මෙම බ්ලොග් අඩවිය පිළිබඳව

සම්මා සම්බුදු පියාණන්වහන්සේ වදාළ සත්‍ය වූ බුද්ධ ධර්මය කාලයත් සමග සැගවෙන්නට ඇති ඉඩකඩ වැඩිය. එය ‍එසේ වූ නිසාම ශතවර්ෂ ගණනකින් මාර්ගඵල ලාභීන් බිහි වූ බවක් අසන්නට නොලැබිණි... එහෙත් මග ඵල ලැබ ගෞතම බුදු පියාණන් විවර කල නිවන් දොරටුවෙන් මාර්ගයට පිවිස ඵල ලැබී සැනසීමට නියම වූ ඇත්තන් තවමත් සිටින හෙයින් ඔවුන් සදහා උපකාරයක් වීමට නියම කළ්‍යණ මිතුරාගේ පැමිණීම සිදුවී ඇත. ඒ සැඟවුනු මාවත යලි විවර කරමින්, සැඟවුනු දහම් අරුත් මතු කරමින් සසර දුකින් පෙළෙන ඔබටත් මටත් අනන්ත සසර දුක් සයුරෙන් එතෙර වීමේ ප්‍රයෝගික මග හෙලි කරන අභිඥාලාභී පූජ්‍යපාද වහරක අභයරතනාලංකාර ස්වාමීන් වහන්සේගේ ධර්මානුශාසනා ඇසුරෙන් පලවූ "සැගවුණු බොදු මග කල එලි දකී" යන පොත ඇසුරෙන් මෙසේ සටහන් තබමි!

Mar 10, 2011

පිටුව 151 සහ 152

(පිටුව 151)
තමන්ට අර්ථ නොවැටහුනත් ඇසුර ලැබුනේ අර්ථවත් දෙයක් නම් එයින්ද ත්‍රිහේතුක පුණ්‍ය සංඛාර වැඩෙන බව මේ උදාහරණ වලින් පළමුව තේරුම් ගත යුතුයි. බුදු පියාණන්වහන්සේ මධුර ස්වරයෙන් ධර්ම දේශනා කරන හඬ අසා සිටි මැඩියෙක් ඒ මොහොතේදී ගොපලු දරුවෙකුගේ කෙවිටකට හිරවී එවේලේම මිය ගොස් ඒ චිත්ත ප්‍රසාදයෙන්ම මණ්ඩුක නම් දිව්‍ය පුත්‍රව උපන් හැටිත් යළි ඒ දේශනාවම ශ්‍රවනය කර සෝතාපන්න වූ හැටිත් ත්‍රිපිඨක ග්‍රන්ථ වල සඳහන් වේ. කිරි වවුලන්, මුවන් ධර්ම ශ්‍රවණය මධුරත්වයට පැහැදී මිනිස් දරුවන්ව ඉපිද මේ සසුනේ මහණව නිවන් දුටු හැටිත් පසු කාලීන ධර්ම ග්‍රන්ථ වලද සඳහන් වේ. තිරිසන් සතුන්ට අර්ථවත්ව දහම් තේරුම් ගන්ට හැකියාවක් නැති නමුත් ආර්ය ශානතියෙන් නැගුන ස්වර මධුරත්වය පවා අර්ථවත් ශාන්ත රසවත් බව ත්‍රිහේතුක පිනත් සුචරිත ගුණත් ඇති කරන්නට හේතු වන බව මෙයින් පැහැදිලි වේ.
ප්‍රතිග්‍රාහකයා කෙසේ වෙතත් දායකයා දැනුවත් නම් ඤාණ සම්පයුක්ත නම් ඒ හේතුවෙන් කරන කටයුතු නිසා දායකයාටත් ප්‍රතිග්‍රාහකයාටත් ලැබෙන්නේ යහපත්කමය. දැන් අප පෙර මාතෘකාවට බසිමු. අප හිතමු අප කන්ට දුන් සතා බල්ලෙක් කියා, පළමුව අප මේ බල්ලා ගැන සිහි කළ යුත්තක් ඇත. හාමත්ව බඩගින්නේ සිටින බල්ලා යනු අප දුටු එක්තරා ජාතියකි. කුමන හෝ ජාතියක් විද්‍යාමාන වන ධර්ම න්‍යයක් ඇත. භව පච්චයා ජාති මේ සිද්ධාන්තයයි, ජාතිය යම්සේ වේද භව ඊට අනුකූලය. භව යනු යම් ස්වභාවයකි, නිර්මාණ ශක්තියකි, හාමත් බලු ජාතිය නිකම් පහළ වූවක් නොවේ. එබඳු ආකාරයක් නිපදවන ශක්ති ක්‍රියා කිරීමේ ප්‍රතිඵලයකිනි හාමත් බලු ජාතියක් නිපදවූයේ. එබැවින් මේ නිර්මාණ ශක්තිය හෙවත් “බව“ නිසාමත් බලු ජාතිය විද්‍යාමාන වූයේ සතර ධාතුන්ගෙනි. ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු, පඨවි ධාතු යන ධාතු හතර හාමත් බලු බව නැමැති නිශ්පාදන ශක්තියට ගෝචරව ක්‍රියාත්මක වීමේ ප්‍රතිඵලයකි හාමත් බලු ජාතිය. එබැවින් මෙය හේතුවක ඵලයකි. පෙර භවයකදී නිපදවා ගත් හාමත් බලු ජාතියක් මතු කලෙක පහළ කරන ප්‍රධාන ශක්තිය නොතිබුනා නම් මෙසේ දැන් හාමත් බලු ජාතියක් දක්නට මගක් ඇති නොවේ. (මේ විමසන්නේ යම් භවයක ඉපදුන පසු නිපදවා ගෙන ප්‍රතිඵල ඒ භවයෙම ලබන ප්‍රවෘත්ති පටිච්ච සමුප්පාද පිළිවෙල නොවේ. පෙර භවයක කරන ලද්දක් හේතුවෙන් මතු භවයක ක්‍රියාත්මක වන අයුරු පෙන්වන පටිච්ච සමුප්පාද න්‍යාය බව තේරුම් ගත යුතුය)
 
(පිටුව 152) 
මෙබඳු කර්ම ශක්ති පහළ කරන්නේ බොහෝ විටම මිනිසෙක්ව සිටි භවයකදීය. හාමත් බලු ජාතියක් පහළ කරන්නට හේතු වට මුල වූ අවිද්‍යා සහගත සංඛාර වැඩ පිළිවෙලක් වේද එයයි මේ හාමත් බලු ජාතියේ ආරම්භය. බුදු, පසේ බුදු, මහ රහත්, මහ සෘෂි ආදී උතුමන් ලොවට දෙසූ යහපත් දෙසුම්ය සත්පුරුෂයන් පිළිගත් සත් බස. මිසදිටු ගත් අසත් පුරුෂයෝ මේ සත් බස ඉවත දමා “බහ - ලූ“ නිසා බලු යන වැඩ පිළිවෙලට බසිති. යම් මිනිසෙක් තමා විසින් පෝෂණය කළ යුතු තැන සිටින දෙමව්පියන්, අඹුදරු, වැඩිහිටි, ශ්‍රමණ බ්‍රාහ්මණ ආදී පිරිසන් එසේ ගුණ දැන පෝෂණය කළ යුතුයි යන සත් බසට ගරහමින් ඒ බස ඉවත ලමින් එබඳු පිරිස් හාමතෙහි තබා තමාගේ පෝෂණයට ආත්මාර්ථකාමීව බැසගත් වැඩ පිළිවෙල හාමත් බලු සංඛාර බව දැන ගත යුතුය. වැපුරූ දේට අනුවයි අස්වැන්න කියන සේ වැපුරූ සංඛාර හාමත් බලු සංඛාර නම් මෙහි පටිච්ච සමුප්පාද හේතු ප්‍රත්‍ය හාමත් බලු විඤ්ඤාණයෝය. හාමත් බලු විඤ්ඤාණ එම සංඛාර වල ප්‍රතිඵලයකි. මෙය දෙපසට වැඩෙන ධර්මයකි. ඒ විඤ්ඤාණය බලවත් වන විට එහි යළි යළිත් බලවත් වෙමින් හාමත් බලු සංඛාරම බැස ගනී. අපේ භාෂාවෙන් මෙය කියනවා නම් “මොනවා හරි කරල පුරුදු වුනහම ඒක අත්හැර ගන්නට බැරුව ඒවම කරනවායි“ කියන එකයි. ඒවම කරන්ට කරන්නට වැඩෙන්නේ ඒවා අත්හැර ගන්නට බැරි ලෙස බලවත් වන සිතයි. මෙසේ හාමත් බලු විඤ්ඤාණය යළි යළිත් බලවත්ව හාමත් බලු සංඛාරම ඇසුරු කරයි. සංඛාර නිසා යළි යළිත් හාමත් බලු විඤ්ඤාණයම බලවත් වේ. දැන් මේ හාමත් බලු විඤ්ඤාණය හාමත් බලු ධර්මතාවයටම නැමෙමින් එම ධර්මතාවයම රුප්පනය කරයි. විඤ්ඤාණ පච්චයා නාම රූපං යන සිද්ධාන්තයයි මේ ක්‍රියාත්මක වූවේ, හාමත් බලු ධර්මතාවයට නැමී එයම රුප්පනය කරන (මතු කරන) විට හාමත් බලු විඤ්ඤාණයම බලවත් වෙමින් යළි යළි නැගෙනු ඇත. නාම රූප පච්චයා විඤ්ඤාණං යනුවෙන් ආපසු බලය වර්ධනය කරන සිද්ධාන්තය මෙසේ ක්‍රියාත්මක වේ. මීළඟට හාමත් බලු ධර්මතාවයට නැමෙමින් ඒ ධර්මතාවය රුප්පනය වන්ට වූ විට ඉන්ද්‍රීය 6ට හෙවත් ඇස, කණ, දිව, නාසය, කය, මන යන හයට නිදහසේ ඉන්ද්‍රීය මට්ටමින් සිටින්ට ඉඩ නැත. ඉහත කී ධර්ම රටාව පවත්වන්නට මේ හය ආයතන බවට පත්වේ. දැන් පෙර ඉන්ද්‍රීය ලෙස තිබූ ඉන්ද්‍රීය 6 දැන් හාමත් බලු ධර්මතාවය ගැවසෙන ආයතන 6කි. එනම් හාමත් බලු සලායතන බවට පත්වී ඇත.

0 comments: