මෙම බ්ලොග් අඩවිය පිළිබඳව

සම්මා සම්බුදු පියාණන්වහන්සේ වදාළ සත්‍ය වූ බුද්ධ ධර්මය කාලයත් සමග සැගවෙන්නට ඇති ඉඩකඩ වැඩිය. එය ‍එසේ වූ නිසාම ශතවර්ෂ ගණනකින් මාර්ගඵල ලාභීන් බිහි වූ බවක් අසන්නට නොලැබිණි... එහෙත් මග ඵල ලැබ ගෞතම බුදු පියාණන් විවර කල නිවන් දොරටුවෙන් මාර්ගයට පිවිස ඵල ලැබී සැනසීමට නියම වූ ඇත්තන් තවමත් සිටින හෙයින් ඔවුන් සදහා උපකාරයක් වීමට නියම කළ්‍යණ මිතුරාගේ පැමිණීම සිදුවී ඇත. ඒ සැඟවුනු මාවත යලි විවර කරමින්, සැඟවුනු දහම් අරුත් මතු කරමින් සසර දුකින් පෙළෙන ඔබටත් මටත් අනන්ත සසර දුක් සයුරෙන් එතෙර වීමේ ප්‍රයෝගික මග හෙලි කරන අභිඥාලාභී පූජ්‍යපාද වහරක අභයරතනාලංකාර ස්වාමීන් වහන්සේගේ ධර්මානුශාසනා ඇසුරෙන් පලවූ "සැගවුණු බොදු මග කල එලි දකී" යන පොත ඇසුරෙන් මෙසේ සටහන් තබමි!

Mar 16, 2010

පිටුව 51 සහ 52

 (පිටුව 51)
එසේම පොට්ඨපාද සූත්‍රයේ පිරිසිදු ආත්ම භාව පරිහරණයක නම් ආර්ය මාර්ගය වඩන භික්ෂූ‍වගේ සුබ විහරණය බව පෙන්වා ඇත.  එබැවින් මේ සික්ඛා පදයද බුද්ධ ශාසනයෙන් බැහැර අන්‍ය පිරිසට තිබිය නොහැකි බව පෙනේ.  
3. අබ්‍රහ්ම චර්යා වේරමණී සික්ඛා පදය
ජීවිතාන්තය තෙක් ඒ රහතන් වහන්සේ අබ්‍රහ්ම චර්යාවෙන් වෙන්ව අබ්‍රහ්ම චරියාව අතහැර බ්‍රහ්මචාරී වූයේ නීච වූ ග්‍රාම්‍ය වූ කාම මෛථුන්‍යයෙන් වෙන්ව වාසය කරන්නෙන්ය.  මමද මේ රැයත් මේ දවාලත්, මේ රැය දවාලත් උන්වහන්සේ අනුගමනය කරමි.  අබ්‍රහ්ම චර්යාවෙන් වෙන්ව, අබ්‍රහ්ම චර්යාව අතහැර බ්‍රහ්මචාරී වූයේ නීච වූ ග්‍රාම්‍ය වූ කාම මෛථුන්‍යයෙන් වෙන්ව උතුම් වූ බ්‍රහ්ම චර්යාවෙන් වාසය කරමි.  මේ තුන්වෙනි සික්ෂාවෙන්ද උන්වහන්සේ අනුගමනය කරමි.  මේ මාගේ තුන් වැනි සික්ෂාවයි.  මෙහිද බ්‍රහ්ම චරියාව නම් ආර්ය අෂ්ටාංගික මාර්ගය බව ධර්මයේ පෙන්වා ඇති බැවින් මේ සිඛ පදයද බුද්ධ ශාසනයෙන් බැහැරව නැති බව පෙනේ.  
4.  මුසාවාදා වේරමණී සික්ඛා පදය
ජීවිතාන්තය තෙක් ඒ රහතන් වහන්සේ මුසාවාදයෙන් වෙන්ව, මුසාවාදය අතහැර සත්‍යවාදී වූයේ සත්‍යයෙන් සත්‍ය ගලපා කරන කථා ඇතිව සත්‍ය වාදීව වාසය කරන්නේය.
මමද මේ රැයත් මේ දහවලත්, මේ රැය දහවලත් උන්වහන්සේ අනුගමනය කරමි.මේ මාගේ සතර වන සික්ෂා පදයයි.  මෙහිදී ශාසනයෙන් බැහැරව මිස දිටු ගෙන කරන වාද මුසාවාද බවත්, ශාසන සත්‍යයෙහි පිහිටා කරන ශාසනික කථාව සත්‍යවාදය බවත් දත යුතුය.  මෙයද ශාසනයෙන් බැහැරව නැති බැවින් මෙය ශාසනය තුලම තිබෙන සිඛාපදයකි.

(පිටුව 52)
5.සුරාමේරය මජ්ජ පමාදට්ඨාන වේරමණී සික්ඛා පදය
ජීවිතාන්තය තෙක් ඒ රහතන් වහන්සේ මදයට, ප්‍රමාදයට, අල්ලා ගැනීමට හේතුවන යම් සුරාවක්, මේරයක් ඇද්ද ඉන් තොරව නොමත්ව වාසය කරන්නේය. 
මමද මේ රැයත් දහවලත්, රැය දහවලත් උන්වහන්සේ අනුගමනය කරමි.  මදයට, ප්‍රමාදයට, අල්ලා ගැනීමට හේතුවන සුරාවෙන්, මේරයෙන් වෙන්ව නොමත්ව වාසය කරමි.  මේ ශික්ෂණයෙන් උන්වහන්සේ අනුගමනය කරමි.  මේ මාගේ පස්වන ශික්ෂා පදයයි.  ලෝකයා පංච කාම සහගත සරාගයෙන්, මිහිරියාවෙන් මත්ව ප්‍රමාදව වාසය කරති.  ඒ සියලුම මත් අත් හැර වසන අරිහතුන් වහන්සේගේ චරියාව මේ ශාසනයෙන් පිට විද්‍යාමාන නොවේ.  මත් පැන් වලින් තොරවීම මෙයට ආධාර කරුණක් පමණි.  මේ විස්තර කලේ පංච ශික්ෂාවයි.
පස්පව් යනු පංච දුෂ්චරිත නොවේ.  ඊට වඩා පුළුල් විස්තරයකි.  ඉහතකී ශික්ෂා පද පසින් පෙන්වූ වෙන්විය යුතු පාප කොට්ඨාශ පහට අසුනොවන පවක් නැත.  ඒ අත්හැරිය යුතු කොටසය පස් පව් කියන්නේ.  සය පව් හෝ සත් පව් ආදී ලෙසටවත් සතර පව් තුන් පව් ආදී ලෙසටවත් නොව පස් පව් යනු සාසන සම්මත වචනයකි.  එසේනම් කොටස් පහකට සියලු පව් අඩංගු විය යුතු බව දැනගත යුතුයි. මෙසේ තේරුම් ගෙන පංච දුෂ්චරිතයෙන් දුරුවී දස අකුසල් අත්හැර සීල ගුණයේ ශාසනික හේතුවෙන් පිහිටීමට කටයුතු කල යුතුය.  සාම්ප්‍රදායිකව පන්සිල් දීම ලෙස මෙකල කරන පංච ශික්ෂා සමාදානයේ විප්ලවයක් කරන්නට අවශ්‍ය නොවේ.  එබදු අවස්ථාවකට සම්බන්ධවන්ට සිදුවුවහොත් විවේචනාදියෙන් බාධක නොකර, ඉදගෙන සිටින තුරු හෝ ඇස් පියාගෙන සිටින තුරු සමාදන් වෙමියි කාල අධිෂ්ඨානයක් කරගන්න.  ඒ වෙලාව අවසන් වූ විටම ඔබ නිදහස්ය.  මොහොතක සිඛ පද නොකඩා සමාදන්ව සිටියත් ඉතා යහපති.  රකින්නට හැකිනම් සමාදන්ව කොතෙක් කල් සිටියත් ඉතාම යහපති.  පෝය දින වෙන්කර ඇත්තේ පහසු සමාදානය සදහා බැවින් එදින උපෝසථ සමාදානයට හැකි තරම් උත්සාහ ගන්න.  මෙසේ ශික්ෂා සමාදානව සංවරය හුරු කර ගැනීම දෙවි ලොවට ඉනිමගකි.  සීලයට මහා උපනිශ්‍රයකි.

0 comments: