මෙම බ්ලොග් අඩවිය පිළිබඳව

සම්මා සම්බුදු පියාණන්වහන්සේ වදාළ සත්‍ය වූ බුද්ධ ධර්මය කාලයත් සමග සැගවෙන්නට ඇති ඉඩකඩ වැඩිය. එය ‍එසේ වූ නිසාම ශතවර්ෂ ගණනකින් මාර්ගඵල ලාභීන් බිහි වූ බවක් අසන්නට නොලැබිණි... එහෙත් මග ඵල ලැබ ගෞතම බුදු පියාණන් විවර කල නිවන් දොරටුවෙන් මාර්ගයට පිවිස ඵල ලැබී සැනසීමට නියම වූ ඇත්තන් තවමත් සිටින හෙයින් ඔවුන් සදහා උපකාරයක් වීමට නියම කළ්‍යණ මිතුරාගේ පැමිණීම සිදුවී ඇත. ඒ සැඟවුනු මාවත යලි විවර කරමින්, සැඟවුනු දහම් අරුත් මතු කරමින් සසර දුකින් පෙළෙන ඔබටත් මටත් අනන්ත සසර දුක් සයුරෙන් එතෙර වීමේ ප්‍රයෝගික මග හෙලි කරන අභිඥාලාභී පූජ්‍යපාද වහරක අභයරතනාලංකාර ස්වාමීන් වහන්සේගේ ධර්මානුශාසනා ඇසුරෙන් පලවූ "සැගවුණු බොදු මග කල එලි දකී" යන පොත ඇසුරෙන් මෙසේ සටහන් තබමි!

Apr 23, 2010

පිටුව 53 සහ 54

(පිටුව 53)
සූවිසි ගුණ තුලින් නිවන් මග
සූවිසි ගුණ තුලින් නිවන් මග යෙදී තිබෙන අයුරු තේරුම් ගත් විට කිසිම මාර බලයකට ගොදුරු නොවී සැනසුම් සහගතව නිවන ප්‍රත්‍යක්ෂ කල හැකිය.  පෙර ලක්දිව තිබූ හෙල අටුවා විනාශ වීමෙන් පසු මේ වටිනා දහම් මග ක්‍රමයෙන් අතුරුදහන් විය.  පසු කලෙක එම අසීමිත ගුණ පද වලට පටු අර්ථයක් ආරෝපණය කරමින් පද ගායනාව පමණක් භාවිතයට ඉතිරි විය.  මෙකල වන විට බොහෝ කොට සූවිසි ගුණ පද ගායනා කිරීමට ඒ අසීමිත ගුණ කද සීමා වී ඇති බව පෙනේ.  
යමක් ගුණ කිරීම යනු වැඩි වර්ධනය කිරීම යන අරුත ගෙන දෙයි.  ගණිත විද්‍යාවේදි එකතු කිරීම, අඩු කිරීම, වැඩි කිරීම, බෙදීම යන ප්‍රධාන කරුණු 4ක් ගැන කියැවේ.  මෙහි වැඩි කිරීම යන පදයට කියන තව පදයකි ගුණ කිරීම.  වෛද්‍ය විද්‍යාවේ ගුණ යනු ගුණ, අගුණ කියන අදහස පරිදි සුව වීම අදහස් කරයි.  අසනීපව දුක් සහගතව සිටින විට ක්‍රමයෙන් ගුණ වෙන්ට පටන් ගනී.  එනම් රෝගාබාධය සුව වන අතට හැරීමයි.  දැන් හොදටම ගුණයි කියන්නේ රෝගය සහමුලින්ම සුව වූවා යන අදහසයි.  
සසර සැරි සරන අවිද්‍යා, තෘෂ්ණා සහගත සත්වයාටද මහා රෝගයක් ඇත.  එනම් භව රෝගයයි.  කායික රෝග පහල වෙන්නේ ‍නොයෙක් විෂ බීජ කයට ඇතුළු වීමෙනි.  ඒ රෝග බලවත් වෙන්නේ රෝග වැඩීමට හේතුවන අපත්‍ය දේ ශරීර ගත වීමෙනි.  ඒ අපත්‍ය ආහාර විෂ බීජ ගුණ වලට ගුණ නිසා විෂබීජ ගුණ වේ.  හෙවත් වැඩි වර්ධනය වේ.  එහි ප්‍රතිඵලය කායික රෝගාබාධය අසාධ්‍ය බවට පත්වීමයි.  එම කායික රෝගය සංසිදවන්නට නම් රෝග මැඩ පවත්වන ප්‍රතිශක්තිය ගුණ කල යුතුය.  නැතනම් වැඩි වර්ධනය කල යුතුය.  ඒ සදහා ප්‍රතිශක්තිය ගුණ කරන එසේ නැත්නම් වැඩි වර්ධනය කරන ඖෂධ ශරීර ගත කල යුතුයි.  මෙසේ විෂබීජ වලට ගුණ දේ දීමෙන් රෝගය ප්‍රගුණ වීම හෙවත් වැඩි වර්ධනය වේ.  රෝග නිවාරණයට ගුණ දේ දීමෙන් රෝග නිවාරණ ප්‍රතිශක්ති ගුණ වී‍ම හෙවත් වැඩි වර්ධනය වී රෝගය සංසිදේ.  විෂ බීජ ප්‍රගුණ කරන අපත්‍ය ආහාරය බොහෝ විට ප්‍රිය ජනකයි.  පරිහරණයට හිත ඇතිවේ.  විෂබීජ වනසන ප්‍රතිශක්තිය ප්‍රගුණ කරන ආහාරය හෙවත් ඖෂධ බොහෝ විට අප්‍රිය ජනකය.  ප්‍රිය නොකරයි.  පරිහරණයට අකමැතිය.

(පිටුව 54)
සිහි බුද්ධියෙන් තොරව හැගුමට වහල් වී ප්‍රියජනක වූදේ පසුපස භුක්තියට ගියොත් රෝග කාරක විෂබීජ ප්‍රගුණ වීමෙන් බොහෝ රෝගාබාධ වලට ලක් වී දුක් විදින්නට සිදුවේ.  සිහි බුද්ධියෙන් යුතුව හැගුම් වලට වහල් නොවී ප්‍රිය ජනක නොවූවත් කර්කෂ සේ පෙනුනත් ප්‍රත්‍ය ඖෂධ ආහාර පරිභෝග කලොත් රෝග නිවාරණ විෂබීජ නිවාරණ ප්‍රතිශක්තිය ප්‍රගුණ වී නිරෝගී සුවය අත් පත් වනු ඇත.  මෙහිදී ගුණ, ප්‍රගුණ යන පද හොද පැත්තටත් නරක පැත්තටත් අරුත දෙන හැටි දැන් පැහැදිලිය.  මෙකල භාෂා ව්‍යවහාරයේදී ගුණ කියන වචනය හොද යහපත් ආදී අදහස ගන්ට පමණක් භාවිත කලද හොදින් විමසා බලන විට හොද හෝ නරක පැත්තක් දියුණු කරන, වඩවන, නගා සිටුවන, මේ සැමට ගුණ වීම, ප්‍රගුණ වීම යන වචන අර්ථ දෙන අයුරු පෙනේ.  එබැවින් ගුණ යන වචනයේ තැනට සුදුසු අදහස ලබන්ට නම් හොද දේ වැඩීම සුගුණ, සත්ගුණ ආදී වශයෙන්ද පාපී කරනදේ වැඩීම දුර්ගුණ, අසත් ගුණ වචනයෙන්ද අර්ථ ගෙන තේරුම් ගත යුතුය.  
දැන් බුදු ගුණ, දහම් ගුණ, සග ගුණ, ආදී මේ සූවිසි මහා ගුණ අයිති වන්නේ සුගුණ, සත්ගුණ කියන ගුණ කොටසටය.  එම ගුණ තුලින් ලැබෙන ප්‍රගුණතාවය හේතු වන්නේ භව රෝගය සංසිදවීමයි.  
සසර සැරි සරන සත්වයා පෙළෙන ලොකුම රෝගය භව රෝගයයි.  මේ භව රෝගය හිතට වැලදී ගතටද ආක්‍රමණය කල විට භව රෝගියා විද්‍යාමාන වේ.  භව රෝගියාට එම රෝගය වැළදී ඇති විෂ බීජ 3 වර්ගයකි.  එනම් ලෝභ විෂබීජ, ද්වේශ විෂබීජ, මෝහ විෂබීජ යන මේවාය.  භව රෝගය බලවත් වීමට මෙන්ම භව රෝග විෂබීජ වලට ගුණ අපත්‍ය ආහාර නම් ලෝභ සහගත, ද්වේශ සහගත, මෝහ සහගත සිතිවිලි ක්‍රියා වදන්ය.  භව රෝගය බලවත් කරන අසාධ්‍ය කරන මේ අපත්‍ය ආහාර භව රෝගියාට රුචිය, රසවත්ය,  අවිද්‍යාවෙන් අන්ධ වූ තෘෂ්ණාවෙන් බාලවූ භව රෝගියා කිසිම සිහි බුද්ධියක් නැතිව ඉහත කී අපත්‍ය ආහාර තෘෂ්ණාවෙන් අසීමිතව ගිල දමයි.  එවිට භව රෝග කාරක විෂබීජ තුන් වර්ගය ප්‍රබල වී භව රෝගය අසාධ්‍ය බවට පත් කරයි.  අසාධ්‍ය බවේ ස්වභාවය අනුව සතර ආකාර රෝග ලක්ෂණ මොහු තුල පහල වේ.  "ලෝක ධර්මතා" නම් පාලක මණ්ඩලයේ විනිශ්චයට යටත්ව රෝගියා සතර ආකාර රෝහල් වෙත යවනු ලබයි.  තදබල අසාධ්‍ය රෝගීන් යවන මහ රෝහල නම් "නිරය" වේ.  වැඩිපුරම මෙහි යැවෙන්නේ ද්වේෂ විෂබීජ බලවත්ව අසාධ්‍ය වූ භව රෝගීන්ය.  රෝගය අති ප්‍රබල නම් දැඩි සත්කාර ඒකකයට ඇතුලු කරයි.  එය "අටමහ නිරය"යි. 

0 comments: