මෙම බ්ලොග් අඩවිය පිළිබඳව

සම්මා සම්බුදු පියාණන්වහන්සේ වදාළ සත්‍ය වූ බුද්ධ ධර්මය කාලයත් සමග සැගවෙන්නට ඇති ඉඩකඩ වැඩිය. එය ‍එසේ වූ නිසාම ශතවර්ෂ ගණනකින් මාර්ගඵල ලාභීන් බිහි වූ බවක් අසන්නට නොලැබිණි... එහෙත් මග ඵල ලැබ ගෞතම බුදු පියාණන් විවර කල නිවන් දොරටුවෙන් මාර්ගයට පිවිස ඵල ලැබී සැනසීමට නියම වූ ඇත්තන් තවමත් සිටින හෙයින් ඔවුන් සදහා උපකාරයක් වීමට නියම කළ්‍යණ මිතුරාගේ පැමිණීම සිදුවී ඇත. ඒ සැඟවුනු මාවත යලි විවර කරමින්, සැඟවුනු දහම් අරුත් මතු කරමින් සසර දුකින් පෙළෙන ඔබටත් මටත් අනන්ත සසර දුක් සයුරෙන් එතෙර වීමේ ප්‍රයෝගික මග හෙලි කරන අභිඥාලාභී පූජ්‍යපාද වහරක අභයරතනාලංකාර ස්වාමීන් වහන්සේගේ ධර්මානුශාසනා ඇසුරෙන් පලවූ "සැගවුණු බොදු මග කල එලි දකී" යන පොත ඇසුරෙන් මෙසේ සටහන් තබමි!

Apr 19, 2011

පිටුව 161 සහ 162

(පිටුව 161)
ඉහතකී නව ආකාරයේ දූෂ්‍යතාවය ඉතා භයානකයි. ආර්ය මාර්ගය වඩන අයට එය මහා විනාශයකි. විශාලපාඩුවකි. “අනේ මුලාවට පත් මෝඩ අසත්පුරුෂයන්ගේ හැටි. මොනවා කරන්නද? මා වැන්නෙකුට කරන හිංගි හිංසා හේතුවෙන් සිදුවන පාපය කවදා ගෙවා නිම කරන්ටද? කවදා හෝ ඔවුන්ට ගුණවතුන්ගේ ගුණ වැටහේවායි“ ප්‍රාර්ථනා කල යුතුයි. මේ වචන පවා කෙනෙකු ළඟ ඇසෙන්නට නොකීමයි ඉතා හොඳ ඒ වචනයෙන්ම පෙරළා ගසන පහරක් විය හැකි බැවිනි එසේ අනුන්ට ඇසෙන්ටද නොකිය යුතුවේ. මොනවා කිව්වත් මම නම් හතුරෙකුගේ වත් සිත රිදෙන දෙයක් නොහිතමි, නොකියමි, නොකරමියි තරයේ ඉවසීමෙන් කටයුතු කළ හැකි නම් අසත්පුරුෂ ලෝකය කෙරෙහි හිත වහා මිදී යනු ඇත. ‍ලෝකය දුක් ගිනි වලින් පිරී ඇති හැටි මනාසේ පෙනෙනු ඇත. ඉවසීම දිනෙන් දින පුරුදු වූ විට කවුරු තමාට මොන අවැඩ කලත් අකම්ප්‍යව සමවතින් සිටින්නට හැකි වනු ඇත. එවිටයි තම ඉවසීමේ ප්‍රතිඵලය ලෙස අත්විඳින්නට ලැබුන මානසික වූ ශාන්තිය අත් දකින්නේ. පෙර අවැඩ කරනු දුටු විට හටගත් දාහ ගින්න සිසිල් ජලාශයක් ගලාවිත් නිවී ගියා සේ පසුව වැටහෙනු ඇත. ලෝක‍යේ බොහෝ අය මට හතුරුකම් කළත් මම ලොව කිසිවෙක් සමඟ හතුරු නැතැයි තමන්ට විශාල සැනසුමක් ඇති වනු ඇත. ආර්ය මෛත්‍රීය නිරායාසයෙන් වැඩෙන අතර මේ වැඩ පිළිවෙල වහ වහා අනාගාමී ඵලය කරා ඒ දහම ආධාරයෙන් ගෙන යනු ඇත. එබැවින් මෙසේ දූෂ්‍ය නොවී සිටිය හැකි නම් එය ආර්ය ශ්‍රාවක මහා ගුණයකි. මෙබඳු උතුම් ගුණයට සම කළ හැකි ලෞකික වූ තවත් කිසිම ගුණයක් නැත. එතරම් උත්තරීතර ගුණයකි. අසත්පුරුෂයා තමන්ට සියයක් කළ යහපත් දේ අතර එක අඩුපාඩුවක් දුටු තැන පහර ගසන, විවේචනය, අපහාස කරන බවත් සත්පුරුෂයා තමන්ට කළ සියයක් අයහපත් දේ අතර එක් යහපතක් දුටුවොත් ඒ ඉතිරි සියල්ලෙහි මධ්‍යස්ථව ඒ ගුණ මාත්‍රය හුවා දක්වා ප්‍රශංසා කරන බවත් බුදු පියාණන්වහන්‍සේ දේශනා කර ඇත. ඒ බුද්ධ භාෂිතය අනුව කටයුතු කරන සත්පුරුෂ‍යෙක් විය හැකි නම් අප නොසිතූ අයුරින් සතුරා යටහත් වනු ඇත. සතුරුකම් මගහැරී යනු ඇත. මෙබඳු කෙනෙකුට හදවත් උණු නොවී තවත් හතුරුකම් කරනවා නම් කවදා හෝ එබඳු සත්පුරුෂයා සසර කළ බලවත් පාප කර්ම නිසාම සිදුවන්නකි. එබඳු උතුමන් ඒ ගැන සිතා සන්සුන් වේ. ගැටීමට නොයනු ඇත.
 
(පිටුව 162)
මෙවැනි උතුමන්ගෙන් හතුරෙකුට වත් අවැඩක්, අයහපතක් සිදු නොවේ. තමන්ට චිත්ත ශාන්තිය වැඩී එන්නේ නිරායාසයෙනි. මුලදී මේ හික්මීම ඉතා බැරෑරුම් කටයුත්තක් ලෙස පෙනුනත් ප්‍රගුණ වූ විට ඉතා ශාන්තය. පහසුය. සමාජය සත්පුරුෂ වූ තරමට යහපත් ගති ගුණ ඇති අයට වාසය ඉතා සැනසුම්දායකය. දහම් මග බොහෝ පින්වතුන්ට වැඩී එයි. එසේම යම් කලක සමාජය අසත්පුරුෂ වූ තරමට සිල්වතුන්ට, ගුණවතුන්ට ඒ සමාජ පරිසරයද බාධක කරදර සහිත වේ. ගුණය නිසා ශාන්තව සියලු කරදර ඉවසුවත් ආරම්භක ගුණ වඩන උතුමන්ට එය මහත් බාධකයක්‍ වේ. මහා වෘක්ෂය සැඩ හිරු එළියට ඔරොත්තු දෙමින් අනිත් ගස්වලට සිසිල, සෙවන සැපයුවත් ළදරු පැළෑටියට ඔරොත්තු නොදෙන්නාක් මෙනි. මෙතරම් බණ කියන, බණ අසන රටක්, මෙතරම් අපරාධ කෙරන ‍රටක් ලොවම නැතියි සමහර පිරිස් මේ ලක්බිම සමච්චලයට ලක් කරනු මෙකල අසන්නට ලැබීම නොරහසකි. ඇයි අප රටට මෙහෙම අපවාද ලබන්නට හේතු වුනේ, හේතු ඇති නිසයි ඒ අය එහෙම කියන්නේ. නිය තුඩින් කඩා දැමිය යුත්ත ගණන් නොගෙන හැරීමෙන්ද අද පොරොවෙන් කපන්නටත් අමාරු වන වල් ගස් මෙන් දුෂ්චරිත බලවත් වී ඇත. කුළු මී හරකාට “හෝව්” කිව්වාට අසයිද? හතර පස් දෙනෙකුට වත් කීකරු කරන්නට හැකිද? කුඩා කල පටන් මිනිස් පරිසරයේ මිනිස් ඇසුරේ සැදුන හරක් සිය ගණනක් එක් ගොපලු දරුවෙකුට අවනත වන හැටි පෙනේද? පොඩි දරුවෙක් අත ඇති කෙවිට දුටු පමණින් ඕනෑම අතකට, හරක් රෑනක් පාලනය කරන ක්‍රමය වෙනස් වී නැත. ඊට බාධක වන වැඩ කටයුතු ගව රැලට හිමි වී නැත. ස්වභාවයෙන්ම සටන් කරන්නට අං ඇති හැඩි දැඩි මී හරක් පවා ක්‍රමානුකූල පාලනයක කුඩා කල පටන් හික්මවා ගත් විට කෙතෙක් දුරට කීකරු පිරිසක් කරගත හැකිද? එසේ නම් ඇයි හොඳ, නරක, යහපත්, අයහපත් දේ ගැන දැනුම් තේරුම් ඇති මිනිසාට මග පෙන්වා යහපත් කරන්නට මෙතරම් අමාරු?

0 comments: