මෙම බ්ලොග් අඩවිය පිළිබඳව

සම්මා සම්බුදු පියාණන්වහන්සේ වදාළ සත්‍ය වූ බුද්ධ ධර්මය කාලයත් සමග සැගවෙන්නට ඇති ඉඩකඩ වැඩිය. එය ‍එසේ වූ නිසාම ශතවර්ෂ ගණනකින් මාර්ගඵල ලාභීන් බිහි වූ බවක් අසන්නට නොලැබිණි... එහෙත් මග ඵල ලැබ ගෞතම බුදු පියාණන් විවර කල නිවන් දොරටුවෙන් මාර්ගයට පිවිස ඵල ලැබී සැනසීමට නියම වූ ඇත්තන් තවමත් සිටින හෙයින් ඔවුන් සදහා උපකාරයක් වීමට නියම කළ්‍යණ මිතුරාගේ පැමිණීම සිදුවී ඇත. ඒ සැඟවුනු මාවත යලි විවර කරමින්, සැඟවුනු දහම් අරුත් මතු කරමින් සසර දුකින් පෙළෙන ඔබටත් මටත් අනන්ත සසර දුක් සයුරෙන් එතෙර වීමේ ප්‍රයෝගික මග හෙලි කරන අභිඥාලාභී පූජ්‍යපාද වහරක අභයරතනාලංකාර ස්වාමීන් වහන්සේගේ ධර්මානුශාසනා ඇසුරෙන් පලවූ "සැගවුණු බොදු මග කල එලි දකී" යන පොත ඇසුරෙන් මෙසේ සටහන් තබමි!

Mar 16, 2010

පිටුව 47 සහ 48

 (පිටුව 47)
මෙබදු වත් පිළිවෙත් සහ ශාසන කෘත්‍යය වල වටිනාකම දැන ඒ උතුම් චර්යා පද්ධති නිති පුහුණු කල යුතුයි.
දැන් අප පෙර කී පරිදි සීල ගුණ විග්‍රහ කර ගත යුතුයි.
පංච දුෂ්චරිතය, පන්සිල්, පංච සික්ඛා, පස්පව්, සිල්වත, සීලය යන මේවාද විස්තර සහිතව දැනගත යුතුය.
"යං සමාදානං තං වතං - සංවරට්ඨේන සීලං"
යම් ඒ සමාදානයක්‍ වේද එය වතකි - සංවරත්වයේ පිහිටීමක් වේද එය සීලයකි.  
එසේනම් වත සීලය නොවේ.  අප සමාදාන වන පංච දුෂ්චරිත වත, අෂ්ඨාංග සීල වත ආදියත් භික්ෂූන් වහන්සේලා සමාදන් වන සාමණේර වත, උපසම්පදා වත ආදියත් සිල් නොව වත් ගණයට වැටේ.  වත සීලයට උපකාර වන බව කියා ඇත.
අප අද පන්සිල් ගනිමුයි පවසන සමාදානය පංච සික්ඛා සමාදානයයි.  සික්ඛා පද බොහෝ ගැඹුරු අරුත් ගෙන දෙන්නකි.  ප්‍රවේසම් ලෙස සිහියෙන් රැකිය යුතුයි.  නමුත් මේවාට දී ඇත්තේ පටු අර්ථ විග්‍රහයකි.  
සතුන් නොමැරීම, සොරකම් නොකිරීම, කාමයෙහි වරදවා නොහැසිරීම, බොරු නොකීම, මත්පැන් නොබීම යන මේවා පන්සිල් යැයි කියමින් සමාදන් කරවන්නේද පංච සික්ඛාය.  සික්ඛා පද සමාදන්ව ඒවා කඩාගත්විට ආණාවිතික්කමාවරණයට වැටෙන්නට පුළුවන.  එවිට වන්නේ ධර්මය අර්ථවත්ව හදවතට කිදා නොබැසීමයි.  එය ආවරණයක් බැවිනි.  ඉහත කී සතුන් මැරීමෙන් වැළකීම ආදී පස පෙර රජවරුන් පවා පනවා ඇත.  මෙය හොදය.  බුදු පියාණන්වහන්සේද අනුමත කර ඇත.  මේ පංච දුෂ්චරිතයෙන් වැළකීමේ වතයි.   
එසේ නම් පන්සිල් මොනවාද? "සංවරට්ඨේන සීලං" යන දහම් විග්‍රහය පරිදි සීලය සංවරත්වයේ පිහිටීමෙන් ලැබෙන සිසිල් ගුණයකි.  ආර්ය ශ්‍රාවකයාගේ සීලයට නිති පන්සිල් හෙවත් නිත්‍ය පංච සීලය කියයි.  නිත්‍ය යන්නෙන් ස්ථිර බවක් පවසයි.  යම් සීලයක් ස්ථිර නම් එය කිසි ආකාරයකින් වත් නොකැඩෙන සීලයක් විය යුතුය.  
(පිටුව 48)
එහි පළමු වැනි කොටස ප්‍රාණඝාතයෙන් වැළකීම යනුවෙන් සදහන් අර්ථයකි අද ඇත්තේ.
සෝතාපන්න ආර්ය ශ්‍රාවකයා කෙසේ වත් නොකරන්නේ පව් හයක් පමණක් බව ධර්මයේ සදහන් වේ.  එනම් මව මැරීම, පියා මැරීම, අරිහතුන් මැරීම බුද්ධ ශරීරයේ ලේ ඉපැද්දීම, සංඝ භේදය කියන පව් 5 සහ නියත මිසදිටුවෙකු වීම යන 6වැන්නයි.
අරිහතුන් වහන්සේ දිවි ඇති තෙක් නොකරන කරුණු පස ගැන මෙසේ පෙන්වා ඇත.
  1. දැන දැන ප්‍රාණියකුගේ දිවි තොර කිරීම
  2. දැන දැන අන්සතු වස්තුවක් සොර සිතින් ගැනීම
  3. දැන දැන කාම මෛථුනයක යෙදීම
  4. දැන දැන මුසාවාද කීම
  5. සංනිධිකාරක පරිභෝග වැළදීම, යන පසයි.
 අරිහතුන් වහන්සේගෙන් නොකෙරෙන බව කී කාරණ හතරක්ම සෝතාපන්න පුද්ගලයාගෙන් නොකෙරෙන කරුණු ලෙස පෙන්වා මෙකල නිත්‍ය පංච සීලය තෝරා ඇත.  එසේම වතක් සීලය හැටියටද අර්ථ දී ඇත.  මෙසේ කල විට තත්වය බැරෑරුම් ලෙස වැටහී සෝතාපන්න වීමත් එසේ මෙසේ කටයුත්තක් නොවේ යැයි සිතා අධෛර්යට පත් වනු ඇත.
එසේ නම් පද වශයෙන් නොගන්නා සීල කරුණු පහ මොනවාද?
කිං සීලං?  පහාණ සීලං, වේරමණී සීලං, චේතනා සීලං, සංවර සීලං, අවිතික්කම සීලංති.  
සීලය නම් කුමක්ද?  පහාණ සීල, වේරමණී සීල, චේතනා සීල, සංවර සීල, අවිතික්කම සීල යන පසයි.
පාප ක්‍රියා වලට අයිති අපායගාමී වීමට හේතු වන යම් පාපයක් වේද එය සෝතාපන්න ඵලය ලබන විටම පහ වූවා.  පහ වූවාමය. නැවත නොනැගේ.  මේ පහාන සීලයි.
එබදු පාපයක් ඉන් පසු කිසි කලක රමණය නොකරයි.  මේ වේරමණී සීලයි. 

0 comments: