මෙම බ්ලොග් අඩවිය පිළිබඳව

සම්මා සම්බුදු පියාණන්වහන්සේ වදාළ සත්‍ය වූ බුද්ධ ධර්මය කාලයත් සමග සැගවෙන්නට ඇති ඉඩකඩ වැඩිය. එය ‍එසේ වූ නිසාම ශතවර්ෂ ගණනකින් මාර්ගඵල ලාභීන් බිහි වූ බවක් අසන්නට නොලැබිණි... එහෙත් මග ඵල ලැබ ගෞතම බුදු පියාණන් විවර කල නිවන් දොරටුවෙන් මාර්ගයට පිවිස ඵල ලැබී සැනසීමට නියම වූ ඇත්තන් තවමත් සිටින හෙයින් ඔවුන් සදහා උපකාරයක් වීමට නියම කළ්‍යණ මිතුරාගේ පැමිණීම සිදුවී ඇත. ඒ සැඟවුනු මාවත යලි විවර කරමින්, සැඟවුනු දහම් අරුත් මතු කරමින් සසර දුකින් පෙළෙන ඔබටත් මටත් අනන්ත සසර දුක් සයුරෙන් එතෙර වීමේ ප්‍රයෝගික මග හෙලි කරන අභිඥාලාභී පූජ්‍යපාද වහරක අභයරතනාලංකාර ස්වාමීන් වහන්සේගේ ධර්මානුශාසනා ඇසුරෙන් පලවූ "සැගවුණු බොදු මග කල එලි දකී" යන පොත ඇසුරෙන් මෙසේ සටහන් තබමි!

Mar 22, 2011

පිටුව 155 සහ 156

(පිටුව 155)
යම්සේ මේ හාමත් බලු උපාදානය සියල්ලන්ටම වඩා බලවත්ව ක්‍රියාත්මකව පවතින විට එබඳු කලක එම මිනිස් කය බිඳී ගියොත්. භව ගාමී වූ දුසිරිත් පාප සහගත බලු ජාතියක් නිපදවන්නට හේතුවූ ශක්තිය ක්‍රියා කරන්නට පටන් ගනී. ඒ කර්ම ශක්තියේ පාලනයට බලයට නැමුන සතර මහා භූත ක්‍රියාකාරීත්වය හාමත් බලු ජාතියක් ලොව පහළ කරන්නට සුදුසු පරිදි ක්‍රියාත්මක වේ. මේ බලවේගය කිසිවකුගේ කැමත්තට හෝ අකමැත්තකට අනුව පාලනය වන්නක් නොවේ. යම් ධර්මතාවයකට මෙසේ අවනතව ස්ව හෙවත් තමා පහළ කරයිද එබැවින් ස්ව + භාව යන ධර්මතාව ලෙස ක්‍රියාත්මක වේ මෙයයි ස්වභාව ධර්මය. ස්වභාව ධර්මය ලෙස ක්‍රියා කරන්න නියම පටිච්ච සමුප්පාද නියාමයයි. දැන් අප දැක ඇත්තේ මේ ධර්ම නියාමයේ ප්‍රතිඵලයයි. හාමත් බලු ධර්මතාව දුෂ්චරිතයකි. නොකටයුත්තකි, පාපයකි, වරදකි, අනාථ බවකි, කැමති සේ ‍නොපවතින්නකි, දුක් පීඩාවකි කියා නොදකින බැවින් හාමත් බලු ධර්මායෝ යථා තත්වය නොදකින අවිද්‍යාවෙන් වැසුණු අසත්පුරුෂ ස්වභාවයෙන් ආරම්භ වී පටිච්ච සමුප්පන්නව සතර ධාතු හෙවත් ආපෝ ධාතු, තේජෝ ධාත, වායෝ ධාතු, පඨවි ධාතු යන මේවායේ සමවායෙන් පහල වූ චිත්ත, චෛතසික, රූප, ස්කන්ධ පොදියකි ඒ අප කියන බල්ලා කියන ජාතිය. මෙබඳු හේතු ඵල පාප පොදියක් උඩ පැන පැන සතුටු උනාට දහම් දත් අයට එයද සංවේග උපදවන්නක් මිස සතුටු වන්නට කාරණයක් නොවනු ඇත. අවිද්‍යාවක, තෘෂ්ණාව පැටළුන අනාථ ක්‍රියාවලියක් හැර එහි ඇති හරය කුමක්ද කියා සිතෙනු ඇත. ආර්යය පුණ්‍ය ක්‍රියාවක් කරන විට බල්ලාගේ බඩගින්න ගැන කම්පා වී කුමක් කරම්ද? උගේ දැඟලුම, ප්‍රබෝධය, නැටුම ගැන කුමකට සතුටු වෙම්ද? මේ සියල්ල හිස් මුලාවන්ය. එසේ නම් යහපත් සේ ආර්යය මාර්ගයට ගැලපෙන සේ ඌට ආහාර දී කුමක් බලාපොරොත්තු විය යුතුද? බුදු පියාණන් වහන්සේ දේශනා කළ නව ලෝකොත්තර ධර්ම රත්නය ශ්‍රවනය කර දරාගෙන ඒ මග අනුගමනය කරන මම ආර්යය ගුණ දරන කෙනෙක්මි. එබැවින් බුද්ධ ශ්‍රාවකත්වයට හිමිකම් කියන සිව් පිරිසට අයත් යමෙක් බුද්ධ ශ්‍රාවකයන් කෙරෙහි මාත්‍ර වූ හෝ චිත්‍ර ප්‍රසාධයක් පහළ කරන්නේ නම් දීර්ඝ කාලයක් ඔහුට හිතසුව පිණිස, සුගතිය පිණිස කවදා හෝ නිර්වාණාවබෝධය පිණිස හේතු වනු නොඅනුමානය.

(පිටුව 156)
මේ බල්ලාට මා දෙන මේ ආහාර ටික නිසා එම සතාට මා කෙරෙහි සතුටක් ප්‍රසාදයක් ඇතිවනු ඇත. එයම ඔහුට සසරෙන් මිදීමට මාගේ මේ කටයුත්ත නිසා ලැබෙන සම්පත්තියකි. මා බුදු සව්වෙක් බැවින් මා කෙරෙහි යම් අමනාපයකින් මූ හැසිරෙයිද? කටයුතු කෙරයිද එය මූ නොදැන සිටියත් දුගතියට විනාශයට හේතුවනු ඇත. මෙසේ මොහුට මතුවන විනාශය නොවේවායි මූ කුපිත නොකරමි. මූට සිත සතුටු වන ලෙස මේ ආහාරය දී ඒ සතාට ඇති වන මාත්‍ර වූ හෝ චිත්ත ප්‍රසාදයේ වටිනාකම සිහිකර මේ ආහාරය දෙමි. මෙසේ සිහිකොට දුන් ඒ බත් පිඩ තමාගේ ඤාණ සම්පයුත්ත ආර්යය ක්‍රියාවක් වනු ඇත. සතා තමා දැක නකුට හෝ වැනුවේද සතුට පහළ කළේද මෙයම ඔහුට මතු යහපතකට ද කවදා හෝ සත්පුරුෂ ආශ්‍රයකට ද මග පෑදෙන කරුණකියි දැන එයම සිදුවේවා, අනන්ත සසරින් මිදේවායි සිහි කළ යුතුයි. මෙහිම ආර්යයන්ට ගැලපෙන මෛත්‍රී සහගත යම් කාය කර්මයක් ඇත්ද වචී කර්මයක් ඇත්ද මනෝ කර්මයක් ඇත්ද ඒ සියල්ල සිදුවනු ඇත. සසර දුක ගැනත් දුකට හේතු කාරක සකස් වන අයුරුත් දුක දුරලන නිවනත් ඒ නිවන් මග ක්‍රියාත්මක වන ආර්ය අෂ්ඨාංගික මාර්ගයෙන් තත්වාකාර නුවනට දැක මාර්ගයද මාත්‍රයෙන් මාත්‍රය වැඩෙනු ඇත. දිනපතා මෙසේ සිහි කර බල්ලෙකුට කන්ට දෙයක් දෙන කෙනෙකුටද නිවන ඇති වන හැටි මෙසේ තේරුම් ගත යුතුයි දිනෙන් දින මෙසේ නැතිබැරිකම් දුප්පත්කම් අනාථ වූවන් ආදීන් ඊට හේතු වූ මූල ධර්මතාවයන් එය වැළඳ ගන්ට හේතු වන අවිද්‍ය ස්වභාවයෙන් එයින් පහළ වී ඇති අසරණ අනාථ ජාතිවල ස්වභාවයෙන් පටිච්ච සමුප්පන්න ධර්ම න්‍යය අනුව සිතන්නට වූ විට ඉතා කෙටිකලකින් “යෝ පටිච්ච සමුප්පාදං පස්සති, සෝ ධම්මං පස්සති“ යන බුද්ධ දේශනාව පරිදි “යමෙක් පටිච්ච සමුප්පාදය දකීද හේ ධර්මය දකී “ අයුරින් දහම් දකිනු ඇත.  මේ බුදුන් දැකීම යනු රූපයක් දැකීම නොව පරම සත්‍යය දැකීමයි.  දහමේ සියුම් කරුණු විනිවිද දැකීමට කට පාඩම් තිබුණත් බැරිය. මේ සදහා සමතයකට පත් මනසක් තිබිය යුතුය. සමතයකට පත් මනසක් ඇති විටයි ආත්ම ලාභයට වසඟ නොවී හරි වැරදි නියම හේතු පල ධර්ම අනුව වටහාගෙන්ට හැකි වන්නේ. අංගුත්තර නිකායේ සත්පුරිස සූත්‍රය, පරම සත්පුරිස සූත්‍රය, අසත්පුරිස සූත්‍රය, පරම අසත්පුරිස සූත්‍රය යැයි සූත්‍ර හතරක් ඇත. ‍ මිච්ඡා දිට්ඨි, මිච්ඡා සංකප්ප, මිච්ඡා වාචා, මිච්ඡා කම්මන්ත, මිච්ඡා ආජීව, මිච්ඡා වායාම, මිච්ඡා සති, මිච්ඡා සමාධි යනුවෙන් මිච්ඡා දහම් අටකින් යුක්ත වන්නේ අසත් පුරුෂයායි. මිච්ඡා ඥාණ, මිච්ඡා විමුක්ති යන දහම් දෙකද ඒ සමඟ යෙදුනහොත් පරම අසත්පුරුෂයො ලෙස හඳුන්වා ඇත.

0 comments: