මෙම බ්ලොග් අඩවිය පිළිබඳව

සම්මා සම්බුදු පියාණන්වහන්සේ වදාළ සත්‍ය වූ බුද්ධ ධර්මය කාලයත් සමග සැගවෙන්නට ඇති ඉඩකඩ වැඩිය. එය ‍එසේ වූ නිසාම ශතවර්ෂ ගණනකින් මාර්ගඵල ලාභීන් බිහි වූ බවක් අසන්නට නොලැබිණි... එහෙත් මග ඵල ලැබ ගෞතම බුදු පියාණන් විවර කල නිවන් දොරටුවෙන් මාර්ගයට පිවිස ඵල ලැබී සැනසීමට නියම වූ ඇත්තන් තවමත් සිටින හෙයින් ඔවුන් සදහා උපකාරයක් වීමට නියම කළ්‍යණ මිතුරාගේ පැමිණීම සිදුවී ඇත. ඒ සැඟවුනු මාවත යලි විවර කරමින්, සැඟවුනු දහම් අරුත් මතු කරමින් සසර දුකින් පෙළෙන ඔබටත් මටත් අනන්ත සසර දුක් සයුරෙන් එතෙර වීමේ ප්‍රයෝගික මග හෙලි කරන අභිඥාලාභී පූජ්‍යපාද වහරක අභයරතනාලංකාර ස්වාමීන් වහන්සේගේ ධර්මානුශාසනා ඇසුරෙන් පලවූ "සැගවුණු බොදු මග කල එලි දකී" යන පොත ඇසුරෙන් මෙසේ සටහන් තබමි!

Mar 16, 2010

පිටුව 47 සහ 48

 (පිටුව 47)
මෙබදු වත් පිළිවෙත් සහ ශාසන කෘත්‍යය වල වටිනාකම දැන ඒ උතුම් චර්යා පද්ධති නිති පුහුණු කල යුතුයි.
දැන් අප පෙර කී පරිදි සීල ගුණ විග්‍රහ කර ගත යුතුයි.
පංච දුෂ්චරිතය, පන්සිල්, පංච සික්ඛා, පස්පව්, සිල්වත, සීලය යන මේවාද විස්තර සහිතව දැනගත යුතුය.
"යං සමාදානං තං වතං - සංවරට්ඨේන සීලං"
යම් ඒ සමාදානයක්‍ වේද එය වතකි - සංවරත්වයේ පිහිටීමක් වේද එය සීලයකි.  
එසේනම් වත සීලය නොවේ.  අප සමාදාන වන පංච දුෂ්චරිත වත, අෂ්ඨාංග සීල වත ආදියත් භික්ෂූන් වහන්සේලා සමාදන් වන සාමණේර වත, උපසම්පදා වත ආදියත් සිල් නොව වත් ගණයට වැටේ.  වත සීලයට උපකාර වන බව කියා ඇත.
අප අද පන්සිල් ගනිමුයි පවසන සමාදානය පංච සික්ඛා සමාදානයයි.  සික්ඛා පද බොහෝ ගැඹුරු අරුත් ගෙන දෙන්නකි.  ප්‍රවේසම් ලෙස සිහියෙන් රැකිය යුතුයි.  නමුත් මේවාට දී ඇත්තේ පටු අර්ථ විග්‍රහයකි.  
සතුන් නොමැරීම, සොරකම් නොකිරීම, කාමයෙහි වරදවා නොහැසිරීම, බොරු නොකීම, මත්පැන් නොබීම යන මේවා පන්සිල් යැයි කියමින් සමාදන් කරවන්නේද පංච සික්ඛාය.  සික්ඛා පද සමාදන්ව ඒවා කඩාගත්විට ආණාවිතික්කමාවරණයට වැටෙන්නට පුළුවන.  එවිට වන්නේ ධර්මය අර්ථවත්ව හදවතට කිදා නොබැසීමයි.  එය ආවරණයක් බැවිනි.  ඉහත කී සතුන් මැරීමෙන් වැළකීම ආදී පස පෙර රජවරුන් පවා පනවා ඇත.  මෙය හොදය.  බුදු පියාණන්වහන්සේද අනුමත කර ඇත.  මේ පංච දුෂ්චරිතයෙන් වැළකීමේ වතයි.   
එසේ නම් පන්සිල් මොනවාද? "සංවරට්ඨේන සීලං" යන දහම් විග්‍රහය පරිදි සීලය සංවරත්වයේ පිහිටීමෙන් ලැබෙන සිසිල් ගුණයකි.  ආර්ය ශ්‍රාවකයාගේ සීලයට නිති පන්සිල් හෙවත් නිත්‍ය පංච සීලය කියයි.  නිත්‍ය යන්නෙන් ස්ථිර බවක් පවසයි.  යම් සීලයක් ස්ථිර නම් එය කිසි ආකාරයකින් වත් නොකැඩෙන සීලයක් විය යුතුය.  
(පිටුව 48)
එහි පළමු වැනි කොටස ප්‍රාණඝාතයෙන් වැළකීම යනුවෙන් සදහන් අර්ථයකි අද ඇත්තේ.
සෝතාපන්න ආර්ය ශ්‍රාවකයා කෙසේ වත් නොකරන්නේ පව් හයක් පමණක් බව ධර්මයේ සදහන් වේ.  එනම් මව මැරීම, පියා මැරීම, අරිහතුන් මැරීම බුද්ධ ශරීරයේ ලේ ඉපැද්දීම, සංඝ භේදය කියන පව් 5 සහ නියත මිසදිටුවෙකු වීම යන 6වැන්නයි.
අරිහතුන් වහන්සේ දිවි ඇති තෙක් නොකරන කරුණු පස ගැන මෙසේ පෙන්වා ඇත.
  1. දැන දැන ප්‍රාණියකුගේ දිවි තොර කිරීම
  2. දැන දැන අන්සතු වස්තුවක් සොර සිතින් ගැනීම
  3. දැන දැන කාම මෛථුනයක යෙදීම
  4. දැන දැන මුසාවාද කීම
  5. සංනිධිකාරක පරිභෝග වැළදීම, යන පසයි.
 අරිහතුන් වහන්සේගෙන් නොකෙරෙන බව කී කාරණ හතරක්ම සෝතාපන්න පුද්ගලයාගෙන් නොකෙරෙන කරුණු ලෙස පෙන්වා මෙකල නිත්‍ය පංච සීලය තෝරා ඇත.  එසේම වතක් සීලය හැටියටද අර්ථ දී ඇත.  මෙසේ කල විට තත්වය බැරෑරුම් ලෙස වැටහී සෝතාපන්න වීමත් එසේ මෙසේ කටයුත්තක් නොවේ යැයි සිතා අධෛර්යට පත් වනු ඇත.
එසේ නම් පද වශයෙන් නොගන්නා සීල කරුණු පහ මොනවාද?
කිං සීලං?  පහාණ සීලං, වේරමණී සීලං, චේතනා සීලං, සංවර සීලං, අවිතික්කම සීලංති.  
සීලය නම් කුමක්ද?  පහාණ සීල, වේරමණී සීල, චේතනා සීල, සංවර සීල, අවිතික්කම සීල යන පසයි.
පාප ක්‍රියා වලට අයිති අපායගාමී වීමට හේතු වන යම් පාපයක් වේද එය සෝතාපන්න ඵලය ලබන විටම පහ වූවා.  පහ වූවාමය. නැවත නොනැගේ.  මේ පහාන සීලයි.
එබදු පාපයක් ඉන් පසු කිසි කලක රමණය නොකරයි.  මේ වේරමණී සීලයි. 

Mar 11, 2010

පිටුව 45 සහ 46

(පිටුව 45)
එවිට අතීතයේ සිටි සේ දැක්කේද කෙනෙක් නොව ක්ෂණිකව වෙනස් වන හේතු ඵල පරපුරකි යන අදහස ඇතිවේ.  දැන් සිටින්නේද වෙනස් වන හේතු ‍ඵල පරපුරකි කියා දකිනු ඇත.
මතු අනාගතයේද පහල වේ නම් කෙනෙක් නොව ක්ෂණිකව වෙනස් වන හේතුඵල පරපුරකි යන හැගුම ඇතිවේ.  මොහොතකින් වෙනස් වන විපරිණාමික ක්‍රියාවලියට මමය කියා අල්ලන්නට, මගේය කියලා අල්ලන්නට පුද්ගලිකත්වයක් නැති බවත් බැරි දෙයක් කරන්නට යන ලෝ සතුන් මුලා මමත්වයක බැදී නොවෙනස්ව පවත්වන්නට උත්සාහ කරමින්, එසේ බැරි කමක් නැගෙන විට කැඩෙයිද, බිදෙයිද, විනාශ වෙයිද, කඩයිද, බිදයිද, විනාශ කරයිද, කැඩී යයිද, බිදී යයිද, විනාශ වී යයිද යන බියකින් හා සැකයකින් පෙළමින් භව ගමනක යෙදී සිටී.
‍කෙනෙක් එසේ නොකැඩේවා, නොබිදේවා, විනාශ නොවේවායි බලාපොරොත්තු වූවත් ඒ සියල්ල අරුත් සුන් බලාපොරොත්තුමය.  දෘෂ්ඨියේ මුලාවේ තදකම යම් තාක්ද ඒ තරමට ශෝක, සංවේග, දාහ ගිනි, දුක් ගිනි කදන් මුලාව නිසාම උපදවා ගෙන අස්ථාන දුකක් විදී.  ලොව දුක යැයි යමක් ස්ථිරවම ඇත්නම් එය දුරු කරන්ටද ක්‍රමයක් නැතිවිය යුතුය.  එය මුලාවෙන් මවාගත් දුකක් නිසාම සත්‍යවබෝධයේදී සියලු බලාපොරොත්තු මානසික දුක් වේදනා සේ මහත් කොට සිතින් ගැනීම අතහැරී යයි. 
පහන් පූජාව නම් මේ උපමා අනුව ලෝ දහම සසදා බලා ප්‍රඥා ආලෝකය මතු කරගැනීමයි.  එමගින් මේ භවයේම නිවීමට හෙවත් නිවන් ප්‍රත්‍යක්ෂ කරන්ට හේතු උදාවේ.  මෙය පෙර පටන් පැවති බොදුනුවන්ගේ නියම පහන් පූජාවයි.
මෙසේ දහම් දකින විට මෙබදු විද්‍යාත්මක වූ දහමත් කිසි කාලයක අසා නැති බවත්, එබදු සත්‍යය ධර්මයක් දේශනා කල උත්තමයන්වහන්සේ බුද්ධිය මුහුකුරා ගිය අග්‍රඵල ඇති උතුමෙක්මයි.  නොසැකවූ බුද්ධ ඥානය ගැන පැහැදීම ඇතිවේ.  තමන්ට මෙන්ම නැණවතුනට දුකෙන් නිදහස් වන්ට සත්‍යය ධර්මය ලොවට විද්‍යාමාන කල උතුම් බුදු පියාණන්වහන්සේ කෙරෙහිත් එම ශ්‍රී සද්ධර්මය කෙරෙහිත් ඒ උතුම් ධර්මය ලොවේ විද්‍යාමාන කරගෙන එන සංඝ රත්නය කෙරෙහිත් ඒ ධර්ම ඵල ලබා ශාන්ත නිවන් සුවයට පත් සියලු උතුමන් කෙරෙහිත් ඥාණ ශ්‍රේෂ්ඨත්වය දැක අචල ප්‍රසාදය ඇතිවේ. 

(පිටුව 46)
මුහුදට ගලන, මුහුදටම නැමී සිටින ගංගා ජලය මුහුදටම යන්නාසේ නිවන කරාම ගලායන දහම අවබෝධය ඇති මතු සියලු භව දුක සිද දමන්නට නියත වූ බුදු සවි උතුමෙක් වන්නේය.
අහසක් වන් අනන්ත ගුණ ඇති බුදු පියාණන්වහන්සේගේ සය මහා බුද්ධ ඥාණ කෙරෙහි විශ්වාස කරන ඒ බොදුනුවෝ ධජ පතාක උපමා කර සය වරුණ සංකේතවත් කර අහස වැනි අනන්ත ගුණයට එම කොඩි අහස් කුස එල්ලා අග්‍ර බුද්ධ ඥානයට උපහාර කරන්නේය. එසේම බුදු පියාණන් වහන්සේ දේශනා කර වදාළ ධර්ම රත්නයට අනුව නොයෙක් උදාහරණ, උපමා සසදවමින් ධර්ම ඥානය උදාකර දෙන ධර්ම ධජ, සග රුවන සිහි කර අහස වන් මහා ගුණ උපහාර කරති.  එසේම ඒ දහම් මග අනුගමනය කරමින් හදවත් සුදු කොඩි සේ බබලන නිදහස් අහසක් වන් ගුණ ඇති මහ සග රුවන සිහි කරමින් සුදු කොඩි කොඩි වැල් අහස් කුස ඇද ඒ සග රුවනට උපහාර පූජා කරති.
මේ හේතු ඵල වශයෙන් සියලු ජයග්‍රහනයන්ට හේතු සම්පත් ලබන අතර නිදහසේ මහා ජයග්‍රහණය වන නිවන් ප්‍රත්‍යක්ෂ කරන්ටද හේතු වාසනා ලබති. 
ඒ වගේම සතර අපා භයෙන් වලකන්නා වූද, නොයෙක් භය, තැති ගැනුම් ලොමු ඩැහැගැනීම් වලකන්නාවූද, ආශිර්වාද ඇති කරන, දහම් ශාන්තිය ආරක්ෂාව සලසන ශාසන ගුණයට උපහාර ලෙස ගුණ සංකේත වන වියත් පූජා කර උපහාර කරති.  මේ හේතු ඵල පුණ්‍ය ශාන්තිය නිසා නොයෙක් ආකාර රැකවරණ ලබමින් බාධක මාරක වලින් තොරව නිවන් ශාන්තිය ලබති. 
නොයෙක් පිරිකර මනසින් මවා පූජා කර එම හේතු ඵල පුණ්‍ය ශක්ති බලයෙන් හිතූ පැතූ දේ ඉටුවන ශක්තිය ලබා පැවදි වුවත් අඩු නැති සිව්පසය ලබමින් නිවන් ශාන්තිය අත් පත්ද කරති.
මනෝමය වශයෙන් මෙන්ම ද්‍රව්‍ය වස්තුමය සංකේත තබා මේ පූජෝපහාර කළත් ඉහත කී පුණ්‍ය ශක්ති ලැබෙනු ඇත.
සසරේදී මෙවන් පූජෝපහාර විධි ඉටුකර ඇති කරගත් චිත්ත ප්‍රසාදය සහ පුණ්‍ය ශක්තිය හේතු කොට මෙබදු සෞභාග්‍යය උදාකර දුගති ගත නොවී සසර සැරි සරා මේ සම්බුද්ධ ශාසනයේ අරිහත්වයට පත්වූ භික්ෂූණ් වහන්සේලා, භික්ෂූණී වහන්සේලා  ගැන ත්‍රිපිඨකයට අයත්අපදාන පාලි ග්‍රන්ථ වල සදහන් වේ.