරල්, බීජ නිපදවා වැනසී යයි.  මේ පරපුරේ පැවැත්ම සදන මාර මුලාවයි.  
අපි දැන් මනසින්ම ගස්වැල් වල මල් කඩා දමමු.  එවිට වන්නේ කුමක්ද?  ගස වැල තනිව බර නැතිව සිට යම් දිනෙක මැරී යනු ඇත.  මතු පරපුර එයින් නැවතී ඇත.මේ උපමාව තුළින් අප ගැන සසදා බලමු.  එවිට ලෝක ධර්මතාවය පිළිඹිඹු වේ.  මිනිසත් මල් උයන යැයි මීට නම් තබමු.

(පිටුව 38)
එහි ගස් පුරුෂ පෙලයි.  වැල් ස්ත්‍රී පක්ෂයයි.  ඇස, කණ, නාසය, දිව, කය මේ ගස් වැල් වල පිපුන මල් පොකුරුය.  මල් දරන කාලය තරුණ කාලයයි.  බාහිර ලෝකයෙන් ඇදෙන, බැදෙන රොන් සුණු නම් රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශයයි.  ආසාවෙන් මේවාට ඇදෙන, බැදෙන විට හදවත නැමැති ගර්භය තුල කාම සිත් නැමැති බීජ හටගනී.  මේ බීජ වැටෙන්නේ කාම භවයටයි.  දැන් පසිදුරන් කාම ගිනි වලින් පිපාසිතව දාහ සහගතින් නිපදවා අවසානය.  ඒවා ඇදි මතු භවයකට කාම ලෝ‍කයේ යලි ඇස, කණ, නාසය, දිව, කය වැහැරෙන, මැරෙන කුණු කදක් නිපදවයි.  ඒවායින්ද කරන්නේ ඉහත කී කාම වැඩ පිලිවෙලය.  අනාදියේ පටන් මේ වැඩ පිලිවෙල නිසා කාම භවයෙන් මිදිය නොහැකිව ඇලෙමින්, බැදෙමින්, භවයෙන් භවයට කය සදමින් කලින් කල අප්‍රමාණ කුණු කන්දල් සහිත සිරුර ලබමින් අනාථ සසර ගමනක යෙදී ඇත.  මාර මුලාව සිහි කල යුතුයි.  භවයක් භවයක් පාසා කය රැකීමට, පෝෂණය කිරීමට මමය, මගේය යන තැන් රැක ගැනීමට වද විද ඇති වාර අප්‍රමාණය.  ඒ සෑම උත්සාහයක්ම අසාර්ථකව දුක් විද මැරී ගොස් ඇත.  අතීතයේ පටන් සෑම භවයකම කුණු කයට මගේ කිවූ ලෝකයට සිදුවී ඇත්තේ හට ගැනීම විපරිණාමය, මරණය පමණි.  අයිති වූ කිසි හරයක් නොමැත.
කර්ම ශක්ති වශයෙන්ද නිපදවා ඇත්තේ දාහකට නවසිය අනූ නවයක්ම හතර අපාගත  දුක් දීමට හේතු කාරක වූ පාප කර්මයෝය.  මිනිස්ව උපන්නත් ඒ ප්‍රවෘත්ති කාලය හෙවත් ජීවත් වන කාලය තුල නොයෙක් දුක විපත් ගෙන දෙන පාප කර්ම බලවේගයෝය.  ආශා බැම්ම මිස දිටුවන් තදවූ තරමටම විපත් කරදර එනවිට දැවි දැවී, තැවි තැවී ගිනිම වැඩි කර ගනු ඇත.  මේ ආදීනව සිහි කරන විට නිසරුවෙහි ඇති යථා ස්වභාවය වැටහෙන්ට පටන් ගනී.  ඇම සේ ඒවාට බැදෙන මාර මුලාව ගිලිහී යන්ට වේ.
මල් කැඩූ ගස, වැල උපමා කර ගෙන අපද පසිදුරන් සංවර කර බලමු.  ලොව සුන්දර මුලා සහගත රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ තිබුනත් දැන් අපට බරක් නැත.  අප ඒවාට ඇලී, බැදී නැති බැවින් මල් කැඩූ ගස, වැල මෙන් වනු ඇත.  කාම භවයට බීජ දමන මග අහුරා ඇත.  මේ කය කාම ලොව සිටින අන්තිම කය වනු ඇත.  මතු කාම කයක් සදන බීජ ජනිත නොවන බැවින් කාම ලොවෙන් නිදහස්ව මිය යනු ඇත. 

0 comments: