මෙම බ්ලොග් අඩවිය පිළිබඳව

සම්මා සම්බුදු පියාණන්වහන්සේ වදාළ සත්‍ය වූ බුද්ධ ධර්මය කාලයත් සමග සැගවෙන්නට ඇති ඉඩකඩ වැඩිය. එය ‍එසේ වූ නිසාම ශතවර්ෂ ගණනකින් මාර්ගඵල ලාභීන් බිහි වූ බවක් අසන්නට නොලැබිණි... එහෙත් මග ඵල ලැබ ගෞතම බුදු පියාණන් විවර කල නිවන් දොරටුවෙන් මාර්ගයට පිවිස ඵල ලැබී සැනසීමට නියම වූ ඇත්තන් තවමත් සිටින හෙයින් ඔවුන් සදහා උපකාරයක් වීමට නියම කළ්‍යණ මිතුරාගේ පැමිණීම සිදුවී ඇත. ඒ සැඟවුනු මාවත යලි විවර කරමින්, සැඟවුනු දහම් අරුත් මතු කරමින් සසර දුකින් පෙළෙන ඔබටත් මටත් අනන්ත සසර දුක් සයුරෙන් එතෙර වීමේ ප්‍රයෝගික මග හෙලි කරන අභිඥාලාභී පූජ්‍යපාද වහරක අභයරතනාලංකාර ස්වාමීන් වහන්සේගේ ධර්මානුශාසනා ඇසුරෙන් පලවූ "සැගවුණු බොදු මග කල එලි දකී" යන පොත ඇසුරෙන් මෙසේ සටහන් තබමි!

Oct 11, 2010

පිටුව 121 සහ 122

(පිටුව 121)

බුදු දහමින් සියලු අභිවෘධිය ලබාදෙන ආකාරය
සියලු බොදුනුවන්ට එකම ගුරුවරයෙක් ඇත. එනම් දහම් ගුරුවරයාය. ඒ දහම් ‍දකින මාර්ගය ප්‍රධාන කොටස් දෙකකි. මේ පැවැත්මේ යම් දුකක් හට ගනී නම් එය හටගන්නා ක්‍රමයත් යම් සැනසුමක් අවශ්‍ය නම් එය ලබාගන්නා ක්‍රමයත් පළමු කොටසට අයත්ය. ‍
යම් දුකක් නැති කර ගත යුතු නම් එය නැති කර ගන්නා ක්‍රමය දෙවෙනි කොටසට අයත්ය. මේ ක්‍රම දෙක මගින් සියලු අසහනයෙන්ගෙන් මිදීමට නියම මග දැකගත හැකි වනවා ඇත. යම් දුකක් හට ගන්නවා නම් ඒ හටගන්නා ක්‍රමය දැන ගත්තොත් එය අත් හැර ඒ අසහනයෙන්, ඒ දුකෙන් මිදීමට පුළුවන. මේ දහම් න්‍යායට කියන්නේ පටිච්ච සමුප්පාද දහම් න්‍යාය කියාය. ‍පළමුව පටිච්ච සමුප්පාද යන්නෙහි පද අර්ථ තෝරා ගත යුතුය. එනම් පටි යනු කුමක්ද? ඉච්ච යනු කුමක්ද? සම යනු කුමක්ද? උප්පාද යනු කුමක්ද? මේ අර්ථ දැන ගත යුතුයි.

පටි යනු - බැඳ තබන්නට පාවිච්චි කරන දේවල්ය
ඉච්ච යනු - කැමැත්තයි
සම යනු - සමව නැත්නම් සමානව යන අර්ථයයි
උත්පාද යනු - ඉපදවීමයි
“කැමැත්ත අනුව බැ‍ඳෙ‍න ඊට සමාන හට ගැනීම”  
යනු මෙහි නියම අර්ථයයි. දුක් කරදර වලට මුල හේතු වන කරුණු 3කි. එනම් ලෝභ, ද්වේශ, මෝහ යන තුනයි.
මේ කරුණු 3ට කැමැත්තෙන් බැඳුනොත් ඊට සමානව උපදින්නේ දුක් කරදරයි. අසහනයයි. එසේ නොවෙයි කියන්නට සමතෙක් කිසි තැනක නැත. ලෝකයා සහනය පතා හඹා යන කරුණු 6ක් ඇත. මින් 5ක් මූලිකව 6 වන කරුණ හටගනී. මන වඩන රූප, මන වඩන ශබ්ද, මන වඩන ගන්ධ, මන වඩන රස, මන වඩන ස්පර්ශ යන මේ පස නිසා මන වඩන ධර්ම යන කොටස හිතේ බැසගෙන මානසික අවුලක් ඇති කරයි.

(පිටුව 122)

පටිච්ඡ සමුප්පාද අර්ථ විවරනයක්
අප්‍රමාදී වී මේවායේ එල්බ ගෙන බැඳීමෙන් ඉවත් වීමෙන් අමෘත හෙවත් අම ල‍ැබේ. ප්‍රමාදිව මේවායේ එල්බ ගෙන සිටින විට ඒ අම නම් ශාන්තිය ක්ෂය වෙයි. හෙවත් කා - අම වෙයි. එයට කාම යැයි කියති. මේ පසෙහි එල්බ ගෙන බැඳී හිරවීමෙන් පංච කාම යන දෙය හට ගනී. මේ කාමයෝ ලොවන්නට ගිය විට ඒවායේ එල්බ ගැනීමක් සිදුවේ. මීට කියන්නේ ලෝ අබ්භ හෙවත් ලෝභ කියාය.
මේ පංච කාමයෝ ලබත්ම යම් යම් දේවල එල්බ ගන්නේද ඒවා පහත් අදහස් ඇති අයගේ පොරයට හේතු වූ දේ වෙත්. එසේම කැඩී, බිඳී, විනාශ වන දේවල්ය. කඩා, බිඳ විනාශ කරන දේවල්ය. කොතෙක් ආරක්ෂා සංවිධාන තර කර සිටියත් යම් වි‍ටක කැඩී, බිඳී, විනාශ වී යන දේවල්ය. මේ දේවල් වලට මමය, මගේය යන ආධිපත්‍යය පතුරන්ට ගියහොත් ඉහත කී වැනසීම් වලින් එකකට ලක්විය හැකි දේවල් නිසාම ඊට විරුද්ධව තරඟ කරන්නට, හැපෙන්නට සිදුවනු නොඅනුමානය. ඒවායේ ආස්වාද පසුපස යන්ට ගිය අයට දෙවැනි ඇසුරක්ද කරන්ට සිදුවේ. එනම් ඒවාට විරුද්ධ බලවේග සමග සටනක්ද කරන්නට සිදුවේ. මේ දෙවැනි ඇසුර දුක දාහ සහගතය. වෛර, ‍ ක්‍රෝධ සහගතය. අසහනකාරීය. මේ ස්වභාවයට ද්වේශයයි කියයි.
මේවායේ යථා ස්වභාවය නොදන්න නිසා ඒවා බොහෝම වටිනා ආස්වාදනීය දේ ලෙස නිගමනය කරයි. ආලයෙන් බැ‍ඳෙයි. විරුද්ධව සටන් කරයි. මොන ලෙස කටයුතු කලත් ඒවාට උරුම කැඩීම, බිඳීම, විනාශ වීම හෝ කඩා, බිඳ, විනාශ කර දැමීම හෝ කැඩී, බිඳී, විනාශ වී යාම හෝ වැළැක්විය නොහැකි බැවින් ඒවාට ගොදුරු වන විට හඬයි, වැළපෙයි, ශෝක කරයි, අසහනයෙන් පෙළෙයි. ඇත්ත මුවහ කර මුලාවක බැඳ තබන බැවින් මේවා මෝහ කොටසට වැටේ. ධර්මයේ සඳහන් වන්නේ මේ කාම ආස්වාද පානය කරන හෙවත් බොන දේවල් ලෙසයි. ආස්වාද තෘප්තිමත් කර ගන්නට මේවා සුවය ගෙන නොදේ. ඇසුරු කරන විටම මේ ආස්වාද අවස්ථාව ගෙවී යයි. එහෙත් යළි යළිත් ආස්වාද හොයන විට සිදුවන්නේ ලොවන්නට යාම පමණකි. එවිට සිදුවන්නේ ක්ෂය වීම, කහටගති ඇතිවීමකි. ලොවන්නට ක්ෂය වෙන, කහට ගැන්වෙන බැවින් මේවා ලෝ - ක යන අර්ථයෙන් ලෝක නම්විය. ආර්ය විනයේ ලෝක යනු පංචකාමයට නමකි.

0 comments: