මෙම බ්ලොග් අඩවිය පිළිබඳව

සම්මා සම්බුදු පියාණන්වහන්සේ වදාළ සත්‍ය වූ බුද්ධ ධර්මය කාලයත් සමග සැගවෙන්නට ඇති ඉඩකඩ වැඩිය. එය ‍එසේ වූ නිසාම ශතවර්ෂ ගණනකින් මාර්ගඵල ලාභීන් බිහි වූ බවක් අසන්නට නොලැබිණි... එහෙත් මග ඵල ලැබ ගෞතම බුදු පියාණන් විවර කල නිවන් දොරටුවෙන් මාර්ගයට පිවිස ඵල ලැබී සැනසීමට නියම වූ ඇත්තන් තවමත් සිටින හෙයින් ඔවුන් සදහා උපකාරයක් වීමට නියම කළ්‍යණ මිතුරාගේ පැමිණීම සිදුවී ඇත. ඒ සැඟවුනු මාවත යලි විවර කරමින්, සැඟවුනු දහම් අරුත් මතු කරමින් සසර දුකින් පෙළෙන ඔබටත් මටත් අනන්ත සසර දුක් සයුරෙන් එතෙර වීමේ ප්‍රයෝගික මග හෙලි කරන අභිඥාලාභී පූජ්‍යපාද වහරක අභයරතනාලංකාර ස්වාමීන් වහන්සේගේ ධර්මානුශාසනා ඇසුරෙන් පලවූ "සැගවුණු බොදු මග කල එලි දකී" යන පොත ඇසුරෙන් මෙසේ සටහන් තබමි!

Apr 27, 2011

පිටුව 169 සහ 170

(පිටුව 169)
බොදුනු පවුලක් ගොඩනැගූ දිව්‍යමය සංකල්පය
ඉහත කී පිරිස් රජ මණ්ඩලයයි. එකළ ප්‍රාණඝාතය, සත්ව හිංසාව රජයෙන් තරයේ හෙලා දැක ඇත. හොර මැර වංචා දඬුවම් ලැබෙන නීච වැ‍ඩ ලෙස සැලකීය. ඒවාට කිසිම අනුබලයක් නැත. මත්පැන් හල් තහනම්ය. සූදුව, මුදල් ගසාකන ව්‍යාපාර කිසිවක් රජයෙන් නැත. දුරාචාර, අපචාර වලට කිසිම අනුබලයක්ද නැත. බොරුවෙන් රැවටීම නින්දා අපවාද දෙවන නීච වැඩකි. කේළමෙන් බිඳවීම නීච ලෙස හෙළා දැක ඇත. පරුෂ බවින් කරන වැඩ කටයුතු වලට ඉඩ නැත. ‍ප්‍රලාප වැඩ කිසිම තැනක නැගෙන්ට නොදේ.  කුල කුමරියන් ලෙස එකල හැඳින්වූ‍ තරුණියන්ට කෙල්ලන්ගේ වැඩ හෙවත් කෙලි වැඩ නැත. කෙල්ල යනු දාසියට කියන නමකි. පහත් තැනැත්තියක් බවට පත් කරන බාල වැඩ කෙලි වැඩ නමින් හැඳින්වින. සෙල්ලම් කරන්නේ බාලයෝය. වයසින් මුහුකුරා ගියත් සෙල්ලම් බාල වැඩ ලෙස නීච ලෙස පිළිගැනුණි. මෝහ ස්ථර හෙවත් මෝහ පටල වලට ‍මෝස්තර කියා නිගරු කලේය. සැළුන ‍ ලය යනු පහත් සිත්ය. ඒවාට ආලය කලේ සල්ලාලයාය. සල්ලාල කමට එදා ඉතා පහත් තැනක් සමාජයේ හිමි විය. එබඳු වැඩට ඉඩ තැබුවේ නැත. එදා සිටි බොදුනු සමාජය තුල භික්ෂූන් වහන්සේ ප්‍රතිපත්ති ගරුක විය. සමගියෙන් සමාදානයෙන් එකතුව ධාර්මික ජීවිතයක්, හරවත් ජිවිතයක් ගත කරන්නට දහම් අධ්‍යාපනය දුන්නේ ස්වාමීන් වහන්සේය. උන්වහන්ට සමාජය සැලකූවේ දෙවත්වයෙනි. ඝනයක් හෙවත් සමගි පිරිසක් ලෙස සමාජය චරිතවත් ‍හැඩ ගස්වන උන්වහන්සේලාට ඝන දේවයෝ යැයි නම් කෙරුණි. දේව ගුණ ධර්ම තුළ ජීවත් වූ එකල මනුෂ්‍යයෝ සම්මත දෙවිවරු, දේවිවරු ලෙස විරුදාවලි ලැබූ පිරිසකි. ස්වාමී පුරුෂයාට කතා කලේ දෙවියෝ කියාය. ස්වාමිපුරුෂයා භාර්යාවට කථා කලේ දේවිය කියාය. දැරියට කුමරිය කියාත්, දරුවා කුමාර කියාත් ඇමතීය. පව් වැඩ නැති නිවසට ශ්‍රියාව, කාන්තිමත් ආලෝකය දෙන සුචරිතවත් තැනැත්තියට ශ්‍රියා කාන්තා දේවිය යැයි ඇමතීය. විසම නොවූ සංකල්ප ඇති ස්වාමි පුරුෂයා විෂ්ණු දෙව් නමින් හැදින්විය. විවාහයෙන් පසු වෙන්ව ගෙයක පදිංචි වූයේ දෙමව්පියන්ගේ මුහුණ බලන්ට විවාහක නව අඹු සැමි යුවලට ලජ්ජා කරුණක් වූ බැවිනි. වෙන් වුවත් සමගිදාමයෙන් මව්පිය සොයුරු සොයුරියයන්ගේ හා හුයකින් බැඳුන ලෙස කටයුතු කළ ඔහු වෙන් හූ දෙවි නමින්ද සම්මත විය. මේ අඹු සැමි දෙදෙනා සුචරිතවත් බොදුනුවන් වූහ. පිරිමියා ඉගෙනීම ලැබුවේ පරගැති පර අදහස් වලින් වෙන්වූ බොදුනු පිලිවෙත කියා දෙන පරවේනි හෙවත් පි‍රිවෙන තුලය.

(පිටුව 170)

ගුරු පියාණෝ නායක තෙරුන් වහන්සේය. ඉගැන්නුවේ බුදු දහම අනුව ජීවිතය හැඩ ගස්වා ගැනීමය. ඝනයා යනු අද අපහාස නමක් වුවත් එකළ ගෞරව නාමය හා සම්බන්ධ විය. ඝන දේව හෙවත් ස්වාමීන් වහන්සේ ආශ්‍රයේ ඉගෙන ගත් කාලය ගණේෂ නමින් හැඳින්වීය. වසර අටක් ඉගෙනුම ලැබූ නිසා වසරින් වසර ලැබූ දැනුම අෂ්ඨ ගනේෂ නමින් පුද්ගල නාමිකව හැඳින්විය. පිරිමි පුළුටක පහසට හසු නොවන සේ ලජ්ජා බිය ඇතිව සුචරිතව මව් ලඟ හැදුන වැඩුන දියණියට අත්කම් භාණ්ඩ නිපදවීම, ඉවුම් පිහුම්, රසකැවිලි සෑදීම ආදි අවශ්‍ය සියලු කරුණු මෙන්ම කීකරු ගුණ යහපත් කාන්තාවක් ලෙස කුල පවුලකට ඇතුළත් කරන්ට හැඩ ගැසුනි. කුල සිරිත් පරිදි අවාහ විවාහ කටයුතු සිදු කළ පසු ඒ දෙපොල උතුම් බොදුනු පවුලක් ලෙස ‍ජීවිතය ආරම්භ කළේය. පාප දුෂ්චරිත පිටු දැක ධාර්මිකව ජීවත් වන ස්වාමි පුරුෂයාගේ ලයෙහි තිබෙන්නේ පන්සලේ ස්වාමීන් වහන්සේගෙන් ඉගෙන ගත් බෞද්ධ චර්යා පද්ධතියයි. පර දහම් වලට ගැති නොවී බුදු දහම ගුරු කරගත් ලයක් ඇතිව දහමට අනුව විශ්වය දකින නුවණ ඇති හෙයින්ද, විස නොවන ගති ඇති හෙයින්ද, නිතර නුවණින් යුතුව වෙසෙන හෙයින්ද විෂ්ණු නම් සම්මතයට හිමි දේව ගති ඇතිව ඒ ස්වාමි පුරුෂයා ලය නිවුන හෙයින් නීල වර්ණයෙන් සංකේතවත් කර ගුරුලා පිට සිටින නීල වර්ණ රුවකින් පිළිබිඹු කරන ලදී.  
උම නම් වූ මාතෘ ගුණ නෙලා ගෙන සිටින ශ්‍රියාවෙන් කානතිමත් වූ භාර්යාව නෙලුමක් පිට සිටින ශ්‍රියා කාන්තා නම් ස්ත්‍රී රුවකින් පිළිබිඹු කරන ලදී.
 
මේ බෞද්ධ කලාකරුවන් ස්වාමි පුරුෂයා හා භාර්යාව යන දෙදෙනොගේ දේව ගති ලක්ෂණ මනසින් දුටු ආකාරයයි. හතර අතක වැඩ කටයුතු ක්‍රියාවට නගන විෂ්ණු ශුද්ධ හඬ නගන බැවින් එක අතක හක් ගෙඩියක්ද ලෝභ, දේවේශ, මෝහ යන මේවා උල් කටයුතු කරන බැවින් එක අතක ත්‍රිශූලයකින්ද, මාතෘ ගුණයම නෙලා ගන්නා ගති ඇති බැවින් අතක නෙළුමකින්ද, පාපය දුටු තැන වහා වනසා යුක්තිය ධර්මය නගා සිටුවන්ට කටයුතු කරන බැවින් අතක පාරු වළල්ලකින්ද නීල වර්ණ රුව සංකේතවත් කරන ලදී.  භාර්යාවද උම දහම් හෙවත් මාතෘ ධර්මය නෙලා ගන්නා බැවින් එක අතක නෙළුමකින්ද, අභ්‍යන්තර ස්වර්ණමය බවින් හද පත්ලෙන් කරන ස්වර්ණයම කටයුතු ඇති බැවින් රන් පිරවූ කලයකින්ද, කරන කටයුතු ස්වර්ණමය බැවින් අත්ලෙන් ගලන රන් දහරාවකින්, නිතර මාතෘ ගුණ ලොවට පතුරවන බැවින් මෙන්ම ස්වර්ණමය අදහස් දරන බැවින් අතක නෙළුමකින්ද සංකෙත්වත් කරන ලදී.

0 comments: