මෙම බ්ලොග් අඩවිය පිළිබඳව

සම්මා සම්බුදු පියාණන්වහන්සේ වදාළ සත්‍ය වූ බුද්ධ ධර්මය කාලයත් සමග සැගවෙන්නට ඇති ඉඩකඩ වැඩිය. එය ‍එසේ වූ නිසාම ශතවර්ෂ ගණනකින් මාර්ගඵල ලාභීන් බිහි වූ බවක් අසන්නට නොලැබිණි... එහෙත් මග ඵල ලැබ ගෞතම බුදු පියාණන් විවර කල නිවන් දොරටුවෙන් මාර්ගයට පිවිස ඵල ලැබී සැනසීමට නියම වූ ඇත්තන් තවමත් සිටින හෙයින් ඔවුන් සදහා උපකාරයක් වීමට නියම කළ්‍යණ මිතුරාගේ පැමිණීම සිදුවී ඇත. ඒ සැඟවුනු මාවත යලි විවර කරමින්, සැඟවුනු දහම් අරුත් මතු කරමින් සසර දුකින් පෙළෙන ඔබටත් මටත් අනන්ත සසර දුක් සයුරෙන් එතෙර වීමේ ප්‍රයෝගික මග හෙලි කරන අභිඥාලාභී පූජ්‍යපාද වහරක අභයරතනාලංකාර ස්වාමීන් වහන්සේගේ ධර්මානුශාසනා ඇසුරෙන් පලවූ "සැගවුණු බොදු මග කල එලි දකී" යන පොත ඇසුරෙන් මෙසේ සටහන් තබමි!

Sep 8, 2010

පිටුව 113 සහ 114

(පිටුව 113)
රා යනු මත්වන පානයකට නමකි. එබදු උපමාවක් සසරේ මත්වන පානයන් පෙන්වීමට බුදු සසුනේ භාවිත කර ඇත. මත් වන පානයන් අග්‍රකර ගත් විට ඊට අනුකූල මත්වීමක් හට ගනී. පංච කාමයෝ මත්වන පාන විශේෂයකට උපමා කර ඇත. එබදු කාම පානයන් අග්‍රකර ගත් විට එය කාම රාග නමින් හදුන්වයි. දිව නාසය කය යන මේවායේ ආස්වාදයන් ප්‍රධාන වශයෙන් රා කොටසට අයත්ය. අම නමින් හදුන්වන අමෘත හෙවත් නිවනට කහටක් වැනි හෙයින් මේවාට කාම නම යෙදේ. එම ආස්වාද පානය අග්‍ර කරගත් විට ඒ කෙරෙහි රා අග්‍ර ඇතිවේ. හෙවත් කාමරාග ඇතිවේ. මේ කාමරාග සදහා ඇස කන නාසය දිව කය ඇසුරෙන් ලබන ආස්වාදයට ඇස කන සිත යන ඉන්ද්‍රියන් තුලින්ද යම් ආස්වාදයක් බලාපොරොත්තුවේද? ඒ කොටස කාමරාග කොටසට අයත් වේ.
මේ කොටසට හැරුන විට යම් රූප ශබ්ද ආස්වාදයක් හිතෙන් බලාපොරොත්තු වේද ඒවායෙහි ආස්වාද පානයෙන් මත්වීමක් වේ. රූප කෙරෙහි රා අග්‍ර කල විට ඒවා රූප රාගයෝය.
බුද්ධ කාය දෙස බලාසිටි වක්කලී හාමුදුරුවන්ට ඒ ඇතිවූයේ රූප රාගයයි. ජේතවනාරාමයෙහි ශාන්ත ස්වභාවය බුද්ධ ප්‍රමුඛ සංඝ රත්නයේ විද්‍යාමාන ශාන්ත භාවය ගැන නිතර ආස්වාදය ලබමින් සිටි එක්තරා ආනාගාමී උපාසක මහතෙකුට මතු බවයක් මට එපාමයි හැගුනද මරණින් මතු අවීහ නම් වූ බඹලොව උපතක් ලැබුණි. එහිදී ඇයි මම යළි භයක් ලැබුවේ යයි සිතු ඒ බ්‍රහ්මයාට තමා වෙත රූප රාගය තිබුන බව පෙනී ගියේය. බුදු පියාණන් ලගට පැමිණි එම බ්‍රහ්මයා තමාට උපදින්නට වූ හේතුව දැන් තේරෙන බව කියා සිටියේය. මේ රූප රාගයේ ස්වභාවයයි.
මෙබදු රූප කෙරෙහි ඇල්ම අත හැරුන කෙනෙකුට තවත් ඉතිරිව ඇති ජීවිතාශාව අරූප රාගයයි. මේ තුන් රාගයම අත හැර දැමූ විටයි මතු භවයක උපතක් නැති වන්නේ. ආර්යයන් දකින දුක තේරුම් ගන්නට නම් සසර අනාථ බව තේරුම් ගත යුතුයි. බුදු පසේ බුදු මහ රහතන් වහන්සේලාද මහ සෘෂි වරුද එබදු තවත් පෙර භව දුටු දාර්ශනිකයෝද සංසාර ගමනක භවයෙන් භවය සැරිසරන අනන්ත සත්වයෝ දැක ඇත. නොයෙකුත් බාහිර හේතු විමසීමේදී ද එය සනාථ වන කරුණු කොතෙකුත් හෙළි දරවු වනු ඇත. අංශු මාත්‍රයක් බොරු වදන් නැති බුද්ධ දේශනාව කෙරෙහි මහත් විශ්වාසය බොදුනුවන්ට තිබේ. මේ විශ්වාසය නිසාමයි ‍සසර තේරුම් ගෙන සසරට බිය වී ආර්ය මාර්ගයේ පිළිසරණ සොයා පිය නගන්නේ.

(පිටුව 114)
ආර්ය මාර්ගය වඩන උතුමන්ට සමාපත්ති පූර්ණ වූවිට මේ යථා තත්වය අත්දකින්නට ලැබෙනු ඇත. නිම් හිම් නොපෙනෙන අනාදිමත් භව ගමනේ අතීතයේ දෙවියෙක් නොවුන බ්‍රහ්මයෙක් නොවුන රජෙක් නොවුන සිටුවරයෙක් නොවුන සාමාන්‍ය මනුෂ්‍යයෙක් නොවුන තිරිසනෙක් නොවුන යකෙක් ප්‍රේතයෙක් පිසාචයෙක් නොවුන අපාගත සත්වයෙක් නොවුන කිසිවකු කිසි තැනක නැත. ඒ සියලු තැන්හි සැමටම ඇති වුනේ මම යන හැගීමය රැස්කල දේට හිමිකම් කිව් දේට ‍මගේ යන හැගීම ගෙන ඇත. අනන්ත වාර දෙවි අත්බැව් ලැබුවා කීවත් ඒ එකද අත්බැවක් ලබා සිටියාද කියා මතකයක්වත් අද නැත අනන්ත වාර බඹ අත්බැව් ලැබුවත් ඒ එක බවක් වත් ලැබූ බව අද මතක නැත. තිරිසන් යක්ෂ ප්‍රේත අසුර ‍නේරයික අත් බැව් අනන්ත ලැබුවත් ඒ එකද අත් බවක් පිලිබදව මතකයක්ද අද නැත. එහෙත් ඒ දෙවි බඹ මිනිස් ආදී අත්බැව් වලදී අද අපට මම කියන විට එන හැගීම කිසි අඩුවක් නැතිව ඒ ඒ අත් බැවුහිදී ලැබී ඇත. මගේ කියා කී අයිති වාසිකම්ද එසේය. පෙර මිනිස්ව ලෝකයාට ආලයෙන් බැදී මගේ අඹුදරු මේය දෙමාපිය මේය නෑදෑයෝ මේය මගේ ජාතියේ කුලයේ ගෝත්‍රයේ අය මේ යැයි කී වාර අනන්තය, අප්‍රමානය, පෙර ජාතිවාදයෙන් කුල ගෝත්‍ර වාදයෙන් ධන වාදයෙන් බලවාදයෙන් දැනීම් වලින් මත්ව අන්‍යයන් පාගා ගෙන නැගී සිටි මාන්නක්කාර අවස්ථා අනන්තය. පෙර අනුන්ට පහත් ලෙස ගැරහුවෝ එබන්දන්ගෙන්ම බැල මෙහෙවර කරන වහලුන්ව අඬ අඬා පව් ගෙවන්නෝය.
පෙර ප්‍රාණඝාතය හොර මැර කෙරුවෝ ඒ පව් ගෙවමින්ද වද හිංසා විද වස්තු විනාශ වී අනාථයෝව මරණයටද පත්වූ වාර අනන්තය. පාප ස්වභාවය නොදැන සුරා සූදු දුරාචාර කර කපුටන් උකුස්සන් තිරිසනුන්ව සැරි සැරූ අත්බැව් අනන්තය. බොරු කියා රවටමින් කේලාම් කියා බිදවමින් කුණු වූ මුව ඇතිව විරූපී මුඛ ඇතිව අත්බැව් ගෙවූ වාර අනන්තය. අනුන් කපා කොටා මරාදමා ඒ පව් ගෙවන්ට අට මහ නිරයන්හි, ඔසුපත් නිරයන්හි වසර ලක්ෂ කෝටි ගණන් ගෙව් වාර අනන්තය. අනුන්ගේ වහල් වැඩ ගෙන කෝටිපති වී ඒ පව් ගෙවන්නට දාසයන් වී යාචකයන්, අනාථයන්වී අත්බැව් ගෙවූ වාර අනන්තය. එක් මුලා සුවයකට වහල්ව නොකටයුතුකම් කොට මුළු ජීවිතයම නින්දාද ලබා වසර කෝටි ප්‍රකෝටි ගණන් එම පව් විදින්නට සතර අපා ගතවූ වාරද අනන්තය.

0 comments: