මෙම බ්ලොග් අඩවිය පිළිබඳව

සම්මා සම්බුදු පියාණන්වහන්සේ වදාළ සත්‍ය වූ බුද්ධ ධර්මය කාලයත් සමග සැගවෙන්නට ඇති ඉඩකඩ වැඩිය. එය ‍එසේ වූ නිසාම ශතවර්ෂ ගණනකින් මාර්ගඵල ලාභීන් බිහි වූ බවක් අසන්නට නොලැබිණි... එහෙත් මග ඵල ලැබ ගෞතම බුදු පියාණන් විවර කල නිවන් දොරටුවෙන් මාර්ගයට පිවිස ඵල ලැබී සැනසීමට නියම වූ ඇත්තන් තවමත් සිටින හෙයින් ඔවුන් සදහා උපකාරයක් වීමට නියම කළ්‍යණ මිතුරාගේ පැමිණීම සිදුවී ඇත. ඒ සැඟවුනු මාවත යලි විවර කරමින්, සැඟවුනු දහම් අරුත් මතු කරමින් සසර දුකින් පෙළෙන ඔබටත් මටත් අනන්ත සසර දුක් සයුරෙන් එතෙර වීමේ ප්‍රයෝගික මග හෙලි කරන අභිඥාලාභී පූජ්‍යපාද වහරක අභයරතනාලංකාර ස්වාමීන් වහන්සේගේ ධර්මානුශාසනා ඇසුරෙන් පලවූ "සැගවුණු බොදු මග කල එලි දකී" යන පොත ඇසුරෙන් මෙසේ සටහන් තබමි!

Dec 30, 2010

පිටුව 139 සහ 140

(පිටුව 139)
අනාදිමත් අතීතයේ පටන් ගොඩනගා ගත් ආත්මීය දෘෂ්ටියෙන් සම්මත කර ගත් රූප රූප, ශබ්ද රූප, ගන්ධ රූප, රස රූප, ස්පර්ශ රූප සහ මනෝ රූප යන සම්පිණ්ඩනයන්හි මතකයන් තුලින් පෙර පටන් සසර ගමන් කර ගෙන එන සත්වයෙක් දකියි. දුක් විඳපු හැටි ආකාර දකියි. සැප විඳපු හැටි ආකාර දකියි. වර්තමාන ජීවත් වෙන දුක් සැප විඳින සත්වයෙක් දකියි. මතු අනාගතයේදී එබඳු ලෙස ජීවත්වීමේ පැවැත්මේ සත්වයෙක් ගැන බලාපොරොත්තු වෙයි. මෙසේ අතීත, අනාගත, වර්තමාන ආත්ම දෘෂ්ටියෙන් ගත් රූප ස්කන්ධයටයි සත්වයෙක් ලෙස බැඳී ඉන්නේ. එබදු ආත්මීය ලෙස ගොඩ නගා ගත් රූප මාත්‍ර සම්පිණ්ඩන පිළිබඳ ගොඩ නගා ගත් රූප ස්පර්ශයෙකුයි ස්පර්ශ කරන්නේ. ගොඩ නැගූ රූප ස්පර්ශයම මනසින් කැටි කර ගත් ආකාර පොදි බැවින් ඒවා දැනෙන්නේද ගොඩ නගා ගත් ආකාරයටමයි. ඒවාද දැනීම් මාත්‍ර ඒකක නොව මනසින් ගොඩ නගාගත් ආකාර දැනෙන ස්වභාවයන්ය. එබැවින් මෙබන්දක් දැනුනා, වින්දා ආදී වශයෙන් සම්පිණ්ඩන දැනීම් කඳක් ගොඩ නගා‍ ගන්නේ සත්ව සම්මුතියේ වේදනා ස්කන්ධ ගො නැගෙන්නේ මෙහෙමයි. ගොඩ නගා ගත් ආත්මීය පොදි ඒකක දැනුන ආකාරයටයි හැඳිනීම් පොදිද ‍දරාගන්නේ. ඒවයින්ය සංඥා ස්කන්ධය ගොඩ නැගෙන්නේ. මනසින් ගොඩ නගාගත් ආකාර පොදි ඒ මුලාව අත නොහැර ආත්මීය ඒකක ලෙසම දැන, හැඳින ඒ ආත්මීය ලෙස ගොඩ නගා ගත් මනෝ පොදිවල ප්‍රියමනාප, අප්‍රිය මනාප ඇති කරගෙනයි එබඳු දෘෂ්ටියෙන්ම ලෝකයකම ඉදිරි පැවැත්මකට බැඳී සකස් කිරීම් ක්‍රියාවලිය නිපදවන්නේ. ඒ ලෙසයි සංඛාර ස්කන්ධය සෑදෙන්නේ. මෙසේ මුලාවෙන් ගොඩ නගා ගත් ලෝකයක අවිද්‍යා, තෘෂ්ණාවලින් බැඳිලයි යළි යළි පැවැත්විය යුතුයි. මෙය මෙසේ විය යුතුයි, මෙය යහපතයි, මෙබඳු දේට විරුද්ධ විය යුතුයි ආදී නොයෙක් අදහස් ගොඩ නගමින් විඤ්ඤාණ ස්කන්ධය ගොඩ නැගෙන්නේ. දැන් තේරුම් ගත යුත්තේ පංචස්කන්ධය හෙවත් සත්ව ලෝකය යැයි අප ඇලුම් කලේ සතර මහා භූත ක්‍රියාවලිය ඇති බාහිර ලෝකයකට නොව ඒ තුළින් ගොඩ නගාගත් ආත්මීය දෘෂ්ටි සහගත ලෝකයකට බවයි. විඤ්ඤාණයයි ලෝ සතුන් අතර හඳුන්වන්නේ මෙසේ ‍ගොඩ නගන මුලා දැකීම්, දැනීම් සහිත විකෘති චිත්ත මුලවකටයි.

(පිටුව 140) 
යම් විටෙක මේ ධර්මතාවයන්ගේ නියම තත්වය දහම තුලින් වටහා අත්දැකීම් සහිතව නිසි තතු දකින ප්‍රඥාව පහළ වේද එදාට විඤ්ඤාණ මුලාව ගිලිහී යයි. දැන් ඉතිරි වන්නේ සත්‍ය සත්‍යාකාරයෙන් දකින න්‍යාය වන ඤාණයයි. චක්ඛුං උදපාදි යන දහම් ඇස පහළ වන විට විඤ්ඤාණ මායාව දුරු වී ඤාණං උදපාදි යන දහම් ඇස පහළ වන විට විඤ්ඤාණ මායාව දුරු වී ඤාණං උදපාදි වනු ඇත. මෙතැන් පටන් මුලා දැකීම දුරු වුවත් අනාදියේ පටන් එල්බ ගත් මුලා හැඟුම එක විට දුරු නොවේ. නැවත නැවත දහම් සිහි කරන විට ක්‍රමයෙන් මුලා හැඟුමද දුරු වෙමින් පඤ්ඤා උදපාදි යන ප්‍රඥාව පහළ වේ. එවිටයි ඇලීම් ගැටීම් දුරු වූ සමාධියට ගෝචරව යථාර්ථය විනිවිද දකිමින් විජ්ජා උදපාදි හෙවත් විද්‍යාව පහළ වන්නේ. එවිටයි පංචස්කන්ධ සංඛ්‍යාත ලෝකය අත් හැරී අලෝක හෙවත් ආලෝක වන්නේ. ආලෝකෝ උදපාදි වන්නේ. දැන් අවිද්‍යා, තෘෂ්ණා මුලාවෙන් ආරම්භ වූ මුලා සහගත සංඛාර නිසා මුලා සහගත විඤ්ඤාණ සැකසෙන අයුරු දුටුවෙමු මෙයයි සංඛාර පච්චයා විඤ්ඤාණං කීවේ. අපි දැන් මෙසේ සිතමු. බේබද්දෙක්, හොරෙක්, මංකොල්ල කාරයෙක්, කේළමෙක්, ජඩයෙක්, ගුණවතෙක්, දැනුමැත්තෙක් මේ වගේ අය මව් කුසෙන් උපන් ළදරුවන් කෙරෙහි දැකිය හැකිද? ඉතාම කලාතුරකින් මේවාට හේතු සසරින් උරුමව උපදින්ට පුළුවන. අනිත් බොහේ අය මිනිස් දරුවන් පමණකි. මේ මිනිස් දරුවා ගැටවර හෝ තරුණ වයටට පත් වන තුරුත් බේබද්දා යැයි හඳුන්වන්නට හේතු කාරකයෙක් නොවන්නට පුළුවන. ගැටවර වයසේදී මෙබඳු මිතුරන් සමඟ එක් වන්ට සිදු වූවොත් ඔවුන් ඔහුද කැටුව තානායම් වල හැසිරෙන්ට, බීමත්ව පාටි දමන්ට ක්‍රමයෙන් ඇද ගනී. මුලදී බොහෝම ලැජ්ජා සහගතව අකැමැත්තෙන් නමුත් මේවාට සහභාගි වේ. නවීන පන්නයට හැඩ නොගැසුනොත් ගොඩයා ආදී අපහාස නම් වලින් අපවාද කරමින් බීමත්කම මහ ඉහළ කටයුත්තක් සේ හඟවමින් ඒ අයගේ ඇසුරට ලංකර ගනී. බෑ කියද්දී උගුරක් හෝ බීපන් යැයි මුලදී පොළඹවයි. කලක් ඔවුන් ඇසුරු කර බීමත් බවට පෙලඹ වූ විට ක්‍රමයෙන් එය සාමාන්‍ය දෙයක් වෙයි. තව කල්යන විට ඔහු තම මුදල් පසුම්බියද හිස් කර ගනිමින් තම වුවමනාවෙන්ම බීමට ඇබ්බැහි වේ. පෙර මෙන් නොව දැන් බීමත්ව හැසිරෙන්ට ඔහුට හිතක් ඇතිවේ. හිත යැයි යමක් උපන් ළදරුවාටද තිබින. එහෙත් ඒ සිතෙන් මත් පැන් ගැන හිතන්ටවත් අවශ්‍යතාවයක් නොතිබින, දැන් ඔහුගේ සිත පෙර මෙන් නොවේ. මනස වෙනස් ආකාරයක් ගෙන ඇත. සිදු වූයේ ඇසුර නිසාම බේබදු විඤ්ඤාණයක් පහළ වීමය.

0 comments: