මෙම බ්ලොග් අඩවිය පිළිබඳව

සම්මා සම්බුදු පියාණන්වහන්සේ වදාළ සත්‍ය වූ බුද්ධ ධර්මය කාලයත් සමග සැගවෙන්නට ඇති ඉඩකඩ වැඩිය. එය ‍එසේ වූ නිසාම ශතවර්ෂ ගණනකින් මාර්ගඵල ලාභීන් බිහි වූ බවක් අසන්නට නොලැබිණි... එහෙත් මග ඵල ලැබ ගෞතම බුදු පියාණන් විවර කල නිවන් දොරටුවෙන් මාර්ගයට පිවිස ඵල ලැබී සැනසීමට නියම වූ ඇත්තන් තවමත් සිටින හෙයින් ඔවුන් සදහා උපකාරයක් වීමට නියම කළ්‍යණ මිතුරාගේ පැමිණීම සිදුවී ඇත. ඒ සැඟවුනු මාවත යලි විවර කරමින්, සැඟවුනු දහම් අරුත් මතු කරමින් සසර දුකින් පෙළෙන ඔබටත් මටත් අනන්ත සසර දුක් සයුරෙන් එතෙර වීමේ ප්‍රයෝගික මග හෙලි කරන අභිඥාලාභී පූජ්‍යපාද වහරක අභයරතනාලංකාර ස්වාමීන් වහන්සේගේ ධර්මානුශාසනා ඇසුරෙන් පලවූ "සැගවුණු බොදු මග කල එලි දකී" යන පොත ඇසුරෙන් මෙසේ සටහන් තබමි!

Feb 5, 2010

පිටුව 27 සහ 28

(පිටුව 27)
සියලු ලෝක සත්වයෝම අප සමග එක්ව මේ පින් කුසල් සිදු කර ගනිත්වායි ඇරයුම්ද කල යුතුය.  මෙහි හේතුඵල වශයෙන් මේ පින වැඩුන කෙනෙකුට කොතැන ගියත් බාධක දුරුවීම, ආධාර, උපකාර, ගෞරව, කීර්ති, ප්‍රශංසා ලැබීම තම කටයුතු වලට අවහිර බාධක වලින් තොර වාතාවරණය උදාවීම සිදුවනු ඇත.  නිදහසේ සැනසිලේලේ නිවන් දකින්ටද මග පෑදෙනු ඇත.  මෙත්තා සහගත කාය කර්ම, වචී කර්ම, මානෝ කර්ම සම්පූර්ණ වනු ඇත.  මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ෂා යන සිව් බඹ විහරණ පහසුවෙන් ලැබී වහා සමවත් සම වදින්ට හැකි වනු ඇත.  සියලු ශාසන පහසුකම් සැලසෙනු ඇත.
මෙසේ සියල්ලෝම එක්ව ජීවමාන බුදු පියාණන් වහන්සේලා උතුම් ධර්ම රත්නය, මහා සංඝ රත්නය සිහි කර ජීවමාන කලක මෙන් ඉතා ගෞරව පූර්වකව නමස්කාර වාක්‍යය කිව යුතුය.
සාම්ප්‍රදායිකව අද කරන පූජෝපහාර වලදී නමස්කාරයෙන් පසුව තිසරණ සමාදානය, තෙරුවන් ගුණ කීම, ශික්ෂා සමාදානය ආදිය සිදුකර පසුව පැන්, භෝජන, දැහැත්, බෙහෙත් ආදී පූජෝපහාර විධි කරනු ලැබේ.  
නමුත් ආගන්තුක පින්වතෙක්, ස්වාමීන් වහන්සේ නමක් ගෙදරට පැමිණි පසු පළමුව කල යුත්තේ වත් පිලිවෙත්ය.  මේ නියායෙන් ජීවමාන තුනුරුවන් ඉදිරිපිටදීද පළමුව අප කල යුත්තේ ගෞරවාචාර කර වත් පිලිවෙත් කිරීමයි.  
‍පැන් පූජාව ජීවමාන කල ලෙස මනෝමයව පූජා කිරීමෙන් හද පත්ලෙන් නැගෙන ගෞරව ප්‍රසාදය පිහිටනු ඇත.
සෑම පූජාවකදීම අනුකූල ගුණ වලට සසදා කරන පූජා වලින් තම චිත්ත ප්‍රසාදය දියුණු වනු ඇත.
පෙර කල පැන් පූජා ක්‍රම
බුදු පියාණන්වහන්සේලා අප්‍රමාණ වූ කරුණා මෛත්‍රිය සිසිල් ජලාශයක් පතුරන්නා සේ ලොවට විහිදා වදාලහ.  කරුණා මෙත් සිසිල් ජලයෙන් තෙමෙ‍න හදවත් සිසිල් වී දාහ ගිනි දුරු වන්නේය.  නාලාගිරි ඇත් රජ, ආලවක යක්ෂ, අංගුලිමාල වැනි සැඩ ගතියෙන් දැවුන හදවත් බලා සිටියදී සිසිල් වූයේ ඒ මහා ගුණ නිසාය.  කෙලෙස් ගින්නෙන් දැවෙමින් තිබූ හදවත් වලට සදහම් අමා ජලාශ‍ය විහිද විය.  සදහම් අමා පානය ලැබූ අයගේ හදවත් කෙලෙස් ගිනි නිවී ගොස් සාන්ත පද නම් වූ නිවන් සුවයෙන් නිවී සැනසුනි.  

(පිටුව 28)
මහා සංඝ රත්නය එම බුදු මග අනුගමනය කරමින් කරුණා මෛත්‍රී සිසිල් ජලාශය විහිදුවමින් සදහම් අමා පානය පතුරා හරිමින් කරන සේවය අප්‍රමාණය.
මෙවන් අනත ගුණ විහිදුවමින් බුදු පියාණන් වහන්සේලාට මෙන්ම සංඝ රත්නයට මනෝමය මහා ජලාශයක් මවා උපහාර පූජාවක් කරමි.  සැමගේ දෑත පිරිසිදු වේවා.  දෑතින් සිසිල් ‍පැන් බදුන්, රස පැන් බදුන් අඩු නැති ලෙස මැවී බුදු පියාණන්වහන්සේලා අග්‍රකොට මහා සංඝ රත්නය වෙත විහිදේවා, පූජා වේවායි බුද්ධ ‍ප්‍රමුඛ මහා සංෂයා වහන්සේලා අබියස මනෝමයව සිතින් මවමින් මෙසේ පූජා කල යුතුයි.  තැන්පත් ප්‍රසාද ජනක මනසින් මෙවන් පූජා කරන විට මනස ප්‍රබෝධ වී සසුන් කෙතට අවතීර්ණව සිටිනු ඇත.
ලැබෙන චිත්ත ප්‍රසාදයේ පූණ්‍ය බල මහිමය අප්‍රමාණය.  සියලු ලෝ සතුන් කෙරෙහි දයාවෙන් මේ පුණ්‍ය කුසල ප්‍රවාහනය විහිදුවා පින් පෙත් දිය යුතුය.  හදෙහි විස දාහ ගිනි නිවී ගොස් දහම් රසය පෙවී කෙලෙස් ගිනි නිවී  නිවනින්ම සැනසුම ලැබේවායි සෙත් පැතිය යුතුයි.
යළි පෙ‍රසේම සිහි ගන්වා ගෙන ගාථාද කියා පූජා කල යුතුයි.  මේ පැන් පූජා ක්‍රමයෙන් තම සන්තානයේ දාහ ගිනි නිවී ගොස් චිත්ත සමාධියටත් කෙලෙස් ගිනි නිවන විදර්ශනා ප්‍රඥාවටත් මහා උපනිශ්‍රයක් වනු ඇත.
මීලගට කරන්නේ මනෝමය භෝජන පූජාවයි
බුදු පියාණන් වහන්සේලා සහ මහා සංඝ රත්නය ජීවමාන කල්හි ජීවමානත්වයේ අප්‍රමාණ ගුණ සිහි කල යුතුය.  තුන් ලොව බබලවන දස දහසක් සක්වල දිව්‍ය, බ්‍රහ්ම ආදී සවි සතුන්ට මහා මිණි පහන් ටැඹක්වන් සදහම් ආලෝකය පතුරුවන බුදු පියාණන්වහන්සේලාගේ අනන්ත වූ ජීවමාන ගුණ සිහි කරවිය යුතුය.  මහා මිණි පහන් වැටක් සේ සදහම් එලි පතුරුවන ජීවමාන සංඝ රත්නයේ අප්‍රමාණ ගුණ සිහි කර විය යුතුය.  ඒ ජීවමානත්වයට අවශ්‍ය වන ආයුෂ, වර්ණය, සැපය, බලය, පටිභාන ඥානය කැටි කර කරන පූජාවක් සේ සිහි කරන මනෝමයව සියලු භෝජන අඩු නැතිව මවාද පූජා කරමියි සිහි කර දිය යුතුය.   

0 comments: