මෙම බ්ලොග් අඩවිය පිළිබඳව

සම්මා සම්බුදු පියාණන්වහන්සේ වදාළ සත්‍ය වූ බුද්ධ ධර්මය කාලයත් සමග සැගවෙන්නට ඇති ඉඩකඩ වැඩිය. එය ‍එසේ වූ නිසාම ශතවර්ෂ ගණනකින් මාර්ගඵල ලාභීන් බිහි වූ බවක් අසන්නට නොලැබිණි... එහෙත් මග ඵල ලැබ ගෞතම බුදු පියාණන් විවර කල නිවන් දොරටුවෙන් මාර්ගයට පිවිස ඵල ලැබී සැනසීමට නියම වූ ඇත්තන් තවමත් සිටින හෙයින් ඔවුන් සදහා උපකාරයක් වීමට නියම කළ්‍යණ මිතුරාගේ පැමිණීම සිදුවී ඇත. ඒ සැඟවුනු මාවත යලි විවර කරමින්, සැඟවුනු දහම් අරුත් මතු කරමින් සසර දුකින් පෙළෙන ඔබටත් මටත් අනන්ත සසර දුක් සයුරෙන් එතෙර වීමේ ප්‍රයෝගික මග හෙලි කරන අභිඥාලාභී පූජ්‍යපාද වහරක අභයරතනාලංකාර ස්වාමීන් වහන්සේගේ ධර්මානුශාසනා ඇසුරෙන් පලවූ "සැගවුණු බොදු මග කල එලි දකී" යන පොත ඇසුරෙන් මෙසේ සටහන් තබමි!

Nov 29, 2010

පිටුව 125 සහ 126

(පිටුව 125)
ලෝක ආශාවන් අත් නොහැරී අයට මේ සසර මුල හොයා ගැනීම මහත් වටිනා දෙයක් ලෙස හිතුනත් අරිහත්ව ධර්මාවබෝධය ලැබුන විට අනවශ්‍ය දේ සෙවීම නිශ්ඵලයි කී දහම තත්වාකාරයෙන් වැටහී පූර්ණ වන්නේය. බාල දරුවෙක් බාලකම නිසා කැලෑවක වල් ගසක් පෙන්නා මේ ‍ගසේ කොළ කීයක් තියෙනවාද? මුල් කීයක් තියෙනවාද? කියලා අපෙන් ඇසුවොත් අපට හිතනේනේ කෙසේද? වැඩකට නැති පර්යේෂණයකින් කෙබඳු ප්‍රයෝජනයක්ද? ඒවා ගණින්නට, හොයන්නට යාම මුලාවක් මිස ඇති වැඩක් නැත. මෙසේ වැටහෙන වැඩිහිටියාට එය ප්‍රශ්නයක්, අවශ්‍ය දෙයක් නොවුවත් බාල දරුවාගේ බාල මනසට එය අවශ්‍ය දෙයක් යැයි සිතෙනු ඇත. ලොව ගැන අනර්ථ සෙවීමද නුවණ වැඩෙන විට වැටහෙන්නේ මෙසේය. සෙවිය යුතු අර්ථවත් විමුක්තියට අවශ්‍ය කාරණා තේරුම් ගන්ටත් කල් මදිව උත්සාහ කරන කෙනෙක් අනවශ්‍ය මුලාවකට උත්සාහ කරන්නේ නම් එය මෝඩ කමකි. අත්‍යාවශ්‍ය විමුක්ති ලාභය ලබන්ට පළමුව උත්සාහය දැඩි කළ යුතුයි. ඉන් පසු වැටහෙන්නේ පෙර සියල්ල දැනගන්ට තිබූ අදහස මුලාවක් ලෙසයි. එබැවින් විමුක්තිය සඳහා අවශ්‍ය දේ සොයගන්ට උත්සාහ කරමු. අප තේරුම් ගත යුත්තේ හේතුකාරක ශක්තියක් පහළ නොවුනොත් කිසි දෙයක නිර්මාණයක් නිකම් සිදු නොවිය හැකි බවයි. කොතනක කුමක් හට ගත්තත් එය හේතු සංභවයෙන්ම හට ගනු ඇත. හට ගත් යමක් වී නම් එහි පැවැත්මක්ද රඳා සිටන්නේ හේතු ශක්තිය මතමය. නිර්මාණය වූ සැමෙකකම සීමිත ශක්ති කදම්භයක්ම ගැබ් වී ඇති බැවින් එම නිර්මාණාත්මන පැවැත්මට එම ශක්ති කදම්භය ගෙවී යනු ඇත. එහි ගැබ්ව ඇති ශක්තිය ඒ නිර්මාණයේ පැවැත්ම සමග කුමයෙන් ගෙවී දුර්වල වන බැවින නිර්මාණ වස්තුවද ගෙවෙන ශක්තියට අනුරූප පරිවර්තනයට ගොදුරුව ක්‍රියා කරයි. එවිට දක්නට ලැබෙන්නේ ඒකාකාර වස්තු නොව විපරිණාමිකව වැනසී යන් දේමය. හටගත් සියල්ල විපරිණාමිකව වැනසෙන්නේ එබැවිනි. එසේ නම් මේ නිර්මාණ ශක්ති මූලය කුමක්ද? ලොව පවතින සියල්ල හටගත් දේ නම් ඒ කිසිවක් ශක්ති මූලය නොවිය හැකිය. යමක ගැබ්වී ඇති ශක්තිය ගෙවෙමින් තවෙකක් නිර්මාණය කරන්නට හැකිය. එහෙත් එය කෙරෙන්නේ මූලික වස්තුවේ ගැබ්වී ඇති ශක්ති කම්භය ක්‍රියාකර අවසාන වන තුරු පමණි. එබැවින් ඒවා ශක්ති නිර්මාණ මූල ධර්ම නොවේ.

(පිටුව 126)

අනාදියේ පටන් ලොව ඇසුරු කල මතක සටහන් අපගේ විඤ්ඤාණ ස්කන්ධ හා සම්බන්ධය. මේවාට නාම ගෝත්‍ර යැයි කයිනු ලැබේ. “නාම ගොත්තං නජීරතී” යයි කීවේ මේවාය. ‍ කුඩා කල අප කල කිව් දේ එකල අපගේ ආකාර සහ ඇසුරු කල දේවල් ආකාර කාලය සමග කෙතෙක් දුරස් වී ගියද මතක් කළ විට ඒ අවස්ථාව ඒ ආකාරයෙන්ම වැටහෙන හැටි සිතා බැලිය යුතුය. “පොඩි කාලේ මගේ ඉස්සෙල්ලම දතක් වැටුන. මම ඒක අතේ තබාගෙන බල බලා‍ හිටියා” මේ අප සැමගේම පාහේ එක්තරා මතක සටහනකි. අවුරුදු හැටක් පමණ වයස ගියත් කුඩා කල ඒ අවස්ථාව පිළිබිඹු කරන මනෝ රූප සටහනට වයස ගොස් නැත. ඒ සටහන දිරා නැත. එසේම කුඩා කල රූපාකාර සිද්ධිය ඒ ආකාරයෙන්ම මතක් කල හැකිය. මේ මතක සටහන් කාලය සමග දුරස් වනු ඇත. යම් ක්‍රියාවක් ‍සිදු කරන මොහොතක් මොහොතක් පාසාම මතක සටහන් ලෙස ක්ෂණිකයකින් කාලය සමග අතීතයට දුරස් වනු ඇත. තත්පරයක කාලයක් තුල අප යමක් දුටුවේ නම්, ඇසුවේ නම්, වින්දේ නම් ඒ මොහොතේ දකින, අසන, විඳින, දැනගන්න දේ ලෙසයි අපට වැටහෙන්නේ. මේ ගැන සියුම්ව විග්‍රහ කරන බලන විට ඒ තත්පරයක කාලය දාහට බෙදුවොත් තත්පරයේ අවසාන දාහෙන් පංගුව ගෙවෙන විට තත්පරයෙන් පංගු නවසිය අනූ නවයක් ගෙවී අවසානය. සිදුවූයේ මොහොතේ පටන් කාලය සමග අතීථය දුරස් වන මතක සටහනේ දැනෙන ප්‍රබලතාවය කුමයෙන් අඩුවී යයි. එහෙත් ආස්වාද ස්වභාවය හීන වූ මතක සටහන යළි යලිත් අරමුණු කල හැකියි. මේ කායික, මානසික, වාචසික ක්‍රියාදාමය සමහර ඒවා ආස්වාද ජනකය. ප්‍රබල දුක් වේදනාද සහිතය. ඒවා මතකයේ වැඩි කලක් ආස්වාද ලෙස සැප වේදනා හෝ ආදිනව ලෙස දුක් වේදනා ජනිත කරවන බැවින් යළි යළිත් මතක් කරමින් සැප දුක් ලෙස වින්දනය කරයි. මේ සැප වේදනා ලෝ සතුන් ආශා කරන දේවල්ය. යලි යලිත් බලාපොරොත්තු වන්නේ කාලය සමග මොහොතක අතීතයට යන සුබ වේදනා ස්වභාවයම වුවත් කාලය සමග ඒ මතකයෝ අතීතයට යාම නොවැලැක්විය හැකියි. මොහොතක ළඟ අතීතය සේ දුරස්ථවූ මතකය ආස්වාද නොදෙන බැවින්ද මේ මතක කාලය සමග දුරස්වීම නොවැලැක්වයි හැකි බැවින්ද යළි යළිත් එබදු ආස්වාද දෙන මොහොතවල් ඇසුරු කිරීමට අදහස් ඇතිවේ. මේ ආසන්න මතක ආස්වාද ඇති කරන්නේ ‍මන වඩන රූප, මන වඩන ශබ්ද, මන වඩන ගන්ධ, මන වඩන රස, මන වඩන ස්පර්ශ යන මේවාය. මේවා ප්‍රිය ස්වභාවයෙන්, මධුර ස්වභාවයෙන් යුතුය. ලෝ සතුන් ‍ඒවායේ ඇලී ගැලී සොයන්නේ ඒ නිසාය.

0 comments: