මෙම බ්ලොග් අඩවිය පිළිබඳව

සම්මා සම්බුදු පියාණන්වහන්සේ වදාළ සත්‍ය වූ බුද්ධ ධර්මය කාලයත් සමග සැගවෙන්නට ඇති ඉඩකඩ වැඩිය. එය ‍එසේ වූ නිසාම ශතවර්ෂ ගණනකින් මාර්ගඵල ලාභීන් බිහි වූ බවක් අසන්නට නොලැබිණි... එහෙත් මග ඵල ලැබ ගෞතම බුදු පියාණන් විවර කල නිවන් දොරටුවෙන් මාර්ගයට පිවිස ඵල ලැබී සැනසීමට නියම වූ ඇත්තන් තවමත් සිටින හෙයින් ඔවුන් සදහා උපකාරයක් වීමට නියම කළ්‍යණ මිතුරාගේ පැමිණීම සිදුවී ඇත. ඒ සැඟවුනු මාවත යලි විවර කරමින්, සැඟවුනු දහම් අරුත් මතු කරමින් සසර දුකින් පෙළෙන ඔබටත් මටත් අනන්ත සසර දුක් සයුරෙන් එතෙර වීමේ ප්‍රයෝගික මග හෙලි කරන අභිඥාලාභී පූජ්‍යපාද වහරක අභයරතනාලංකාර ස්වාමීන් වහන්සේගේ ධර්මානුශාසනා ඇසුරෙන් පලවූ "සැගවුණු බොදු මග කල එලි දකී" යන පොත ඇසුරෙන් මෙසේ සටහන් තබමි!

Sep 2, 2010

පිටුව 111 සහ 112

(පිටුව 111)
අම්බලට්ඨික රාහුලෝවාද සූත‍්‍රයේ බුදු පියාණන්වහන්සේ රාහුල හාමුදුරුවන්ට මෙසේ අවවාද අනුශාසනාවක් කළ බව සදහන් වේ.
“රාහුල ඔබ දිවා දානයෙන් පසු හුදෙකලා විවේකී තැනක වාඩිවී මෙසේ සිහි කරන්න. අද දවස තුළ මම හිතපු, කියපු, කරපු දේ තුලින් රාගයට, ද්වේශයට, මෝහයට, හේතුවුනේ මොනවාද කියා සිතා බලන්න. එසේ හිතා, කියා, ක්‍රියා කරන තිබුනා නම් මින් මතු එසේ නොකරමි. නොකියමි, නොසිතමියි, අදිටන් කර ගන්න. රාග ක්ෂයට, ද්වේෂ ක්ෂයට, මෝහක්ෂයට, හේතුවන දේ සිතා, කියා, ක්‍රියා කර තිබුනා නම් එබදු දේ මින් මතුත් හිතමි, කියමි, කරමියි සිහි කර ගෙන ඉදිරි කටයුතු කරන්න. රාහුල පෙර යම් ශ්‍රමණ කෙනෙක් ශ්‍රමණ ධර්මය පිරුවා නම් මේ ක්‍රමයෙන් මිසක් වෙන ක්‍රමයකින් නොවෙයි. මතු යම් ශ්‍රමණ කෙනෙක් ශ්‍රමණ ධර්මය පුරන්නේ නම් මේ ක්‍රමයෙන් මිසක් වෙන ක්‍රමයකින් නොවෙයි. දැන් යම් ශ්‍රමණ කෙනෙක් ශ්‍රමණ ධර්මය පුරයි නම් මේ ක්‍රමයෙන් මිසක් වෙන ක්‍රමයකින් නොවෙයි කියා දේශනා කර වදාළේය. මෙය අපටද ඉතා වටිනා දෙයකි. හුදකලාව විවේකීව සිටින විට ‍මනාසේ මෙසේ කල්පනා කර ඉදිරිය හැඩ ගසන්නේ නම් ධර්ම මාර්ගය පිරීමට එයම හේතු වෙනවා ඇත. එසේම එක තැනක හිද සියලු ලෝ සතුන් කෙරෙහි ආර්ය මෛත්‍රිය පතුරවන්නට පුළුවන. අපගේ සැගවුණු අපට හසු නොවන ක්‍රියාවලට කථාවලට අපතුල තිබෙන බලාපොරොත්තු මොනවාදැයි සිතාගන්නට මේ අවස්ථාව හොද පිටිවහලකි. ‍මට යන්ට
හිතෙනවා ටිකක් කතා කර කර ඉන්ට මෙහෙම සිතක් ආවොත් එක වරම ක්‍රියාකාර නොවිය යුතුයි. ඒ කථා කරන්ට යන්ට සිතුනේ මොනවා ගැනද ඒ බලාපොරොත්තු කථාව රාග සහගත දෙයක්ද ද්වේෂ සහගත දෙයක්ද මෝහ සහගත දෙයක්ද කියා සිතා බැලිය යුතුයි. එසේ නම් එය අවැඩ සහිතයි. වැරදියි නොකල යුත්තකැයි සිතා මින් මතුවට එබදු අදහසක් ඇති කර නොගනිමියි හික්මිය යුතුය.
එතැනම ඉද සිටින විට සිංදුවක් කවියක් හෝ එබදු යම් දෙයක් කියවෙනවා නම් වහාම එය රාගයට ද්වේශයට මෝහයට අයිති දැයි විමසා මෙය නවතිමි අවැඩ සහගතයි. වැරදියි කියා නවතා දමා මතුද එබදු කථා සිදු නොකරන්නට අදිටන් කල යුතුයි.

(පිටුව 112)
සිතිවිලි ගලා ආවද එසේම ඒ සිතිවිල්ල රාග ද්වේශ මෝහ යන තුනෙන් යමකට වැටෙනවා නම් ඒ සිතුවිල්ල නොසිතිය යුතුයි මතු එබදු සිත් පහළ නොකරමියි අදිටන් කළ යුතුයි. එසේම රාග ක්ෂයට, ද්වේෂ ක්ෂයට, මෝහ ක්ෂයට හේතු වන සිතුවිලි ක්‍රියා කතා සදහා මෙහෙය වීමක් නම් එය යහපත් වැඩ සහිතය හොද යැයි තීරණය කර එබදු දේ කල යුතුය කිව යුතුය සිතිය යුතුය. තමා තුල නිරන්තරයෙන් මෙන් සිදුවෙන සිතුවිලි ක්‍රියා වදන් මෙසේ සියුම්ව තෝරා බේරාගෙන කටයුතු කිරීම ඇරඹුවොත් වැඩි කල් යන්ට පෙර පහ කළ යුත්ත පහව යන්නේය. පාපය ගෙවී යන්නේය ඇසුරු කල යුත්ත ඇසුරු කරන්නේය එහි ප්‍රතිඵලය වන ශාසන සංසිදීම හෙවත් ආස්වාදය නැත්නම් සංවර ආස්වාසය පුරණ වන්නේය. කාය, වේදනා, චිත්ත, ධම්ම, යන සතර සති පට්ඨානයම වැඩෙන්නේය ආර්ය අෂ්ටාංගික මාර්ගය සත්ත බොජ්ඣංග ධර්ම වචන වාක්‍ය වශයෙන් පාඩම් නැතත් වැඩෙන්නේය. නිවන් ප්‍රත්‍යක්ෂ වන්නේය.
මෙසේ වඩන භාවනා ක්‍රමය නම් තුවාලයක ඔඩු කපනවා වැනි දෙයකි සිතටත් හොරෙන් රාග ද්වේෂ මෝහ ක්‍රියාවල යෙදෙමින් ඒ ආකාර සිහි නොකර කොතෙක් ඉදගෙන සිටියත් භාවනා කලත් ලෝභ ද්වේශ මෝහ යන පාප මුල්වලට ආහාර හිග නොවේ. නොදැනුවත්වම ආහාර සපයන මග ක්‍රියාත්මකය නොදැනුවත්වම කීවේ නියම සිහියෙන් නොසිටි නිසයි. මේ කියන සිහිය අන්‍ය ශාසන වල තිබෙන සිහිය නොවේ. නියම ශාසන සිහිය ලබන්නට පළමුව ධර්මය අසා එය වටහා ගෙන නගා ගෙන තිබිය යුතුය. කර්මස්ථානයක් වඩන්නට පළමුව ඒ පිලිබදව මනා අවබෝධයක් තමාට ඇති විය යුතුයි. දුක යනු කුමක්දැයි මනාව තේරුම් ගත් එසේම ඒ දුකට හේතුව කුමක්දැයි මනාව තේරුම් ගත් කෙනෙකුට දුක නැති කිරීමට අවශ්‍ය වන්නේ. එවිටයි දුක නැති කරන මාර්ගය වන ආර්ය අෂ්ටාංගික මාර්ගය තේරුම් ගැනීමට අවශ්‍ය වන්නේ. තේරුම් ගත් පසුවයි එය භාවනා කල යුතුයි කියන අධිෂ්ඨානයත් උත්සාහයත් වීර්යයත් නගන්ට අවස්ථාව පහළ වන්නේ. ලෝකයා සංසාර සාගරයේ ගමන් කරන්නේ සැපත සොයමින් පංච කාම ආස්වාදය ගෙන දෙන දේ සැපට හේතු කාරක යැයි ගත් තීරණයක් මතය.

0 comments: