මෙම බ්ලොග් අඩවිය පිළිබඳව

සම්මා සම්බුදු පියාණන්වහන්සේ වදාළ සත්‍ය වූ බුද්ධ ධර්මය කාලයත් සමග සැගවෙන්නට ඇති ඉඩකඩ වැඩිය. එය ‍එසේ වූ නිසාම ශතවර්ෂ ගණනකින් මාර්ගඵල ලාභීන් බිහි වූ බවක් අසන්නට නොලැබිණි... එහෙත් මග ඵල ලැබ ගෞතම බුදු පියාණන් විවර කල නිවන් දොරටුවෙන් මාර්ගයට පිවිස ඵල ලැබී සැනසීමට නියම වූ ඇත්තන් තවමත් සිටින හෙයින් ඔවුන් සදහා උපකාරයක් වීමට නියම කළ්‍යණ මිතුරාගේ පැමිණීම සිදුවී ඇත. ඒ සැඟවුනු මාවත යලි විවර කරමින්, සැඟවුනු දහම් අරුත් මතු කරමින් සසර දුකින් පෙළෙන ඔබටත් මටත් අනන්ත සසර දුක් සයුරෙන් එතෙර වීමේ ප්‍රයෝගික මග හෙලි කරන අභිඥාලාභී පූජ්‍යපාද වහරක අභයරතනාලංකාර ස්වාමීන් වහන්සේගේ ධර්මානුශාසනා ඇසුරෙන් පලවූ "සැගවුණු බොදු මග කල එලි දකී" යන පොත ඇසුරෙන් මෙසේ සටහන් තබමි!

Oct 11, 2010

පිටුව 121 සහ 122

(පිටුව 121)

බුදු දහමින් සියලු අභිවෘධිය ලබාදෙන ආකාරය
සියලු බොදුනුවන්ට එකම ගුරුවරයෙක් ඇත. එනම් දහම් ගුරුවරයාය. ඒ දහම් ‍දකින මාර්ගය ප්‍රධාන කොටස් දෙකකි. මේ පැවැත්මේ යම් දුකක් හට ගනී නම් එය හටගන්නා ක්‍රමයත් යම් සැනසුමක් අවශ්‍ය නම් එය ලබාගන්නා ක්‍රමයත් පළමු කොටසට අයත්ය. ‍
යම් දුකක් නැති කර ගත යුතු නම් එය නැති කර ගන්නා ක්‍රමය දෙවෙනි කොටසට අයත්ය. මේ ක්‍රම දෙක මගින් සියලු අසහනයෙන්ගෙන් මිදීමට නියම මග දැකගත හැකි වනවා ඇත. යම් දුකක් හට ගන්නවා නම් ඒ හටගන්නා ක්‍රමය දැන ගත්තොත් එය අත් හැර ඒ අසහනයෙන්, ඒ දුකෙන් මිදීමට පුළුවන. මේ දහම් න්‍යායට කියන්නේ පටිච්ච සමුප්පාද දහම් න්‍යාය කියාය. ‍පළමුව පටිච්ච සමුප්පාද යන්නෙහි පද අර්ථ තෝරා ගත යුතුය. එනම් පටි යනු කුමක්ද? ඉච්ච යනු කුමක්ද? සම යනු කුමක්ද? උප්පාද යනු කුමක්ද? මේ අර්ථ දැන ගත යුතුයි.

පටි යනු - බැඳ තබන්නට පාවිච්චි කරන දේවල්ය
ඉච්ච යනු - කැමැත්තයි
සම යනු - සමව නැත්නම් සමානව යන අර්ථයයි
උත්පාද යනු - ඉපදවීමයි
“කැමැත්ත අනුව බැ‍ඳෙ‍න ඊට සමාන හට ගැනීම”  
යනු මෙහි නියම අර්ථයයි. දුක් කරදර වලට මුල හේතු වන කරුණු 3කි. එනම් ලෝභ, ද්වේශ, මෝහ යන තුනයි.
මේ කරුණු 3ට කැමැත්තෙන් බැඳුනොත් ඊට සමානව උපදින්නේ දුක් කරදරයි. අසහනයයි. එසේ නොවෙයි කියන්නට සමතෙක් කිසි තැනක නැත. ලෝකයා සහනය පතා හඹා යන කරුණු 6ක් ඇත. මින් 5ක් මූලිකව 6 වන කරුණ හටගනී. මන වඩන රූප, මන වඩන ශබ්ද, මන වඩන ගන්ධ, මන වඩන රස, මන වඩන ස්පර්ශ යන මේ පස නිසා මන වඩන ධර්ම යන කොටස හිතේ බැසගෙන මානසික අවුලක් ඇති කරයි.

(පිටුව 122)

පටිච්ඡ සමුප්පාද අර්ථ විවරනයක්
අප්‍රමාදී වී මේවායේ එල්බ ගෙන බැඳීමෙන් ඉවත් වීමෙන් අමෘත හෙවත් අම ල‍ැබේ. ප්‍රමාදිව මේවායේ එල්බ ගෙන සිටින විට ඒ අම නම් ශාන්තිය ක්ෂය වෙයි. හෙවත් කා - අම වෙයි. එයට කාම යැයි කියති. මේ පසෙහි එල්බ ගෙන බැඳී හිරවීමෙන් පංච කාම යන දෙය හට ගනී. මේ කාමයෝ ලොවන්නට ගිය විට ඒවායේ එල්බ ගැනීමක් සිදුවේ. මීට කියන්නේ ලෝ අබ්භ හෙවත් ලෝභ කියාය.
මේ පංච කාමයෝ ලබත්ම යම් යම් දේවල එල්බ ගන්නේද ඒවා පහත් අදහස් ඇති අයගේ පොරයට හේතු වූ දේ වෙත්. එසේම කැඩී, බිඳී, විනාශ වන දේවල්ය. කඩා, බිඳ විනාශ කරන දේවල්ය. කොතෙක් ආරක්ෂා සංවිධාන තර කර සිටියත් යම් වි‍ටක කැඩී, බිඳී, විනාශ වී යන දේවල්ය. මේ දේවල් වලට මමය, මගේය යන ආධිපත්‍යය පතුරන්ට ගියහොත් ඉහත කී වැනසීම් වලින් එකකට ලක්විය හැකි දේවල් නිසාම ඊට විරුද්ධව තරඟ කරන්නට, හැපෙන්නට සිදුවනු නොඅනුමානය. ඒවායේ ආස්වාද පසුපස යන්ට ගිය අයට දෙවැනි ඇසුරක්ද කරන්ට සිදුවේ. එනම් ඒවාට විරුද්ධ බලවේග සමග සටනක්ද කරන්නට සිදුවේ. මේ දෙවැනි ඇසුර දුක දාහ සහගතය. වෛර, ‍ ක්‍රෝධ සහගතය. අසහනකාරීය. මේ ස්වභාවයට ද්වේශයයි කියයි.
මේවායේ යථා ස්වභාවය නොදන්න නිසා ඒවා බොහෝම වටිනා ආස්වාදනීය දේ ලෙස නිගමනය කරයි. ආලයෙන් බැ‍ඳෙයි. විරුද්ධව සටන් කරයි. මොන ලෙස කටයුතු කලත් ඒවාට උරුම කැඩීම, බිඳීම, විනාශ වීම හෝ කඩා, බිඳ, විනාශ කර දැමීම හෝ කැඩී, බිඳී, විනාශ වී යාම හෝ වැළැක්විය නොහැකි බැවින් ඒවාට ගොදුරු වන විට හඬයි, වැළපෙයි, ශෝක කරයි, අසහනයෙන් පෙළෙයි. ඇත්ත මුවහ කර මුලාවක බැඳ තබන බැවින් මේවා මෝහ කොටසට වැටේ. ධර්මයේ සඳහන් වන්නේ මේ කාම ආස්වාද පානය කරන හෙවත් බොන දේවල් ලෙසයි. ආස්වාද තෘප්තිමත් කර ගන්නට මේවා සුවය ගෙන නොදේ. ඇසුරු කරන විටම මේ ආස්වාද අවස්ථාව ගෙවී යයි. එහෙත් යළි යළිත් ආස්වාද හොයන විට සිදුවන්නේ ලොවන්නට යාම පමණකි. එවිට සිදුවන්නේ ක්ෂය වීම, කහටගති ඇතිවීමකි. ලොවන්නට ක්ෂය වෙන, කහට ගැන්වෙන බැවින් මේවා ලෝ - ක යන අර්ථයෙන් ලෝක නම්විය. ආර්ය විනයේ ලෝක යනු පංචකාමයට නමකි.

Sep 20, 2010

පිටුව 119 සහ 120


(පිටුව 119)
සෙල්ලම් පොලට උපමා කලේ පංච කාම වස්තුය. මේ පංච කාම වස්තු ඔසවා ගෙන උදම් වීම බාල ගති ඇති පෘතග්ජනයන්ගේ වැඩය. මේ බාල වැඩ තරඟයට බසිමින් ඔසවමින් ගියොත් නිශ්ඵල වැඩ පිලිවෙලක් සමාජයේ බිහිවී කාලකණ්නි සමාජයක් බිහි වන බව හොඳින් දැනගන්නට කියා කල් තබා කළ අනතුරු හැඟවීමකි මේ කවියෙන් පෙන්නුම් කලේ. මෙසේ ලියන මා කෙරෙහි බාල ලෙස හිතන පිරිස් විරුද්ධ වුවත් මෙසේ ලියන්නේ ඒ පිනවතුන් කෙරහි වෛරයකින් නොවේ. අනුකම්පා පෙරදැරිවය. අද මේ බාල සෙල්ලම් පොළේ ලොකුම සෙල්ලම වී ඇත්තේ ක්‍රිකට් සෙල්ලමයි. දිවීම්, පැනීම්, රූප සුන්දරියන්, කුමරවරුන් ආදී ලෙස බෞද්ධ සමාජය පහත් කොට සැලකූ නොහොබිනා ඇඳුම් වලින් සැරසී කරන මෙබඳු වැඩ අද ලෝකයම ප්‍රශංසා කරන ලෙස පිළිගත් දේ බව පෙනේ. මේවාට පෙර ගුණවත් බොදුනුවන් පැවසුවේ සංකර වැඩ කියාය. විදේශ ආක්‍රමණ වලින් පසු යටත් වැසියන් ලෙස අන්‍ය පාලකයන්ගේ අත‍කොළු වූ පිරිස් තත්ව තානාන්තර ලෝභයෙන් විදේශ ගති සිරිත් හිස් මුදුනින් පිළිගෙන රටේ, ජාතියේ, ප්‍රදේශවල නායකයින් ලෙස පෙනී සිටි කලෙක ගුණවත් බොදුනුවන්ට කළ හැකි කිසිවක් නොවන තත්වයක් ඇති විය. ස්ත්‍රීන් වේදික‍ාවේ රඟපාන තරමට ලජ්ජා බිය නැතිවී යන්ට විය. නොයෙක් අපචාර වැඩ වල නීච බව මෙන්ම බෞද්ධ ගුණ ධර්ම වැනසෙන බව දුටු ගුණවත් බොදුනුවන් නාහෙන් අඬමින් මේ අසභ්‍ය වැඩ නවතන ලෙස පිමිණිලි කලේ එදා රටේ සිටි කළු සුද්දන් යැයි කියන සිංහලේ පාලක පිරිසටය. නාඩා ගනිල්ලා යැයි ලැබුන පිළිතුර නිසා අපට ලැබෙන උත්තරය වූ ඒ සංකර වැඩ පිළිවෙල අඬන්නේ නැතිව ගනිල්ලා කියන එකයි. නාඩ ගන්ට කී ඒවාට බොදුනුවන් අන්න නාඩගං ඇවිත් යැයි කියන්නට විය. නාඩගං නටනවා, නඩගං මඩු යන වචන ඒවාට භාවිත විය. ලයාන්විත ගුණ ගරුකත්වයේ මායිම නොඉක්මවූ දරුවන්ට “ළමයි” කියා පෙර ඇමතීය. පොඩි උන් ඒ ලයාන්විත ගුණ ගරුකත්වයෙන් ඈත් වන විට හෙළ බොදුනුවන් එබඳු ලයාන්විත බවේ මායිම ඉක්මවා යන අයුරු දුටු විට කෝ - ළමා යැයි නිතර සංවේගයෙන් කියන්ට වුනි. එබැවින් ඒ වැරැද්ද හෙළයින්ට ලැබුණු පෙර කී කාම මඩෙන් මඩ වූ බැවින් මඩු යැයි කී තැනින් නිසා ඒවා ළමා ගති නැති කරන තැන් නිසා “කෝළම් බඩු” යැයි ඒවාට භාවිත කලේය. ඒ කෝළම් මඩු අද සංගීත සංදර්ශන නමින්ද, සිනමාහල් නමින්ද, නවීන විලාසිතා ලෙස ජනප්‍රියව ඇත. හිස් මුදුනින්න පිළිගත් ලෝභ, ද්වේශ, මෝහ, ‍වැඩ පිලිවෙල අද ගෙදරක් ගෙදරක් පාසා දියත් කරන මඟක් එක්තරා විදියකට පෙට්ටියකින් සිදු කරනු ලැබේ.

(පිටුව 120)
ඒකට කියන්නේ රූපවාහිනී යන්ත්‍රය කියාය. යහපත් දේ සඳහා පමණක් භාවිතා කරනවා නම් ඒ පෙට්ටිය අපූරුය. පෙට්ටිය දැලි පිහිය නම් අසුවී ඇත්තේ විනාශයකටය. පංච කාමයෙන්ගෙන් මුසපත් කරන කාමුක ගීත හැඬීමක් ලෙසත් ඒවාට දෙන වාදනය මොරගෑමක් ලෙසත් සිතන්ට යැයි බුදු පියාණන්වහන්සේ දේශනා කර ඇත. ලොකු පෙට්ටියෙන් නාඩගං ගෙදරට ගෙනවිත් දී ඇති අතර හැඬීමෙන් මොරගෑමෙන් ලක්දිව දෙදරුම් කවන පොඩි පෙට්ටියක්ද සෑම ගෙදරකම පාහේ බොදා හැර ඇත. ඒකට කියන්නේ කැසට් යන්ත්‍රය කියාය. මේවායින් වැදගත් යහපත්දේ කළ හැකි නමුත් ඒවා තුළට රිංගා ඇති පරපෝෂිතයන් නිසා බොදුනු රටේ බොදුනු ඵලදාව දැඩි විනාශකයට ලක්ව ඇත.
එහෙත් රජයේ ආගම නම් බුද්ධාගමය. මෙසේ කියන්නේ කිසිම රජයකටවත්, සමාගමකටවත්, කිසිම නායකත්වයකටවත් අපවාද කරන අදහසින් නොවේ. ශුද්ධ බුදු මග යටපත් කර අර්ථ වසා දැමූ හෙළ අටුවා විනාශ කර දැමූ ආදියේ බුදු සසුන තුළට වැද්ද ගත් ලාමක පිරිසක් නිසා සිදුවූ ඇබැද්දිය නිසා වටිනා නැණ නුවණ ඇති බොදුනුවන්ගේ දහම් දකින නෙත් අඳුරු පටල ගලවා හැර දෑස පාදා ගත්තොත් පෙර මෙන් සි‍රි ලක්බිම සවි සිරින් පිරී යනු නොඅනුමානය. බුදු සසුන බැබලෙන්නේද එවිටයි. සැලෙන හදවත් ඇති වන්නේ යථාර්ථය වටහාගන්ට බැරිවූ විටය. යථාර්ථය නොවැටහෙන්ට වීම ඇරඹෙන්නේ ලෝභ, මෝහ වැඩ පිළිවල් වලිනි. අටලෝ දහමින් කම්පා නොවී තම ප්‍රශ්ණ ධර්ම මාර්ගයෙන් විසඳා සියලු ජය යහපත උදාකර ගත් ආදී ‍ බොදුනුවන්ට අද කර කියා ගත නොහැකි දැවෙන ප්‍රශ්න වැලකට මුහුණ දෙන්ට සිදුවී ඇත. සැලෙන හිතකට කොතෙක් ධර්මය පෙන්නන්ට හැදුවත් අර්ථය රඳන්නේ නැත. සැලීමට ළං කරන්නේ යමකින්ද ඒවාට සෙල්ලං යැයි කියනු ලැබේ. සෙල්ලං වලට තැන දුනනොත් අපගේ සුචරිත පලදාව මදය කුණු වූ ඔපය ඇති ල්ලකින් වැසුණු ගෙඩි ලෙසින් වනු ඇත. ඇස් රතු වුවොත් ඉන් වන්නේ පෙනීමට බාධා පැමිණිමයි. එවිට වන්නේ අනුන්ගෙන් මග අසාගෙන අත පත ගාමින් ගමන් කරන්ටයි. සෙල්ලමට ගියොත් ලෙල්ලම වෙන සැටිත් ඒකෙන් ඇස් රතු වෙන සැටිත් පෙර ආදී මුතුන් මිත්තන් කී කථාව මෙසේ වටහා ගතයුතුයි.