මෙම බ්ලොග් අඩවිය පිළිබඳව

සම්මා සම්බුදු පියාණන්වහන්සේ වදාළ සත්‍ය වූ බුද්ධ ධර්මය කාලයත් සමග සැගවෙන්නට ඇති ඉඩකඩ වැඩිය. එය ‍එසේ වූ නිසාම ශතවර්ෂ ගණනකින් මාර්ගඵල ලාභීන් බිහි වූ බවක් අසන්නට නොලැබිණි... එහෙත් මග ඵල ලැබ ගෞතම බුදු පියාණන් විවර කල නිවන් දොරටුවෙන් මාර්ගයට පිවිස ඵල ලැබී සැනසීමට නියම වූ ඇත්තන් තවමත් සිටින හෙයින් ඔවුන් සදහා උපකාරයක් වීමට නියම කළ්‍යණ මිතුරාගේ පැමිණීම සිදුවී ඇත. ඒ සැඟවුනු මාවත යලි විවර කරමින්, සැඟවුනු දහම් අරුත් මතු කරමින් සසර දුකින් පෙළෙන ඔබටත් මටත් අනන්ත සසර දුක් සයුරෙන් එතෙර වීමේ ප්‍රයෝගික මග හෙලි කරන අභිඥාලාභී පූජ්‍යපාද වහරක අභයරතනාලංකාර ස්වාමීන් වහන්සේගේ ධර්මානුශාසනා ඇසුරෙන් පලවූ "සැගවුණු බොදු මග කල එලි දකී" යන පොත ඇසුරෙන් මෙසේ සටහන් තබමි!

Dec 30, 2010

පිටුව 139 සහ 140

(පිටුව 139)
අනාදිමත් අතීතයේ පටන් ගොඩනගා ගත් ආත්මීය දෘෂ්ටියෙන් සම්මත කර ගත් රූප රූප, ශබ්ද රූප, ගන්ධ රූප, රස රූප, ස්පර්ශ රූප සහ මනෝ රූප යන සම්පිණ්ඩනයන්හි මතකයන් තුලින් පෙර පටන් සසර ගමන් කර ගෙන එන සත්වයෙක් දකියි. දුක් විඳපු හැටි ආකාර දකියි. සැප විඳපු හැටි ආකාර දකියි. වර්තමාන ජීවත් වෙන දුක් සැප විඳින සත්වයෙක් දකියි. මතු අනාගතයේදී එබඳු ලෙස ජීවත්වීමේ පැවැත්මේ සත්වයෙක් ගැන බලාපොරොත්තු වෙයි. මෙසේ අතීත, අනාගත, වර්තමාන ආත්ම දෘෂ්ටියෙන් ගත් රූප ස්කන්ධයටයි සත්වයෙක් ලෙස බැඳී ඉන්නේ. එබදු ආත්මීය ලෙස ගොඩ නගා ගත් රූප මාත්‍ර සම්පිණ්ඩන පිළිබඳ ගොඩ නගා ගත් රූප ස්පර්ශයෙකුයි ස්පර්ශ කරන්නේ. ගොඩ නැගූ රූප ස්පර්ශයම මනසින් කැටි කර ගත් ආකාර පොදි බැවින් ඒවා දැනෙන්නේද ගොඩ නගා ගත් ආකාරයටමයි. ඒවාද දැනීම් මාත්‍ර ඒකක නොව මනසින් ගොඩ නගාගත් ආකාර දැනෙන ස්වභාවයන්ය. එබැවින් මෙබන්දක් දැනුනා, වින්දා ආදී වශයෙන් සම්පිණ්ඩන දැනීම් කඳක් ගොඩ නගා‍ ගන්නේ සත්ව සම්මුතියේ වේදනා ස්කන්ධ ගො නැගෙන්නේ මෙහෙමයි. ගොඩ නගා ගත් ආත්මීය පොදි ඒකක දැනුන ආකාරයටයි හැඳිනීම් පොදිද ‍දරාගන්නේ. ඒවයින්ය සංඥා ස්කන්ධය ගොඩ නැගෙන්නේ. මනසින් ගොඩ නගාගත් ආකාර පොදි ඒ මුලාව අත නොහැර ආත්මීය ඒකක ලෙසම දැන, හැඳින ඒ ආත්මීය ලෙස ගොඩ නගා ගත් මනෝ පොදිවල ප්‍රියමනාප, අප්‍රිය මනාප ඇති කරගෙනයි එබඳු දෘෂ්ටියෙන්ම ලෝකයකම ඉදිරි පැවැත්මකට බැඳී සකස් කිරීම් ක්‍රියාවලිය නිපදවන්නේ. ඒ ලෙසයි සංඛාර ස්කන්ධය සෑදෙන්නේ. මෙසේ මුලාවෙන් ගොඩ නගා ගත් ලෝකයක අවිද්‍යා, තෘෂ්ණාවලින් බැඳිලයි යළි යළි පැවැත්විය යුතුයි. මෙය මෙසේ විය යුතුයි, මෙය යහපතයි, මෙබඳු දේට විරුද්ධ විය යුතුයි ආදී නොයෙක් අදහස් ගොඩ නගමින් විඤ්ඤාණ ස්කන්ධය ගොඩ නැගෙන්නේ. දැන් තේරුම් ගත යුත්තේ පංචස්කන්ධය හෙවත් සත්ව ලෝකය යැයි අප ඇලුම් කලේ සතර මහා භූත ක්‍රියාවලිය ඇති බාහිර ලෝකයකට නොව ඒ තුළින් ගොඩ නගාගත් ආත්මීය දෘෂ්ටි සහගත ලෝකයකට බවයි. විඤ්ඤාණයයි ලෝ සතුන් අතර හඳුන්වන්නේ මෙසේ ‍ගොඩ නගන මුලා දැකීම්, දැනීම් සහිත විකෘති චිත්ත මුලවකටයි.

(පිටුව 140) 
යම් විටෙක මේ ධර්මතාවයන්ගේ නියම තත්වය දහම තුලින් වටහා අත්දැකීම් සහිතව නිසි තතු දකින ප්‍රඥාව පහළ වේද එදාට විඤ්ඤාණ මුලාව ගිලිහී යයි. දැන් ඉතිරි වන්නේ සත්‍ය සත්‍යාකාරයෙන් දකින න්‍යාය වන ඤාණයයි. චක්ඛුං උදපාදි යන දහම් ඇස පහළ වන විට විඤ්ඤාණ මායාව දුරු වී ඤාණං උදපාදි යන දහම් ඇස පහළ වන විට විඤ්ඤාණ මායාව දුරු වී ඤාණං උදපාදි වනු ඇත. මෙතැන් පටන් මුලා දැකීම දුරු වුවත් අනාදියේ පටන් එල්බ ගත් මුලා හැඟුම එක විට දුරු නොවේ. නැවත නැවත දහම් සිහි කරන විට ක්‍රමයෙන් මුලා හැඟුමද දුරු වෙමින් පඤ්ඤා උදපාදි යන ප්‍රඥාව පහළ වේ. එවිටයි ඇලීම් ගැටීම් දුරු වූ සමාධියට ගෝචරව යථාර්ථය විනිවිද දකිමින් විජ්ජා උදපාදි හෙවත් විද්‍යාව පහළ වන්නේ. එවිටයි පංචස්කන්ධ සංඛ්‍යාත ලෝකය අත් හැරී අලෝක හෙවත් ආලෝක වන්නේ. ආලෝකෝ උදපාදි වන්නේ. දැන් අවිද්‍යා, තෘෂ්ණා මුලාවෙන් ආරම්භ වූ මුලා සහගත සංඛාර නිසා මුලා සහගත විඤ්ඤාණ සැකසෙන අයුරු දුටුවෙමු මෙයයි සංඛාර පච්චයා විඤ්ඤාණං කීවේ. අපි දැන් මෙසේ සිතමු. බේබද්දෙක්, හොරෙක්, මංකොල්ල කාරයෙක්, කේළමෙක්, ජඩයෙක්, ගුණවතෙක්, දැනුමැත්තෙක් මේ වගේ අය මව් කුසෙන් උපන් ළදරුවන් කෙරෙහි දැකිය හැකිද? ඉතාම කලාතුරකින් මේවාට හේතු සසරින් උරුමව උපදින්ට පුළුවන. අනිත් බොහේ අය මිනිස් දරුවන් පමණකි. මේ මිනිස් දරුවා ගැටවර හෝ තරුණ වයටට පත් වන තුරුත් බේබද්දා යැයි හඳුන්වන්නට හේතු කාරකයෙක් නොවන්නට පුළුවන. ගැටවර වයසේදී මෙබඳු මිතුරන් සමඟ එක් වන්ට සිදු වූවොත් ඔවුන් ඔහුද කැටුව තානායම් වල හැසිරෙන්ට, බීමත්ව පාටි දමන්ට ක්‍රමයෙන් ඇද ගනී. මුලදී බොහෝම ලැජ්ජා සහගතව අකැමැත්තෙන් නමුත් මේවාට සහභාගි වේ. නවීන පන්නයට හැඩ නොගැසුනොත් ගොඩයා ආදී අපහාස නම් වලින් අපවාද කරමින් බීමත්කම මහ ඉහළ කටයුත්තක් සේ හඟවමින් ඒ අයගේ ඇසුරට ලංකර ගනී. බෑ කියද්දී උගුරක් හෝ බීපන් යැයි මුලදී පොළඹවයි. කලක් ඔවුන් ඇසුරු කර බීමත් බවට පෙලඹ වූ විට ක්‍රමයෙන් එය සාමාන්‍ය දෙයක් වෙයි. තව කල්යන විට ඔහු තම මුදල් පසුම්බියද හිස් කර ගනිමින් තම වුවමනාවෙන්ම බීමට ඇබ්බැහි වේ. පෙර මෙන් නොව දැන් බීමත්ව හැසිරෙන්ට ඔහුට හිතක් ඇතිවේ. හිත යැයි යමක් උපන් ළදරුවාටද තිබින. එහෙත් ඒ සිතෙන් මත් පැන් ගැන හිතන්ටවත් අවශ්‍යතාවයක් නොතිබින, දැන් ඔහුගේ සිත පෙර මෙන් නොවේ. මනස වෙනස් ආකාරයක් ගෙන ඇත. සිදු වූයේ ඇසුර නිසාම බේබදු විඤ්ඤාණයක් පහළ වීමය.

Dec 22, 2010

අම්මාගේ උපන්දිනයදා... මා පිදූ උපහාර...


අම්මේ මෙසසර කතරේ මම දුක            දුටි මි
ඒ දුක් නසන්නට මුලු වැර දැන්          යොද මි
අම බුදු මෑණියන් දුන් මග ලැබ            ගති  මි
කතරක අතරමං වී නැති බව                දනි  මි

ඔවදන් දෙමින් ලොව ජය ගැනුමට අත          දුන් නේ
ඔබේ ආසිරි සිතයි මට නිති සවි                   දෙන් නේ
ඒ යුතුකම් හැඳින නිසි කල ඉටු               කරමින් නේ
හැකි උපරිම වෙර යොදමි ඔබ නිති         සනසන් නේ

කෙලවර නොමැති සසරක අප දැන           හැඳින  ඇත
නන් රූ මවාගෙන නිති අප                          හමුව  ඇත
සසරේ පුරුදු සෙනහස කිසි අඩුවක්              නො  මැත
මවකට දුවක් ලෙස ඔබ මා                          හමුව  ඇත

දරුවන් නිති පුදයි මව් පිය දෙපල                          සදා
ලෝකෙම තියෙන සැප දෙන්නෙමි ලෙසින්           හදා
අත්බැව් හතක් කරමත මේ ලෙසින්                       බදා
යුතුකම් කලත් නොගෙවෙයි ණය මෙලෙස           පුදා

බුදු හිමි දෙසූ දම් නම් බෝ අරුත්                 ඇත
මවකට සුදුසු උපහාරය පෙන්වා                  ඇත
ලෝකෙම පුදනටැයි ඔවදන් කිසිත්             නැත
සුදුසුම මඟ දීම සුදුසුයි දුක්                  නො මැත

ඒ මඟ දැක දැකත් නුවණින්                    හැමදා ම
කෙලෙසින් ඔබට මම දෙන්නද දුක            බෝ ම
ඔබ තුටු කලත් මොහොතක් ඒ              සැප කා ම
එය දුක් දෙන බව දනිමි සසරේ                හැමදා ම
 
අඹු සැමි දරුවන් බෝම නෑ සිය                 මිතු රන්
වටකොට රකින ලෝකය සේ මුතු            මිණි රන්
කෙලෙසින් අතහරින්ද මම මේ           ලෝකය රන්
දරුවෝ මට නිවන බෝ දුර බව                දැන ගන්

නිති එලෙසින් බස් දොඩා මඟ හැරගෙන            සුව දම්
අම්මේ ඔබ පතන ලෝකය නැත                      සුව නම්
යම් දින දහම් ඇස ඔබ ලබනේ                         වේ නම්
දැක ගත හැකිවේවි නිසි තතු ලෝ                     මන රම්

ලෝකය දුකයි ගිනි වේ සැම අප දැවෙනුය             කීවත්
සහනය නොමැත අසහනයම වේ                           කීවත්
නිවනම සුවයි ඒ සුව විඳපන්                                  කීවත්
කෙලෙසද අතහරින්නේ කම් සැප කව්රුන්            කීවත්

අම්මේ අනේ මේ ලෙස නම්                  නොසිතන් න
පස්කම් සැපය මර උඟුලකි                        දැනගන් න
දුන්නත් සුවය මොහොතකි අප                    රවටන් න
රැවෙටෙනු එපා සසරේ දුක                        දැකගන් න

ඔබේ දියණිය ලෙසින් ඔබ වෙත                පුද දෙන් න
නැත ලෝ දහම ඔබ හට තව                     දුක් දෙන් න
ලෝ තතු දත් නිසාවට දම් දැක                   නුවණින් න
පවසමි ලෝ දුකෙන් මිදෙනට                  මඟ පාදන් න

ලස්සන මධුර දේ මොහොතක                 සුව දෙන් නේ
මේ කියමන නිතර අප සවනට                යොමුවන් නේ
අර්ථය දැනගැන්ම නිසි                           මඟ පාදන් නේ
නුවණින් එයම විමසනු මැන                  සැනසෙන් නේ

මමයැයි මගේයැයි කියමින් වටිනාකම්                            දීම ට
නිතරම සොයන්නේ වටිනා දේ නොවැ ගොඩ             වැඩුම ට
වැඩි වෙන විටදි වටිනාකම් වඩමින් ගොඩ                   අප හ ට
සතුටින් පිරී යයි අප සිත නැත දුක                               අප හ ට

වටිනාකම් දුන්න මම මගේ සියලු                               දෙ නා
රැකගනු නොහැකි වූවෙන් ඒ වටින                               ද නා
මගෙ යැයි මැනගත්ත වස්තුත් නිති                        කැඩෙ නා
දුකෙහිම ගිලී පීනයි තතු                                  නොදැන ද නා

ගිලිහී යන විටදි වටිනා දේ                               අපගෙ න්
ගිලිහී යෑම වේ සහනය ඒ                                   සමඟි න්
අසහනය දවටාගෙන අප සැම                            අතකි න්
සහනය සොයයි කරනට බැරි දේ                        කරමි න්

මම මගේ කරගත්ත වස්තුව සැම                         විමසන් නේ
ඒවායේ සැබෑ තතු නුවණින්                               දැකගන් නේ
වස්තුවේ සැබෑ වටිනාකම                                  දැනගන් නේ
මෝඩයෝ ලෙසින් කලකම් සැම                       දැකගන් නේ

කැඩෙන දේ කැඩී කඩමින්                                වියැකෙන වා
බිඳෙන දේ බිඳී බිඳමින්                                           බිඳලන වා
හටගත් සියලු දේ වැනසී                                    නැතිවෙන වා
මේ දම් නොදැක ඒ ඇසුරේ                                 වියැකෙන වා

කැඩෙන දේ කැඩෙන එක ලෝ දහමයි                            හැඳි න
බිඳෙන දේ බිඳෙන එක වලකනු බැරි බව                          හැඳි න
කැඩෙන බිඳෙන වැනසෙන දේ මගේ යැයි                  නොගෙ න
සිටියොත් නියම තතු දැන දුක නොම එයි                    දැනගන් න

වටිනාකම් දෙමින් මම මගේ ලෙස                         මැනගන් න
අපේ මනසමයි මුල්වුනේ අනෙකෙකු නොව           දැනගන් න
මායා මුලාවක මෙලෙසින් අප                                   රඳවන් න
මර උඟුලට බැන්ද පෙම දැනගෙන                        ගැලවෙන් න

බෝ කවි ලියා ඔබ වෙහෙසට නොම පත්                        කර මි
හැකි ලෙස නිසි තතු මෙලෙස සටහන්                             තබ මි
සැනසුම ලබන්නට නම් එක මඟයි                                     හි මි
ඒ මඟ දෙසන්නට මම නිති සැරසී                                    සිටි මි

අම්මේ ඔබට දෙන මේ දම්                                           උපහා ර
ඔබ තුටු කරන්නෙම්දැයි නොදනිමි                                මෙව ර
ලෝ තතු දැනගත් නිසා දහමින් ලැබ                            නිසි පාර
අන් කිසි නිසි දෙයක් නැත දුටුවෙන්                        සේනා මා ර

ඔබ මට පිදු නිසා ලෝ මඟ යහපත්                                  දේම
මම ඔබහට පුදමි විශ්වයේ යහපත්                                  දේම
ඔබ පිදු ඔවා මා නිති පිලිගත්                                          සේම
පිලිගනු මැන මෙදම් උපහාරය                                        සෑම

ඔබෙ දුක් ගිනි කතරට වසිනා අම වැහි පොදක්                වෙලා
අම්මේ ඔබව මුදවන අරි මඟක්                                       වෙලා
ඔබ මඟ වඩින්නම් නිවනට නැත මා පමා                        වෙලා
කහවත නොදැරුවත් නිසි දම් නොම අඩුවක්                     වීලා

මතු මතු භවයේ ඔබ මගේ මව ලෙස                                    වේවා
මා ඔබේ දියණිය ලෙසින් අප නිති හමු                                 වේවා
එලෙසට දිගු සසර දෙන අනුවණ පැතුමන් තව නොම             වේවා!
නුවණින් යථා මඟ දැන දුක කෙලවර                                  වේවා!

මොහොතක් දුක ඔබට ලැබුණත් ඒ                      පැතුමෙ   න්
අම්මේ නුවණ වෙහෙසා විමසන්                             සතුටෙ න්
අනිසි දේ ඇසුරු කොට ලබනා දුක                       මෙලෙසි න්
හරයක් නැතේ අනාථ බව බෝ                             නිසැකෙ න්

අම්මේ ඔබට අනාථ බව නොම                            වේ වා!
රැවටුනු සිතට ලෝ නිසි තතු                          වැටහේ වා!
නුනුවණ කම මකා නුවණින්                         ජය වේ වා!
කම් සැප කුමට අම නිවනක                         සැප වේ වා!
උතුම් වූ ශාන්ත වූ ප්‍රණීත වූ අමා මහ නිවන් සුවය බෝ දුර නොවේවා!
තිසරණ සරණ ලැබ නිවනින්ම සුවපත් වේවා!
දියණිය රජිතා!

Dec 10, 2010

පිටුව 137 සහ 138

(පිටුව 137)
එසේ නොවුනහොත් අතීත, අනාගත, වර්තමාන, සම්බන්ධ කර විඤ්ඤාණ ස්කන්ධයක් දේශනා කරන්ට හේතුවක් නැත. භංග වන විඤ්ඤාණ අයිති වන්නේ නාම ගෝත්‍රයන්ටය. මතු හට ගන්ට හේතු කාරක ඇති තවම ක්‍රියාකාරීත්වයට නොපැමිණි එහෙත් මතු ටහ ගන්ට කර්ම ශක්තියේ හේතු ශක්තිය පවතින ඒවාද විඤ්ඤාණ ස්කන්ධයට අයිතිය. එබැවිනි විවරණ ලබන මහ බෝසතාණන් වහන්සේලා ඇරබ මතු මෙබදු කල්පයක, බෙමදු නමින්, මෙබදු ගොත්‍රයක මෙසේ ඉපිද බුදු වෙනවා යැයි දේශනා කල හැකි වන්නේ, පාරමිතා ශක්තියේ අනාගත අඩිතාලම කල්ප ගණනකට පෙර සිටම සකස් වී ඇති බැවින් එය විඤ්ඤාණ ස්කන්ධයට ඇඳී ඇති බැවිනි. බොරු නොවන බුද්ධ භාෂිතයකින් එසේ පවසන්නේ. චිත්තක්ෂණයක් විග්‍රහයට ගත් විස්තර වලින් ස්කන්ධයක් මනිනට යාම නිසා මෙකල නොයෙක් මතභේද පවතින බව පෙනේ. අතීත, අනාගත, වර්තාමන සත්ව පැවැත්ම මෙසේ සම්බන්ධ වන්නේ කර්ම ශක්තියේ සහ නාම ගෝත්‍රවල සම්බන්ධතාවයෙනි. සත්වයා යනු ක්ෂණයකට සීමා කළ හැක්කේ නොවේ. සත්වයා පෙන්වන්නේ පංචස්කන්ධ සංඛ්‍යාත ලෝකය යනුවෙනි. ස්කන්ධ පහම අතීත, අනාගත, වර්තමාන වශයෙන් තුන් කාලය හා සම්බන්ධය. එබැවිනි සත්වයා අතීතය සිහිකරන්නේ, වර්තමානයක් ලෙස පනවා ගන්නේ, අනාගත බලාපොරොත්තු සහිත වන්නේ. අභිධර්ම කරුණු වලට වැරදි ලෙස අර්ථ කථන දුන්විට ගෙවී ගිය අතීතය අතහැර, නොපැමිණ වර්ථමානය මෙනෙහි කරන්නට ක්‍රමයක් නැතිවීමෙන් සිතිවිල්ලක් තේරුම් ගත හැකි කිසිවෙක් ලොව විද්‍යාමාන නොවෙනු ඇති. ත්‍රිපිටක ධර්ම රත්නය නොවෙයි පැටලිලි සහිත වන්නේ. ඒවාට පසුව දුන් අර්ථ කථනයි. චිත්තක්ෂණය නම් ඒකකයක් පමණක් ඇසුරු කර කිසිම දැනීමක්, ‍හැඟීමක්, ආස්වාදයක් මේ මේ යැයි නිගමනය කළ නොහැක. ලෝ සතුන් ආශාව, තණ්හාව ඇති කර ගන්නේ චිත්තක්ෂණය පොදි වලිනි. දැනීම්, හැඳිනීම්, ප්‍රියමනාප, අප්‍රිය, අමනාප, තණ්හා ආදී සියල්ල පහළ වන්නේ අතීත, අනාගත, වර්තමාන යන තුන් කල්හි අරමුණු කරන චිත්තක්ෂණ පොදි වලිනි. මිහිරි සංගීතයක්, ප්‍රියමනාප රූප ශෝභාවක්, ‍මනාප රසයක් ඇසුරු සැනක් කෝටි ලක්ෂයකට බෙදා පංගුවක කාලයකදී ලබන්නේ කවුද? මේ ආස්වාදජනක හැඟීමක් පහළව හිත ඇලී යන්නේ අඩු තරමින් තත්පර තිහකවත් කාල ප්‍රදේශයක සිදුවන චිත්ත පරම්පරාවක් සම්පිණ්ඩනය කර ආශාවෙන් බැඳීමෙනි. මොහොතක් පාසා ක්‍රියාකාරීව ගෙවී යන ක්ෂණික අතීතයක හැඟීම් රටා පිළිබඳ මතකයන් මනිසන් ගොනු කර ඒවා ඒකක වශයෙන් ආත්මීය හැඟීමෙන් බදාගෙනයි හැඟීම්වලට හිත පිහිටුවා ගන්නේ.

(පිටුව 138)
අප්‍රමාණ චිත්තක්ෂණ පොදිවල ක්ෂණික අතීත මතකයන් පොදියක් එකක් ලෙස ගන්න බැවින් මෙබඳු දැනීමක්, මෙබඳු හැඟීමක්, මෙබඳු රසයක් අත් දැක්කායි සිතින් සකස් කර ගත් මුලාවකටයි ‍ලෝ සතුන් ආශා බැඳගන්නේ. කාලය සමග නිරන්තරයෙන් මේ ක්ෂණික මතක පොදි අතීතයට යයි. ක්ෂණික අතීත මතක පොදි කියන්නේ ක්‍රියාත්මක මාත්‍රයක් පාසාම කාලය සමග අතීතයට යන ඉතාම ලඟ කාලපරිච්ඡේදයක සටහන් පොදි වලටයි. ඒ ක්ෂණික අතීත මතක පොදිවල යළි යළි අරමුණු කළ හැකි ප්‍රබලතාවය නිසා ප්‍රිය, මධුර, අප්‍රිය, අමධුර, ස්වභාව තදින් අරමුණු වෙනවා. එවිටයි ප්‍රියයි, මධුරයි කියලා එහි ඇලෙන්නේ. නැත්නම් අප්‍රියයි, අමධුරයි කියලා එහි ගැටෙන්නේ. දැන් වැටහෙනවා අතීත මතක සටහන් පොදි කර ඒවා ඒකීය සත්ව, පුද්ගල, ද්‍රව්‍ය, වස්තු ලෙස මනසින් ගොඩ නගා ගත් ස්වභාවයකට ලෝකය කියන බව. මේ තමයි සත්වයාය කියන ආත්ම දෘෂ්ටියෙන් ගොඩ නැගුනු ලෝකය. ඇසින් බලා ඇස කරා එන අප්‍රමාණ දැනීම් ඒකකවල ක්ෂණික අතීත මතක සටහන් පොදිවලට අපිම නම් ගොත් සටහන් කරගෙන, මෙබඳු රූප මම දකිනවා කියා දෘෂ්ටි ගනියි. කනින් අසා අප්‍රමාණ ශබ්ද මාත්‍රවල ක්ෂණික අතීත මතක සටහන් සම්පිණ්ඩ‍නයන්ට මෙබඳු ගන්ධයන් යැයි ආත්ම දෘෂ්ටියෙන් ගන්ධ රූප ගොඩ නගා ගනියි. නාසයෙන් ආඝ්‍රාණය කරන ගන්ධ පිළිබඳවූ ක්ෂණික අතීත දැනීම් ඒකක පොදි එකක්, එකක් ලෙස නිගමනය කර මෙබඳු මෙබඳු ගන්ධයන් යැයි ආත්ම දෘෂ්ඨියෙන් ගන්ධ රූප ගොඩ නගා ගනියි. දිවට දැනෙන රස මාත්‍ර ඒකක අප්‍රමාණයක ක්ෂණික අතීත දැනීම් ඒකක පොදි එකක්, එකක් ලෙස නිගමනය කර මෙබඳු මෙබඳු රස වර්ග කියා ආත්ම ලෝකයක් ගොඩ නගා ගනියි. කයට දැනෙන ස්පර්ශ මාත්‍ර කෝටි ගණන්වල ක්ෂණික අතීත දැනීම් ඒකක පොදි එකක්, එකක් ලෙස ආත්ම දෘෂ්ටියෙන් නිගමනය කර මෙබඳු ස්පර්ශයැයි නම් තබා ගෙන ස්පර්ශ ආත්ම ලෝකයක් ගොඩනගා ගනී.  මෙ‍සේ ගොඩනගාගත් ආත්ම ලෝකයට තබාගත් නම් ගොත් මනසින් දරාගෙන ආත්මීය මනෝ ලෝකයක් ගොඩනගා ගනියි.

Dec 7, 2010

පිටුව 135 සහ 136

(පිටුව 135)
ස්කන්ධ - කු - මාර හෙවත් ස්කන්ධ කුමාර දෙවි කෙනෙක් වෙන්ට කැතමිය. ඝනයක් හෙවත් සමූහයක් සමගියෙන් එක් කර තබන ක්‍රියා පිළිවෙතට අකමැතිය. ඝන දේව වෙන්ට කැමතිය. යස ඉසුරු මහත්වයට හේතු වන සත් ගුණ මාර්ගයට අකමැතිය. ඊස්වර දෙවි කෙනෙක් වෙන්ට කැමතිය. පති වෘතාව රකිමින් සමාජ පෝෂණයට හේතු වන කිරි උපමා කළ සාර ධර්මවල පිහිටන්නට කියා දෙන්ට අකමැතිය. පත්තිනි දේවියක් වෙන්ට කැමතිය. ගුණ ධර්ම වලින් ප්‍රජාව පාලනය කෙරෙන දරු පරපුරක් බිහි කරන්නට අකමැතිය. ප්‍රජාපති දෙවඟනක් වෙන්ට කැමතිය. ශ්‍රියාව පහළ වන සුචරිත කුල කාන්තාවක් වෙන්ට අකමැතිය. ශ්‍රියා කාන්තා දෙවඟනක් වෙන්ට කැමතිය. සාර ධර්ම කූ කරන හෙවත් පහත් කොට සලකා ක්‍රියා කරන කුමාර කටයුතු වලට අකමැතිය. කුමාරයෙක් ලෙස පැසසුම් බලන්ට කැමතිය. උසස් ගුණ ධර්ම මැන උස්සා ගන්න අකමැතිය. මනුස්ස වෙන්ට කැමතිය. මෙසේ ලොව යහපත් යැයි සම්මත දේට, ඒවා ලබන හේතුවට අකමැතිව කෙනෙක් පැතුවත් යාච්ඡා කළත් යහපත් ලෞකික සම්පත් ලබන්ට නියම මගක් නැත. යමෙක් මේ ලොව පැවැත්ම තුල ඉහත කී යහපත් හෝ අයහපත් දේට නැමී කරන ක්‍රියා, කියන කථා, සිතන සිතිවිලි ඇසුරු කරන, භාවිතා කරන, බොහේ කොට ඇසුරු කරන විට ඊට අනුකූල සිත් පහළ වීම ධර්මතාවයකි. හොඳට නරකට යන දෙකටම එසේය.  උපතේදී බොහෝ විට ළදරුවෙකුට තිබෙන්නේ දැනෙන බව සහ ඒවාට ප්‍රතිචාර දක්වන්ට පහළ වන සිත් පෙලකි. බොරුවට, වංචාරවට, කපටිකමට, අසත්පුරුෂ කමට හෝ ගුණයට, සත්පුරුෂ බවට, යහපතටහෝ නැමුන සිත් පහළ වන්නේ උපතින් පසු කියන, කරන, සිතන, ආකාරය අනුව පහළ වූ සිත් පෙලවල් වලිනි. යම් යම් පහත් හෝ උසස් ගති ලක්ෂණ ඇති චිත්ත ස්වභාව පහළ වන්නේ හිතන, කියන, කරන දේට අනුවයි. ඤාණ යනු න්‍යාය ධර්ම පිළිබඳ දැනීමයි. අවිද්‍යාවෙන් මුලා වී ආශාවන්ට වහල් වී කටයුතු කරන විට න්‍යාය ධර්ම පිළිබඳ දැනීම වෙනුවට විකෘති දැනීමක් හටගනී. ඒවාටය විඤ්ඤාණ කියන්නේ. අප දුක, මුලාව ඇදගෙන යන්නේ, මතු මතු භව වලට ඇද දමන්නේ අවිද්‍යාවෙන්, මුලාවෙන් ඒ ඒ න්‍යාය ධර්ම නොවැටහෙන ලෙස සිතිවිලි, ක්‍රියා, වදන් තුළින් නැගුන විඤ්ඤාණ වලිනි. ලෝකයට ඇලුම් කරමින් පහළ වන කෙබඳු ගතියක් නමුත් මේ විඤ්ඤාණ සමග යෙදේ.
(පිටුව 136)
අප ‍භයානක ලෙස, මුලාවක් ලෙස, දුකට හේතු කාරකයක් ලෙස දැන අත් හල යුත්තේ අවිද්‍යා ප්‍රත්‍ය වූ සංඛාර නිසා හටගන්නා විඤ්ඤාණයන්ය. විඤ්ඤාණ ගැන සඳහන් කරන අටුවා වල පටිච්ච සමුප්පාද ධර්මයේ විඤ්ඤාණං යනු පටිසන්ධි විඤ්ඤාණය යැයි සඳහන් කර ඇත. මේ බුද්ධ දේශනාවල අර්ථය එසේ දී ඇත්තේ පසුකාලීන ආචාර්යවරුය. එහෙත් විභංග ප්‍රකරණයේ පච්චයාකාර විභංග නම් කොටසේ මෙය තෝරා ඇත්තේ“තත්ථ කථමං විඤ්ඤාණං, චක්ඛු විඤ්ඤාණං, සෝත විඤ්ඤාණං, ඝාන විඤ්ඤාණං, ජිව්හා විඤ්ඤාණං, කාය විඤ්ඤාණං, මනෝ විඤ්ඤාණං අයං වුච්චති සංඛාර පච්චයා විඤ්ඤාණං” යනුවෙනි. මෙසේ සකස් වන විඤ්ඤාණ ස්කන්ධය හේතු කොට ගෙන පටිසන්ධි අවස්ථාවේදී වඤ්ඤාණයක් පහළ වීම වනු ඇත. එයද විඤ්ඤාණ සහිත ලෝකවල පටිසන්ධියකදීය. විඤ්ඤාණ සහ විඤ්ඤාණ ස්කන්ධ යනු වෙනම තේරුම් ‍ගත යුත්තකි. සූත්‍ර පිටකයේ දේශනාවල විඤ්ඤාණ ස්කන්ධය දේශනා කර තිබෙන්නේ චිත්ත මාත්‍රයක් ලෙස නොවේ. අතීත, අනාගත, වර්තමාන, සියුම්, ඝන, දුර, ළඟ, හීන, ප්‍රනීත විඤ්ඤාණ යැයි මේ සම්පිණ්ඩනයක් වේද එය විඤ්ඤාණ ස්කන්ධයයි යනුවෙනි. යම් සංස්කාරයක් ක්‍රියාත්මක ‍වන මොහොතේම ඊට අදාල විඤ්ඤාණ ක්‍රියාත්මක වේ. සංඛාර පුණ්‍ය වේද විඤ්ඤාණ පුණ්‍ය වේ. සංඛාර අපුණ්‍ය වේද විඤ්ඤාණ අපුණ්‍ය වේ. සංඛාර ආනෙන්ජාභි වේද විඤ්ඤාණ ආනෙන්ජාභි වේ. ආදී ලෙස සූත්‍ර පිඨකයේ සූත්‍රවල දේශනා කර ඇත. මෙහිදීද දේශනා කර ඇත්තේ, අතර නොකැඩී පුණ්‍ය සංඛාර වැලක් ක්‍රියාත්මක වේ නම් පුණ්‍ය විඤ්ඤාණ වැලකි එවිට ක්‍රියාත්මක වන්නේ. පාප සංඛාර වැලක් එක දිගටම නොකැඩී වේ නම් විඤ්ඤාණ වැලම පාප විඤ්ඤාණ වේ. සංඛාර ඒකකයක් හෙවත් එක චිත්තක්ෂණයක සමග ක්‍රියාකර ඒ විඤ්ඤාණක්ෂණය භංග වන විටම භංග වේ. මෙයයි චිත්ත නියමය. මේ භංග වීම කියන්නේ සදහටම අතුරුදහන් වීමක් නොවේ. මෙය ක්‍රියාත්මක අවස්ථා භංග වීමකි.

පිටුව 133 සහ 134

(පිටුව 133)
ගැරහීමට ඇඩියාවට කැමතිය. ගැරඩියෙක් වන්ට අකමැතිය. අනුන් ඔබා තබන්ට කැමතිය. ඉබ්බෙක් වන්ට අකමැතිය. ද්වේශයෙන් හැපි හැපී ඉන්නියක් වන්ට කැමතිය. හැපින්නියක් වන්ට අකමැතිය. ගාම්භීර ලෙස ඇති ඇත්තෙක් ලෙස පෙන්නන්ට කැමතිය. ඇතෙක් වෙන්ට අකමැතිය. දළ කාරයෙක් ලෙස බලය පෙන්නන්ට කැමතිය. දළ ඇති තිරිසනෙක් වෙන්ට අකමැතිය. කාපු බීපු තැන පහ කරන්ට හෙවත් පුට කරන්ට කැමතිය. කපුටෙක් වෙන්ට අකමැතිය. ණයට යමක් ගෙන, දෙන බවට පොරොන්දු වෙමින් හා හා කියන්ට අහවල් දින දෙන බවට පොරොන්දු දෙන්ට හෙවත් වා වා කියන්ටත්, එසේ රවටා හිමිකරු දුටු විගස කටු වැටවල් උඩින් පැන දුවන්ටත් කැමතිය. හාවා වෙන්ට අකමැතිය. කුරුමානම් අල්ලමින් දුසිරිත් කරන්ට කැමතිය. කුරුල්ලෙන් වන්ට අකමැතිය. පක්ෂග්‍රාහී වෙන්ට කැමතිය. පක්ෂියෙක් වෙන්ට අකමැතිය. මිහිකත නම්වූ පොළොව මැන මැන අයිති කරගන්ට කැමතිය. මී මින්නෙක් වන්ට අකමැතිය. පහත් බවට හෙවත් ක්ෂය බවට බර කථා කියන්ට කැමතිය. කබරයෙක් වන්ට අකමැතිය. බුදු බස, ඉසි බස ඉවතාලා දුසිරිත් කරන්නට කැමතිය. බහ ලූ බැවින් බලු වන්ට අකමැතිය. නීච බස අලලා කථා කරන්ට, කුරු කුරු ගගා ලොක්කන් සමග ඇගේ ඇතිල්ලී ඉන්ටත් ඔවුන්ගේ බලය අලලා කථා කරන්ටත් කැමතිය. බළලෙක් වන්ට අකැමතිය. රිසි දේ හොය හෙයා තිරිසන් ලෙස ලොවන්නට කැමතිය. රිලවෙක් වන්ට අකමැති. වාන් හෙවත් ශිෂ්ඨාචාර බැමි දුරු කරන්ට කැමතිය. වාන් දුරු කර වඳුරෙක් වන්ට අකමැතිය. වැට මුල හාරමින් මායිම ලොකු කරගෙන ඌ නෙවේ මිහි හෙවත් පොළව අයිතිය මටයි කියන්නට කැමතිය. උමං මීයෙක් වන්ට අකමැතිය. අඹු පසු පස කුහුල් සිතින් ගැවසෙන්ට කැමතිය. කුහු - අඹු හෙවත් කුහුඹුවන් වෙන්ට අකමැතිය. අනුන්ට විනාශයට කොකු අටවන්ට කැමතිය. කොක්කු වෙන්ට අකමැතිය. කුණු වැඩ හෙවත් පහත් වැඩ වලින් අනුන්ට කටුව ගසන්ට කැමතිය. කුණු කට්ටෙක් වෙන්ට අකමැතිය. මායිම් ඉන්න වෙනස් කර කර අත් කර ගන්ට කැමතිය. මයිනෙක් වෙන්ට අකමැතිය. අත් සොලවමින් සංගීත සංදර්ශන ආදියේදී තොල් රතු කර නිය රතු කර ගිරියෙන් කෑ මොර දෙන්ට කැමතිය. ගිරවෙක් වෙන්ට අකමැතිය. අනුන්ගේ ලේ උණු කරන වැඩ කරන්ට කැමතිය. ලේනු වෙන්ට අකමැතිය. දුසිරිතෙන් පිරි හුරා හෙවත් නායකයා වෙන්ට කැමතිය ඌරා වෙන්ට අකමැතිය. සිල් පද කනිමින් සිදුරු කරන්ට කැමතිය. කැනහිලා වෙන්ට අකමැතිය. හික්මීමක් නැතිව ලාමක වන්ට කැමතිය. හිකනලා වෙන්ට අකමැතිය.

(පිටුව 134)
අඳ බව මුහු කරගෙන වාසය කරන්ට කැමතිය. මුහුදේ උපදින්ට අකමැතිය. කුහකත්වයට නිස්සෙකු වෙන්ට කැමැතිය. කූනිස්සෙක් වෙන්ට අකමැතිය. ඊරිසියා කරන්ට කැමතිය. ඉස්සෙක් වෙන්ට අකමැතිය. සාර ධර්ම කොහු කර දමන්ට කැමතිය. කොස්සෙක් වෙන්ට අකමැතිය. සහලේ නෑයන්ගේ සාර ධර්ම හෙවත් මහත් ගුණ ඇහැ කර හෙවත් බොල් කර දමන්ට කැමතිය. හාල්මැස්සෙක් වෙන්ට අකමැතිය. අනුන් වට්ටන තොණ්ඩු දමන්ට කැමතිය. තොණ්ඩයෙක් වන්ට අකමැතිය. අන්‍යයන් ජරා බවට හා ලාමක බවට ඇද දමන්ට කැමතිය. අන්ජිලාවෙක් වෙන්ට අකමැතිය.. අනුන්ට අවැඩක් වන විට කුමක් වේදැයි බලා සිටිමින් සතුටු වෙන්ට කැමතිය. කුම්බලාවෙක් වෙන්ට අකමැතිය. ප්‍රියවූ මාංශ හෙවත් සාර ධර්ම ඇහැ කර දමන්නට හෙවත් බොල් කර දමන්නට කැමතිය. පියාමැස්සෙක් වෙන්ට අකමැතිය. දුසිරිත් ලෙස බලය පෙන්වනට කැමතිය. බලයෙක් වෙන්ට අකමැතිය. ‍ අන්‍යයන්ට බලා දේ තබමින් හොඳ දේ තෝර තෝර තම බඩ වඩා ගන්ට කැමතිය. තෝරෙක් වෙන්න අකමැතිය. අසත් ධර්මය මගින් තම වාසිය මෝර වන්ට කැමතිය. මෝරෙක් වෙන්ට අකමැතිය. අනුන් දැති ගසා‍ තම වාසි ගොඩ මෝරවා ගන්ට කැමතිය. දැති මෝරෙක් වෙන්ට අකමැතිය. අනුන්ගේ සාර ධර්ම තලා මහත් වන්ට කැමතිය. තල්මහ වෙන්ට අකමැතිය. මෙසේ අඳ බව මහු කරගෙන මුහුදට හිමිකම් ලබා‍ මහ හෙවත් සාර ධර්ම ලූ බැවින් මාලු බවට පත්වෙනට කෙනෙක් අකමැති වූවත් හේතු ඇති තැන එසේම සිදුවනු ඇත. පාප සහගත දුසිරිත වලට කැමතිව ඵලය ලෙස ලැබෙන අත් බැවට කෙතෙක් අකමැති වුවත් එබඳු අත් බැව් වලින් මිදීමක් නැත බව දත යුතුය. යම් ස්වභාවයක (හේතුවක) කැමැත්ත අනුව බැඳුනේද ඊට සම උපත මෙසේ බව තේරුම් ගත යුතුය. මේ පටිච්ච සමුප්පාද උත්පත්ති ක්‍රමයයි. මෙසේම යහපත් සුචරිත කටයුතු කරන්නට අකමැතිය. ඒවායේ ඵලයට කැමතිය. මිනුම් දඬු හෙවත් මානය අළු කර ජීවත් වෙන්ට අකමැතිය. අළු කළ මනසක් ඇති නිසා බ්‍රහ්ම වෙන්ට කැමතිය. දෙව දෙවයි ඉල්ලන විට දෙනට අකමැතිය. දෙවියෙක් වෙන්ට කැමතිය. සුවයට යහපතට හේතු වන දේ සොයා දෙන්ට අකමැතිය. වෙන්සු හෙවත් වෙන්හු දෙ‍වියෙක් වෙන්ට කැමතිය. විසකර නොවූ දේ දෙන්ට අකමැතිය. විෂ්ණූ දෙවියෙක් වෙන්ට කැමතිය. කතරකට ගමක් (ක්ෂේම භූමියෙක්) සේ වෙන්ට අකමැතිය. කතරගම දෙවියෙක් වෙන්ට කැමතිය. මුලාවට දමන සාර ධර්ම වන ස්කන්ධ පහ පහත් ලෙස සලකා ඉවත දමන්ට යයි ධර්මය දෙන්ට අකමැතිය.

Dec 3, 2010

පිටුව 131 සහ 132

(පිටුව 131)
මුලා සිතින් මවා ගත් වටිනාකම කර ගසාගෙන සිටින සමහරෙක් එබඳු වටිනා දේ මේ මේ අයට නොවේවායි, මට වේවායි අභිජ්ඣා කියන දැඩි ලෝභයට බැස විපාක ගතිකව තමන්ට අගහිඟකම්, දුක් අත්බැව් ලබන්නට හේතු වේ. තම අදහස ක්‍රියාත්මක නොවී අනිකාට ලැබුනොත් නැසේවා, වැනසේවායි, නොයෙක් කැනහිලි කම් කරමින් දැවෙයි, තැවෙයි. තමාට මහත්සේ වටිනව යැයි දෘෂ්ටි සහගතව නිගමනය කළ ලෝක සම්පත් නොලැබෙතියි සංවේගයෙන්, අඬමින්, ශෝක වෙමින්, ලතැවෙමින් ගත කරයි. මේ සියල්ල මුලාවෙන් හටගත් ලෝකය මුලා සිත් නිසාම මහත් වටිනා දේ යයි ගෙන ඇලීමෙන්, බැඳීමෙන් විඳින දුක රැසකටම අයිති වෙනවා මිස කිසිම සහනයක් නොලසයි. එහෙත් මුලා සහගත සත ඒ තුළම සහනය සොයමින් අලී ගැලී දූෂිතව අප්‍රමාණ පාප ගති පහළ කරමින් ගිනි ගත්තවුන් සේ සසර ගමන් කරයි. සුව සොයයි. අනාදියේ පටන් අප ආවේ මෙබඳු ගමනකය. සැප සොයමින් කර ගැසූ ගිනි ගොඩකය. දැන් ලොව ආස්වාද සොයා සැරි සරනවා නම් සැරි සරන්නේ ද මුලා ලෝකය නැමැති දුක් ගිනි ගොඩේමය. වටිනවයි කර ගසන්නේ දුක් ගිනි ගොඩක්මය. මතු බලාපොරොත්තු වන්නේ දුක් ගිනි ගොඩක්මය. මෙසේ බුදු නැණ බලෙන් දුන් සත්‍ය දහම් දැක දුකෙන් පිරී ලෝකයත් එය හට ගන්නා සැටිත් පළමුව දැක ගත යුතුයි. මෙසේ දැනගත් විටයි, දැක ගත් විටයි, මේ දුක යැයි ආර්ය නුවණින් වැටහෙන්නේ. මේ දුකට හේතුවයි ආර්ය නුවණට වැටහෙන්නේ. දැන් තව දුරටත් පටිච්ච සමුප්පාද දහම් ගුරුවරයා මගින් ලොව තතු විමසා බලමු. මෙසේ අපි අවිද්‍යාව මුලාව දුටුවෙමු. එකතුව සාරයි කියා දෘෂ්ටි ගතව සිටින්නේ සත්‍යය සත්‍යාකාරයෙන් නොදකත් නිසා බව හේතු ඵල සහිතව දුටුවෙමු. සං කියන අවිද්‍යා, තෘෂ්ණා මුලාවේ ලෝක එක්වීමත් එය සාරයි කියාගත් මුලා දෘෂ්ඨිය නිසා සංසාර ලෙස ගත් සැටිත් දුටුවෙමු. සාරයි යන නිගමනයට මුලාවෙන් අවද්‍යාවෙන් බැස ගෙන සිතින්, ක්‍රියාවෙන්, වචනයෙන් ඒ පසු පස ක්‍රියාවට බැස සිටින මෝහ මුලා සහගත වැඩ පිළිවෙල අවිජ්ජා පච්චයා සංඛාර කියා දුටුවෙමු. ආශාවෙන් යම් ගති ස්වභාවයක බැ‍ඳෙන්නේ මුලාවෙනි. ආශාවෙන් හිත බැඳගන්න වටිනාකම් ඇති දෙයක් මුලා සහගත ලෝකේ කොයින්ද? යන යථා දැනුම ඇති වන්නේ ආර්යන්ටය.

(පිටුව 132)
අන්‍යයෝ ලොව පැවැත්ම තුළ කුමන හෝ ‍හොඳ කෙනෙක් දකිති. හිත බැඳ ඉදිරි පැවැත්මකට ගැළපෙන කුමන හෝ ස්වභාවයක් ලොව තුළ ඇත යන දෘෂ්ටි ගෙන ඒ සඳහා එක්වන්නට සිතිවිලි නගති. කථා කරති. ක්‍රියා කරති. ලෝ සතුන් යම් ද්‍රව්‍ය වස්තුවක් හෝ කිනම් ස්වභාවයක පැව්තමක් පත්නනේ බලාපොරොත්තු වන්නේ ඒවායේ පිටතින්‍ පෙනෙන සුන්දරත්වයට වශී වීමෙනි. සැමවිටකම මෙනෙහි කරන්නේ සුන්දර සුව සහගත පැත්තය. පැවැත්මේ සුව සහගත ආස්වාදජනක දේ නිතර සිතන, කියන, කරන විට ඒ පිළිබඳව ආශා හිතක් ඇතිවේ. බලාපොරොත්තුවත් ඇතිවේ. මේවායින් සමහරෙක් ලෝක සම්මතයේ පිං පැත්තය. සමහරක් පව් පැත්තය. පාප ඵලයට ලෝක සත්වයා අකමැති වුවත් ඊ‍ට හේතු කාරක වන ආස්වාදයට කැමතිය. බල්ලෙක් වෙන්ට අකමැතිය. බලු වැඩ කරන්නට කැමතිය. හරකෙක් වෙන්ඩ අතමැතිය. හරක් වෙන වැඩ පිළිවෙලට කැමතිය. කට කුණු වූ ප්‍රේතයෙක් වෙන්ට ඉතා අකමැතිය. ඊට හේතුවන අනුනට අවැඩ අහිතකර වන කේළමට, බොරුවට කැමතිය. පළගැටියෙක් වෙන්ට අකමැතිය, අනුන් මුලාවට පත් කර ලොව අන්දයන් ලෙස බැ‍ඳෙන්නට සලස්වන සංගීත භාණ්ඩ කර ගසාගෙන වයන්ට කැමතිය. තිරිසනෙක් වෙන්ට අකමැතිය. තරිසනෙක් වන නීච දුෂ්චරිතවලට කැමතිය. කපුටෙක් වෙන්ට අකමැතිය. අනුන් මුලාකොට පාගා ගන්ට (ජරාව කන්ට) කැමතිය. මුලාකර හෝ බලෙන් අනු සතු සම්පත් පැහැර ගන්ට (සීරි මාන්සේ කන්ට) කැමතිය. තම මස් අමු අමුවේ මරා දමන ජාතියේ සතෙක් වෙන්ට අකමැතිය. අනුන් එලා දමන්නට, පාගා දමන්නට කැමතිය, එළුවෙක් වන්ට අකමැතිය. අනුන්ට බැට දෙන්ට කැමතිය, බැටළුවෙක් වන්ට අකමැතිය. නීච වූ පහත් වූ වනචර වැඩ කරන නායකයෙක් වන්ට කැමතිය. නාගයෙක් වන්ට අකමැතිය. අනුන් මැඩ ගෙන ජීවත් වන්ට කැමතිය. මැඩියෙක් වෙන්ට අකමැතිය. අනුන්ට ගෙම්බර් පෙන්නන්නට කැමතිය. ගෙම්බෙක් වෙන්නට අකමැතිය. ගෙට ආලය බැඳගෙන ඉන්ට කැමතිය. ගෙවලයෙක් වෙන්ට අකමැතිය. පර හෙවත් අනුන්ට අත හොවා කම්මැලිව දිවි ගෙවන්නට කැමතිය. පර - හේ - අත අත හෙවත් ප්‍රේත වන්ට අකමැතිය. නීච වැඩ කරන ලොක්කන්ගේ වහලුන් ලෙස ගයන්ට, වලියට ගයන්ට කැමතිය. වලිගය සහිත තිරිසනෙක් වන්ට අකමැතිය. අපට ඉටු කර දෙන දේ කෝ කියමින් සටන් කරන්ට කැමතිය. කොටියෙක් වෙන්ට අකමැතිය. යමක් දී වියෝගයට පත්ව දොඩන්ට කැමතිය. දිවියෙක් වන්ට අකමැතිය. දුසිරිත් නොහැරී අයෙක් වෙන්ට කැමතිය. නරියෙක් වන්ට අකමැතිය. මානයෙන් පිම්බී සිටින හූරෙක් (නායකයෙක්) වන්ට කැමතිය. පිම්බූ හුරක් හෙවත් පිඹුරෙක් වන්ට අකමැතිය.

Dec 2, 2010

පිටුව 129 සහ 130

(පිටුව 129)
එහි ප්‍රතිඵලය සත්ව, පුද්ගල, ද්‍රව්‍ය, වස්තුවල මූල නිර්මාණයයි, නිර්මාණවල මූල ස්වභාවය ඉතා සියුම්ය. මනෝමයය. ඉතා බලවත්ව චිත්ත ශක්තිය ඒවායේ නිර්මාණයට නිදහස්ව ඇත. ඒවායි සෘතුජ රූප නිපදවන්ට ක්‍රියාත්මක වන ශක්ති වි‍ශේෂය. මෝහයේ මූලාවෙන් සත්‍යයක් නිපදවන්ට හේතු නැත. ඒ නිසාම ඇතිසේ පෙන්වා ගෙවී යන ද්‍රව්‍ය මූල බිහි කරනු ඇත. ඒවාටයි බොරු හෙවත් භූත කියන්නේ. බොරුවක් ඇතිසේ නිපදවන්නට ක්‍රියාත්මක වේ. සෘතුජ යනු පරිවර්තනික ද්‍රව්‍ය වස්තු ජනිත වන ස්වභාවයයි. මානසිකව නිපද වූ රූපීය ස්වභාවයන්ගේ මුල අවස්ථාව ඉක්ම ගොස් මායාකාරී රූප නිපදවීම ආරම්භ වේ. ලෝභ සිතට අනුරූපව පහළ වූ ආපෝ, තේජෝ, වායෝ, පඨවි යන ස්වභාවය හතර රූපීය නිර්මාණ ලෙස එකට බැඳි සියුම් රූපී ස්වභාවයෙන් ලෝකය නිර්මාණය ලෙස එකට බැඳි සියමු රූපී ස්වභාවයෙන් ලෝකය නිර්මාණය වන්නට පටන් ගනී. මේ නිර්මාණයේ පූර්ණත්වය රඳාපවත්නේ ආස්වාද ලබා දෙන අවස්ථාව නිපදවන තුරුයි. බලාපොරොත්තු සහගත සිත් වලින් බලය පහළ කළේ එතෙක් වන බැවිනි. නිදහස් බලය අනුරූපව ක්‍රියාත්මක වෙමින් ආ‍පෝ භූත,‍ තේජෝ භූත, වායෝ භූත, පඨවි භූත යන ඊළඟ අවස්ථාව නිපදවයි. ශක්තිය ක්‍රමයෙන් පරිවර්තනයෙන් පරිවර්තනයට අඩු වෙමින් මීළඟට නිර්මාණය වන්නේ ආ‍පෝ මහා භූත,තේජෝ මහා භූත, වායෝ මහා භූත, පඨවි මහා භූත යන රූප කලාපයෝය. ඊලඟ පරිවර්තන අවස්ථාව ඊට වඩා ඝනීභවන රූප කලාපයෝය. මේවා එ ඒ ආකාර සත්ව කොට්ඨාශ වලට ගැලපෙන සත්ව ද්‍රව්‍ය බාහිර ද්‍රව්‍ය නිෂ්පාදනය කර අනුරූප සත්ව ශරීර සහ සත්වයන් සැරි සරන ලෝක පහළ කරන පරිදි සකස් වේ. දැන් ශක්ති ක්‍රියාවලිය තව දුරටත් දුර්වලව ඇත. මේ ගති හතර ඔප් නැංවෙමින් ද්‍රව්‍ය වස්තු ගැලපෙන ලෙස හතර ආකාරයකට දැන් සුදුසු පරිදි සැකසී ඇත. මිනිස් ලොව ආපෝ ධාතු අවස්ථාවේ රූප වලට ද්‍රව කියා හඳුන්වයි. තේජෝධාතු පිණ්ඩයන් ගිනි ක්‍රියාද, වායෝ ධාතු පිණ්ඩයන් වායු කියාද, පඨවි ධාතු පිණ්ඩයන් ද්‍රව්‍යමය දේ පොළොව සතු දේ කියාද හඳුන්වයි.

(පිටුව 130) 
මේ ධාතු රූපයන්ගේ ප්‍රයෝජන ලෝ සතුන්ට දෙයාකරයකින් සම්බන්ධ වේ. ඒවාට ගැබ්වී ඇති ඉතිරි ශක්ති ප්‍රමාණ ක්‍රියාත්මකව භුක්තියට නිර්මාණය වූ ද්‍රව්‍ය වස්තු යළි නොයෙක් ආකාර ශ්‍රමය මෙහෙයවා නව ද්‍රව්‍ය වස්තු බිහි කර පරිහරණයට අවස්ථාව සැලසීමත් යන කරුණු දෙක මේ ද්‍රව්‍ය වස්තු ගැබ්වූ ශක්ති ස්වභාව අනුව ක්‍රියාත්මක වේ. සතර ධාතුන්ගේ ආවේණික ශක්තිය නිසා ඒ ඒ සංයෝගවල සම්බන්ධතාවයන්ගෙන් පරිහරණ වස්තු නිපදවයි. සත්ව ශරීර හට ගැනීමට සංයෝග සිදුවීම ගස්වැල් ආදිය හට ගන්ට සතර ධාතු සංයෝග වීම ශ්‍රම ආධාර මත ක්‍රියා කල විට උරුම වූ ස්වභාවය අනුව ඒ ඒ දේ නිපදවීම ක්‍රියාත්මක වීම මෙසේ සිදුවේ. ආශා බලාපොරොත්තු නිසා පහළ කළ මානසික ශක්තිය ඒ ආස්වාද ප්‍රයෝජනයට ලොව නිපදවන්නේ ක්‍රියා කරන්නේ මෙසේය. මායා චිත්ත බලාපොරොත්තුවෙන් පහළ කළේද එබඳුම මායා රැවටිලි බැවින් හටගත් සෑම විපරිණාමිකව වැනසෙන අතර මමය මාගේය මගේ ආත්මය යන රැවටිල්ලටම අද දමනවා හැර මම මගේ ආත්මය කියන දෙයක් කිසි කලෙකත් මේ රැවටිලා ලෝක ස්වභාවය තුලින් හට නොගනු ඇත. ආස්වාද ආත්ම කොට, ශ්‍රේෂඨ කොට, සාර ධර්ම කොට සිතන සියල්ලන්ටම ඒ මායාවෝ කැඩී බිඳී විනාශ වී යන විට, කඩා බිඳ විනාශ කර දමන විට, කෙතෙක් රැකවරණ උත්සාහ යොදා සිටියත් කැඩී යන, විනාශ වී යන විට කැමති පරිදි නොලැබෙන විට ඇති වන්නේ දුක් ගිනිමය. මේ මායා ලෝකයේ ඒ ඒ ආස්වාද වස්තු පිළිබඳව යමෙක් අප්‍රමාණ වටිනා ලෙස හිතයි. අවිද්‍යා, තෘෂ්ණා සහගත සිතින් ලොව ඇසුරු කරන කවුරු හෝ වේවා තමා මහත් වටිනා කමකින් සිතන ආස්වාද වස්තු ගැන හිතට නගාගෙන දරාගෙන සිටී. කොතෙක් වටිනා ලෙස සිතා සිටියත් ඒවාට හිමි විපරිණාමිකත්වය විනාශය වළකන්නට මගක් නැත. ඒවාට හිමි උමරුමයන්ට ඒවා ගොදුරු වීම කිසිවෙකුටත් වැළැක්විය නොහැකි ධර්මතාවයෝමය. ඒවාට හිමි උරුමය පරිදි ඒවා වෙනස් වන විට වැනසෙන විට යම් තරමකින් වටිනාකම් හිතා සිටියේද, ඒ තරමටම අනේ කැඩුන, බිඳුනා, වැනසුනා කියා ශෝක සංවේග ඇතිවේ. මානසික දූෂිත බවද නැගෙන ඇත. එසේම කැඩුවා, බින්දා, වැනසුවා කියා සෝක සංවේග ඇතිවේ. මානසික දූෂිත බවද නැගෙන ඇත. එසේම කැඩුවා බින්දා විනාශ කලා යැයි යම් අය සමඟ යම් දෙය සමග වෛර, ක්‍රෝධ, ඊර්ෂයා, තරහ පහළ කර අප්‍රමාණ දූෂිත කම්ද කරමින් දැවෙයි තැවෙයි. ඒ පදුට්ඨ මනසින් කළ කී දේ තමාටම ගිනි දුක් භය කරදර විඳින ලෙස ලෝ ස්වභාවයෙන් සැකසෙමින් අනන්ත දුක් විඳින්නට වේ.