මෙම බ්ලොග් අඩවිය පිළිබඳව

සම්මා සම්බුදු පියාණන්වහන්සේ වදාළ සත්‍ය වූ බුද්ධ ධර්මය කාලයත් සමග සැගවෙන්නට ඇති ඉඩකඩ වැඩිය. එය ‍එසේ වූ නිසාම ශතවර්ෂ ගණනකින් මාර්ගඵල ලාභීන් බිහි වූ බවක් අසන්නට නොලැබිණි... එහෙත් මග ඵල ලැබ ගෞතම බුදු පියාණන් විවර කල නිවන් දොරටුවෙන් මාර්ගයට පිවිස ඵල ලැබී සැනසීමට නියම වූ ඇත්තන් තවමත් සිටින හෙයින් ඔවුන් සදහා උපකාරයක් වීමට නියම කළ්‍යණ මිතුරාගේ පැමිණීම සිදුවී ඇත. ඒ සැඟවුනු මාවත යලි විවර කරමින්, සැඟවුනු දහම් අරුත් මතු කරමින් සසර දුකින් පෙළෙන ඔබටත් මටත් අනන්ත සසර දුක් සයුරෙන් එතෙර වීමේ ප්‍රයෝගික මග හෙලි කරන අභිඥාලාභී පූජ්‍යපාද වහරක අභයරතනාලංකාර ස්වාමීන් වහන්සේගේ ධර්මානුශාසනා ඇසුරෙන් පලවූ "සැගවුණු බොදු මග කල එලි දකී" යන පොත ඇසුරෙන් මෙසේ සටහන් තබමි!

Mar 22, 2011

පිටුව 155 සහ 156

(පිටුව 155)
යම්සේ මේ හාමත් බලු උපාදානය සියල්ලන්ටම වඩා බලවත්ව ක්‍රියාත්මකව පවතින විට එබඳු කලක එම මිනිස් කය බිඳී ගියොත්. භව ගාමී වූ දුසිරිත් පාප සහගත බලු ජාතියක් නිපදවන්නට හේතුවූ ශක්තිය ක්‍රියා කරන්නට පටන් ගනී. ඒ කර්ම ශක්තියේ පාලනයට බලයට නැමුන සතර මහා භූත ක්‍රියාකාරීත්වය හාමත් බලු ජාතියක් ලොව පහළ කරන්නට සුදුසු පරිදි ක්‍රියාත්මක වේ. මේ බලවේගය කිසිවකුගේ කැමත්තට හෝ අකමැත්තකට අනුව පාලනය වන්නක් නොවේ. යම් ධර්මතාවයකට මෙසේ අවනතව ස්ව හෙවත් තමා පහළ කරයිද එබැවින් ස්ව + භාව යන ධර්මතාව ලෙස ක්‍රියාත්මක වේ මෙයයි ස්වභාව ධර්මය. ස්වභාව ධර්මය ලෙස ක්‍රියා කරන්න නියම පටිච්ච සමුප්පාද නියාමයයි. දැන් අප දැක ඇත්තේ මේ ධර්ම නියාමයේ ප්‍රතිඵලයයි. හාමත් බලු ධර්මතාව දුෂ්චරිතයකි. නොකටයුත්තකි, පාපයකි, වරදකි, අනාථ බවකි, කැමති සේ ‍නොපවතින්නකි, දුක් පීඩාවකි කියා නොදකින බැවින් හාමත් බලු ධර්මායෝ යථා තත්වය නොදකින අවිද්‍යාවෙන් වැසුණු අසත්පුරුෂ ස්වභාවයෙන් ආරම්භ වී පටිච්ච සමුප්පන්නව සතර ධාතු හෙවත් ආපෝ ධාතු, තේජෝ ධාත, වායෝ ධාතු, පඨවි ධාතු යන මේවායේ සමවායෙන් පහල වූ චිත්ත, චෛතසික, රූප, ස්කන්ධ පොදියකි ඒ අප කියන බල්ලා කියන ජාතිය. මෙබඳු හේතු ඵල පාප පොදියක් උඩ පැන පැන සතුටු උනාට දහම් දත් අයට එයද සංවේග උපදවන්නක් මිස සතුටු වන්නට කාරණයක් නොවනු ඇත. අවිද්‍යාවක, තෘෂ්ණාව පැටළුන අනාථ ක්‍රියාවලියක් හැර එහි ඇති හරය කුමක්ද කියා සිතෙනු ඇත. ආර්යය පුණ්‍ය ක්‍රියාවක් කරන විට බල්ලාගේ බඩගින්න ගැන කම්පා වී කුමක් කරම්ද? උගේ දැඟලුම, ප්‍රබෝධය, නැටුම ගැන කුමකට සතුටු වෙම්ද? මේ සියල්ල හිස් මුලාවන්ය. එසේ නම් යහපත් සේ ආර්යය මාර්ගයට ගැලපෙන සේ ඌට ආහාර දී කුමක් බලාපොරොත්තු විය යුතුද? බුදු පියාණන් වහන්සේ දේශනා කළ නව ලෝකොත්තර ධර්ම රත්නය ශ්‍රවනය කර දරාගෙන ඒ මග අනුගමනය කරන මම ආර්යය ගුණ දරන කෙනෙක්මි. එබැවින් බුද්ධ ශ්‍රාවකත්වයට හිමිකම් කියන සිව් පිරිසට අයත් යමෙක් බුද්ධ ශ්‍රාවකයන් කෙරෙහි මාත්‍ර වූ හෝ චිත්‍ර ප්‍රසාධයක් පහළ කරන්නේ නම් දීර්ඝ කාලයක් ඔහුට හිතසුව පිණිස, සුගතිය පිණිස කවදා හෝ නිර්වාණාවබෝධය පිණිස හේතු වනු නොඅනුමානය.

(පිටුව 156)
මේ බල්ලාට මා දෙන මේ ආහාර ටික නිසා එම සතාට මා කෙරෙහි සතුටක් ප්‍රසාදයක් ඇතිවනු ඇත. එයම ඔහුට සසරෙන් මිදීමට මාගේ මේ කටයුත්ත නිසා ලැබෙන සම්පත්තියකි. මා බුදු සව්වෙක් බැවින් මා කෙරෙහි යම් අමනාපයකින් මූ හැසිරෙයිද? කටයුතු කෙරයිද එය මූ නොදැන සිටියත් දුගතියට විනාශයට හේතුවනු ඇත. මෙසේ මොහුට මතුවන විනාශය නොවේවායි මූ කුපිත නොකරමි. මූට සිත සතුටු වන ලෙස මේ ආහාරය දී ඒ සතාට ඇති වන මාත්‍ර වූ හෝ චිත්ත ප්‍රසාදයේ වටිනාකම සිහිකර මේ ආහාරය දෙමි. මෙසේ සිහිකොට දුන් ඒ බත් පිඩ තමාගේ ඤාණ සම්පයුත්ත ආර්යය ක්‍රියාවක් වනු ඇත. සතා තමා දැක නකුට හෝ වැනුවේද සතුට පහළ කළේද මෙයම ඔහුට මතු යහපතකට ද කවදා හෝ සත්පුරුෂ ආශ්‍රයකට ද මග පෑදෙන කරුණකියි දැන එයම සිදුවේවා, අනන්ත සසරින් මිදේවායි සිහි කළ යුතුයි. මෙහිම ආර්යයන්ට ගැලපෙන මෛත්‍රී සහගත යම් කාය කර්මයක් ඇත්ද වචී කර්මයක් ඇත්ද මනෝ කර්මයක් ඇත්ද ඒ සියල්ල සිදුවනු ඇත. සසර දුක ගැනත් දුකට හේතු කාරක සකස් වන අයුරුත් දුක දුරලන නිවනත් ඒ නිවන් මග ක්‍රියාත්මක වන ආර්ය අෂ්ඨාංගික මාර්ගයෙන් තත්වාකාර නුවනට දැක මාර්ගයද මාත්‍රයෙන් මාත්‍රය වැඩෙනු ඇත. දිනපතා මෙසේ සිහි කර බල්ලෙකුට කන්ට දෙයක් දෙන කෙනෙකුටද නිවන ඇති වන හැටි මෙසේ තේරුම් ගත යුතුයි දිනෙන් දින මෙසේ නැතිබැරිකම් දුප්පත්කම් අනාථ වූවන් ආදීන් ඊට හේතු වූ මූල ධර්මතාවයන් එය වැළඳ ගන්ට හේතු වන අවිද්‍ය ස්වභාවයෙන් එයින් පහළ වී ඇති අසරණ අනාථ ජාතිවල ස්වභාවයෙන් පටිච්ච සමුප්පන්න ධර්ම න්‍යය අනුව සිතන්නට වූ විට ඉතා කෙටිකලකින් “යෝ පටිච්ච සමුප්පාදං පස්සති, සෝ ධම්මං පස්සති“ යන බුද්ධ දේශනාව පරිදි “යමෙක් පටිච්ච සමුප්පාදය දකීද හේ ධර්මය දකී “ අයුරින් දහම් දකිනු ඇත.  මේ බුදුන් දැකීම යනු රූපයක් දැකීම නොව පරම සත්‍යය දැකීමයි.  දහමේ සියුම් කරුණු විනිවිද දැකීමට කට පාඩම් තිබුණත් බැරිය. මේ සදහා සමතයකට පත් මනසක් තිබිය යුතුය. සමතයකට පත් මනසක් ඇති විටයි ආත්ම ලාභයට වසඟ නොවී හරි වැරදි නියම හේතු පල ධර්ම අනුව වටහාගෙන්ට හැකි වන්නේ. අංගුත්තර නිකායේ සත්පුරිස සූත්‍රය, පරම සත්පුරිස සූත්‍රය, අසත්පුරිස සූත්‍රය, පරම අසත්පුරිස සූත්‍රය යැයි සූත්‍ර හතරක් ඇත. ‍ මිච්ඡා දිට්ඨි, මිච්ඡා සංකප්ප, මිච්ඡා වාචා, මිච්ඡා කම්මන්ත, මිච්ඡා ආජීව, මිච්ඡා වායාම, මිච්ඡා සති, මිච්ඡා සමාධි යනුවෙන් මිච්ඡා දහම් අටකින් යුක්ත වන්නේ අසත් පුරුෂයායි. මිච්ඡා ඥාණ, මිච්ඡා විමුක්ති යන දහම් දෙකද ඒ සමඟ යෙදුනහොත් පරම අසත්පුරුෂයො ලෙස හඳුන්වා ඇත.

Mar 10, 2011

පිටුව 153 සහ 154

(පිටුව 153)
මෙසේ ඉන්ද්‍රීය 6 ඉහත කී ධර්මතාවයට ආයතන වී ඊටම ආධාර ලබා දෙන විට ඒ ආයතන 6 ප්‍රත්‍ය වීමෙන් හාමත් බලු ධර්මතාවයට වඩ වඩාත් නැමෙමින් එයම රුප්පනය බලවත් කරන්නට පටන් ගනී. සලායතන පච්චයා නාම රූපං යන සිද්ධාන්තය හාමත් බලු ධර්මතාවයට ක්‍රියාත්මක වූ ආකාරයයි. ඒ, මෙසේ හාමත් බලු ධර්මතාවයට නැමී එයම රුප්පනය වන විට ඉන්ද්‍රීය 6 ක්‍රමයෙන් ඒ ධර්මතාවයටම බලවත් වූ ආයතන බවට පත්වේ. මෙසේ ඇස, කණ, දිව, නාසය, දිව, කය යන ඉන්ද්‍රීය 5 හාමත් බලු ධර්මතාවයට ආයතන වී 6 වෙනි වූ මන ඉන්ද්‍රීය හාමත් බලු ධර්මතාවය දරන මනායතනයක් ලෙස බලවත් වේ. මෙසේ බලවත් වූ මනායතනය 6වෙනි ආයතනයයි. නැත්නම් නාම රූප පච්චයා ජට්ඨායතනං යන සිද්ධාන්තය අනුව ක්‍රියාත්මක වේ. බලවත් වූ එම ජට්ඨායතනය හාමත් බලු ධර්මතාවයම දැන් බලවත් ලෙස ස්පර්ශ කරයි. මෙම බලවත් වූ හාමත් බලු ධර්මතාවයේ ස්පර්ශයේ පමණට එම හාමත් බලු ධර්මතා වින්දනයද බලවත් වේ. ඵස්ස පච්චයා වේදනා යන සිද්ධාන්තය අනුව මෙසේ ක්‍රියාත්මක වේ. දුෂ්චරිත සහිත වූ හාමත් බලු වින්දනය එම හාමත් බලු ධර්මාතාවයම බලවත් සේ ස්පර්ශ කරවයි. බලවත් වූ හාමත් බලු ධර්මතාවය ස්පර්ශ කරන විට අසත් පුරුෂයා ඒ වින්දනය හෙවත් එම වීම හා එක් වෙයි. වීම ධන වන නිසා වේදනා යන නමට පත්වේ. ඵස්ස පච්චයා වේදනා යන සිද්ධාන්තය අනුව ක්‍රියාවලිය සිදුවේ. මෙසේ හාමත් බලු ධර්මතාවයට පත්වීම බලවත් වන විට එහි ආශ්වාද හොයන මෝඩයාගේ ස්පර්ශය තව තවත් බලවත් කරයි. වේදනා පච්චයා ඵස්සෝ යන සිද්ධාන්තය මෙසේ ක්‍රියාත්මකය බලවත් වූ හාමත් බලු ධර්මතා ස්පර්ශයෙන් ඒ වීම ම බලවත් වී බලවත් හාමත් බලු ධර්මතාවේ වීම තර කර ගනී. බලවත් වූ වේදනාවට පත්වේ. අසත්පුරුෂයා මේ වින්දනය ප්‍රිය ලෙස, මධුර ලෙස සිතයි. එවිට ඒ තන්හිම හා වේ හෙවත් තණ්හා වේ. ප්‍රිය, මධුර ලෙස ගත් දුෂ්චරිත වූ හාමත් බලු ධර්මතාවයේ තණ්හා පහළ වූ විට වේදනා පච්චයා තණ්හා යන සිද්ධාන්තය ක්‍රියාත්මක වී ඇත. හාමත් බලු ධර්මතාවයේ හා වූ විට එයම යළි යළිත් බලවත්ව ඒ ස්වභාවයම ඒ පැවැත්ම සමඟ බලවත් ලෙස හා වේ.


(පිටුව 154)

නැත්නම් තණ්හා වේ. මෙසේ තණ්හා පච්චයා වේදනා වේ. යළි යළිත් එම වින්දනය බලවත් වේ. බලවත් වූ එම පාප ආස්වාද වින්දනය නිසා එහිම ඇලීම බලවත් වේ මෙසේ හාමත් බලු ධර්මතාවයේ තණ්හාව බලවත් වූ විට ඒ පාප ධර්මතාවයටම ඇදී සිටී. බැඳී සිටී. තණ්හා පච්චයා උපාදානං යන ධර්ම සිද්ධාන්තය ක්‍රියාත්මක වේ. මෙසේ හාමත් බලු ධර්මතාවයෙන් ඉවත් වන්නට බැරි ලෙස බැඳී ගිය විට ඔහු ඒ හාමත් බලු ධර්මතාවයට හසුවී හමාරය.

හාමත් බලු ධර්මතාවයට බැඳී ඒ වැඩ පිළිවෙලෙහිම හිතින්, කයින්, වචනයෙන් බලවත් සේ එම හාමත් බලු ධර්ම පාප ක්‍රියාවලියම බලවත් කරමින් බැඳී සිටී. මේ ආසන්නයේම ඇදී සිටීම හෙවත් උපාදාන වීම නිසා හාමත් බලු ධර්මතාවය කියන තණ්හිම යළි යළිත් හා වේ. නැත්නම් තණ්හා වේ.

උපාදාන පච්චයා තණ්හා යන සිද්ධාන්තය සිදුවේ. යළි යළිත් ඒ දුසිරිත් පාප ස්වභාවයේ ඇලෙන විට එයටම ඇදී බැඳී සිටී. බලවත් තණ්හා ප්‍රත්‍ය යෙන් බලවත් සේ උපාදානය මෙසේ වේ. මෙසේ ඒ මිනිසත් භවයේදීම හාමත් බලු ධර්මතාවය ආසේවිත හෙවත් ඇසුරු කර යළි යළිත් යෙදෙමින් භාවිත කර තද බල ලෙස ඇලී බැඳී ගොස් බහුලීකෘත කර ඒ අත්බැව්හිදී මිනිස් කය තිබිය දීම මානසිකව හාමත් බලු බවට පත්ව හිඳී. මේ හාමත් බලු කර්ම භව සකස් වූ හැටියි. උපාදාන පච්චයා භවෝ පටිච්ච සමුප්පාද සිද්ධාන්තය මෙහි ක්‍රියාත්මක වී ඇත. මෙසේ හාමත් බලු ධර්මතාවයට භව ගාමීව සිටින විට නැගෙන ශක්තිය දුෂ්චරිත වූ හාමත් බලු ජාතිය මතු පහළ කරන්නට හේතු වන කර්ම ශක්තිය ප්‍රභව කරයි. භව නම්වූ නාම ධර්මය ඇසුරු කර නොදිරන නාම ගෝත්‍ර නම් වූ නාම ක්ෂේත්‍රයේ පිහිටයි. ඉතාමත් ක්ෂණික ලෙස වේදනා, සංඥා, සංඛාර, විඤ්ඤාණ යන චිත්ත චෛතසික උප්පාද, ඨිති, භංග යන ලෙස ඇතිව විපරිණාමව බිඳී ගියත් ඒ ගවේශණයන්ගෙන් අත් කරගත් ගෝත්‍ර “නාම ගොත්තං නජීරතී“ යනුවෙන් ශක්තිය ක්‍රියාත්මක වන තුරු නොදිරා ඒ ශක්තියද ඒ ගෝත්‍ර සමඟ එම ක්ෂේත්‍රයේ පිහිටනු ඇත.

පිටුව 151 සහ 152

(පිටුව 151)
තමන්ට අර්ථ නොවැටහුනත් ඇසුර ලැබුනේ අර්ථවත් දෙයක් නම් එයින්ද ත්‍රිහේතුක පුණ්‍ය සංඛාර වැඩෙන බව මේ උදාහරණ වලින් පළමුව තේරුම් ගත යුතුයි. බුදු පියාණන්වහන්සේ මධුර ස්වරයෙන් ධර්ම දේශනා කරන හඬ අසා සිටි මැඩියෙක් ඒ මොහොතේදී ගොපලු දරුවෙකුගේ කෙවිටකට හිරවී එවේලේම මිය ගොස් ඒ චිත්ත ප්‍රසාදයෙන්ම මණ්ඩුක නම් දිව්‍ය පුත්‍රව උපන් හැටිත් යළි ඒ දේශනාවම ශ්‍රවනය කර සෝතාපන්න වූ හැටිත් ත්‍රිපිඨක ග්‍රන්ථ වල සඳහන් වේ. කිරි වවුලන්, මුවන් ධර්ම ශ්‍රවණය මධුරත්වයට පැහැදී මිනිස් දරුවන්ව ඉපිද මේ සසුනේ මහණව නිවන් දුටු හැටිත් පසු කාලීන ධර්ම ග්‍රන්ථ වලද සඳහන් වේ. තිරිසන් සතුන්ට අර්ථවත්ව දහම් තේරුම් ගන්ට හැකියාවක් නැති නමුත් ආර්ය ශානතියෙන් නැගුන ස්වර මධුරත්වය පවා අර්ථවත් ශාන්ත රසවත් බව ත්‍රිහේතුක පිනත් සුචරිත ගුණත් ඇති කරන්නට හේතු වන බව මෙයින් පැහැදිලි වේ.
ප්‍රතිග්‍රාහකයා කෙසේ වෙතත් දායකයා දැනුවත් නම් ඤාණ සම්පයුක්ත නම් ඒ හේතුවෙන් කරන කටයුතු නිසා දායකයාටත් ප්‍රතිග්‍රාහකයාටත් ලැබෙන්නේ යහපත්කමය. දැන් අප පෙර මාතෘකාවට බසිමු. අප හිතමු අප කන්ට දුන් සතා බල්ලෙක් කියා, පළමුව අප මේ බල්ලා ගැන සිහි කළ යුත්තක් ඇත. හාමත්ව බඩගින්නේ සිටින බල්ලා යනු අප දුටු එක්තරා ජාතියකි. කුමන හෝ ජාතියක් විද්‍යාමාන වන ධර්ම න්‍යයක් ඇත. භව පච්චයා ජාති මේ සිද්ධාන්තයයි, ජාතිය යම්සේ වේද භව ඊට අනුකූලය. භව යනු යම් ස්වභාවයකි, නිර්මාණ ශක්තියකි, හාමත් බලු ජාතිය නිකම් පහළ වූවක් නොවේ. එබඳු ආකාරයක් නිපදවන ශක්ති ක්‍රියා කිරීමේ ප්‍රතිඵලයකිනි හාමත් බලු ජාතියක් නිපදවූයේ. එබැවින් මේ නිර්මාණ ශක්තිය හෙවත් “බව“ නිසාමත් බලු ජාතිය විද්‍යාමාන වූයේ සතර ධාතුන්ගෙනි. ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු, පඨවි ධාතු යන ධාතු හතර හාමත් බලු බව නැමැති නිශ්පාදන ශක්තියට ගෝචරව ක්‍රියාත්මක වීමේ ප්‍රතිඵලයකි හාමත් බලු ජාතිය. එබැවින් මෙය හේතුවක ඵලයකි. පෙර භවයකදී නිපදවා ගත් හාමත් බලු ජාතියක් මතු කලෙක පහළ කරන ප්‍රධාන ශක්තිය නොතිබුනා නම් මෙසේ දැන් හාමත් බලු ජාතියක් දක්නට මගක් ඇති නොවේ. (මේ විමසන්නේ යම් භවයක ඉපදුන පසු නිපදවා ගෙන ප්‍රතිඵල ඒ භවයෙම ලබන ප්‍රවෘත්ති පටිච්ච සමුප්පාද පිළිවෙල නොවේ. පෙර භවයක කරන ලද්දක් හේතුවෙන් මතු භවයක ක්‍රියාත්මක වන අයුරු පෙන්වන පටිච්ච සමුප්පාද න්‍යාය බව තේරුම් ගත යුතුය)
 
(පිටුව 152) 
මෙබඳු කර්ම ශක්ති පහළ කරන්නේ බොහෝ විටම මිනිසෙක්ව සිටි භවයකදීය. හාමත් බලු ජාතියක් පහළ කරන්නට හේතු වට මුල වූ අවිද්‍යා සහගත සංඛාර වැඩ පිළිවෙලක් වේද එයයි මේ හාමත් බලු ජාතියේ ආරම්භය. බුදු, පසේ බුදු, මහ රහත්, මහ සෘෂි ආදී උතුමන් ලොවට දෙසූ යහපත් දෙසුම්ය සත්පුරුෂයන් පිළිගත් සත් බස. මිසදිටු ගත් අසත් පුරුෂයෝ මේ සත් බස ඉවත දමා “බහ - ලූ“ නිසා බලු යන වැඩ පිළිවෙලට බසිති. යම් මිනිසෙක් තමා විසින් පෝෂණය කළ යුතු තැන සිටින දෙමව්පියන්, අඹුදරු, වැඩිහිටි, ශ්‍රමණ බ්‍රාහ්මණ ආදී පිරිසන් එසේ ගුණ දැන පෝෂණය කළ යුතුයි යන සත් බසට ගරහමින් ඒ බස ඉවත ලමින් එබඳු පිරිස් හාමතෙහි තබා තමාගේ පෝෂණයට ආත්මාර්ථකාමීව බැසගත් වැඩ පිළිවෙල හාමත් බලු සංඛාර බව දැන ගත යුතුය. වැපුරූ දේට අනුවයි අස්වැන්න කියන සේ වැපුරූ සංඛාර හාමත් බලු සංඛාර නම් මෙහි පටිච්ච සමුප්පාද හේතු ප්‍රත්‍ය හාමත් බලු විඤ්ඤාණයෝය. හාමත් බලු විඤ්ඤාණ එම සංඛාර වල ප්‍රතිඵලයකි. මෙය දෙපසට වැඩෙන ධර්මයකි. ඒ විඤ්ඤාණය බලවත් වන විට එහි යළි යළිත් බලවත් වෙමින් හාමත් බලු සංඛාරම බැස ගනී. අපේ භාෂාවෙන් මෙය කියනවා නම් “මොනවා හරි කරල පුරුදු වුනහම ඒක අත්හැර ගන්නට බැරුව ඒවම කරනවායි“ කියන එකයි. ඒවම කරන්ට කරන්නට වැඩෙන්නේ ඒවා අත්හැර ගන්නට බැරි ලෙස බලවත් වන සිතයි. මෙසේ හාමත් බලු විඤ්ඤාණය යළි යළිත් බලවත්ව හාමත් බලු සංඛාරම ඇසුරු කරයි. සංඛාර නිසා යළි යළිත් හාමත් බලු විඤ්ඤාණයම බලවත් වේ. දැන් මේ හාමත් බලු විඤ්ඤාණය හාමත් බලු ධර්මතාවයටම නැමෙමින් එම ධර්මතාවයම රුප්පනය කරයි. විඤ්ඤාණ පච්චයා නාම රූපං යන සිද්ධාන්තයයි මේ ක්‍රියාත්මක වූවේ, හාමත් බලු ධර්මතාවයට නැමී එයම රුප්පනය කරන (මතු කරන) විට හාමත් බලු විඤ්ඤාණයම බලවත් වෙමින් යළි යළි නැගෙනු ඇත. නාම රූප පච්චයා විඤ්ඤාණං යනුවෙන් ආපසු බලය වර්ධනය කරන සිද්ධාන්තය මෙසේ ක්‍රියාත්මක වේ. මීළඟට හාමත් බලු ධර්මතාවයට නැමෙමින් ඒ ධර්මතාවය රුප්පනය වන්ට වූ විට ඉන්ද්‍රීය 6ට හෙවත් ඇස, කණ, දිව, නාසය, කය, මන යන හයට නිදහසේ ඉන්ද්‍රීය මට්ටමින් සිටින්ට ඉඩ නැත. ඉහත කී ධර්ම රටාව පවත්වන්නට මේ හය ආයතන බවට පත්වේ. දැන් පෙර ඉන්ද්‍රීය ලෙස තිබූ ඉන්ද්‍රීය 6 දැන් හාමත් බලු ධර්මතාවය ගැවසෙන ආයතන 6කි. එනම් හාමත් බලු සලායතන බවට පත්වී ඇත.

Mar 1, 2011

පිටුව 149 සහ 150

(පිටුව 149)
මෙසේය අවිද්‍යාව තුන් භව උපතට හේතු වන්නේ. ලෝක ආස්වාද භුක්තිය පරමාර්ථය කොට ගෙන කරන පූණ්‍ය සංස්කාර, පාප ස්සංකාර, අනේඤ්ජාභී සංසකාර මේ අවිද්‍යා කාරණා 23 තුළින් සිදුවේ. මේ ආර්ය භාවය සිදු කරන්නට හේතු වන පිං හෝ ආනෙඤ්ජාභි සංඛාර නොවේ. භව ‍ගමනට හේතු කාරකය. ලෝක සම්මත ලෞකික පැවැත්මකට හේතු වන අලෝභ, අදෝෂ, අමෝහ නම් මේ අවිද්‍යා ප්‍රත්‍ය වන සංඛාර වලට අයිතිය. ආර්ය මාර්ගය වඩන අයගේ අලෝභ, අදෝෂ, අමෝහ මීට හාත්පසින් වෙනස්ය. හටගත් සියල්ල විපරිණාමයට පත්ව වැනසී යන ලෝකයේ මොනවා සුබ යැයි අල්ලන්ටද, වැඩක් නැතැයි ධර්මාවබෝධය හේතුවෙන් අත් හැරීමක් වේද. මේ අලෝභය ආර්ය අලෝභයයි.
මේ දහම් නුවණ තීක්ෂණ කරන්නට මනාසේ සත්‍යම සිහි කළ යුතුයි. ‍ඒ සඳහා ආයුෂ, වර්ණ්‍ය, සැපය, බලය, පටිභාණ නුවණ මහත් උපනිශ්‍රයකියි දැන ඒවායේ අවශ්‍යාතාවයටත් ඒ මග වඩන අයට එම උපනිශ්‍රය ලැබීමටත් අවශ්‍ය බව සිතා දන් දෙයි. සිල් රකියි, භාවනා කරයි. දස පිං කිරියවත් කරයි. අලෝභීව, අද්වේශීව, අමෝහීව කරන මේ කටයුතු ආර්යයන්ගේ සහ ආර්ය මාර්ගයට ආධාරක බලාපොරාත්තු වන අයගේ කුසල මූල ප්‍රත්‍ය වූ සංඛාර වේ.
සෑම විටම පරමාර්ථය  ලෝක සම්පත්තියක් නොව නිවනය. ඊට අදාල නොවන දේට නියම බෞද්ධයා බලාපොරොත්තු නොතබනු ඇත. නියම ලෙස භික්ෂු ජාතිය, භික්ෂූනී ජාතිය, උපාසක ජාතිය, උපාසිකා ජාතිය පහළ නොකර කෙතෙක් ධර්මය සිහි කරන්නට නිවන් දකින්නට උත්සාහ කළත් සඵලත්වයක් නොලැබෙනු ඇත. ආර්ය පටිච්ච සමුප්පාදය තේරුම් ගෙන ඒ මග ක්‍රමානුකූළව යන අයට නියම ආර්ය ජාති හතරෙන් තමන් කැමති ජාතියකට පත්විය හැකිය. එවිටයි ආර්ය වූ ධ්‍යාන මාර්ගඵල සපුරාගෙන ඉහාත්ම සූඛ විහරණයත් නිවන් සුවයත් ලබන්නට හැකි වන්නේ. තර්ක වාද මගින් ජය ගත්තාට තම ලබ්ධිය නගා සිටෙව්වාට ආර්ය ජාති වල වේශධාරීන් විද්‍යාමාන වෙනවා මිස නියම ආර්ය ජාති හෝ ආර්ය ප්‍රතිඵල හෝ විද්‍යාමාන නොවේ. නියම බුදු සසුන විද්‍යාමාන නොවේ. එදිනෙදා අප කරන දාන මාන ආදියේදී එය ආර්ය පූණ්‍ය කර්මයක් හෝ ආනර්ය පූණ්‍ය කර්මයක් දැයි තෝරාගන්නේ කෙසේද කියා සොයා ගත යුතුයි.

(පිටුව 150)
බල්ලෙකුට, බළලෙකුට හෝ සතෙකුට ආහාර ටිකක් දීමේදී මේ දෙයොකාරයේ පින කෙසේ ලැබේදැයි සොයා බලමු. බඩගින්නේ හාමත්ව බලා සිටින බල්ලෙක් දැක අනුකම්පා උපදවා උන්ට ආහාරයක් දුන‍්නොත් ඒ කෙබඳු අදහසකින් දුන්නාද කියා මෙසේ බැලිය යුතුයි. අනේ මේ සතා බඩගින්නේ හාමත් වෙලා. මුගේ දුකට මම පිහිට වෙමියි ආහාරයක් දුන්නා යැයි සිතමු. බඩ පිරුන සතා දැන් ප්‍රබෝධයි. ඌ උඩ පනිමින් දඟලමින් ප්‍රබෝධයෙන් සිටින හැටි දැක සතුටුද වෙයි කරගත්තේ පුණ්‍ය කර්මයකි. අප සතුටු වුනේ කුමන හේතුන් මතද? සතාගේ බඩගින්න, මිහන්සිය තාවකාලකිව දුරුවී දැකීමත් ඌ සතුටින් සෙල්ලමින් සිටිනවා දැකීමෙනුත්ය. ඒ සතාට ලැබුන ප්‍රතිඵලය කෙතෙක්ද? පැය ගණනකට බඩගිනි නිවී යාමත් ලෝකාස්වාදායක මුලාවේ සතුටින් ටික වේලාවක් දැඟලීමත් හැර ඌට වූ යහපත කුමක්ද? උගේ තිරිසන් අත් බව දුරු වීමට ඉන් ප්‍රතිඵල මාත්‍රයක් වත් උට ලැබුණද? අප සතුටු වුවේ අනිච්ඡ වූ දුක් වූ මමය, මාගේය, මගේ ආත්මයය යන දෘෂ්ඨියකට ගොදුවුර වූ ලෞකික පැවැත්මක් දැක නේද? එයින් අප ලබා‍ ඇත්තේ අප සතුටු වූ වර්ගයේ පිනකි. එහි ප්‍රතිඵලය අපටද එබඳු අවස්ථාවක් උදා වී එබඳු මුලා සතුටක් ලබන්නට හේතු වීමය. වැපිරූ හැටියටයි අස්වැන්න. මේ අනාර්ය පිනක් ඇතිවූ හැටිය.
එම ක්‍රියාවලියම ආර්ය පිනක් වන සැටි තේරුම් ගනිමින් අප නිතර ගැවසිය යුත්තේ අපගේ දහම් ගුරුවරයා ඇසුරෙහිය. එනම් පටිච්ච සමුප්පාද න්‍යාය තුළින් දුක සහ දුකට හේතුව දැන ගැනීමත් පටිච්ච සමුප්පාද නිරෝධ න්‍යාය තුලින් දුක්ඛ නිරෝධයත් නිරෝධ ප්‍රතිපදාව අනුගමනයත් සිදුවන වැඩ පිළිවෙල තුළය. එසේ කටයුතු කරන විටය ගඟ නොනැවතී මුහුද කරා ගලා යන ලෙස අප නිවනට ගමන් කරන්නේ. ඉහත කී සතාට දානයක් දුන් පින ආර්ය මාර්ගයට අයිති කටයුත්තක් වන්නේ මොන අදහසකින් කටයුතු කළොත්ද? සමහර විට අද සම්ප්‍රදායික ක්‍රමය අනුව මේ පින මට නිවනටම හේතු වේවා කීමෙන් එය සිදුවෙතැයි සිතිය හැකිය. යමෙක් ඔහුගෙන් ඇසුවොත් ඒක වෙන ක්‍රම රටාව කොහොම කියා. අපි දෙන පිළිතුර කුමක්ද? ආර්ය මාර්ගය ඥාන සම්ප්‍රයුක්තය. අර්ථය නොදැන කරන දෙය ඥාන සම්පයුක්ත වන්ට කෙසේ බලපායිද? දානයේ විශේෂත්වය ඇති කරන අවස්ථා 3කි. දැහැමි දාන වස්තුව, දායකයාගේ දැනුවත් බව (ඥාන සම්පයුක්ත බව) ප්‍රතිග්‍රාහ‍කයාගේ ඥාණ සම්ප්‍රයුක්ත බව මේ කරුණු 3යි.

පිටුව 147 සහ 148

(පිටුව 147)
මේ ජාති හතරට පත්වීමට එම වේශයෙන්ගෙන් හෙවත් වේශ ධාරීව සිටියාට බැරිය.. එයටද පටිච්ච සමුප්පාද ධර්ම න්‍යායක් ඇත. බෞද්ධ සිව් පිරිස පහළ කරන මේ පටිච්ච සමුප්පාද ධර්ම න්‍යාය අද විභංග ප්‍රකරණය නම් අභිධර්ම ග්‍රන්ථයට සීමාවී ඇති සේ පෙනේ. භාවිතයට විද්‍යාමාන වූ බවක් මෙකල දක්නට නැත. සත්පුරුෂ පින්වතුන්ගේ දැන ගැනීමට විභංග ප්‍රකරණයේ පච්චයාකාර විභංගයේ ඇති ඒ න්‍යාය මෙහි දක්වනු ලැබේ.
කුසල මූල පච්චයා සංඛාරා
සංඛාර පච්චයා විඤ්ඤාණං
විඤ්ඤාණ පච්චයා නාම රූපං
නාම රූප පච්චයා සළායතනං
සළායතන පච්චයා ඵස්සෝ
ඵස්ස පච්චයා වේදනා
වේදනා පච්චයා පසාදෝ
පසාද පච්චයා අධිමොක්ඛෝ
අධිමොක්ඛ පච්චයා භවෝ
භව පච්චයා ජාති
ජාති පච්චයා ජරා මරණං
ඒව මේ තේසං ධම්මානං සමුදයෝ හෝති
මෙහි ආරම්භය අවිද්‍යා ප්‍රත්‍යෙයන් නොව කුසල මූල හෙවත් අලෝභ, අද්වේශ, අමෝහ ප්‍රත්‍ය යෙනි. වේදනා පච්චයා තණ්හා යැයි නොයෙදී වේදනා පච්චයා පසාදෝ යනුවේන තණ්හාව වෙනුවට ප්‍රසාදය උපදින බව පෙන්වා ඇත. ඒව මේතස්ස කේවලස්ස දුක්කක්ඛන්ධස්ස සමුදයෝ හෝතී යනුවෙන් මෙසේ සියලු දුක් රැස පහළ වේ වෙනුවට ඒව මේ තේසං ධම්මානං සමුදයෝ හෝත් යනුවෙන් මෙසේ ධර්මයන්ගෙ පහළ වීම වේ කියා පෙන්වා ඇත. එබැවින් මේ පටිච්ච සමුප්පදය දුක හට ගන්වන, මතු දුකට හේත වන එකක් නොව ආර්ය භාවයට හේතු වන්නක් බව පෙනේ.
සමහරු මේ දහම් යටපත්වීම නිසා දස පූණ්‍ය ක්‍රියාවන් දුකට, පැවැත්මට හේතු වේ යැයිද එයත් අවිද්‍යා ප්‍රත්‍යෙයන් වන සංඛාර වැඩ පිළිවෙලක් යැයිද වරදවා තේරුම ගෙන පිං නොකර සිටී. නොකළ යුතු පිං ක්‍රමයක්ද ඇත. අවිජ්ජා පංච්චයා සංඛාර කියන තැන සංඛාරා යන්නට අර්ථ දෙන විට “පුඤ්ඤාභි සංඛාරා, අපුඤ්ඤාභි සංඛාරා, ආනෙඤ්ජාභි සංඛාරා අයං වුච්චති අවිජ්ජා පච්චයා සංඛාරා“ යනුවෙන් අවිද්‍යා ප්‍රත්‍යෙයන් හටගන්න පුණ්‍ය සංඛාර අපුණ්‍ය සංඛාර ආනෙඤ්ජාබි සංඛාර (අරූප සංඛාර) යැයි කොටස් 3ක් පෙන්වා ඇත. කුසල මූල සංඛාර නම් මේවා නොවේ. මෙය විග්‍රහ කොට තේරුම් ගත යුතුයි.

(පිටුව 148)

අවිද්‍යා ප්‍රත්‍යයෙන් හටගන්න පූණ්‍ය සංඛාර, අපුණ්‍ය සංඛාර, අනෙඤ්ජාභි සංඛාර (අරූප සංඛාර) යැයි කොටස් තුනක් පෙන්වා ඇත. කුසල මූල සංඛාර නම් මේවා ‍නොවේ. මෙය විග්‍රහ කොට තේරුම් ගත යුතුයි. අවිද්‍යාව යනු මෝහය නම් පිං සිත් වලට එය ඇතුලු වන්නේ කෙසේ දැයි ධර්ම ධර පින්වත් පිරිස් අතරද මෙකල ගැටලුවක් මතුවී ඇත. අභිධර්මය ඉවත දමා මේ ප්‍රශ්නය නිරාකරණය කළ නොහැකියි. අභිධර්ම කරුණු නොවිමසා ගත් තීරණයකි අවිද්‍යාව නම් මොහයයි කියන අදහස. විභංග ප්‍රකරණයේ අවිද්‍යාව මෝහයට සීමා කර නැත. කරුණු 23ක සම්පිණ්ඩනයකි අවිද්‍යාව. එය සඳහන් වන්නේ මෙසේය. 
“තත්ථ කථමා අවිජ්ජා? යං අඤ්ඤාණං, අදස්සනං, අනභිසමයෝ, අනනුබොධෝ, අසම්බෝධෝ, අප්පටිවේදෝ, අසංගාහනා, අපරියෝගාහනා, අසමපෙක්ඛනා, අපච්චක්ඛ කම්මං, දුම්මේජ්ජං, බාල්‍යං, අසම්පජඤ්ඤං, මොහෝ, පමෝහෝ, සම්මෝහෝ, අවිජ්ජා, අවිජ්ජෝඝෝ, අවිජ්ජායෝගෝ, අවිජ්ජානුසයෝ, අවිජ්ජා පරියුට්ඨානං, අවිජ්ජා ලංගී, මොහෝ අකුසල මූලං අයං වුච්චති අවිජ්ජා.“
චතුරාර්ය සත්‍ය නොදැනීමේ පටන් ක්‍රමයෙන් බලවත් වන නොදැනීම දුම්මෙජ්ජං කිව් තැන පටන් ක්‍රමයෙන් අඳුරු ගත් ස්වභාව පහළ කිරීම ආරම්භ වී මොහෝ යන තැන පටන් සත්‍ය කීවත් තේරම් ගන්ට නොහැකි තත්වයට මොටවී අන්තිමයේ මොහෝ අකුසල මූලය වූවේ 23 වැනි අවිද්‍යාවේ පහත්ව අවස්ථාවයි. එබැවින් අවිද්‍යා යන කාරණා 23ක එකතුව එකක් කොට ගත් විට ඒ අවිද්‍යාව භව මූලයකි. කාම සම්පත් වලට ආශාවෙන් පිං කරන විට කාම සුගති වල උපදවන්ට හේතු වන කොටස එහි අවිද්‍යා ලෙස ඇතුලත් වේ. ඒ කාම භව මූල කොටසයි. රූපාවචර ලොවක බ්‍රහ්ම සුවයට ආශාවෙන් ඇලී ධ්‍යාන වඩන විට අවිද්‍යාවට අයත් කරුණු 23න් එහි යෙදෙන්නේ එයට හේතු වන අවිද්‍යා කොටස්ය. අරූප ලෝකයක සුව බලාපොරොත්තුවෙන් හෝ අරූප ලොව නොනැසෙන තැනකි යන දෘෂ්ඨියෙන් අරූප ධ්‍යාන වඩන විට අවිද්‍යාවට අයත් කරුණු 23න් ආරම්භක කොටස් වලින් ඊට අයත් අවිද්‍යා කොටස් ඇතුළත් වේ.